logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
විද්‍යාව යුරෝපයට සංක්‍රමණය විමේදී
අරාබි - ලතින් පරිවර්තනය ඉටු කළ සේවය

ආචාර්ය නලින් ද සිල්වා මහතා නැවතත් මගේ ලිපියෙන් කොටස්‌ උපුඨා ගෙන ඔහු ගේ ලිපියේ 1/3ක්‌ පුරවාගෙන ඇත. (විදුසර - 19-03-14). පසුවට කල් දමන මාතෘකා සාකච්ඡා නො කර විදුසර පිටු නාස්‌ති කරන්නේ ඔහුට කියන්නට දෙයක්‌ නැති නිසා විය යුතු ය.

කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව බව පෙන්වා දීමේ දී විද්‍යාව යුරෝපයට සංක්‍රමණය වූ ආකාරය පෙන්වා දිය යුතු ය. නැතිනම් නලින් ද සිල්වා මහතා වැනි අය පුනා පුනා කියන්නේ විද්‍යාව යුරෝපයේ බිහි වී වර්ධනය වූ බව ය. විද්‍යාවේ සංක්‍රමණය සඳහා මාහැඟි පිටිවහලක්‌ වූයේ 12 වැනි ශත වර්ෂයේ සිදු වූ අති දැවැන්ත අරාබි - ලතින් පරිවර්තනය විය. මේ බව මා මීට ඉහත ලිපියක පෙන්වා දී ඇතත් ඒ පිළිබ`දව විස්‌තර සහිත සඳහනක්‌ කළ යුතු ව ඇත.

පළමුවෙන් ම කිව යුත්තේ සැම පැරැණි සභ්‍යත්වයන් තුළ ම විද්‍යාව සහ තාක්‌ෂණය බිහි වී වර්ධනය වූ බව ය. එය මිනිසා ගේ ජානමය මූලික අවශ්‍යතාවක්‌ නිසා සිදු වූවකි. මිනිසා උරුම කරගත් දැනුම ලබාගැනීමේ ඥානය සොයාබැලීමට තිබූ ඕනෑකම සහ ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව විද්‍යාව බිහි වීමට හේතු වූ බව කිව හැකි ය. මේ සඳහා මිනිසා උපයෝගි කරගත්තේ තම ඉන්ද්‍රියයන්ට ගෝචර වූ සාක්‌ෂි ය. සැම සභ්‍යත්වයක ම සිදු වූයේ මෙය ය. මක්‌ නිසා ද මිනිසා ගේ ව්‍යහය ඉන්ද්‍රිය පද්ධතිය අවශ්‍යතාවන් ස්‌වභාවධර්මය මූලික වශයෙන් එක හා සමාන වූ නිසා ය. ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් වූ විද්‍යාවක්‌ හැර වෙන විද්‍යාවක්‌ තිබිය නොහැකි ය.

පැරැණි චීනයේ, ඉන්දියාවේ, අරාබියේ, ඇමෙරිකාවේ (ඉන්කා සහ්‍යත්වය) මෙවැනි වූ විද්‍යාවක්‌ වර්ධනය විය. චීනය වෙඩි බෙහෙත් මාලිමා යන්ත්‍රය, මුද්‍රණ තාක්‌ෂණය නිපදවී ය. ඉන්දියාවේ ගණිත ශාස්‌ත්‍රය සහ තාරකා විද්‍යාව දියුණු විය. අරාබියේ වෛද්‍ය විද්‍යාව සහ රසායන විද්‍යාව ආරම්භ විය. ඉන්දියාවේ සහ ලක්‌දිව ශල්‍ය වෛද්‍ය විද්‍යාව දියුණු විය. ලක්‌දිව ලෝකයේ පළමු වරට රෝහලක්‌ ඉදි විය. (අලහර පිරිවෙන). ඉන්දියාවේ හෙදි සේවාව ආරම්භ විය. ලක්‌දිව අනුකරණය කරමින් ප්‍රංශයේ රෝහල් ඉදි විය. මුල දී මේ විද්‍යාත්මක සොයාගැනීම් වෙන් වෙන් සභ්‍යත්ව තුළ වර්ධනය විය. පසුව මේවා ක්‍රම ක්‍රමයෙන් රටින් රටට සංක්‍රමණය විය. උදාහරණයක්‌ වශයෙන් ඉන්දියාවේ වර්ධනය වූ ගණිත ශාස්‌ත්‍රය අරාබියට සංක්‍රමණය වී එහි දී ලේඛනගත විය.

පස්‌වැනි ශත වර්ෂයේ සිට 10 වැනි ශත වර්ෂය පමණ වන තෙක්‌ පැවැති අති විශාල වූ අරාබි අධිරාජ්‍යයට සිසිලිය, ගී්‍රසිය සහ ස්‌පාඤ්ඤය ද අයිති විය. මේ කාලය වන විට යුරෝපයේ බෝධනය බුද්ධි ක්‍රියා ඉතා පහත මට්‌ටමක පැවතියේ ය. එමෙන්ම මේ කාලයේ අරාබියේ බුද්ධික්‍රියා ඉතා ඉහළ මට්‌ටමක පැවතියේ ය. ඔවුන් විද්‍යාව, ගණිතය, තාරකා විද්‍යාව, දර්ශනය වැනි විෂයයන් පිළිබඳ පොත් පත් විශාල සංඛ්‍යාවක්‌ නිෂ්පාදනය කොට තිබිණි. මේ දැනුම සිසිලියට, ග්‍රිසියට සහ ස්‌පාඤ්ඤයට සංක්‍රමණය විය. මේ රටවල භාෂාවන් කිහිපයක්‌ (අරාබි ලතින් ග්‍රි‍ක) උගත් පිරිසක්‌ බිහි විය. දහවැනි ශත වර්ෂය වන විට මේ රටවල් එනම් සිසිලිය, ගී්‍රසීය, ස්‌පාඤ්ඤය නැවතත් ක්‍රිස්‌තියානින් ගේ යටතට පත් විය. මුස්‌ලිම් ආක්‍රමණික බලය බිඳවැටුණු විට බියක්‌ නැති ව යුරෝපීයයෝ අධ්‍යාපනය සොයා මේ රටවලට පැමිණියෝ ය.

අධ්‍යාපනය සොයා ඔවුන් මේ රටවලට පැමිණියේ එම අධ්‍යාපනය ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ නො තිබුණු හෙයිනි. මෙය ඉතා ම වැදගත් කරුණක්‌ බව අප වටහාගත යුතු ය. 10 වැනි ශත වර්ෂය වන විට යුරෝපයේ ශාස්‌ත්‍රීය දැනුම කඩාවැටී තිබුණු බව ද, අරාබි අධිරාජ්‍යය තුළ එය දියුණු තත්ත්වයක තිබුණු බව ද අප වටහාගත යුතු ය. මේ බව තේරුම් ගත් යුරෝපියයන් මේ දැනුම සොයා සිසිලියට, ගී්‍රසීයට, ස්‌පාඤ්ඤයට පැමිණියෝ ය. මේ රටවල ජීවත් වූ භාෂා කිහිපයක්‌ ප්‍රගුණ කොටගත් උගතුන් ගේ මාර්ගයෙන් අරාබි සහ ගී්‍රක භාෂාවෙන් ලියවී තිබූ විශාල සංඛ්‍යාවක්‌ වූ ශාස්‌ත්‍රීය ග්‍ර්‍රන්ථ ලතින් භාෂාවට පරිවර්තනය කරන ලදී.

මේ පරිවර්තනය විශාල වශයෙන් සිදු වූයේ ස්‌පාඤ්ඤයේ ටොලිඩෝ නගරයේ ප්‍රධාන දෙව් මැඳුරේ පුස්‌තකාලය තුළ ය. පරිවර්තන මධ්‍යස්‌ථානයක්‌ බවට එම දෙව් මැඳුර පත් විය. මේ මධ්‍යස්‌ථානයේ විශාල වශයෙන් සිදු වූයේ අරාබි භාෂාවෙන් ලියවී තිබූ පොත් ලතින් භාෂාවට පරිවර්තනය කිරීම විය. ඇල්පොන්සෝ රජු ගේ අනුග්‍රහය ලැබ ටොලිඩො නගරයේ මේ දෙව්මැඳුර පරිවර්තන මධ්‍යස්‌ථානයක්‌ ලෙස ලෝක ප්‍රකට විය. ජර්මනියෙන්, එංගලන්තයෙන්, නෙදර්ලන්තයෙන් උගත්තු අධ්‍යාපනය පිණිස මේ මධ්‍යස්‌ථානයට පැමිණියෝ ය. ඔවුහු මේ දැනුම රැගෙන ආපසු තම රටට ගෙන ගියෝ ය. අති මහත් වූ මේ දැනුම් සම්භාරය බටහිර යුරෝපයට සංක්‍රමණය වූයේ මේ ලෙසිනි.

මේ ලෙසින් පරිවර්තනය වූ වැදගත් පත පොත ගැන සඳහනක්‌ තැබීම අප ගේ සංවාදයට අදාළ විය හැකි ය. The Complete Book of Medical Art යන ආරාබි භාෂාවෙන් ලියවී තිබූ ග්‍රන්ථය ලතින් භාෂාවට පරිවර්තනය කරන ලද්දේ කොන්ස්‌ටන්ටීන් නමැත්තෙකි. අබොනාසි නැමැත්තකු විසින් හින්දු-අරාබි ඉලක්‌කම් පද්ධතිය ලතින් භාෂාවට පරිවර්තනය කරන ලදී. අල් අරාබි ගේ විද්‍යාත්මක වර්ග්‍රිකරණය, හුනායු ඉබ් ඊෂාක්‌ අල්ලහා ගේ තාරකා විද්‍යාව, අල් රාසි ගේ රසායන විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව මේ ලෙසින් පරිවර්තනය කරන ලද පොත්පත්වලින් ඉතා ස්‌වල්පයකි. මොවුන් සැවොම මුස්‌ලිම් ආගමිකයන් හෝ අරාබි ජාතිකයන් බව පැහැදිලි ය.

මේ කාලය තුළ දී චීනයේ ද විද්‍යාව බොහෝ සෙයින් දියුණු වි තිබිණි. ඔවුන් ගේ ප්‍රධාන ආගම වූයේ ඨාඔස්‌ සහ කොන්පිවර්සියස්‌ යන ධර්මයන් ය. මේ ආගම් නිසා විද්‍යාත්මක දියුණුවට බාධා පැමිණි බව ජෝශප් නිඩහම් විද්වතාණන් පෙන්වා දී ඇත. එම නිසා 16 සහ 17 වැනි ශත වර්ෂවල දී යුරෝපයේ ඇති වූ ශීඝ්‍ර විද්‍යාත්මක සහ තාක්‌ෂණික දියුණුව වැනි දෙයක්‌ චීනයේ සිදු නො වූ බව ඔහු පවසයි. මේ ගැන ඉදිරියේ දී සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙමි.

අරාබි අධිරාජ්‍යය තුළ ග්‍රන්ථාරූඪ වූ විද්‍යාව ඒ ලෙසින් බටහිර යුරෝපයට සංක්‍රමණය වීම 13 වැනි ශත වර්ෂය දක්‌වා ම පැවතිණි. මේ ලෙස ග්‍රන්ථාරුඪ වූ විද්‍යාවේ එල නෙළා ගත්තේ පසු කාලයක ජීවත් වූ විද්‍යාඥයන් වන කොපර්නිකස්‌, ගැලීලියෝ, නිව්ටන් වැනි අය වූ හ. 16 සහ 17 වැනි ශත වර්ෂ තුළ දී යුරෝපයේ සිදු වූ පුනරුදය නමැති විද්‍යා වර්ධනය සහ තාක්‌ෂණික දියුණුව සඳහා අවශ්‍ය වූ පසුබිම සැකසුණේ මේ ලෙස ය. කාලයක්‌ අන්ධකාර යුගයක පසු වූ බටහිර යුරෝපය එක සැණෙන් පුනරුදයක්‌ ළඟා කරගත්තේ ඔවුන් ගේ තිබූ විශේෂ දක්‌ෂතාවක්‌ නිසා බව පෙන්වීමට ඔවුන් පසුබට වන්නේ නැත. මේ ගැන නො දන්නා නලින් මහතා ද එය අනුමත කරන්නේ ය. විද්‍යාව බිහි වූයේ බටහිර බව නලින් මහතා පිළිගන්නේ ඔහු ගේ නොදැනුවත්කම නිසා ය.

15 වැනි ශත වර්ෂයේ විසූ නිකොලස්‌ කොපර්නිකස්‌ සූර්යයා වඨා පෘථිවිය ගමන් කරන බව පැවසුවේ ඊට පෙර මේ අදහස්‌ ඉන්දියාවේ ද, අරාබියේ ද තිබුණු බව දැනගෙන ය. ඉන්දියාවේ ද, අරාබියේ ද තිබුණු එම දැනුම ලියවී තිබුණු පොත්පත් ලතින් භාෂාවට පරිවර්තනය වී තිබුණාට සැක නැත. කොපර්නිකස්‌ ලතින් භාෂාව හොඳින් දැනගෙන සිටියේ ය. ඉන්දියාවේ ආර්යබාත් (476-550) සහ අරාබියේ කිහිප දෙනකු මෙවැනි අදහස්‌ ඔවුන් ගේ කෘතිවල සඳහන් කොට තිබිණි. අරාබියේ ඉබන් අල්-ශකිර් කොපර්නිකස්‌ ගේ ග්‍රහ චලනය පිළිබඳ මතවාදයට සමීපතම අදහස්‌ ඊට පෙර ඉදිරිපත් කොට තිබිණි. 16 වැනි ශත වර්ෂයේ විසූ ගැලීලියෝ කොපර්නිකස්‌ ගේ මතවාද ඔප්පු කිරීමට අවශ්‍ය සාක්‌ෂි සැපයීම කළේ දුරදක්‌නයේ වාසිය ඔහුට තිබූ නිසා ය. ඔහු එය පාවිච්චි කොට ග්‍ර්‍රහලෝක කිහිපයක්‌ සොයාගත්තේ ය. වස්‌තුවක්‌ පෘථිවිය මතට වැටීම පිළිබඳව ද ඔහු අදහස්‌ ඉදිරිපත් කළේ ය. මේ අදහස්‌ පසු කලක දී නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය වර්ධනය කරගැනීමට ද උපකාරී වූ බව කිව හැකි ය.

යුරෝපයේ විසූ ඩෙස්‌කාර්ට්‌ස්‌, එමානුවෙල් කාන්ට්‌, කාල් පොපර් වැනි දාර්ශනිකයන් විද්‍යාවේ ක්‍රමවේදය පාලනය කිරීම පිණිස නීතිරීති සහ මතවාද සම්පාදනය කළෝ ය. එනමුත් එම නීති රීති විද්‍යාවේ වර්ධනයට රුකුලක්‌ වූවා මිස විද්‍යාව වෙනත් ම`ගකට ගෙන ගියේ හෝ එහි පදනම වෙනස්‌ කළේ හෝ නැත. එහි පදනම වූයේ කවදත් කොතැනක්‌ තිබුණු විද්‍යාවේ පදනම වන ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි බව කිව යුතු ය. එම නීති රීති බොහෝ විට අවශ්‍ය වූයේ විද්‍යාත්මක පර්යේෂණවලට ඇති විය හැකි බාහිර බලපෑම් අවම කිරීම පිණිස ය.

වාත, පිත, කප්හ යන ආයුර්වේදයේ එන මතවාදයට අදාළ සාක්‌ෂි නොමැති බව මා පැවසූ විට (විදුසර - 05.03.2014) නලින් මහතා ඊට පිළිතුරු වශයෙන් කියන්නේ එම මතවාදය සෘෂිවරුන් ප්‍රත්‍යක්‌ෂ කරගත් දෙයක්‌ බවයි. (විදුසර 19.03.14). සෘෂිවරුන් ප්‍රත්‍යක්‌ෂ කරගත් පලියට යමක්‌ විශ්වාස කරන්නට බෞද්ධයන් වශයෙන් අපට පුළුවන්කමක්‌ නැත. ඒ සඳහා සාක්‌ෂි තිබිය යුතු ය. අඩු තරමින් ඒ "දැනුමෙන්" මිනිsසාට යම් සෙතක්‌ සැලසිය යුතු ය. වාත, පිත, කප්හ යන මතවාදයෙන් මිනිසාට හානියක්‌ මිස කිසි ම සහනයක්‌ ලැබී නැත. පිළිකා රෝගයෙන් පෙළෙන අසරණයන් මේ අන්ධ විශ්වාසය නිසා හරි ප්‍රතිකාරයක්‌ කර නො ගෙන ජීවිතක්‌ෂයට පත් වනවා අප දැක ඇත. ආයුර්වේදයේ එන මේ මතවාදය විස්‌තර කෙරෙන්නේ භාරතයේ විසූ සුශ්‍රැත නමැති වෛද්‍යවරයා ගේ කෘතියක්‌ වන "සුශ්‍රැත සංහිතා"වේ ය. වාත, පිත, කප්හ යන පද්ධතියේ ව්‍යහය ක්‍රියාකාරීත්වය රෝගයක්‌ හැදුණු විට එහි ඇති විය හැකි වෙනස ආදිය පිළිබඳව කිසිවක්‌ සොයාගෙන නැත. ආයුර්වේදයේ බෙහෙත් හේත් කෙරෙන්නේ ඉන්ද්‍රිය ගෝචර වූ රෝග ලක්‌ෂණවලට අනුව මිස වාත, පිත, කප්හ ගැන ඇති දැනුමක්‌ ප්‍රයෝජනයට ගෙන නො වේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ මතවාද පිළිගැනෙන්නේ ඊට අදාළ සාක්‌ෂි ඇත්නම් පමණි. එම නිසා එම මතවාද රෝග වැළකීම, විනිශ්චය සහ ප්‍රතිකාරය යන හැම අවස්‌ථාවක දී ම ප්‍රයෝජනයට ගත හැකි ය. ආයුර්වේදය සිංහල වෙදකම මේ නිසා අත්හැර දැමිය යුතු යෑයි මම නො කියමි. මේ විද්‍යාවන් තුළ ඇති වටිනා බෙහෙත් හේත් ක්‍රම පර්යේෂණයට භාජන කොට දියුණු කළ යුතු ය. "අනභ්‍යාසෙ විශම් ශාෂ්ත්‍රම් (අභ්‍යාසය නොමැති වීම ශාස්‌ත්‍රයට විෂ ය) යනුවෙන් බුදු බණේ සඳහන් වන්නේ මේ නිසා ය. ආයුර්වේදය සිංහල වෙදකම පිරිහීමට පත් වෙමින් ඇත්තේ මේ නිසා ය. ඒවා දියුණු කළ හැක්‌කේ කවදත් කොතැනත් තිබෙන විද්‍යාත්මක ක්‍රම භාවිත කොටගෙන ය. විද්‍යාව සිංහල වෙදකමට ගැලපෙන්නේ නැතැයි පැවසීම මෝඩකමකි. විද්‍යාව සාර්විකතාවය උරුම කරගත් ම`ගකි. එය සර්වභූමික මිනිසාට අයත් දෙයකි.

කාලාම සූත්‍රයේ මා වටහාගෙන නැත්තේ කුමක්‌ දැයි මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරක්‌ ලෙස නලින් මහතා සනත් නානායක්‌කාර ගේ "කාලාම සූත්‍රය සහ චින්තන නිදහස" යන කෘතියෙන් කොටසක්‌ උපුඨා දක්‌වයි. එම උපුඨා දක්‌වා ඇති කොටස කියවූ විට අපට පෙනී යන්නේ නානායක්‌කාර මහතා කාලාම සූත්‍රය වටහාගෙන නැති බව ය. බුදුදහම බුද්ධිවාදයක්‌ නො වූ පමණින් කාලාම සූත්‍රයේ කියවෙන උපදේශය වෙනස්‌ වන්නේ නැත. බුදුන් වහන්සේ තම භික්‌ෂුන්ට අවවාද කර ඇත්තේ තම ධර්මය පමණක්‌ නො ව තමන් වහන්සේ පවා දීර්ඝ කාලයක පරීක්‌ෂණයකට ලක්‌ කොට තමා රහතන් කෙනකු දැයි නිගමනය කළ යුතු බව ය. (විමාසක සූත්‍රය). මෙයින් පෙනී යන්නේ හැම දෙයක්‌ ම හොඳින් පරීක්‌ෂා කළ යුතු බව බුදුන් විශ්වාස කළ බවයි. බුදු දහම වෙනත් ආගම්වලින් වෙනස්‌ වන්නේ ද, උතුම් වන්නේ ද එහි තුළ ගූඪත්වයක්‌ නොමැති නිසා ය. මහායානයේ ඇති ගූඪත්වය බුදු දහම තුළට ඇතුළු කිරීමෙන් සිදු වන්නේ ඒ උතුම් බව නැති වීම ය.

නලින් මහතාට අනුව බුදුහු ද, රහත්හු ද පංචෙන්ද්‍රියට අමතරව මනස පමණක්‌ භාවිත කොට නොයෙක්‌ දේ ප්‍රත්‍යක්‌ෂ කොට ගනිති. මේ කියමන බුදුදහමේ මූලික සංකල්ප තේරුම් නො ගෙන කියන දෙයකි. මා සිතා සිටියේ අඩු තරමින් බුදුදහමේ මූලික සංකල්ප නලින් මහතා වටහාගෙන ඇත කියා ය. බුදුදහමේ සඳහන් ඉන්ද්‍රිය සයෙන් ක්‍රියාකාරිත්වයට අනුව මනස වෙන් කොට සැලකිය නොහැකි ය. අනෙකුත් ඉන්ද්‍රියයන් මෙන් මේ මනස ද කරන්නේ දොරටුවක්‌ (ආයතන) සැපයීම පමණි. අනෙකුත් ඉන්ද්‍රියයන් තුළ සේ ම මේ මනස තුළ ද සංඛාර, විඤ්ඤාණ ක්‍රියාදාමය සිදු නො වේ. එම නිසා යමක්‌ ප්‍රත්‍යක්‌ෂ කිරීමේ හැකියාව මනසට තිබිය නොහැකි ය. මනස නමැති දොරටුවෙන් ඇතුළු වන කෙළෙස්‌ සිතිවිලි ගැන බුදුන් දේශනා කොට ඇත. සයක්‌ වූ ඉන්ද්‍රියයන්ට (සළායතන) අයත් මනසින් යමක්‌ ප්‍රත්‍යක්‌ෂ කර ගත හැකි බව නලින් මහතා කියන ලෙස බ්‍රහමජාල හෝ වෙන සූත්‍රයක බුදුන් දේශනා කොට නැත. මා සිතා සිටියේ නලින් මහතා නො දන්නේ විද්‍යාව පමණක්‌ කියා ය. මේ දේවල් හරිහැටි වටහාගැනීමට මා නලින් මහතාට කියන්නේ මධුපිණ්‌ඩික සුත්ත (මඡ්ධිම නිකාය) පරිශීලනය කරන ලෙස ය. දැනුම ලබාගැනීමේ මාර්ගය අනුභූතිය (අත්දැකීම්) විය යුත්තේ මක්‌නිසා ද යන්න ඒ සූත්‍රයෙන් වටහාගත හැකි බව ද ඔහුට කියා දෙමි.

ආලෝකයේ වේගයෙන් 90%කට අඩු වේගයෙන් චලනය වන වස්‌තු සඳහා නිව්ටන් ගේ න්‍යාය භාවිත කළ හැකි බව මා සොයාගත්තේ කුමන පොත පතෙන් දැයි නලින් මහතා අසයි. නලින් මහතා නො දන්නවාට මේ විෂය ගැඹුරෙන් හදාරන අය මේ කරුණ දනිති. මගේ පෙර ලිපියක (විදුසර 26-02-14) සඳහන් වූ පොත්පත්වලින් නලින් මහතාට මේ පාඩම් ඉගෙන ගත හැකි ය. ඒවායින් කොටස්‌ උපුඨා ගෙන නලින් මහතා කරනවා සේ විදුසර පිටු නාස්‌ති කිරීම මා වැන්නන් නො කළ යුතු ය. ඕනෑ ම කෙනකුට ඉන්ටර්නෙට්‌ එකෙන් ඒවා බලා ගත හැකි ය. තව ද සාපේක්‌ෂතාවාදය පිළිබඳව කිසිවක්‌ මා නො දන්නේ යයි සිතා මා අමාරුවේ දැමීමට ඔහු ඇසූ ප්‍රශ්නයට හරි උත්තරය දුන් විට අමාරුවේ වැටුණු නලින් මහතා මගේ පිළිතුර සම්පූර්ණයෙන් වැරැදි බව පවසයි. මා ගේ පිළිතුර වූයේ සාපේක්‌ෂතාවාදය සමුද්දේශ රාමු මත පදනම් වී ඇති බව ය. තව ද විශේෂ සාපේක්‌ෂතාවාදයේ විශේෂ යන වචනය යෙදෙන්නේ එම වාදය වලංගු වන්නේ අවස්‌ථිති සමුද්දේශ රාමු (වෙනස්‌ නො වන වේගයකින් චලනය වන) සඳහා පමණක්‌ වූ නිසා බව මම කීවෙමි. එසේ ම අයින්ස්‌ටයින්ට අවශ්‍ය වූයේ අනෙකුත් සමුද්දේශ රාමු සහ ගැරුත්වාකර්ෂණීය ප්‍රත්‍යයන් ද ආවරණය වන පරිදි පොදු මත වාදයක්‌ ගොඩනැ`ග්‍රිමට ය. ප්‍රතිඵලය වූයේ සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය විය. තව ද ආලෝකයේ වේගයට කිට්‌ටු වන විට කාලය සහා අවකාශය නිරීක්‌ෂකයාට සාපේක්‌ෂව වෙනසකට භාජන වන බව සොයාගෙන තිබිණි. මෙතැන දී කාලය සහ අවකාශය වෙන් වෙන් ව සැලකිය නොහැකි නිසා අවකාශ-කාලය නමින් නව සංකල්පයක්‌ ගොඩනැ`ගිණි. විශේෂ සාපේක්‌ෂතාවාදය තුළ අවකාශ-කාලය පැතලි වූයේ එය ගුරුත්වාකර්ෂණය සැලකිල්ලට නො ගත් නිසා ය. එහෙත් සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය ගුරුත්වාකර්ෂණීය පත්‍යයන් ද සැලකිල්ලට ගන්නා නිසා එහි දී අවකාශ-කාලය වක්‍රතාවයක්‌ ආරූඪ කරගනී. තව ද සාපේක්‌ෂතාවාද ගණිතමය මොඩලයන් බව ද එනමුත් ඒවා ඉතා සාර්ථකව ප්‍රායෝගිකව යොදාගත හැකි බව ද කිව හැකි ය. අවකාශ-කාල සංකල්පය ද ගණිතමය මොඩලයක්‌ ලෙස ඉදිරිපත් වේ. මේ දේවල් නලින් මහතා නො දනී. එම නිසා මගේ පිළිතුරේ අඩංගු වූ ඉහත සඳහන් කරුණු බොරු බව ඔහු පවසයි. ඔහු නො දන්නවාට අද දින මේ විෂය හදාරන හැම දෙනෙක්‌ ම මේ මුලික කරුණු දැන සිටිය යුතු ය. අයින්ස්‌ටයින් විද්වතාණන් මේ මතවාද ඉදිරිපත් කළ කාලයේ ඒවාට අදාළ සක්ෂි තිබුණේ නැත. එහෙත් දැන් ඒවා ඔප්පු වී හමාර ය. නලින් මහතා මගේ පිළිතුර වැරැදි යයි කියන්නේ ඔහු තාමත් ජීවත් වන්නේ ඒ සාක්‌ෂි නො තිබුණු කාලයේ බැවිනි. මේ කරුණු මා ලබාගත්තේ ඉහත සඳහන් පොත පතිනි. නලින් මහතා ගේ යල් පැනපු දැනුම නවීකරණය කරගැනීමට ඒ පත පොත කියවන මෙන් අවවාද කරමි. ඊට පෙර සිතේ ඇති මිථ්‍යා මත සහ අත්මවාදයට තුඩු දෙන මමත්වය ඉවත් කොට පිරිසිදු විය යුතු ය. මගේ මමත්වය ගැන ඔහු සඳහන් කොට ඇත. මගේ මමත්වය රැක ගැනීමට මම ඇත්ත පවසමි. නලින් මහතා ඔහු ගේ මමත්වය වඩවන්නට කොපර්නිකස්‌, ගැලීලියෝ, නිව්ටන්, අයින්ස්‌ටයින් වැනි මහා ප්‍රාඥයන් තමා ඉදිරියේ පොඩ්ඩන් බවට පත් කිරීමට බොරු ගොතයි. මෙයයි මමත්වයේ වෙනස. බලාපොරොත්තු වූවත් ඉතින් කෙසේ නිවන් දකින්න ද?

මහාචාර්ය
එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc