logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
ගෙදර යැම, හඳට යැම හා පරලොව යැම

ඩී. එස්‌. සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමා මගෙන් ප්‍රශ්න දෙකක්‌ අසා ඇති බවත්, මා එතුමා ගෙන් ප්‍රශ්න ඇසීමට පෙර ඒවාට පිළිතුරු දිය යුතු බවත් තම පෙබරවාරි 12 ලිපියෙන් කියා සිටියි. ඒ ප්‍රශ්න මෙසේ ය.

1. (නිව්ටන් ගේ න්‍යාය බොරු නම් ඒවා යොදාගෙන හඳට යන්නේ කෙසේ ද?)

2. යුද්ධය දිනන්නට අවශ්‍ය දැනුම (උදා-කොටින් ගේ නැව් පිළිබඳ තොරතුරු) මිතුරන් ගේ උදව් ඇති ව දෙවියන් ගේ මාර්ගයෙන් ලබා නො ගත්තේ ඇයි? මෙහි න්‍යාය යනුවෙන් සඳහන් වන්නේ ඉංගිරිසියෙන් තියරි (theory) යනුවෙන් කියෑවෙන්න ය.

පාරිභාෂික ශබ්දමාලාවල තියරී යන්න වෙනුවට වාදය, සිද්ධාන්තය, න්‍යාය යන පද දී ඇත. මහාචාර්යතුමා ෆැක්‌ට්‌ යන්නට සිද්ධාන්තය යන්න යෙදුව ද එය වැරැදි ය. කෙසේ වෙතත් තියරි යන්න වෙනුවට න්‍යාය යන පදය යෙදීම පාරිභාෂික ශබ්දමාලාවලට එකඟ බැවින් අපි එය පිළිගනිමු. එහෙත් න්‍යාය යන්න බිංදු වැනි පැරැණි පොතපතෙහි යෙදෙන්නේ ලොජික්‌ (logic) යන්න වෙනුවට ය. එබැවින් මම ලොජික්‌ වෙනුවට න්‍යාය යන්න යොදා ගනිමි. මා තියරි යන්න වෙනුවට යොදාගන්නේ ප්‍රවාදය යන්න ය.

වාදය යන්න ඉසම් (ism) යන්න වෙනුවට මාක්‌ස්‌වාදය (Marxism), පශ්චාත්නූතනවාදය (Postmodernism) ආදී තැන්හි යෙදෙන බැවින් හා ප්‍රවාද හා ජනප්‍රවාද අතර ඇති සම්බන්ධයත්, තියරම් (theorem) යන්න වෙනුවට ප්‍රමේයය යන්න යොදාගැනීමත් සලකා මම තියරි යන්නට ප්‍රවාදය යන්න යොදාගනිමි. එහෙත් කිසිවකු තියරි යන්න වෙනුවට න්‍යාය යොදාගැනීම ගැන මගේ තදබල විරුද්ධතාවක්‌ නැත. අනෙක්‌ සියලු දෙනා මගේ ව්‍යවහාරය අනුගමනය කළ යුතු යෑයි කීමට තරම් බොළඳ බවක්‌, මුග්ධ බවක්‌ මට නැත. එහෙත් මහාචාර්යතුමා ෆැක්‌ට්‌ (පරිසිද්ධිය) යන්න වෙනුවට කිසි ම පාරිභාෂික ශබ්දමාලාවක නැති අන්දමින් හිතුවක්‌කාරව වැරැදියට සිද්ධාන්ත (තියරි) යන්න යෙදීම ගැන නම් මට විරුද්ධ නො වී සිටිය නො හැකි ය. පරිසිද්ධියක්‌ කෙසේ වත් සිද්ධාන්තයක්‌ බවට පත් නො වේ.

ඒ මහතා නිරවුල් අවබෝධයකින් තොර ව හිතුමතේ තම පාණ්‌ඩිත්‍යය පෙන්වීම සඳහා බොහෝ මහාචාර්යවරුන් මෙන් වචනවලින් දමාගැසීම නම් අඩු කර නැත. පෙබරවාරි 12 වැනි දා ලිපියෙහි ඒ මහතා ආඥෙයවාදය යන්න ස්‌කෙප්ටිසිසම් (Skepticism) සඳහා යොදාගනියි. ස්‌කෙප්ටිසිසම් යනු යමක්‌ නො දැනීම, අඥෙය යන අර්ථයෙන් යෙදෙන්නක්‌ නො ව සැකයක්‌ ඇති වීම යන අර්ථයෙන් යෙදෙන්නකි. ඒ සඳහා පාරිභාෂික ශබ්දමාලාවල ද යොදාගන්නා වචනය සංශයවාදය යන්න ය. අඥෙයවාදය යනු ඇග්නොස්‌ටිසිසම් (agnosticism) යන්නට යෙදෙන්නකි. සැකය යනු නො දැනීම යෑයි පටලවාගන්නේ නොදැනුම්කමට විය හැකි නමුත් අමරතුංග මහතා දිගින් දිගට ම තම නොදැනුවත්කම හෙළිදරවු කිරීමට කිසි ම සැකයකින් තොර ව ඉදිරිපත්වීම තේරුම් ගන්නේ කෙසේ ද?

ඒ මහතා එසේ තම නොදැනුවත්කම ප්‍රදර්ශනය කිරීමෙන් පසු ඉන් සෑහීමකට පත් නො වී ලෝකය නො පවතියි, සියල්ල බොරු ය යන්න අඥෙයවාදී අදහසක්‌ බව පවසයි. යමකු ලෝකය නො පවතියි ආදී වශයෙන් කියන්නේ නම් එය නො දැනීමක්‌ වන්නේ කෙසේ ද? සියල්ල බොරු යෑයි කියන්නේ නම් එලෙස කියන්නේ නො දැනීමකින් නො ව යම්කිසි දැනුමකින් ය. යමකු යමක්‌ නැතැයි කියන්නේ දැනුමකින් මිස නොදැනුමකින් නො වේ. ඒ දැනුම ද බොරු විය හැකි ය. එහෙත් එහි අඥෙයවාදීභාවයක්‌ නැත. අමරතුංග මහතා තේරුම්ගත යුත්තක්‌ නම් වචන තිබෙන්නේ පඬි බව පෙන්වීමට නො ව සන්නිවේදනයට හා හැකිතාක්‌ නිරවුල් ව අදහස්‌ සූත්‍රගත කිරීමට (Formulate) බව ය.

අඥෙයවාදයක්‌ ගැන කතා කර අමරතුංග මහතා කියන්නේ සියල්ල මනසේ නිර්මිත වූ මායාවක්‌ බව හෝ මනස නැති බව හෝ විඥානවාදී අදහස්‌ බව ය. අමරතුංග මහතා ගේ පරස්‌පර හා නොදැනුම්කම හේතු කොටගෙන ඔහුට අනුව මම අඥෙයවාදියෙක්‌මි. ඒ සමග විඥානවාදියෙක්‌මි. ඒ මහතා ඒ දෙක ම එක්‌වර සපුරාලන්නේ කෙසේ දැයි පැහැදිලි කරන්නේ නම් මැනවි. අනෙක්‌ අතට මනසක්‌ නැතැයි කීම හා සියල්ල මනසේ නිර්මිත යෑයි කීම දෙක ම විඥානවාදී අදහස්‌ බව අමරතුංග මහතා පවසයි. මනසක්‌ ඇතැයි ගනිමින් සියල්ල මනසේ නිර්මිත යෑයි කීම විඥානවාදී යෑයි කිව හැකි නමුදු මනසක්‌ නැතැයි කීම හා මනස මනසේ නිර්මාණයක්‌ යෑයි කීම විඥානවාදී වන්නේ කෙසේ ද? මනසේ පැවැත්ම ගැන මින් ඉහත අපේ ප්‍රවාද ලිපි පෙළෙහි ලිපි ගණනාවක්‌ ම ලියා ඇත.

බටහිර දැනුම් පද්ධතියෙහි වඩාත් නිරවුල් අදහස්‌ ප්‍රකාශ කෙරෙන්නේ බටහිර ගණිතයෙහි, ගණිතමය භෞතික විද්‍යාවෙහි හා ඥානවිභාගයෙහි (epistemology) ය. වියුක්‌ත වූ ඒ ක්‍ෂෙත්‍රවල අදහස්‌ ප්‍රකාශ කිරීම බටහිර වෛද්‍ය විද්‍යාවෙහි හෝ බටහිර දන්ත වෛද්‍ය විද්‍යාවෙහි අදහස්‌ ප්‍රකාශ කරනවාට වඩා සැලකිල්ලෙන් කළ යුත්තකි. ජනප්‍රිය පොතපතින් එහෙන් මෙහෙන් අහුලාගත් අදහස්‌ ප්‍රකාශ කිරීමේ දී එලෙස සැලකිලිමත් වීමට නොහැකි වීම පුදුමයක්‌ නො වේ.

අමරතුංග මහතා ගේ ප්‍රශ්න දෙකකට පිළිතුරු දීමට ප්‍රථම කිව යුතු කරුණු බොහොමයක්‌ වුවත් ඒ පසුවට කල් තැබීමට සිදු වෙයි. විශේෂයෙන් ම ගුරුත්වාකර්ෂණය හා වැටීම පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් අමරතුංග මහතා ඉදිරිපත් කරන පරස්‌පර විදහා දක්‌වමින් පිළිතුරක්‌ දීම අත්‍යවශ්‍ය වෙයි. ඒ අතර විවික්‌ත (discrete) හා වියුක්‌ත (abstract) අතර වෙනස ද පැහැදිලි කළ යුතු ය. අමරතුංග මහතා වියුක්‌ත යනුවෙන් අදහස්‌ කරන්නේ විවික්‌ත හෙවත් නො බැඳුණු යන්න ය. දැනට කිව යුත්තේ මා වියුක්‌ත යන්න විශේෂණ පදයක්‌ ලෙස භාවිත කරන්නේ අවුරුදු තිහක පමණ කාලයක සිට බවත් එය ඉංගිරිසි ඇබ්ස්‌ට්‍රැක්‌ට්‌ (abstract) යන වචනයට වියුක්‌ත දැනුම් පද්ධතියක්‌ (abstract system of knowledge) යන තැන්හි මෙන් විශේෂණ පදයක්‌ ලෙස පාරිභාෂික ශබ්දමාලාවලට හා මලලසේකර ශබ්දකෝෂයට එකඟ ව යොදාගන්නා බවත් ය. ප්‍රත්‍යක්‍ෂය යනු කුමක්‌ ද යන්න ද සුදුසු අවස්‌ථාවේ දී පැහැදිලි කරමි. ප්‍රත්‍යක්‍ෂය යන්න බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන් වන බව අමරතුංග මහතා නො දන්නේ අන්තර්ජාලයෙන් ඒ ගැන දැනගැනීමට නොහැකි බැවින් ද?

තන්තුවාදය පිළිබඳ ව මගේ දේශනයකට සහභාගි වී ඉගෙනගන්නා ලෙස මම අමරතුංග මහතාට කිසි විටෙක නො කීවෙමි. මා කීවේ මා සිටින තැනක ඒ පිළිබඳ ඔහු ගේ දේශනයක්‌ පවත්වා මා අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙස ය. අමරතුංග මහතාට ඒ කරුණ වත් නිවැරැදිව අවබෝධ කරගැනීමට නොහැකි බව තම පෙබරවාරි 12 වැනි දා ලිපියෙන් ප්‍රදර්ශනය කරයි. ඒ මහතා නිතර කියන කරුණක්‌ නම් ආලෝකයේ වේගයෙන් 90%කට අඩු වේගයකින් ගමන් ගන්නා වස්‌තු සඳහා නිව්ටන් ගේ ප්‍රවාදය වලංගු බව ය. අයින්ස්‌ටයින් ගේ ප්‍රවාදය බ්ලැක්‌හෝල් හැර ඕනෑ ම වේගයකට වලංගු යෑයි ඒ මහතා කියයි. මෙය තවත් පැහැදිලි කළේ නම් මැනවි. මේ "බ්ලැක්‌හෝල් හැර" යන්නෙන් ඒ මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ ද? ජනප්‍රිය පොතපතින් ලබාගත් අදහස්‌ මෙසේ ගෙනහැර දක්‌වන්නේ තේරුම් ගෙන නො වන බව මම දනිමි. 90% වේගය නියම කළ ජනප්‍රිය පොත කුමක්‌ ද? මේ ජනප්‍රිය පොත් ලියන ඇතැමුනට ද පැහැදිලි අවබෝධයක්‌ නැත. ඉහත සඳහන් අදහස්‌ මෑතක දී කරන ලද පර්යේෂණවලින් තහවුරු වී ඇති බව කතුවරුන් දෙදෙනකු ගේ නම් පමණක්‌ සඳහන් කරමින් එහෙත් ඒ අදහස්‌ පළ වූ සඟරා නම් නො කරමින් ඒ මහතා කියයි. මේ පිළිබඳව මා නො දන්නා බව ඒ මහතා කියයි. ඒ මහතාට ඒ පිළිබඳ දේශනයක්‌ පැවැත්වීමට මා ආරාධනා කරන්නේ එවිට මට ඒ මහතා ගෙන් ඉගෙනීමට අවස්‌ථාවක්‌ ලැබෙන බැවිනි.

අමරතුංග මහතා ගේ දැනගැනීම සඳහා කිව යුතු කරුණක්‌ නම් සාධාරණ සාපේක්‍ෂතාවාදය යනු විශේෂ සාපේක්‍ෂතාවාදයට ගුරුත්වාකර්ෂණය එකතු කිරීමෙන් ලබාගත්තක්‌ නො ව ගුරුවාකර්ෂණය නැතැයි ගැනීමෙන් ලබාගත්තක්‌ බව ය. එහෙත් මා නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය පට්‌ටපල් බොරුවක්‌ යෑයි කීමට මේ සංවාදයෙහි දී සාධාරණ සාපේක්‍ෂතාවාදය යොදා නො ගත් බව ද සඳහන් කළ යුතු ය. එසේ යොදාගත් බව කියන අමරතුංග මහතා ඒ පිළිබඳ සාක්‍ෂි සපයන්නේ ද?

අමරතුංග මහතා න`ගා ඇති පළමු ප්‍රශ්නයට පිළිතුරු පහත පළ වෙයි. දෙවැනි ප්‍රශ්නය ලබන සතියේ සාකච්ඡා කරමු. අප භාවිත කරන ලොකු ම බොරුව "මම" යන්න ය. මා යනුවෙන් කිසිවකු නැති ව සිටිය දී, මා යනු මනසෙන් නිර්මාණය කරගත් බොරුවක්‌ ව තිබිය දී අපි ඒ සංකල්පය යොදාගන්නෙමු. අපේ දැනුම එපරිදි ය. සම්මුති වශයෙන් අප තනාගත් සංකල්ප, ප්‍රවාද ආදී දැනුම් අපේ එදිනෙදා කටයුතුවල දී අපි යොදාගන්නෙමු. මා ගෙදර යනවා, දේශනයක්‌ පවත්වනවා ආදී යෙදුම් අප පිළිගන්නේත් එවැනි යෙදුම් යොදාගෙන අප ගෙදර යැම, දේශන පැවැත්වීම ආදී වශයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්නේත් මම යන්න සංකල්පය බොරුවක්‌ ව පවතිද්දී ය. නීල් ආම්ස්‌ට්‍රොaන්ග් තමා හඳට ගිය බව පැවසුවේත් ආම්ස්‌ට්‍රොaන්ග් යනුවෙන් අයකු ඇතැයි යන බොරුව යොදාගනිමිනි.

එහෙත් ඒ බොරුවෙන් අමාරුවේ වැටෙන අවස්‌ථා ද වෙයි. ක්‍ෂණයකට වුවත් මා පවතින්නේ යෑයි ගැනීම ආත්මවාදී වෙයි. මා ගෙදර යනවා යෑයි කී විට එසේ කීමෙන් මා ආත්මවාදියකු බවට පත් වන නමුත් සම්මුතියේ දී අපට එය ප්‍රශ්නයක්‌ නො වේ. එහි ඇති ආත්මවාදී අදහස ගැන අපි ගැඹුරෙන් නො සිතමු. එහෙත් පරලොව යන්නේ කවුදැයි ඇසූ විට එය තරමක දාර්ශනික ප්‍රශ්නයක්‌ බවට පත් වෙයි. ගෙදර යන්නේ කවුද, හඳට ගියේ කවුද ආදී ප්‍රශ්නවලදීත් ආත්මවාදය නො සලකා හැරීම වැරැදි වුවත් සම්මුතියෙන් අපි ඒ බැරෑරුම් ප්‍රශ්න ලෙස නො සලකමු.

එහෙත් පරලොව යන්නේ ද මා යෑයි කී විට අපට එය ආත්මවාදී ලෙස ගැනීමට සිදු වෙයි. පරලොව යැම හඳට යැමට හෝ ගෙදර යැමට හෝ වෙනස්‌ නො වන නමුත් අපි ආත්මවාදය යන්න පරලොවක්‌ සමග සැලකීමට පුරුදු වී සිටිමු. එබැවින් ආත්මවාදය ප්‍රතික්‍ෂෙප කරන බෞද්ධයකුට (බෞද්ධයන් යනු තුන්වැනි සංගායනාවේ ථෙරවාදය පිළිගත් අශෝක බෞද්ධයන් පමණක්‌ නො වන බව අවධාරණය කළ යුතු ය) පරලොව යන්නේ කවුද යන ප්‍රශ්නයට මා යෑයි කිව හැකි නො වේ. මිළිඳු රජු ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාගසේන හිමියෝ පරලොව යන්නේ තමාත් නො වේ ය, අන් අයකුත් නො වේ යෑයි පැවසූ හ. ඒ පිළිතුර ඇරිස්‌ටෝටලීය න්‍යාය (ලොජික්‌) සමග එකඟ නො වන නමුත් චතුස්‌කෝටික න්‍යායට එකඟ ය. ඒ පිළිතුර ආත්මවාදී ද නො වේ. නාගසේන හිමියන් ගෙදර යන තැනේ දී මෙන් පරලොව යන්නේ තමන් යෑයි දේශනා කළේ නම් උන්වහන්සේ ආත්මවාදී වන බව පැහැදිලි ය. මා යන බොරුව යොදාගෙන අපට සම්මුතියෙන් ගෙදර ගිය හැකි ය, හඳට ගිය හැකි ය. එහෙත් එයින් කියෑවෙන්නේ මා යනු බොරුවක්‌ නො වන බව නො වේ.

නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ද එබඳු ය. එය පට්‌ටපල් බොරුවකි. එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර වීම පසෙකින් තබා මනසින් මවාගැනීමට වත් නොහැකි පට්‌ටපල් බොරු කතන්දරයකි. මගේ ව්‍යවහාරයට අනුව පංචෙන්ද්‍රියයන්ට ගෝචර ව මනසින් ගන්නා සංකල්ප බොරු ය. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන මනසින් මවාගත නොහැකි සංකල්ප පට්‌ටපල් බොරු ය. ඒවා බුදුදහමට අනුව නම් පඤ්ඤත්ති, එනම් අප විසින් (මනස විසින්) පැනවෙන සංකල්ප පමණ ය. මේ පිළිබඳ විස්‌තර විදුසර අපේ ප්‍රවාද ලිපිවල අවුරුදු දෙකකට පමණ පෙර පළ විය. කාලය යන්න ද පඤ්ඤත්තියකි. බුද්ධඝෝෂ හිමියන් ඒ බව අත්ථසාලිනියෙහි සඳහන් කළ බව මගේ ලෝකය පළමු මුද්‍රණයෙහි සිට ම අප කියා ඇත. කාලය ද පට්‌ටපල් බොරුවකි. අද බටහිර විද්‍යාඥයන් කාලය යනු කුමක්‌ දැයි ප්‍රශ්න කරන නමුත් අඩු ම තරමෙන් පස්‌වැනි සියවසේ සිට එය පට්‌ටපල් බොරුවක්‌ බව අපි දනිමු. කාලය පට්‌ටපල් බොරුවක්‌ වුවත් අපි එය සාර්ථක ව යොදාගනිමු. ඒ පට්‌ටපල් බොරුව මැනීමට ඔරලෝසු ද පාවිච්චි කරමු. බුද්ධඝෝෂ හිමියන් ද නාගසේන හිමියන් ද අයත් වූයේ ථෙරවාද සම්ප්‍රදායට බව මෙහි දී මතක්‌ කරමු.

නලින් ද සිල්වා