logo3.gif (702 bytes)

HOME


"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය
නිවුටන්ට හා අයිස්ටයින්ට අනුව වැටීම

ජනවාරි මස 23 වැනි දා බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යන මැයෙන් මා විසින් මහනුවර දී පවත්වන ලද දේශනය http://youtu.be/kiLHfmfY0S4 යන ජාල සම්බන්ධය හා එක්‌ වීමෙන් ශ්‍රවණය කළ හැකි බව ප්‍රථමයෙන් ම දැනුම් දෙන්නේ එම දේශනය මේ සංවාදයට අදාළ බැවින් හා එයට මහාචාර්ය අමරතුංග මහතා නො පැමිණි බැවින් ය. එමෙන් ම එම දේශනයෙහි සඳහන් කරුණු පිළිබඳව තුන්වැනි පාර්ශ්වයකින් කියෑවෙන දේ අසා නිගමනවලට එළඹීම වෙනුවට තමන්ට ම එය ශ්‍රවණය කිරීමෙන් ඒ පිළිබඳ යම් වැටහීමක්‌ ලබාගත හැකි බැවින් වෙබ් අඩවියකට පිවිසීමට පහසුකම් ඇති පාඨකයන් ගේ ප්‍රයෝජනය සඳහා ද අදාළ සම්බන්ධය මෙහි දක්‌වා ඇත.

පසුගිය ජනවාරි 22 වැනි දා ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා විසින් ලියන ලද ලිපියට පිළිතුරු දීම අවසන් නැති වුවත් ඒ මහතා 29 වැනි දා සඳහන් කරන ලද කරුණක්‌ දෙකක්‌ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්‌ අවශ්‍ය වෙයි. ඒ කාන්ට්‌ ගේ දැනුම පිළිබඳ නිර්වචනය හා ගුරුත්වය සම්බන්ධ ව ය. කාන්ට්‌ ගේ දැනුම පිළිබඳ නිර්ණායක (නිර්වචනය) ලෙස අමරතුංග මහතා ඉදිරිපත් කළේ තම ජනවාරි 01 වැනි දා ලිපියෙනි. ඔහු එහි දී කියා සිටියේ මෙයයි. "දැනුම යන්න කුමක්‌ දැයි එමානුවෙල් කාන්ට්‌ නමැති දාර්ශනිකයා අර්ථදක්‌වා ඇත. එනම් යම්කිසි විශ්වාසයක්‌ ((belief) සිද්ධාන්ත (facts) සමග එකඟ වේ නම් එය දැනුම ලෙස පිළිගැනේ. නලින් ද සිල්වා මහතා විද්‍යාව බොරුවක්‌ යෑයි විශ්වාස කරන බව පෙනේ. එනමුත් එම විශ්වාසය මත එකඟ වන සිද්ධාන්ත කිසිවක්‌ ඔහු ඉදිරිපත් කොට නැත."

ඒ මහතා සිද්ධාන්ත යනු කුමක්‌ දැයි නො දන්නා බවත් එය (facts) යන්නට යොදාගත නොහැකි බවත් පෙන්වූ මම දැනුම යනු කුමක්‌ ද යන්න පිළිබඳ ව කාන්ට්‌ ගේ නිර්වචනය (අර්ථකථනය-නිර්ණායක) යොදාගැනීම පිළිබඳ මූලික ප්‍රශ්නයක්‌ මතු කෙළෙමි. ඒ දැනුම පිළිබඳ කාන්ට්‌ ගේ නිර්වචනය දැනුමක්‌ ද යන්න ය. එය දැනුමක්‌ බව අප දැනගන්නේ කිනම් නිර්ණායක යොදාගනිමින් ද? සත්තකින් ම ඒ සඳහා කාන්ට්‌ ගේ නිර්වචනය ම යොදාගත නො හැකි ය. අප පළමුකොට කාන්ට්‌ ගේ නිර්වචනය දැනුමක්‌ බව පෙන්වා දිය යුතු ය. අමරතුංග මහතා කෙතරම් උත්සාහ කළත් එය කළ නො හැකි ය. ඔහු ඒ සඳහා වෙනත් දැනුමක්‌ (නිර්ණායක) යොදාගත යුතු ය. එවිට එය කාන්ට්‌ ගේ නිර්වචනයට වඩා මූලික නිර්වචනයක්‌ වෙයි. අනෙක්‌ අතට ඒ නව නිර්ණායකය දැනුමක්‌ බව අප තීරණය කරන්නේ කෙසේ දැයි පෙන්වා දීමට අමරතුංග මහතාට සිදු වෙයි.

අප කතා කරන්නේ දැනුම පිළිබඳ ව ය. එහි දී රේය දැනුමක්‌ වූ බටහිර දැනුමට මුහුණ පෑමට සිදු වන මූලික ප්‍රශ්නයක්‌ මම මතු කළෙමි. අමරතුංග මහතා තමන්ට නො තේරෙන දාර්ශනික වචනවලින් දමාගැසුව ද ඔහුට බොහෝ මහාචාර්යවරුන්ට මෙන් ම මූලික ප්‍රශ්න ගැන කල්පනා කිරීමට තරම් ශක්‌තියක්‌ නැත. එබැවින් ඔහු මගේ මූලික ප්‍රශ්නයට සිය ජනවාරි 23 වැනි දා ලිපියෙන් පිළිතුරක්‌ නො දී මා මෝඩ ප්‍රශ්නයක්‌ අසා ඇති බව කියමින් පැන යන්නේ පහත සඳහන් ප්‍රකාශය කරමිනි. "ඔහු රේය වූ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය ද පුරුදු පරිදි ඈඳාගනියි. මිනිසා බිහි වූ දා පටන් ඉන්ද්‍රිය ගෝචර දැනුම ලබාගත්තේ ය. ඉන්ද්‍රිය ගෝචර නො වූ දේ තේරුම්ගැනීමට සමහර අය මිථ්‍යාවේ පිහිට පැතූ හ. සමහරෙක්‌ විද්‍යාත්මක පර්යේෂණවල පිහිට පැතූ හ. ඉන්ද්‍රිය ගෝචර සාක්‍ෂි ඉදිරිපත් කළ හ. මෙය දිගු ගමනක්‌ විය. මේ දැනුම් මාර්ගයේ එක්‌ කඩඉමකි එමානුවෙල් කාන්ට්‌ ගේ දැනුම පිළිබඳ නිර්වචනය".

මා අසා ඇත්තේ මෝඩ ප්‍රශ්නයක්‌ යෑයි සිතමු. ඒ මහතා එයින් කියන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරක්‌ දීම අනවශ්‍ය බව ද? එහෙත් ඒ මහතා මිථ්‍යා හා විද්‍යාත්මක පර්යේෂණ ගැන කියන්නේ එයට පිළිතුරක්‌ ලෙස ය. අවසානයේ දී ඔහු කියන්නේ කාන්ට්‌ ගේ නිර්වචනය ඒ ඊනියා දැනුම් මාර්ගයේ කඩඉමක්‌ බව ය. දැනුම් මාර්ගයේ කඩඉමක්‌ යනුවෙන් ඔහු අදහස්‌ කරන්නේ දැනුමක්‌ බව පැහැදිලි ය. එහෙත් මගේ ප්‍රශ්නය ද එය දැනුමක්‌ බව තීරණය කරන්නේ කෙසේ ද යන්න ය. කාන්ට්‌ ඉදිරිපත් කර ඇත්තේ මිථ්‍යාවක්‌ ද? ඔහු ඒ සඳහා කළ ඊනියා විද්‍යාත්මක පර්යේෂණයක්‌ වේ ද? ඒ කිසිවක්‌ අමරතුංග මහතා සඳහන් නො කරයි. ඔහු එය දැනුමක්‌ බව පමණක්‌ ප්‍රකාශ කරයි. කාන්ට්‌ ගේ දැනුම පිළිබඳ නිර්වචනය දැනුමක්‌ බව තීරණය කරන්නේ කෙසේ දැයි ඇසූ කල එය දැනුමක්‌ යෑයි පැවසීම ප්‍රශ්නයට පිළිතුරක්‌ නො වේ. මහාචාර්යවරුන් ගෙන් ප්‍රශ්නයක්‌ ඇසූ කල බොහෝ විට ලැබෙන පිළිතුරු එබඳු ය.

බටහිර විද්‍යාවේ ප්‍රශ්නය එය පංචෙන්ද්‍රිය ගෝචර දැනුම පංචෙන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත කතන්දර (ප්‍රවාද) මගින් තේරුම් කිරීමට යැම ය. පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ ගැන කතා කරන බටහිර විද්‍යාවට තම කතන්දර පංචෙන්ද්‍රිය ගෝචර නො වන බව අමතක වෙයි. බටහිර විද්‍යාඥයෝ කතන්දර ගොතති. මේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. ඒවා පට්‌ටපල් බොරු ය. ගුරුත්වාකර්ෂණය යනු එවැනි පට්‌ටපල් බොරුවකි. එය නිවුටන් ගෙතූ කතාවකි. පොල් ගෙඩි පොළොවට වැටීම (වක්‍ර) පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකි. එහෙත් සැම ප්‍රත්‍යක්‍ෂයක්‌ ම, පංචෙන්ද්‍රිය ගෝචර වුවත් නැතත්, සංකල්පයක්‌ සමග බැඳී ඇත. පොළොවට වැටීම යන්න ඇතැමුන් සිතන තරම් සරල පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක්‌ හෝ සංජානනයක්‌ හෝ නො වේ. එහි පොළොව යන සංකල්පය අඩංගු වෙයි. එයට අමතරව වැටීම යන සංකල්පය වෙයි. පොළොව සෘජු ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක්‌ නො වේ. එය ගෝචර වන්නේ කිනම් ඉන්aද්‍රියයකට ද? පොළොව යන සංකල්පය පංචෙන්ද්‍රිය ගෝචර සංජානන රාශියක්‌ එකට ගැනීමෙන් මනස විසින් සකස්‌ කරනු ලැබ ඇති සංකල්පයකි. එය මනසේ මායාවකි. එය බොරුවකි. එහෙත් තද බව යන්න සෘජු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකි, අවශ්‍ය නම් සංජානනයකි. තද බව ස්‌පර්ශයට (ශරීරයට) දැනෙයි. එහෙත් එය දැනෙන්නේ සංකල්පයක්‌ සම`ගිනි. කිසි ම පංචෙන්ද්‍රිය ගෝචර සංජානනයක්‌ (සෘජු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක්‌) සංකල්පයකින් තොර ව ඇති නො වෙයි. එහෙත් සංකල්ප නම් පංචෙන්ද්‍රිය ගෝචර සංජානනවලින් තොර ව ඇති වෙයි.

තද බව යන්න ද බොරුවකි. එය ද මනසේ මායාවකි. එහෙත් එය පොළොව වැනි බොරුවක්‌, මායාවක්‌ නො වේ. තද බව යන්න පංචෙන්ද්‍රියයන් ගෙන් එකකට ගෝචර ය. එහෙත් පොළොව යන්න එලෙස පංචෙන්ද්‍රියයකට ගෝචර වුවක්‌ නො වේ. එය මනසේ තද බවට වඩා වෙනස්‌ මැවීමකි. මායාවකි. තද බව ද මනසේ මායාවකි. එය පොළොව මෙන් නො ව එක්‌ පංචෙන්ද්‍රියයක්‌ සමඟ බැඳී ඇත. තද බව යන්න ද බොරුවක්‌ වුවත් එය පොළොව තරම් ම බොරුවක්‌ නො වේ යෑයි සැලකිය හැක්‌කේ මේ ඉන්ද්‍රිය ගෝචර සම්බන්ධය නිසා ය. මෙයින් පංචෙන්ද්‍රියයට ගෝචර වන දේ ඇත්ත යෑයි නො සැලකෙයි. එහෙත් කිව යුත්ත නම් තද බව යන්න ද ඊනියා යථාර්ථයක්‌ නො වන බවත් එය ද බොරුවක්‌, මායාවක්‌, රැවටීමක්‌ පමණක්‌ බවත් ය. මේ සම්බන්ධයෙන් වැඩි දුර පැහැදිලි කිරීමක්‌ පූජ්‍ය කටුකුරුන්දේ ඥනානන්ද හිමියන් ගේ පොත් ඇසුරු කිරීමෙන් ලබාගත හැකි ය.

වැටීම යන සංකල්පය අප තනාගෙන ඇත්තේ අත්හරින (මුදාහරින) ලද වස්‌තු පොළොව දෙසට චලනය වීම නිරීක්‌ෂණය කරමිනි. එසේ මුදාහරිනු ලැබූ වස්‌තු සමහරක්‌ පොළොවෙන් ඉවතට ඇදී ගියේ නම් අපට වැටීම යන සංකල්පය තනාගැනීමට නොහැකි වන්නට තිබිණි. කෙසේ වෙතත් මුදාහරින ලද වස්‌තු (වස්‌තුව යන්න ද මායාවක්‌ බොරුවක්‌ මිස ඊනියා වාස්‌තවික වූවක්‌ නො වේ). සියල්ල පොළොව දෙසට චලනය (චලනය ද සංකල්පයකි) වන බැවින් අපට වැටීම පහළ උඩ ආදී සංකල්ප නිර්මාණය කර ගැනීමට හැකි ව තිබේ.

ඉහත සඳහන් දේ ප්‍රකාශ කිරීමෙන් මා විඥනවාදියකු බවට පත් නො වෙයි. එයට හේතුව මා විසින් මනස ද පවත්නා ඊනියා යථාර්ථයක්‌ ලෙස ගනු නො ලැබීම ය. මනස ද මනසෙහි නිර්මාණයක්‌ වෙයි. ඒ බව සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි විස්‌තර කෙරී ඇත. අමරතුංග මහතාට නො තේරුණත් රේය චින්තනයක හා චක්‍රීය චින්තනයක ඇති වෙනස හේතුවෙන් සිංහල බෞද්ධයනට එක්‌ තැනකින් පටන්ගෙන රේඛාවක්‌ දිගේ ඉදිරියට යැමක්‌ නැත. චක්‍රීය චින්තනයක මනස මනසෙහි නිර්මාණයක්‌ විය හැකි ය. පටිච්ච සමුප්පාදයෙහි විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාම රූප පච්චයා විඤ්ණ යනුවෙන් ද කියෑවෙන්නේ එබැවිනි.

මනසක්‌ ඇත, මනසක්‌ පවතින්නේ ය යනුවෙන් ගන්නා අය ගෙන් ඇසීමට ඇත්තේ එක්‌ ප්‍රශ්නයක්‌ පමණි. නිවන් අවබෝධයෙහි දී හා පිරිනිවන් පෑමෙහි දී ඇතැයි කියන මනසට සිදු වන්නේ කුමක්‌ ද? කලකට පෙර දි අයිලන්ඩ් පුවත්පත ම`ගින් මා බෞද්aධ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයකු වූ වයි. කරුණාදාස මහතා ගෙන් මේ ප්‍රශ්නය ඇසූ නමුත් මේ වන තුරු ඒ මහතා පිළිතුරක්‌ දී නැත. ඒ ප්‍රශ්නයට දන්ත වෛද්‍ය පීඨයේ සම්මානිත මහාචාර්යවරයකු වූ ද ඩී එස්‌ සී උපාධිධාරියකු වූ ද අමරතුංග මහතාට පිළිතුරු දිය හැකි ද?

මනස ද ඇතුළු සියල්ලට ඇත්තේ පටිච්ච වූ පැවැත්මකි. යම් යම් දේ ඇත්නම් යම් යම් දේ පවතියි. එය සාපේක්‌ෂ ය. ඒ ඒ දේ නැති විට ඒ ඒ දේ නො පවතියි. යම් යම් දේ යනුවෙන් කියෑවෙන්නේ ද ඊනියා වාස්‌තවික ව පවත්නා දේ නො ව සාපේක්‌ෂව සම්මුතියෙන් පවත්නා දේ ය. සම්මුතියෙන් තොර පැවැත්මක්‌ නැත. මනස ද පවතින්නේ සම්මුතියෙන් පමණකි. ඒ අර්ථයෙන් මනසක්‌ නැතැයි ගන්නා අතර මනස ද මනසෙහි නිර්මාණයක්‌ ලෙස ගනියි.

ඉහත සඳහන් සියලු අඩුලුහුඬුකම් මැද පොළොවට පොල් වැටීම පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක්‌ යයි ගනිමු. දැන් නිවුටන්ට මෙන් ම පසු කලෙක අයින්ස්‌ටයින්ට වූ ප්‍රශ්නය වූයේ පොළොවට පොල් (වස්‌තු) වටෙන්නේ ඇයි ද යන්න ය. එයට ඔවුන් දෙදෙනා ම දී ඇත්තේ පංචෙන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත පිළිතුරු ය. එය ඔවුන් දෙදෙනා ගේ ප්‍රශ්නයක්‌ නො ව බටහිර විද්‍යාවේ ප්‍රශ්නයකි. බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ වියුක්‌ත කතන්දර ගෙතීම ය. ඒ කතන්දර තද බව යන්නට වඩා කිහිප ආකාරයකින් බොරු ය. ඒ පංචෙන්ද්‍රිය ගෝචර වත් නො වේ. ගුරුත්වාකර්ෂණ බලය යනු හුදු කතන්දරයක්‌ පමණකි. අයින්ස්‌ටයින් ඒ ප්‍රශ්නයට දුන් පිළිතුර වූයේ අවකාශ කාලයේ වක්‍රතාව යන්න ය.

අමරතුංග මහතා තන්තුවාදය ආදිය ගැන මහදැනමුත්තකු ලෙස දෙඩෙව්ව ද ඔහුට ඒ ගැන කිසි ම වැටහීමක්‌ නැත. අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාදය ගැන ද ඔහු දන්නා දෙයක්‌ නැත. ඒ දැනගැනීම සඳහා ඔහුට ගණිත දැනුමක්‌ නැත. බොහෝ මහාචාර්යවරුන් කරන පරිදි ම ඔහු වචන ගසා දමා තම පඬි බව විදහා දැක්‌වීමට උත්සාහ දරයි. හැකි නම් මා සහභාගී වන රැස්‌වීමක දී තන්තුවාදය, සාධාරණ සාපේක්‍ෂතාවාදය ආදිය ගැන දේශනයක්‌ පවත්වා අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙස ආරාධනා කරමි.

වැටෙන පුද්ගලයකුට ගුරුත්වාකර්ෂණයක්‌ නො දැනෙයි. එසේ දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියයකට ද? එසේ නම් අයින්ස්‌ටයින්ට අනුව වැටෙන පුද්ගලයකුට දැනෙන්නේ අවකාශ කාල වක්‍රතාව විය යුතු ය. වැටෙන අයකුට දැනෙන්නේ වැටීම මිස ගුරුත්වාකර්ෂණ බලයක්‌ නො වේ. වැටීම හා ගුරුත්වාකර්ෂණය යනු දෙකක්‌ මිස එකක්‌ නො වේ. එකක්‌ අයකු ගේ හුදු පංචෙන්ද්‍රිය සංජානනයක්‌ නො වුවත් වක්‍ර ව ප්‍රත්‍යක්‍ෂයක්‌ ලෙස ගත හැකි අතර, අනෙක නිවුටන් ගෙතූ කතාවක්‌ පමණකි. වැටෙන අයකුට නිවුටන්ට අනුව එක්‌ අයුරකිනුත් අයින්ස්‌ටයින්ට අනුව තවක්‌ ආකාරයකටත් දැනෙන්නේ ද?

නලින් ද සිල්වා