logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
සිංහල බෞද්ධ චින්තනයට බටහිර විද්‍යාව පටහැනියි


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම 2014 පෙබරවාරි 26 වැනි දින දරන ලිපියෙන් (බටහිර) විද්‍යාව සිංහල බෞද්ධයනට අකැප ද යන ප්‍රශ්නය නඟයි. බටහිර විද්‍යාව සිංහල බෞද්ධයනට අකැප ද යන්නෙන් ඒ මහතා කුමක්‌ අදහස්‌ කළත් මා දන්නා කරුණු දෙකක්‌ වෙයි. එකක්‌ නම් බටහිර විද්‍යාව පදනම් වන චින්තනය, එනම් ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය, සිංහල බෞද්ධයනට පමණක්‌ නො ව මුළු මහත් ලෝකයට ම විපත්තිදායක බව ය. අද ලෝකය මිනිසුන්ට ජීවත් වීමට හිතකර නො වන ප්‍රදේශයක්‌, පතිරූප නො වන දේශයක්‌, බවට පත් වී ඇත්තේ මේ චින්තනයෙහි විසකුරු බව නිසා ය. ඒ චින්තනයෙන් වෙන් වූ බටහිර විද්‍යාවක්‌ නැත.

දෙවනුව කිව යුත්තේ සිංහල බෞද්ධයකුට කිසි දාක සිංහල බෞද්ධ චින්තනයෙහි ජීවත් වන්නේ නම් හරිහමන් බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි බව ය. මෙරට බටහිර විද්‍යාවේ ඉතිහාසය අවුරුදු එක සිය පනහකට වැඩි මිස අඩු නො වේ. කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටුවා ඇත්තේ 1870 දී ය. පාසල්වල බටහිර විද්‍යාව ඉගැන්වීම එයට පෙර ආරම්භ වූවා නිසැක ය. එහෙත් ලංකාවෙන් බිහි වූ බටහිර විද්‍යාඥයකු ගැන අමරතුංග මහතාට කිව හැකි ද? (මහාචාර්යවරයකු වූ පමණින් හරිහමන් විද්‍යාඥයකු බවට පත් නො වේ). බටහිර විද්‍යාව අගය කරන්නන් විසින් පිළිගැනෙන ලන්ඩන් රාජකීය සංගමයේ අධි සාමාජිකත්වයක්‌ පිරිනැමුණු එක ද සිංහල බෞද්ධයෙක්‌ වේ ද? එහි අධි සාමාජිකත්වයක්‌ ලැබූ එක ම ලාංකිකයා සිංහල කිතුනුවකු වන අතර ඔහුට ද ඒ ලැබුණේ නව ප්‍රවාදයක්‌ ඉදිරිපත් කිරීම නිසා නො වේ. මෙය ලංකාවේ පහසුකම් නැති වීම පිළිබඳ ප්‍රශ්නයක්‌ නො වේ. ඇමෙරිකාව ආදී බටහිර රටවල සේවය කරන බටහිර විද්‍යාව උගත් සිංහල බෞද්ධයෝ සිය ගණනක්‌ වෙති. ඔවුන්ට පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක්‌ නැත. එහෙත් ඔවුන් එක්‌ අයකුට වත් ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක්‌ හිමි වී නැත. නොබෙල් ත්‍යාගය ගැන කියනුම කවරේ ද?

අමරතුංග මහතාට අනුව මට සාපේක්‍ෂතාවාදය පිළිබඳ නව දැනුම නැත. ඒ එසේ නම් එයින් කියෑවෙන්නේ අති අප්‍රසන්න කතාවකි. මම 2011 වසර අවසාන වන තුරු ද විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු ලෙස සේවය කළෙමි. කැලණිය විශ්වවිද්‍යාලයයේ ද, කොළඹ විශ්වවිද්‍යාලයයේ ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ද විශේෂ හා සාධාරණ සාපේක්‍ෂතාවාද උගන්වා ඇත්තෙමි. කැලණිය විශ්වවිද්‍යාලයයෙහි සේවය කළ අවුරුදු අටක පමණ කාලයක හතර වැනි වසරේ සිසුන් 15ක ගේ පමණ ව්‍යාපෘති අධීක්‍ෂණය කළෙමි. ඉන් වැඩි දෙනෙක්‌ සාපේක්‍ෂතාවාදය හෝ විශ්වවේදය (Cosmology) හෝ පිළිබඳ තම ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කළ හ. සෙස්‌සෝ ක්‌වොන්ටම් භෞතිකය තම විෂය කරගත් හ.

ඒ කාලයේ දී ම දර්ශනපති උපාධිය සඳහා නිබන්ධ ඉදිරිපත් කළ සිසුන් හතර දෙනකු සම්බන්ධයෙන් උපදේශකවරයා ලෙස ක්‍රියා කළෙමි. ඉන් තිදෙනෙක්‌ සාධාරණ සාපේක්‍ෂතාවාදය/විශ්වවේදය හැදෑරූ හ. එක්‌ ශිෂ්‍යයෙක්‌ ක්‌වොන්ටම් භෞතිකය හැදෑරී ය. මගේ පරණ දැනුම පමණක්‌ අනුව ඒ සියල්ල කළේ නම් ඉන් අගෞරවයක්‌ වන්නේ විශ්වවිද්‍යාලයට ය. සාමාන්‍ය පෙළෙන් පසුව ගණිතයත්, උසස්‌ පෙළෙන් පසුව භෞතික විද්‍යාවත් පාසලේ දී හෝ විශ්වවිද්‍යාලයේ දී හෝ රූපික ව (Formally) හදාරා නොමැති අමරතුංග මහතා සාධාරණ සාපේක්‍ෂතාවාදය සඳහා අවශ්‍ය අවකල ජ්‍යාමිතිය (Differential Geometry), ආතානක විශ්ලේෂණය (Tensor Snalysis) ආදී ගණිතමය විෂය හා විද්යුත්චුම්බකවාදය ((Electromagnetic Theory), විශේෂයෙන් ම මැක්‌ස්‌වෙල් සමීකරණ හදාරන්නට ඇත්තේ ශාස්‌ත්‍රාලයීය අධ්‍යාපනයෙන් බාහිර ව ය.

ඔහු ඒ විෂය මට වඩා හොඳින් දැන සිටීම විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයට ලබා දෙන්නේ කීර්තියක්‌ නො වේ. අඩු ම තරමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සාධාරණ සාපේක්‍ෂතාවාදය, විශ්වවේදය වැනි විෂය ඉගැන්වීමට ඒ මහතා බාහිර කථිකාචාර්යවරයකු ලෙස පත් කර සිසුන්ට අලුත් ම දැනුම උණු උණුවේ ම ලබා දීමට කටයුතු කළ හැකි ය. විශේෂ අවසරයක්‌ ගෙන ඒ මහතා ගේ දේශනවලට සහභාගී වීමෙන් මට මගේ දැනුම යාවත්කාලීන කරගැනීමට හැකි වනු ඇත.

ඒ මහතා සාධාරණ සාපේක්‍ෂතාවාදය යනු විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි හා ගුරුත්වාකර්ෂණයෙහි එකතුවක්‌ බව පෙන්වීමට පොත් කිහිපයක නම් සඳහන් කරයි. ඒ මහතා පොත් ලැයිස්‌තු නම් නො කර අදාළ කරුණ සඳහන් ඡේදයක්‌ හෝ ඡේද හෝ ලියා දැක්‌වූයේ නම් හෝ තමාට අවශ්‍ය කාරණය ප්‍රමුල ධර්මවලින් (first principles) පෙන්නුම් කළේ නම් හෝ මැනවි. යමකුට පොත් කියවා බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි බව මම දනිමි. තම මතය සනාථ කිරීම සඳහා ඒ මහතා කියවා ඇති පොතකින් ඡේදයක්‌ දෙකක්‌ උපුටා දක්‌වන ලෙස ඉල්ලා සිටිමි.

ඒ කෙසේ වෙතත් ගුරුත්වාකර්ෂණය විශේෂ සාපේක්‍ෂතාවාදයට එකතු වී සාධාරණ සාපේක්‍ෂතාවාදය ගොඩනැ`ගී නැති බව පෙන්වීම අසීරු කරුණක්‌ නො වේ. එයට කලින් ඒ මහතා ඉහත සඳහන් පරිදි ඡේදයක්‌ දෙකක්‌ උපුටා දක්‌වන්නේ නම් එහි ඇති වරද ද පෙන්වා දිය හැකි ය. ඇතැම් ජනප්‍රිය ලේඛකයන් වැරැදි මත ප්‍රචාරය කළ පමණින් අප ඒ පිළිගත යුතු නො වේ. අමරතුංග මහතා ඒ සමග එක්‌ පැණයකට පිළිතුරු දීමට තම නව දැනුම උපයෝගී කරගන්නේ නම් කෘතඥ වෙමි. ඒ පැණය මෙසේ ය. ගුරුත්වාකර්ෂණය විශේෂ සාපේක්‍ෂතාවාදයට එකතු වීමේ දී අවස්‌ථිති සමුද්දේශ රාමුවලට (inertial frames of reference) කුමක්‌ සිදු වේ ද?

අපි දැන් ඒ මහතා පිළිතුරු බලාපොරොත්තු වන දෙවැනි ප්‍රශ්නයට ඉතා කෙටි පිළිතුරක්‌ දී නැවතත් පළමු ප්‍රශ්නයට යමු. දෙවැනි ප්‍රශ්නය මෙසේ ය. යුද්ධය දිනන්නට අවශ්‍ය දැනුම (උදා-කොටින් ගේ නැව් පිළිබඳ තොරතුරු) මිතුරන් ගේ උදව් ඇති ව දෙවියන් ගේ මාර්ගයෙන් ලබා නො ගත්තේ ඇයි? මෙය වැඩි ම වුව හොත් කොවුර්, කාලෝ ෆොන්සේකා ගණයේ තුට්‌ටු දෙකේ ප්‍රශ්නයකි. එය කවරයක්‌ ඇතුළත ඇති මුදල් නෝට්‌ටුවක අංකය කියවීමට හැකි ද ගණයේ ප්‍රශ්නයකි. ඔවුන් මෙවැනි ප්‍රශ්නවලින් බලාපොරොත්තු වන්නේ ඇතැමුන් ගේ අතීන්ද්‍රිය අත්දැකීම් මිථ්‍යා බව පෙන්වීම ය. එහෙත් එසේ අතීන්ද්‍රිය අත්දැකීම්වලට අභියෝග කරන අය ම පංචෙන්ද්‍රිය ගෝචර නො වන ගුරුත්වාකර්ෂණ බලයක පැවැත්ම පිළිගනිති. ගුරුත්වාකර්ෂණය පිළිබඳව අමරතුංග මහතා තම නූතන දැනුම යොදාගනිමින් ලියා ඇති පරස්‌පර හා නීඩ්හම් පිළිබඳ ව ලියා ඇති අසත්‍ය කතා හා වෙනත් පරස්‌පර පෙන්වීමට පසුව ලිපි කිහිපයක්‌ ම වැය කිරීමට බලාපොරොත්තු වෙමි.

මා නාථ දෙවියන් නමින් හැඳින්වෙන ප්‍රාණියා ගැන දැනගත්තේ මානුෂීය මෙහෙයුම්වලින් පසු ව ය. අමරතුංග මහතා ඒ මෙහෙයුම්, යුද්ධය ලෙස හඳුන්වන්නේ බටහිරයන් ගේ සංකල්පීය දැනුම මත හිඳිමිනි. එය යුද්ධය ලෙස හැඳින්වීමෙන් සිදු වන සංකල්පීය

වැරැද්ද පිළිබඳව මා දිවයින පුවත්පතට ලියා ඇති බැවින් අමරතුංග මහතා ඉල්ලා නො සිටිය හොත් ඒ නැවත සඳහන් නො කරමි. මට කොටින් පරාජය කිරීම පිළිබඳ අතීන්ද්‍රිය ව දැනගැනීමට අවස්‌ථාවක්‌ නො වුණේ මා නාථ දෙවියන් ගැන දැනගන්නා විට කොටින් පරාජය කෙරී තිබුණු බැවිනි. කෙසේ වෙතත් අවස්‌ථාව ලදත් එවැනි ප්‍රශ්න ඇසීම ප්‍රඥාගෝචර නො වේ. ඒ දෙවියන් හෝ කවුරුන් හෝ ආයුධ සන්නද්ධ අරගලවලට විරුද්ධ විය හැකි ය. ඔවුන් තම බලය එවැනි දේ සඳහා නො යොදනවා විය හැකි ය. එහෙත් මා පසුව දැනගත්තේ මෙහෙයුම්වලට අවශ්‍ය ආධ්‍යාත්මික ශක්‌තිය බුදුරැස්‌ විහිදීම ආදිය මාර්ගයෙන් දෙවියන් එකතු කර ඇති බව ය. ඒ බව මා කලින් ලිපියක ද සඳහන් කර ඇත.

අපි දැන් නැවතත් පළමු ප්‍රශ්නය වෙත යමු. ඒ සමග ප්‍රත්‍යක්‍ෂය ගැන ද වචනයක්‌ දෙකක්‌ කියමු. ප්‍රත්‍යක්‍ෂය යනු විධික්‍රමයක්‌ යෑයි අමරතුංග මහතා සිතන බව පැහැදිලි ය. ඔහු මට ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබා ගැනීමට කියයි. එහෙත් ප්‍රත්‍යක්‍ෂය යනු විධි ක්‍රමයක්‌ නො වේ. ප්‍රත්‍යක්‍ෂ කිරීම යනු සිංහලෙන් නම් පසක්‌ කිරීම ය. පසක්‌ කිරීම විධි ක්‍රමයක්‌ නො වේ. ප්‍රත්‍යක්‍ෂ විවිධාකාර ය. අප වැනි පෘථග්ජනයෝ මනස ඇතැයි ගනිමින් මනස හා පංචෙන්ද්‍රිය ඇසුරෙන් ද මනසෙන් පමණක්‌ ද ප්‍රත්‍යක්‍ෂ කරමු. පංචෙන්ද්‍රිය ඇසුරු කරගන්නා අවස්‌ථාවල දී වුව ද පසක්‌ කෙරෙන්නේ මනසෙන් ය.

පෘථග්ජනයන් ගේ ප්‍රත්‍යක්‍ෂ දෙයාකාර ය. ඒ ඉන්ද්‍රිය ගෝචර හා අතීන්ද්‍රිය වශයෙනි. ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය තිරිසන් සතුන්ට ද වෙයි. මනස පමණක්‌ යොදාගෙන පංචෙන්ද්‍රිය යොදා නො ගෙන ආධ්‍යාත්මික ශක්‌තිය දියුණු කිරීමෙන් අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ ඇති වෙයි. ආධ්‍යාත්මික ශක්‌තිය වඩාගත් මිනිසුන්ට මෙන් ම නෙවසඤ්ඤා නාසඤ්ඤා වැනි තලවල උපත ලබා ඇති බඹුන්ට ද මේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය වෙයි. පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ හැරෙන්නට තවත් ප්‍රත්‍යක්‍ෂ වර්ග දෙකක්‌ ඇත. ඒ රහතන් වහන්සේ ගේ ප්‍රත්‍යක්‍ෂය හා බුදුන් වහන්සේ ගේ ප්‍රත්‍යක්‍ෂය යනුවෙනි.

ප්‍රත්‍යක්‍ෂය විධික්‍රමයක්‌ නො වුවත් උසස්‌ පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ ලබාගැනීම සඳහා මනස යෑයි අප විසින් හැඳින්වෙන්න දියුණු කිරීම අවශ්‍ය වෙයි. ඒ සඳහා නම් භාවනා, යෝග ආදී විවිධ ක්‍රම භාවිත කළ හැකි ය. එසේත් නැත්නම් අහංකාරය, මමත්වය තුනී කිරීමෙන් උසස්‌ ප්‍රත්‍යක්‍ෂ ලබාගත හැකි යෑයි සිතමි. කෙසේ වෙතත් පෘථග්ජනයන් ගේ ප්‍රත්‍යක්‍ෂ සංකල්පවලින් තොර නැත. සංකල්පයක්‌ නොමැති ව පෘථග්ජනයන්ට ඇති නො වේ. එහෙත් පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ ප්‍රවාදවල මැදිහත් වීමකින් තොර ව සෘජු ව ඇති වෙයි. අමරතුංග මහතා ප්‍රත්‍යක්‍ෂ සඳහා දී තිබුණු නිර්වචනය මම ද අන්තර්ජාලයෙන් දුටුවෙමි. අන්තර්ජාලයේ ඇති සියල්ල නිවැරැදි යෑයි කිව නොහැකි ය. එහෙත් ප්‍රත්‍යක්‍ෂය ඉන්ද්‍රිය අභිමුඛ ව ඇත යන්න පෘථග්ජනයන් සම්බන්ධයෙන් ප්‍රවාද නැති සෘජු ප්‍රත්‍යක්‍ෂ යන්න සමග පරස්‌පරයක්‌ නැත. එය සංස්‌කෘත සාහිත්‍යයෙහි සඳහන් වන්නකි.

කෙසේ වෙතත් ප්‍රත්‍යක්‍ෂ පිළිබඳ ව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. ස්‌වාක්‌ඛාතෝ ගාථාවෙහි පච්චත්තං වෙදිතබ්බො විඤ්Cදූහීති යන්නෙහි සිංහල පරිවර්තනය මා අසා ඇති අන්දමට විඤ්Cදුන් (නුවණැත්තන්) විසින් ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගනු ලැබෙයි ලෙස ප්‍රකාශ කළ හැකි ය. එයට අමතර ව මා කලින් සඳහන් කර ඇති ආකාරයට බ්‍රහ්මජාල සූත්‍රයෙහි ප්‍රත්‍යක්‍ෂ ගැන සඳහන් වෙයි. එහි වෙනත් සමයන්හි ප්‍රත්‍යක්‍ෂ ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව බුදුන්වහන්සේ ප්‍රත්‍යක්‍ෂ යන වචනය සෘජු ව ම යොදාගෙන මෙසේ දේශනා කරති.

"මහණෙනි, මේ දෘෂ්ටිස්‌ථානයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු විපාකගති ඇත්තෝ වන්නා හ, මෙබඳු පරලොව් ඇතියෝ වන්නාහ යි තථාගත තෙමේ ඒ කාරණය දනී. තථාගත තෙමේ එය ද එයින් මත්තෙහි දෑ ද දනී. එහෙත් ඒ දැන්ම මම මෙය දනිමි යි තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කෙරෙයි. එසේ පරාමර්ශනය නො කරන ඔහු විසින් පරෝපදේශය නැති වැ (තමා විසින් ම) තමා ගේ කෙළෙස්‌ නිවීම දන්නා ලද්දේ වෙයි. (මෙහි සුවපත් වම් හයි අසෝ තැනැ සුවපත් වම්හ යි සිතමින් යම් සැප වේදනාවන්හි ඇලුණු අන්තොටුවෝ නා නා විධ දෘෂ්ටදගහනයට වදිත් ද,) තථාගත තෙමේ ඒ වේදනාවන් ගේ උත්පත්තිය ද, විනාශය ද, ආස්‌වාදය ද, ආදීනවය ද, නික්‌මීම ද, තතු වර පරිදි දැන ඡන්දරාගය දුරු වූ බැවින් උපාදාන රහිත ව මිදුණේ වෙයි.

මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරේ නම් යම් ධර්ම කෙනෙකුන් කරණ කොටගෙන තථාගත බුදුහු ගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ කියන්නාහු නම්, මේ ගැඹුරු වූ සර්වඥ බුදු කෙනෙකුන් විසින් ම විනා සෙස්‌සන් විසින් නො දැක්‌කැ හැකි වූ, එහෙයින් ම සෙස්‌සන් විසින් අවබෝධ කට නො හැකි වූ, ශාන්ත වූ, ප්‍රණීත වූ, තර්කයෙන් බැස ගත නොහැකි වූ, සියුම් වූ ප්‍රාඥයන් විසින් ම දත හැකි වූ ඒ ධර්මයෝ ය" (බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයෙහි 51 වැනි පිටුවෙහි 65 ගාථාව).

නලින් ද සිල්වා