logo3.gif (702 bytes)

HOME


දැනුම අවශෝෂණය කිරීම

බටහිර සංස්‌කෘතිය නැඟීමට පෙර පුරාණ සංස්‌කෘතීන් කිහිපයක ම විද්‍යාව හා තාක්‍ෂණය වර්ධනය වූ බව අපි දනිමු යෑයි අමරතුංග මහතා පවසයි. බොහෝ ලේඛකයන් අනුගමනය කරන උපායශීලී පිළිවෙතක්‌ අමරතුංග මහතා ද මෙහි දී අනුගමනය කරයි. මෙහි අපි යනුවෙන් හැඳින්වෙන්නේ ඒ මහතා පමණක්‌ නො වන බව පැහැදිලි ය. ඔහු සියුම් ව කරන්නේ පාඨකයන් ද තමා දරන මතය පිළිගන්නා බව කීම ය. එම`ගින් බොහෝ පාඨකයෝ මහාචාර්යවරයකු සමග එක ම මතයක්‌ දරන්නේ ය යන මතයෙන් එක්‌තරා අයුරකින් මානසික නිද්‍රdශීලීභාවයකට පත් වෙති. කොහොමටත් සිතන්නට පුරුදු නො කරන අධ්‍යාපනයකින් බිහි වන්නෝ ඉන්පසු අමරතුංග මහතා කියන දේ ප්‍රශ්න නො කරති.

චීනය, ඉන්දියාව වැනි රටවල තාරකා විද්‍යාව, ගණිත ශාස්‌ත්‍රය, රසායන විද්‍යාව වැනි විද්‍යාවන්ට අදාළ මූලික නීති රීති ඉන්දියාවේ නිර්මාණය වී අරාබිය හරහා යුරෝපයට සංක්‍රමණය වූ බවත්, වෙඩි බෙහෙත්, මාලිමා යන්ත්‍රය හා මුද්‍රණ යන්ත්‍රය පළමුව චීනයේ නිෂ්පාදනය වූ බවත් අමරතුංග මහතා කියයි. ඒ මහතා ඇතැම් බටහිරයන් කියන මේ කරුණු පුනරුච්චාරණය කරන්නේ ලංකාවේ මහාචාර්යවරයකුට ම සුදුසු ආකාරයෙනි. මෙරට බොහෝ බටහිර උගත්තු මේ සම්බන්ධයෙන් අමරංතුග මහතා දරන මතය ම දරන බව ද සඳහන් කළ යුතු ය.

මෙහි දී අපට උගත් මහාචාර්යවරයා ගෙන් ප්‍රශ්න කිහිපයක්‌ ඇසීමට ඇත. පළමුවෙන් ම අද ඉන්දියාවෙන් හෝ චීනයෙන් හෝ එවැනි දැනුම් නිර්මාණය නො වන්නේ ඇයි ද යන්න ය. බොහෝ උගතුන් එයට දෙන පිළිතුර නම් මේ වන විට ඒ රටවල ඒ සඳහා පහසුකම් නොමැති බව ය. එහෙත් චීනයෙන් හා ඉන්දියාවෙන් පහසුකම් ඇතැයි කියන බටහිර රටවලට දේශීය බටහිර විද්‍යාඥයෝ විශාල වශයෙන් ඇදී යති. ඔවුන් ගෙන් කී දෙනකුට නොබෙල් ත්‍යාගය හිමි වී ඇත් ද? ඔවුන් ගෙන් කී දෙනකු බටහිර විද්‍යාවේ හරිහමන් දැනුමක්‌ නිර්මාණය කර ඇත් ද? එදා විද්‍යාවේ ජයකෙහෙළි නැංවී යෑයි කියන ඉන්දියානුවන්ට හා චීනුන්ට අද එසේ කිරීමට නොහැකි වී ඇත්තේ ඇයි? ඉන්දියානු හා චීන ශිෂ්‍යයෝ බටහිර රටවල දී පරික්‍ෂණවලින් ඉහළින් සමත් වන නමුදු දැනුම නිර්මාණයෙහි දී යුරෝපීයයන් මෙන් දක්‍ෂතාවක්‌ නො දක්‌වති. ලංකාවෙන් බටහිරට යන ශිෂ්‍යයෝ ද එසේ ම වෙති.

අනෙක්‌ අතට චීනයේ වසර ගණනාවක්‌ තිස්‌සේ චීන දැනුම ගැන අධ්‍යයනය කර ඒ පිළිබඳ වෙළුම් රාශියක්‌ පළ කළ ජෝසෆ් නීඩ්හම් මහතා ඉතා වැදගත් ප්‍රශ්නයක්‌ අසා ඇත. අමරතුංග මහතාට ඒ ප්‍රශ්නය පිළිබඳ දැනුමක්‌ ඇත් දැයි මම නො දනිමි. නීඩ්හම් මහතා අසා ඇත්තේ විශාල දැනුම් සම්භාරයකට හිමිකම් කී චීන ජාතිකයන්ට බටහිර (නවීන) විද්‍යාවට හිමිකම් කීමට නොහැකි වූයේ ඇයි ද යන්න ය. පැහැදිලිව ම නීඩ්හම් මහතා චීන විද්‍යාව හා බටහිර විද්‍යාව අතර වෙනසක්‌ දකියි. නීඩ්හම් මහතාට අමරතුංග මහතාට තරම් වැටහීමක්‌ නො තිබූ බැවින් ඒ ප්‍රශ්නය ඇසී දැයි නො දනිමි.

නීඩ්හම් මහතා කිසි තැනක චීන විද්‍යාව දියුණු වී ඉන්දීය විද්‍යාව හෝ වෙනත් විද්‍යාවක්‌ හෝ සමග සම්බන්ධ වී හෝ නො වී හෝ බටහිර විද්‍යාව ඇති වූ බවක්‌ සඳහන් නො කරයි. මා මෙයින් කියන්නේ අප නීඩ්හම් මහතා කියා ඇති දේ අවසාන වාක්‍යය ලෙස පිළිගත යුතු බව නො වේ. එක්‌ එක්‌ අය ගේ නම් සඳහන් කරමින් තමා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තකු ය යන අදහස පාඨකයාට ලැබෙන පරිදි ලියන අමරතුංග මහතා තමා නීඩ්හම් ගැන අසා නැතැයි කියන්නේ ද? ඒ මහතාට තමා ඉහළින් අගයන ගුණදාස අමරසේකර මහතා ගෙන් නීඩ්හම් යනුවෙන් මිතුරකු මාර්ටින් වික්‍රමසිංහ මහතාට සිටි බව දැනගත හැකි ය.

කෙසේ වෙතත් නීඩ්හම් මහතා තමා ඇසූ ප්‍රශ්නයට පිළිතුරක්‌ ද සැපයී ය. ඔහුට අනුව චීනයේ බටහිර විද්‍යාව බිහි නො වූයේ එහි ධනවාදය නො තිබූ බැවිනි. නීඩ්හම් මහතා තම ප්‍රශ්නයට දී ඇත්තේ ඉතා ම බංකොළොත් පිළිතුරකි. බටහිර විද්‍යාව බටහිර ඇති වූයේ එහි ධනවාදය තිබූ නිසා නො වේ. ගැලීලියෝ මිය ගියේ 1642 වසරේ දී ය. නිව්ටන් උපන්නේ ද ඒ වසරෙහි දී ය. ඒ වන විට ඉතාලියේ හෝ එංගලන්තයේ හෝ වෙනත් බටහිර රටක හෝ ධනවාදය බිහි වී නො තිබිණි. ගැලීලියෝට හෝ නිව්ටන්ට හෝ ධනවාදය අවශ්‍ය නො වී ය. අවාසනාවකට අමරසේකර මහතා ධනවාදය ඇති වූයේ බටහිර විද්‍යාව ඇති වීමට පසුව යෑයි සිතන බව පසුගිය සතියේ එක්‌ ඉරිදා පුවත්පතකට කරන ලද ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.

අනෙක්‌ අතට අද බටහිර ඇති ගණිතය ඉන්දියාවේ තිබූ ගණිතයෙහි වර්ධනයක්‌ නො වේ. පැරැණි භාරතීය ගණිතය වියුක්‌ත ගණිතයක්‌ නො වී ය. යම් යම් ගණිත කර්ම සිදු කිරීම සඳහා සූත්‍ර රාශියක්‌ පැරැණි භාරතීය ගණිතයෙහි විය. (සූත්‍ර යනු අසා ඇති දේ ය. බුදු දහමෙහි සඳහන් සූත්‍ර බොහෝ විට බුදුන්වහන්සේ ගෙන් ඇසූ දේ ය). උදාහරණයක්‌ වශයෙන් ගත හොත් බටහිර ගණිතයෙහි දක්‌නට ලැබෙන පෛතගරස්‌ ප්‍රමේයයෙහි ප්‍රතිඵලය පැරැණි භාරතීයයෝ දැන සිටිය හ. එහෙත් ඒ දැනුම ඒ ඒ සෘජුකෝණී ත්‍රිකෝණය සඳහා වූ සංයුක්‌ත දැනුමක්‌ විය. ඕනෑ ම සෘජුකෝණී ත්‍රිකෝණයක්‌ සඳහා වියුක්‌ත ව ප්‍රතිඵලය සාධනය කිරීමට තබා ප්‍රකාශ කිරීමට වත් පැරැණි භාරතීය ගණිතඥයෝ දැන නො සිටිය හ.

පැරැණි භාරතයේ තිබූ දැනුම අරාබීන් හරහා යුරෝපයට ගිය බව සැබෑ ය. එහෙත් ඒ දැනුම හෝ චීනයෙන් ලැබුණු දැනුම හෝ වෙනත් දැනුමකින් හෝ බටහිරයෝ ගෙඩිය පිටින් අනුකරණය නො කළ හ. ඔවුහු ඒ සියලු දැනුම් තම නව ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය මත පදනම් ව යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට අවශෝෂණය කළ හ. අමරතුංග මහතා ඒ බව නො දන්නවා විය හැකි ය. ඒ මහතා චින්තනය යන සංකල්පයට ගරහයි. ඒ මහතා වරක්‌ කියා තිබුණේ මා අමරසේකර මහතා ගේ ජාතික චින්තනය යන සොඳුරු අදහස අවලස්‌සන කර ඇති බව ය. මේ පිළිබඳ පැහැදිලි කිරීමට ද මේ අවස්‌ථාවක්‌ කර ගනිමි.

මට ජාතික චින්තනය යන අදහස අවලස්‌සන කිරීමට අවශ්‍යතාවක්‌ නො වී ය. එයට හේතුව 1986 වසරේ දී ම මා චින්තනය යන සංකල්පය ඉදිරිපත් කර තිබීම ය. 1986 පළ කළ මගේ ලෝකය කෘතියෙහි ද චින්තනය යන සංකල්පය විස්‌තර කර ඇත. මා අද ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය ලෙස හඳුන්වන්න එදා හැඳින්වූයේ යුදෙවු චින්තනය ලෙස ය. පසුව බටහිරයන් ගේ වත්මන් චින්තනය චින්තන තුනක සංකලනයක්‌ බව අවබෝධ වීමෙන් පසුව ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි යන්න ව්‍යවහාරයට ගත්තෙමි.

අමරසේකර මහතා ජාතික චින්තනය යන අදහස 1986 දී ඉදිරිපත් කළේ රුසියන් ජාතිකයකු ගෙන් ලබාගත් නැෂනල් තෝට්‌ ((national thought) යන්න සිංහලට පරිවර්තනය කරමිනි. ඔහුට ඒ පිළිබඳ පැහැදිලි සංකල්පයක්‌ නො වී ය. විසිරුණු අදහස්‌ මිස සංකල්ප හඳුන්වා දීමේ හැකියාවක්‌ නැති අමරසේකර මහතා ජාතික චින්තනය යන්න ඉතා ම ලිහිල් ආකාරයකින් යොදාගත්තේ ය. අර රුසියන් ලේඛකයාට අනුව රුසියන් විප්ලවය ජයග්‍රහණය කළේ මාක්‌ස්‌වාදය මත නො ව රුසියන් ජාතික චින්තනය මත පදනම් වී ය.

අමරසේකර මහතාට ජාතික චින්තනය යනු කුමක්‌ දැයි පැහැදිලි කිරීමට පවා නොහැකි වූ බව එකල දිවයින බදාදා අතිරේකය කියවූවෝ දනිති. ඒ මහතා සාමාන්‍යයෙන් කරන ආකාරයට බටහිර ලේඛකයන් ගේ අදහස්‌ සිංහලට පරිවර්තනය ඒ ඔස්‌සේ ඊනියා ජාතික චින්තනය තේරුම් කිරීමට උත්සාහ ගත්තේ ය. විශේෂයෙන් ම එරික්‌ ෆ්‍රොම් ගේ අදහස්‌ ඒ මහතාට ප්‍රයෝජනවත් විය. ෆ්‍රොම් ගේ සිවිලිසේaෂන් කොන්ෂස්‌නස්‌ (Civilisation consciousness) යන්න සභ්‍යත්ව විඥානය ලෙස පරිවර්තනය කරගත් අමරසේකර මහතා ජාතික චින්තනය යන්න ෆ්‍රොම් ඇසුරෙන් තේරුම් කිරීමට උත්සාහ කළේ ය. සතියකට පෙර ඒ මහතා ජාතිය යන්න ඊනියා සභ්‍යත්ව විඥානය ඔස්‌සේ තේරුම් කිරීමට කලින් කී පුවත්පත ම`ගින් අසාර්ථක උත්සාහයක්‌ ගෙන තිබිණි.

මට මෙරට ජාතික චින්තනය යන්න සිංහලයන් ගේ චින්තනය විය. එය අද වන විට සිංහල බෞද්ධ චින්තනය ලෙස හැඳින්වෙයි. ලිහිල් විසුරුණු අදහස්‌ කෑලි මත නො ව සංකල්ප මත පදනම් වූ මට ප්‍රධාන සංකල්පය වූයේ චින්තනය ය. සිංහල බෞද්ධ චින්තනය යන්න අපට වැදගත් වුවත් ප්‍රධාන වුවත් එය තවත් එක්‌ චින්තනයක්‌ පමණක්‌ විය. දැනුම නිර්මාණය කෙරෙන්නක්‌ බවත්, එය චින්තනය මත පදනම් ව සංස්‌කෘතියකට සාපේක්‍ෂව සිදු වන්නක්‌ බවත් මම සඳහන් කළෙමි. එමෙන් ම දැනුම නිර්මාණය කෙරෙන්නේ අවිද්‍යාව (බුදු දහමෙහි සඳහන්) නිසා බවත් සඳහන් කළෙමි. මේ සියලු සංකල්ප වර්ධනය කිරීමට යම් කාලයක්‌ ගත වූ බව අමුතුවෙන් කිව යුතු නො වේ.

මා කළ වරද වූයේ චින්තනය යන සංකල්පයෙන් ලබාගත් සිංහල බෞද්ධ චින්තනය යන සංකල්පය අමරසේකර මහතා ගේ ජාතික චින්තනය යන විසිරුණු අදහස සමග එකට භාවිත කිරීම සහ එසේ කිරීමට ඉඩහැරීම ය. බොහෝ දෙනා තේරුම් ගත්තේ මගේ සිංහල බෞද්ධ චින්තනය යන සංකල්පය හා අමරසේකර මහතා ගේ ජාතික චින්තනය යන විසිරුණු අදහස එකක්‌ ලෙස ය. ඇතැම් අවස්‌ථාවල මෙරට ජාතික චින්තනය යන අදහස ගෙන දෙන ආකාරයට ජාතික චින්තනය යන්න යොදාගැනීමෙන් මා මගේ අනන්‍යතාව පළුදු කරගත් බව ද මම පිළිගනිමි.

මේ අදහස්‌ මෙසේ පළ කිරීමට සිදු වී ඇත්තේ අමරතුංග මහතා ගේ ප්‍රකාශ නිසා ය. අමරසේකර මහතා මගේ සංකල්ප ද ඒ මහතා ගේ අදහස්‌ ලෙස පාඨකයාට ඉදිරිපත් කරයිs. උදාහරණයක්‌ ලෙස අවශෝෂණය යන්න ම ගනිමු. අමරසේකර මහතාට කිසි දිනෙක චින්තනය යන සංකල්පය නො වී ය. ඔහුට සැම දාමත් තිබුණේ ජාතික චින්තනය යන විසිරුණු අදහස පමණ ය. දැනුම එක්‌ සංස්‌කෘතියකින් තවත් සංස්‌කෘතියකට හෝ චින්තනයකින් තවත් චින්තනයකට අවශෝෂණය කිරීම ඒ මහතා සාකච්ඡා කළ කරුණක්‌ නො වේ. දැනුම හෝ දැනුම නිර්මාණය කිරීම ආදිය අමරසේකර මහතා ගේ විෂය පථයෙහි නො වී ය. දැනුම පිළිබඳ දැනුම හෙවත් ඥානවිභාගය අමරසේකර මහතා ඇලුම් කළ විෂයයක්‌ නො වී ය.

එහෙත් අනුකරණය යන්න නම් ඒ මහතා දිගින් දිගට යොදාගත් අදහසක්‌ බව කිව යුතු ය. එසේ වුවත් අනුකරණය යන්න පැහැදිලිව දැනුම සම්බන්ධයෙන් හෝ අවශෝෂණය සහ සංසන්දනය කරමින් හෝ ඔහු යොදා නො ගත්තේ ය. මා මගේ ලෝකය කෘතියෙහි දැනුම සම්බන්ධයෙන් අවශෝෂණය යන්න අනුකරණය සමග යොදාගෙන ඇත්තේ 1986 තරම් ඈත කාලයක ය. එසේ වුවත් සති දෙකකට පෙර කලින් සඳහන් පුවත්පතට ම අමරසේකර මහතා දැනුම සම්බන්ධයෙන් අවශෝෂණය යන්න යොදාගන්නේ තමන්ගේ ම සංකල්පයක්‌ ලෙස ය.

මම ද වෙනත් දැනුම් පද්ධතීන් ගෙන් ඇතැම් සංකල්ප සිංහල බෞද්ධ චින්තනයට අවශෝෂණය කර ඇත්තෙමි. ඒ සඳහා හොඳ ම උදාහරණය කූන් ගේ සුසමාදර්ශය (paradigm) යන්න ය. එක්‌ චින්තනයක සුසමාදර්ශ කිහිපයක්‌ ඇති බව මගේ වැටහීම ය. ඒ බව මම නොයෙකුත් අවස්‌ථාවල ප්‍රකාශ කර ඇත්තෙමි. සිංහල බෞද්ධ චින්තනයෙහි ද සුසමාදර්ශ කිහිපයක්‌ වෙයි. අවුරුදු දහස්‌ ගණනක්‌ මුළුල්ලෙහි සිංහල බෞද්ධ චින්තනයෙහි ප්‍රධාන සුසමාදර්ශය වී ඇත්තේ තුන්වැනි සංගායනාවේ හෙවත් මහාවිහාරයෙහි සුසමාදර්ශය ය. අභයගිරි සුසමාදර්ශය ද සිංහල බෞද්ධ චින්තනයෙහි එක්‌ සුසමාදර්ශයක්‌ විය. මේ සුසමාදර්ශ අතර ද දැනුම් අවශෝෂණය සිදු වෙයි.

නලින් ද සිල්වා