logo3.gif (702 bytes)

HOME


හෙට දවසේ විශේෂඥ වෛද්‍යවරයා ගේ භූමිකාව

වෛද්‍යවරයා ගේ භූමිකාව රෝහලේ දී හෝ ඩිස්‌පෙන්සරියේ දී හෝ රෝගියා පරීක්‍ෂා කර බලා බෙහෙත් නියම කිරීමට, සැත්කම් සිදු කර ජීවිත බේරාගැනීමට පමණක්‌ සීමා වේ ද?

සෞඛ්‍ය යටිතල පහසුකම් වඩා සංවර්ධනය වත් ම, වඩා දියුණු ප්‍රතිකාර විධි කරළියට පැමිණෙත් ම සෞඛ්‍ය සේවා වඩාත් පුළුල් වන්නට පටන්ගෙන ඇත. ඊට සමගාමී ව රෝගීන් ගේ අපේක්‍ෂාවන් හා බලාපොරොත්තු වඩාත් ඉහළ තලයකට එසවී ඇත. මේ වෙනස්‌වීම්වලට අනුරූපීව වෛද්‍යවරයා ගේ භූමිකාව ද පුළුල් වීමට කාලය එළඹ ඇත.

අප රටේ සිටින විශේෂඥ කායික වෛද්‍යවරුන් ගේ (Physicians) ප්‍රමුඛතම වෘත්තීය එකමුතුව වන ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ සංගමයේ (CCP) 2013 වාර්ෂික සැසිවාරය පසුගිය දා පැවැත්වුණු අතර එහි ප්‍රධාන තේමාව වූයේ ''අනාගතයට ඔබින විශේෂඥ වෛද්‍යවරයා'' යන්න ය. හරබර දෙසුම් හා පර්යේෂණ වාර්තා එළිදැක්‌වීම්

රැසකින් සමන්විත වූ මේ සැසිවාරයේ දී වෛද්‍ය විද්‍යාවේ නව මානයන් සොයා බලමින් රෝගී ප්‍රජාවට වඩා විශිෂ්ට වූ මෙහෙවරක්‌ කිරීමට කායික රෝග විශේෂඥයකු නිර්මාණය කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරිණි.

එහි දී ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය උදය රණවක මහතා විසින් අනාගතයට ඔබින විශේෂඥ වෛද්‍යවරයකු ගේ තිබිය යුතු භූමිකාවන් 6ක්‌ හඳුන්වා දුනි.

1. සුවපත් කරන්නෙක්‌ (Healer)

වෛද්‍යවරයා ගේ පරම කාර්යභාරය තමා වෙත එන රෝගීන් සුවපත් කිරීම බව අමුතුවෙන් කිව යුතු නො වේ. සැබැවින් ම සුවපත් බව (Healthy) යනු කුමක්‌ ද? සෞඛ්‍යය යන්න ලෝක සෞඛ්‍ය සංවිධානය ම`ගින් අර්ථගන්වා ඇත්තේ, හුදෙක්‌ ලෙඩ රෝගවලින් තොර වීම පමණක්‌ ම නො ව කායික මානසික හා සමාජීය යහ පැවැත්ම ලෙසිනි. එසේ නම් කායිකව මෙන්ම මානසික හා සමාජීය වශයෙන් ද රෝගියා සුවපත් කිරීම අනාගත වෛද්‍යවරයා ගේ කාර්යභාරය විය යුතු ය.

විවිධ මට්‌ටමේ මනෝ ව්‍යාධීන් සමාජයේ සුලබ වෙමින් යයි. කායික රෝග බොහොමයකට අප සිතා සිටිනවාට වඩා මනස බලපාන බව නූතන වෛද්‍ය මතයයි. එබැවින් රෝගියා ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු ව ඇත. කාරුණික ඇමතීම, ඉවසිලි සහගත සවන් දීම හා අවස්‌ථාවෝචිත ප්‍රතිචාර දැක්‌වීම වෛද්‍යවරයකු දියුණු කළ යුතු කුසලතා වේ. යහපත් අන්තර් පුද්ගල සබඳතා ගොඩනඟාගැනීමට, විවිධ අභියෝග හමුවේ නො සැලී හි`දීමට රෝගීන් ගේ සමාජීය යහපැවැත්ම සංවර්ධනය කළ යුතු ය.

2. පුහුණු කරන්නෙක්‌ (Trainer)

පුරාතනයේ වෛද්‍ය විද්‍යාව පැවත ආවේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන ශාස්‌ත්‍රයක්‌ ලෙසිනි. වෛද්‍ය කර්මයට අදාළ බොහෝ දේ පොත පතින් පමණක්‌ උගත හැකි නො වේ. මෙය අදටත් වලංගු වන අතර සිය බාල පරම්පරාවන් මනා ලෙස පුහුණු කිරීම ඕනෑ ම වෛද්‍ය විශේෂඥයකු ගේ වගකීම වේ. දැනුම පමණක්‌ ම නො ව කුසලතා හා ආකල්පයන් ද මෙසේ සම්ප්‍රේෂණය විය යුතු ය. එසේ ම මෙය වෛද්‍ය ශිෂ්‍යයන්ට හා කනිෂ්ඨ වෛද්‍යවරුන්ට පමණක්‌ නො ව හෙදියන් ඇතුළු විවිධ මට්‌ටම්වල සෞඛ්‍ය වෘත්තිකයන්ට ද අදාළ වේ.

ශික්‌ෂණ රෝහල්වල (එනම් වෛද්‍ය විද්‍යාලවල ප්‍රායෝගික අධ්‍යයන කටයුතු සිදු වන රෝහල්) වෛද්‍ය සිසු සිසුවියන් පුහුණු කරවීම සඳහා ම වෙන් වූ වාට්‌ටු (Professorial units) ඇත. එම ඒකකවල සේවයේ නියතු විශේෂඥ වෛද්‍යවරු පූර්ණකාලීනව පුහුණු කිරීමේ කටයුතුවල නිරත ව සිටිති. එසේ ම ශික්‌ෂණ රෝහල්වල අනෙකුත් වාට්‌ටුවල ප්‍රධාන වෛද්‍යවරු ද පුහුණු කිරීමේ සෑහෙන බරක්‌ දරති. වෙනත් මහ රෝහල් හා මූලික රෝහල්වල ස්‌ථානගත ව සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට ද මේ වගකීම පැවරේ.

වඩාත් ම කනිෂ්ඨ වෛද්‍ය ශ්‍රේණිය වන නේවාසික වෛද්‍යවරුන් ගේ (House officers) පටන් පශ්චාත් උපාධි පුහුණුවේ විවිධ මට්‌ටම්වල සිටින ඕනෑ ම වෛද්‍යවරයකු සිය වෘත්තීය ජීවිතය ගොඩනඟාගන්නේ විශේෂඥ වෛද්‍යවරයකු ගේ ක්‍රියාකලාපය හා හැසිරීම් දෙස බලමිනි. එබැවින් ඔහු පරමාදර්ශී චරිතයක්‌ (Role model) විය යුතු ය.

3. නායකයෙක්‌ (Leader)

නායකත්වය අනාගතයට ඔබින විශේෂඥ වෛද්‍යවරයකු සතු විය යුතු තවත් වැදගත් ගුණාංගයකි. තමා යටතේ ඇති වාට්‌ටුවේ හෝ ඒකකයේ කාර්යමණ්‌ඩලය පොදු ඉලක්‌කයක්‌ වටා ගොනු කිරීම විශේෂඥ වෛද්‍යවරයා ගේ කාර්යභාරය විය යුතු ය. රෝගී සත්කාරය යනු අතිශය කණ්‌ඩායම් හැඟීමකින් කළ යුතු මෙහෙවරයකි. (team work). සායනික හෝ වාට්‌ටුවක සියලු මට්‌ටම්වල සෞඛ්‍ය සේවයකයන් ගේ සාමූහිකත්වය මෙහිලා වැදගත් ය. එම කණ්‌ඩායමේ නායකත්වය ගැනීමේ හා එම පිරිස පොදු අරමුණක්‌ කරා මෙහෙයවීම එම අංශය භාර විශේෂඥ වෛද්‍යවරයාට නිතැතින් ම භාර වන වගකීමක්‌ වේ. නායකත්වය (Leadership) අද බටහිර කළමනාකරණ ගුරුන් අතර අතිශය ජනප්‍රිය භාවිතාවකි. සමහර නායකත්ව ලක්‍ෂණ සහජයෙන් උරුම වන බව සැබෑ ය. එහෙත් අධ්‍යයනය හා ප්‍රගුණ කිරීම ම`ගින් එම ලක්‍ෂණ තවත් මුවහත් කරගත හැකි ය. දැන් දැන් වෛද්‍ය විද්‍යා පුහුණු පාඨමාලාවන් තුළට කළමනාකරණ මූලධර්ම හා නායකත්ව මූලිකාංගයන් අන්තර්ගත කෙරෙමින් යයි.

4. පර්යේෂකයෙක්‌ (Researcher)

පොත පතෙහි සඳහන් වූ පමණින් හෝ ප්‍රසිද්ධ න්‍යායකට අනුකූල වූ පමණින් හෝ යමක්‌ භාර නො ගෙන, ප්‍රත්‍යක්‌ෂයෙන් ලද අවබෝධය ඇසුරින් එය පිළිගැනීම වෛද්‍ය විද්‍යාවේ නවතම ප්‍රවනතාවයි. රෝගීන්ට ලබා දෙන ඖෂධ හා ප්‍රතිකාර විධි නිර්ණය කිරීම සඳහා ලොව පුරා සිදු වන වෛද්‍ය පර්යේෂණවල ප්‍රතිඵල වැඩි වශයෙන් දායක කර ගැනීමට නූතන වෛද්‍ය ප්‍රජාව නැඹුරුවක්‌ දක්‌වයි. (මෙය Evidence based medicine ලෙසින් හැඳින්වේ). සංවර්ධිත රාජ්‍යවල වෛද්‍ය විද්‍යාව ඉහළ මට්‌ටමක එසවීමට මේ පර්යේෂණ අනාවරණයන් මත පදනම් වූ ප්‍රතිකාර භාවිතය බොහෝ සේ ඉවහල් වී ඇත.

එනම් පර්යේෂණවලට යොමු වීමට රුචිකත්වයක්‌ දැක්‌වීම හා ලොව දසතින් ගලා එන පර්යේෂණවල ප්‍රතිඵල විචාරශීලී ව විශ්ලේෂණය කිරීම සැම වෛද්‍ය විශේෂඥයකු ගේ ම වගකීම වේ. උසස්‌ පෙළ විද්‍යා විෂය ධාරාවන් හා වෛද්‍ය විද්‍යා උපාධි පාඨමාලාවන් තුළ පර්යේෂණ කෙරෙහි සිසුන් යොමු කරවීමට විවිධ ඇගයීම් හඳුන්වා දී ඇත. බොහෝ පශ්චාත් උපාධි පාඨමාලාවන් සඳහා පර්යේෂණ නිබන්ධන සැපයීම (Research thesis) අනිවාර්ය අවශ්‍යතාවක්‌ කර තිබුණ ද එම බොහෝ සොයාගැනීම් ප්‍රායෝගික භාවිතයට නො පැමිණීම විශාල ගැටලුවකි. අනාගත වෛද්‍ය විශේෂඥයන් මේ හිඩැස පුරවාලිය යුතු ය.

5. ඉගෙනගන්නෙක්‌ (Learner)

මිනිසා තොටිල්ලේ සිට ම මරණ මංචකය දක්‌වා ම ඉගෙන ගන්නා බවට කියමනක්‌ ඇත. එය ඕනෑ ම වෘත්තියකට ද අදාළ වේ. අනෙකුත් විෂය පථයන්ට සාපේක්‌ෂ ව වෛද්‍ය විද්‍යාව නිතර යාවත්කාලීන වන, දිනෙන් දින නිම්වළලු පුළුල් වන ක්‍ෂේත්‍රයකි. තමන් යම් විෂයක කෙල පැමිණි විශේෂඥයකු වුව ද තවදුරටත් නව දැනුම උකහා ගැනුම සඳහා පුද්ගලයා තුළ ආකල්ප ඇති කිරීම, වෘත්තිය තුළ ඒ සඳහා පෙලඹවීම් තිබීම හා ඊට අවශ්‍ය ඉඩ ප්‍රස්‌ථා සලසා දී තිබීම මෙහි ලා වැදගත් වේ. එහෙයින් අනාගත වෛද්‍ය විශේෂඥයකු නව දැනුම හමුවේ තවදුරටත් තම ''ශිෂයභාවය'' පවත්වා ගත යුතු ය.

බටහිර රටවල නම් සැම වෛද්‍යවරයකු ම වසර කිහිපයකට වරක්‌ සිය ලියාපදිංචිය අලුත් කරවාගත යුතු ය. එහි දී ඔහු ගේ මූලික උපාධි සුදුසුකම්වලට අමතර ව නව දැනුමින් සන්නද්ධ වී සිටින්නේ දැයි විමසා බැලේ. එබඳු ක්‍රමවේදයකට යැමට අප තවමත් ඉක්‌මන් වැඩි වුව ද අඛණ්‌ඩව දැනුම උකහා ගැනීමේ පුරුද්ද වෛද්‍ය ප්‍රජාව තුළ ඇති කරවිය යුතු ය.

6. ගොඩනඟන්නෙක්‌ (Builder)

තමා යටතේ ඇති අංශය භෞතික පහසුකම් හා මානව සම්පත්වලින් පරිපූර්ණ කරගැනීම ද අනාගත විශේෂඥ වෛද්‍යවරයකු ගේ වගකීමක්‌ වේ. මහජන බදු මුදල්වලින් පෝෂණය වන නිදහස්‌ සෞඛ්‍ය සේවාවක්‌ පවතින රටක්‌ වුව ද, රාජය අංශයේ සෞඛ්‍ය සේවාවන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙහි ලා සෞඛ්‍ය වෘත්තිකයන්ට ද පැවරෙන විහේෂ වැඩ කොටසක්‌ ඇත. රෝගී ප්‍රජාව රෝහල වෙතින් අපේක්‌ෂා කරන භෞතික පහසුකම් දිනෙන් දින වැඩි වන බව අප අමතක නො කළ යුතු ය. පෞද්ගලික සෞඛ්‍ය සේවා පුළුල් වත් ම එහි පවත්නා සංවිධිත බව, පිරිසිදුකම හා ප්‍රමිතිය රාජ්‍ය අංශය තුළින් ද මහජනතාව බලාපොරොත්තු වෙති. එහිලා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලැබෙන ප්‍රතිපාදන මත පමණක්‌ නො යෑපී අනුග්‍රාහකයන් හා ප්‍රජා දායකත්වය ම`ගින් සිය වාට්‌ටු හා සායන ඉහළ තත්ත්වයකට වැඩි දියුණු කළ විශේෂඥ වෛද්‍යවරු ඕනෑතරම් වෙති. තරුණ වෛද්‍ය ප්‍රජාව ද ඒ මෙ`ගහි යා යුතු ය.

එසේ ම මානව සම්පත් සංවර්ධනය තවත් වැදගත් පැතිකඩකි. ඉහත සඳහන් කළ ආකාරයට පුහුණු කරන්නකු ලෙස විශේෂඥ වෛද්‍යවරයාට පැවරෙන වගකීමට අමතර ව අඛණ්‌ඩ ප්‍රශස්‌ත සේවාවක්‌ පවත්වාගෙන යැමට අවැසි කාර්ය මණ්‌ඩලයෙන් සිය අංශය සන්තෘප්ත කර ගැනීමට ද එහි ප්‍රධානියා ලෙස ඔහු ගේ වගකීමකි. නව තාක්‌ෂණික විධි හා ප්‍රතිකාර ක්‍රම භාවිතයට පැමිණෙත් ම රෝගී සත්කාරක සේවා සඳහා පෙරට වඩා වැඩි කාර්ය මණ්‌ඩලයක්‌ අවශ්‍ය වේ. පශ්චාත් උපාධි පුහුණු වෛද්‍යවරුන් හා සීමාවාසික වෛද්‍යවරුන් මෙන්ම හෙදියන් හා සුළු සේවකයන් ද ප්‍රමාණවත් ව නො සිටීම ඇතැම් අංශවලට සේවා සැපයීමට දැඩි බාධාවක්‌ වී ඇත. එහෙයින් සිය අංශයේ ඉදිරි සේවා පුළුල් වීම් පිළිබඳ අනාගත දැක්‌මෙන් යුතු ව ඊට අවශ්‍ය කාර්ය මණ්‌ඩලය සපුරා ගැනීමට බලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීම, විශේෂඥ වෛද්‍යවරයාට ගොඩනඟන්නක ලෙස පැවරෙන තවත් වගකීමකි.

සමාලෝචනය

ඉහත සඳහන් කළ ලක්‌ෂණ 6 බොහෝ දෙනා තුළ පවත්නා බව දිවයින පුරා රෝහල්වල සේවයෙහි නියුතු විශේෂඥ වෛද්‍යවරුන් දෙස බැලීමේ දී අපට පෙනී යයි. දුර බැහැර ප්‍රදේශවල ඉතා අඩු පහසුකම් යටතේ, රෝගී සත්කාර කටයුතු සියල්ල තම කරට ගෙන රෝගී ජීවිත සුවපත් කරන, රාජකාරිය දේවකාරිය සේ සලකන විශේෂඥ වෛද්‍යවරුන් සිටින බව ද අභිමානයෙන් යුතු ව සඳහන් කළ හැකි ය. ඒ අතර ම වානිජත්වය හා තරගකාරීත්වය මත ශීඝ්‍රයෙන් විපරිණාමය වන වත්මන් සමාජය තුළින් බිහි වන අනාගත විශේෂඥ වෛද්‍යවරුන්ට මේ යහ උරුමයන් ප්‍රවේණිදායක කිරීමට ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ සංගමය (CCP) මෙසේ අවධානය යොමු කිරිම පැසසිය යුත්තකි. ගැඹුරු විද්‍යාත්මක මාතෘකාවකින් බැහැර ව වඩා සංවේදී එමෙන්ම පුළුල් තේමාවන් මෙවර මුල් කොට ගැනීම තුළින් ඔවුන් වෛද්‍ය ප්‍රජාවට පමණක්‌ම නො ව රටට ද වැදගත් පණිවිඩයක්‌ ලබා දී ඇත.

වෛද්‍ය අමිල චන්ද්‍රසිරි
විශේෂ ස්‌තුතිය - ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ සංගමය
ස්‌නායු රෝග විශේෂඥ වෛද්‍ය, රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය රණවක මහතාට හා කායික රෝග විශේෂඥ වෛද්‍ය, කරාපිටිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරෝෂ දිසානායක මහතාට