logo3.gif (702 bytes)

HOME


අමරතුංග මහතා ගේ මුළාව

කූන් ගේ ව්‍යාපෘතිය වූයේ අප කලින් ද සඳහන් කළ ආකාරයට පොපර් ගේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමය සම්බන්ධයෙන් වූ අදහස්‌ වැරැදි බව පෙන්වීම ය. පොපර් තම ඊනියා අසත්‍යකරණය මඟින් බටහිර විද්‍යාවට එතෙක්‌ තිබුණාට ද වඩා ආධිපත්‍යයක්‌ ලබා දුන්නේ ය. කූන් කළේ විද්‍යාඥයන් ඉතා වැඩි වශයෙන් කරන්නේ පිළිගැනීමට ලක්‌ වී ඇති ප්‍රවාද තව තවත් තහවුරු කිරීමට කටයුතු කරන බව පෙන්වා දීම ය. ඒ හැරෙන්නට බටහිර විද්‍යාවේ ප්‍රවාද සුසමාදර්ශ මත පදනම් වන බවත්, ඒ ඒ සුසමාදර්ශ මත පදනම් වූ ප්‍රවාද හා සංකල්ප අසම්මේය බවත් කූන් පෙන්වා දුන්නේ ය.

ඒ අරුතෙන් ගත් කල කූන් තරමක ආධිපත්‍ය විරෝධියෙක්‌ විය. ඔහුට එවැනි ආධිපත්‍ය විරෝධී ආකල්පයක්‌ තිබිණි යෑයි මෙයින් නො කියෑවෙයි. ඔහු ද බටහිර විද්‍යාවට හිමි වූ යම් විධික්‍රමයක්‌ ඇතැයි පිළිගත්තේ ය. ඔහු බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙන් වන බව කීවේ ය. එහෙත් ඔහු බටහිර විද්‍යාඥයන් ගේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාජයක්‌ බව දුටුවේ ය. බටහිර විද්‍යාඥයන් ආධිපත්‍යය පිළිගන්නා පිරිසක්‌ බව ඔහු පෙන්වා දුන්නේ ය. එමඟින් ඔහු බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට විරෝධයක්‌ දැක්‌වී ය.
ෆෙයරාබන්ඩ් බටහිර විද්‍යාවේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමය පිළිබඳ ව විප්ලවවාදී අදහස්‌ ප්‍රකාශ කළේ ය. ඔහු බටහිර විද්‍යාවේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ නැතැයි නොපැකිළව කියා සිටියේ ය. ඔහු ලියා පළ කළ "විධික්‍රමයට එරෙහි ව" (Against Method) කෘතියෙන් තමන් එසේ කියන්නේ ඇයි දැයි පැහැදිලි කළේ ය. ගැලීලියෝ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක කළ පර්යේෂණයක්‌ නැති බව ෆෙයරාබන්ඩ් පෙන්වා දුන්නේ ය. එහි සඳහන් සියලු කරුණු සඳහන් කිරීමට මේ අවස්‌ථාව නො වේ. අවශ්‍ය කෙනකුට ඉහත සඳහන් කෘතිය කියවා ඒ විස්‌තර දැනගත හැකි ය.

එමෙන් ම ෆෙයරාබන්ඩ් සඳහන් කළ වැදගත් කරුණක්‌ වූයේ තමා සාපේක්‍ෂතාවාදියකු බව ය. ඔහුට අනුව ඊනියා වාස්‌තවික වූ දැනුම් නැත. සියලු දැනුම් සාපේක්‍ෂ බව ඔහු ගේ අදහස විය. එහෙත් ඒ කුමකට සාපේක්‍ෂව දැයි ඔහු කියා නො සිටියේ ය. මේ අතර දැනුම පිළිබඳ බටහිර සමාජ විද්‍යාඥයන් (sociologists of knowledge) තවත් අදහසක්‌ ඉදිරිපත් කර තිබිණි. ඔවුහු දැනුම පිළිබඳ බටහිර සමාජවිද්‍යාඥයෝ වූ හ. ඔවුන් කියා සිටියේ දැනුම යනු සමාජයීය නිර්මිතයක්‌ (social construction) බව ය. ඔවුන් එමඟින් කියා සිටියේ දැනුම යනු සොයාගනු ලබන දෙයක්‌ නො වන බවත් එය ඒ ඒ සමාජය විසින් නිර්මාණය කෙරෙන්නක්‌ බවත් ය.

ඒ ඒ සමාජයේ දැනුම බිහි වන්නේ ඒ ඒ සමාජයට වැදගත් වූ කරුණු පදනම් කරගෙනය ය. මෙය වැදගත් අදහසකි. එය ඊනියා පශ්චාත්නූතනවාදී අදහසක්‌ නො වේ. පශ්චාත්නූතනවාදයේ ප්‍රධාන ම කතාවක්‌ වන්නේ පාරආඛ්‍යානයක්‌ (meta narrative) නැති බව ය. මහාචාර්ය අශෝක අමරතුංග මහතා ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී ඇති ගුණදාස අමරසේකර මහතා මෙටා යන්න මෙගා හෙවත් මහා යන අරුතකින් තේරුම් ගෙන දෝ කලක්‌ පශ්චාත්නූතනවාදයෙහි මහා පතරංග ආඛ්‍යාන ගැන කතා කළේ ය. ඒ මහතා එවැනි වැරැදි තේරුමක්‌ ලබාගත්තේ පශ්චාත්නූතනවාදය ගැන ලියෑවී ඇති කිනම් ජනප්‍රිය පොතක්‌ හෝ ලිපියක්‌ හෝ කියවා දැයි නො දනිමි.

කෙසේ වෙතත් ෆෙයරාබන්ඩ් පාරආඛ්‍යාන ගැන හෝ පශ්චාත්නූතනවාදයෙහි දක්‌නට ලැබෙන තවත් ප්‍රධාන අදහසක්‌ වූ ඊනියා විසංයෝජනය (deconstruction) ගැන හෝ කතා නො කළේ ය. ඔහු සාපේක්‍ෂතාවාදියකු පමණක්‌ විය. ඇතැම් පශ්චාත්නූතනවාදීහු සාපේක්‍ෂතාවාදීහු වෙති. එහෙත් එයින් කියෑවෙන්නේ සියලු සාපේක්‍ෂතාවාදීන් පශ්චාත්නූතනවාදීන් බව නො වේ. මහාචාර්ය අමරතුංග මහතා, අඩු ම තරමෙන් සාපේක්‍ෂතාදියකු වත් නො වන කූන් හා සාපේක්‍ෂතාවාදියකු වූ ෆෙයාරාබන්ඩ් පශ්චාත්නූතනවාදීන් ලෙස සලකන්නේ කිනම් නිර්ණායකවලට (මිනුම් දණ්‌ඩකට) අනුව දැයි ප්‍රකාශ කරන්නේ නම් මැනවි.

අමරතුංග මහතාට අනුව "පෝල් ෆෙයාරාබන්ඩ් ගේ අදහස වූයේ විද්‍යාවට ලබා දී ඇති වැදගත් ස්‌ථානයට සමාන තැනක්‌ නක්‌ෂත්‍රය වැනි මිථ්‍යාව මත පිහිටා වර්ධනය වූ ක්‍රමවේදයනයට ද ලබා දිය යුතු බව ය". අමරතුංග මහතාට නිරවුල් ව අදහස්‌ ප්‍රකාශ කළ නො හැකි ය. ඔහු කියන්නේ නක්‍ෂත්‍රය ක්‍රමවේදයක්‌ බව ද? ඔහු බටහිර විද්‍යාව වැනි දැනුම් පද්ධතියක්‌ සංසන්දනය කරන්නේ ක්‍රමවේදයක්‌ සමග ද?

මහාචාර්යතුමා කියන්නට අදහස්‌ කළේ බටහිර විද්‍යාවට සමාන තැනක්‌ නක්‍ෂත්‍රයට ද ලබා දිය යුතු යෑයි ෆෙයාරාබන්ඩි කියා ඇති බව විය හැකි ය. ඒ එසේ යෑයි ගත්ත ද මෙහි දී අඩු තරමෙන් ප්‍රශ්න දෙකක්‌ පැනන`ගී. මේ ඊනියා වැදගත් බව බටහිර විද්‍යාවට ලබා දී ඇත්තේ කවුරුන් විසින් ද? නක්‍ෂත්‍රය මිථ්‍යාවක්‌ කියන්නේ කවුද? අමරතුංග මහතා එවැනි අදහස්‌ ප්‍රකාශ කරන්නේ ඊනියා වාස්‌තවික අර්ථයෙනි. ඔහු අදහස්‌ ප්‍රකාශ කරන අයුරෙන් බටහිර විද්‍යාවට නිරපේක්‍ෂව ම වැදගත් තැනක්‌ ලැබී ඇත. එමෙන් ම නක්‍ෂත්‍රය නිරපේක්‌ෂව ම මිථ්‍යාවකි.

පොපර් කලකට පෙර නක්‍ෂත්‍රය මිථ්‍යාවක්‌ යෑයි කියා ඇත. ඔහුට අනුව නක්‍ෂත්‍රය පමණක්‌ නො ව මෙරට ජාතික චින්තනය විසින් ගුරු කරගනු ලැබිය යුතු බවට ගුණදාස අමරසේකර මහතාට විසින් ඇතැම් විට පැවසෙන මාක්‌ස්‌වාදය ද, මෙරට බටහිර වෛද්‍ය පීඨවල ඉගැන්වෙන ෆ්‍රෝයිඩ් ආදීන් ගේ මනෝ විශ්ලේෂණ ද මිථ්‍යා වෙයි. ඒ ඔහුට අනුව ඒ කිසි ම දැනුම් පද්ධතියක්‌ අසත්‍යකරණයට ලක්‌ කළ නොහැකි බැවිනි. පොපර්ට අනුව නම් බටහිර වෛද්‍ය පීඨවල මනෝවිශ්ලේෂණය ඉගැන්වීම මිථ්‍යාවක්‌ ඉගැන්වීමකි.

ඇතැම් විට දන්ත වෛද්‍යවරුන් වූ අමරසේකර මහතාට ද අමරතුංග මහතාට ද ඒ ප්‍රශ්නයක්‌ නො වනු ඇත. අනෙක්‌ අතට මෙරට සමාජයේ බටහිර වෛද්‍ය විද්‍යාවට, බටහිර දන්ත වෛද්‍ය විද්‍යාවට වඩා වැදගත් තැනක්‌ හිමි වී ඇත. එබැවින් මනෝ විශ්ලේෂණය ගැන කතා කිරීමට ගොස්‌ ලැබී ඇති තැන නැති කර නො ගෙන නක්‍ෂත්‍රය ගැන පමණක්‌ කතා කිරීම වැදගත් යෑයි අමරතුංග මහතා සිතනවා විය හැකි ය. අමරතුංග මහතා නිරපේක්‌ෂව නක්‍ෂත්‍රය මිථ්‍යාවක්‌ යෑයි ද මනෝ විශ්ලේෂණය විද්‍යාවක්‌ යෑයි ද ගන්නා බව පෙනී යයි. කෙසේ වෙතත් අමරතුංග මහතා මේ පිළිබඳ ව පැහැදිලි කරන්නේ නම් ස්‌තූතිවන්ත වෙමි.

මනෝ විශ්ලේෂණය ගැන අමරතුංග මහතා දරන අදහස වැදගත් වනුයේ පශ්චාත්නූතනවාදීන් ද මනෝ විශ්ලේෂණයට ගරු කරන බැවිනි. ඔවුහු විවිධ මනෝ විශ්ලේෂකයන් ගේ අදහස්‌ වමාරති. මට මනෝ විශ්ලේෂණය වැදගත් නැත. මම එය බටහිර නූතනත්වයේ ම බිහි වූ දැනුම් පද්ධතියක්‌ ලෙස සලකමි. ඒ අමරතුංග මහතා මා පශ්චාත්නූතනවාදියකු ලෙස හැඳින්වීමට උත්සාහ දරද්දී ම ය.

මෙහි දී දැනුම පිළිබඳ බටහිර සමාජ විද්‍යාඥයන් ගේ කලින් සඳහන් කළ අදහස ගැන සඳහන් කළ යුතු ය. ඔවුන්ට අනුව දැනුම යනු සමාජයීය නිර්මිතයකි. බටහිර විද්‍යාව බිහි ව ඇත්තේ බටහිර රටවල සමාජවල මිස වෙනත් සමාජවල නො වේ. එය ද පසුගිය අවුරුදු පන් සියයක පමණ කාලයක සිදු වී ඇත. එහෙත් අමරතුංග මහතා කියන්නේ වෙනත් කතාවකි. අපි ඒ සම්බන්ධයෙන් ඔහු කියා ඇති දේ විස්‌තරාත්මක ව උපුටා දක්‌වමු. මෙරට බොහෝ උගතුන් යෑයි හැඳින්වෙන්නේ හෙවත් අනුකාරකයන් (ඇංකරයන්) කියන්නේ, ඔවුන්ට කීමට පුරුදු කර ඇත්තේ එය බැවින් මේ ලිපි පෙළෙහි දී අපට එය ඉතා වැදගත් වෙයි.

"බටහිර සංස්‌කෘතියේ නැ`ගීමට පෙර පුරාණ සංස්‌කෘති කිහිපයක්‌ තුළ ම විද්‍යාව හා තාක්‍ෂණය වර්ධනය වූ බව අපි දනිමු. පුරාණ ආරබිය, චීනය, ඉන්දියාව, ඇමෙරිකාව වැනි රටවල් තුළ දියුණු යෑයි පිළිගැනෙන සංස්‌කෘතියක්‌ ගොඩනැ`ගී තිබූ බව අපි දනිමු. තාරකා විද්‍යාව, ගණිත ශාස්‌ත්‍රය, රසායන විද්‍යාව වැනි විද්‍යාවන්වලට අදාළ සමහර මූලික සංකල්පීය දැනුම මේ සංස්‌කෘති තුළ බිහි වූ බවට සාක්‍ෂි ඇත. උදාහරණයක්‌ වශයෙක්‌ ගණිත ශාස්‌ත්‍රයේ මූලික නීති රීති ඉන්දියාවේ නිර්මාණය වී අරාබිය හරහා යුරෝපයට සංක්‍රමණය වූ බවට සාක්‍ෂි ඇත. එසේ ම ඉතා අගනා තාක්‍ෂණික ඥානය චීනයේ බිහි විය. වෙඩි බෙහෙත්, මාලිමා යන්ත්‍රය සහ මුද්‍රණ යන්ත්‍රය පළමුව නිෂ්පාදනය වූයේ චීනයේ ය. මේ ලෙස දැනුම ලබාගැනීම පිණිස භාවිත වූ ක්‍රමවේදය තුළ නවීන විද්‍යාවේ සමහර අංගෝපාංග තිබුණු බවට සාක්‍ෂි සොයාගෙන ඇත. පර්යේෂණ ක්‍රම, නිරීක්‍ෂණ මාර්ග, ලේඛනගත කිරීම ආදිය ඒ අතර විය.

මේ විද්‍යාත්මක දැනුම සහ තාක්‍ෂණ ඥානය අරාබිය හරහා ග්‍රීසියට ද, ඊට පසු යුරෝපයට ද සංක්‍රමණය විය. මේ මධ්‍යකාලීන විද්‍යා වර්ධනය පුනරුදය නමැති කාල පරිච්ඡේදය දක්‌වා අඛණ්‌ඩව පැවැති බව සමහරුන්ගේ මතය වී ඇත. පුනරුදය නමැති කාල පරිච්ඡේදයේ දී විද්‍යාව ශීඝ්‍රයෙන් යුරෝපයේ දියුණු විය. ඊට මූලික හේතුව වූයේ නොයෙකුත් කර්මාන්ත ඒ යුගයේ දී බිහි වීමයි. නව කර්මාන්තවලට අවශ්‍ය තාක්‍ෂණය ද, ඊට අවශ්‍ය විද්‍යාව ද, එකට බැඳීමකින් යුතු ව දියුණු විය. විද්‍යාත්මක ක්‍රමවේදය විධිමත් ලෙස දියුණු විය. මේ ලෙසින් බලන කල නවීන විද්‍යාව සම්පූර්ණයෙන් බටහිර සංස්‌කෘතිය තුළින් බිහි වූයේ යෑයි පිළිගත නොහැකි ය. ඒ නිසා නවීන විද්‍යාව බටහිරට අයත් දෙයක්‌ නො වේ. නවීන විද්‍යාවේ දැනුම සොයාගැනීමේ ක්‍රමවේදය එමානුවෙල් කාන්ට්‌ වැනි දාර්ශනිකයන් ප්‍රගුණ කෙට ඇති බව සැබෑ ය. එනමුත් ඔවුන් ප්‍රගුණ කළේ වෙනත් සංස්‌කෘතිවල ද දායකත්වයෙන් වර්ධනය වෙමින් පැවැති ක්‍රමවේදයක්‌ මිස සම්පූර්ණයෙන් වෙනස්‌ වූ නව ක්‍රමවේදයක්‌ නො වන බව පිළිගත හැකි ය."

ඉතා කෙටියෙන් කියන්නේ නම් මේ පට්‌ටපල් බොරුවකි. මෙහි බටහිරයන් අපට උගන්වන බොරු මදිවාට අමරතුංග මහතා බටහිරයන් කියන දේ වුව ද තම ශක්‌ති ප්‍රමාණයෙන් වැරැදියට තේරුම් ගත් දේ ද වෙයි. මේ පිළිබඳ දිර්ඝ විස්‌තරයක්‌ ඉදිරි ලිපිවලින් කිරීමට අදහස්‌ කරමි. එහෙත් දැනට එක්‌ කරුණක්‌ පමණක්‌ සඳහන් කළ යුතු ය. ඒ ඊනියා විද්‍යාවේ දර්ශනය සම්බන්ධයෙනි.

බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් යෑයි කියාගන්නා අය දැන් තරමක කාලයක්‌ තිස්‌සේ කියන්නේ බටහිර විද්‍යාව මෙතෙක්‌ තිබූ අනෙක්‌ සියලු දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ බව ය. ඔවුන් ඊනියා විද්‍යාත්මක විධික්‍රම ගැන කියන්නේ අනෙක්‌ දැනුම් පද්ධතීන්ට වඩා වෙනත් යමක්‌ බටහිර විද්‍යාවේ ඇති බව පෙන්වීමට ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමය වෙනත් සංස්‌කෘතීන් ගේ ද දායකත්වයෙන් වර්ධනය වූවක්‌ යෑයි අමරතුංග මහතා කියන්නේ කිනම් දාර්ශනිකයකු ගුරු කොට ගෙන දැයි නො දනිමි. ඔහු සමහර වට අලුත් මතයක්‌ ඉදිරිපත් කරනවා විය හැකි ය. මතය කා ගේ වුවත් එය පට්‌ටපල් බොරුවක්‌ බව ඊළ`ග සතියේ පෙන්වා දෙමි.

නලින් ද සිල්වා