logo3.gif (702 bytes)

HOME


හුදු ප්‍රත්‍යක්‍ෂ හා ඊනියා ප්‍රත්‍යක්‍ෂ

දැනුම නිර්මාණය කෙරෙන්නකි. ආකිමිඩීස්‌ හෝ නිවුටන් හෝ ඩාවින්, රසල් හෝ වෙනත් අයකු විසින් සොයාගනු ලැබූ දැනුමක්‌ නැත. අපට පාසලේ දී ආකිමිඩිස්‌ විසින් කියන ලදැයි පැවසෙන යුරේකා හෙවත් සොයාගත්තා යන වචනය ඉගැන්වෙයි. ආකිමිඩිස්‌ උඩුකුරු තෙරපුම නමැති බලයක්‌ ඇති බව සොයාගත්තා නො වේ. ඔහු නාන තටාකයේ ගිලී සිටින විට ඔහුට පා වෙන ගතියක්‌ දැනෙන්නට ඇතැයි සිතමි. අපේ රටේ තිබූ හා ඇතැම් වෙදගෙදරක තවමත් ඇති බෙහෙත් ඔරුවක ගිලී සිටින විට ද ඒ පා වෙන ගතිය දැනෙයි. එවැන්නක්‌ දැනෙන්නේ ජලය විසින් සිරුර මත උඩු අතට ඇති කෙරෙන බලයක්‌ (ආකිමිඩිස්‌ට නිවුටන් ගේ බලය යන සංකල්පය නො වී ය. ආකිමිඩිස්‌ට ඒ අත්දැකීම සිරුර මත ඇති කෙරෙන බලපෑමක්‌ විය) නිසා යෑයි ආකිමිඩිස්‌ කීවේ ය. එය පසුව උඩුකුරු තෙරපුම නම් බලය ලෙස අර්ථ දැක්‌විණි.

කෙසේ වෙතත් ආකිමිඩිස්‌ තමන්ට දැනුණු දෙයක්‌, ප්‍රත්‍යක්‍ෂයක්‌, ඇසුරෙන් බලයක්‌ නිර්මාණය කළේ ය. ඔහු ඒ බලය නිර්මාණය කළේ තමන් ගේ ප්‍රත්‍යක්‍ෂය තේරුම්ගැනීමට හා අන් අයට තේරුම් කිරීමට ය. නිවුටන් ද ඉන් බොහෝ කලකට පසු ගුරුත්වාකර්ෂණ බලයක්‌ නිර්මාණය කළේ තමන්ට දැනුණු දෙයක්‌, තම ප්‍රත්‍යක්‍ෂයක්‌ තේරුම් ගැනීමට හා තේරුම් කිරීමට ය. ඒ ප්‍රත්‍යක්‍ෂය අන් කිසිවක්‌ නො ව පොළොවට ඇපල් වැටීම ය. ඇපල් ගෙඩියක්‌ නිවුටන් ගේ හිස මත පතිත වුවත් නැතත් ඔහුට ඇපල් වැටීම නම් ප්‍රත්‍යක්‍ෂය විය. මේ ප්‍රත්‍යක්‍ෂය තේරුම් කිරීමට (පළමුව තේරුම් ගැනීමට) ඔහු ගුරුත්වාකර්ෂණ බලය නම් සංකල්පය නිර්මාණය කළේ ය. උඩුකුරු තෙරපුම ආකිමිඩිස්‌ ගේ නිර්මාණයක්‌ වූ පරිදි ගුරුත්වාකර්ෂණය නිවුටන් ගේ නිර්මාණයක්‌ විය. ඒ නිර්මාණ කෙරුණේ සිංහල බෞද්ධ හෝ හෙළ බොදුණු හෝ චින්තනයක නො වේ. ඒ නිර්මිත දැනුම අපි සිංහල බෞද්ධ සංස්‌කෘතියක අනුකරණය කරන්නෙමු.

අපට ඇත්තේ එක්‌කෝ ප්‍රත්‍යක්‍ෂ ය, නැත්නම් අනුමාන ය. ඒ සියල්ල සංකල්ප ඇසුරෙන් ලැබෙයි. ප්‍රත්‍යක්‍ෂ අපේ පංචෙන්ද්‍රියයන්ට දැනේ. එසේත් නැත්නම් අපි ප්‍රත්‍යක්‍ෂ පංචෙන්ද්‍රියයන් ආශ්‍රයෙන් ග්‍රහණය කර ගන්නෙමු. එහෙත් මෙයින් අදහස්‌ කරන්නේ අපෙන් තොර ව ඊනියා ප්‍රත්‍යක්‍ෂ ඇති බව නො වේ. ප්‍රත්‍යක්‍ෂ ද අපේ නිර්මාණ වෙයි. ඒ සියල්ල සංකල්ප ඇසුරෙන් නිර්මාණය වෙයි. සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මනසෙනි. මනසෙන් තොර ව ප්‍රත්‍යක්‍ෂයක්‌ නැත. මනස පිළිබඳ ප්‍රත්‍යක්‍ෂය ද අවසාන වශයෙන් ගත් කල මනසෙහි ම නිර්මාණයකි. මනස ඊනියා යථාර්ථයක්‌ වන්නේ තුන්වැනි සංගායනාවේ බෞද්ධයනට ය.

පොල් (ඇපල්) ගෙඩි පොළොවට වැටීම හුදු ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වේ. මා හුදු ප්‍රත්‍යක්‍ෂයක්‌ ලෙස හඳුන්වන්නේ පංචෙන්ද්‍රියයන්ට හා මනසට ගෝචර වන සංසිද්ධි ය. පොල් ගෙඩිය අපේ ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වේ. පොල් ගෙඩියක්‌ හෝ කෝප්පයක්‌ හෝ ග්‍රහණය කරගත හැකි ඉන්ද්‍රියයක්‌ නැත. අපට පොල් ගෙඩියේ වර්ණය ඇසට ගෝචර වෙයි. ඒ වර්ණය යන්න සංකල්ප ඇසුරෙන් මනස විසින් නිර්මාණය කෙරෙන්නකි. වර්ණය චක්‌ඛුවිඤ්ඤාණය නිසා නිර්මාණය වන්නකි. ඇස තිබූ පමණින්, මනස නො වන්නට වික්‌ඛුවිඤ්ඤානයක්‌ නැත. පොල් ගෙඩියෙහි තද බව අපේ ස්‌පර්ශයට දැනේ. එහෙත් පොල් ගෙඩිය දැනෙන්නේ පංචෙන්ද්‍රියයන් ගෙන් කිනම් ඉන්ද්‍රියකට ද?

පොල් ගෙඩිය යන්න මනසට පමණක්‌ දැනෙන සංකල්පයකි. එය හුදු ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වේ. අප එය ප්‍රත්‍යක්‍ෂයක්‌ ලෙස සලකන බව සැබෑ ය. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂය මනසට පමණක්‌ දැනෙන්නකි. මනසට එය දැනෙන්නේ පංචෙන්ද්‍රියයන් ගෙන් කිසි ම ඉන්ද්‍රියයකට ග්‍රහණය වී නො වේ. එය මනසට දැනෙන්නේ අනුමානයක්‌ (මෙය inference යන්නෙන් කියවෙන්න ම නො වේ) ලෙස ය. ඒ අනුමානය අප විසින් නිර්මාණය කෙරෙන්නේ පොල් ගෙඩියෙහි වර්ණය, තද බව ආදී හුදු ප්‍රත්‍යක්‍ෂවලින් කියෑවෙන ගුණ අයත් වස්‌තුව ලෙස ය.

පොල් ගෙඩිය ප්‍රත්‍යක්‍ෂයක්‌ ලෙස සැලකෙන අනුමානයකි. පුටුව, කෝප්පය ආදිය ද එවැනි අනුමාන වෙයි. මෙහි දී යමකු ප්‍රශ්න කරනු ඇත්තේ පොල් ගෙඩිය, කෝප්පය ආදිය අප විසින් නිර්මාණය කෙරෙන දෑ නො ව අපට වැඩිහිටියන් ගෙන් ලැබෙන දැනුම නො වේ ද යන්න ය. පොල් ගෙඩිය, කෝප්පය ආදිය පිළිබඳ ව අපට වැඩිහිටියෝ කියා දෙති. අපේ මවුපියෝ අපට පුටුවක්‌ පෙන්වා ඒ පුටුවක්‌ යෑයි කියා දෙති. ඉතින් ඒ අප වැඩිහිටියන් ගෙන් ලබාගත් දැනුම මිස අපේ නිර්මාණ වන්නේ කෙසේ ද?

අපට මවුපියෝ, ගුරුවරු සහ වෙනත් අය නොයෙකුත් දේ උගන්වති. එහෙත් අපි ඒ උගන්වන දේ ඒ ආකාරයෙන් ම ලබා නො ගන්නෙමු. එනම් අපේ සංකල්ප වැඩිහිටියා ගේ සංකල්පය ම නො වේ. මේ ලිපිය කියවන එක්‌ එක්‌කෙනා ලිපිය විවිධාකාරයෙන් තේරුම් ගනියි. එනම් එක්‌ එක්‌කෙනා තමන්ට ආවේනික වූ ආකාරයකින් ලිපිය නිර්මාණය කර ගනියි. තම තම නැණ පමණින් දැනගත යුතු යෑයි ලෝවැඩ සඟරාවේ කියවෙයි. ගුරුවරයෙකු කියන දෙයක්‌ ශිෂ්‍යයෝ විවිධාකාරයෙන් අවබෝධ කරගනිති. තමන් ගේ මනසෙහි ස්‌වභාවය අනුව සංස්‌කෘතියෙහි ස්‌වභාවය හා පංචෙන්ද්‍රියයන් ගේ ස්‌වභාවය අනුව ඒ අවබෝධය වෙනස්‌ වෙයි. අවබෝධයක්‌ යනු නිර්මාණයක්‌ පමණකි.

එහෙත් පුටුව, පොල්ගෙඩිය ආදිය පිළිබඳව අප සියලු දෙනාට ඇත්තේ එක සමාන වූ අවබෝධයක්‌ නො වේ දැයි කිසිවෙකු ප්‍රශ්න කරනු ඇත. පුටුව යන්න හා ආසනය අතර වෙනස කවරේ ද? බස්‌වල මගීන් සඳහා ඇත්තේ ආසන යෑයි අපි කියමු. අපි ඒවාට පුටු යෑයි නො කියමු. එහෙත් කුඩා දරුවකු ඒ ආසන පුටු ලෙස හැඳින ගැනීමට ඉඩ ඇත. මට ඒ පිළිබඳ පෞද්ගලික අත්දැකීමක්‌ වෙයි. මගේ ලෝකය කෘතියෙහි පෙන්වා දී ඇති ආකාරයට ඇතැම් ගෙවල්වල ඇති උඩැක්‌කි වැනි ආසන එවැනි ආසන නුදුටු අයකුට ආසනයක්‌ නො වනු ඇත.

අප මල් ආසනය නමින් හඳුන්වන්නේ වාඩිවීමට යොදාගන්නා ආසනයක්‌ නො වේ. මල් ආසනයට තේරුමක්‌ ලැබෙන්නේ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ය. මේ උදාහරණවලින් පෙන්නුම් කෙරෙන්නේ එක්‌ එක්‌ අය තම සංස්‌කෘතිය, මනස හා පංචෙන්ද්‍රිය අනුව සංකල්ප නිර්මාණය කරගන්නා ආකාරය ය. එක්‌ සංස්‌කෘතියක ජීවත් වන අය බොහෝ විට එක ම සංකල්පය යොදාගැනෙන බවක්‌ පෙනෙන නමුදු එය එසේ නො වේ. අපේ සංකල්පවල ඇති වෙනස්‌කම් කියුම් කෙරුම්වලින් හඳුනාගත හැකි ය.

හුදු ප්‍රත්‍යක්‌ෂය පංචෙන්ද්‍රියයන්ට හා මනසට සාපේක්‌ෂ වෙයි. එහෙත් අනුමානය එසේ නො වේ. අප යම් අනුමානයකට එළඹෙන්නේ න්‍යායක්‌ මත පදනම් ව තර්ක කරමිනි. එහි දී බොහෝ විට ප්‍රවාද ද යොදා ගැනෙයි. එහෙත් ප්‍රවාද යනු යම් ප්‍රත්‍යක්‍ෂයක්‌ (හුදු ප්‍රත්‍යක්‍ෂයක්‌ ම විය යුතු නො වේ) තේරුම් ගැනීම සඳහා නිර්මාණය කෙරෙන කතාන්දර පමණකි. ප්‍රවාද ද නිර්මාණය කෙරෙන්නේ අනුමානයෙනි.

අපි පළමුව හුදු ප්‍රත්‍යක්‍ෂ නො වූ ප්‍රත්‍යක්‍ෂ ගැන සාකාච්ඡා කරමු. අප දුරේක්‌ෂයෙන් ග්‍රහ වස්‌තුවක්‌, තාරකාවක්‌, මන්දාකිණියක්‌ නිරීක්‌ෂණය කළ විට අපට ඒ නිරීක්‌ෂණය ප්‍රත්‍යක්‍ෂයක්‌ ලෙස පෙනී යයි. එහෙත් ඒ නිරීක්‌ෂණය පසුපස දැනුමක්‌ වෙයි. දුරේක්‌ෂයෙන් නිරීක්‌ෂණය කිරීම ඇසෙන් නිරීක්‌ෂණය කිරීම වැන්නක්‌ නො වේ. අද පාසලේ භෞතික විද්‍යාව ඉගෙනගන්නා සිසුහු දුරේක්‌ෂය පිටුපස ඇති ප්‍රවාද ගැන දැනගනිති. කාච පිළිබඳ දැනුමක්‌ නොමැති ව දුරේක්‌ෂය ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි දැනගත නොහැකි ය.

මෙහි දී කිසිවකුට ප්‍රශ්නයක්‌ වනු ඇත්තේ ඇස ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි දැනගැනීමට ද කාච පිළිබඳ දැනුමක්‌ අවශ්‍ය නො වන්නේ ද යන්න ය. ඇස කාච ඇසුරෙන් විස්‌තර කිරීමට බොහෝ කලකට පෙර ද මිනිස්‌සු ඇස්‌ යොදාගෙන ලෝකය බැලූ හ. අද ද බොහෝ දෙනාට කාච පිළිබඳ දැනුමක්‌, එනම් බටහිර භෞතික විද්‍යාවෙහි කියවෙන දැනුමක්‌, නැත. එහෙත් මිනිසුන්ට ලෝකය බලා නිර්මාණය කරගැනීමට එය ප්‍රශ්නයක්‌ නො වේ. කාච පිළිබඳ බටහිර භෞතික විද්‍යා දැනුමක්‌ ඇති ව හෝ නැති ව හෝ අපට පොල් ගෙඩියක්‌ දැකගත හැකි ය. එසේ දැක ගැනීම යනු නිර්මාණයක්‌ බවට නැවත නැවතත් අවධාරණය කළ යුතු ය. පොල් ගෙඩිය අවසානයේ දී නිර්මාණය කරන්නේ මනසිනි. අවශ්‍ය නම් එය නැති පොල් ගෙඩියක්‌ නැති මනසෙන් නිර්මාණය කෙරෙන්නක්‌ ලෙස ද හඳුනාගත හැකි ය. එනම් එවැනි දැනුමක්‌ නිර්මාණය කළ හැකි ය.

එහෙත් දුරේක්‌ෂයකින් ඈත තිබෙන වස්‌තුවක්‌ නිරීක්‌ෂණය කෙරෙන්නේ බටහිර භෞතික විද්‍යා දැනුම උපයෝගි කරගනිමිනි. අණ්‌වීක්‍ෂයකින් කෙරෙන නිරීක්‍ෂණයක්‌ ගැන වුව ද කිව හැක්‌කේ එය ම ය. ඇතැම් නිරීක්‍ෂකයන්ට එවැනි බටහිර භෞතික විද්‍යා දැනුමක්‌ නොමැති වීමට හැකි ය. එහෙත් ඔවුහු ද එකී දැනුම ඇත්තවුන් කියන කරුණු අනුගමනය කරති. අප දුරේක්‍ෂයකින් හඳ නිරීක්‍ෂණය කරන විට ඒ පෙනෙන්නේ හඳ දැයි අප දන්නේ කෙසේ ද?

හඳෙහි දුරේක්‍ෂයෙන් පෙනෙන ලප හඳෙහි ඇති බව අප දන්නේ කෙසේ ද? අප මිනිස්‌ ඇසෙන් දකින හඳෙහි ලප නැත. ලප නොම වන් සඳ සේ සොමි ගුණෙනා යන්නෙහි කියවෙන්නේ හඳෙහි ලප නොමැති බව ය. එසේ නම් හඳට ලප ලබා දුන්නේ දුරේක්‍ෂය ද? හඳෙහි ලප ඇති බව අප දැනගන්නේ දුරේක්‍ෂය පිළිබඳ ඇති බටහිර භෞතික විද්‍යා දැනුම උපයෝගී කරගනිමිනි. ගැලීලියෝට මුල දී තම දුරේක්‍ෂයෙන් පෙනෙන්නේ ඊනියා පවතින දේ ද යන්න තේරුම් කර දීම ප්‍රශ්නයක්‌ විය.

දුරේක්‍ෂයෙන් නිරීක්‍ෂණය කරන මන්දාකිණි, ක්‌වේසාර ආදිය මිනිස්‌ ඇසට නො පෙනෙයි. රේඩියෝ හෙවත් ගුවන්විදුලි වස්‌තු එක්‌ස්‌රේ වස්‌තු ආදිය නිරීක්‍ෂණය කෙරෙන්නේ අදාළ දුරේක්‍ෂ යොදාගනිමිනි. බටහිර භෞතික විද්‍යාව පිළිබඳ දැනුමක්‌ නොමැති ව අපට ඒ ඒ වස්‌තු ඒ ඒ ආකාරයෙන් හඳුනාගත නො හැකි ය. අණ්‌වීක්‍ෂ යොදාගෙන නිරීක්‍ෂණය කරන දේ ද බටහිර භෞතික විද්‍යාව මත පදනම් වෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි ලබාගන්නා එක්‌ස්‌ කිරණ ඡායාරූප ආදියට අර්ථකථන දෙනු ලබන්නේ ද බටහිර භෞතික විද්‍යාව මත පදනම් වෙමිනි.

බටහිර භෞතික විද්‍යාවෙහි අද න්‍යෂ්ටික නිරීක්‍ෂණ ආදිය මුළුමනින් ම අදාළ ප්‍රවාද මත පදනම් වෙයි. යම් ඡායාරූපයක ඇති රේඛා ඉලෙක්‌ට්‍රොaනයක්‌, ප්‍රෝටෝනයක්‌ ආදී වශයෙන් අර්ථකථනය කෙරෙන්නේ බටහිර භෞතික විද්‍යා ප්‍රවාද මත පදනම් වී ය. සාමාන්‍ය මිනිසකුට රේඛාවක්‌ පෙනෙන විට බටහිර භෞතික විද්‍යාඥයකුට ඉලෙක්‌ට්‍රොaනයක්‌ පෙනෙයි. පැහැදිලිව ම එවැනි නිරීක්‍ෂණ හුදු ප්‍රත්‍යක්‍ෂ නො වේ. බටහිර විද්‍යාවේ නිරීක්‍ෂණ බොහොමයක්‌ හුදු ප්‍රත්‍යක්‍ෂ නො වේ. එහෙත් බටහිර විද්‍යාඥයන්ට ඒ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ වෙයි. මහාචාර්ය අමරතුංග හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා ආදී බටහිර වෛද්‍යවරුන් ගේ, දන්ත වෛද්‍යවරුන් ගේ, විද්‍යාඥයන් ගේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ එබඳු ය. ඒ ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ප්‍රවාද හෙවත් කතන්දර සමග බැඳී ඇත. ඒවා ඉංගිරිසියෙන් ෆැක්‌ට්‌ස්‌ (Facts) යනුවෙන් හැඳින්වෙන්නේ කෙසේ දැයි නො දනිමි. මාර්ටින් වික්‍රමසිංහ මහතා තම නොදැනුවත්කම ප්‍රදර්ශනය කරමින් ෆැක්‌ට්‌ස්‌ යනු ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ යෑයි හැඳින්වී ය.

නලින් ද සිල්වා