logo3.gif (702 bytes)

HOME


කෙස්‌ස සමග උස වැඩිවීම

මේ ලිපි පෙළ තරමක්‌ විස්‌තර සහිතව පළ කිරීමට මා තීරණය කළේ මහාචාර්ය අමරතුංග මහතා කිසි ම ගැඹුරු හැදෑරීමකින් තොර ව ලියා ඇති ලිපිය හේතුවෙන් විදුසර පාඨකයා මුළා වීමට ඉඩ තිබෙන බැවිනි. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක්‌ ද යන්නට පිළිතුරු දීමට උත්සාහ කරන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පඹ ගාලක පැටලී ඇත. අද ඔහු ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය නම් ආචාර්ය නිර්මාල්ට නිර්මාල් වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක්‌ ද යන්න ය. එමෙන් ම මහාචාර්ය අමරතුංග මහතා ගෙන් ද ඇසිය යුත්තේ ඒ මහතාට අශෝක අමරතුංග වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක්‌ ද යන්න ය. ඔහුට ඇත්තේ ගුණදාස අමරසේකර මහතා ගේ ජාතික චින්තනය යන්න අවුල් සහගත අදහසක්‌ පමණක්‌ බව තේරුම් ගැනීමට අමරසේකර මහතා ඉතා ඉහළින් අගයන ඔහුට නොහැකි වීම පිළිබඳ ප්‍රශ්නයකි. ඒ අතර තුන්වැනි සංගායනාවේ බුදුදහම හා බටහිර විද්‍යාව අනුව ඊනියා යථාර්ථයක්‌ ඇතැයි අමරතුංග මහතා විශ්වාස කරයි.

අමරසේකර මහතා මෙන් ම අමරතුංග මහතා ද පශ්චාත්නූතනවාදය ගැන හැදෑරීමක්‌ කර නැත. එසේ කර ඇත්නම් පශ්චාත්නූතනවාදය යනු කුමක්‌ දැයි කෙටියෙන් සඳහන් කර කූන්ට හා ෆෙයරාබන්ඩ්ට පශ්චාත්නූතනවාදී ලක්‍ෂණ ඇති බව හේතු සහිතව පෙන්වා දීමට ඒ මහතාට හැකි විය යුතු ය. ඔහුට හැකි නම් මේ ලිපි පෙළ අවසන් වන තුරු බලා නො සිට කූන් හා ෆෙයරාබන්ඩ් පශ්චාත්නූතනවාදීන් බව පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි. එහෙත් ඔහු කිසි දිනෙක එවැනි ව්‍යාපෘතියකට අත නො ගසනු ඇත. එමෙන් ම කිසියම් පොල්මඃකාරයකු ගේ ප්‍රකාශයකින් උද්ධෘතයක්‌ ගෙන හැර දැක්‌වීම එහි දී ප්‍රමාණවත් නො වන බව සඳහන් කළ යුතු ය. අමරතුංග මහතා කළ යුත්තේ පශ්චාත්නූතනවාදියකු හඳුනා ගැනීමේ නිර්ණායක සංගත ආකාරයකින් ඉදිරිපත් කර කූන් හා ෆෙයරාබන්ඩ් ඒ නිර්ණායක සපුරා ලන බව හේතු සහිත ව පෙන්වා දීම ය.

කූන් පශ්චාත්නූතනවාදියකු තබා සාපේක්‍ෂතාවාදියකු වත් නො වන බව අපි සඳහන් කළෙමු. කූන්ට අනුව බටහිර විද්‍යාවේ සුසමාදර්ශ විප්ලවීය කාලවල දී වෙනස්‌ වෙයි. එසේ වෙනස්‌ වීමෙන් පසු නිර්මාණය වන ප්‍රවාද කලින් තිබූ ප්‍රවාද සමග අසම්මේය (incommensurable) වෙයි. සරල ව කිව හොත් ඒ ප්‍රවාද සංසන්දනය කිරීමට නො හැකි ය. නිව්ටෝනීය හෙවත් ගැලීලීය සාපේක්‍ෂතාවාදය සහ අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතාවාදය අතර ඇත්තේ නො පෑහෙන වෙනසකි. නිව්ටන්ට අනුව අවකාශය හා කාලය වෙන වෙන ම නිරපේක්‍ෂ ව පවතියි. අයින්ස්‌ටයින් ගේ අවකාශය හා කාලය එකිනෙකට බැඳුණු සාපේක්‍ෂ සංකල්ප වෙයි. අයින්ස්‌ටයින් ගේ අවකාශය කාලයෙන් තොර ව නො පවතියි. අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතාවාදය යොදාගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල සන්නිකර්ෂණය කිරීමෙන් නිව්ටෝනීය යාන්ත්‍රිකයේ ප්‍රතිඵල ලබාගත හැකි ය. එහෙත් එයින් කියෑවෙන්නේ අයින්ස්‌ටයිනීය සංකල්ප නිව්ටෝනීය සංකල්ප ම`ගින් විස්‌තර කළ හැකි බව නො වේ. ගණිත සන්නිකර්ෂණ ම`ගින් වෙනත් ප්‍රවාදයක ප්‍රතිඵල ලබාගත හැකි ය යන්නෙන් අදාළ සංකල්ප සැසඳිය හැකි බව ගම්‍ය නො වේ.

බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාවෙහි ප්‍රතිඵල මැනිය හැකි ආකාරයකින් බොහෝ විට ඉදිරිපත් කෙරෙයි. මැනීම යන්න ක්‌වොන්ටම් භෞතිකයෙහි දාර්ශනික ගැටලුවක්‌ ලෙස සාකච්ඡා කෙරෙයි. එහෙත් කිසිවකු ඒ ගැන කතා නො කළ ද බටහිර සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි ද මැනීම යන්න නිසි ලෙස අවබෝධ කර නො ගත් සංකල්පයකි. මැනිය හැක්‌කේ බටහිර ගණිතයේ ඊනියා තාත්වික සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි වූවකි. වෙනත් අයුරකින් කිවහොත් බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාවෙහි කියෑවෙන සංකල්පයක්‌ හා බටහිර ගණිතයේ තාත්වික සංඛ්‍යා (රේඛාව) අතර අනුරූපතාවක්‌ තිබිය යුතු ය. ඒ අනුරූපතාව නොමැති ව කිසිවකුට කිසිවක්‌ මැනගත නො හැකි ය. වෙනත් ක්‍ෂෙත්‍රයක වුව ද එය එසේ ම ය. දත යන සංකල්පයෙහි දත් එකිනෙකින් වෙන් කරගැනීමට නොහැකි නම් අපට දත් ගණන් කරගැනීමට ද නො හැකි ය.

අපට උස මැනගැනීමට හැකි වී ඇත්තේ උස යන සංකල්පය හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතාවක්‌ ඇති කරගැනීමට හැකි වී තිබෙන බැවිනි. එමෙන් ම බර කිරීමට හැකි වී තිබෙන්නේ ද බර යන සංකල්පය හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතාවක්‌ ඇති බැවිනි. එසේ වුවත් උස හා බර අතර අනුරූපතාවක්‌ ඇතැයි අපි නො කියමු. සාමාන්‍යයෙන් උස වැඩි වන විට බර ද වැඩි වන නමුත් එසේ නො වන අවස්‌ථා ද වෙයි. තාත්වික සංඛ්‍යා සමග සංකල්පවල අනුරූපතා තිබූ පමණින් ඒ ඒ සංකල්ප අතර අනුරූපතා ඇති නො වෙයි.

අපට උස මැනගැනීමට හැකි වී ඇත්තේ උස යන සංකල්පය හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතාවක්‌ ඇති කරගැනීමට හැකි වී තිබෙන බැවිනි. එමෙන් ම බර කිරීමට හැකි වී තිබෙන්නේ ද බර යන සංකල්පය හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතාවක්‌ ඇති බැවිනි. එසේ වුවත් උස හා බර අතර අනුරූපතාවක්‌ ඇතැයි අපි නො කියමු. සාමාන්‍යයෙන් උස වැඩි වන විට බර ද වැඩි වන නමුත් එසේ නො වන අවස්‌ථා ද වෙයි. තාත්වික සංඛ්‍යා සමග සංකල්පවල අනුරූපතා තිබූ පමණින් ඒ ඒ සංකල්ප අතර අනුරූපතා ඇති නො වෙයි.

අනෙක්‌ අතට බොහෝ සංකල්ප හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතා නැත. ඇතැම් සංකල්ප හා තාත්වික සංඛ්‍යා අතර ඇත්තේ අමාරුවෙන් තනාගත් අනුරූපතා ය. උදාහරණයක්‌ ලෙස මිනිසකු ගේ හොඳ යන්න (එම සංකල්පය) හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතාවක්‌ නැත. අපට යමකු තවත් අයකුට වඩා හොඳ බව කිව හැක්‌කේ හොඳ යන්නට ලකුණු දීමෙන් (තාත්වික සංඛ්‍යා සමග අනුරූපතාවක්‌ ඇති කර ගැනීමෙන්) නො වේ. අපට හොඳ බව පිළිබඳ ඇත්තේ හැඟීමකි. එය එක්‌ එක්‌ අය ගෙන් වෙනස්‌ වෙයි. මා හොඳ යෑයි සලකන අයකු වෙනත් අයකුට හොඳ නො විය හැකි ය. හොඳ යන්න සාපේක්‍ෂ සංකල්පයකි.

මෙයින් කියෑවෙන්නේ තාත්වික සංඛ්‍යා සමග අනුරූපතාවක්‌ ඇති සංකල්ප නිරපේක්‍ෂ බව නො වේ. මේ සංකල්ප සියල්ල මිනිසුන් ගේ නිර්මාණ ය. මෙරට විශ්වවිද්‍යාලවල මහාචාර්ය තනතුරුවලට උසස්‌ කිරීමේ දී යම් ලකුණු පටිපාටියක්‌ අනුගමනය කෙරෙයි. එනම් විශ්වවිද්‍යාල ඇදුරන් ගේ වැඩ කිඩ සම්බන්ධයෙන් ලකුණු දීමේ ක්‍රමයක්‌ ඇත. මේ ලකුණු දීම ම`ගින් විශ්වවිද්‍යාල ඇදුරන් ගේ ඊනියා සුදුසුකම් හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතාවක්‌ ඇති කෙරෙයි. ඕනෑ ම ලකුණු ක්‍රමයක්‌ යනු මිනිසුන් විසින් යම් සංකල්පයක්‌ හා තාත්වික සංඛ්‍යා අතර තනාගනු ලැබ ඇති අනුරූපතාවකි.

විශ්වවිද්‍යාල ඇදුරන් ගේ ඊනියා සුදුසුකම් හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතාව සකස්‌ කර ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ම`ගිනි. එය ඊනියා වාස්‌තවික හෝ නිරපේක්‍ෂ අනුරූපතාවක්‌ නො වන බව පැහැදිලි ය. ලකුණු දීමේ පටිපාටි වෙනස්‌ කිරීමෙන් ඇතැම් මහාචාර්යවරුන් නුසුදුස්‌සන් බවට පත් කළ හැකි ය. එය එතරම් ම සාපේක්‍ෂ ය. ඒ ඒ මහාචාර්යවරයා ඒ ඒ ලකුණු ක්‍රමයට සාපේක්‍ෂව මහාචාර්ය පදවි ලබාගෙන ඇත. අහවලා මහාචාර්යවරයකු යෑයි කියන විට ඔහු මහාචාර්ය වි ඇත්තේ කිනම් ලකුණු පටිපාටියකට සාපේක්‍ෂ ව දැයි කියන්නේ නම් මැනවි. මෙරට සියලු මහාචාර්යවරු යම් යම් ලකුණු ක්‍රමයකට සාපේක්‍ෂ මහාචාර්යවරු වෙති.

උස යන්න එවැනි සාපේක්‍ෂ ලකුණක්‌ නො වේ යෑයි කිසිවකු කීමට ඉඩ ඇත. එහෙත් උස යන්න ද මිනිසුන් ගේ නිර්මාණයකි. එය කේසාන්තයේ සිට පාදාන්තය තෙක්‌ යෑයි තීරණය කළේ කවු ද? අද ඇතැම් තරුණයෝ කෙස්‌ බූගාති. ඔවුන් ගේ උස කේසාන්තයේ සිට පාදාන්තය තෙක්‌ මැණිය හැකි නො වේ. කෙස්‌ස බූ ගෑ විට උස ද සුළු ප්‍රමාණයකින් වුවත් අඩු වන බව පැහැදිලි ය. කෙස්‌ස බූ ගෑ පමණින් නිල වශයෙන් උස අඩු වන්නේ කෙසේ ද?

අනෙත් අතට අපට ඇතැයි කියන රැස්‌ වළල්ල උස මැනීමේ දී සැලකිල්ලට නො ගැනෙයි. එසේ සැලකිල්ලට ගත හොත් උස පිළිබඳ අපේ අදහස්‌ ද වෙනස්‌ වනු ඇත. කේසාන්තයේ සිට පාදාන්තය තෙක්‌ උස මැනීමේ දී සඳුන් සමන්ට වඩා උස යෑයි සැලකුණ ද රැස්‌ වළල්ල ද සලකා උස මැන්නොත් සමන් සඳුන්ට වඩා උස යෑයි ඇතැම් විට තීරණය වනු ඇත. උස යන සංකල්පය මිනිසුන් ගේ නිර්මාණයකි. රැස්‌ වළල්ල ගෝචර වන ඉන්ද්‍රියයක්‌ අපට නැති බැවින් අද අප උස මනින්නේ, එනම් උස යන සංකල්පය හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතාවක්‌ නිර්මාණය කර ඇත්තේ අපේ මනසට හා පංචෙන්ද්‍රියයන්ට සාපේක්‍ෂ ව ය. මේ සාපේක්‍ෂත්වය අපට ම`ගහැරිය නො හැකි ය.

අප එක්‌ ලකුණු පටිපාටියකට අනුව මහාචාර්යවරයකු බව පත් වූ අයකු වෙනත් ලකුණු පටිපාටියකට අනුව මහාචාර්යවරයකු වූ අයකු සමග සංසන්දනය කරන්නේ කෙසේ ද? එය කළ නො හැකි ය. අනෙක්‌ අතට ඕනෑ ම ලකුණු පටිපාටියක්‌ මිනිසුන් ගේ නිර්මාණයක්‌ වන අතර ඒ සාපේක්‍ෂ වෙයි. එහෙත් මහාචාර්යවරුන් සිතන්නේ එසේ නො වේ. ඔවුන්ට අනුව නිරපේක්‍ෂ මහාචාර්යවරු වෙති. නිරපේක්‍ෂව උසින් වැඩි අය වෙති.

ඇතැම් සංකල්ප හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපිත ගොඩනැඟීමට හැකි වූ පමණින් ඒ ඒ සංකල්ප සංසන්දනය කළ නො හැකි ය. එක්‌ චක්‍රලේඛයකට (ලකුණු දීමේ පටිපාටියකට) අනුව මහාචාර්යවරුන් වූ අය හා වෙනත් චක්‍ර ලේඛයකට අනුව මහාචාර්යවරුන් වූ අය සමග සංසන්දනය කළ හැකි නො වේ. එහෙත් මහාචාර්යවරු ඒ බව නො දනිති. එසේත් නැත හොත් ඒ බව නො කියති.

නිව්ටෝනීය දිග (අවකාශය) තාත්වික සංඛ්‍යා සමග අනුරූපතාවක්‌ සාදන ලෙස සකස්‌ කළ හැකි ය. එමෙන් ම අයින්ස්‌ටයිනීය දිග ද එලෙස තාත්වික සංඛ්‍යා සමග අනුරූපතාවක්‌ සාදන අයුරෙන් සකස්‌ කළ හැකි ය. එහෙත් ඒ දිග පිළිබඳ ව වූ සංකල්ප එකිනෙක සමග සංසන්දනය කළ හැකි නො වේ. වස්‌තුවක නිව්ටෝනීය දිග වස්‌තුවේ ප්‍රවේගය මත පරායත්ත නො වේ. යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වස්‌තුවේ වේගය කුමක්‌ වුවත් එහි නිව්ටෝනීය දිග වෙනස්‌ නො වේ.

එහෙත් වස්‌තුවක අයින්ස්‌ටයිනීය දිග එසේ නො වේ. එහි දිග නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ප්‍රවේගය අනුව වෙනස්‌ වෙයි. මේ දිග පිළිබඳ සංකල්ප හා තාත්වික සංඛ්‍යා අතර වෙන වෙන ම අනුරූපතා ඇති නමුත් එයින් ඒ ඒ දිග අතර අනුරූපතාවක්‌ ඇති බව ගම්‍ය නො වේ. යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වස්‌තුවක අයින්ස්‌ටයිනීය දිග වස්‌තුවෙහි සාපේක්‍ෂ ප්‍රවේගය අනුව වෙනස්‌ වෙයි. නිව්ටෝනීය දිග හා අයින්ස්‌ටයිනිය දිග යනු එකිනෙකට වෙනස්‌ සංකල්ප දෙකක්‌ වෙයි.

බොහෝ අයට බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාව හැදෑරීමට බටහිර වියුක්‌ත ගණිතය අත්‍යවශ්‍ය වෙයි. බටහිර වියුක්‌ත ගණිතය ගැන එතරම් අවබෝධයක්‌ නොමැති ව බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාව පිළිබඳ අවබෝධයක්‌ ලබාගැනීමට අයින්ස්‌ටයින් ගේ ගණයේ අන්තර්ඥානයක්‌ තිබිය යුතු ය. එහෙත් උසස්‌ පෙළ පරීක්‍ෂණයෙහි දී එකල තිබූ ලකුණු ලබා දීමේ පටිපාටිය අනුව භෞතික විද්‍යාව අසමත් වූ ඇතැම් වර්තමාන මහාචාර්යවරු බටහිර ගණිතය පිළිබඳ මනා අවබෝධයක්‌ හෝ අයින්ස්‌ටයින් ගේ අන්තර්ඥානය හෝ නොමැති ව බටහිර භෞතික විද්‍යාව පිළිබඳ ජනප්‍රිය පොතපත කියවා බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ දර්ශනය පිළිබඳ විහිළු සපයති.

මේ මහාචාර්යවරුන්ට අනුව (බටහිර රටවල විද්‍යාවේ දර්ශනය ගැන කතා කරන්නන් බොහෝ විට බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයන් වුව ද ලංකාවේ ජෛවීය විද්‍යා අංශවල මහාචාර්යවරු බටහිර විද්‍යාවේ දර්ශනය ගැන කතා කිරීමට බොහෝ විට පෙලඹෙති) නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව වස්‌තුවේ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයෙන් අංශු මාත්‍රයක්‌ වන විට අයින්ස්‌ටයිනීය ප්‍රතිඵල සන්නිකර්ෂණව නිව්ටෝනීය සංකල්පවලට සමාන වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ අයින්ස්‌ටයිනීය සංකල්ප නිව්ටෝනීය සංකල්පවල ම වර්ධනයක්‌ බව ය. එය ද පට්‌ටපල් බොරුවකි.

නලින් ද සිල්වා