logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
බුදුදහමට, නිව්ටන්ට සහ අයින්ස්‌ටයින්ට
අනුව බොරු වළේ වැටීම


ආචාර්ය නලින් ද සිල්වා මහතා මා කිසිවක්‌ නො දන්නා බව කීමට විදුසර සඟරාවේ පිටු නාස්‌ති නො කරන අවස්‌ථාවල දී ඔහු පවසා සිටින්නේ හැම දෙයක්‌ ම බොරු හෝ මායාවක්‌ බව ය. (විදුසර - 05.02.2014). ඔහු බොරුවක්‌ හෝ මායාවක්‌ ලෙස හඳුනාගන්නා දේවලින් සමහරක්‌ වන්නේ මනස, පොළොව, වැටීම, තද බව යන්න ය. තව ද ඔහු නිව්ටන් සහ අයින්ස්‌ටයින් බොරුකාරයන් බව මහනුවර දී 23.01.2014 දින ඔප්පු කොට ඇති බවට පුරසාරම් දොඩවා ඇත. (විදුසර-29.01.2014). මනස, පොළොව, තද බව බොරු හෝ මායාවක්‌ බව කොහේ දී ඔප්පු කොට ඇත් දැයි මම නො දනිමි. ඔප්පු කිරීම ඔහුට ප්‍රශ්නයක්‌ නො වේ. එය කිරීම සඳහා ඔහුට කරන්නට ඇත්තේ එක්‌ දෙයකි. ඔහු විසින් ප්‍රත්‍යක්‌ෂ කර ගන්නා ලදැයි කියන දෙය පැවසීම පමණි. සාක්‌ෂි සාධක අවශ්‍ය නැත. අප එය සත්‍යය සේ පිළිගත යුතු ය. නැතිනම් අප මොනවත් නො දන්නා මෝඩයන් ය. ඔහු බොරු වළක වැටී ඇති බව මා කිවේ මේ නිසා ය.

ප්‍රථමයෙන් පැවසිය යුත්තේ මගේ මුල් ප්‍රශ්නය වන විද්‍යාව බොරුවක්‌ ද යන්නට නලින් මහතා උත්තර සපයා නැති බව ය. විද්‍යාත්මක දැනුම වියුක්‌ත වූ දැනුමක්‌ නිසා එය බොරුවක්‌ බව ඔහු ගේ අදහස විය. එහෙත් මා විසින් විද්‍යාත්මක දැනුම වියුක්‌ත දැනුමක්‌ නො වන බව 05.02.2014 වැනි දින විදුසර සඟරාවේ පළ කරන ලද ලිපියෙන් පැහැදිලි කොට ඇත. ඊට අමතරව පහත සඳහන් වැදගත් ප්‍රශ්නවලට ද ඔහු තවමත් උත්තර දී නැත.

1) නිව්ටන් ගේ න්‍යාය බොරු නම් ඒවා යොදාගෙන හඳට යන්නේ කෙසේ ද?

2) යුද්ධය දිනන්නට අවශ්‍ය දැනුම (උදා-කොටින් ගේ නැව් පිළිබඳ තොරතුරු) මිතුරන් ගේ උදව් ඇති ව දෙවියන් ගේ මාර්ගයෙන් ලබා නො ගත්තේ ඇයි?

මගෙන් ප්‍රශ්න ඇසීමට පෙර නලින් මහතා මේවාට උත්තර සැපයිය යුතු ය. නලින් මහතා පොළොව, වැටීම, තද බව, මිනිස්‌ මනස බොරු හෝ මායාවක්‌ හෝ බව පවසන නිසා මේ දේවල් දෙස විද්‍යාත්මක මාර්ගයෙන් සහ බුදු දහමේ දෘෂ්ටි කෝණයෙන් බැලීම විද්‍යාව බොරුවක්‌ ද යන මුල් ප්‍රශ්නය විසගැනීමට උපකාර විය හැකි ය. නලින් මහතා දරන මේ අදහස්‌ අඥේයවාදයට (skepticism) සහ විඥානවාදයට සමාන බව මා මීට ඉහත ලිපිවල ද සඳහන් කොට ඇත. ලෝකය නො පවතියි, සියල්ල බොරු ය යන්න අඥේයවාදී අදහසකි. සියල්ල මනසේ නිර්මිත වූ මායාවක්‌ බව හෝ මනස නැති බව හෝ විඥානවාදී අදහස්‌ වන්නේ ය. එනමුත් නලින් මහතා කියන්නේ ඔහු විඥානවාදියකු නො වන බව ය. යමකුට මෙසේ පැවසිය හැකි ය. "මගේ අදහස ශ්‍රී ලංකාව බෙදා වෙන් කළ යුතු බවයි. එහෙත් මම බෙදුම්වාදියෙක්‌ නො වෙමි" නලින් මහතා විඥානවාදියකු දැයි මේ උදාහරණයෙන් තේරුම්ගත හැකි ය. නලින් මහතා මනස නැතැයි කියයි. ඒ කටින් ම මනස මනසේ ම නිර්මාණයක්‌ බව ද කියයි. ඒ ලෙස ම නිවන යනු නැති මනස නැති මනස බව නැති මනසින් වටහාගැනීම යෑයි පවසයි. මෙය මට නො තේරෙන්නේ මා බටහිර ආකෘතියේ ප`ඩියකු නිසා විය යුතු ය. පාඨකයන්ට මෙය තේරෙනවා දැයි මම නො දනිමි.

අපට ප්‍රයෝජනවත් ජීවිතයක්‌ ගෙන යැම පිණිස ලෝකය පිළිබඳව යම් යථාර්ථයක්‌ මත අප පය ගසා සිටිය යුතු ය. නැතිනම් අප පා වන පර`ඩැල් වන්නේ ය. ලෝකය පිළිබඳ බුදු දහමේ යථාර්ථය වන්නේ එය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වූ එකක්‌ බව ය. ලෝකය නො පවතින බව මින් අදහස්‌ වන්නේ නැත. බුදුරදුන් වදාළේ "සියල්ල පවතියි යන්න එක්‌ අන්තගාමි අදහසකි, සියල්ල නො පවතියි යන්න අනෙක්‌ අන්තගාමි අදහස ය. මා පිළිගන්නේ මේ අන්ත දෙකට මධ්‍යම වූ අදහසකි" යනුවෙනි (කච්ඡායනගොත්ත සුත්ත). එසේ පැවසුවාට පසු උන්වහන්සේ පටිච්චසමුප්පාදය දේශනා කළේ ඊට අනුකූලව මේ දේවල් සිදු වන බව පෙන්වා දීම පිණිස ය. මේ දහමට අනුව සියල්ල හේතු-ඵලවාදයට අනුව උත්පාදනය වන්නේ ය. උත්පාදනය වන්නේ නම් ඒවා පැවතිය යුතු ය. එහෙත් එය සිදු වන්නේ අනිත්‍ය ධර්මයට අනුව ය. කිසිවක්‌ නො පවතින බව බුදුරදුන් පවසා නැති බව මින් පැහැදිලි ය. තව ද බුදුරදුන් සියල්ල ම පවතින බව නො පිළිගන්නේ අනිත්‍ය ධර්මය තහවුරු කිරීම පිණිස ය. මෙහි දී බුදුරදුන් විසින් ශාස්‌වතවාදය ද (නිත්‍ය, eternal), උච්ඡේදවාදය ද (නාස්‌තික, nihilism) යන අන්ත දෙක ම පිටුදක්‌නා ලදී. නලින් මහතා සිටින්නේ එක අන්තයක ය. එය මහායාන දහමේ එන ගුරුකුල දෙකක්‌ වන විඥානවාදය සහ මාධ්‍යමිකවාදයේ සංයෝගයකින් නිෂ්පාදනය වූවක්‌ බව පෙනේ. විඥානවාදයේ පැවසෙන්නේ සියල්ල මනසේ පවතින බව ය. මාධ්‍යමිකවාදයේ පැවසෙන්නේ මනස ද නැති බව ය. නලින් මහතා පවසන්නේ සියල්ල නැති-මනසේ නිෂ්පාදිත මායාවක්‌ බව ය. මහායාන ගුරුකුලයන් දෙකට ම උඩින් යන තවත් දෙයක්‌ නලින් මහතා ප්‍රත්‍යක්‍ෂ කොටගෙන ඇත. එනම් මනස මනසේ ම නිර්මිතයක්‌ බව ය. මෙය විඥානවාදී ධර්මය නිsර්මාණය කළ අසංග භික්‌ෂුවට අමතක වූ දෙයක්‌ විය හැකි ය.

මුල් බුදුදහමට අනුව මනස සැලකෙන්නේ ඉන්ද්‍රිය හයෙන් (සළායතන) එකක්‌ හැටියට ය. නැති-මනස යනුවෙන් නලින් මහතා හඳුන්වන්නේ මෙය ම දැයි මම නො දනිමි. කෙසේ වුවත් බුදුරදුන් මනස නැති බව දේශනා කොට නැත. (ත්‍රිපිටකය). නාම-රූප (psycho-physical) යන ද්විත්වයේ නාම යන කොටස විශ්ලේෂණයට භාජන කරන විට වේදනා, සංඥා, සංඛාර, විඥාන යන උපාංග බුදු දහම විසින් හඳුනාගනු ලබයි. පංචස්‌aකන්ධයෙන් සතරක්‌ ම මේ සතර වන්නේ ය. අනික රූප වන්නේ ය. මිනිසා ගේ භෞතික වූ අංගයන් රූප යනුවෙන් සැලකේ නම්, නාම වන්නේ මානසික අංගයන් ය. ස්‌කන්ධ පහෙන් හතරක්‌ ම මානසික අංගයන් වන්නේ ය. බුදුරදුන් මානසික අංගයන්ට දුන් වැදගත් ස්‌ථානය මින් පෙන්නුම් කරයි. මනස නැතිනම් බුදුරදුන් එවැනි වැදගත් ස්‌ථානයක්‌ ඊට නො දෙනු ඇත. තව ද මනස නැතිනම් ඒ බව බුදුරදුන් අපට පැහැදිලි කොට දෙනු නියත ය. උන්වහන්සේ එසේ කළේ පසුකාලීන දාර්ශනිකයන්ට හෝ මහා ප්‍රඥයන්ට හෝ එය කිරීමට ඉඩ තැබීම බුදු දහම විකෘති කිරීමට ඉඩ තැබීමක්‌ වන නිසා ය. නාගර්ජුනපාදයන් පවා මනස නැති බවක්‌ පවසා නැත. (මූල්‍ය-මාධ්‍යමික කාරිකා). මා මේ දේවල් පවසන්නේ නලින් මහතා කියන පරිදි මා මහා ලොකු පණ්‌ඩිතයකු බව පෙන්වීමට නො වේ. මේ දේවල් මොළේ කළඳක්‌ ඇති කාට වුවත් පතපොත කියවීමෙන් දැනගත හැකි ය. මහා ප්‍රඥායන් මේ දේවල් ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට යැමෙන් අදහස්‌ විකෘති විය හැකි ය. නලින් මහතා සේ බොරු වළේ වැටිය හැකි ය.

මේ නයින් බලන කල පෙනී යන්නේ මුල් බුදුදහමට අනුව පොළොව, මනස සහ අනෙකුත් දේවල් නො පවතින්නේ නැති බව ය. විද්‍යාවට අනුව ද මෙය තහවුරු වන බව පැහැදිලි ය. පොළොව, ඉර, හඳ, තාරකා පවතින බව විද්‍යාව විසින් සොයාගනු ලැබ ඇත. හඳ මත මිනිසෙකු පා තැබූ හෙයින් හඳ ද ඇත්තට ම පවතින බව ඔප්පු වී ඇත. ලෝකයේ ස්‌වභාවය ද්‍රව්‍ය (matter)වල ස්‌වභාවය පිළිබඳව සෑහෙන ප්‍රමාණයක දැනුම් සම්භාරයක්‌ ලබා ගෙන ඇත. එහෙත් එම දැනුමේ නිවැරැදි නො වූ තැන්, අවිනිශ්චිතභාවයන්, අස්‌ථාවරතාවන් නැත්තේ නො වේ. හැම දා සිදු වූවා සේ මේවා අවම කරගැනීමටත්, නො දන්නා දේ දැනගැනීමටත් මිනිසාට හැකි වන්නේ විද්‍යාත්මක ක්‍රමෙවිදයකින් පමණි. වැඩි කල් නො ගොස්‌ පෘථවිය මත ජීවීන් ඇති වූයේ කෙසේ ද යන ප්‍රශ්නයට උත්තර සැපයීම සිදු විය හැකි ය. මේ එක්‌ උදාහරණයක්‌ පමණි.

තන්තුවාදය ගැන කිසිත් නො දන්නා මා මහාදැනමුත්තකු සේ ඒ ගැන දොඩවන බව නලින් මහතා පවසයි. ඔහුට කේන්ති ගොස්‌ ඇත්තේ තන්තුවාදයට (String Theory/ Super String Theory)) සම්බන්ධ වචන හතරක්‌ එනම් Theory of Everything, Standard Model යන වචන මගේ මීට පෙර ලිපියේ වරහන් තුළ සඳහන් කර ඇති බැවිනි. නලින් මහාතා ප්‍රත්‍යක්‌ෂ බලයෙන් ලබා ගන්නා දැනුම පිළිබඳව කවුරුන් හෝ පොතපත කියවා ලබාගන්නා දැනුම භාවිතයෙන් වචනයක්‌ කිව්වොත් ඔහුට කේන්ති යයි. එම දැනුම ඔහුට අයිති නිසා ය. (patent rights). තන්තුවාදය බොරුවක්‌ හෝ මායාවක්‌ බව අසාගන්නට ඔහු ගේ දෙශනයකට යැමට මට අවශ්‍යතාවක්‌ නැත. එය බොරුවක්‌ හෝ මායාවක්‌ හෝ නො වන බව ද එය විද්‍යාවේ දියුණුව පිණිස සිදු කරන පර්යේෂණවලට සුදුසු ප්‍රස්‌තාව ලබාගැනීම පිණිස තනන "මොඩල" සහ මතවාද බව ද වටහාගැනීමට අවශ්‍ය දැනුම (ගණිතමය දැනුම ඇතුළුව) මට පොතපතින් ලබාගත හැකි ය. දැනුම ආචාර්ය නලින් මහාතා ගේ ඒකාධිකාරයක්‌ ද?

වැටෙන මිනිසකුට ගුරුත්වාකර්ෂණය නො දැනෙන බව නලින් මහතා පවසයි. මෙය කියන්නට දෙයක්‌ නො වේ. මක්‌නිසා ද ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වන නිසා ය. මා ගේ මීට ඉහත ලිපියේ මේ ගැන විස්‌තරයක්‌ කර ඇත. එනමුත් වැටෙන මිනිsසාට වැටීම දැනෙන්නේ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණයට අනුව ද නැතිනම් අයින්ස්‌ටයින් ගේ ගුරුත්වාකර්ෂණයට අනුව ද යන නලින් මහාතා ගේ මෝඩ ප්‍රශ්නයට පිළිතුරක්‌ නො දී බැරි ය. පළමුවෙන් ම මේ ප්‍රශ්නය නො න`ගින බව පාඨකයන් තේරුම්ගන්නවා ඇත. මක්‌නිසා ද ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වන නිසා ය. දෙවනුව ඊට මා දෙන පිළිතුර දෙස බලමු.

මිනිසකු නො දන්නාකමට බොරු වළකට වැටෙනවා යෑයි සිතමු. එසේ බොරු වළට වැටෙන මිනිසාට ගුරුත්වාකර්ෂණය දැනෙනවා නම් දැනෙන්නේ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණයට අනුව යෑයි කීවාට වරදක්‌ නැත. අයින්ස්‌ටයින් ගේ ගුරුත්වාකර්ෂණයට අනුව යෑයි කීවාට ද වරදක්‌ නැත. මන්ද බොරු වළට වැටෙන මිනිසා ගේ වේගය ආලෝකයේ වේගය ඉක්‌මවන්නේ නැති නිසාත්, ඔහු අධි ගුරුත්වාකර්ෂණ ක්‌ෂෙත්‍රයකට ඇතුළු වන්නේ නැති නිසාත් ය. ආලෝකයේ වේගයෙන් 90%කට අඩු වේගයකින් ගමන්ගන්නා වස්‌තු සඳහා නිව්ටන් ගේ න්‍යාය වලංගු ය. අයින්ස්‌ටයින් ගේ න්‍යාය ඕනෑ ම වේගයකට ("බ්ලැක්‌ හෝල්" හැර) වලංගු ය. මේ අදහස්‌ මෑතක දී කරන ලද පර්යේෂණ ම`ගින් වඩාත් තහවුරු වී ඇත. (Bertotti B. et al 2003, Everitt et al 2011). එහෙත් බොරු වළට වැටුණු මිනිසා මේවා නො දනී. එම නිසා ය ඔහු බොරු වළ තවත් හාරන්නේ.

අයින්ස්‌ටයින් ගේ න්‍යාය පිළිබඳව සාකාච්ජා කිරීමට අවශ්‍ය ගණිතමය දැනුම මට නැති බව නලින් මහතා පවසයි. මගේ ගණිතමය දැනුම ගැන ඔහු දන්නේ කෙසේ දැයි මා අසන්නේ නැත්තේ ඔහු සියලු දේ දන්නා මහා ප්‍රාඥයා බැවිනි. එසේ ම වකුගඩු රෝග, මී උණ පිළිබඳව කතා කිරීමට ඔහුට දැනුමක්‌ නැතැයි නො කියන්නේ ද ඒ නිසා ම ය. (මේවා ගැන කතා කිරීමෙන් පස්‌ස බිම ඇනගත් බව අවශ්‍ය නම් පසුව කතා කරමු).

නිව්ටන් ගේ න්‍යාය බොරු බව අයින්ස්‌ටයින් ගේ න්‍යාය විසින් ඔප්පු කොට ඇති බව නලින් මහතා හ`ඩන`ගා කියයි. මින් හැඟෙන්නේ මේවා පරස්‌පර බව ය. නලින් මහතා ගේ මේ ප්‍රකාශයේ සත්‍යයක්‌ ඇත දැයි සොයා බලමු.

නිට්‌ටන් ගේ ගුරුත්වාකර්ෂණවාදයෙන් කියවෙන්නේ අවකාශයේ ඕනෑ ම වස්‌තු දෙකක්‌ එකිනෙකට ආකර්ෂණය වීමේ දීs ඇති වන බලය පිළිබඳ ව ය. අයින්ස්‌ටයින් ගේ විශේෂ සාපේක්‍ෂතාවදය නිර්වචනය වන්නේ ගුරුත්වාකර්ෂණය සලකා නො බලා ය. එය අවකාශය සහ කාලය අතර ඇති සබඳතාව පිළිබඳ වූ මතවාදයක්‌ විය. සිදුවීම් දෙකක්‌ අතර ඇත්තේ නිශ්චිත කාල පරාසයක්‌ ම නො ව නිශ්චිත කාල-අවකාශ (time space) පාරාසයක්‌ බව ඉන් කියවේ. තව ද ගුරුත්වාකර්ෂණය විසින් කාලය සහ ආලෝකය මත ඇති කෙරෙන බලපෑම නිව්ටන් සලකා බලා නැත. තව ද බුද ග්‍රහයා ගේ වලනයේ වෙනස්‌ වීම නිව්ටන් ගේ න්‍යාය සමග එක`ග නො වීම ද ප්‍රශ්නයක්‌ විය. මේ ප්‍රශ්න දෙස අයින්ස්‌ටයින් ගේ අවධානය යොමු විය.

මීට පිළියමක්‌ වශයෙන් ඉහත සඳහන් විශේෂ සාපේක්‍ෂතාවාදය සහ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ න්‍යාය එකතු කොට සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය නිමාණය කිරීමට විද්‍යාඥ අයින්ස්‌ටයින් සමත් විය. (පොතපත ඇසුරිනි). සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය (General Theory of Relativity) විසින් කරන ලද්දේ විශේෂ සාපේක්‌ෂතාවාදය (Special Theory of Relativity) සහ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය (Newton's Law of Universal Gravitation) එකතු කොට ගුරුත්වාකර්ෂණය පිළිබඳව එකාබද්ධ අර්ථකථනයක්‌ ඉදිරිපත් කිරීම ය. ඕනෑ ම වේගයකින් චලනය වන වස්‌තූන් පිළිබඳව මෙතෙක්‌ ඉදිරිපත් වී ඇති නිවැරැදි ම මොඩලය වන්නේ විශේෂ සාපේක්‍ෂතාවාදය ය. එනමුත් නිව්ටන් ගේ න්‍යාය තවමත් හඳට යැමට පවා භාවිත වන්නේ එය සරල වූ ද, නිවැරැදි වූ ද එකක්‌ නිසා ය. ආලෝකයේ වේගයට වඩා අඩු (90%) වේගය සලකා බලන ටිට අයින්ස්‌ටයින් ගේ සාමාන්‍ය සාපේක්‌ෂතාව නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය දක්‌වා ලඝූ වන්නේ අඩු වේගයක දී මේ දෙක අතර ඇති වෙනස ගණන් ගත හැකි නො වන නිසා ය. මේ නිසා ය තවමත් නිව්ටන් ගේ න්‍යාය හඳට යැමට භාවිත කළ හැක්‌කේ. නලින් මහතා මෙය නො දනී. එA නිසා ය වැටෙන මිනිsසාට වැටීම දැනෙන්නේ මේ දෙකෙන් කුමන එකෙන් දැයි වැනි මෝඩ ප්‍රශ්න අසන්නේ. ඒ නිසා ය ඔහු ගේ පිළිතුර පොළොව සංකල්පයක්‌ බව ද, හඳ ද සංකල්පයක්‌ බව ද, හඳට පය තැබීම මායාවක්‌ බව ද වන්නේ.

දැන් පෙනී යන්නේ නලින් මහතා බුදුදහමට, නිව්ටන්ට සහ අයින්ස්‌ටයින්ට අනුව බොරු වළේ වැටී ඇති බව ය.

මහාචාර්ය
එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc