logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
බුදුදහම, විද්‍යාව සහ බටහිර චින්තනය

ආචාර්ය නලින් ද සිල්වා මහතා සිංහල බුදුදහම යනුවෙන් හඳුන්වන්නේ මුල් බුදු දහම තුළට මහායාන මිථ්‍යා අදහස්‌ එකතු වී සෑදුණු දහමක්‌ බව පෙනේ. සිංහල බුදු දහම විය යුත්තේ මෙය නො වන බව මා විසින් පෙන්වා දෙන ලදි. (විදුසර - 05.03.2014). මේ කරුණ අපට වැදගත් වන්නේ විද්‍යාව දෙස සිංහල බෞද්ධයකු බැලිය යුත්තේ කෙසේ ද යන්න සලකා බැලීමේ දී ය. මිථ්‍යාව රජ කරන දහමක්‌ තුළින් විද්‍යාව දෙස බැලූ විට පෙනෙන්නේ බහුභූත ය. අප තවමත් සිටින්නේ විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද යන මුල් ප්‍රශ්නය තුළ ය. එසේ වී ඇත්තේ නලින් මහතා විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව තවමත් ඔප්පු කොට නැති නිසා ය. විද්‍යාව හෝ නිව්ටන් ගේ සහ අයින්ස්‌ටයින් ගේ න්‍යාය හෝ නිකම් ම බොරු බව පැවසීමෙන් ඒවා බොරු වන්නේ නැත. නලින් මහතා ගේ මේ ක්‍රියාව අපට මතක්‌ කර දෙන්නේ උග්‍ර නාසිවාදියකු වූ ජෝශප් ගොබෙල්ස්‌ ය. (Joseph Goebbels1897)ග හිට්‌ලර් ගේ ඒකාධිපතිවාදය ශක්‌තිමත් කිරීම පිණිස ඔහු බොරු ගෙතුවේ ය. යම් බොරුවක්‌ පිට පිට පැවසීමෙන් එය ඇත්තක්‌ වන්නේ යෑයි ඔහු විශ්වාස කළ බව පෙනේ. නලින් මහතා සිතන්නේ විද්‍යාව බොරු බව සිය දහස්‌ වාරයක්‌ පැවසූ විට එය ඔප්පු වන බව ය. ඕනෑ ම දෙයක්‌ ඔප්පු කරන්නට අවශ්‍ය සාක්‌ෂි ඔහුට අවශ්‍ය නැත. බුදුරදුන් ද, විද්‍යාඥයන් ද අපට කියා දී ඇත්තේ සාක්‌ෂි නොමැති ව කිසිවක්‌ නො පිළිගන්නා ලෙසයි.

නලින් මහතා පවසා ඇත්තේ බටහිර විද්‍යාවේ චින්තනය බුදු දහමට ගැලපෙන්නේ නැති බවයි. (විදුසර 05.03.2014). බටහිරයන් ලෝකය නතු කරගැනීමට ක්‍රියා කරන්නේ විද්‍යාවේ චින්තනය මත පදනම් වී නො ව ඔවුන් ගේ චින්තනය මත පදනම් ව, විද්‍යාව ඒ සඳහා උපයෝගි කරගනිමිනි. මෙය විද්‍යාවේ හෝ එහි තුළ ඇති චින්තනයේ හෝ වරදක්‌ නිසා සිදු වන දෙයක්‌ නො වේ. විද්‍යාත්මක චින්තනයත් බටහිර (ගී්‍රක යුදෙව් ක්‍රිස්‌ත්‍රි්‍රයානි) චින්තනයත් එකක්‌ නො ව දෙකකි. විද්‍යාවේ චින්තනය වන්නේ කවදත් කොතැනත් පැවැති විද්‍යාවේ චින්තනය ය. එය සත්‍යය සොයාගැනීමේ මාහැ`ගි අරමුණ මත පදනම් වූ මිනිස්‌ හිතකාමි චින්තනයක්‌ විය. බටහිර චින්තනයට නව මාර්ගෝපදේශයක්‌ සහ නව අරමුණක්‌ ලබා දෙන ලද්දේ 16 වැනි ශතවර්ෂයේ විසූ ජොන් කැල්වින් වැනි රෙපරමාදු ක්‍රිස්‌තියානි ආගම් කර්තෘවරුන් විසිනි. ඡේසුස්‌වහන්සේ ගේ ක්‍රිස්‌ත්‍රියානි ආගමේ තිබූ වැඩි වැඩියෙන් අත්පත් කරගැනීමේ ප්‍රවණතාවට විරුද්ධ වූ ආචාර ධර්ම රෙපරමාදුවන් ගේ බලපෑම නිසා සමාජයෙන් ගිලිහී ගියේ ය. zඇසට ඇසක්‌, දතට දතක්‌ යන ආදර්ශ වාක්‍ය පෙරදැරි කරගත් යුදෙව් ආගමික චින්තනය ද ඊට දායක වන්නට ඇත. කෙසේ වෙතත් ජෝන් කැල්වින් පූජකතුමා ගේ ප්‍රමුඛත්වයෙන් සිදු වූ මේ වෙනස තුළ ඇති චින්තනය වන්නේ දුප්පතුන් ගේ දුප්පත්කම සහ පොහොසතුන් ගේ පොහොසත්කම සාධරණීකරණය වීමකි. කැල්වින් පුමුඛ පූජකතුමන්ලා කියා සිටියේ පොහොසතුන් හොඳ ගතිගුණවලින් පරිපූර්ණ වූ නිසා ඔවුන් ගේ පොහොසත්කම සාධාරණ බව ය. පොහොසතුන් ගේ ජීවන රටාවට ද ධනවාදයේ නැ`ගීමට ද මේ කියමන දේව ආශිර්වාදයක්‌ විය. මෙහි ප්‍රතිඑලයක්‌ වූයේ උග්‍ර ධනවාදය සහ ඊට සරිලන පාරිභෝගික ජීවන රටාව වර්ධනය වීම ය. මෙයයි ක්‍රිස්‌ත්‍රියානි චින්තනයේ සිදු වූ විශාල වෙනසට හේතු වූයේ. විද්‍යාත්මක චින්තනය තුළ එවැනි වෙනසක්‌ සිදුq වූයේ නැත. එනමුත් විද්‍යාව හොඳට ද නරකට ද යොදාගත හැකි ය. එලෙසින් බටහිර දී විද්‍යාව ද තාක්‌ෂණය ද යොදාගැනෙන්නේ පොහොසතුන් ගේ විනෝදකාමී, නාස්‌තිකාර ජීවන රටාව පවත්වාගෙන යැමට ය. මෙය තෘෂ්ණාව වර්ධනය වීමේ විපාකයක්‌ බව අපි හොඳින් දනිමු. නලින් මහතා කියන ලෝක විනාශය සිදු වන්නේ විද්‍යාව නිසා නො ව බටහිර චින්තනයේ පදනම වී ඇති තෘෂ්ණාව නිසා ය. ජෙෆ්රි සැක්‌ස්‌ නමැති විද්වත් ඇමෙරිකානු ආර්ථික විද්‍යාඥයා ඔහු ගේ නවතම කෘතියේ පවසන්නේ බටහිර චින්තනය විසින් යට වී තිබූ තෘෂ්ණාව අතිමහත් ලෙස සමාජය පුරා මුදාහැර ඇති බවයි. (Jeffrey Sachs - Price of Civilizationů)'. බටහිරයන් පිස්‌සුවෙන් මෙන් කාමසුඛල්ලිකානුයෝගයේ ඇලී ගැලී ඉවක්‌ බවක්‌ නැති ව ලෝකය විනාශ කිරීමේ කර්තව්‍යයේ යෙදී සිටින බව අපට පෙනේ. එහෙත් මෙය විද්‍යාවේ වරදකින් සිදු වන්නක්‌ නො වේ. විද්‍යාව බොරුවක්‌ හෝ විනාශකාරී බලයක්‌ හෝ යෑයි පවසා අහක දැමීම මේ අවස්‌ථාවේ දී නො කළ යුත්තකි. ලෝකය බටහිර චින්තනයෙන් බේරාගත හැකි වන්නේ නිර්මල බුදු දහමට ය. (මිථ්‍යාවෙන් තොර වූ). තෘෂ්ණාවට පිළියම ඇත්තේ මුල් බුදුදහම තුළ බැවිනි. මේ සඳහා විද්‍යාව ද බොහෝ සෙයින් අවශ්‍ය වන්නේ බටහිර අධිරාජ්‍යවාදී පිළිවෙත තුළ ඇති එක ආයුධයක්‌ වන යුද මානසිකත්වයට මුහුණ දීම පිණිස ය. චීනය, රුසියාව වැනි රටවල් නලින් මහතා ගේ උපදෙස්‌ මත විද්‍යාව අතහැරියා නම් මුළු ලොව ම අද වන විට බටහිරයන් ගේ අතේ ය.

විද්‍යාවේ චින්තනය ස්‌වෛරී නිදහස්‌ එකක්‌ බව විද්‍යාව යොදාගන්නා විවිධ අරමුණු දෙස බැලීමෙන් ප්‍රත්‍යක්‌ෂ කොටගත හැකි ය. චීනය පුරාණයේ දී වෙඩි බෙහෙත් සහ මාලිමා යන්ත්‍රය නිපදවිණි. එසේ කළේ කවදත් කොතැනත් පැවැති විද්‍යාව භාවිත කරමිනි. ඔවුන් මේ දැනුම යොදාගෙන ලෝකය අල්ලන්නට වෑයම් කළේ නැත. ඔවුන් ඒ අරමුණට යොමු කිරීමට විද්‍යාව තුළ චින්තනයක්‌ නො තිබිණි. ඔවුහු සිය චින්තනයට අනුව ක්‍රියා කළ හ. බටහිර ජාතීන් එම විද්‍යාව ම යොදාගෙන (හොරෙන් ලබාගෙන) වෙඩිබෙහෙත් සහ මාලිමා යන්ත්‍රය පාවිච්චි කළේ ලෝකය අල්ලන්නට ය. ඒ ඔවුන් ගේ චින්තනය විය. එය විද්‍යාවේ චින්තනය නො වේ. විද්‍යාව යොදා ගැනෙන්නේ කුමක්‌ සඳහා ද යන්න තීරණය කරන්නේ සමාජ චින්තනය මිස විද්‍යාවේ චින්තනය නො වන බව මෙයින් පැහැදිලි වේ. නලින් මහතා මීට එකඟ නො වේ නම් විද්‍යාව තුළ විනාශකාරී බටහිර චින්තනය ගැබ් වී ඇත්තේ කෙසේ ද, කොතනැ දැයි පෙන්වා දිය යුතු ය.

කවදත් කොතැනත් තිබූ විද්‍යාවේ ඇත්තේ නිදහස්‌ චින්තනයකි. එය සත්‍ය ගවේෂණය නම් වූ මිනිස්‌ අවශ්‍යතාව මත පදනම් වූවකි. මිනිසා උරුම කරගත් ඥානය ඹහු යොදාගන්නේ උරුමයෙන් දායාද වූ සෝදිසි කිරීමේ හැකියාව ප්‍රායෝගිකව භාවිත කිරීම පිණිස ය. මෙය ඔහු ගේ ජානවල ඇති ගුණාංගයක්‌ විය. ඔහුට ඇත්තේ කාටත් පොදු ඉන්ද්‍රිය පද්ධතියකි. එසේ ම ඔහු අවට ඇත්තේ පොදු ස්‌වභාවධර්මය ය. ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් ව දැනුම ලබාගැනීමට ඔහු යොමු වූයේ උරුමයෙන් යෑයි කීවාට වරදක්‌ නැත. එය ඔහු ගේ විද්‍යාවේ චින්තනය විය. එනමුත් ඔහු තුළ තෘෂ්ණාව ද උරුමයෙන් දායාද වී තිබිණි. තෘෂ්ණාව විඳගැනීමට ඔහු විද්‍යාව පාවිචිචි කළේ ය. තෘෂ්ණාව මැ`ඩලීමට කටයුතු කළ සමාජ තුළ විද්‍යාව භාවිත වූයේ බෙහෙවින් යහපත් වූ ක්‍රියාවන් සඳහා විය. තෘෂ්ණාව උලුප්පාලීමට කටයුතු කළ සමාජ තුළ විද්‍යාව භාවිත වූයේ බෙහෙවින් අයහපත් වූ ක්‍රියාවන් සඳහා විය. විද්‍යාව නිදහස්‌ ධර්මයක්‌ විය.

ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් වූ විද්‍යාව යුරෝපයේ දී වර්ධනය වන විට එහි ක්‍රමවේදය පාලනය කිරීම පිණිස යම්කිසි නීති රීති පද්ධතියක්‌ සකසාගැනීමේ අවශ්‍යතාව තිබිණි. ජෝන් කැල්වින් ගේ බලපෑම හේතුවෙන් යුරෝපයේ ඇති වූ චින්තන විප්ලවය නිසා විද්‍යාත්මක ක්‍රමෙවිදයේ නිති රීති තුළ ගුණාත්මක වෙනසක්‌ ඇති වූ බවක්‌ පෙනෙන්නට නැත. ඇත්තෙන් ම එම නිSති රීතිවල අරමුණ වී ඇත්තේ විද්‍යාව මත පිටස්‌තර බලපෑමි අවම කිරිම ය. විද්‍යාත්මක ක්‍රමවේදය (නීති රීති) මිනිසා ගේ අයහපත දෙසට හරවන්නට හැකි බලවේගයක්‌ යුරෝපයේ තිබුණා නම් එය රෙපරමාදු ආගමේ බලපෑම විය යුතු ය. එය එසේ සිදු වූයේ නැති බව විද්‍යාත්මක ක්‍රමවේදයේ නීති රීති පරීක්‌ෂා කර බැලීමෙන් පැහැදිලි කොටගත හැකි ය. එම නීතිරීති සැකසී ඇත්තේ විද්‍යාත්මක පර්යේෂණ, නිරීක්‌ෂණ සහ නිගමන විධිමත් ලෙස පාලනය කිරීම පිණිස ය. මේවා තුළ බටහිර චින්තනයේ විනාශකාරී ගුණාංග ගැබ් වී නැත. තෘෂ්ණාව මත පදනම් වූ පාරිභෝගික ජීවන රටාව පෝෂණය කිරීම පිණිස ඇතුළු කර ඇතැයි සිතිය හැකි නීති රීති එහි තුළ නැත. එසේ ඇත්නම් පෙන්වා දෙන මෙන් නලින් මහතාට අභියෝග කරමි. විද්‍යාව බටහිර චින්තනයෙන් බිහි වූවක්‌ බව පමණක්‌ පැවසීම පදනම් විරහිත කතාවකි.

අප ගේ චින්තනය සාදා පාදාගැනීමේ දී අප බැලිය යුත්තේ මුල් බුදු දහම සමග මහායානය හරහා පැමිණි හින්දු මිථ්‍යා මත මුසු වී පසුව වර්ධනය වූ දහමක්‌ දෙස නො වේ. නලින් මහතා සිංහල බුදු දහම ලෙස හැඳින්වෙන දහම මුල් බුදු දහමට වෙනස්‌ නම් ඒ වෙනස තුළ ඇත්තේ වෙන කිසිවක්‌ නො ව ඒ මිථ්‍යා මත පමණි. නලින් මහතා නියෝජනය කරන්නේ මේ මිථ්‍යාව ය. මුල් බුදු දහම ලෙස අපට පිළිගත හැක්‌කේ පාලි නිකාය තුළ ඇත්තා වූ ද, චීන ආගම නමින් හැඳින්වෙන ග්‍රන්ථ තුළ ඇත්තා වූ ද සූත්‍රවලින් විස්‌තර වන දහම ය. අප ගේ ජනතාවට යහපතක්‌ සිදු වන්නේ මිථ්‍යාවෙන් තොර වූ මේ දහමෙනි. අයහපතක්‌ සිදු වන්නේ සිංහල බුදු දහම ලෙස නලින් මහතා හඳුන්වන මිථ්‍යා මත මුසු වූ දහමෙනි. නලින් මහතා ගේ සිංහල බුද්ධාගමට විද්‍යාව ගැලපෙන්නේ නැත්තේ එහි මිථ්‍යාව රජ කරන නිසා බව පාඨකයනට වැටහෙන බව නිසැක ය. දෙවි දේවතාවුන්ට, ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රයට, අල්ලේ රේඛා ශාස්‌ත්‍රයට, මන්ත්‍ර ගුරුකම්වලට විද්‍යාව තුළ ඉඩක්‌ නැත. මෙවැනි දේවලට විරුද්ධ ව බුදුහු සටන් කළ සේක. බ්‍රහ්මජාල සූත්‍රයේ උන්වහන්සේ මිථ්‍යා මත සහ පාරභෞතික මත හැට දෙකක්‌ පිටුදක්‌නා ලදි.

ප්‍රත්‍යක්‌ෂය යන වචනය ගැන නලින් මහතා යළිත් වරක්‌ සඳහන් කොට ඇත (විදුසර-05-03-2014). එහි ඔහු විවිධාකාර ප්‍රත්‍යක්‌ෂ හඳුනාගනියි. දෙයාකාර වූ පෘථග්ජන ප්‍රත්‍යක්‌ෂ, රහතුන් ගේ ප්‍රත්‍යක්‌ෂ, බුදුන් ගේ ප්‍රත්‍යක්‌ෂ යනුවෙන් ඔහු ඒවා නම් කර ඇත. ඔහු ගේ මේ අදහස්‌ ඔප්පු කිරීමට අවශ්‍ය සාධක, සාක්‌ෂි, පදනම් කිසිවක්‌ පුරුදු පරිදි ඔහු ඉදිරිපත් නො කරයි. එම නිසා ඒවා ඔහු ගේ හිතලුවක්‌ පමණක්‌ වන්නේ ය. ප්‍රත්‍යක්‌ෂ යන වචනයේ ගැබ් වූ අරුත වන්නේ ඇස්‌ ඉදිරිපිට පැහැදිලි යන්න ය. (ප්‍රති - ඉදිරිපිට අක්‌ෂ - ඇස්‌). අප ගේ ඉන්ද්‍රිsයයන් ගෙන් ලැබෙන දත්ත ප්‍රත්‍යක්‌ෂ හෝ පසක්‌ හෝ පැහැදිලි හෝ කරගන්නේ අප ගේ මොළය තුළ ඇත්තා වූ විශේෂ ස්‌ථානයක හෝ ස්‌ථාන කිහිපයක බව ස්‌නායු පිළිබඳ විශේෂඥ විද්‍යාඥයන් සාක්‌ෂි සහිතව සොයාගෙන ඇත. පෘථග්ජනයන් ද, රහතුන් ද, බුදුන් ද යමක්‌ ප්‍රත්‍යක්‌ෂ කරගන්නේ මේ ලෙසිනි. බුදුන් හෝ රහතුන් හෝ නිවන ප්‍රත්‍යක්‌ෂ කරගත්තේ යෑයි සූත්‍ර පිඨකයේ සඳහන් වී නැත. එහෙත් වෙනත් ඉන්ද්‍රිsය ගෝචර දේ උන්වහන්සේලා ප්‍රත්‍යක්‌ෂ කොටගෙන ඇත. විද්‍යාව ඉන්ද්‍රිsය ගෝචර සාක්‌ෂි මත පදනම් වූ හෙයින් එය ප්‍රත්‍යක්‌ෂ දැනුමක්‌ යෑයි කිව හැකි ය. ඉන්ද්‍රිsය ප්‍රත්‍යක්‌ෂය මිස වෙන ප්‍රත්‍යක්‌ෂයක්‌ නොමැති බව මින් පැහැදිලි වේ

ආලෝකයේ වේගයට අඩු වේගයකින් (90%) ගමන් කරන වස්‌තු සඳහා නිව්ටන් ගේ න්‍යාය භාවිත කළ හැකි බව නලින් මහතා දන්නේ නැති බව මා පෙන්වා දීම නිසා ඒ මහතාට කේන්ති ගොස්‌ ඇත. විශ්වවිද්‍යාලයේ සිසුන් ගේ සහ ඒ මහතා ගේ අධ්‍යාපනය පිණිස මේ දේවල් ගැන මා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දේශන පැවැත්විය යුතු බව ඒ මහතා පවසයි. මට කියන්නට ඇත්තේ වෛද්‍ය විද්‍යාලවල සිසුන් සහ ආචාර්ය මහාචාර්යවරුන් ගේ අධ්‍යාපනය පිණිස වකුගඩු රෝගය පිළිබඳව නලින් මහතා දේශන පැවැත්විය යුතු බවයි.

ගුරුත්වාකර්ෂණය සහ විශේෂ සාපේක්‌ෂතාවාදය එක්‌ මතවාදයක්‌ තුළට ගෙන ඒමේ දී අවස්‌ථිති සමුද්දේශ රාමුවලට කුමක්‌ සිදු වේ දැයි නලින් මහතා මගෙන් අසයි. මම පොතපතින් මේ පිළිබඳව ලබාගත් අල්ප දැනුමෙන් පිළිතුරක්‌ දීමට තැත් කරමි. අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදය රඳා පවතින්නේ සමුද්දේශ රාමු මත යෑයි කීවාට වරදක්‌ නැත. ඔහු ගේ විශේෂ සාපේක්‌ෂතාවාදයේ විශේෂ යන වචනය යෙදෙන්නේ එය වලංගු වන්නේ අවස්‌ථිති සමුද්දේශ රාමුවලට පමණක්‌ වන හෙයිනි. එ විද්වතාණන්ට අවශ්‍ය වූයේ අනෙකුත් නැත හොත් සාමාන්‍ය සමුද්දේශ රාමු සහ ගුරුත්වාකර්ෂණීය ප්‍රත්‍යයන් ද ආවරණය වන පරිදි එක්‌ පොදු මතවාදයක්‌ ගොඩනැ`ගීමට ය. මේ මතවාද එකතු කරනවා යන්නේ තේරුම එය ය. ප්‍රතිඵලය වූයේ සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය බිහි වීම ය. මේ සඳහා ඔහු ගුරුත්වාකර්ෂණය සිදු වන්නේ අවකාශ-කාල වක්‍රතාව නිසා යෑයි නව අදහසක්‌ ඉදිරිපත් කළේ ය. විශේෂ සාපේක්‌ෂතාවාදය තුළ අවකාශ-කාලය පැතලි ය. මේ මතවාද ඉදිරිපත් වූ කාලයේ ඒවාට අදාළ සාක්‌ෂි නො තිබිණි. එහෙත් දැන් ඒවා ප්‍රායෝගිකව භාවිත වන්නේ සාක්‌ෂි ලැබී ඔප්පු වී ඇති නිසා ය. මේවා බොරු බව කීම මෝඩ විහිළුවකි.

එහෙත් නලින් මහතා මෝඩ විහිළුවලට කැමැති බව පෙනේ. විශේෂ සාපේක්‌ෂතාවාදය සහ ගුරුත්වාකර්ෂණය එකතු වී සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය ගොඩනැ`ගුණේ නැති බව ඔප්පු කිරීම පහසු කාරියක්‌ බව නලින් මහතා පවසයි. මෙපමණ කලක්‌ ඒ මහතා එය නො කළේ ඒ කරුණ ගැන නො දැන සිටි නිසා විය යුතු ය. ලොකයේ ප්‍රමුඛ භෞතික විද්‍යාඥයන් නලින් මහතා ගේ හැකියාවන් ගැන නො දැනීම ලෝකය හිනස්‌සන විහිළුවකි.

මහාචාර්ය
එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc