logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
අමරතුංග ගේ පරස්‌පර කිහිපයක්‌

ඩී. එස්‌ සී. උපාධිධාරී සේවාර්ජිත මහාචාර්ය අශෝක අමරතුංග මහතා ඇතැම් කරුණු එක්‌කෝ අසා ඇත. නැත්නම් ජනප්‍රිය පොතපතින් හෝ අතනින් මෙතනින් කියවා ඇත. එහෙත් ඔහු මෙරට බොහෝ වෙනත් මහාචාර්යවරුන් ඇතුළු උගතුන් මෙන් ම කිසිවක්‌ කිසි ම ගැඹුරකින් තේරුම් ගෙන නැත. ඔහුට ඇත්තේ මතුපිට දැනුමක්‌ පමණකි. ඒ මහතා ගේ අනෙක්‌ ලිපි මෙන් ම මාර්තු 5 වැනි දා ලිපිය ද පරස්‌පරවලින් ගහණ ය. තමා බෝධිසත්ත්ව චරිත නො පිළිගන්නා බවක්‌ ඒ මහතා කියන්නේ ද? මා මේ ලිපියෙන් කීමට බලාපොරොත්තු වූයේ සුත්ත නිපාතයෙහි ද්වයතානුපස්‌සනා සූත්‍රය උපයෝගී කරගනිමින් බුදුන්වහන්සේ ඊනියා සත්‍ය නාමරූප මුසාවක්‌ බව දේශනා කර ඇති අන්දම ය. (එම සූත්‍රය ගැන මගේ අවධානය යොමු කළ මගේ මිතුරකුට කෘතඥතාව පළ කරමි). එහෙත් එයට ඉඩක්‌ නො ලැබෙන්නේ අමරතුංග මහතා ගේ මාර්තු 5 වැනි දා ලිපියෙහි පරස්‌පර කිහිපයක්‌ පෙන්වීම පමා කළ නොහැකි බැවිනි. කෙසේ වුවත් අදාළ ගාථාවේ පරිවර්තනයක්‌ පමණක්‌ මෙහි දී සඳහන් කරමි. පසුව එය තේරුම් කර දීමට බලාපොරොත්තු වෙමි. පසුගිය සතියේ ඉදිරිපත් කළ ගාථාව දීඝ නිකායෙන් බව කරුණාවෙන් සලකන්න. පිටු අංක බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයෙනි.

"මහණෙනි, යම් නාම රූපයෙක්‌ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකය විසින් ද ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විසින් (ධ්‍රැව ශුභ සුඛ ආත්ම වශයෙන්) මේ සත්‍යය යි දක්‌නා ලද නම්, ඒ නාමරූප බුද්ධාදී ආර්යයන් විසින් තෙල මෘෂායෙකැ යි සම්‍යක්‌ ප්‍රඥාවෙන් යථාභූත කොට දක්‌නා ලද ය යන මෙ එක්‌ අනුපස්‌සනායෙක. මහණෙනි, යම් නිර්වාණයක්‌ සදෙවක... දෙව්මිනිසුන් ඇතුළු ප්‍රජාව විසින් තෙල මෘෂායෙකැ දක්‌නා ලද නම්, ඒ නිවණ ආර්යයන් විසින් තෙල නිවණ සත්‍යය යි යථාභූත කොට සම්‍යක්‌ ප්‍රඥායෙන් මොනවට දක්‌නා ලද ය යන මෙ දෙවන අනුපස්‌සනා යි" (බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තන සංයුක්‌ත නිකාය සුත්ත නිපාතය ද්වයතානුපස්‌සනා සූත්‍රය (237 පිටුව) 758 ගථාව).

අමරතුංග මහතා ගේ මාර්තු 5 වැනි දා ලිපියෙහි පරස්‌පර ගැන සඳහන් කිරීමට පළමුව කිව යුත්තක්‌ වෙයි. මගේ මමත්වයක්‌ ගැන ඒ මහතා සඳහන් කරයි. සෝවාන් වී වත් නොමැති මට යම් මමත්වයක්‌ ඇත. එසේ නො වන්නට මා මේ ලිපි කිසිවක්‌ නො ලියනු ඇත. සසර සැරිසරන අප සියලු දෙනාට ම අඩු වැඩි වශයෙන් මමත්වය වෙයි. අමරතුංග මහතා ගුණදාස අමරසේකර, මාර්ටින් වික්‍රමසිංහ ආදී උගතුන් අනුව යමින් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වූ පුනබ්භවයක්‌ විශ්වාස නො කරන්නේ දැයි නො දනිමි. මා අමරසේකර හා වික්‍රමසිංහ මහත්වරුන් ගැන සඳහන් කරන්නේ අමරතුංග මහතා ඔවුන් ගේ අච්චාරු චින්තන පරම්පරාවේ යෑයි මා විශ්වාස කරන බැවිනි. එහෙත් මා දන්නා බුදුදහමට අනුව අමරතුංග මහතා ද මමත්වය සහිත සසර සැරිසරන සත්ත්වයෙකි. ඔහු ද මෙතරම් වෙහෙසක්‌ ගෙන අසංගත වුවත් ලිපි ලියන්නේ එබැවිනි.

මම යුද්ධයක්‌ ගැන කිසි දාක කියා නොමැත්තෙමි. අපට කොටින් සමග යුද්ධයක්‌ නො තිබිණි. යුද්ධය යන්න බටහිරයන් හා ඔවුන් ගේ මෙරට ගෝලබාලයන් විසින් යොදාගන්නා ලද පට්‌ටපල් බෙරු සංකල්පයක්‌ පමණකි. බටහිරයෝ කිසි දිනෙක ලංකාවේ හමුදාව ජ.වි.පෙ. සමග යුද්ධයක්‌ කළ බව නො පැවසූ හ. අවිගත් කොටින්ට විරුද්ධව ද අපේ හමුදා යුද්ධයක්‌ කළේ නැත. හමුදාව කොටින් හමුදා ක්‍රියාමාර්ගවලින් පරාජය කළා පමණකි. එය හමුදාවේ කාර්යභාරය වෙයි. අප යුද්ධය ගැන සංකල්පය යොදාගන්නා බැවින් බටහිරයන්ට ඊනියා පශ්චාත් යුද සංහිඳියාවක්‌ ගැන කතා කිරීමට අවස්‌ථාව ලැබී ඇත. සංකල්පීය නිරවුල් බව ගැන හැඟීමක්‌ නැති අමරතුංග මහතාට එයින් වැඩක්‌ නැත. අප තවමත් සංකල්පීය නිරවුල් බවකින් ලෝකයට දෙමළ ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත්තේ ඊනියා ජාතිකවාදීන් ද බටහිර සංකල්ප හා දැනුම මත පදනම් වන බැවිනි.

මා අවුරුදු විසි පහකට අධික කාලයක්‌ කියා සිටියේ හමුදාවට හමුදා ක්‍රියාමාර්ගවලින් කොටින් පරාජය කිරීමට හැකි බවත් එය කළ යුතු බවත් ය. මා කාට වත් පළමුව එසේ කී බව සඳහන් කිරීමෙන් මගේ මමත්වය පෙන්නුම් නො කෙරෙයි. අමරතුංග මහතා තමා ඩී. එස්‌. සී. උපාධිධාරියකු බව සතිපතා කියන්නේ ඒ මහතා මමත්වය නැති කිරීමට ඔන්න මෙන්න කියා ඇති බැවින් ද? කෙසේ වෙතත් මා කර ඇති දෙයක්‌ කීමට මම නො පැකිළෙමි. මා දන්නා කරුණක්‌ වෙයි. එනම් මෙරට උගතුන් යෑයි කියාගන්නා අය මා කර ඇති දෙයක්‌ පවසන්නේ එයින් මට අපකීර්තියක්‌ කිරීමේ අරමුණෙන් බව ය. අමරතුංග මහතා ආසනික්‌ කතාව හා මනස පිළිබඳ කතාව කියන්නේ ඒ අරමුණෙන් ය.

අමරතුංග මහතා කෙසේ කීව ද ආසනික්‌ පිළිබඳ ව පළමුවෙන් කරුණු අනාවරණය කළේ මා යෑයි මා කිසි දිනෙක කියා නැත. මා සැම විට ම කියා ඇත්තේ ආසනික්‌ කතාව පළමුව හෙළිදරවු කළේ නාථ දෙවියන් (හා විපස්‌සක දෙවියන්) බවත් අප, එනම් කැලණිය කණ්‌ඩායම, එය දැනගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මිය ගෙන් බවත් ය. මේ නාථ දෙවියන් මතු බුදු වන මෛත්‍රිය බුදුන්වහන්සේ නො වන බවත් මා සඳහන් කර ඇත. විය යුතු පරිදි ම පසුගිය දා ආසනික්‌ සම්බන්ධ කතාව හෙළිදරවු කිරීම සම්බන්ධයෙන් ප්‍රියන්තා සේනානායක මහත්මිය ජාතියේ වීරමාතා නාමයෙන් පුදනු ලැබුවා ය. ඒ පිළිබඳව මා සතුටට පත් වන නමුත් එය ඊනියා ජාත්‍යන්තර කාන්තා දිනයේ දී සිදුවීම සම්බන්ධයෙන් මගේ කණස්‌සල්ල පළ කරමි. එය කළ යුතු ව තිබුණේ මහාපාලි දිනයක දී ය. මහාපාලි බිසව කවුරුන් දැයි වර්ගපූර්ණිකාව කියවීමෙන් දැනගැනීමට හැකි ය.

ආසනික්‌ සම්බන්ධ නාථ දෙවියන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ නො වුව ද සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි බෝසතාණන් වහන්සේ ගැන කියවෙයි. ඒ මහායාන අර්ථයකින් නො වේ. නියත විවරණ ගැනීම ආදිය තුන්වැනි සංගායනාවේ හෙවත් අශෝක බුදුදහමට ද එකඟ ය. එහෙත් අමරතුංග මහතා තම මාර්තු පස්‌වැනි දා ලිපියෙහි මෙසේ කියා ඇත. "තව ද මහායානයේ ප්‍රධාන සංකල්පයක්‌ වන බෝධිසත්ව සංකල්පය ද හිංදු ආගමෙන් ලබාගත් එකක්‌ බව පැවසිය හැකි ය. බෝධිසත්වයන්ට හිංදු දෙවිවරුන්ට මෙන් මුද්‍රdවක්‌, වාහනයක්‌, සංඛතයක්‌ සහ භාර්යාවක්‌ හිමි වන්නේ ය. බෝධිසත්ව සංකල්පය ලක්‌දිවට පැමිණි පසු සමහර බෝධිසත්වයෝ දේවත්වයට පත් වූ හ. උදාහරණයක්‌ ලෙස අවලෝකේතීෂ්වර නමැති බෝධිසත්වයන් නාථ දෙවියන් බවට පත් විය. නලින් මහතා තමා ගේ මිතුරියක ගේ මාර්ගයෙන් වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ බව කාටත් පෙර සොයාගත්තේ මේ නාථ දෙවියන් ගෙනි. තව ද සමන්තභද්‍ර සමන් දෙවියන් විය. මේ දෙවිවරුන් පිළිබඳ නොයෙකුත් කතන්දර නලින් මහතා කිසි ම සාක්‌ෂියක්‌ නැති ව ඉදිරිපත් කරමින් පත්තර පිටු ගණන් පුරවයි. මිනිසුන් නොම`ග යැම ඔහුට ප්‍රශ්නයක්‌ නො වන්නේ ය. කලකට පෙර ලක්‌දිව විසූ සෝම හාමුදුරුවන් සටන් කළේ දෙවිවරුන් අප ගේ බුදුදහමට ඇතුළු වීමට විරුද්ධ ව ය"

අමරතුංග මහතා මෙයින් අදහස්‌ කරන්නේ නාථ දෙවියන් යනු අවලෝකතීෂ්වර නමැති මහායාන බෝධිසත්වයන් වහන්සේ බව ද? එය එසේ නම් ඒ බව දැනගනු කැමැත්තෙමි. කිසි ම සාක්‍ෂියක්‌ නැති ව කරුණු ඉදිරිපත් කරන්නේ අමරතුංග මහතා ය. ඔහු තමන්ට අවශ්‍ය අන්දමට යමක්‌ ප්‍රකාශ කර තමන් එය පෙන්වා දී ඇති බව පසුව කියයි. බොහෝ උගතුන් යෑයි කියාගන්නා අය කරන අන්දමට යමක්‌ පළමුව ප්‍රකාශ කර පසුව ඒ සඳහා නිර්දිෂ්ටයක්‌ දීම යමක්‌ පෙන්වා දීමට ප්‍රමාණවත් බව අමරතුංග මහතා ප්‍රකාශ කරයි. ආසනික්‌ හා සම්බන්ධ නාථ දෙවියන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ නො වූවත් සුමේධ තාපසයෝ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ඇත්තා හ. අමරතුංග මහතාට අනුව ලෝකයේ පහළ වී ඇත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේ පමණ ද? උන්වහන්සේ ද එක ම භවයකින් බුද්ධත්වය ලැබීමට සමත් වූ සේක්‌ ද?

සෝම හාමුදුරුවන් පමණක්‌ නො ව වීදාගම මෛත්‍රී හාමුදුරුවන් ද දෙවියන්ට විරුද්ධ ව සටන් කර ඇත. එහෙත් දෙවියන් නැති බුදුදහමක්‌ හෝ බුද්ධාගමක්‌ හෝ බෞද්ධ සංස්‌කෘතියක්‌ හෝ නැත. දෙවියන් බඹුන් ගැන ඉහත සඳහන් සුත්තනිපාත ගාථාවෙහි ද බුදුන් වහන්සේ සඳහන් කර ඇත. අමරතුංග මහතා ගේ යථාර්ථවාදී හේතුවාදී බුදුදහමෙහි දෙවියන්ට හා බඹුන්ට ඉඩක්‌ නැද්ද? සමහර විට සිත මිස කය නැති බඹ ලොවෙහි බඹුන්ට පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් ලබාගැනීමට නොහැකි වීම අමරතුංග මහතාට ප්‍රශ්නයක්‌ වී ඇත් දැයි නො දනිමි. දෙවියන් ඇති බවට මට සාක්‍ෂි ඇත. මට සාක්‍ෂි සපයන්නේ සූත්‍ර පිටකය මිස වෙනත් අයකු නො වේ. අමරතුංග මහතාට සාක්‍ෂි සපයන්නේ සෝම හාමුදුරුවන්, කාලෝ ෆොන්සේකා හා කොවුර් ද?

අමරතුංග මහතා ආයුර්වේදය හා සිංහල වෙදකම ගැන කියන මේ පරස්‌පරය ද අපි පසුව සලකා බලමු. "කොතැනත් කවදත් තිබුණේ එක ම විද්‍යාව වන්නේ විද්‍යාවේ පදනම සැමට පොදු වූ ඉන්ද්‍රීය ගෝචර වූ සාක්‌ෂි වන නිසා ය. මෙය වටහාගත නොහැකි ව නලින් මහතා බටහිර වෛද්‍ය විද්‍යාව ආයුර්වේදය සහ සිංහල වෙදකම අතර වෙනසක්‌ නැති දැයි අසයි. (විදුසර 26-02-2014). මේ ක්‍රම තුනේ ම පදනම වන්නේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි වන්නේ ය. එය නැති තැන ඇත්තේ මිථ්‍යාව ය. යම්කිසි රෝගයකට යම්කිසි ප්‍රතිකාරයක්‌ හෝ බෙහෙතක්‌ හෝ සුදුසු බව සොයාගන්නේ එය අත්හදාබැලීමෙන් ය. රෝගීන් වැඩි ප්‍රමාණයක්‌ සුව කළ හැකි බෙහෙතක්‌ ඇතොත් එය සාක්‌ෂි ලෙස පිළිගැනේ. රෝග කාරකය සොයා ගන්නේ ද රෝග විනිශ්චය සිදු වන්නේ ද මේ ලෙස ම ය. සිංහල වෙදකමේ ද ආයුර්වේදයේ ද මේ ක්‍රමය හැර වෙන ක්‍රමයක්‌ නැත. දෙවියන් ගෙන් දැනුම ලබාගෙන රෝගවලට ප්‍රතිකාර කරන්නට ගොස්‌ අමාරුවේ වැටුණ අය අනන්ත අප්‍රමාණ ය. එලෙස අසරණ වූ අය කැලණිය විශ්වවිද්‍යාලයයේ ද සිටින බව අවශ්‍ය නම් පෙන්වා දිය හැකි ය. සිංහල වෙද මහතා තම දැනුම ලබාගත්තේ අත්දැකීමෙන් ය. ආයුර්වේද වෛද්‍යවරයා ද කළේ එය ම ය. මොවුන් රෝග පිළිබඳ තම අදහස්‌ තුළින් මතවාද ඉදිරිපත් කළ අවස්‌ථා ද නැත්තේ ම නො වේ. උදාහරණයක්‌ වශයෙන් ආයුර්වේදයට අනුව රෝග හටගැනෙන්නේ වාත පිත කප්හ යන පද්ධතියේ සමබරතාව බිඳුණු විට ය. එහෙත් අද වන තෙක්‌ මේ පද්ධතියේ ඇත්ත ස්‌වභාවය සොයාගෙන නැත. ආයුර්වේද බෙහෙත්වලින් නොයෙකුත් රෝග සුව කළ හැකි ය. එහෙත් එය සිදු වන්නේ අත්දැකීම්වලින් ලබාගත් සාක්‌ෂි මත පිහිටා ප්‍රතිකාර කිරීමෙන් මිස වාත පිත කප්හ පද්ධතිය ගැන ඇති දැනුමක්‌ නිසා නො වේ. ආයුර්වේදයේ ද සිංහල වෙදකමේ ද තිබිය හැකි අනෙකුත් මතවාද පිළිබඳව ද කිව හැක්‌කේ ඒවා පිළිගැනීමට සාක්‌ෂි නොමැති බව ය. මේ අතින් බටහිර වෛද්‍ය විද්‍යාව ඉදිරියෙන් සිටින්නේ ඔවුන් ගේ මතවාද පිළිබඳව ගැඹුරෙන් පර්යේෂණ කොට අවශ්‍ය සාක්‌ෂි සොයාගැනීමට වෙහෙසන නිසා ය.

කළ යුතු ව ඇත්තේ සාක්‌ෂි නොමැති වාත පිත සෙම වැනි අදහස්‌ අතහැර ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ පාවිච්චි කරන බෙහෙත්වල අඩංගු රෝගයට නිශ්චිත ව පහර දෙන රසායනික ද්‍රව්‍ය කුමක්‌ දැයි සොයාගැනීමට පර්යේෂණ විධිමත් ලෙස කිරීම ය. මේ පර්යේෂණ සඳහා විද්‍යාත්මක ක්‍රම සහ තාක්‌ෂණය යොදාගත යුතු =ය. මෙය ස්‌වල්ප වශයෙන් දැන් ද සිදු වන බව අපි දනිමු. සිංහල වෙදකම හා ආයුර්වේදය දියණු කළ හැක්‌කේ මේ ලෙසින් මිස ළිඳේ මැ`ඩියන් වීමෙන් නො වේ. මින් පෙනී යන්නේ සිංහල වෙදකමේ හෝ ආයුර්වේදයේ හෝ බටහිර යැයි කියන වෛද්‍ය විද්‍යාවෙන් වෙනස්‌ වූ දැනුම් පද්ධතියත් තිබිය නොහැකි බව ය. එසේ වන්නේ දැනුම ලබා ගත හැකි වන්නේ ඉන්ද්‍රීය ගෝචර වූ සාක්‌ෂි තුළින් මිස වෙන මොන ම ක්‍රමයකින් වත් නො වන නිසා ය." සිංහල වෙදකම ද ඉන්ද්‍රිය ගෝචර ය. එහෙත් සිංහල වෙදකමේ මතවාද පිළිගැනීමට සාක්‌ෂි නැත. අෙšaමැයිෘ

නලින් ද සිල්වා