logo3.gif (702 bytes)

HOME


ජ්‍යාමිතිය හා කෙටිකතාව

මහාචාර්ය අමරතුංග මහතාට පමණක්‌ නො ව මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා ආදී බොහෝ දෙනකුට ද අවශෝෂණය යනු කුමක්‌ දැයි නො තේරෙන බව පැහැදිලි ය. අමරතුංග මහතා කියන්නේ පැරැණි චීන භාරතීය ආදී දැනුම් බටහිර විද්‍යාව බවට අද පත් වී ඇත යන්න ය. ගල්මන්ගොඩ මහතා ද කියන්නේ එවැන්නකි. එහෙත් ඔහු එය ප්‍රකාශ කරන්නේ වෙනත් ආකාරයකිනි. ඔහුට අනුව වත්මන් බටහිර දැනුම ඉහත දී පෙරදිග තිබී ඇත. ආසියාවේ උගතුන් අතර ඇති පොදු හැඟීමක්‌ නම් බටහිරයන් වනචාරී ව වාසය කරන කාලවල දීත් අපේ රටවල බටහිර විද්‍යාත්මක දැනුම යම් පමණකින් වුවත් තිබූ බව ය.

අප කලින් සඳහන් කර ඇති පරිදි මහාචාර්ය ජෝසľa නීඩ්හම් මහතා චීනයේ බටහිර විද්‍යාව ඇති නො වූයේ ඇයි ද යන ප්‍රශ්නය නැඟීමෙන් අමරතුංග මහතා නන්නත්තාර කර ඇත. නීඩ්හම් මහතා එම ප්‍රශ්නයට දෙන පිළිතුර වැරැදි වුවත් ප්‍රශ්නය

නිවැරැදි ය. අමරතුංග හා ගල්මන්ගොඩ මහතුන් ඇතුළු පොදුවේ ආසියාතික උගතුන් තේරුම් නො ගන්නා දෙය නම් මතුපිටින් ඇතැම් විට සමානකම් ඇති බව පෙනෙන්නට තිබුණ ද දැනුම් පද්ධතීන් අතර සමානකම් නොමැති බව ය.

මාර්ටින් වික්‍රමසිංහ මහතා ජාතක කතා හා බටහිර කෙටිකතා අතර සමාHයක්‌ දුටුවේ ද මේ අසමානතාව දැකීමට නොහැකි වූ බැවිනි. ජාතක කතා කිසිසේත් ම බටහිර ඊනියා යථාර්ථවාදී රීතිය අනුව නො ලියෑවුණු නමුත් වික්‍රමසිංහ මහතා ජාතක කතා එකල බටහිර කෙටිකතා මෙන් යථාර්ථවාදී රීතියෙන් ලියෑවුණු බව සඳහන් කළේ ය. ඒ මහතා පසුකාලීන බටහිර කෙටිකතා අධියථාර්ථවාදය ආදී වෙනත් යථාර්ථවාදී නො වන රීති අනුව ලියෑවුණු බව දැන සිටියේ නම් ජාතක කතා ද ලියෑවී ඇත්තේ අධියථාර්ථවාදී රීතියකින් යෑයි කීමට තිබිණි. අද ගුණදාස අමරසේකර මහතා වත්මන් බටහිර කෙටිකතා හා නවකතා, කෙටිකතා හා නවකතා නො වේ යෑයි කියන්නේ ඒ කතා ඊනියා යථාර්ථවාදය අනුව නො ලියෑවෙන බැවිනි.

ඒ කුමක්‌ වුවත් එක්‌ දැනුම් පද්ධතියකින් වෙනත් දැනුම් පද්ධතියක්‌ දැනුම අවශෝෂණය කරන්නේ කෙසේ දැයි තේරුම් ගැනීමට චින්තනය යන සංකල්පය අවශ්‍ය වෙයි. අප කලින් සඳහන් කර ඇති පරිදි චින්තනය යන සංකල්පය අමරසේකර මහතා ගේ ජාතික චින්තනය යන විසුරුණු අදහස සමග කෙසේ වත් සමපාතී නො වේ. යම් යම් ජ්‍යාමිතික අදහස්‌ පැරැණි භාරතයේ මෙන් ම මධ්‍යධරණී රටවල ද තිබිණි. ලංකාවේ රාවණ සංස්‌කෘතිය සමග සම්බන්ධ යෑයි කියෑවෙන මයමිතිය නම් ග්‍රන්ථයේ ද ජ්‍යාමිතික අදහස්‌ වෙයි. සීගිරිය තැනීමේ දී මේ අදහස්‌ බලපා ඇතැයි ඇතැම්හු පවසති. එමෙන් ම පැරැණි මිසරයේ පිරමිඩ් තැනීමට ද එකල එරට තිබූ ජ්‍යාමිතික අදහස්‌ බලපා ඇති බව පැහැදිලි ය.

එමෙන් ම ත්‍රිකෝණමිතිය ද යම් ආකාරයකින් භාරතය, ලංකාව, මිසරය ආදී රටවල තිබී ඇත. සයිනය යන්නට භාරතයේ දී ඇති නම අර්ධජ්‍යා යන්න ය. (අපේ ප්‍රවාද 1 කෘතියෙහි මේ පිළිබඳ විස්‌තර සඳහන් වෙයි). භාරතය ආදී රටවල තිබූ මේ දැනුම සංයුක්‌ත දැනුමකි. කලින් ද සඳහන් කර ඇති පරිදි පෛතගරස්‌ ප්‍රමේයයෙහි ප්‍රතිඵලය ඒ ඒ සෘජුකෝණී ත්‍රිකෝණයට අදාළ වන පරිදි සූත්‍ර ම`ගින් පෙන්නුම් කර තිබිණි. භාරතයේ දැනුම අනෙක්‌ බොහෝ රටවල දැනුමට වඩා තරමක්‌ වියුක්‌ත වූ නමුදු එය කිසිසේත් ග්‍රීක ජ්‍යාමිතිය තරම් වියුක්‌ත නො වී ය.

ග්‍රීකයන් ක්‍රිස්‌තු පූර්ව හයවැනි සියවසේ පමණ සිට ක්‍රිස්‌තු පූර්ව තුන්වැනි සියවස පමණ දක්‌වා කළ ප්‍රධාන කාර්යය වී ඇත්තේ අනෙක්‌ රටවල තිබූ දැනුම් තම වියුක්‌ත චින්තනය තුළට අවශෝෂණය කිරීම ය. ඒ වියුක්‌ත චින්තනය ග්‍රීකයන් යුදෙවුවන් ගෙන් අවශෝෂණය කරගත්තේ යෑයි සිතිය හැකි ය. ඒ කෙසේ වෙතත් ග්‍රීකයෝ අද ඇරිස්‌ටෝටලීය න්‍යාය යෑයි හැඳින්වෙන වියුක්‌ත ද්විකෝටික න්‍යාය ගොඩනඟා ගත් හ. ඒ මත පදනම් වී ඔවුන්ට අනෙක්‌ රටවල තිබූ සංයුක්‌ත දැනුම් තම වියුක්‌ත චින්තනයට අවශෝෂණය කර වියුක්‌ත දර්ශනයක්‌, වියුක්‌ත ජ්‍යාමිතියක්‌ ආදී වශයෙන් දැනුම් පද්ධතියක්‌ ගොඩන`ගාගැනීමට හැකි වී තිබෙන බව පැහැදිලි ය.

එසේ වුවත් ඔවුන් ගේ නිර්මාණශීලීත්වය එතරම් දුරකට වර්ධනය වී නොමැති බව ද ඒ සමග පැහැදිලි වෙයි. ග්‍රීකයන් ගේ ස්‌වර්ණමය අවධිය කලින් සඳහන් කළ අවුරුදු තුන් සියයක පමණ කාල පරිච්ඡේදයකට සීමා වී ඇත. අනෙක්‌ රටවලින් දැනුම අවශෝෂණය කරගැනීමෙන් පසුව තම චින්තනය මත පදනම් වී තම සංස්‌කෘතියෙහි නව දැනුමක්‌ නිර්මාණය කර ගැනීමට තරම් හැකියාවක්‌ පැරැණි ග්‍රීකයන්ට තිබී නැතැයි සිතිය හැකි ය. ග්‍රීක දැනුම් පද්ධතිය ඉන්පසු එකතැන පල් වීමක්‌ දැකිය හැකි ය. වැඩි ම වුව හොත් ක්‍රිස්‌තු වර්ෂ තුන්වැනි සියවසෙන් පසුව ග්‍රීක දැනුම් පද්ධතිය වර්ධනය වී නැත.

මයමිතිය වැනි කෘතීන්හි (මෙය රාවණ රජු ගේ මාමණ්‌ඩිය ගේ කෘතියක්‌ ලෙස සැලකේ) යම් සංයුක්‌ත ජ්‍යාමිතියක්‌ තිබිණි ද, භාරතයේ යම් ත්‍රිකෝණමිතියක්‌ වර්ධනය ව තිබිණි ද ඒ දැනුම සමග හෝ වත්මන් බටහිරයන් ගේ ගණිත දනුම සමග හෝ සංසන්දනය කළ හැකි නො වේ. අපට එදා තිබු දැනුම පසුව ගී්‍රකයන් සතු වූ දැනුම හෝ ඊටත් පසුව වත්මන් බටහිරයන් නිර්මාණය කර ඇති දැනුම හෝ බව පැවසීම වියුක්‌තය හා සංයුක්‌තය අතර ඇති වෙනස තේරුම් ගැනීමට නොහැකි වීමත් දැනුම නිර්මාණයේ දී චින්තනයේ බලපෑම අවබෝධ කරගැනීමට නොහැකි වීමත් නිසා සිදුවන්නකි.

පැරැණි ජාතක කතා, ඊසොප් ගේ උපමා කතා ආදී වශයෙන් පෙරදිග තිබූ කතා කීමේ සම්ප්‍රදාය හා කතා බටහිරයන් විසින් තම සංස්‌කෘතියට අවශෝෂණය කර කෙටිකතා නිර්මාණය කිරීමේ කලාව ගොඩනංවා ඇති බව පැහැදිලි ය. බටහිර කෙටි කතා වියුක්‌ත ය. එහෙත් ජාතක කතා, ඊසොප් ගේ උපමා කතා ආදිය සංයුක්‌ත ය. පෙරදිග සංයුක්‌ත ගණිතය බටහිර සංස්‌කෘතියට ගී්‍රකයන් ද පහළොස්‌වැනි සියවසෙන් පමණ පසුව වත්මන් බටහිරයන් ද තම වියුක්‌ත චින්තනය මත පදනම් ව අවශෝෂණය කරගත් පරිදි බටහිරයන් පෙරදිග කතා තම වියුක්‌ත චින්තනය මත පදනම් ව අවශෝෂණය කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ බටහිර වියුක්‌ත කෙටිකතාව ය.

ජාතක කතාවලින් කියවෙන්නේ අප දන්නා හඳුනන පුද්ගලයන් ගේ කතා මිස වියුක්‌ත පුද්ගලයන් ගේ කතා නො වේ. කෙටිකතාවල චරිතවලින් යථාර්ථය නිරූපණය විය යුතු ය යන්නෙන් අදහස්‌ කරන්නේ එහි චරිත යනු සැබෑ (සංයුක්‌ත) පුද්ගලයන් නො ව සැබෑ පුද්ගලයන් ගේ වියුක්‌ත නිරූපණ බව ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා හා අමරසේකර මහතා ඊනියා යථාර්ථවාදී සාහිත්‍යයක්‌ ගැන කතා කළ ද ඔවුන් නිර්මාණය කර ඇත්තේ ද සංයුක්‌ත චරිත ය. ඔවුන් ගේ නවකතාවල හා කෙටිකතාවල දක්‌නට ලැබෙන චරිත හඳුනාගැනීමට මහත් වෑයමක්‌ දැරිය යුතු නො වේ.

ඊනියා යථාර්ථය යනු වියුක්‌ත සංකල්පයකි. එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. ඊනියා යථාර්ථය ග්‍රහණය කර ගත හැකි වන්නේ (එසේ කළ හැකි නම්) සාධාරිත සංකල්පයක්‌ ලෙස ය. සාධාරිත සංකල්පයක්‌ වියුක්‌ත වෙයි. මේ පිළිබඳ තරමක දිර්ඝ විස්‌aතරයක්‌ අප කලකට පෙර කර ඇති බැවින් නැවතත් ඒ පැහැදිලි කළ යුතු නො වේ. එක්‌තරා අයුරකින් ගත හොත් බටහිර කෙටිකතා ලැබෙන්නේ පෙරදිග කතා සාධාරණීකරණයට ලක්‌ කිරීමෙනි.

මාර්ටින් වික්‍රමසිංහ මහතා හා ගුණදාස අමරසේකර මහතා කෙතරම් යථාර්ථවාදී සාහිත්‍යයක්‌ ගැන කතා කළ ද ඔවුන්ට ඊනියා යථාර්ථය පිළිබඳ පැහැදිලි අවබෝධයක්‌ නො තිබිණි. ඔවුන් සිතුවේ ඊනියා යථාර්ථය සංයුක්‌ත බව ය. ඊනියා යථාර්ථය සංයුක්‌ත නම් එය ග්‍රහණය කර ගත හැක්‌කේ, හඳුනාගත හැක්‌කේ කිනම් ඉන්ද්‍රියකට ද? ඊනියා යථාර්ථය යන්න මනස විසින් නිර්මාණය කෙරී ඇති පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන සංකල්පයකි.

බටහිර දැනුම පහළොස්‌වැනි සියවස ආසන්නයේ දී නිර්මාණය කෙරී ඇත්තේ පෙරදිග සංකල්ප බටහිරයන් ගේ වියුක්‌ත චින්තනය මත පදනම් වූ සංස්‌කෘතියට අවශෝෂණය කිරීමෙනි. එහෙත් එයින් කියවෙන්නේ බටහිරයන් ගේ එකල දැනුම අපේ දැනුම බව නො වේ. අනෙක්‌ අතට එදා සිට අද දක්‌වා බටහිර දැනුම ගී්‍රS්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය පදනම් කරගනිමින් වර්ධනය කෙරී ඇත. එය කෙසේ වත් අපේ දැනුමක්‌ විය නොහැකි ය. අදත් බටහිරයන් ඇතැම් විට අපේ දැනුම් අවශෝෂණය කරනු දැකිය හැකි ය. එහෙත් බටහිරයන් ගේ අවශෝෂණයෙන් පසු එය තවදුරටත් අපේ දැනුම නො වන බව අවධාරණය කළ යුතු ය. පැරැණි ගී්‍රකයන් අසමත් වුවත් වත්මන් බටහිරයන්ට නව දැනුම නිර්මාණය කිරීමට හැකි වි ඇත්තේ කෙසේ ද යන්න ද අප පැහැදිලි කළ යුතු ය.

මෙහි අනෙක්‌ පැත්ත ද අප සඳහන් කළ යුතු ය. බටහිරයන් අපේ දැනුම ඔවුන් ගේ චින්තනය මත පදනම් ව ඔවුන් ගේ සංස්‌කෘතියට අවශෝෂණය කරගනු මිස අපේ දැනුම අනුකරණය කරනු හෝ අපේ දැනුමට යුදෙවු ක්‍රිස්‌තියානි කෑලි ආරෝපණය කරනු හෝ දැකිය නොහැකි ය. එහෙත් අප කරන්නේ අනුකරණය හා ආරෝපණය පමණකි. කලින් ලිපියෙහි සඳහන් ආකාරයට අමරසේකර මහතා ගේ ජාතික චින්තනය ද බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි දැනුමට සිංහල බෞද්ධ කෑලි එල්ලීම, ආරෝපණය කිරීම පමණකි.

අද අපේ ප්‍රශ්න බොහොමයකට මුල ආරෝපණය හා අනුකරණය ය. බටහිරයන් අපට බලයෙන් ලබා දුන්, අප මත බලයෙන් පැටවූ අධ්‍යාපනය හේතුවෙන් අපට අවශෝෂණය හා අපේ සංස්‌කෘතියේ නිර්මාණය ආගන්තුක වෙයි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අවශෝෂණය කර ගැනීමට අපට නොහැකි වී ඇත. ඔවුන් ගේ විද්‍යාව හා අනෙක්‌ දැනුම් අවශෝෂණය කර ගැනීමට අප සිතන්නේ වත් නැත. ඔවුන් ගේ දැනුම අනුකරණය කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙරට ඊනියා යුද විශේෂඥයෝ අපට කොටි ත්‍රස්‌තවාදීන් පැරදවීමට නොහැකි යෑයි කීවෝ ය. එංගලන්ත අගමැති මෙරටට පැමිණ තම ආධිපත්‍යය පැතිරවීමට උත්සාහ ගැනීමෙන් පසුවත් දෙමළ ජාතිවාදය පසුපස ඇත්තේ එංගලන්තය බව පිළිගැනීමට අවබෝධ කරගැනීමට අපට නොහැකි වී ඇත.

අප දන්නේ එක්‌කෝ බටහිරයන් ගේ දැනුම පුනරුච්චාරණය කිරීම ය. එසේත් තැන හොත් ඒ දැනුමට ඒ ආකෘතියෙහි ම ප්‍රතිචාර දැක්‌වීමට ය. අපි එක්‌ උදාහරණයක්‌ පමණක්‌ ගනිමු. බටහිරයන් අපට කියන්නේ මානුෂික මෙහෙයුම්වල අවසාන සතියේ දී අපේ හමුදාව මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව ය. අප එයට ප්‍රතිචාර දක්‌වන්නේ ඒ එසේ නො වූ බව කිමෙනි. එය බටහිර දැනුමට කෑලි එල්ලීමක්‌ පමණකි. එහෙත් සිදු වී ඇත්තේ කුමක්‌ ද? කොටි ත්‍රස්‌තවාදීන් දෙමළ ජනයා මිනිස්‌ පළිහක්‌ ලෙස යොදාගත් බවත් එහි දී දෙමළ ජනයා ඒ පළිහ කඩාගෙන එයින් මිදී හමුදාව සිටි පැත්තට පැමිණි බවත් එසේ පැමිණීමේ දී කොටින් ඒ දෙමළ ජනයාට එල්ල කරන ලද වෙඩි පහරින් දෙමළ ජනයා යම් පිරිසක්‌ මිය ගිය බවත් අප නො කියන්නේ ඇයි? මිනිසුන් දිව යන්නේ වෙඩි එන දිශාවට ද? ඒසේත් නැත්නම් විරුද්ධ දිශාවට ද? අපේ හමුදාව මිනිස්‌ පළිහට වෙඩි තබද්දීත් මිනිසුන් හමුදා දෙසට ම දිව ආවේ යෑයි එංගලන්ත යුද විශේෂඥයන් පවසන්නේ ද? සිදු වී ඇත්තේ කොටි වෙඩි පහරින් මිදීමට මිනිසුන් හමුදාව දිශාවට දිව ඒම නො වේ ද?

නලින් ද සිල්වා