logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
වා පිත් සෙම්
ප්‍රවාද නො ව ප්‍රත්‍යක්‍ෂ වෙයි


මමත්වය තුනී කිරීම සඳහා සැම සතියක ම තම ඩී. එස්‌.සී උපාධිය ගැන සඳහන් කරන සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මාර්තු 12 වැනි දා ලිපියෙන් මට අභියෝගයක්‌ කර ඇත. "වෛද්‍ය විද්‍යාලවල (මේ පීඨ විය යුතු ය. සංකල්ප ගැන කිසි ම තැකීමක්‌ නැති අමරතුංග මහතා තවමත් ජීවත් වන්නේ කොළඹ වෛද්‍ය විද්‍යාලය ලංකා විශ්වවිද්‍යාලයයේ පීඨයක්‌ බවට පත් වීමට පෙර වූ යුගයේ ය) සිසුන් හා ආචාර්ය මහාචාර්යවරුන් ගේ අධ්‍යාපනය පිණිස වකුගඩු රෝගය පිළිබඳ ව නලින් මහතා දේශන පැවැත්විය යුතු" යෑයි ඒ මහතා කියයි. මම ඒ අභියෝගය පිළිගනිමි. කරුණාකර ඒ සඳහා දේශනයක්‌ හෝ දේශන කිහිපයක්‌ හෝ පේරාදෙණියෙහි හෝ වෙනත් විශ්වවිද්‍යාලයක හෝ වෛද්‍ය පීඨයක (දන්ත වෛද්‍ය පීඨයෙහි වුව ද කම් නැත) සංවිධානය කරන්න.

ඒ මහතා සාපේක්‍ෂතාවාදය ගැන කියන 90% කතාව වැරැදි ය. විශේෂ සාපේක්‍ෂතාවාදයේ ඒ සම්බන්ධ වැදගත් සාධකය වනුයේ (1-v2/c2)1/2 යන්න ය. මෙහි ඩ යනු යම් රාමුවකට සාපේක්‍ෂව අංශුවක හෝ වස්‌තුවක හෝ ප්‍රවේගය ද ජ යනු ආලෝකයේ ප්‍රවේගය ද වෙයි.

v = 0.9c (එනම් 90%) ලෙස ගත හොත් ඒ සාධකය ආසන්න වශයෙන් 0.44ක්‌ වෙයි. එය එතරම් කුඩා සංඛ්‍යාවක්‌ නො වේ. විශේෂ සාපේක්‍ෂතාවාදය වැදගත් වන්නේ ආලෝකයේ වේගයට ඉතා ආසන්න වශයෙන් චලනය වන අංශු හෝ වස්‌තු හෝ සඳහා ය. ඩලජ කරා ළඟා වන විට ඉහත සඳහන් සාධකය ශූන්‍යය කරා ළඟා වෙයි. අමරතුංග මහතා තමා මේ කරුණ ලබාගත් පොතෙහි ඡේදය උපුටා දක්‌වන්නේ ද? නැත හොත් එය අසා දැනගත්තේ කවරකු ගෙන් දැයි පවසන්නේ ද? විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි දී අවස්‌ථිති සමුද්දේශ රාමු පවතින්නේ යෑයි විශ්වාස කෙරෙයි. බටහිර විද්‍යාඥයන්ට ගුරුත්වාකර්ෂණ බලයක්‌ ගැන සඳහන් කිරීමට සිදු වී ඇත්තේ නිරීක්‍ෂකයන් එවැනි අවස්‌ථිති සමුද්දේශ රාමු පවතින්නේ යෑයි විශ්වාස කරන බැවිනි. අවස්‌ථිති සමුද්දේශ රාමුවකට සාපේක්‍ෂව වස්‌තු පොළොවට වැටීම තේරුම් කෙරෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය යොදාගැනීමෙනි. එහෙත් සාධාරණ සාපේක්‍ෂතාවාදයට අනුව අවස්‌ථිති සමුද්දේශ රාමු නැත. අවස්‌ථිති සමුද්දේශ රාමු ගුරුත්වාකර්ෂණය මෙන් ම පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. ඒ රාමු මාක්‌ ගේ දැඩි විවේචනයට හසු විය. තරුණ අයින්ස්‌ටයින්ට මාක්‌ ගේ ආභාසය වැදගත් විය. අයින්ස්‌ටයින්ට අවස්‌ථිති සමුද්දේශ රාමු බටහිර භෞතික විද්‍යාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය විය. එහි ප්‍රතිඵලය වූයේ සාධාරණ සාපේක්‍ෂතාවාදය ය.

අපි දැන් අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක්‌ දැයි දැනගනිමු. "අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාදය රඳා පවතින්නේ සමුද්දේශ රාමු මත යෑයි කීවාට වරදක්‌ නැත. ඔහු ගේ විශේෂ සාපේක්‌ෂතාවාදයේ විශේෂ යන වචනය යෙදෙන්නේ එය වලංගු වන්නේ අවස්‌ථිති සමුද්දේශ රාමුවට පමණක්‌ වන හෙයිනි. ඒ විද්වතාණන්ට අවශ්‍ය වූයේ අනෙකුත් නැත හොත් සාමාන්‍ය සමුද්දේශ රාමු සහ ගුරුත්වාකර්ෂණීය ප්‍රයත්නයන් ද ආවරණය වන පරිදි එක්‌ පොදු මතවාදයක්‌ ගොඩනැ`ගීමට ය. මේ මතවාද එකතු කරනවා යන්නේ තේරුම එය ය. ප්‍රතිඵලය වූයේ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය බිහි වීම ය. මේ සඳහා ඔහු ගුරුත්වාකර්ෂණය සිදු වන්නේ අවකාශ-කාල වක්‍රතාව නිසා යෑයි නව අදහසක්‌ ඉදිරිපත් කළේ ය."

මෙය සම්පූර්ණයෙන් ම වැරැදි අදහසකි. මෙහි දී ද අමරතුංග මහතා තමා ඒ ලබාගත් පොතෙහි අදාළ ඡේදය උපුටා දක්‌වන්නේ ද? නැත හොත් තමා ඒ බව දැනගත්තේ කාගෙන් දැයි පවසන්නේ ද? ගුරුත්වාකර්ෂණය යන ප්‍රවාදය අවශ්‍ය වන්නේ නිරීක්‍ෂකයා තමා නිරීක්‍ෂණය කරන්නේ අවස්‌ථි සමුද්දේශ රාමුවක ය යන වැරැදි උපකල්පනය නිසා ය. වස්‌තු පොළොවට වැටෙන්නේ (හා වෙනත් එවැනි සංසිද්ධි ඇති වන්නේ) ගුරුත්වාකර්ෂණය නිසා බවට නිවුටන් පට්‌ටපල් බොරු කතාවක්‌ නිර්මාණය කළේ ඒ වැරැදි උපකල්පනය නිසා ය. අවස්‌ථිති සමුද්දේශ රාමු බටහිර භෞතික විද්‍යාවෙන් ඉවත් කළ විට වස්‌තු පොළොවට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා ය යන පට්‌ටපල් බොරුව අවශ්‍ය නො වේ. එවිට ගුරුත්වාකර්ෂණය එකතු කිරීම යන ප්‍රශ්නය පැන නො න`ගී. අමරතුංග මහතා ගේ ප්‍රශ්නය ඔහු වස්‌තු පොළොවට වැටීම හා ගුරුත්වාකර්ෂණය අතර සම්බන්ධයක්‌ දැකීම ය.

වස්‌තු පොළොවට වැටීම පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකි. (ප්‍රත්‍යක්‍ෂ ද බොරු බව මා මාර්තු 12 ලිපියෙහි සඳහන් කළ ද්වයතානුපස්‌සනා සූත්‍රයෙහි ගාථාවෙන් පැහැදිලි වෙයි). මේ ප්‍රත්‍යක්‍ෂය තේරුම්ගැනීම සඳහා යෑයි කියමින් බටහිර භෞතික විද්‍යාඥයෝ පට්‌ටපල් බොරු කතා ගොතති. ඒ කතා පංචෙන්ද්‍රිය ගෝචර වත් නො වේ. ගුරුත්වාකර්ෂණය යනු වස්‌තු පොළොවට වැටෙන්නේ ඇයි දැයි තේරුම් ගැනීම සඳහා ගොතා ඇති එක්‌ පට්‌ටපල් බොරුවක්‌ පමණකි. අයින්ස්‌ටයින් කියා සිටියේ වස්‌තු පොළොවට වැටෙන්නේ අවකාශ කාල වක්‍රතාව නිසා බව ය. (එය ද පට්‌ටපල් බොරුවකි). ඔහු කිසි දිනෙක ගුරුත්වාකර්ෂණය සිදු වන්නේ අවකාශ කාල වක්‍රතාව නිසා යෑයි කියා නැත. අයින්ස්‌ටයින් එසේ කී බව ජනප්‍රිය ලේඛකයකු සඳහන් කර ඇත්නම් අමරතුංග මහතා අදාළ ඡේදය උපුටා දක්‌වන්නේ ද? වස්‌තු පොළොවට වැටීම හා ගුරුත්වාකර්ෂණය යනු එකක්‌ නො වේ. පළමුවැන්න පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකි. දෙවැන්න එය තේරුම් කිරීමට යෑයි කියමින් නිවුටන් ගෙතූ පට්‌ටපල් බොරුවකි. අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යෑයි මා තව ම ඔප්පු කර නැත. ඒ මහතා ඔප්පු කිරීම යන්නෙන් කුමක්‌ අදහස්‌ කරන්නේ දැයි නො දනිමි. එහෙත් 2013 දෙසැම්බර් ගැලීලියෝ බොරු කීවේ මැයෙන් ලියූ ලිපියෙන් පටන්ගෙන ලිපි කිහිපයක ම බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු බව මා පෙන්වා දී ඇත. එහෙත් අමරතුංග මහතාට කෙසේ වෙතත් අනෙක්‌ පාඨකයන්ට ප්‍රයෝජනවත් වේ ය යන අරමුණෙන් එය නැවතත් පැවසීමට අමරතුංග මහතා මාර්තු 5 වැනි දා සිංහල වෙදකම හා ආයුර්වේදය ගැන ලියා ඇති දෙයින් අවස්‌ථාවක්‌ උදා වී ඇත.

එහෙත් එයට පළමුව කාලාම සූත්‍රය ගැන කිව යුත්තේ තමාට ඒ සූත්‍රය නො තේරී ඇති බවට මා සාක්‍ෂි ඉදිරිපත් කර නැතැයි අමරතුංග මහතා පවසන බැවිනි. මාර්තු 5 වැනි දා ඒ මහතා මෙසේ කියයි. "තව ද කාලාම සූත්‍රයේ ද ලිච්ඡවි රජ දරුවන්ට කළ දේශනාවල ද උන්වහන්සේ පැවසුවේ තමන් පැහැදිලි ලෙස වටහා නො ගෙන කවුරුන් හෝ කී පලියට කිසිවක්‌ නො පිළිගන්නා ලෙස ය. මෙය මා වටහා නො ගෙන ඇති බවක්‌ නලින් මහතා කියයි. එහෙත් මා වටහා නො ගෙන ඇත්තේ ඒ සූත්‍රයේ කොතැන දැයි ඔහු නො කියයි." කලාම සූත්‍රය දීර්ඝ වශයෙන් උපුටා දක්‌වා මෙයට පිළිතුරක්‌ සැපයිය යුතු ව ඇති නමුත් දැනට සනත් නානායක්‌කාර මහතා ලියා පළ කර ඇති කාලාම සූත්‍රය හා චින්තන නිදහස යන කෘතියේ 41 වැනි පිටුවේ පහත සඳහන් ඡේදය පමණක්‌ උපුටා දක්‌වමි. "කාලාම සූත්‍රයෙන් ඉදිරිපත් කෙරෙන උපදේශය වරදවා තේරුම් ගැනීමට හේතු වුණු තවත් වැදගත් කාරණයක්‌ වෙයි. එනම්, බුදුන් වහන්සේ සත්‍යාවබෝධය පිණිස තර්කනය, විග්‍රහය, ආදිය ම උපායාමාර්ග වශයෙන් යොදාගත් ශාස්‌තෘවරයාණන් වහන්සේ කෙනෙක්‌ ය, බුදුදහම ඒකාන්ත වශයෙන් තර්කනය හා විග්‍රහය මත පදනම් වූ විද්‍යානුකූල දහමක්‌ ය, බුද්ධිවාදයක්‌ ය, යන විශ්වාසයන් බොහෝ බෞද්ධයන් තුළ මුල් බැසගෙන තිබීම ය." මෙහි මා එකඟ නො වන්නේ බොහෝ බෞද්ධයන් යන යෙදුමට පමණ ය. එය බොහෝ ඊනියා උගත් බෞද්ධයන් යෑයි සඳහන් වී නම් මැනවි.

වෙදකම ගැන අමරතුංග මහතා ඒ ලිපියෙහි ම මෙසේ කියයි. "කොතැනත් කවදත් තිබුණේ එක ම විද්‍යාව වන්නේ විද්‍යාවේ පදනම සැමට පොදු වූ ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි වන නිසා ය. මෙය වටහාගත නොහැකි ව නලින් මහතා බටහිර වෛද්‍ය විද්‍යාව ආයුර්වේදය සහ සිංහල වෙදකම අතර වෙනසක්‌ නැති දැයි අසයි. (විදුසර 26-02-2014). මේ ක්‍රම තුනේ ම පදනම ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි වන්නේ ය. එය නැති තැන ඇත්තේ මිථ්‍යාව ය. යම්කිසි රෝගයකට ප්‍රතිකාරයක්‌ හෝ බෙහෙතක්‌ හෝ සුදුසු බව සොයාගන්නේ එය අත්හදාබැලීමෙන් ය. රෝගීන් වැඩි ප්‍රමාණයක්‌ සුව කළ හැකි බෙහෙතක්‌ ඇතොත් එය සාක්‌ෂි ලෙස පිළිගැනේ. රෝගකාරකය සොයාගන්නේ ද රෝග විනිශ්චය සිදු වන්නේ ද මේ ලෙස ම ය. සිංහල වෙදකමේ ද ආයුර්වේදයේ ද මේ ක්‍රමය හැර වෙන ක්‍රමයක්‌ නැත. සිංහල වෙද මහතා තම දැනුම ලබාගත්තේ අත්දැකීමෙන් ය. ආයුර්වේද වෛද්‍යවරයා ද කළේ එය ම ය. මොවුන් රෝග පිළිබඳ තම අදහස්‌ තුළින් මතවාද ඉදිරිපත් කළ අවස්‌ථා ද නැත්තේ ම නො වේ. උදාහරණයක්‌ වශයෙන් ආයුර්වේදයට අනුව රෝග හටගැනෙන්නේ වාත පිත කප්හ යන පද්ධතියේ සමබරතාව බිඳුණු විට ය. එහෙත් අද වන තෙක්‌ මේ පද්ධතියේ ඇත්ත ස්‌වභාවය සොයාගෙන නැත. ආයුර්වේද බෙහෙත්වලින් නොයෙකුත් රෝග සුව කළ හැකි ය. එහෙත් එය සිදු වන්නේ අත්දැකීම්වලින් ලබාගත් සාක්‌ෂි මත පිහිටා ප්‍රතිකාර කිරීමෙන් මිස වාත පිත කප්හ පද්ධතිය ගැන ඇති දැනුමක්‌ නිසා නො වේ. ආයුර්වේදයේ ද සිංහල වෙදකමේ ද තිබිය හැකි අනෙකුත් මතවාද පිළිබඳව ද කිව හැක්‌කේ ඒවා පිළිගැනීමට සාක්‌ෂි නොමැති බව ය. මේ අතින් බටහිර වෛද්‍ය විද්‍යාව ඉදිරියෙන් සිටින්නේ ඔවුන් ගේ මතවාද පිළිබඳව ගැඹුරෙන් පර්යේෂණ කොට අවශ්‍ය සාක්‌ෂි සොයෑගැනීමට වෙහෙසෙන නිසා ය.

කළ යුතු ව ඇත්තේ සාක්‌ෂි නොමැති වාත, පිත, සෙම වැනි අදහස්‌ අතහැර ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ පාවිච්චි කරන බෙහෙත්වල අඩංගු රෝගයට නිශ්චිත ව පහර දෙන රසායනික ද්‍රව්‍ය කුමක්‌ දැයි සොයාගැනීමට පර්යේෂණ විධිමත් ලෙස කිරීම ය. මේ පර්යේෂණ සඳහා විද්‍යාත්මක ක්‍රම සහ තාක්‌ෂණය යොදාගත යුතු ය. පුරාණ ඉන්දියාවේ ද වෛද්‍ය තාක්‌ෂණය වර්ධනය විය. සුශ්‍රැත (ක්‍රි.පූ.4 වැනි ශ.ව) නමැති භාරතයේ විසූ ශල්‍ය වෛද්‍යවරයා විසින් නිර්මාණය කරන ලද විකෘති වූ නාසය ප්‍රතිසංස්‌කරණය කරන ක්‍රමය අද පවා යුරෝපයේ භාවිත වන බව කිව යුතු ව ඇත. එම වෛද්‍යවරයා විසින් ලියන ලද "සුශ්‍රැත සංහිතා" නමැති ග්‍රන්ථයේ විස්‌තර වන වෛද්‍ය විශේෂඥ අංශ, ශරීරයේ කොටස්‌ සහ ක්‍රියාවන්, වෛද්‍යවරුන් පුහුණු කිරීම් වැනි දේ අද බටහිර වෛද්‍ය විද්‍යාවේ එම දේවලට සමාන ය. ලක්‌දිව පොළොන්නරු යුගයේ (අලහර පිරිවෙන ආශ්‍රිත) (මෙය ආලාහන පිරිවෙන විය යුතු ය) පැවැති ශල්‍ය වෛද්‍ය ක්‍රමය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක්‌ කර ඇති ශල්‍ය වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේ මහතා පවසන්නේ එකල ලක්‌දිව ශල්‍ය කර්ම සහ අද බටහිර ශල්‍ය කර්ම අතර වෙනසකට ඇත්තේ තාක්‌ෂණය පමණක්‌ බව ය. එකල අප ගේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම සහ අද බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම අතර සැලකිය යුතු වෙනසක්‌ නැත."

පරස්‌පරවලින් පිරුණු ඉහත සඳහන් උද්ධෘත අනුව අපේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම හා බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම අතර සැලකිය යුතු වෙනසක්‌ නැත. සිංහල වෙදකමේ ද ආයුර්වේදයේ ද දැනුම ලබාගෙන ඇත්තේ අත්දැකීමෙන් ය. එහෙත් ආයුර්වේදයේ ඇති වා, පිත්, සෙම් සංකල්ප ආශ්‍රිත දැනුම (එනම් මූලධර්ම) බොරු ය. ඒ පිළිගැනීමට සාක්‍ෂි නැත. මේ සාක්‍ෂි යනු කවරේ ද? ආයුර්වේදයේ මෙන් ම සිංහල වෙදකමේ ද ආවේණික වූ ශාස්‌ත්‍ර ඇත. ඒ බටහිර වෙදකමේ ප්‍රවාදවලින් වෙනස්‌ බව පමණක්‌ නො ව බොරු බව ද අමරතුංග මහතා කියයි. පැහැදිලිව ම බටහිර වෙදකම සිංහල වෙදකමේ වර්ධනයක්‌ නො වන බව අමරතුංග මහතා කියයි. බටහිර වෛද්‍ය විද්‍යාව බොරුවල වර්ධනයක්‌ යෑයි අමරතුංග මහතා කියන්නේ යෑයි අපි නො සිතමු. එසේ නම් එක ම වෛද්‍ය විද්‍යාවක්‌ පමණක්‌ ඇතැයි කීම අමරතුංග මහතාට අනුව ද පට්‌ටපල් බොරුවකි. මෙහි ඇත්තේ පංචෙන්ද්‍රිය හා ෂඩෙන්ද්‍රිය අත්දැකීම් අතර වූ වෙනසකි. ආයුර්වේදයේ ද, සිංහල වෙදකමේ ද රෝග විනිශ්චයේ දී ද ප්‍රතිකාරයේ දී ද මනස ද වෙන ම ඉන්ද්‍රියක්‌ ලෙස ගැනෙයි. පංචෙන්ද්‍රිය අත්දැකීම් යනු ඉන්ද්‍රිය පහ මනස සමග එකතු වීමෙන් ලැබෙන අත්දැකීම් ය. ඒ පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ය. බටහිර විද්‍යාවට ඇත්තේ පංචෙන්ද්‍රිය අත්දැකීම් ය, ප්‍රත්‍යක්‍ෂ ය. බුදුන් වහන්සේ ගේ හා රහතන්වහන්සේ ගේ ප්‍රත්‍යක්‍ෂ වෙනස්‌ ය. මම මාර්තු 5 වැනි දා ලිපියෙන් බ්‍රහ්මජාල සූත්‍රයෙහි කියෑවෙන බුදුන්වහන්සේ ගේ ප්‍රත්‍යක්‍ෂය ගැන සඳහන් කළෙමි. අමරතුංග මහතාට කෙසේ වෙතත් අප බොහෝ දෙනකුට නිවන පසක්‌ කිරීමේ අරමුණ වෙයි. රහත් භාවයට පත් නො වුණ ද, මනස සමග එකතු වී ලැබෙන පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂවලට අමතර ව පංචෙන්ද්‍රිය නොමැති ව මනසින් පමණක්‌ ලබාගන්නා අත්දැකීම්, ප්‍රත්‍යක්‍ෂ ද වෙයි. පැරැණි සෘෂිවරුන් වා, පිත්, සෙම් වැනි සංකල්ප ආශ්‍රිත අත්දැකීම් ලබාගෙන ඇත්තේ එලෙස පංචෙන්ද්‍රියයන් ගෙන් තොර ව මනසින් ය. ඔවුහු ඒ මනසින් දුටුවෝ ය. මේ ප්‍රත්‍යක්‍ෂ බටහිර විද්‍යාවට නැත. එබැවින් වා පිත් සෙම් බටහිර දන්ත වෛද්‍යවරුන්ට ද නැත. බටහිර විද්‍යාවට මනසින් පමණක්‌ ලබාගන්නා ප්‍රත්‍යක්‍ෂ නොමැති බැවින් පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් විස්‌තර කිරීමට පට්‌ටපල් බොරු කතන්දර ගෙතීමට සිදු වී ඇත. ගැලීලියෝ ද, නිවුටන් ද, අයින්ස්‌ටයින් ද කළේ පට්‌ටපල් බොරු ගෙතීම ය. ඔවුන්ට වෙනත් විකල්පයක්‌ නො වූයේ ඔවුන් ආධ්‍යාත්මික දියුණුවක්‌ අත් කරගත් සෘෂිවරුන් (දකින්නන්) නො වූ බැවිනි.

නලින් ද සිල්වා