logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
සිදුහත් තවුසා බුදු වූයේ නැද්ද?

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට මගේ පරස්‌පරයක්‌ හසු වී ඇත. ඔහු අප්‍රියෙල් 2 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "පරස්‌පර ගැන කතා කරන විට නලින් මහතා තරම් පරස්‌පර නිපදවන වෙන කිසිවකු නැත. ඔහුට අනුව මනස කියා දෙයක්‌ නැත. එහෙත් ඔහුට අනුව මනස සෘජු ව ම දැනුම ප්‍රත්‍යක්‌ෂ කරගනී." අමරතුංග මහතාට බොහෝ මහාචාර්යවරුන්ට හා ඊනියා උගතුන්ට මෙන් ම කිසිවක්‌ නිරවුල් ව අවබෝධ කරගැනීමේ ශක්‌තියක්‌ නැත. එය අපේ අධ්‍යාපනයේ වරදක්‌ නිසා සිදු වන්නකි. මා මනස කියා දෙයක්‌ නැති බව කියන්නේ මනසක්‌ ඇතැයි කීම මුසාවක්‌ වන බැවිනි. නැවත නැවතත් උපුටා දැක්‌වීමට සිදු වන්නේ පාඨකයන්ට ද ඇතැම් දේ අමතක වන බැවිනි. මාර්තු 12 වැනි දා ලිපියෙහි මම මෙසේ සඳහන් කළෙමි. "මහණෙනි, යම් නාම රූපයෙක්‌ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකය විසින් ද ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විසින් (ධ්‍රැව ශූශ සුඛ ආත්ම වශයෙන්) මේ සත්‍යය යි දක්‌නා ලද නම්, ඒ නාමරූපය බුද්ධාදී ආර්යයන් විසින් තෙල මෘෂායෙකැ යි සම්‍යයක්‌ ප්‍රඥාවෙන් යථාභූත කොට දක්‌නා ලද ය යන මේ එක්‌ අනුපස්‌සනායෙක, මහණෙනි, යම් නිර්වාණයක්‌ සදෙවක.... දෙව්මිනිසුන් ඇතුළු ප්‍රජාව විසින් තෙල මෘෂායෙකැ දක්‌නා ලද නම්, ඒ නිවන ආර්යයන් විසින් තෙල නිවන සත්‍යය යි යථාභූත කොට සම්‍යක්‌ ප්‍රඥායෙන් මොනවට දක්‌නාලද ය යන මෙ දෙවන අනුපස්‌සනා යි" (බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තන සංයුක්‌ත නිකාය සුත්තනිපාතය ද්වයාතානුපස්‌සනා සූත්‍රය (237 පිටුව) 758 ගාථාව)

මනස මුසාවක්‌ වන්නේ එය ඉහත අර්ථයෙන් නාම රූපයක්‌ බැවිනි. මනස ද නිර්මාණයකි. එය මනසේ ම නිර්මාණයක්‌ බව මා බොහෝ අවස්‌ථාවල කියා ඇත. කාලය වෙබ් අඩවියෙන් ලබාගත හැකි සිංහල බෞද්ධ මනස යන ලිපිය එහි දී විශේෂිත වෙයි.

එමෙන් ම විදුසර 2013 ඔක්‌තෝබර් 02 වැනි දින "නැති මනස නැති මනසට සාපේක්‍ෂ වීම" නම් ලිපියෙහි ද මෙලෙස සඳහන් වී ඇත. "මනස යනුවෙන් යමක්‌ නො පවතියි. එහෙත් අපි මනසයක්‌ ඇතැයි ගනිමු. නැති මනස ඇති මනසක්‌ ලෙස ගැනීම සංසාර ගමනට හේතුව ය. මනසක්‌ ඇතැයි ගැනීම යනු මම යනුවෙන් කෙනකු ඇතැයි ගැනීම ය. ක්‍ෂණයකට වුවත් එවැනි පැවැත්මක්‌ පිළිගැනීම ආත්මවාදී වෙයි. අපට තණ්‌හාව උපාදානය ඇති වන්නේ මම යනුවෙන් කෙනකු ඇතැයි ගැනීම නිසා ය. මනසක්‌ ඇතැයි යනුවෙන් ගැනීම නිසා ය. නැති මනස ඇති මනසක්‌, පවතින මනසක්‌ ලෙස ගැනීම නිසා ය. එහෙත් සම්මුතියෙන් මනසක්‌ වෙයි" මනස ගැන පමණක්‌ නො ව සියලු නාමරූප ගැන මගේ ස්‌ථාවරය ඉතා පැහැදිලි ය. ඒ සියල්ල මුසා (බොරු) වෙයි. එහෙත් පෘථග්ජන අපි ඒ සියල්ල සම්මුතියෙන් පිළිගනිමු. එහි දී අපි පාථග්ජන මනස්‌ ද නිර්මාණය කරගනිමු. අපේ ප්‍රත්‍යක්‍ෂ පෘථග්ජන මනස්‌වලට සාපේක්‍ෂව ය. බුදුන් වහන්සේට හා රතහන් වහන්සේට විශේෂිත වූ ප්‍රත්‍යක්‍ෂ ඇති බව දැන් අමරතුංග මහතා ද පිළිගැනීම සතුටට කරුණකි. ඔහු සති කිහිපයකට ඉහත ඒ සියල්ල මගේ හිතළු බව පැවසී ය. අවශ්‍ය නම් උපුටා දක්‌වමි.

මනස ගැන අමරතුංග මහතා මාර්තු 02 ලිපියෙන් මනස්‌ගාත කියා ඇත. වැරැදි වැටහීමක්‌ නො වීමට උපුටා දක්‌වමි. "මනෝ යන ක්‍රියාදාමයේ සිදු වන්නේ විඤ්ඤාණය විසින් වටහාගත් දැනුම විශ්ලේෂණය කොට අවබෝධයක්‌ ලබාගැනීම ය. සංකල්පීය දැනුම නිර්මාණය වන්නේ මේ අවස්‌ථාවේ දී ය. බුදුරදුන් සහ රහතුන් ගේ සිත්වල ද සිතිවිලි පහළ වේ. එහෙත් ඒවා කෙරෙහි ඇලීමක්‌ සිදු නො වේ. එම සිතිවිලිවල නියම ස්‌වභාවය (අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම) ප්‍රත්‍යක්‍ෂ කොටගත් රහතුන් එම සිතිවිලි ග්‍රහණය (උපාදානය) කොටගන්නේ නැත. කරුණු මෙසේ හෙයින් ප්‍රත්‍යක්‍ෂය සිදු වන්නේ සිතිවිලි ජනිත වන කේන්ද්‍රයේ නො ව ඥානය මෙහෙයවන කේන්ද්‍රයේ බව පැහැදිලි ය. සිතිවිලි ජනිත වන්නේ Limbic System යනුවෙන් හැඳින්වෙන මොළයේ කොටසක ය. ප්‍රත්‍යක්‍ෂය සිදු වන්නේ ඥානය මෙහෙයවන frontal lobe යනුවෙන් හැඳින්වෙන කොටසේ ය. මින් පෙනී යන්නේ සිතිවිලි ජනිත වන කේන්ද්‍රයේ ප්‍රත්‍යක්‍ෂ සිදු විය නොහැකි බව ය. එමෙන් ම බුදු දහමේ සඳහන් මනස භාවිත කොට ප්‍රත්‍යක්‍ෂ කළ නොහැකි බව ද මින් පෙනී යයි." බුදුරදුන් සහ රහතුන් ගේ යනුවෙන් පටන්ගෙන (උපාදානය) කොටගන්නේ නැත යන තෙක්‌ ඇති කොටස පමණක්‌ යම් සංශෝධනයකට යටත් ව (සිතිවිලිවල නියම ස්‌වභාවය යනුවෙන් කියෑවෙන්නේ සංශෝධනය විය යුතු ය) බුදුදහමට එකඟ ය. එහෙත් ඉතිරි කොටස්‌ හුදු මනස්‌ගාත පමණ ය. බුදුදහම බටහිර විද්‍යාව සමග සන්සන්දනය කිරීම ගන්නා නිවට උත්සාහයක ප්‍රතිඵලයක්‌ ලෙස මෙය සකස්‌ වී ඇත. ඒ කොටස්‌ ඇත්තේ කිනම් සූත්‍රවල දැයි උපුටා දක්‌වන්නේ ද? බුදුන් වහන්සේ මොළයේ කේන්ද්‍ර ගැන දේශනා කර ඇත්තේ කොතැනක ද? බුදුදහමේ සඳහන් මනසින් ප්‍රත්‍යක්‍ෂ කළ නොහැකි බව ගම්‍ය වන බවක්‌ කිසි ම සාක්‍ෂියකින් තොර ව අමරතුංග මහතා පවසයි. බුදුදහමේ නැති කේන්ද්‍ර යොදාගනිමින් අමරතුංග මහතා බුදුදහම විකෘති කරයි.

අමරතුංග මහතා මනස හා විඤ්ඤාණය අතර වෙනස කුමක්‌ දැයි සූත්‍රවලින් උපුටා දක්‌වමින් පැහැදිලි කරන්නේ ද? පටිච්චසමුප්පාදයහි නාමරූප හා විඤාඤාණ ප්‍රත්‍යයෙන් සළායතන ද (මනස ද ඇතුළු ආයතන හය) සළායතන ප්‍රත්‍යයෙන් ඵස්‌ස ද, ඵස්‌ස ප්‍රත්‍යයෙන් වේදනා ද ඇති වන බව සඳහන් වෙයි. එහෙත් එයටත් පළමු අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්‌කාර ඇති වන බව සඳහන් වෙයි. එමෙන් ම පංචස්‌කන්ධය යන්න රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, චෙතනා ලෙස ද නාමරූප යන්න වේදනා, සඤ්ඤා, චෙතනා, ඵස්‌ස, මනසිකාර ලෙස ද හැඳින්වෙයි. ඵස්‌ස යන්න සංකල්ප හා සංජානන යනුවෙන් අප විසින් හැඳින්වෙන ආකාරයට සමාන්තර ආකාරයකට දෙකොටසකට බෙදෙයි. පටිච්චසමුප්පාදයෙහි ම නාමාරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය ද විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප ද ඇති වන බව ඉගැන්වෙයි. මේ සියල්ලෙන් කියෑවෙන්නේ මෙහි ඇති චක්‍රීය ස්‌වභාවය ය. බුදුදහම ඒකහේතුවාදී නො වේ. සියල්ල එකිනෙක සමග බැ`දී ඇති, බුදුදහම හේතුඵල ධර්මයකි, හේතුව ඵලයක්‌ මෙන් ම ඵලය හේතුවක්‌ ද වෙයි. එය හේතුවාදයක්‌ නො වේ. හේතුවාද ඌනතිවාදී වෙයි. මනස මොළයට ඌනනය කරන බටහිර විද්‍යාව සමග බුදුදහම සන්සන්දනය කිරීමට යැම බොළඳ හා නිවට ක්‍රියාවකි. අමරතුංග මහතා විඤ්ඤාණය හා මනස අතර වෙනස සූත්‍ර ආධාරයෙන් පැහැදිලි කළ පසු සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යැමට බලාපොරොත්තු වෙමි.

එහෙත් එයට පළමු අමරතුංග මහතා මනස සම්බන්ධයෙන් තමා දරන මතය පැහැදිලි කරන්නේ ද? බටහිර විද්‍යාවට අනුව මනසක්‌ නැත. එහි මනස මොළයේ ක්‍රියාකාරකම්වලට ඌනනය වෙයි. එහෙත් බුදුදහමට අනුව සම්මුති අර්ථයකින් මනසක්‌ වෙයි. අමරතුංග මහතාට අනුව මනසක්‌ (සම්මුති අර්ථයකින් හෝ වෙනත් අර්ථයකින් හෝ) පවතින්නේ ද? එසේත් නැත හොත් මනසක්‌ නැත් ද? අමරතුංග මහතා මේ දෙකෙන් පිළිගන්නේ කුමක්‌ ද? ඔහු පන්සල් යන විට මනසක්‌ ඇති ව යන්නේ ද? ඊනියා ශාස්‌ත්‍රීය කටයුතුවල දී මනසක්‌ නැති ව මොළයෙන් පමණක්‌ වැඩ කරන්නේ ද? මා අසන්නේ මෝඩ ප්‍රශ්න විය හැකි ය. එහෙත් රජු ගේ හෙළුව ගැන විමසූ දරුවා මෙන් මට ද අමරතුංග මහතා ගේ ශාස්‌ත්‍රීය හෙළුව ප්‍රශ්න කිරීමට සිදු වී ඇත.

අමරතුංග මහතා මෙසේ ද පවසයි. "සමන්නාපහල සුත්තාන්තයේ උන්වහන්සේ පහදා දෙන්නේ උසස්‌ දැනුමක්‌ ලෙස සැලකෙන අභිඥා නමැති දැනුම ද ලබා දෙන්නේ සීමාසහිත දැනුමක්‌ බවයි. උසස්‌ දැනුම් ලෙස සැලකුව ද මේවා ප්‍රත්‍යක්‍ෂ දැනුම් නො වන්නේ ය. මෙයින් පෙනී යන්නේ බුදුරදුන් විශ්වාසය පළ කළේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ දැනුම මත පමණක්‌ බවයි......... සුත්තනිපාතයේ ද බුදුරදුන් තර්කය සහ ප්‍රතිභානය (intuition) දැනුම් මාර්ග වශයෙන් පිළිනොගන්නා බව වදාළ හ. අනුභූතිය දැනුම ලබාගැනීමේ මාර්ගය විය යුත්තේ මක්‌ නිසා ද යන්න උන්වහන්සේ මධුපිණ්‌ඩික සූත්‍රයේ පහදා දී ඇත."

මේ සූත්‍රවල සිංහල නාම නිවැරැදිව ප්‍රකාශ කරන්නේ නම් එය පාඨකයාට පහසුවක්‌ වනු ඇත. සමහර විට ඒ මුද්‍රණ දෝෂ විය හැකි ය. ඒ කෙසේ වෙතත් අභිඥා ද මුසාවක්‌ පමණක්‌ වෙයි. එය උසස්‌ වුවත් පහත් වුවත් ඒ මුසා වෙයි. එහෙත් අමරතුංග මහතා ඒ උසස්‌ දැනුම් ලෙස සැලකුව ද ප්‍රත්‍යක්‍ෂ දැනුම් නො වන්නේ යෑයි කියන්නේ සූත්‍රයෙහි කිනම් ගාථා උපයෝගී කරගනිමින් ද? මුසාවන් පෘථග්ජන මනසට ප්‍රත්‍යක්‍ෂ වෙයි. මිරිඟුව ද ප්‍රත්‍යක්‍ෂ දැනුමකි. සියලු පෘථග්ජන දැනුම් මිරිඟු වෙයි. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂ වෙයි. යමක්‌ ප්‍රත්‍යක්‍ෂ වූ පමණින් එය යථාභූත (වාස්‌තවික යථාර්ථයක්‌ නො ව) නො වේ. තව ද අමරතුංග මහතා බුදුරදුන් විශාවාසය පළ කළේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ දැනුම මත පමණක්‌ බව යෑයි කියයි. උන්වහන්සේ එසේ දේශනා කර ඇත්තේ කොතැනක ද? පසුගිය සතියේ ලිපියෙන් මධුපිණ්‌ඩික සූත්‍රයෙන් අනුභූතිය දැනුම ලබාගැනීමේ මාර්ගය විය යුත්තේ මක්‌නිසා ද යෑයි දේශනා කර නොමැති බව පැහැදිලි කළෙමි. අවශ්‍ය නම් ඒය නවත උපුටා දැක්‌විය හැකි ය.

බුදුන්වහන්සේ අරියපර්යේෂණ සූත්‍රයන් දේශනා කරන්නේ බටහිර විද්‍යාඥයන් ගේ හෝ වෙනත් එවැන්නන් ගේ හෝ ඊනියා පර්යේෂණ නො වේ. උන්වහන්සේ ගේ පර්යේෂණ ආර්ය පර්යේෂණ මිස ලෞකික පර්යේෂණ නො වී ය. උන්වහන්සේට අවශ්‍ය වූයේ නිවන් අවබෝධය මිස ඊනියා ලෝක ස්‌වභාවය දැනගැනීමට නො වේ. උන්වහන්සේ ගේ පර්යේෂණ මනසේ මායාව අවබෝධ කරගැනීම සඳහා විය. පට්‌ච්චසමුප්පාදයෙහි කියෑවෙන්නේ අවිද්‍යාව නිරෝධ වූ කල සංඛාර නිරෝධ වූ කල විඤ්ණය ද ආදී වශයෙන් නිරෝධ වන බව ය. ඊනියා ලෝකස්‌වභාවය ම නිරෝධ වන බව ය. මේ ක්‍රියාදාමයෙහි දී නාමරූප ද සළායතන ද ආදී වශයෙන් නිරෝධ වෙයි. ඊනියා මනස ද නිරෝධ වෙයි. නිරෝධ වන්නේ අන් කිසිවක්‌ නො ව පෘථග්ජනයන් නිර්මාණය කරගෙන ඇති දැනුම ය. එයට බටහිර විද්‍යාවේ සංකල්පයට අයත් වෙයි. අමරතුංග මහතා අප කෙරෙහි අනුකම්පාවෙන් අනුභූතිය යනු කුමක්‌ දැයි පැහැදිලි කරන්නේ ද? එය empiricism හා සම්බන්ධ ද? එය පැහැදිලි කර දීමෙන් පසුව අප තවදුරටත් බුදුන් වහන්සේ ගේ පර්යේෂණ ගැන සාකච්ඡා කළ හැකි ය.

එහෙත් එයට පළමුව අපට දැනටමත් සාකච්ඡා කළ හැකි දෙයක්‌ ගැන සඳහන් කිරීමට කැමැත්තෙමි. "උන්වහන්සේ භාවනාවෙන් ළඟා කරගත හැකි ධ්‍යාන මත විශ්වාසය තැබුවේ නැත. ධ්‍යානවලින් ඔබ්බට ගොස්‌ කෙළෙස්‌ නැසීම සිදු කළ හැකි බව උන්වහන්සේ අනුභූතියෙන් ප්‍රත්‍යක්‌ෂ කොට ගත් සේක. එය ප්‍රත්‍යක්‌ෂ කොටගත් නමුත් එම කෙලෙස්‌ (ලෝභ, ද්වේශ, මෝහ) බුදුන් පසුපස හඹා ආ මාරයා ලෙසින් පරිනිර්වාණය තෙක්‌ ම හඹා ආවේ ය. උන්වහන්සේ හැම විට ම භාවනායෝගී ව මේ කෙලෙස්‌ නැමති මාරයා පළවා ගත් බව උන්වහන්සේ දේශනා කොට ඇත. මින් පෙනී යන්නේ නිවන ප්‍රත්‍යක්‌ෂ කොට ගත් නමුත් ඒ සඳහා අවශ්‍ය වූ පරිශ්‍රමය සම්පුර්ණයෙන් අමතක කොට කෙලෙස්‌වලින් දුරස්‌ ව සිටිය නොහැකි බව ය. නිවන තුළ ගූඪ වූ පාරභෞතික කිසිවක්‌ නැති බව ද මින් පෙනී යයි. ඇත්තේ කෙලෙස්‌ ප්‍රහාණය කිරීමට පමණි. එය ලෙහෙසියෙන් කළ හැකි දෙයක්‌ නො වන බව බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත."

මෙය නම් මාර්ටින් වික්‍රමසිංහ මහතා ගේ බවතරණ බුදුදහම ය. මේ අනුව බුදුන්වහන්සේට සැමදාමත් කෙලෙස්‌ තිබී ඇත. උන්වහන්සේ බුදු වී නොමැත. අප දන්නා බුදුදහමට අනුව බුදු වීමෙහි දී සියලු කෙලෙස්‌ නසනු ලැබෙයි. එහෙත් අමරතුංග මහතාට අනුව නිවන ප්‍රත්‍යක්‌ෂ කරගත්ත ද කෙලෙස්‌වලින් දුරස්‌ ව සිටිය නොහැකි ය. මෙය බුදුදහම ඊනියා අනුභූතියක්‌ සමග සැස`දීමට යන්නන් ගේ බුදුදහම ය. ඒ කෙසේ වෙතත් කෙළෙස්‌ පළවා හරින්නේ භාවනායෝගී ව යෑයි අමරතුංග මහතා කියයි. එහි දී පංෙච්න්ද්‍රිය ද යොදාගන්නේ ද? මේවා අමරතුංග මහතා ගේ විශිෂ්ට බුද්ධියට අනුව මෝඩ ප්‍රශ්න විය හැකි ය. එහෙත් බෞද්ධයකු ලෙස මම ප්‍රශ්න කරමි. අමරතුංග මහතා ජනවාරි 29 වැනි දින ලිපියෙහි ද මේ අදහස ප්‍රකාශ කර ඇති බැවින් මෙය වැරැදීමක්‌ විය නොහැකි ය. ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. "බුදුහු එවැනි මිථ්‍යාවන් ඉවත දමා මිනිසා තමන් හා අවට ලෝකය ගැන දැනුමක්‌ ලබාගන්නේ කෙසේ දැයි සොයා බැලූ හ. ඉන්ද්‍රීය මාර්ගයෙන් ලබාගන්නා දැනුම උන්වහන්සේට ප්‍රධාන ලෙස උපකාරීවූ නමුදු එම දැනුම තුළ දුක ඇති බව උන්වහන්සේට පෙනී ගියේ ය. උන්වහන්සේ දුක නැති කිරීමේ මාර්ගය සොයා ගත්තේ ය. එසේ කළේ නොයෙකුත් පර්යේෂණ අත්හදාබැලීම් සිදු කොට විශාල පරිශ්‍රමයක්‌ දරා ය. මාරයා කළ සටනක්‌ හැටියට බුදුරදුන් එම පරිශ්‍රමය හඳුන්වා දී ඇත. බුදුරදුන් පිරිනිවන් පාන අවස්‌ථාව වන තෙක්‌ එම මාරයා බුදුන් පසුපස හඹා ආ බවත් ඒ මාරයා එළවා ගත් බවත් උන්වහන්සේ වදාළ සේක."

අමරතුංග මහතා මෙසේ ද කියයි. "නිවන කුමන ඉන්ද්‍රියකට ගෝචර දැයි නලින් මහතා අසයි. මෙය ද ඔහු මගෙන් අසා ඇති කෙළවරක්‌ නැති මෝඩ ප්‍රශ්නවලින් තවත් එකකි. නිවන ඉන්ද්‍රිය ගෝචර වන්නේ බුදුන් සහ රහතන් වහන්සේට බව නලින් මහතා දන්නේ නැත. එය ඔහු නො දන්නේ නිවන ගූඪ පාරභෞතික සංකල්පයක්‌ බවට පත් කරගෙන ඇති නිසා ය." බටහිරයන් නිවන ගුඩු දහමක්‌ යෑයි කියන්නේ නම් එය එසේ නො වේ යෑයි කීමට තරම් හීනමානයක්‌ මට නැත. බුදුදහම ඔවුන්ට ගුඩු දහමක්‌ වන්නේ ද්වීකෝටික ඇරිස්‌ටෝටලීය න්‍යායට, රේය චින්තනයට ආදියට, කෙටියෙන් කිව හොත් ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයට සාපේක්‌ෂව ය. බුදුදහම ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි බිහි වූ බව පැවසීමට මට අවශ්‍ය නැත. ඒ කෙසේ වෙතත් අමරතුංග මහතා බුදුදහම බටහිරයන්ට ගුඩු දහමක්‌ බවට පත් කරයි. නිවන ඉන්ද්‍රිය ගෝචර වන්නේ බුදුන් වහන්සේට හා රහතන් වහන්සේට බව මා නො දන්නේ යෑයි අමරතුංග මහතා කියයි. බුදුන් වහන්සේට හා රහතන් වහන්සේට පමණක්‌ නිවන ප්‍රත්‍යක්‌ෂ වන බව මා කියා ඇත. එහෙත් මෙහි දී අමරතුංග මහතා පවසන මේ ඉන්ද්‍රිය කුමක්‌ ද? ඒ පංචෙන්ද්‍රිය ද? නැත හොත් වෙනත් ඉන්ද්‍රියයක්‌ ද? බටහිරයන් බුදුන්වහන්සේ ගේ හා රහතන්වහන්සේ ගේ ඔය කියන ඉන්ද්‍රිය කුමක්‌ ද යනුවෙන් ඇසූ විට අමරතුංග මහතා දෙන පිළිතුර කුමක්‌ ද?

අමරතුංග මහතා බුදුදහම විකෘති කරන්නේ එහි දී පමණක්‌ නො වේ. අප කුඩා කල ඉගෙනගන්නා ස්‌වාක්‌ඛාතො ගාථාව ද තමා ගේ වැරැදි මත සනාථ කිරීමේ පටු ෙච්තනාවෙන් හෝ කුඩා කල හෝ වැඩිහිටි කල හෝ යමක්‌ නිරවුල්ව තේරුම්ගැනීමට ඇති නොහැකියාව නිසා හෝ අමරතුංග මහතා පාඨකයා නොම`ග යවයි. අපි එය පසුව කතා කරමු. දැනට වියුක්‌තය පිළිබඳව වචනයක්‌ නො කියා ම බැරි ය. අමරතුංග මහතා මේ සංවාදයට එක්‌ වී ඇත්තේ වියුක්‌තය යනු කුමක්‌ දැයි නො දැන බව පැහැදිලි ය. ඒ මහතාට යම්තමින් වුවත් ඔක්‌ස්‌ර්ඩ් ශබ්දකෝෂයෙන් වියුක්‌තය දැනගැනීමට ලැබී ඇත්තේ ඒ ඉංගිරිසියෙන් ඇබ්ස්‌ට්‍රැක්‌ට්‌ යෑයි මා කීමෙන් පසුව ය. එයට පෙර ඒ මහතා මලලසේකර ආදී ශබ්දකෝෂවලින් වියුක්‌තය සොයාගැනීමට උත්සුක වී ඇත. බටහිර විද්‍යාවේ දර්ශනයට අදාළව අපි සාකච්ඡා කරමු. එහි දී වැදගත් ම සංකල්පයක්‌ වනුයේ වියුක්‌තය යන්න ය. අමරතුංග මහතා බටහිර විද්‍යාව වියුක්‌ත නො වේ යෑයි කියා ඇත්තේ ඉතා පැහැදිලි ව වියුක්‌තය යනු කුමක්‌ දැයි නො දැන ය. ඒ මහතා දැන් කියන්නේ මලලසේකර ශබ්දකෝෂයෙහි ඇබ්ස්‌ට්‍රැක්‌ට්‌ යන්නට වියුක්‌තය යන්න දී නොමැති බව ය. ඇබ්ස්‌ට්‍රැක්‌ට්‌ යන්නට ගණිතය හා දර්ශනය පාරිභාෂික ශබ්දමාලාවල අවුරුදු තිහකට අධික කාලයක්‌ අමුර්ත හා වියුක්‌ත වචන දී ඇත. මලලසේකර ශබ්දකෝෂයෙහි ද 2006 සංස්‌කරණයෙහි අමුර්ත හා වියුක්‌ත යන වචන දී ඇති බව උගත් අමරතුංග මහතා නො දැනීම කා ගේ අභාග්‍යයක්‌ දැයි නො දනිමි.

මා මිථ්‍යා මත ප්‍රකාශ කිරීම නිසා මගේ නම පළුදු වී ඇති බව අමරතුංග මහතා කියයි. ඒ මා කියන දේ තමන්ට අභියෝගයක්‌ වී ඇති කිසි ම සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ බටහිර විද්‍යාවට එකතු කර නොමැති මෙරට සිටින පුහු අනුකාරක බටහිර වෛද්‍යවරුන් හා බටහිර විද්‍යාඥයන් අතර ය. ඒ ගැන මට ප්‍රශ්නයක්‌ නැත. මා ප්‍රකාශ කරන්නේ මෙරට සාමාන්‍ය ජනතාව ගේ අදහස්‌ ය. බටහිර විද්‍යාව පිළිබඳව අයිලන්ඩ් පුවත්පතෙහි කොටස්‌ පහළොවකින් සමන්විත දීර්ඝ ලිපියක්‌ ගිය වසරේ පළ කර ඇති බැවින් දෙමළ ජාතිවාදීහු මගේ මතය පිළිsබඳව දැනටමත් දනිති. එයට අමතරව ආසනික්‌ හා නාථ දෙවියන් ගැන ද මම එම පුවත්පතට ලියා ඇත්තෙමි. දෙමළ ජාතීවාදීන්ට මට අභියෝග කළ නො හැකි ය. මා ප්‍රශ්නයක්‌ වී ඇත්තේ සිංහලයන් අතර සිටින පුහු නිවට බටහිර වෛද්‍යවරුන්ට හා විද්‍යාඥයන්ට ය. අපට දෙමළ ජාතිවාදය පරාජය කිරීමට හැකි වූයේ බටහිර දැනුමට විරුද්ධව ප්‍රවාද ගොඩන`ගාගැනීමෙනි. එහි දී මහින්ද රාජපක්‌ෂ මහතා බටහිර උගතකු නො වීම ද අපට වාසියක්‌ විය. අප සෑන්ඩ්හර්ස්‌ට්‌ ක්‍රමයට විරුද්ධ යුද්ධොපක්‍රම යොදාගෙන ඇති බවත් සම්‍යක්‌දෘෂ්ටික දෙවියන් ගේ ආධාරය රණවිරුවන්ට ලැබුණු බවත් පමණක්‌ දැනට සඳහන් කරමි.

නලින් ද සිල්වා