logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
මනසෙන් තොර ප්‍රත්‍යක්‍ෂයක්‌ නැත

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ඉතා කපටි විධික්‍රමයක්‌ යොදාගනියි. ඔහු අහවල් පොත කියවන්න යෑයි මට නිර්දේශ කරයි. එහෙත් කිසි විටෙකත් ඒ පොතකින් කිසි ම පාඨයක්‌, ගාථාවක්‌, ඡේදයක්‌ උපුටා නො දක්‌වයි. ඇතැම් විටෙක ඒ මහතා ඒ පොතක ඇත්තේ මෙය යෑයි කියමින් යමක්‌ ප්‍රකාශ කරයි. එහෙත් ඒ පොතෙහි ඇත්තේ එවැනි දෙයක්‌ නො වන බව පාඨකයා නො දනියි. බොහෝ පාඨකයන් ඒ පොත් සොයාගෙන පොත් නො කියවන බව දන්නා ඒ මහතා තමා පොත්වලින් උපුටා නො දක්‌වන්නේ විදුසර පුවත්පතේ පිටු පිරවීමට ඇති අකැමැත්ත නිසා යෑයි කියයි. පිටු පුරවා වුවත් පාඨකයන්ට තමා කියන දේ සාක්‍ෂි සහිතව පෙන්වීම ඒ මහතා ගේ වගකීමකි.

මම නම් උපුටා දැක්‌වීමට කැමැත්තෙමි. එයට ප්‍රධාන හේතුව එවිට පාඨකයාට ම ඒ ඔස්‌සේ නිගමනවලට පැමිණීමට හැකි වීම ය. අමරතුංග මහතා මාර්තු 26 දින ලිපියෙහි මෙසේ කියයි. "මා සිතා සිටියේ අඩු තරමින් බුදුදහමේ මූලික සංකල්ප නලින් මහතා වටහාගෙන ඇත කියා ය. බුදුදහමේ සඳහන් ඉන්ද්‍රිය සයෙන් ක්‍රියාකාරීත්වයට අනුව මනස වෙන් කොට සැලකිය නොහැකි ය. අනෙකුත් ඉන්ද්‍රියයන් මෙන් මේ මනස තුළ ද සංඛාර, විඤ්ඤාණ ක්‍රියාදාමය සිදු නො වේ. එම නිසා යමක්‌ ප්‍රත්‍යක්‍ෂ කිරීමේ හැකියාව මනසට තිබිය නොහැකි ය. මනස නමැති දොරටුවෙන් ඇතුළු වන කෙළෙස්‌ සිතිවිලි ගැන බුදුන් දේශනා කොට ඇත. සයක්‌ වු ඉන්ද්‍රියයන්ට (සළායතන) අයත් මනසින් යමක්‌ ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි බව නලින් මහතා කියන ලෙස බ්‍රහ්මජාල හෝ වෙන සූත්‍රයක බුදුන් දේශනා කොට නැත. මා සිතා සිටියේ නලින් මහතා නො දන්නේ විද්‍යාව පමණක්‌ කියා ය. මේ දේවල් හරිහැටි වටහාගැනීමට මා නලින් මහතාට කියන්නේ මධුපිණ්‌ඩික සුත්ත (මඡ්Cධිම නිකාය) පරිශීලනය කරන ලෙස ය. දැනුම ලබාගැනීමේ මාර්ගය අනුභූතිය (අත්දැකීම්) විය යුත්තේ මක්‌නිසා ද යන්න ඒ සූත්‍රයෙන් වටහාගත හැකි බව ද ඔහුට කියා දෙමි."

මේ කොටසෙහි මුල ඇති වාක්‍ය දෙකක්‌ මෙසේ ය. "අනෙකුත් ඉන්ද්‍රියයන් තුළ සේ ම මේ මනස තුළ ද සංඛ්‍යාර, විඤ්ඤාණ ක්‍රියාදාමය සිදු නො වේ. එම නිසා යමක්‌ ප්‍රත්‍යක්‍ෂ කිරීමේ හැකියාව මනසට තිබිය නොහැකි ය." මෙයින් කියෑවෙන්නේ කුමක්‌ දැයි මට නම් පැහැදිලි නැත. දෙවැනි වාක්‍යයෙහි එන එම නිසා යන්න එහි දී යොදාගන්නේ කෙසේ ද? පළමු වැනි වාක්‍යයෙන් හෝ එයට කලින් වූ වාක්‍යවලින් හෝ දෙවැන්න ගම්‍ය වන බවක්‌ නම් මට නො තේරෙයි. අප වැනි පුහුදුන් ගේ හිත සුව පිණිස මහාචාර්යතුමා ඒ වාක්‍ය අතර සම්බන්ධය පැහැදිලි කරන්නේ ද? මා මාර්තු 5 වැනි දා ලිපියෙන් උපුටා දැක්‌වූ බ්‍රහ්මජාල සූත්‍රයෙහි ගාථාවක කොටසක්‌ නැවතත් උපුටා දක්‌වන්නේ අමරතුංග මහතා ගේ ඉහත කී ඡේදයෙහි දෙවැනි අර්ධය බොරුවක්‌ බව පෙන්වීම සඳහා ය. අදාළ කොටස මෙසේ ය. මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරේ නම් යම් ධර්ම කෙනෙකුන් කරණකොටගෙන තථාගත බුදුහු ගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැන් කරන්නෝ කියන්නාහු නම්, මේ ගැඹුරු වූ සර්වඥ බුදු කෙනෙකුන් විසින් ම විනා සෙස්‌සන් විසින් නො දැක්‌ක හැකි වූ, එහෙයින් ම සෙස්‌සන් විසින් අවබෝධ කට නො හැකි වූ, ශාන්ත වූ, ප්‍රණීත වූ, තර්කයෙන් බැසගත නොහැකි වූ, සියුම් වූ ප්‍රාඥයන් විසින් ම දත හැකි වූ ඒ ධර්මයෝ ය." (බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන 51 පිටුව 65 වැනි ගාථාව)

මෙහි සඳහන් අන්දමට බුදුන් වහන්සේ යම් ධර්ම ප්‍රත්‍යක්‍ෂ කොට ඇත. ඒ විශිෂ්ට ඥානයකින් යෑයි ද සඳහන් වෙයි. මේ සංවාදයෙහි දී මගේ කිසි ම ලිපියක බුදුන් වහන්සේ මනසින් ප්‍රත්‍යක්‍ෂ කර ඇතැයි කියා නැත. මා එසේ කියා ඇත්තේ කිනම් ලිපියක දැයි අමරතුංග මහතා පවසන්නේ ද? සර්වඥ බුදු කෙනකුන් විසින් ම දත හැකි වූ ඒ ධර්ම බුදුන් වහන්සේ විසින් ප්‍රත්‍යක්‍ෂ කෙරුණු බව කීමට හේතු වූ ප්‍රධාන කරුණ වූයේ ත්‍රිපිටකයෙහි ප්‍රත්‍යක්‍ෂ ගැන සඳහනක්‌ නැතැයි අමරතුංග මහතා වරක්‌ ප්‍රකාශ කිරීම ය. මා ද අන්තර්ජාලය පරිහරණය නො කරනවා නො වේ. එහෙත් අන්තර්ජාලයෙහි ත්‍රිපිටකය යටතෙහි ප්‍රත්‍යක්‍ෂය සඳහන් නො වේ. අමරතුංග මහතා අන්තර්ජාලයෙන් කරුණු ගෙන ත්‍රිපිටකයෙහි ප්‍රත්‍යක්‍ෂයක්‌ ගැන සඳහන් නො වන්නේ යෑයි කීවේ දැයි නො දනිමි. අප අන්තර්ජාලය පරිහරණය කළ යුත්තේ පරෙස්‌සමෙනි. එහි ඇතැම් විට වැරැදි තොරතුරු ද අඩංගු වෙයි. මා මේ සංවාදයේ දී කියා ඇත්තේ පෘථග්ජනයන් මනසෙන් යම් යම් දේ ප්‍රත්‍යක්‍ෂ කරන බවත් රහතන් වහන්සේලාට ද බුදුන් වහන්සේට ද උන්වහන්සේලාට ආවේණික වූ ප්‍රත්‍යක්‍ෂ ඇති බවත් ය. එමෙන් ම ප්‍රත්‍යක්‍ෂය යනු දැනුම ලබාගැනීමේ විධික්‍රමයක්‌ නො වන බව මා කියා ඇත.

දැන් අපි මධුපිණ්‌ඩික සූත්‍රයෙහි කියා ඇත්තේ කුමක්‌ දැයි බලමු. බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථාන පරිවර්තනයෙහි මඡ්Cධිම නිකාය යටතෙහි 154 වැනි පිටුවෙන් කොටසක්‌ උපුටා දක්‌වමි. "ඇවැත්නි, ඇස ද රූපය ද, නිසා චක්‌ඛුවිඤ්ඤාණය" විඳින දේ හඳුනාගනියි. හඳුනාගන්නා දේ හොඳ නරක වශයෙන් විනිශ්චය කරයි. විනිශ්චය කරන දේ පිළිබඳ තණ්‌හා දිට්‌ඨ ප්‍රපංච (සංකල්ප) ඇති කරගනියි. මෙසේ ප්‍රපංච ඇති කරගැනීම නිසා තණ්‌හා දිට්‌ඨ ප්‍රපංච අතීත අනාගත වර්තමාන ඇසින් බලාගත යුතු රූප විෂයයෙහි පුරුෂයා යටත් කරයි. කණ ද ශබ්දය ද ....., නාසය ද සුවඳ ද....., දිව ද රස ද...., ශරීරය ද ස්‌පර්ශය ද...., මනස ද ධර්ම ද....

මෙයින් කියෑවෙන්නේ කුමක්‌ ද? පළමුවෙන් ම චක්‌ඛු ආදී විඤ්ඤාණ ගැන කියෑවෙයි. ඒ විඤ්ඤාණය ඇති වන්නේ කොහේ ද? ඇස තිබූ පමණින් අපට රූප නො පෙනෙයි. රූප පෙනෙන්නේ විඤ්ඤාණ එකතු වීම නිසා ය. අනෙක්‌ අතට තණ්‌හා, දිට්‌ඨ ප්‍රපංච අතීත අනාගත වර්තමාන ඇසින් බැලීමක්‌ ගැන කියෑවෙයි. මෙහි අනුභූතියට අයත් වන්නේ අතීත ඇස ද වර්තමාන ඇස ද අනාගත ඇස ද? අතීත ඇස හෝ අනාගත ඇස හෝ අනුභූතියකට හසු නො වේ. අනුභූතියක්‌ ගැන කතා කළ හැක්‌කේ වර්තමානය සම්බන්ධයෙන් පමණකි. අතීත ඇස ද අනාගත ඇස ද මනසේ ක්‍රියාකාරකම් නිසා ඇති වෙයි. ඇස හා රූප මෙන්ම කණ හා ශබ්ද ගැන ද අනෙක්‌ ඉන්ද්‍රිය ගැන ද කිව හැකි බව ඉහත සඳහන් ඡේදයෙන් කියෑවෙයි. ඒ සැම අවස්‌ථවක දී ම විඤ්ඤාණය අවශ්‍ය වෙයි. විඤ්ඤාණය මනසේ ක්‍රියාකාරීත්වය නිසා ඇති වෙයි. පංචෙන්ද්‍රියයන්ට මනස නොමැති ව ක්‍රියාකාරිත්වයක්‌ නැත.

අවසාන වශයෙන් ඉහත සඳහන් ඡේදයෙන් කියෑවෙන්නේ මනස හා ධර්ම පිළිබඳව ය. මේ පෘථග්ජනයන් ගේ මනස ගැන ය. එසේ නොමැති නම් සම්මුති වශයෙන් ඇති මනස්‌ ගැන ය. මා දකින අන්දමට නම් නැති මනස්‌ හෙවත් බොරුවක්‌ වූ මනස්‌ ගැන ය. මනස්‌ පමණක්‌ නො ව ඇස්‌ කන් ආදිය ද බොරු සංකල්ප වෙයි. ඒ සියල්ල බොරු බව මුසා බව බුදුන් වහන්සේ ස්‌වායතානුපස්‌සනා සූත්‍රයෙහි දේශනා කර ඇති බව මා මාර්තු 12 වැනි දා ලිපියෙහි අදාළ ගාථාව උපුටා දක්‌වමින් සඳහන් කර ඇත. මෙහි දී මනසට අරමුණු වන්නේ ධර්ම ය. එහි දී විඤ්ඤාණය ඇති වන්නේ මනසෙහි ය. එහි දී මනස අනෙක්‌ ඉන්ද්‍රියයන් ගෙන් ස්‌වායත්ත ව ක්‍රියා කරයි. අනෙක්‌ ඉන්ද්‍රිය පහට මනස නොමැති ව ක්‍රියාත්මක වීමක්‌ නොමැති වුවත් මනස වෙනත් ඉන්ද්‍රියයක්‌ නොමැති ව ක්‍රියාත්මක විය හැකි ය.

අනෙක්‌ අතට විඳින්නේ වේදනාව දැනෙන්නේ හඳුනාගන්නේ කවුදැයි යන ප්‍රශ්aනය ඇසුව හොත් එයට ඇත්තේ එක්‌ පිළිතුරක්‌ පමණකි. ඒ මනස ය. අමරතුංග මහතා ප්‍රත්‍යක්‍ෂය ගැන සඳහන් කරන්නේ අන්තර්ජාලයේ එන නිර්වචනයක්‌ ඇසුරෙන් විය හැකි ය. ඒ නිර්වචනයට අනුව ප්‍රත්‍යක්‍ෂ යනු ඇස නමැති ඉන්ද්‍රිය අබිමුඛයෙහි යන්න ය. එහෙත් ඇස නමැති ඉන්ද්‍රිය අභිමුඛයෙහි ඇති බව දැනෙන්නේ ඇසට නො වේ. ඒ දැනෙන්නේ පෘථගජන මනසට ය. අනෙක්‌ අතට මෙහි ඇස යන ඉන්ද්‍රිය අනෙක්‌ ඉන්ද්‍රියයන්ට ද විස්‌තීරණය කළ හැකි ය. එවිට ප්‍රත්‍යක්‍ෂ යන්න අනෙක්‌ ඉන්ද්‍රිය සමග මනසට ද අනෙක්‌ ඉන්ද්‍රිය නොමැති ව ද මනසට යන්නට ද දැනෙන්නක්‌ බව පැහැදිලි විය යුතු ය. මනස නොමැති ව ඇති පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂයක්‌ නැත. අමරතුංග මහතා මනස යනු මොළයට ඌනනය කළ හැක්‌කක්‌ යෑයි පවසන්නේ ද? විවිධ බ්‍රහ්ම ලෝකවල උපදින සත්ත්වයන් ගේ මනස්‌ ගැන ඒ මහතාට කීමට ඇත්තේ කුමක්‌ ද?

බුදුදහම සාධාරණ ප්‍රවාද ගොඩනඟන්නක්‌ නො වේ. බුදුන් වහන්සේ ගේ දේශනා යම් සන්දර්භයක්‌ තුළ දේශනා කෙරිණි. මධුපිණ්‌ඩික සූත්‍රයට ද කාලාම සූත්‍රයට ද වීමංසක සූත්‍රයට ද සන්දර්භ ඇත. දණ්‌ඩපාණී ශාක්‍යයා ගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස දෙවියන් බඹුන් මාරයන් ආදීන් සමග ගැටුමකට නො යන ධර්මය ලෙස කෙටියෙන් විස්‌තර කරන ලද්දක්‌ පසුව භික්‌ෂූන් වහන්සේ ගේ දැනගැනීම සඳහා දීර්ඝ වශයෙන් කළ විස්‌තරයක්‌ එකී සූත්‍රයෙහි අඩංගු වෙයි. මෙහි දී වඩා වැදගත් වන කරුණ නම් බුදුන් වහන්සේ ගේ ධර්මය අවබෝධ කරගත් අය සංජානන (ප්‍රපංච නිසා) නිසා නො කැළඹෙති. එයින් කියෑවෙන්නේ පංචෙන්ද්‍රියන්ට හා මනසට ගෝචර වන දෙයින් ඔවුන් නො කැළඹෙන බව ය. එයට හේතුව ඒ සියල්ල මුසා බව ඔවුන් තේරුම්ගෙන සිටීම ය. අපට ඇත්තේ මනස විසින් ඇති කෙරෙන මායාවකි. මේ මායාවට මුල මනස ය.

කාලාම සූත්‍රයට ද සන්දර්භයක්‌ ඇත. කාලාමයනට විවිධ ශාස්‌තෘවරු පැමිණ විවිධ දේශනා කළ හ. කාලාමයනට ප්‍රශ්නය වූයේ ඔවුන් කුමක්‌ පිළිගත යුතු ද යන්න ය. බුදුන් වහන්සේ එයට බුද්ධිවාදී පිළිතුරක්‌ නො දුන් හ. පොතක පතක තිබූ නිසා කවුරුන් වත් කී නිසා ආදී හේතු නිසා යමක්‌ නො පිළිගත යුතු යෑයි දේශනා කළ උන්වහන්සේ යමක්‌ පිළිගැනීමේ දී විඤ්Cදුන් එලොව මෙලොව වැඩ සඳහා කරන්නේ කුමක්‌ ද, එලොව මෙලොව අයහපත හේතු වන නිසා නො කර සිටින්නේ කුමක්‌ ද යන්න තේරුම්ගෙන ඒ අනුව තමන්ට ද එය අදාළ යෑයි සිතන්නේ නම් ඒ අනුව කටයුතු කරන ලෙස ය. අමරතුංග මහතා ඒ විඤ්Cදුන් පිළිබඳ කතාව අමතක කරයි. මෙහි වැදගත් ම කරුණ වන්නේ එලොව මෙලොව යහපතට හෝ අයහපතට හෝ හේතු වන දේ තීරණය කරන්නේ කෙසේ ද යන්න ය. එය අවසාන වශයෙන් ගත් කල ඒ ඒ ධර්මයට සාපේක්‍ෂ ය. එලෙස ගත් කල කාලාම සූත්‍රය ද නිරපේක්‍ෂ නො වන චක්‍රීය දේශනයක්‌ බව පැහැදිලි වනු ඇත. සනත් නානායක්‌කාර මහතා කාලාම සූත්‍රය වටහාගෙන නැතැයි කීම අමරතුංග මහතා ගේ හුදු ප්‍රකාශයක්‌ පමණකි. අමරතුංග මහතා කිසි ම සාක්‍ෂියක්‌ නැති ව එක්‌කෝ ප්‍රකාශ කරයි. එසේත් නැත්නම් විධාන කරයි, එසේත් නොමැති නම් නියෝග නිකුත් කරයි. වීමංසක සූත්‍රයට ද සර්දර්භයක්‌ ඇත. බුදුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කර ඇත්තේ අනුන් ගේ සිත් දැනගැනීමට නොහැකි භික්‍ෂූන් වහන්සේ සඳහා ය. එය හුදෙක්‌ බුදුන් වහන්සේ රහත් ද නැත් ද යන්න තීරණය කිරීම සඳහා ඇති පරීක්‍ෂාවක්‌ නො වේ. බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ ත්‍රිපිටක පරිවර්තනයෙහි

මඡ්Cධිම නිකායෙහි 303 වැනි හා 305 වැනි පිටුවල ඒ පිළිබඳ විස්‌තර සඳහන් වෙයි. ඉඩ ඇති පරිදි මේ විස්‌තර උපුටා දක්‌වමි.

අමරතුංග මහතා මෙන් නියෝග නිකුත් නො කරන බැවින් ඒ මහතා මෙන් බොහෝ දේ එක්‌ ලිපියකින් කීමට මට නො හැකි ය. ඒ මහතා ගුරුත්වාකර්ෂණය පිළිබඳ දැනට කියා ඇති දේ ගැන විවේචනයක්‌ පසුව කරමි. එහෙත් දැනට ඔහු ගේ මේ පාඨය ඉදිරිපත් කර ප්‍රශ්නයක්‌ දෙකක්‌ අසමි. මේ ඡේදය මා පසුව ද උපුටා දැක්‌වීමට ඉඩ ඇත. "එහෙත් සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය ගුරුත්වාකර්ෂණීය සත්‍යයන් ද සැලකිල්ලට ගන්නා නිසා එහි දී අවකාශ-කාලය වක්‍රතාවයක්‌ ආරූඪ කර ගනී. තව ද සාපේක්‍ෂතාවාදය ගණිතමය මොඩලයක්‌ බව ද එනමුත් ඒවා ඉතා සාර්ථකව ප්‍රයෝගිකව යොදාගත හැකි බව ද කිව හැකි ය. අවකාශ-කාල සංකල්පය ද ගණිතමය මොඩලයක්‌ ලෙස ඉදිරිපත් වේ. මේ දේවල් නලින් මහතා නො දනී. එම නිසා මගේ පිළිතුරේ අඩංගු වූ ඉහත සඳහන් කරුණු බොරු බව ඔහු පවසයි. ඔහු නො දන්නවාට අද දින මේ විෂය හදාරන හැම දෙනෙක්‌ ම මේ මූලික කරුණු දැන සිටිය යුතු ය. අයින්ස්‌ටයින් විද්වතාණන් මේ මතවාද ඉදිරිපත් කළ කාලයේ ඒවාට අදාළ සාක්‌ෂි තිබුණේ නැත. එහෙත් දැන් ඒවා ඔප්පු වී හමාර ය. නලින් මහතා මගේ පිළිතුර වැරැදි යෑයි කියන්නේ ඔහු තාමත් ජීවන් වන්නේ සාක්‌ෂි නො තිබුණු කාලයේ බැවිනි. මේ කරුණු මා ලබාගෙත්තේ ඉහත සඳහන් පොතපතිනි. නලින් මහතා ගේ යල් පැනපු දැනුම නවීකරණය කරගැනීමට ඒ පත පොත කියවන මෙන් අවවාද කරමි." මගේ යෑල් පැනපු දැනුම යාවත්කාලීන (එය නවීකරණය කරගැනීම යනු අර්ථශුන්‍ය ප්‍රකාශයකි) කරගැනීම සඳහා අයින්ස්‌ටයින් විද්වතා මේ මතවාද ඉදිරිපත් කළ කාලයේ නො තිබූ අදාළ සාක්‍ෂි කවරේ ද? ඒවා ඔප්පු වූයේ කවදා ද? මේ මතවාද යනුවෙන් අමරතුංග මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ ද? අවකාශ-කාල වක්‍රතාවක්‌ ආරූඪ කරගැනීම යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද? අවකාශ-කාල සංකල්පය ගණිතමය මොඩලයක්‌ පමණ ද? මොඩලයක්‌ යනු කුමක්‌ ද? මොඩලය නිරපේක්‍ෂ ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් හෝ පවතින්නේ ද? මා නො දන්නා තමා කියන මූලික කරුණු මොනවා දැයි කියා ඒ දන්නා භෞතික විද්‍යාව රූපික ව (විධිමත් ව) හැදෑරූ අයකු නම් කළ හැකි ද? මම ඔහු ගෙන් ඉගෙනීමට කැමැත්තෙමි.

අමරතුංග මහතා අරාබි පරිවර්තන ගැන කියන කතා අරාබි නිසොල්ලාසය නො වූවත් එයින් කිසිවක්‌ නො කියෑවෙයි. ඉන්දියාවෙන් බටහිරට ගිය ගණිතය හා අද බටහිර ගණිතය අතර ඇත්තේ අහසට පොළොව මෙන් වූ වෙනසකි. වෛදික ගණිතයෙහි බටහිර ගණිතයෙහි මෙන් වියුක්‌ත සංකල්ප නැත. සාධාරණය කිරීම් නැත. වෛදිකයන්ට පෛතගරස්‌ ප්‍රමේයය නො තිබිණි. එහෙත් ඒ ඒ සෘජුකෝණී ත්‍රිකෝණයෙහි කර්ණය සෙවීම සඳහා සූත්‍ර නම් තිබිණි. අමරතුංග මහතා වා පිත් සෙම් ගැන කියු තිබු දෙයින් මම පුදුමයට පත් නො වෙමි. ඒ ගැන ද පසුව කියමි. දැනට කිව යුත්තේ මගේ වෙදමහතා මට ප්‍රතිකාර කිරීමේ දී රෝග විනිශ්චයක්‌ ද කරන බව ය. ප්‍රතිකාරය හුදෙක්‌ ඒ ලෙඩේට මේ බෙහෙත යන ආකාරයේ ඊනියා ආනුභවික අත්දැකීමක්‌ නො වේ. අනෙක්‌ අතට සිංහල වෙදමහත්වරුන් ප්‍රතිකාර කරන්නේ රෝගයට නො ව රෝගියාට ය. අමරතුංග මහතාට අවශ්‍ය නම් අවුරුදු විස්‌සකට පමණ ඉහත මේ සම්බන්ධයෙන් කාලෝ ෆොන්සේකා මහතා හා මා අතර "දිවයින" පුවත්පතෙහි පළ වු සංවාදයක්‌ පිළිබඳ විස්‌තර ඉදිරිපත් කළ හැකි ය. මා තැත් කරන්නේ මගේ මමත්වය වඩාගැනීමට අයින්ස්‌ටයින් වැන්නන් පොඩ්ඩන් කිරීමට නො වේ. ඔවුන් ගේ චින්තනය හා කතාන්දර ගෙතීම හෙළිදරවු කිරීම මගේ වෑයම වෙයි.

නලින් ද සිල්වා