logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
විද්‍යාව සිංහල බෞද්ධයන්ට අකැප ද?


(දෙවැනි කොටස)

ඉහත මාතෘකාව යටතේ මා ලියූ ලිපියේ පළමුවැනි කොටස මීට පෙර විදුසර ස`ගරාවේ පළ විය.

(26-02-2014). එහි මා පෙන්වා දුන්නේ ලක්‌දිව සිංහල ජාතිය බිහි වූ කාලයේ සිට බුදුරදුන් ගේ මුල් බුදුදහමට සමාන වූ දහමක බලපෑම යම් තරමකට රටේ පැවතුණ බව ය. ඊට අදාළ සාක්‌ෂි මා ඒ ලිපියේ ඉදිරිපත් කොට ඇත. මිහිඳු හිමියන් ලක්‌දිවට පැමිණ පළමුවෙන් ම කළේ දේවානම්පියතිස්‌ස රජු ගේ ඥානය සහ නිරවුල්ව සිතීමේ හැකියාව පරීක්‌ෂා කර බැලීම ය. බුදුරදුන් මෙන් මිහිඳු හිමියන් ද ඥානයට ප්‍රමුඛත්වය දුන් බව මින් පැහැදිලි වේ. උන්වහන්සේ රජු ගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳ 'දැනුම් හෝ දේව විශ්වාසය පිළිබඳව හෝ පරීක්‌ෂා කළේ නැත. ඥානය සහ නිරවුල්ව සිතීමේ හැකියාව පමණි වැදගත් වූයේ. මෙයයි සිංහල බෞද්ධයා ගේ දෘෂ්ටියේ පදනම වූයේ.

අපට මෙතැන දී වැදගත් වන්නේ මුල් බුදුදහමේ ස්‌වභාවය ය. බුදුරදුන් ගේ දහමේ මිථ්‍යාවට තැනක්‌ තිබුණේ නැත. වෛදික සංකල්ප වන නිත්‍ය, සුඛ, ආත්ම යන ත්‍රිත්වය ඉන්ද්‍රිය ගෝචර නො වන පාරභෞතික වූ සංකල්ප බව හැඳිනගෙන ඊට විරුද්ධ වූ ද ආනුභුතික වූ ද අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම, ත්‍රිත්වය උන්වහන්සේ ඉදිරිපත් කළ සේක. මැවුම්කාර දේව සංකල්පය බුදුන් පිළිගත්තේ නැත. පාරභෞතික වූ දේ පිළිබඳව දේශනා කිරීමට මැළි වූයේ උන්වහන්සේ දැනුම ලබාගත්තේ ආනුභූතික වූq ක්‍රියාමාර්ග භාවිතයෙන් වූ නිසා ය. මේ නිසා ම උන්වහන්සේ තමා සියලු දේ දන්නේ යෑයි නො පිළිගත් හ. (තෙවිඡ්ඡ-වච්චගොත්ත සුත්ත). තව ද කාලාම සූත්‍රයේ ද ලිච්ඡවි රජ දරුවන්ට කළ දේශනාවල ද උන්වහන්සේ පැවසුවේ තමන් පැහැදිලි ලෙස වටහා නො ගෙන කවුරුන් හෝ කී පලියට කිසිවක්‌ නො පිළිගන්නා ලෙස ය. මෙය මා වටහා නො ගෙන ඇති බවක්‌ නලින් මහතා කියයි. එහෙත් මා වටහා නො ගෙන ඇත්තේ ඒ සූත්‍රයේ කොතැන දැයි ඔහු නො කියයි.

භාරතයේ පැවැති මුල් බුදුදහම තුළට මිථ්‍යාව ඇතුළු වූයේ හිංදු ආගමේ බලපැම නිසා ය. මහායානය බිහි වූයේ මේ අන්දමිනි. ඊට තවත් හේතු නො තිබුණා නො වේ. මහායානයේ සමහර ප්‍රධාන සංකල්ප හිංදු ආගමෙන් උකහාගත් ඒවා බව පැහැදිලි ය. උදාහරණයක්‌ වශයෙන් මහායානයේ ත්‍රිකාය සංකල්පය ඉදිරිපත් කළ හැකි ය. ඊට අනුව බුදුරදුන්ට කාය තුනක්‌ ඇත. ඒවා නම් නිර්මාණකාය, සම්භොගකාය සහ ධර්මකාය වේ. ධර්මකාය හිංදු ආගමේ බ්‍රහ්ම පදාර්ථයට සමාන ය. සම්භොගකාය ඊශ්වරට සමාන ය. එසේ ම නිර්මාණකාය මූර්තිවලට සමාන ය. හිංදු ආගමේ විෂ්ණු නා නා අවතාරයන් මවාගෙන මිනිසුන් ගේ යහපත සඳහා ක්‍රියා කරයි. මහායානයට අනුව බුදුන් ගේ නිර්මාණකාය ද නා නා අවතාර මවාගනී. අප ගේ නිර්මල බුදුන් විෂ්ණු ගේ අවතාරයක්‌ බවට පත් වූයේ මේ ලෙස ය. හිංදු කෝවිල් තුළ බුදුන් ගේ පිළිරූ හෝ ඡායාරූප හෝ තබා ඇත්තේ මේ අදහස පෙරදැරි කරගෙන ය.

තව ද මහායානයේ ප්‍රධාන සංකල්පයක්‌ වන බෝධිසත්ව සංකල්පය ද හිංදු ආගමෙන් ලබාගත් එකක්‌ බව පැවසිය හැකි ය. බෝධිසත්වයන්ට හිංදු දෙවිවරුන්ට මෙන් මුද්‍රdවක්‌, වාහනයක්‌, සංඛතයක්‌ සහ භාර්යාවක්‌ හිමි වන්නේ ය. බෝධිසත්ව සංකල්පය ලක්‌දිවට පැමිණි පසු සමහර බෝධිසත්වයෝ දේවත්වයට පත් වූ හ. උදාහරණයක්‌ ලෙස අවලෝකේතීෂ්වර නමැති බෝධිසත්වයන් නාථ දෙවියන් බවට පත් විය. නලින් මහතා තමා ගේ මිතු=රියක ගේ මාර්ගයෙන් වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ බව කාටත් පෙර සොයාගත්තේ මේ නාථ දෙවියන් ගෙනි. තව ද සමන්තභද්‍ර සමන් දෙවියන් විය. මේ දෙවිවරුන් පිළිබඳ නොයෙකුත් කතන්දර නලින් මහතා කිසි ම සාක්‌ෂියක්‌ නැති ව ඉදිරිපත් කරමින් පත්තර පිටු ගණන් පුරවයි. මිනිසුන් නොම`ග යැම ඔහුට ප්‍රශ්නයක්‌ නො වන්නේ ය. කලකට පෙර ලක්‌දිව විසූ සෝම හාමුදුරුවන් සටන් කළේ දෙවිවරුන් අප ගේ බුදුදහමට ඇතුළු වීමට විරුද්ධ ව ය. විශාල ජනකායක්‌ උන්වහන්සේ වටා රොක්‌ වූ බව අපි දනිමු. ඉන් පෙනී යන්නේ මුල් බුදුදහම අප ගේ මිනිසුන් ගේ හිත් පතුලේ තිබෙන බව ය. කළ යුත්තේ එය වර්ධනය කිරීම ය. එහෙත් නලින් මහතා කරන්නේ ඊට හාත්පසින් විරුද්ධ දෙය ය. හිංදු ආගමෙන් මහායානයට ඇතුළු වූ මේ මනස්‌ගාත කිසිවක්‌ මුල් බුදු දහම තුළ නැත.

අපේ සිංහල බුද්ධාගම විය යුත්තේ හිංදු ආගමේ ආභාෂය ලැබ මිථ්‍යාවට ඉඩ සැලසූ බුදුදහමක්‌ නො ව මිථ්‍යාවට එරෙහි ව සටන් කළ බුදුරදුන් ගේ නිර්මල බුදුදහම විය යුතු ය. ලක්‌දිව තිබූ මිහිඳු හිමියන් ගෙන ආ මුල් බුදු දහමට බෙහෙවින් සමාන වූ ධර්මය තුළට බලවත් ලෙස මිථ්‍යාව ඇතුළු වූයේ මහායානය සහ හිංදු ආගම්වල බලපෑම හේතු කොටගෙන ය. මහායානය ලක්‌දිවට සංක්‍රමණය වූයේ ගෝඨාභය රජු දවස මහසේන කුමරුන් හට ශාස්‌ත්‍ර ඉගැන්වීම පිණිස පැමිණ සිටි සංඝමිත්‍ර නමැති භික්‌ෂුව ගේ මාර්ගයෙනි. එය සිදු වූයේ මහසේන කුමරුන් රජ වූ පසුව ය. ඊටත් පෙර වට්‌ටගාමිණී අභය රජු ගේ කාලයේ සිදු වූ සංඝ භේදය සහ අභයගිරි විහාරය කරවීSම මහායානය මේ රටට ගෙන ඒමට උපකාරී විය. මහායාන න්‍යායාචාරීන් ලක්‌දිව මහායාන ධර්මය ප්‍රචලිත කිරීම පිණිස විශේෂ වූ සූත්‍රයක්‌ නිර්මාණය කර තිබිණි. එහි නම වනාහී ලංකාවතර සූත්‍රය (තේරුම - ලංකාවට ඇතුළු වීම) විය. දෙවිවරුන් ගේ පිළිරූ අප ගේ නිර්මල බෞද්ධ පන්සලට ඇතුළු වූයේ මෙලෙසිනි. මේ දෙවිවරු මිථ්‍යාවට අධිපති වන්නෝ ය. මිථ්‍යාවට ඉමහත් සේ විරුද්ධ වූයේ බුදුරදුන් සහ විද්‍යාව විය. එම නිසා සිංහල බෞද්ධයාට විද්‍යාව කිසිසේත් ම අකැප නැත. සිංහල බෞද්ධයකුට විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි පැවසිය නොහැකි ය. එසේ පැවසිය හැක්‌කේ බුදුදහම විකෘති කරන හිංදු ආගමික සහ මහායානික සංකල්ප අදහස්‌ අදහන අයට පමණි.

පෙර කී පරිදි සිංහල බෞද්ධ ධර්මය තුළ හින්දු සහ මහායාන බලපෑම නිසා මිථ්‍යාව තිබිය හැකි ය. එම මිථ්‍යාවේ නියම ස්‌වභාවය වටහාගෙන විද්‍යාව දෙස බලන්නකුට එහි තුළ ඇති සත්‍යය කුමක්‌ දැයි වටහාගත හැකි ය. එසේ නොමැති ව එම මිථ්‍යාව ගෙඩිය පිටින් ම පිළිගෙන තම දර්ශනය ඉන් අන්ධ වීමට ඉඩ හැර විද්‍යාව දෙස බැලූ කල පෙනෙන්නේ බහුභූත ය.

මුල් බුදුදහම අනුව බුදුරදුන් කිසි විටෙක ලෝකය හෝ එහි තුළ ඇති දේ නො පවතින බවක්‌ පවසා නැත. මනස නැති බව පවසා නැත. ලෝකය පවතින්නේ මනසේ යෑයි කියන්නේ මහායානයේ විඥානවාදීන් ය. මනස නැති බව කියන්නේ මහායානයේ අනෙක්‌ ගුරුකුලය වන මාධ්‍යමිකවාදීන් ය. දෙක ම කියන්නේ නලින් මහතා ය. ඉතින් ඔහු නීල් ආම්ස්‌ට්‍රොaන්ග් හඳට පා තැබුවේ යෑයි කෙසේ පිළිගන්න ද? ඔහු එය පිළිගත හොත් ඔහු ගේ මුළු දර්ශනය ම කඩා වැටෙනු ඇත. ඔහු ගේ "නැති මනස නැති මනස බව නැති මනසින් වටහාගැනීම" යන නිවන පිළිබඳ නිර්වචනය බිඳ වැටේ. මේවා ඔහු ගේ මමත්වයට ඔරොත්තු නො දෙන, දිරවාගත නොහැකි බිඳවැටීම් වන්නේ ය. සිංහල බෞද්ධයකුට මෙවැනි සද්දන්ත මමත්වයක්‌ තිබිය නොහැකි ය.

සිංහල බෞද්ධ ධර්මය තුළට මිථ්‍යාව ඇතුළු කළේ මහායානය සහ හින්දු ආගම ය. සිංහල බුද්ධාගම යනුවෙන් නලින් මහාතා හඳුන්වන දහම මුල් බුදුදහමට වෙනස්‌ නම් ඒ වෙනස්‌කම තුළ ඇත්තේ මිථ්‍යාව පමණි. සිංහල බුද්ධාගම තුළ තිබෙන්නේ බටහිර සංස්‌කෘතියට එරෙහි වූ දර්ශනයක්‌ නම් එම දර්ශනය මුල් බුදුදහම තුළින් බිහි වූවක්‌ මිස වෙන කොහෙන් වත් ආ එකක්‌ නො වන බව ද කිව හැකි ය. මක්‌ නිසා ද බටහිර සංස්‌කෘතියේ චින්තනය, එහි ආකල්ප, ජීවිත දර්ශනය, ලෝක දැක්‌ම මුල් බුදු දහමත් සමඟ එකඟ නො වන නිසා ය. කොටින් ම බටහිර සංස්‌කෘතියේ තිබෙන තෘෂ්ණාව වර්ධනය කරන ජීවන රටාව සිංහල බුදුදහමට ගැලපෙන්නේ නැත. සිංහල බෞද්ධයකු ගේ දර්ශනයේ අඩිතාලම විය යුත්තේ තෘෂ්ණාව සමනය කිරීම ය. සිංහල බෞද්ධයකු තුළ නො තිබිය යුතු ගුණාංගවලින් ප්‍රමුඛත්වයක්‌ ගත යුත්තේ මමත්වයයි. එය ආත්මවාදය හා බැඳෙන නිසා ය. ආත්මය ඇති තැන තෘෂ්ණාව ලියලයි. ''මෙය මුලින් ම කිව්වේ මම ය. යුද්ධය දිනිය හැකි යෑයි මුලින් ම කීවේ මම ය. ඒ බව අප ගේ යුද හමුදාව ද දැන සිටියේ නැත. වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ බව මුලින් ම කීවේ මම ය.'' මෙවැනි පැවසීම් මුල් බුදු දහමට ගැලපෙන්නේ නැත. එම නිසා එවැනි දුර්වලකම් සිංහල බෞද්ධයකු තුළ තිබිය නොහැකි ය.

චීනය, රුසියාව වැනි රටවල් දියුණු වී බටහිරට විරුද්ධව අභියෝග කරන්නට හැකි තත්ත්වයකට පැමිණියේ ඔවුනට ආවේනික වූ විද්‍යාවක්‌ භාවිත කරමින් නො වේ. ඒ රටවල් භාවිත කළේ ද බටහිර භාවිත කරන කාටත් පොදු විද්‍යාව ය. වෙනත් විද්‍යාවක්‌ ඇත්නම් එය කුමක්‌ දැයි පෙන්වා දෙන මෙන් නලින් මහතාට මම අභියෝග කරන්නෙමි. අප සිංහල බෞද්ධයන් වශයෙන් වෙනත් විද්‍යාවක්‌ සොයා යැම මෝඩකමකි. වෙනත් විද්‍යාවක්‌ නැති නිසා පමණක්‌ නො ව එය අප ගේ විද්‍යාව ද වන නිසා ය. එසේ ම සිංහල බෞද්ධයා ගේ විනාශය ද එය වන්නේ ය. මක්‌නිසා ද වෙනත් විද්‍යාවක්‌ සොයා යැම මිථ්‍යාව සොයා යැම වන හෙයිනි. වකුගඩු රෝගය පිළිබඳව දෙවියන්ට කන්නලව් කිරීම වැනි ය.

කොතැනත් කවදත් තිබුණේ එක ම විද්‍යාව වන්නේ විද්‍යාවේ පදනම සැමට පොදු වූ ඉන්ද්‍රිsය ගෝචර වූ සාක්‌ෂි වන නිසා ය. මෙය වටහාගත නොහැකි ව නලින් මහතා බටහිර වෛද්‍ය විද්‍යාව ආයුර්වේදය සහ සිංහල වෙදකම අතර වෙනසක්‌ නැති දැයි අසයි. (විදුසර 26-02-2014). මේ ක්‍රම තුනේ ම පදනම වන්නේ ඉන්ද්‍රිsය ගෝචර සාක්‌ෂි වන්නේ ය. එය නැති තැන ඇත්තේ මිථ්‍යාව ය. යම්කිසි රෝගයකට යම්කිසි ප්‍රතිකාරයක්‌ හෝ බෙහෙතක්‌ හෝ සුදුසු බව සොයාගන්නේ එය අත්හදාබැලීමෙන් ය. රෝගීන් වැඩි ප්‍රමාණයක්‌ සුව කළ හැකි බෙහෙතක්‌ ඇතොත් එය සාක්‌ෂි ලෙස පිළිගැනේ. රෝග කාරකය සොයා ගන්නේ ද රෝග විනිශ්චය සිදු වන්නේ ද මේ ලෙස ම ය. සිංහල වෙදකමේ ද ආයුර්වේදයේ ද මේ ක්‍රමය හැර වෙන ක්‍රමයක්‌ නැත. දෙවියන් ගෙන් දැනුම ලබාගෙන රෝගවලට ප්‍රතිකාර කරන්නට ගොස්‌ අමාරුවේ වැටුණ අය අනන්ත අප්‍රමාණ ය. එලෙස අසරණ වූ අය කැලණිය විහ්වවිද්‍යාලයයේ ද සිටින බව අවශ්‍ය නම් පෙන්වා දිය හැකි ය. සිංහල වෙද මහතා තම දැනුම ලබාගත්තේ අත්දැකීමෙන් ය. ආයුර්වේද වෛද්‍යවරයා ද කළේ එය ම ය. මොවුන් රෝග පිළිබඳ තම අදහස්‌ තුළින් මතවාද ඉදිරිපත් කළ අවස්‌ථා ද නැත්තේ ම නො වේ. උදාහරණයක්‌ වශයෙන් ආයුර්වේදයට අනුව රෝග හටගැනෙන්නේ වාත පිත කප්හ යන පද්ධතියේ සමබරතාව බිඳුණු විට ය. එහෙත් අද වන තෙක්‌ මේ පදධතියේ ඇත්ත ස්‌වභාවය සොයාගෙන නැත. ආයුර්වේද බෙහෙත්වලින් නොයෙකුත් රෝග සුව කළ හැකි ය. එහෙත් එය සිදු වන්නේ අත්දැකීම්වලින් ලබාගත් සාක්‌ෂි මත පිහිටා ප්‍රතිකාර කිරීමෙන් මිස වාත පිත කප්හ පද්ධතිය ගැන ඇති දැනුමක්‌ නිසා නො වේ. ආයුර්වේදයේ ද සිංහල වෙදකමේ ද තිබිය හැකි අනෙකුත් මතවාද පිළිබඳව ද කිව හැක්‌කේ ඒවා පිළිගැනීමට සාක්‌ෂි නොමැති බව ය. මේ අතින් බටහිර වෛද්‍ය විද්‍යාව ඉදිරියෙන් සිටින්නේ ඔවුන් ගේ මතවාද පිළිබඳව ගැඹුරෙන් පර්යේෂණ කොට අවශ්‍ය සාක්‌ෂි සොයාගැනීමට වෙහෙසෙන නිසා ය.

කළ යුතු ව ඇත්තේ සාක්‌ෂි නොමැති වාත පිත සෙම වැනි අදහස්‌ අතහැර ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ පාවිච්චි කරන බෙහෙත්වල අඩංගු රෝගයට නිශ්චිතව පහර දෙන රසායනික ද්‍රව්‍යය කුමක්‌ දැයි සොයාගැනීමට පර්යේෂණ විධිමත් ලෙස කිරීම ය. මේ පර්යේෂණ සඳහා විද්‍යාත්මක ක්‍රම සහ තාක්‌ෂණය යොදාගත යුතු ය. මෙය ස්‌වල්ප වශයෙන් දැන් ද සිදු වන බව අපි දනිමු. සිංහල වෙදකම හා ආයුර්වේදය දියුණු කළ හැක්‌කේ මේ ලෙසින් මිස ළිඳේ මැඩියන් වීමෙන් නො වේ. මින් පෙනී යන්නේ සිංහල වෙදකමේ හෝ ආයුර්වේදයේ හෝ බටහිර යෑයි කියන වෛද්‍ය විsද්‍යාවෙන් වෙනස්‌ වූ දැනුම් පද්ධතියක්‌ තිබිය නොහැකි බව ය. එසේ වන්නේ දැනුම ලබාගත හැකි වන්නේ ඉන්ද්‍රිsය ගෝචර වූ සාක්‌ෂි තුළින් මිස වෙන මොන ම ක්‍රමයකින් වත් නො වන නිසා ය.

අප බටහිර විද්‍යාව ලෙස හැඳිනගන්නේ බටහිර බිහි වී වර්ධනය වූ විsද්‍යාවක්‌ නො වන්නා සේ ම බටහිර වෛද්‍ය විද්‍යාව ද වෙනත් සංස්‌කෘති තුළ බිහි වී යුරෝපයට සංක්‍රමණය වී එහි දී දියුණු වූ විද්‍යාවක්‌ බව අප වටහාගත යුතු ය. විශේෂයෙන් ඊජිප්තුවේ වර්ධනය වූ වෛද්‍ය විද්‍යාව සහ තාක්‌ෂණය විශාල වශයෙන් මේ සඳහා දායක විය. පුරාණ ඉන්දියාවේ ද වෛද්‍ය තාක්‌ෂණය වර්ධනය විය. සුශ්‍රැත (ක්‍රි.පූ. 4 වැනි ශ.ව.) නමැති භාරතයේ විසූ ශල්‍ය වෛද්‍යවරයා විසින් නිර්මාණය කරන ලද විකෘති වූ නාසය ප්‍රතිසංස්‌කරණය කරන ක්‍රමය අද පවා යුරෝපයේ භාවිත වන බව කිව යුතු ව ඇත. එම වෛද්‍යවරයා විසින් ලිත 'සුශ්‍රැත සංහිතා' නමැති ග්‍රන්ථයේ විස්‌තර වන වෛද්‍ය විශේෂඥ අංශ, ශරීරයේ කොටස්‌ සහ ක්‍රියාවන්, වෛද්‍යවරුන් පුහුණු කිරීම් වැනි දේ අද බටහිර වෛද්‍ය විද්‍යාවේ එම දේවලට සමාන ය. ලක්‌දිව විසූ බුද්ධදාස රජතුමා ද ශල්‍යකර්මයන් කර ඇත. තව ද ලෝකයේ ප්‍රථම ආරෝග්‍ය ශාලාව බිහි වූයේ ශ්‍රී ලංකාදීපයේ බව ද අප අමතක කළ යුතු නැත. ලක්‌දිව පොළොන්නරු යුගයේ (අලහර පිරිවෙන ආශ්‍රිත) පැවැති ශල්‍ය වෛද්‍ය ක්‍රම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක්‌ කර ඇති ශල්‍ය වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේ මහතා පවසන්නේ එකල ලක්‌දිව ශල්‍යකර්ම සහ අද බටහිර ශල්‍යකර්ම අතර වෙනසකට ඇත්නේ තාක්‌ෂණය පමණක්‌ බව ය. එකල අප ගේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම සහ අද බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම අතර සැලකිය යුතු වෙනසක්‌ නැත. මින් පෙනී යන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව වර්ධනය වූයේ ලෝකයේ පැරැණි සංස්‌කෘති තුළ බිහි වී රටින් රටට සංක්‍රමණය වූ විද්‍යාවේ දායකත්වය නිසා බව ය. එම නිසා කොතැනත් කවදත් තිබුණේ එක ම විද්‍යාව ය. ප්‍රශ්න ම`ගහැර නො යා උත්තර දෙන මෙන් නලින් මහාතාට නැවතත් මතක්‌ කරමින් මේ ලිපිය අවසන් කරමි.

මහාචාර්ය
එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc