logo3.gif (702 bytes)

HOME


ගැලීලියෝ බොරු කීවේ ඇයි?

බටහිර විද්‍යාව පිළිබඳව මා දරන ස්‌ථාවරය මෙසේ ය. බටහිර විද්‍යාව යනු ලෝකයේ ඇති එක්‌ දැනුම් පද්ධතියක්‌ පමණ ය. බටහිර විද්‍යාව එතෙක්‌ තිබූ චීන, භාරතීය, සිංහල, බැබිලෝනියානු, මිසර ආදී විද්‍යාවන්ට වඩා වෙනස්‌ වෙයි. එහෙත් එසේ වන්නේ බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් යෑයි කියෑවෙන්නන් ප්‍රකාශ කරන ආකාරයට එහි ඇති ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ නිසා නො වේ. නිරීක්‍ෂණ, පරීක්‍ෂණ, උද්ගමන, නිගමන, යම් න්‍යායක්‌ (logic) මත පදනම් වී තර්ක කිරීම ආදිය බොහෝ දැනුම් පද්ධතිවල දැකිය හැකි ය. බටහිර විද්‍යාව අනෙක්‌ විද්‍යා ඇතුළු දැනුම් පද්ධතිවලින් වෙනස්‌ වන්නේ එය පදනම් වන චින්තනයේ ඇති වෙනසක්‌ නිසා ය. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ වන්නේ ද මේ චින්තන වෙනස හේතුවෙනි.

බටහිර විද්‍යාව බිහි වූයේ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි ය. ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය පහළොස්‌වැනි සියවස අගභාගයේ දී දකුණු යුරෝපයේ, විශේෂයෙන් ම ඉතාලියේ ඇති වූවකි. ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයට පෙර යුරෝපයේ තිබුණේ කතෝලික චින්තනය ය. පහළොස්‌වැනි සියවස අග දී දකුණු යුරෝපයේ සිදු වූ මේ චින්තන විප්ලවයට හේතු කිහිපයක්‌ විය. ඒ අතර පාප්වහන්සේ ගේ ආධිපත්‍යයට එරෙහි වූ දේශපාලනයක්‌ ද විය. එසේ ම පෞද්ගලිකත්වය සාමූහිකත්වය අභිබවා පෙරට පැමිණියේ ය. එය ද කතෝලික චින්තනයෙහි සාමූහිකත්වයට එරෙහි වූ ආකල්පයක්‌ විය.

නව ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය කතෝලික චින්තනය මෙන් සංයුක්‌ත නො වි ය. පෞද්ගලිකත්වය ඉස්‌මතු වීම සමග චින්තනය සංයුක්‌තයෙන් වියුක්‌තයට හැරිණි. මේ පිළිබඳ විටින් විට අපේ ප්‍රවාද මගින් කරුණු දක්‌වා ඇත. පෝලන්තයේ විසූ කොපර්නිකස්‌ පූජකත්වය ලබාගැනීම සඳහා පැමිණියේ මෙවන් චින්තන විප්ලවයකට භාජන වී තිබි ඉතාලියකට ය. ඒ වන විට මාටින් ලූතර් ගේ අදහස්‌ ද යුරෝපයෙහි තිබිණි. පෘථිවිය සූර්යයා වටා චලනය වන බව ද පෘථිවිය සූර්යයා වටා යන තම ගමන් මාර්ගයට ආනත ව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බව ද සිංහලයෝ දැන සිටිය හ. සිංහලයන් ගේ තෙල්මේ නැටුම සකස්‌ වී ඇත්තේ පෘථිවියේ මේ සංකිර්ණ චලිතය නිරූපණය කරමිනි. කොපර්නිකස්‌ ඉන් යම් දැනුමක්‌ භාරතයෙන් ලබාගෙන තිබිණි. එහෙත් කොපර්නිකස්‌ ගෙන ගිය ඒ දැනුම ඉතාලියේ දී ක්‍ෂණිකව නො පිළිගැනිණි.

පසුව ගැලීලියෝ කොපර්නිකස්‌ ගේ මතය පිළිගෙන එය ඉගැන්වීම ඇරඹී ය. ගැලීලියෝ එවකට ඉතාලියේ සිටි උගතුන් ගෙන් අතිවිශාල බහුතරය පිළිගෙන සිටි මතයට විරුද්ධ මතයක්‌ ප්‍රචාරය කළේ ය. ඉතාලියේ එවකට සිටි උගත්තු සමස්‌තයක්‌ ලෙස ගත් කල ගැලීලියෝ ගේ අදහස්‌ නො පිළිගත් හ. එකල ද ඉතාලියේ මහාචාර්ය අමරතුංග වැන්නන් සිටියාට සැකයක්‌ නැත. ඔවුන් අන් අය නො පිළිගන්නා අදහස්‌ ප්‍රචාරය කිරීම පිළිබඳව ගැලීලියෝට විරුද්ධ වන්නට ඇත. එහෙත් ගැලීලියෝ එවැනි ගතානුගතික ඊනියා උගතුන් කී දේ තඹයකට වත් මායිම් නො කරන්නට ඇත.

අඩු තරමෙන් ගැලීලියෝට විරුද්ධ වූවන්ට එසේ කිරීමට තර්කයක්‌ විය. මේ තර්කය අපේ ප්‍රවාද මගින් ප්‍රකාශ කෙරී ඇත. පොළොව ගමන් කරන්නේ නම් නටුවෙන් ගිලිහුණු පොල් (ඇපල්) ගෙඩියක්‌ ගහ මුල වැටෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක්‌ විය. තරමක අතිශයෝක්‌තියෙන් කියන්නේ නම් පොළොව චලනය වන්නේ නම් පොල් ගෙඩිය වැටිය යුත්තේ අල්ලපු වත්තේ ය. ඒ තර්කයෙහි වරදක්‌ නැත. පාප් වහන්සේ ගැලීලියෝට කියා සිටියේ පොළොව ගමන් කරන්නේ නම් ඒ බව ඉගැන්වීමට පෙර එය ඔප්පු කරන ලෙස ය. ඇතැම් විට ඇතැම් අය යම් යම් දේ ඔප්පු කරන ලෙස ඉල්ලන්නේ ඔප්පු කිරීම පිළිබඳ මනා අවබෝධයකින් නො වේ. පාප් වහන්සේ මෙන් ම අමරතුංග මහතා ද ඔප්පු කිරීම යන්න හදාරා නැත.

එහෙත් මම පාප්වහන්සේට ගරු කරමි. එසේ කරන්නේ උන්වහන්සේ තම චින්තනය වූ කතෝලික චින්තනය වෙනුවෙන් පෙනී සිටි නිසා ය. අමරතුංග මහතා පෙනී සිටින්නේ සිංහලයන් ගේ චින්තනය වෙනුවෙන් නො ව ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය වෙනුවෙනි. සංයුක්‌ත වූ කතෝලික චින්තනයෙහි පාප්වහන්සේ ගේ තර්කය නිවැරැදි ය. උන්වහන්සේ තම තර්ක ඉදිරිපත් කළේ සංයුක්‌ත චින්තනයක ය. අපට පොල් ගෙඩි හුදු ප්‍රත්‍යක්‍ෂ නො වූවත් ප්‍රත්‍යක්‍ෂ ලෙස ගත හැකි වෙයි. පොල් ගෙඩිය පංචෙන්ද්‍රියයන් ගෙන් කිසි ම ඉන්ද්‍රියයකට ගෝචර නො වෙයි. එහෙත් අපට පොල් ගෙඩිය පිළිබඳ යම් ආකාරයක ප්‍රත්‍යක්‍ෂයක්‌ මනස ද ආධාරයෙන් ලබාගත හැකි ය. එපමණකට පොල් ගෙඩිය සංයුක්‌ත වෙයි.

අමරතුංග මහතා නො දනිතත් ඔප්පු කිරීම් කෙරෙන්නේ යම් පද්ධතියක ය. ඒ ඒ දැනුම් පද්ධතියෙහි ආකල්ප, න්‍යාය ආදිය වෙයි. එය චින්තනයක්‌ මත පදනම් වෙයි. පාප් වහන්සේ ගේ සංයුක්‌ත චින්තනයෙහි පොල් ගෙඩි ප්‍රත්‍යක්‍ෂ වෙයි. පොළොව චලනය නො වෙයි. පොළොව චලනය වන බව අමරතුංග මහතා නිරීක්‍ෂණය කර තිබේ ද? පොළොව චලනය වීම අපේ සංයුක්‌ත අත්දැකීමක්‌ නො වේ. අපේ සංයුක්‌ත ප්‍රත්‍යක්‍ෂය පොළොව චලනය නො වන බව ය. එමෙන් ම අපේ සංයුක්‌ත ප්‍රත්‍යක්‍ෂය වන්නේ නටුවෙන් ගිලිහුණු පොල් ගෙඩිය ගහ මුල වැටෙන බව ය. ඒ පද්ධතිය තුළ වූ ගතිකය අනුව පොළොව චලනය වන්නේ නම් පොල් ගෙඩිය වැටිය යුත්තේ අල්ලපු වත්තේ ය. එහෙත් පොල් ගෙඩි වැටෙන්නේ ගහ මුල ය. ගැලීලියෝ ගේ කතාව, එනම් පොළොව චලනය වන බව හා නිරීක්‍ෂණය අතර පරස්‌පරයක්‌ ඇත.

පාප්වහන්සේ ගැලීලියෝට කීවේ පොළොව ගමන් කරන බව ඔප්පු කරන ලෙස ය. අමරතුංග මහතාට එය කළ හැකි ද? ගැලීලියෝට නම් එසේ ඔප්පු කිරීමට නොහැකි විය. පාප්වහන්සේ කියා තිබුණේ පොළොව චලනය වන බව ඔප්පු නො කර එය නූගන්වන ලෙස ය. එහෙත් ගැලීලියෝ දිගින් දිගට ම තම ඉගැන්වීම කරගෙන ගියේ ය. පාප්වහන්සේ ගැලීලියෝ සිරගෙට නියම කළ හ. පාප්වහන්සේ එදා කළ වරදක්‌ නැත. ක්‍රියාවක්‌ වරදක්‌ වන්නේ යම් පද්ධතියකට සාපේක්‍ෂ ව ය. එකල තිබූ චින්තනය හා ඒ මත පදනම් වූ නීතිය ඇතුළු දැනුමට අනුව පාප්වහන්සේ වරදක්‌ කර නැත. වරද කර ඇත්තේ ගැලීලියෝ ය.

අප මේ කතා කරන්නේ බටහිර විද්‍යාවේ තිඹිරිගෙහි සිදු වූ දේ ගැන ය. ගැලීලියෝට කතෝලික චින්තනය මත පදනම් ව පොළොව චලනය වන බව ඔප්පු කිරීමට නොහැකි විය. අප ඒ බව පිළිගත යුතු ය. ගැලීලියෝට සිදු වූයේ මහත් අභියෝගයකට මුහුණ දීමට ය. ඔහුට පොළොව චලනය වන බවට වූ දැනුම ලැබුණේ කොපර්නිකස්‌ ගේ මාර්ගයෙනි. කොපර්නිකස්‌ට එය ලැබී ඇත්තේ භාරතයෙනි. භාරතීයයන්ට ඒ දැනුම ලැබුණේ කෙසේ ද? එය ඔවුන්ගේ සංයුක්‌ත දැනුමක්‌ වී ද?

මා සිතන අයුරෙන් පැරැණි භාරතීයයනට හා සිංහලයන්ට එය සංයුක්‌ත දැනුමක්‌ විය. එය ඔවුන් ගේ ප්‍රත්‍යක්‍ෂයක්‌ විය. එහෙත් එය පංචෙන්ද්‍රියයන් ගෙන් ලබාගත් ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වී ය. ඔවුන් එය ලබාගත්තේ මනසින් විය යුතු ය. ආධ්‍යාත්මික ව මනස දියුණු කිරීමෙන් පොළොව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බව හා සූර්යයා වටා ගමන් කරන බව ඔවුන් දකින්නට ඇත. අප ගෙන් ඇතමකුට ද මනස දියුණු කිරීමෙන් ඒ ආකාරයෙන් දැනුම ලබාගත හැකි යෑයි මම විශ්වාස කරමි. එහෙත් වත්මන් අධ්‍යාපන ක්‍රමයෙහි එවැනි ධ්‍යාන ලබාගැනීම්වලට ඉඩක්‌ නැත.

මා කැලණිය විශ්වවිද්‍යාලයෙහි විද්‍යා පිඨයෙහි පීඨාධිපති ලෙස කටයුතු කරද්දී සිසුන්ට භාවනාව සඳහා විද්‍යා පීඨයෙහි ඉඩකඩ සපයා දුන්නෙමි. එහෙත් එයට බලවත් විරෝධතාවක්‌ විද්‍යා පීඨයෙහි සිංහල බෞද්ධ යෑයි කියාගන්නා ඇදුරන් ගෙන් ම මතු විණි. එහි දී විද්‍යාලංකාරයට භාවනාව තහනම් ද යනුවෙන් ඉරිදා දිවයින පුවත්පතට ලිපියක්‌ ලිවීමට ද මට සිදු විය. අපි අවුරුදු දහ තුනක පාසල් අධ්‍යාපනයක්‌ ලබා වසර තුනක හෝ හතරක හෝ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයක්‌ ද ලබා ඉන්පසු අවුරුදු තුන හතරක නැත හොත් එයටත් වඩා වැඩි කලක පශ්චාත් උපාධි අධ්‍යාපනයක්‌ ලබන්නෙමු. ඊනියා පර්යේෂකයන් සරසවි ඇදුරන් ආදීහු එලෙස අවුරුදු විස්‌සකට වඩා බටහිර ක්‍රමයට පුහුණුවක්‌ ලැබූවෝ වෙති.

අමරතුංග මහතා ද එසේ යෑයි සිතමි. ඒ අවුරුදු විස්‌සෙන් පසුව ද බොහෝ දෙනා ඊනියා පර්යේෂණවල යෙදෙති. එහෙත් ඔවුන් විසින් ඉදිරිපත් කෙරී ඇති නව සංකල්පයක්‌, ප්‍රවාදයක්‌ වේ ද? ඔවුන් ආචාර්ය, උසස්‌ ආචාර්ය උපාධිධාරී මහාචාර්යවරුන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, සම්මානිත මහාචාර්යවරුන් විය හැකි ය. එහෙත් ඔවුන් නමින් ඇති සංකල්පයක්‌, ප්‍රවාදයක්‌ නැත. එසේ වුවත් පැරැණි සිංහලයෝ තෙල්මේ නැටුමෙහි සංකීර්ණ සූර්ය චලිතය නිරූපණය කළ හ. ඔවුන්ට තිබුණේ ආධ්‍යාත්මික ශක්‌තිය හා ඒ ඇසුරෙන් ලබාගත් දැනුමකි.

අපේ පාසල්වල, සරසවිවල කාලපරිච්ඡේද වෙන් නො කරන්නේ ඇයි? ඒ සඳහා පංති කාමර ලබා නො දෙන්නේ ඇයි? අපේ දැනුම ඊනියා පර්යේෂණ මත නො ව ආධ්‍යාත්මික දියුණුව මත පදනම් වී ඇත. ටික කලකට පෙර ජනාධිපතිතුමා පාසල්වල පංති කාමරයක්‌ භාවනාවට වෙන් කරන ලෙස ඉල්ලා සිටියේ ය. එහෙත් අධ්‍යාපන බලධාරීන් ඒ ගැන කිසිවක්‌ කළ බවක්‌ දැනගන්නට නැත. නිවන් අවබෝධ කරගැනීම සඳහා කරන භාවනාවක්‌ නො වූවත් දැනුම නිර්මාණය කිරීමේ මාර්ගයක්‌ ලෙස එවැනි භාවනාවක වැදගත්කමක්‌ ඇත.

ඒ කුමක්‌ වුවත් ගැලීලියෝ මුහුණ දුන්නේ ඉතා අසීරු ප්‍රශ්නයකට ය. ඔහුට පොළොවේ චලනය පිළිබඳ දැනුම ලැබී තිබුණේ ආධ්‍යාත්මික ව ඒ දැනුම ලබාගත් සංස්‌කෘතියකිනි. කතෝලික සංක්‌තෘතියෙහි ද යුදෙවු සංස්‌කෘතියෙහි ද ග්‍රීක සංස්‌කෘතියෙහි ද දෙවියන් ගෙන් දැනුම ලබාගැනීමේ සම්ප්‍රදායක්‌ විය. එහෙත් ඒ සංස්‌කෘතීන්ට පදනම් වූ චින්තන එකතු වීමෙන් නිර්මාණය කෙරුණු ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි ඒ සම්ප්‍රදාය ප්‍රතික්‍ෂෙප විය.

දෙවියන් ගෙන් දැනුම ලබාගැනීම මත පාප්වහන්සේ ගේ ආධිපත්‍යය තහවුරු වී තිබිණි. නව චින්තන විප්ලවයෙන් අභියෝග කෙරුණු එක්‌ කරුණක්‌ වූයේ පාප්වහන්සේ ගේ ආධිපත්‍ය ය. එබැවින් ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි එසේ දෙවියන්ගෙන් ලබාගත් දැනුම ප්‍රතික්‍ෂෙප විය. ඉන්ද්‍රිය ගෝචර, එනම් පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන දැනුමක්‌ පමණක්‌ නව චින්තනයෙහි ආකෘතික ව පිළිගැනිණි. අද වන විට ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේ වුව ද නො පිළිගැනෙයි.

අද දක්‌වා එකී චින්තනයෙහි විකාශයට කලක්‌ ගත වී ඇත. ගැලීලියෝ පාප්වහන්සේට අවනත නො වූ නමුත් භක්‌තිමත් කතෝලිකයෙක්‌ විය. නව චින්තනයක ආරම්භයේ දී එවැනි ගැටලු මතු වීම අපේක්‍ෂා කළ යුතු ය. ගැලීලියෝට දෙවියන් ගෙන් දැනුම ලබාගත නොහැකි විය. එසේ කරන්නට යෑයි ඉල්ලා සිටීමට ද ඔහුට නොහැකි විය. ඔහුට නව චින්තනයෙන් ලැබුණු භාවනාවක්‌ ද නො වී ය. එසේ නම් පොළොව චලනය වන්නේ ය යනුවෙන් ඔහු කොපර්නිකස්‌ ගේ නමින් ඉදිරිපත් කළ එහෙත් සිංහලයන්ට ද (පොළොවේ චලනය ගැන ඉගැන්වීමේ දී අඩු තරමෙන් තෙල්මේ නැටුම ගැන සඳහන් කරවීමට අධ්‍යාපන බලධාරීන්ට පියවර ගත හැකි ද?) තිබූ දැනුම හා පොල් ගෙඩිය ගහ මුල වැටීම නම් නිරීක්‍ෂණය අතර වූ පරස්‌පරයට විසඳුමක්‌ දුන්නේ කෙසේ ද? ඔහු නැවතත් ඉන්ද්‍රිය ගෝචර නො වන දැනුමක්‌ කරා ගියේ ය. එය නව චින්තනයට පටහැනි වුවත් පසු කලෙක අර්නස්‌ට්‌ මාක්‌ නම් ඉන්ද්‍රියානුභූතවාදයෙහි පුරෝගාමියකු පරමාණුවට විරුද්ධ වන තුරු කිසිවකු එහි වරදක්‌ දුටු බවට සාක්‍ෂි නැත. ගැලීලියෝ ප්‍රශ්නයට විසඳුම ලෙස ඉන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත දැනුම් නිර්මාණය කළේ ය. ඔහු පට්‌ටපල් බොරු ගොතන්නට පටන් ගත්තේ ය. බටහිර විද්‍යාව ආරම්භ විය.

නලින් ද සිල්වා