logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
නිවන ඉන්ද්‍රිය ගෝචර ද?

මමත්වය තුනී කර ඇති එහෙත් සැම සතියක ම තම සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය ධූරය හා ඩී. එස්‌ සී උපාධිය ගැන සඳහන් කිරීමට අමතක නො කරන අමරතුංග මහතා ගේ මාර්තු 19 වැනි දා ලිපියට අනුව ඔහු මා මේ සංවාදයේ දී කි සියලු දෙය වැරැදි බව පෙන්වා දී ඇත. එමෙන් ම මා අදහස්‌වලින් බංකොලොත් ය, මා විද්‍යාව යනු කුමක්‌ දැයි යන්න වටහාගෙන නැත, මා විශ්වවිද්‍යාලවල ඉගැන්වූ සාපේක්‍ෂතාවාදය ආදිය පිළිබඳව මා දරන අදහස්‌ ද වැරැදි බව අමරතුංග මහතා පෙන්වා දී ඇත. අමරතුංග මහතා කොපමණ කලක්‌ විශ්වවිද්‍යාලයෙහි දන්ත වෛද්‍ය විද්‍යාව උගන්වා ඇත් දැයි මම නො දනිමි. එහෙත් ඒ මහතා එක්‌කෝ මට මෙතෙක්‌ හමු වී නැති ගණයේ විරල උගතෙකි. එසේත් නැත හොත් මම නූගතෙක්‌මි. සමහර විට ඒ දෙක ම ද විය හැකි ය. ඒ මහතා උපාධියට පෙනී සිටි විගස දන්ත වෛද්‍ය පීඨයේ පත්වීමක්‌ ලැබිණි දැයි නො දනිමි. එසේ නම් ඒ මහතා විශ්වවිද්‍යාලයෙහි අවුරුදු හතළිහකට වඩා උගන්වා තිබිය යුතු ය. එහෙත් මා නම් අවුරදු තිහක්‌ වත් විශ්වවිද්‍යාලවල උගන්වා නැත. මට උපාධියට පෙනී සිටි විගස එවකට ලංකා විශ්වවිද්‍යාලයෙහි රැකියාවක්‌ ලබා දීමට කටයුතු කළවුන් තම වරද වටහාගෙන මගේ නූගත්කම සැලකිල්ලට ගෙන ඉන් අවුරුදු දහයකට පමණ පසු මට නැවත

රැකියාවක්‌ ලබා නො දීමට කටයුතු කළා විය හැකි ය. එහෙත් ඉන්පසු කොළඹ විශ්වවිද්‍යාලයේ ද මට රැකියාවක්‌ ලැබුණේ මූලික වශයෙන් සාපේක්‍ෂතාවාදය හා ක්‌වොන්ටම් භෞතිකය ද ඇතුළු ගණිතමය භෞතික විද්‍යාව ඉගැන්වීමට ය. ඔවුන් ද වසර දහ තුනක්‌ පමණ ඇවෑමෙන් මා ඉගැන්වූ විෂය ගැන අවබෝධයක්‌ නැති මට පත්වීමක්‌ ලබා දීමෙන් ඔවුන් කළ වරද දැන මා සේවයෙන් අස්‌ කළා විය හැකි ය. එහෙත් ඉන්පසුව කැලණිය විශ්වවිද්‍යාලයයේ ද මට භාර වූයේ මූලික වශයෙන් ගණිතමය භෞතික විද්‍යාව ඉගැන්වීමට ය. මා ගේ නිර්දේශය පිළිගෙන කැලණිය විශ්වවිද්‍යාලයයෙහි ගණිතමය භෞතික විද්‍යාව පිළිබඳ විශේෂ පාඨමාලාවක්‌ ද ඇති කෙරිණි. (එවැනි පාඨමාලාවක්‌ ඇත්තේ කැලණියෙහි පමණ ය). ඔවුන්ට මා ගණිතමය භෞතික විද්‍යාව ගැන දරන අදහස්‌ වැරැදි බව දැනගැනීමට කලක්‌ තිබී නැත. එබැවින් මා අස්‌ කිරීම පිළිබඳ ප්‍රශ්නය එහි දී පැන නො නැඟිණි. අමරතුංග මහතා 1975ට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි සේවය කළේ දැයි නො දනිමි. ඒ මහතා එකල එහි සේවය කළේ නම් හා මගේ නූගත්කම ගැන ඒ මහතා එකල ද දැන සිටියේ නම් සමහර විට මට 1975ට පෙර ම සේවයෙන් කෙරී කළ හැකි වෙනත් දෙයක්‌ කිරීමට තිබිණි. කොළඹ විශ්වවිද්‍යාලයෙහි ද, කැලණිය විශ්වවිද්‍යාලයෙහි ද මා බටහිර දැනුම දැඩි ලෙස විවේචනය කළ ද කිසිවකු ඒ පිළිබඳ අභියෝගයක්‌ කර නො තිබිණි. මා ගණිතමය භෞතික විද්‍යාව ඉගැන්වූයේ එය විවේචනය කරමිනි. අමරතුංග මහතා ගේ ගණයේ උගතකු ඒ විශ්වවිද්‍යාලවල නො සිටීම මට පහසුවක්‌ වන්නට ඇත.

මා සාපේක්‍ෂතාවාදය පිළිබඳව දරන අදහස්‌ වැරැදි බව ඒ මහතා පෙන්වා දී ඇත්තේ කිනම් ලිපියක ද යන්නත් එසේ පෙන්වා දීමට තමා යොදාගත් සාධක කවරේ ද යන්නත් සඳහන් කරන්නේ නම් ඒ මහතාට කෘතඥ වෙමි. මගේ වැරැදි කවරේ ද යන්නත් මගේ ලිපිවලින් උපුඨා දක්‌වමින් කරුණු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි. උපුඨා දැක්‌වීම වරදක්‌ නො වේ. වරද උපුඨා නො දක්‌වා තමා අහවල් දෙය පෙන්වා ඇති බව ලොවට ප්‍රකාශ කිරීම ය. අදාළ ඡේදය උපුඨා දැක්‌වීම පිටු පිරවීමක්‌ නො වේ. එසේ උපුඨා දැක්‌වීම පාඨකයාට පහසුවකි. පාඨකයන් ගෙන් බහුතරය අදාළ ලිපි නැවත නො කියවන බව පැහැදිලි ය. අමරතුංග මහතා බුදුදහම ගැන සඳහන් කරන කරුණු පසුව විවේචනය කරමි. දැනට පහත දැක්‌වෙන කරුණ පමණක්‌ සඳහන් කරමි. ඒ මහතා මාර්තු 19 වැනි දින ලිපියෙහි මෙසේ කියයි. "බුදුන් අපට කියා දී ඇත්තේ "එහිපස්‌සිකෝ" යන්න ය. පොත්පත්වල තිබුණත්, කවුරුන් කීවත් අප පිළිගත යුතු වන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය මාර්ගයෙන් ලබා ගත හැකි දැනුම වන්නේ ය. නිර්මල බුදු දහමේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිත්වය අපට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ මාර්ගයෙන් වටහාගත හැකි ය. චතුරාර්ය සත්‍යය ද, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ද එලෙස ම පැහැදිලි කරගත හැකි ය. පටිච්චසමුප්පාදය ද එලෛස ම වටහාගත හැකි ය. භාවනාව ද එලෙස ම අනුභූතිකව දැනගත හැකි ය. බුදු දහමේ අරටුව මෙය ය. බුදුන් කියා දුන් පරිදි බුදුදහමේ තිබෙනවා යෑයි සඳහන් සැම දෙයක්‌ ම අප පිළිගත යුතු නැත. දෙවියන් පිළිබඳව සාක්‌ෂි ඇති බව නලින් මහතා පවසයි. සාක්‌ෂි ඉදිරිපත් කරන ලෙස මම ඔහුට අභියෝග කරමි. මා විශ්වාස කරන්නේ "එහිපස්‌සිකෝ" යන්නෙන් අදහස්‌ වූ අන්දමට මුල් බුදු දහමේ සඳහන් බුදුරදුන් ගේ ධර්මය සහ විද්‍යාව විසින් ඉන්ද්‍රිය ගෝචර ක්‍රමවලින් සොයාගත් දේ පමණි. බුදුරදුන් ගේ ධර්මයේ ඉන්ද්‍රිය ගෝචර නො වූ කිසිවක්‌ නොමැත. ගුරුත්වාකර්ෂණය අපට ඉන්ද්‍රිය ගෝචර නො වන නිසා එවැනි දෙයක්‌ නොමැති බව ඔහු පවසයි. එහෙත් ඔහුට ද ඉන්ද්‍රිය ගෝචර නො වන නාථ දෙවියන් ගේ පැවැත්ම ඔහු විශ්වාස කරයි. නාථ දෙවියන් ගෙන් දැනුම ලබාගත හැකි යෑයි පවසමින් මහජනයා ගේ මුදල් කඩාගන්නා අයවළුන්ට ඉඩ දී බලා සිටිය නොහැකි ය.

අමරතුංග මහතා මා වැරැදි ලෙස වටහාගෙන ඇති දේ විශ්වවිද්‍යාලයෙහි දී ඉගැන්වූ බව කීමට අමතර ව ව්‍යංගයෙන් කියන්නේ මා නාථ දෙවියන් ගෙන් දැනුම ලබාගත්තේ යෑයි පවසමින් මහජනයා ගේ මුදල් කඩාගන්නා බව ද? කෙසේ වෙතත් අමරතුංග මහතා අත ගසා ඇත්තේ සත්කාර්යයකට ය. එසේ මුදල් ගසා කන්නට ඉඩ නො දීමට ඒ මහතා පියවර ගෙන ඇත. ඒ මහතාට ජය වේ වාෘ අෙaමැයි යනුවෙන් මා මාර්තු 12 ලිපිය අවසන් කිරීම තේරුම් ගැනීමට නොහැකි අමරතුංග මහතාට ජය වේ වා යන්න තේරුම්ගැනීමට හැකි දැයි නො දනිමි. ඒ මහතා කුමක්‌ කීවත් දෙවියන් හා බඹුන් පමණක්‌ නො ව ප්‍රේත භූතයන් ද සක්‌වළ සිටින බව මා ගේ විහ්වාසයයි. මා එසේ විශ්වාස කරන්නේ සූත්‍ර පිටකයෙහි ඒ බව බුදුන් වහන්සේ දේශනා කර ඇති බැවිනි. ඒ සඳහා ඒ සාක්‌ෂි ප්‍රමාණවත් බැවිනි. මා මාර්තු 12 වැනි දා ලිපියෙහි උපුඨා දැක්‌වූ ගාථාව එයට උදාහරණයක්‌ පමණකි. මම එය නැවත උපුඨා නො දක්‌වා මහාමංගල සූත්‍රයට අමරතුංග මහතා ගේ අවධානය යොමු කරමි. ඒ සූත්‍රය දේශනා කර ඇත්තේ දෙවියකු ඇසූ ප්‍රශ්නයක්‌ මුල් කරගෙන ය. ඒ දෙවියන් අප වැන්නන් ගේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වනවා විය හැකි ය. එහෙත් එපමණකින් ම අප එය ප්‍රතික්‌ෂේප කළ යුතු නො වේ. මා කිසි විටෙකත් ඉන්ද්‍රිය ගෝචර නො වන නිසා ම ගුරුත්වාකර්ෂණය නොමැති බව පවසා නැත. ඒ බව පවසා ඇත්තේ කොතැනක දැයි අදාළ ඡේදය උපුඨා දක්‌වමින් හා ලිපියේ දිනය ගෙනහැර දක්‌වමින් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි. මේ බොහෝ මහාචාර්යවරුන් ගේ උපක්‍රමයකි. ඔවුන් උපුඨා දැක්‌වීමට මැළි වන්නේ ද එබැවිනි. කිසි ම උපුඨා දැක්‌වීමක්‌ නැති ව අනෙක්‌ අය මේ මේ දේ කියා ඇතැයි ප්‍රකාශ කිරීම ඔවුන් ගේ විධික්‍රමයේ කොටසක්‌ බවට පත් වී ඇත. ගුරුත්වාකර්ෂණය මා නො පිළිගන්නේ එය කිසිවකු ගේ ප්‍රත්‍යක්‍ෂයට හසු නො වන, මුදාහරින ලද වස්‌තු පොළොවට වැටෙන්නේ ය යන ප්‍රත්‍යක්‍ෂය තේරුම්ගැනීම සඳහා යෑයි පවසමින් හුදෙක්‌ නිව්ටන් ගෙතූ පට්‌ටපල් බොරු කතන්දරයක්‌ බැවිනිs.

අනිත්‍ය අනාත්මය ඉන්ද්‍රිය ගෝචර වන්නේ ද? අනිත්‍ය යනු නිත්‍ය නො වන්න (වෙනස්‌ වීම) නම් එය ඇතැම් වස්‌තුන් සඳහා ඉන්ද්‍රිය ගෝචර වෙයි. ආත්මය ඇත් ද? එය වෙනස්‌ වන්නේ ද? මෙහි ඉන්ද්‍රිය ගෝචර වීම යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ පංචෙන්ද්‍රියන්ට ගෝචර වීම යෑයි සලකමු. මනසට පමණක්‌ ගෝචර වන පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ හෝ බුදුන්වහන්සේ ගේ හෝ රහතන් වහන්සේ ගේ හෝ ප්‍රත්‍යක්‍ෂ මෙයට අදාළ නො වේ යෑයි සිතමු. අනාත්ම ඉන්ද්‍රිය ගෝචර ද? අමරතුංග මහතාට අනිත්‍ය දුක්‌ඛ අනාත්ම ඉන්ද්‍රිය ගෝචර වී ඇත් ද? නැත්නම් එයට හේතුව කුමක්‌ ද? චතුරාර්ය සත්‍යය ඉන්ද්‍රිය ගෝචර යෑයි අමරතුංග මහතා කියයි. එනම් ඔහුට අනුව නිවන ද ඉන්ද්‍රීය ගෝචර වෙයි. නිවන ගෝචර වන්නේ පංචෙන්ද්‍රියන් ගෙන් කිනම් ඉන්ද්‍රියයකට ද? නැත්නම් කිනම් ඉන්ද්‍රියවලට ද? කරුණාකර පෘථග්ජනයන් ගේ හිත සුව පිණිස අමරතුංග මහතා ඒ බව පවසන්නේ ද? බුදුන් වහන්සේට පමණක්‌ සුවිශේෂ වූ ප්‍රත්‍යක්‍ෂ ඇති බව මා මාර්තු 5 වැනි දා ලිපියෙහි උපුඨා දැක්‌වූ බ්‍රහ්මජාල සුත්‍රයෙහි ගාථාවෙන් පැහැදිලි වෙයි. සසර ඉන්ද්‍රිය ගෝචර ද? ඒ එසේ නම් ඒ කිනම් ඉන්ද්‍රියවලට ද? බුදුන් වහන්සේ දෙසා ඇතැයි කියන සියල්ල විශ්වාස කළ යුතු යෑයි මම නො කියමි. එහෙත් එසේ නො පිළිගැනීමේ දී ඒ සඳහා එහි ඵහිපස්‌සිකෝ අනුව බලාගත් හේතුවක්‌ හෝ හේතු හෝ ඉදිරිපත් කළ යුතු ය. බුදුන් වහන්සේ ගේ ධර්මයෙහි ඉන්ද්‍රිය (පංචෙන්ද්‍රිය) ගෝචර නො වූ කිසිවක්‌ නැතැයි කියන්නේ නම් ඉන් අදහස්‌ වන්නේ පුනබ්භවය, කර්මය, සසර, නිවන ආදිය බුද්ධ ධර්මයට අයත් නැති බව ය.

මේ එකක්‌ වත් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු ය යන්නට සෘජු ව අදාළ නැති වුවත් මගේ බුදු දහම ගැන මුලින් ම ප්‍රශ්න කරමින් බුදුදහම මෙයට ඈ ගත්තේ අමරතුංග මහතා ය. මා පිළිගන්නා බුදුදහම හා තුන්වැනි සංගායනාවේ හෙවත් අශෝක බුදුදහම අතර වෙනස්‌කම් ඇත. ඒ මූලික වශයෙන් ක්‍ෂණ වාදය හා ධර්මවාදය සම්බන්ධයෙනි. එය පැවැත්ම හා ආත්මවාදය පිළිබඳ ප්‍රශ්නයකි. මනසේ පැවැත්ම ද මතු වන්නේ ඒ ඔස්‌සේ ය. එහෙත් පුනබ්භවය, සසර, කර්මය ආදිය පිළිබඳ ව මා පිළිගන්නා බුදුදහම හා අශෝක බුදුදහම අතර වෙනසක්‌ නැත. එසේ වුවත් අමරතුංග මහතා ගොස්‌ බලා දැකගත් බුදුදහම හා බුදුන් වහන්aසේ ගේ සූත්‍ර දේශනා අතර මහත් පරස්‌පරයක්‌ ඇති බවත් පැහැදිලි ය.

පරස්‌පර යන්න අමරතුංග මහතාට තේරෙන දෙයක්‌ නො වේ. එබැවින් ඉහත සඳහන් දේ ඒ මහතාට ගෝචර නො විය හැකි ය. තමා අයුර්වේදය, සිංහල වෙදකම හා බටහිර වෙදකම ගැන කියා ඇති පරස්‌පර ඒ මහතාට පරස්‌පර නො වේ. මා කියන්නේ කුමක්‌ දැයි තේරුම්ගැනීමට නොහැකි අමරතුංග මහතා තමා කියා ඇති දේ වැරැදි බව පෙන්වා දී ඇතැයි උදම් අනයි. මා කියන්නේ කුමක්‌ දැයි ඒ මහතා ගේ දැනගැනීම සඳහා ම නො වුවත් නැවත නැවතත් කිව යුතු වෙයි. ලෝකයේ ඇත්තේ එක ම විද්‍යාවක්‌ නො වේ. බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වන්නේ බොහෝ බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් කියන ආකාරයට එහි ඇතැයි කියන ඊනියා පර්යේෂණාත්මක විධි ක්‍රමයක්‌ නිසා නො ව එහි චින්තනය හේතු කොටගෙන ය. මේ චින්තනය පහළොස්‌වැනි සියවසේ දකුණු යුරෝපයේ බිහි වූවකි. අපි එය ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය ලෙස හඳුන්වමු. මේ චින්තනයේ වියුක්‌ත ප්‍රවාද ගොඩනැඟෙයි. එයට හේතුව පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂවලින් ඔබ්බට යා හැකි ආධ්‍යාත්මික ව ලබාගත හැකි ප්‍රත්‍යක්‍ෂ බටහිරයන්ට පහළොස්‌වැනි සියවසේ නොමැති වීම ය. ඔවුහු තමන්ට නැති එවැනි ප්‍රත්‍යක්‍ෂ මිථ්‍යා, පාරභෞතික ආදී වශයෙන් හැඳින්වූ හ. එවැනි ප්‍රත්‍යක්‍ෂ නැති ඔවුන්ට ඇතැම් පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ තේරුම් ගැනීමට කතාන්දර ගෙතීමට සිදු වෙයි. ගැලීලියෝ නිවුටන් ආදීහු මේ කතාන්දර ගෙතීමේ පුරෝගාමීහු වූ හ. මේ කතාන්දර වියුක්‌ත වෙයි.

ඒ කිසිවකු ගේ වත් ප්‍රත්‍යක්‍ෂ නො වෙයි. ඕනෑ ම අයකුට ඕනෑ ම කතාන්දරයක්‌ ගෙතිය හැකි වුවත් සැම කතාන්දරයක්‌ ම අනෙක්‌ අය විසින් නො පිළිගැනෙයි. කතාන්දරයක්‌ පිළිගැනෙන්නේ ඒ කතාන්දරය අනෙක්‌ එවැනි කතන්දර සහ සංසිද්ධි (සංසිද්ධි ද කතාන්දර මත පදනම් වෙයි) සමග යම් පමණකට වුව සංගත නම් ය. එහෙත් කිසි ම කතාන්දරයක්‌ කිසි දිනෙක අනෙක්‌ කතන්දර සහ සංසිද්ධි සමග මුළුමනින් ම සංගත නො වෙයි. එබැවින් එක ම සංසිද්ධිය ලෙස සැලකෙන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සඳහා විවිධ කතාන්දර ගෙතිය හැකි වෙයි. නිවුටන් හා අයින්ස්‌ටයින් පොළොවට පොල් වැටීම පිළිබඳ කතන්දර දෙකක්‌ ගෙතුවෝ වෙති. නිවුටන් ගුරුත්වාකර්ෂණ කතාව ද, අයින්ස්‌ටයින් ගුරුත්වාකර්ෂණයෙන් තොර අවකාශ-කාල වක්‍රතා කතාව ද ගෙතුවෝ ය. ඒ කතන්දර සංකල්පීය වශයෙන් ගත් කල අහසට පොළොව මෙන් එකිනෙකින් වෙනස්‌ ය. බුදුන් වහන්සේට අනුව සියලු පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ මුසා වෙයි. මාර්තු 12 වැනි දා ලිපියෙන් මා ද්වයතානුපස්‌සනා සූත්‍රයේ ගාථාවක්‌ උපුඨා දක්‌වමින් කියා සිටියේ ඒ බව ය. ප්‍රත්‍යක්‍ෂ එලෙස බොරු නම් ප්‍රත්‍යක්‍ෂ ද නො වන වියුක්‌ත කතාන්දර ගැන කිව හැක්‌කේ ඒ පට්‌ටපල් බොරු බව ය.

අමරතුංග මහතා ඉහත සඳහන් කරුණු බොරු බව පෙන්වන්නේ කෙසේ ද? ඒ මහතාට වියුක්‌ත යන්න ගැන වත් අවබෝධයක්‌ නැත. මා ඒ බව කලින් කියා ඇත. ඒ මහතා ගේ ම ලිපියකින් උපුඨා දක්‌වමින් ඔහුට වියුක්‌ත යන්න නො තේරෙන බව පෙන්වා දෙමි. මෙය පෙබරවාරි 05 වැනි දා ඒ මහතා ගේ ලිපියෙනි. "වියුක්‌ත යන වචනයෙන් අදහස්‌ වන්නේ වෙන් වූ, ඈත් වූ (disjoined, disconnected) යන්න ය. එමෙන් ම සංයුක්‌ත යන වචනයේ අරුත ළං වූ, එකක්‌ වූ, සම්බන්ධ වූ (Joined, connected) යන්න ය. වියුක්‌ත යනු මෙය නො වේ. ඉංගිරිසියෙන් නම් ඒ ඇබ්ස්‌ට්‍රැක්‌ට්‌ (abstract) ය. වියුක්‌ත යන්න නො තේරෙන අමරතුංග මහතා මා කියා ඇති දේ බොරු යෑයි පෙන්වන්නේ කෙසේ ද? අමරතුංග මහතා ආයුර්වේදය හා බටහිර වෙදකම එක ම විද්‍යාවක්‌ වන්නේ යෑයි කියන අතර එහි පදනම වෙනස්‌ බව කියයි. ඔහුට අනුව වා පිත් සෙම් මතවාද පමණ ය. ඔහු මතවාද යෑයි කියන්නේ ප්‍රවාදවලට ය. ඒ බව මාර්තු 19 ඒ මහතා ගේ ලිපියේ පහත සඳහන් උද්ධෘතයෙන් පැහැදිලි වෙයි. "මතවාද පිළිබඳව සාක්‌ෂි නොමැති වූ විට එය මතවාදයක්‌ පමණක්‌ (theory only) වශයෙන් පවතී. මේ නිසා ය මා පැවසුවේ ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ මතවාද සාක්‌ෂි නොමැති නිසා ඔප්පු වී නැති බව." මතවාද යනු තියරි නො වේ. තියරි යනු ප්‍රවාද ය. අමරතුංග මහතා සංකල්ප ගැන නිරවුල්ව සිතන්නේ කවදා ද? මා දැනට ඒ මහතා ගෙන් අසන්නේ එක්‌ ප්‍රශ්නයක්‌ පමණකි. බටහිර විද්‍යාවේ ප්‍රවාද ඔප්පු කිරීමට ඇති සාක්‍ෂි කවරේ ද?

නලින් ද සිල්වා