logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
වචන හා වචන


පළමුකොට ම සඳහන් කළ යුත්තක්‌ නම් පසුගිය සතියේ මේ තීරුව යටතේ පළ වූ වෙබ් සම්බන්ධය (ඈඳීම-link) වැරැදියට මුද්‍රණය වී ඇති බව ය. එය පහත සඳහන් ආකාරයට නිවැරැදි විය යුතු ය. http://www.youtube.com/watch?v=kiLHfmfYoS4. අවශ්‍ය අයකුට සම්පූර්ණ දේශනයට සවන් දීමට පහත සඳහන් සම්බන්ධ ද යොදාගත යුතු ය. http://www.youtube.com/watch?v=-35_bat62mQ,http://www.youtube.com/watch?v=AMPlnr7LCoI/ නැත හොත් www.kalaya.org යන චින්තන පර්ෂදයේ වෙබ් අඩවියට පිවිස දේශනයට සවන් දිය හැකි ය.

අපි දැන් ඩී. එස්‌. සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ගේ විද්වත් ප්‍රකාශ කිහිපයක්‌ සලකා බලමු. ඔහු ජනවාරි 08 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "එනමුත් ඔහුට එක්‌ දෙයක්‌ අමතක වී ඇති බව කිව යුතු ය. එනම් සමහර මහාචාර්යවරුන්ට විශ්‍රාම යන විට ඔවුන් ගේ මහාචාර්ය පට්‌ටම

රැකගන්නට බැරි වන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති දුර්වලතාවක්‌ නිසා ද නැතිනම් සහජ දුර්වලතාවක්‌ නිසා ද යන්න පහදා දීම ය. එවැනි විධිමත් මාර්ගයක්‌ අනුගමනය කරන විශ්වවිද්‍යාල පද්ධතිය අවතක්‌සේරුවට ලක්‌ කරන්නේ මිදි ඇඹුල් බව පැවසූ උඩ පනින්නට බැරි හිවලා වැනි අය විය හැකි බව ද ඔහුට අමතක ව ඇත."

ඉහත සඳහන් වාක්‍යය ලියා ඇත්තේ ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත මහාචාර්යවරයා මිස ඔහු කියන අන්දමට විශ්‍රාම යන විට මහාචාර්ය පට්‌ටම

රැකගැනීමට බැරි වූ මා නො වේ. එහෙත් එහි සඳහන් වන එවැනි විධිමත් මාර්ගය කුමක්‌ දැයි මහාචාර්යතුමා නො කියයි. එවැනි යනුවෙන් සඳහන් කිරීමට ඒ විධිමත් ක්‍රමය කුමක්‌ දැයි පළමුව ප්‍රකාශ කළ යුතු ය. එසේ නැති ව එවැනි යන වචනයට ලැබෙන වැදගත්කම, ඒ වචනයෙන් විස්‌තර වන්නේ කුමක්‌ ද ආදිය පිළිබඳ ව අවබෝධයක්‌ පාඨකයාට නො ලැබෙයි. මගේ මහාචාර්ය පදවිය මා විශ්‍රාම යන විට අවසන් විය. අමරතුංග මහතා ගේ මහාචාර්ය පදවිය ද එතුමා විශ්‍රාම ගිය දිනයේ සිට අවසන් විය.

එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාල මූලික වශයෙන් එංගලන්තයේ විශ්වවිද්‍යාල අනුකරණය කරමින් මහාචාර්ය ධුරයෙන් විශ්‍රාම ගිය ඇතැම් අයට ගෞරවයක්‌ වශයෙන් මහාචාර්ය නාමය රඳවා ගැනීමට අවසර දෙයි. ඒ ඒ විශ්වවිද්‍යාල ඒ අවසරය දීම සඳහා සපුරාලිය යුතු නිර්ණායක සම්මත කරගෙන ඇත. ඒ නිර්ණායක විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස්‌ වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයයේ නම් එක්‌ නිර්ණායකයට අනුව අදාළ පුද්ගලයා අඩු ම තරමෙන් මහාචාර්ය පදවිය අවුරුදු අටක්‌ දරා තිබිය යුතු ය. එසේ ම බොහෝ විට අදාළ පීඨයෙන් ඒ අවසරය දීම සනාතන සභාවට හා පාලක මණ්‌ඩලයට නිර්දේශ විය යුතු ය. විවිධ අධ්‍යයන නො වන හේතු නිසා මට මහාචාර්ය ධුරයේ සේවය කිරීමට සිදු වූයේ අවුරුදු හතක්‌ පමණ ය. එය ද මට කිසිදු පත්වීමක්‌ ලබා නො දීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලට විරුද්ධව කිසි ම නීතීඥයකු ගේ සහායක්‌ නොමැති ව ප්‍රතිපාදන කොමිසමේ අභියාචන මණ්‌ඩලය ඉදිරියේ නඩු කීමෙන් ලබාගත් ජයග්‍රහණයක ප්‍රතිඵලයකි. හැත්තෑවේ දශකයෙහි අග පේරාදෙණිය විශ්වවිද්‍යාලය (එවකට මණ්‌ඩපය) මට පත්වීමක්‌ ලබා නො දීමට තීරණය කළ විට අමරතුංග මහතා ඒ විශ්වවිද්‍යාලයෙහි සේවය කළේ දැයි මම නො දනිමි.

කෙසේ වුවත් අවුරුදු අටක්‌ මහාචාර්ය ධුරය නො දැරූ ඇතැම් අයට ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් අදාළ අවසරය ලැබී ඇත. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨය මා සම්බන්ධයෙන් එවැනි විශේෂයක්‌ නො කරන බව මම දනිමි. මා එම පීඨයෙහි පීඨාධිපති ධුරය අවුරුදු තුනක්‌ දැරූ නමුත් පීඨයෙහි මාණ්‌ඩලික රැස්‌වීම් ශාලාවෙහි පීඨාධිපතිවරුන් ගේ ඡායාරූප අතර මගේ ඡායාරූපය නැත්තේ මගේ සහජ අවලක්‍ෂණයක්‌ (දුර්වලකමක්‌) නිසා යෑයි මම නො සිතමි. මට මහාචාර්ය නමින් ආමන්ත්‍රණයක්‌ අවශ්‍ය නැත. මගේ ඡායාරූපය සත පහක්‌ නො වටිනා විශ්වවිද්‍යාලයක බිත්තියක එල්ලා තැබීමට ද මට අවශ්‍ය නැත. මට මගේ ස්‌වාධීනත්වය, විශේෂයෙන් ම බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමෙන් සිංහලයන් ස්‌වාධීන කරගැනීම සඳහා කරන අරගලයේ දී මගේ ස්‌වාධීනත්වය, වැදගත් වෙයි. අමරතුංග මහතා ගේ අපහාසාත්මක ප්‍රකාශ නො වන්නට මට ඉහත සටහන ලිවීමට අවශ්‍යතාවක්‌ ඇති නො වීමට තිබිණි.

අමරතුංග මහතාට මහනුවර දී මා පැවැත්වූ දේශනයට සහභාගී වීමට ආරාධනා කළෙමි. ලිපියක සඳහන් කළ හැකි දෙයට වඩා බොහෝ දේ පැය දෙක හමාරක දේශනයක සඳහන් කළ හැකි ය. ඒ දේශනයට සහභාගී වී නම් ඒ මහතාට යමක්‌ ඉගෙනගැනීමට තිබිණි යෑයි මම විශ්වාස කළෙමි. එහෙත් ඒ මහතා පෙබරවාරි 05 වැනි දින පළ වූ ලිපියෙන් කියන්නේ තමා මගෙන් කිසිවක්‌ ඉගෙනගෙන නැති බවත් මා තමන් ගේ ම දේශනයක්‌ ගැන පුරසාරම් දෙඩීම ශිෂ්ට සමාජය පිළිකුල් කරන බව මා නො දන්නා බව පෙනී යන බවත් ය.

මා මගේ දේශනය ගැන කළ පුරසාරමක්‌ නැත. මා කළේ මගේ දේශනයට සහභාගි වීමට ඔහුට ආරාධනය කිරීමත් එයට සහභාගී වීමෙන් ඔහුට යමක්‌ ඉගෙනගැනීමට හැකි බවත් කීම පමණ ය. මා කොහේ දේශන පැවැත්වුවත් එයින් බලාපොරොත්තු වන්නේ අසන්නන්ට යමක්‌ ඉගැන්වීමට ය. අමරතුංග මහතා දේශන පවත්වන්නේ ඉගැන්වීමට නො ව දීමනාවක්‌ (වැටුපක්‌) ලබාගැනීමට විය හැකි ය. මම එය නො දනිමි. බොහෝ මහාචාර්යවරුන් ගේ දේශනවලින් පොතක පතක ඇති දෙයකට වැඩි කිසිවක්‌ ඉගෙනගැනීමට නොහැකි බවත් මම අත්දැකීමෙන් ම දනිමි. විශ්වවිද්‍යාලයයේ දී හැකිතාක්‌ දේශනවලින් ඉවත් ව සිටීම මට ප්‍රිය විය.

මා දේශන පවත්වන්නේත් ලියන්නේත් අලුත් යමක්‌ කියා දීමට ය. එහෙත් අමරතුංග මහතා කියන්නේ මිථ්‍යාව නො ඉවසන ඔහුට මගෙන් ඉගෙනීමට කිසිවක්‌ නැති බව ය. බටහිර විද්‍යාව නමැති පට්‌ටපල් බොරු විශ්වාස කරන ඔහු මගෙන් කිසිවක්‌ ඉගෙන නො ගන්නා බව නම් පැහැදිලි ය. ඒ බව ඔහු ගේ පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් ද පැහැදිලි වෙයි. ෆැක්‌ට්‌ස්‌ (Facts) යන්න වෙනුවට සිද්ධාන්ත යන්න යෙදිය නොහැකි බව මගේ ජනවාරි 22 වැනි දා ලිපියෙන් ශබ්දකෝෂවලින් හා පාරිභාෂික ශබ්දමාලාවලින් උදාහරණ ගෙන පෙන්වීමි. එහෙත් පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් ඔහු කියන්නේ කුමක්‌ ද?

ඔහුට අනුව ෆැක්‌ට්‌ස්‌ යන්නට සුදුසු වචනයක්‌ නොමැති බැවින් ඔහු දිගට ම ඒ සඳහා සිද්ධාන්තය යන වචනය යොදාගන්නා බව කියයි. ෆැක්‌ට්‌ යන්නට තනි වචනයක්‌ පැරැණි සිංහලයේ තිබී නැත. එයට හේතුව ෆැක්‌ට්‌ යන්න සිංහලයන්ට විෂය වූවක්‌ නො වූ බැවින් යෑයි සිතිය හැකි ය. එහෙත් දැන් පාරිභාෂික ශබ්දමාලාවෙහි පරිසිද්ධිය යනුවෙන් ඒ සඳහා වචනයක්‌ වෙයි. අමරතුංග මහතා ඒ වචනයට අකැමැති නම් ඔහුට වෙනත් සුදුසු වචනයක්‌ නිර්මාණය කරගත හැකි ය. එහෙත් ඔහු එසේ නො කර  ෆැක්‌ට්‌ යන්නෙන් දෙන අදහසට ඉඳුරා විරුද්ධ අර්ථයක්‌ දෙන සිද්ධාන්තය යන්න යොදාගනියි. මෙයින් පැහැදිලි වන්නේ අමරතුංග මහතාට වචන පිළිබඳ නිරවුල් අවබෝධයක්‌ නැති බව ය. අපි ලිපියෙහි අග මේ ගැන තවදුරටත් කතා කරමු.

ඒ අතර අමරතුංග මහතා පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් තවදුරටත් කියන්නේ මා කිසි දාක කිසි විටෙක කියා නැති බව ය. ඔහුට අනුව මා ෆෙයරාබන්ඩ් වැනි දාර්ශනිකයන් ගේ අදහස්‌වල එල්බගෙන (බටහිර) විද්‍යාව බොරුවක්‌ බව පවසයි. මා ෆෙයරාබන්ඩ් ගෙන් පමණක්‌ නො ව කූන් ගෙන් ද අභාසය ලබා ඇත. ඔවුන් නිර්මාණය කළ ඇතැම් දැනුමක්‌ සිංහල බෞද්ධ සංස්‌කෘතියට අවශෝෂණය කරගෙන ඇත. එය මා බොහෝ විට පවසන කරුණකි. එහෙත් මා දන්නා තරමින් ෆෙයරාබන්ඩ් හෝ කූන් හෝ පොපර් හෝ බටහිර විද්‍යාව පිළිබඳ වෙනත් දාර්ශනිකයකු හෝ බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි කියා නැත. එසේ කියා ඇත්නම් රායප්පු ජෝසľa හා සවුන්ද්‍රනායගම් බිෂොප්වරුන් මෙන් සාක්‍ෂි නොමැති ව හිස්‌ ප්‍රකාශ නො කර බටහිර දාර්ශනිකයකු බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි කියා ඇත්තේ කොතැනක දැයි සාක්‍ෂි සහිතව සඳහන් කරන මෙන් ඉල්ලමි.

මා කිසි ම අලුත් සත්‍ය දෙයක්‌ කියා නැති බව කී පළමු නැනැත්නා අමරතුංග මහතා නො වේ. මෙයට කලින් කාලෝ ෆොන්සේකා මහතා එක්‌තරා රූපවාහිනි සාකච්ඡාවක්‌ අවසානයේ දී මට පිළිතුරුකට කාලය නො තබා ඉතා නිවට ආකාරයකට ඒ අරුත දෙන ප්‍රකාශයක්‌ කළේ ය. ඔහු බලාපොරොත්තු නො වූ පරිදි ඔහු ගේ නිවට බව හෙළිදරවු කිරීමට මම ඒ අවස්‌ථාවම යොදාගත්තෙම්. මෙයට කලකට පෙර කලක්‌ ජ. වි. පෙ. අනුගාමිකයකු ව සිට පසුව චින්තන පර්ෂදයේ කටයුතුවලට සහභාගී ව ජාතිය මළ කඳක්‌ යෑයි කියමින් නැවතත් චන්ද්‍රිකා කුමාරතුංග මංගල සමරවීර දේශපාලනයට 1994 දී ගිය පාඨලී චම්පික රණවක මහතා ද මා රැම්සේ වෙත්තිමුනි මහතා ගේ අදහස්‌ හැරෙන්නට වෙනත් දෙයක්‌ (බටහිර) විද්‍යාව හා බුදුදහම පිළිබඳ කියා නැතැයි මහා ඝෝෂාවක්‌ කළේ ය. වෙත්තිමුනි මහතා ගේ අදහස්‌ සමග මා එකඟ නො වූ බව ඒ මහතාට නො වැටහුණේ ඔහුට වෙනත් දේශපාලන ප්‍රශ්නයක්‌ තිබූ නිසා බව මම දැන සිටියෙමි.

අද අමරතුංග මහතා කියන්නේ මා මහායාන දහමේ අදහස්‌වල එල්බගෙන බුදුදහම විකෘති කරන බව ය. එය චම්පික රණවක මහතා කී දේට පටහැනි ය. දෙදෙනා ම හෝ අඩු ම තරමෙන් ඔවුන් ගෙන් එක්‌ අයකු හෝ බොරු කියන (කී) බව පැහැදිලි ය. මා අශෝක බුදුදහමෙහි සඳහන් ඇතැම් දේ නො පිළිගත් පමණින් මා බුදුදහම විකෘති කරන බව අමරතුංග මහතා පවසන්නේ කෙසේ ද? අපි කාලෝ ෆොන්සේකා මහතා හා අමරතුංග මහතා බටහිර දැනුමට අවශ්‍ය කරන ආකාරයට කාළාම සූත්‍රය විකෘති කර ඇති ආකාරය පසුව සාකච්ඡා කරමු. මහනුවර දේශනයට සවන් දෙන්නකුට එය පැහැදිලි විය යුතු ය.

අපි සංවාදයක යෙදී ඇත්තෙමු. අප වැන්නන් සංවාද කරන්නේ, බොහෝ විට සන්නිවේදනය කරන්නේ භාෂාවක වචන යොදාගනිමිනි. එබැවින් අපි වචන යොදාගැනීමේ දී හැකිතාක්‌ නිරවුල් වීමට උත්සාහ දැරිය යුතු වෙමු. එහෙත් අමරතුංග මහතා ඒ ගැන කිසි ම සැලකිල්ලක්‌ නො දක්‌වයි. ඔහු වරක්‌ ඉන්කන්සිස්‌ටන්සි යන වචනය වෙනුවට අවිනිශ්චිතතාව යන පදය යෙදී ය. එය වැරැදි බව ජනවාරි 15 වැනි දා මගේ ලිපියෙන් පෙන්වා දුනිමි. මගෙන් කිසිවක්‌ ඉගෙනීමට නැතැයි කියන අමරතුංග මහතා ජනවාරි 29 වැනි දා ලිපියෙන් ද ඒ වරද කරයි. ඔහු "නිව්ටන් ගේ න්‍යාය තුළ අවිනිශ්චිතතාවන්, අස්‌ථිරතාවන්, නිරවද්‍ය නො වූ තැන් (inconsistency, impreciseness, uncertainty, inexactitude) තිබිය හැකි" යෑයි පවසයි. මෙහි න්‍යාය යනුවෙන් යොදාගෙන ඇත්තේ තියරි යන්නට විය යුතු ය. එය ද වැරැදි ය. කෙසේ වෙතත් අමරතුංග මහතා සිංහල වචන තුනක්‌ වෙනුවට වරහන් තුළ ඉංගිරිසි වචන හතරක්‌ යොදයි. පැහැදිලි ව ම මෙය කපටි උපක්‍රමයකි. තමන් කිනම් සිංහල වචනයක්‌ කිනම් ඉංගිරිසි වචනයක්‌ වෙනුවෙන් යොදාගන්නේ දැයි පාඨකයාට නො කීමට ඔහුට ඉන් අවස්‌ථාව ලැබෙයි. කෙසේ වෙතත් අප කතා කරන්නේ නිවුටෝනීය විද්‍යාවේ බොරුව ගැන මිස ඊනියා අස්‌ථිරතාවන්, අවිනිශ්චිතතාවන් ගැන නො වේ. බොරුව වචන දමා ගැසීමෙන් වැසිය හැකි නො වේ. මේ සියල්ලටත් වඩා අමරතුංග මහතා තම අනවබෝධය ප්‍රදර්ශනය කරන්නේ පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් වියුක්‌තය ගැන කතා කිරීමේ දී ය. ඔහු වියුක්‌තය යනුවෙන් වටහාගෙන ඇත්තේ විවික්‌තය යෘ අපි මේ සියල්ල පසුව විස්‌තරාත්මක ව සාකච්ඡා කරමු. බටහිර විද්‍යාවේ ඇත්තේ වියුක්‌ත ප්‍රවාද බැවින් අමරතුංග මහතා ඉගෙනගත්තත් නැතත් අප ඉක්‌මනින් එය පැහැදිලි කළ යුතු ය.

නලින් ද සිල්වා