logo3.gif (702 bytes)

HOME


අනුකරණය හා ආරෝපණය

චින්තනයක සුසමාදර්ශ රාශියක්‌ තිබිය හැකි ය. උදාහරණයක්‌ ලෙස ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි (චින්තනය යනු කුමක්‌ දැයි තේරුම්ගැනීමට "මගේ ලෝකය" හා "ජාතිය සංස්‌කෘතිය හා චින්තනය" ආදී කෘති කියවන්න) ඇති සුසමාදර්ශ කිහිපයක්‌ නම් නිව්ටෝනීය සුසමාදර්ශය, තාපගතික සුසමාදර්ශය, අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතා සුසමාදර්ශය, ක්‌වොන්ටම් භෞතික සුසමාදර්ශය වෙයි. තාපගතිකය නිව්ටන් ගේ චලිත සමීකරණවලින් ලබාගත නො හැකි ය. එසේ වුවත් ඇතැම් නිව්ටෝනීය අදහස්‌ තාපගතිකයෙහි යොදාගැනෙයි. අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාදයේ අවකාශය හා කාලය යන සංකල්ප අදාළ නිව්ටෝනීය සංකල්පවලින් සහමුලින් ම වෙනස්‌ ය. එහෙත් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ද අවස්‌ථිති රාමු පිළිබඳ සංකල්පය වෙයි. එහි ද චලිත සමීකරණය ලියෑවෙන්නේ අවස්‌ථිති රාමුවල ය.

ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි පමණක්‌ නො ව බොහෝ චින්තනවල යොදාගැනෙන්නේ ද්විකෝටික න්‍යාය ය. එමෙන් ම බොහෝ දෙනා ලෝකය නිර්මාණය කරගන්නේ (තේරුම් ගන්නේ) එක්‌කෝ විවික්‌තව (discrete) ය. එසේත් නැත්නම් සන්තතිකව (continuous) ය. විවික්‌තව ලෝකය නිර්මාණය කිරීමේ දී අංශුව (particle) යන සංකල්පය වැදගත් වෙයි. එකිනෙකින් වෙන් වූ අංශුවලින් සමන්විත ලෝකයක්‌ නිර්මාණය කරගැනීමට මිනිසුන් පුරුදු ව ඇත්තේ අද ඊයේ නො වේ. අවුරුදු දහස්‌ ගණනක සිට මිනිස්‌සු ඒ ක්‍රියාවලියෙහි යෙදී සිටිති. නිව්ටන් ආලෝකය දැක්‌කේ ද අංශු ලෙස ය. ඔහු ගේ ලෝකයෙහි වූයේ ආලෝක අංශු ය. ඔහු ගේ ආලෝකය පිළිබඳ ප්‍රවාදය ලවක ප්‍රවාදය (corpuscular theory මෙහි තේරුම ම විවික්‌ත ස්‌වාධීන ඒකකයක්‌ හෙවත් අංශුවක්‌ යන්න ගෙන දෙයි) ලෙස හැඳින්වෙයි.

අනෙක්‌ අතට ගලන ගඟක එලෙස විවික්‌ත අංශු ලෙස දැකිය නො හැකි ය. මිනිසුන්ට සාපේක්‍ෂව ගඟක ඇත්තේ සන්තතික බවකි. මුළු මහත් බටහිර විද්‍යාව ම මෙන් ලෝකය නිර්මාණය කරගන්නේ එක්‌කෝ විවික්‌තව අංශු ආකෘතිය උපයෝගී කරගනිමිනි. නැත හොත් සන්තතිකව ගංගා ආකෘතිය අනුව යමින් ය. බටහිර භෞතික විද්‍යාව විසින් තරංග ආකෘතිය නිපදවනු ලැබ ඇත්තේ ගංගා ආකෘතිය අනුව ය. විද්යුත් චුම්බකවාදය යනු තරංග ලෙස ලෝකය දකින බටහිර විද්‍යා නිර්මාණයකි. බටහිර විද්‍යාවේ ඇත්තේ එක්‌කෝ අංශු ය. නැත්නම් තරංග ය. බටහිර ජීව විද්‍යාවෙහි සෛල යන සංකල්පය නිර්මාණය කෙරී ඇත්තේ අංශු ආකෘතියෙහි ය. එහෙත් රුධිර ගලනය සිදු වන්නේ තරංග හෙවත් සන්තතික ආකෘතියෙහි ය.

ක්‌වොන්ටම් භෞතිකය බටහිර විද්‍යාවක්‌ වුව ද එය නිර්මාණය වන්නේ චතුස්‌කෝටික න්‍යාය අනුව ය. එය බටහිර විද්‍යාඥයන් විසින් සවිඤ්ඤාණිකව කෙරෙන්නක්‌ නො වේ. ක්‌වොන්ටම් භෞතිකය බටහිර විද්‍යාඥයන්ට නො තේරෙන්නේ ද එබැවිනි. ජනප්‍රිය පොතපතින් පමණක්‌ ක්‌වොන්ටම් භෞතික විද්‍යාව ගැන දන්නා ඩී. එස්‌. සී. උපාධිධාරී මහාචාර්ය අමරතුංග මහතාට මෙන් ම මහා ප්‍රාඥ කාලෝ ෆොන්සේකා මහතාට ද මේ පිළිබඳ කිසිදු අවබෝධයක්‌ නැති බව ඔවුන් ලියන කියන දෙයින් පැහැදිලි වෙයි. මේ ලිපි පෙළ අමරතුංග මහතා කේන්ද්‍ර කරගත්ත ද ඔහුට පමණක්‌ සීමා වූවක්‌ නො වේ. තුන්වැනි සංගායනාවේ ආරක්‍ෂකයන් ද ඉතා විසිරුණු අදහසක වූ ජාතික චින්තනය ද මෙහි දී විවේචනයට ලක්‌ වෙයි.

ගුණදාස අමරසේකර මහතා ගැන මෙහි දී කතා කිරීමට තරම් වත් දෙයක්‌ නැත. ජාතික චින්තනයක්‌ ගැන කතා කළ ද බටහිර සංකල්ප යොදාගන්නා ඒ මහතා අද සභ්‍යත්වය හා සංස්‌කෘතිය අතර ජාතිය හිර කර ඇත. සැමුවෙල් හන්ටින්ග්ටන් ඉදිරියේ දී ඇමෙරිකාවට වෙනත් සංස්‌කෘතීන් ගෙන් එල්ල වන අභියෝගය පැහැදිලි කිරීම සඳහා සභ්‍යත්ව ගැටුම (clash of civilizatio ) නමින් පොතක්‌ පළ කළ අවස්‌ථාවෙහි එය ජාතික චින්තනය පසසමින් ලියූ පොතක්‌ ලෙස තේරුම්ගත් අමරසේකර මහතා අද සභ්‍යත්වය යන බටහිර සංකල්පය දිරවාගැනීමට නොහැකි ව පසු වෙයි.

සභ්‍යත්වය යන සංකල්පය බටහිරයන් නිර්මාණය කරගෙන ඇත්තේ ඔවුන්ට තමන් විසින් සභ්‍යත්වයක්‌ නැතැයි හඳුන්වනු ලැබූ ආසියාතික හා විශේෂයෙන් ම අප්‍රිකානු ජනයා ගෙන් වෙන් වීම සඳහා ය. සභ්‍යත්වයක්‌ ඇත්තේ බටහිරයන්ට මිස අපට නො වේ යන්න ඔවුන් ගේ මූලික උපකල්පනය විය. එහෙත් පසුව බටහිරයෝ සභ්‍යත්වය යන්නට වෙනත් අර්ථකථන ද දුන් හ. හන්ටින්ග්ටන්ට අනුව සභ්‍යත්වය යන්න මිනිස්‌ යන්න ළඟට මිනිසුන් ගොනු වන ප්‍රවර්ගය (Category) ය. මිනිසුන් ලෙස අප සියලු දෙනා ම හඳුනාගත හැකි ය. ඊළඟට හඳුනාගත හැක්‌කේ එක්‌ සභ්‍යත්වයකට හසු වන ජනයා ය. සභ්‍යත්වයක ජනකායකට තමන් ඒ සභ්‍යත්වයෙහි වේ ය යන හැඟීම (විඥානය) වෙයි.

හන්ටින්ග්ටන්ට අනුව ථෙරවාද බෞද්ධ සභ්‍යත්වය යනුවෙන් සභ්‍යත්වයක්‌ නැත. ඒ ථෙරවාදී බෞද්ධයන් තමන් එක්‌ ප්‍රවර්ගයකට අයත් යෑයි නො සිතන බැවිනි. ඔවුන්ට තමන් ථෙරවාදී සභ්‍යත්වයකට අයත් ය යන හැඟීම නැතැයි හන්ටින්ග්ටන් කියයි. එහෙත් යුරෝපීයයෝ තමන් ගැන යුරෝපීය සභ්‍යත්වයකට අයත් වූවන් ලෙසත් මුස්‌ලිම් සභ්‍යත්වයට අයත් වූවන් ලෙසත් සිතති යි හන්ටින්ග්ටන් කියයි. ඔහුට අනුව මහායානික බෞද්ධ යනුවෙන් ද සභ්‍යත්වයක්‌ ඇත. අමරසේකර මහතා ඒ සියල්ල අමතක කර මෙරට දෙමළ ජනයා ද සිංහල සභ්‍යත්වයට ම අයත් යෑයි කියයි. උදාහරණ ම`ගින් සභ්‍යත්වය යනු කුමක්‌ දැයි හඳුන්වනු වෙනුවට පළමුව සභ්‍යත්වයක්‌ යනු කුමක්‌ දැයි තේරුම් කිරීමට අමරසේකර මහතා උත්සාහ දරන්නේ නම් මැනවි.

මේ සියල්ල මෙහි දී ගෙනහැර දැක්‌වීමට සිදු වී ඇත්තේ දැනුම අවශෝෂණය පිළිබඳ ව තවදුරටත් කරුණු පැහැදිලි කිරීමට ය. මගේ ලෝකය කෘතියෙහි සංස්‌කෘතියක ඇති දැනුම ගැන කරුණු හතරක්‌ කියෑවෙයි. ඒ අනුකරණය, ආරෝපණය, අවශෝෂණය හා ඒ සංස්‌කෘතියෙහි ඇති දැනුම ඇසුරෙන් නිර්මාණය කිරීම ය. අනුකරණය යනු ඉවක්‌ බවක්‌ නැති ව ගෙඩිය පිටින් දැනුම ලබාගැනීම ය. අද බොහෝ දෙනා කරන්නේ එය ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙන් ම ගුණදාස අමරසේකර මහතා ද එසේ කර ඇති අවස්‌ථා එමට ය.

බටහිර මානව විද්‍යාව නම් දැනුම පද්ධතිය ගොඩනැඟුවේ ම බටහිරයන්ට අමතර ව තවත් මිනිසුන් ලෝකයේ ඇති බව බටහිරයන් තේරුම් ගැනීමෙන් පසුව ය. බටහිරයන්ට අවශ්‍ය වූයේ තමන් ගෙන් වෙනස්‌ වූ ඒ අනෙක්‌ මිනිසුන් ගැන අවබෝධයක්‌ ලැබීමටත් ඒ අනෙක්‌ මිනිසුන් පාලනය කරන්නේ කෙසේ දැයි දැනගැනීමටත් ය. එහෙත් ඒ බව තේරුම් නො ගත් මාර්ටින් වික්‍රමසිංහ මහතා බටහිර මානව විද්‍යාව ලංකා විශ්වවිද්‍යාලයයෙහි ඉගැන්විය යුතු යෑයි උද්ඝෝෂණය කළේ ය. ඒ මහතාත් අමරසේකර මහතාත් ඊනියා බටහිර යථාර්ථවාදී නවකතා හා කෙටිකතා ගැන කතා කළේ ඒ ඊනියා යථාර්ථය යනු බටහිර ඇසින් ලෝකය බැලීම නිසා නිර්මාණය කරගත්තක්‌ බව නො දැන ඒ අනුකරණය කිරීමෙනි. යථාර්ථය ද මිනිසුන් ගේ නිර්මාණයකි. ඒ හේතුවෙන් ම යථාර්ථය ද සාපේක්‍ෂ වූවකි. තුන්වැනි සංගායනාවේ ක්‍ෂණික යථාර්ථය පිළිබිඹු කරන ධර්මවාදය හා ක්‍ෂණවාදය ද අශෝක බුදුදහමට සාපේක්‍ෂ ය.

ආරෝපණයේ දී සිදු වන්නේ අපේ සංස්‌කෘතික අවයව (කෑලි) වෙනත් සංස්‌කෘතියක දැනුමට එකතු කිරීම ය. මෙරට සමාජයෙහි අද ඇත්තේ බෞද්ධ සංස්‌කෘතික කෑලි එකතු කරගත් යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියකි. ගුණදාස අමරසේකර මහතා ගේ ජාතික චින්තනය ද බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි දැනුමට එකතු කෙරෙන සංස්‌කෘතික කෑලි කිහිපයකට පමණක්‌ සීමා වෙයි. එය අමරසේකර මහතා අතින් විවේචනයට ලක්‌ වන ඡේ. ආර්. ජයවර්ධන මහතා ගේ ධර්මිෂ්ට රාජ්‍ය සංකල්පයෙන් වෙනස්‌ නො වේ. ජයවර්ධන මහතා යුදෙවු ක්‍රිස්‌තියානි දැනුමට ධර්මිෂ්ට රාජ්‍යය යන සංකල්පය එකතු කරගත්තේ ය. ඒ ජාතික චින්තන සංකල්පය මෙන් ම ආරෝපණයකි. එනම් යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියකට එකතු කරගත් සිංහල බෞද්ධ කෑල්ලකි.

මා බුදුදහම විකෘති කරන්නේ යෑයි අමරතුංග මහතා ද වෙනත් තුන්වැනි සංගායනාවේ බුදුදහම් සුසමාදර්ශයේ ආරක්‍ෂකයෝ නිතර කියති. එයට හේතුව මා වාස්‌තවික වූ යථාර්ථයක්‌ වූ මනසක්‌ ඇතැයි නො පිළිගැනීම ය. එවැනි මනසක්‌ ඇතැයි බුදුන්වහන්සේ දේශනා කර ඇත්තේ කොහේ ද? අනත්තලක්‌ඛන සූත්‍රයෙහි යථාර්ථයක්‌ වූ මනසක්‌ ගැන නො කියෑවෙයි. අටුවාවෙහි තිබූ පමණින් යමක්‌ පිළිගැනීමට අප සූදානම් නැත. අටුවා ලියනු ලැබ ඇත්තේ භික්‍ෂුන් වහන්සේ වුව ද අප වැනි ම වූ පෘථග්ජනයන් විසිනි. රහතන් වහන්සේ කෙනකු අතින් ලියෑවුණ ද වැරැදි තිබිය හැකි බව මගේ විශ්වාසය වෙයි.

චිත්ත යනු මොනවා ද? චිත්තයක්‌ ක්‍ෂණ කිහිපයකට පවතින්නේ ය යන්නෙහි තේරුම කුමක්‌ ද? චිත්ත වීථි යනු මොනවා ද? චිත්ත පෙරහැරක චිත්ත ඇති වන්නේ කෙසේ ද? චිත්ත වීථිය සන්තතික ද? එය සමන්විත වන්නේ විචික්‌ත වූ චිත්ත රාශියකින් ද? මනස මනසේ ම නිර්මාණයක්‌ ය යන්නට වඩා චිත්තය පරමාර්ථ ධර්මයක්‌ ලෙස සැලකීම උචිත ද? අපට නිවන් අවබෝධ කරගැනීමෙන් පසු වත් තේරුම්ගැනීමට නොහැකි වූ ද, ප්‍රත්‍යක්‍ෂ නො වූ ද එහෙත් බුදුන් වහන්සේ ගේ ප්‍රත්‍යක්‍ෂ විස්‌තර කිරීම සඳහා අප සංකල්ප නිර්මාණය කර ඇත. සන්නිවේදනයේ දී මේ සංකල්ප අවශ්‍ය වෙයි. චිත්ත චෛතසික මනස ආදිය ද එවැනි සංකල්ප පමණක්‌ වෙයි.

මාර්ටින් වික්‍රමසිංහ මහතා පුනරුත්පත්තිය පුනබ්භවය නො පිළිගත්තේ ය. අමරසේකර මහතා ද නො පිළිගනියි. එහෙත් අමරතුංග මහතාට අනුව බුදුදහම විකෘති කරන්නේ පුනබ්භවය පිළිගන්නා මා මිස අමරසේකර මහතා නො වේ. එයට එක ම හේතුව මා අටුවාවෙහි ඇති ඇතැම් කරුණු නො පිළිගැනීම ය. අමරතුංග මහතාට අනුව අමරසේකර මහතා ගේ සුන්දර අදහසක්‌ වූ ජාතික චින්තනයේ පුනබ්භවයක්‌ නැත.

වික්‍රමසිංහ මහතා ගේත් අමරසේකර මහතා ගේත් ප්‍රශ්නය මට තේරුම්ගත හැකි ය. ඔවුන් ගේ චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය වෙයි. ඔවුන් ගේ දැනුම යුදෙව් ක්‍රිස්‌තියානි දැනුම වෙයි. ඔවුන් කර ඇත්තේ එයට බෞද්ධ කෑලි එකතු කිරීම ය. එහෙත් ඔවුහු ඊනියා විද්‍යාත්මක චින්තනයේ දාසයෝ වෙති, වූ හ. පුනබ්භවය බටහිර විද්‍යාවට අනුව පෙන්නුම් කළ නො හැකි ය. එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන කෑලි තම යුදෙවු ක්‍රිස්‌තියානි දැනුමට එකතු කිරීමට ඒ මහත්වරු අකැමැති වෙති. එබැවින් පුනබ්භවය නැති බෞද්ධ කෑලි ගැන පමණක්‌ උනන්දු වීමට සිදු වීම ඔවුන් ගේ අවාසනාවක්‌ විය හැකි ය.

බටහිර විද්‍යාව ඇති වීමට (නිර්මාණය කිරීමට) පෙර භාරතයේ හා චීනයේ තිබුණේ බොහෝ දුරට සංයුක්‌ත වූ දැනුමකි. භාරතයේ බමුණන්ට යම් වියුක්‌ත දැනුමක්‌ තිබුණ නමුත් එය බටහිරයන් ගේ වියුක්‌ත මට්‌ටම අසලකට වත් නො පැමිණියේ ය. චීන ජාතිකයන්ට බමුණන්ට තරමට වත් වියුක්‌ත දැනුමක්‌ නො වී ය. භාරතයේ හා චීනයේ තිබූ දැනුම ගැන බටහිරයන් උනන්දුවක්‌ දක්‌වා ඇත්තේ පහළොස්‌වැනි සියවසේ පමණ සිට ය. එහෙත් බටහිරයන්, විශේෂයෙන් ම ග්‍රීකයන් ඈත අතීතයේ දීත් අනෙක්‌ රටවල තිබූ දැනුම ගැන උනන්දුවක්‌ දක්‌වා ඇත. ඔවුහු මධ්‍යධරණීය මුහුදු අවට තිබූ රටවල ද පැරැණි මිසරයේ ද තිබූ දැනුම ග්‍රීක සංස්‌කෘතියට අවශෝෂණය කරගත් හ.

නලින් ද සිල්වා