logo3.gif (702 bytes)

HOME


අමරතුංග නියෝජනය කරන
බලාධිකාරය


සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය ඩී. එස්‌ සී. උපාධිධාරී එන්. ඒ. ද. එස්‌. අමරතුංග හෙවත් අශෝක අමරතුංග මහතා විසින් පසුගිය සතියේ විදුසර පුවත්පතට "නවීන විද්‍යාව බොරුවක්‌ ද?" යන මැයෙන් ලියන ලද ලිපියට පිළිතුරු දීමට ඉදිරි ලිපි කිහිපය වෙන් කෙරෙනු ඇත. ඒ මහතා ගේ ලිපිය මගේ අදහස්‌ අරභයා කරන ලද විවේචනයකි. අමරතුංග මහතා එම ලිපියෙහි මගේ නම සඳහන් නො වන බවත්, තොප්පිය හරියන්නේ නම් ඒ දාගත්තාට වරදක්‌ නැති බවත් කීමට ඉඩ ඇත. තොප්පි මෙන් ම අනෙක්‌ අය ගේ තොප්පි දමන්නවුන් ද හඳුනාගැනීමට මට හැකි ය. ඒ කුමක්‌ වුවත් මේ වන විට බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ප්‍රසිද්ධියේ කියන්නේ මා පමණ ය. එසේ ම මම දැනුම් නිර්මාණය සංස්‌කෘතියට සාපේක්‍ෂ බව ද කියමි. (අමරතුංග මහතා මේ අදහස නිවැරැදිව තේරුම්ගෙන නැත. ඒ බව පසුව පැහැදිලි කරමි). අමරතුංග මහතා විසින් විවේචනය කෙරෙන්නේ මගේ අදහස්‌ වුව ද, ඒ බව සෘජු ව කීමට තරම් එඩිතර බවක්‌ ඒ මහතාට නො වීම ගැන කණගාටු වෙමි. කෙසේ වෙතත් අමරතුංග මහතා කර ඇත්තේ සේවයකි. දැනුම පිළිබඳ මා දරන අදහස්‌ විදුසර පාඨකයන්ට පැවසීමට ඒ මහතා මට අවස්‌ථාවක්‌ සපයා ඇත.

අද අප පාලනය කෙරෙන්නේ බටහිර දැනුම යොදාගනිමිනි. බටහිර දැනුම මෙරට පමණක්‌ නො ව ලෝකයේ සැම රටක ම ආධිපත්‍යය දරයි. දැනුම පිළිබඳ ප්‍රශ්නය එක්‌ අතකින් ගත් කල දේශපාලන ප්‍රශ්නයකි. අමරතුංග මහතා තමා මහාචාර්යවරයකු බව ද, ඩී. එස්‌ සී. උපාධිධාරියකු බව ද තම ලිපියෙහි සඳහන් කර ඇත. ඩී. එස්‌ සී යනු ඇතැම් විට විද්‍යා චක්‍රවර්තී නමින් හැඳින්වෙන උසස්‌ ආචාර්ය උපාධියකි. අමරතුංග මහතා දන්ත වෛද්‍ය විද්‍යාවට එක්‌ කරන ලදැයි කියන දැනුම සැලකිල්ලට ගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය ම`ගින් ඒ මහතාට ඩී. එස්‌ සී උපාධිය පිරිනැමී ඇත. මට ඒ බව කීවේ අමරතුංග මහතා ගේ ගෞරවයට පාත්‍ර වී සිටින ගුණදාස අමරසේකර මහතා ය. එහෙත් අමරතුංග මහතාට මා දන්නා තරමින් බටහිර විද්‍යාවේ ඉහළ ම ආයතනය ලෙස සැලකෙන ලන්ඩන් රාජකීය සංගමයෙහි අධිසාමාජිකත්වයක්‌ ලැබී නැත. ඔහු බටහිර දන්ත වෛද්‍ය විද්‍යාවට එකතු කර ඇති ප්‍රවාදයක්‌ හෝ සංකල්පයක්‌ හෝ වේ ද?

මා අමරතුංග මහතා ගැන දන්නේ ප්‍රායෝගික බටහිර දන්ත වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ ව ය. ප්‍රායෝගික විද්‍යාවක්‌ සම්බන්ධයෙන් වුව ද ලන්ඩන් රාජකීය අධිසාමාජිකත්වයක්‌ ලබා ඇත්තේ එක ම එක ලාංකිකයකු පමණ ය. ඔහු දැනට මා දන්නා තරමින් හොංකොං විශ්වවිද්‍යාලයෙහි සේවය කරයි. සෛද්ධාන්තික ක්‍ෂෙත්‍රයකින් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක්‌ ලැබූ එකදු ලාංකිකයකු නැත. මම අඩු ම තරමින් මහාර්යවරයකු වත් නො වෙමි. සේවාර්ජිත මහාචාර්ය ධූරයක්‌ ලැබීමට මට සුදුසුකමක්‌ නැත. මට ඇත්තේ බටහිර විශ්වවිද්‍යාලයකින් ලැබුණු ආචාර්ය උපාධියක්‌ පමණකි. එය ද මා ඉල්ලා සිටි එකක්‌ නො වේ. මගේ ගුරුවරයා මට ආචාර්ය උපාධියක්‌ ලබා දීමට කටයුතු කළ බවක්‌ පමණක්‌ දැනට සඳහන් කරමි. මේ සියල්ල මා සඳහන් කරන්නේ දැනුම පිළිබඳ ආධිපත්‍යයට ඒ වැදගත් බැවිනි.

අමරතුංග මහතා තමාට ඩී. එස්‌ සී. උපාධියක්‌ ඇති බවත්, තමන් මහාචාර්යවරයකු බවත් සඳහන් කරන්නේ තමන් කියන දෙයට ඒ ම`ගින් පිළිගැනීමක්‌ ලබාගැනීමට ය. අද මෙරට සමාජයෙහි දැනුම පිළිබඳ ආධිපත්‍යය දරන්නෝ මහාචාර්යවරු ය, ආචාර්ය උපාධිධාරීහු ය, උසස්‌ ආචාර්ය උපාධිධාරීහු ය. මේ තනතුරු හා උපාධිවලින් කියෑවෙන්නේ තමන් බටහිර දැනුමෙහි කිනම් තරාතිරමක උරුමක්‌කාරයන් ද, පොල්මඃකාරයන් ද යන්න ය. සහතික පත්‍ර ම`ගින් ලබාගන්නා ආධිපත්‍යය සාමාන්‍ය ජනයා මත පැටවීමට මේ ආචාර්ය මහාචාර්යවරු කටයුතු කරති. අමරතුංග මහතාට ඩී. එස්‌ සීS. උපාධියක්‌ ඇති බව මා දැනගත්තේ පසුගිය සතියේ පළ වූ ලිපිය ම`ගිනි. එහෙත් නිරවුල් ව අදහස්‌ ප්‍රකාශ කිරීමට නොහැකි අයට ද විවිධ ආචාර්ය උපාධි ලැබෙන බව නම් මම අවුරුදු පනහක පමණ කාලයක සිට, එනම් මා විශ්වවිද්‍යාලයට ඇතුළු වූ සමයේ සිට දනිමි.

අමරතුංග මහතා ෆෙයරාබන්ඩ් හා කූන් නිරවුල් ව තේරුම්ගෙන නොමැති බව පැහැදිලි ය. මේ දෙදෙනා ම පශ්චාත්නූතනවාදීන් (අමරතුංග මහතා යොදාගන්නා නව්‍යවාදය යන්න වෙනුවට නූතනවාදය යන්න යොදාගනිමි) වන්නේ කිනම් අර්ථයකින් ද යන්න අමරතුංග මහතා පැහැදිලි නො කරයි. අමරතුංග මහතාට අවශ්‍ය පශ්චාත්නූතනවාදය ගර්හිත දැනුමක්‌ සේ සලකා ඉවත දැමීමට ය. තම මිත්‍ර තවත් දන්ත වෛද්‍යවරයකු වූ ගුණදාස අමරසේකර මහතා පශ්චාත්නූතනවාදය ගැන කරන හැදෑරීමකින් තොර ව එය කුණුහරුපයක්‌ ලෙස ප්‍රතික්‍ෂෙප කරන අයුරෙන්, අමරතුංග මහතා ද පශ්චාත්නූතනවාදය බැහැර කරයි. ඔහු තම ලිපිවලින් අනියමාර්ථයෙන් කියන්නේ මා ද පශ්චාත්නූතනවාදියකු බව ය. එහෙත් මම පශ්චාත්නූතනවාදය යනු නූතනත්වය විසින් ම බිහි කෙරී ඇති දැනුම් පද්ධතියක්‌ ලෙස සලකමි.

මා කූන් ගෙන් හා ෆෙයරාබන්ඩ් ගෙන් ආභාසය ලබා ඇත. ඒ පිළිබඳ මට කිසිදු ගැටලුවක්‌ නැත. එහෙත් මා වඩාත් ම ආභාසය ලැබුයේ පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමියන් ගේ සංකල්පය හා යථාර්ථය (Coneept and Reality) යන කෘතියෙන් හා ෂෙබාර්ටිස්‌කි ගේ බෞද්ධ න්‍යාය (Buddhist Logic) නම් කෘතියෙනි. ඒ හැරෙන්නට නාගර්ජුනපාදයන් ගේ සාපේක්‍ෂතාවාදය වෙන කිසිවකටත් වඩා මට බලපා ඇත. මම මාධ්‍යමිකතාවාදියෙක්‌ නො වෙමි. මම ශු=න්‍යතාවාදය නො පිළිගනිමි. ශුන්‍යත්වය යන්න වැරැදි සංකල්පයක්‌ යන්න මගේ වැටහීම ය. එමෙන් ම නාගර්ජුනපාදයන් ගේ සාපේක්‍ෂතාවාදය වුව ද මා පිළිගන්නේ යම් සීමාවන් තුළ ය. නිවන සසරට සාපේක්‍ෂ වන්නේ සීමාවක්‌ තුළ ය. නිවන යනු සසරෙන් එතෙර වීම ලෙස සලකතොත් නිවන සසරට සාපේක්‍ෂ ය. ඒ අප වැනි පෘථග්ජනයන් ගේ දැනුමෙන් ය.

එහෙත් වඩාත් මූලික අර්ථයකින් ගත හොත් නිවන සසරට සාපේක්‍ෂ නො වේ. අප වැනි පෘථග්ජනයන් නිවන සසරෙන් එතෙර වීම ලෙස ගන්නා විට නිවන සසරට සාපේක්‍ෂ වෙයි. අපි එහි දී නිවන සංකල්පයක්‌ ලෙස සලකමු. සංසාරය නිෂේධ වීම නිවන ලෙස අපි ගනිමු. එහෙත් නිවන් අවබෝධයත් සමග නිවන සසරට සාපේක්‍ෂ වීම නැති වේ ය යනු මගේ විශ්වාසය ය. නිවන් අවබෝධ කර නොමැති මට එය විශ්වාසයක්‌ පමණකි. නිවන සංකල්පයක්‌ නො වේ. එය සංකල්පයක්‌ ලෙස ගන්නා තැනැත්තා නිවන් අවබෝධ කරගෙන නැත. මා ගේ සාපේක්‍ෂතාවාදය නාගර්ජුනපාදයන් ගේ සාපේක්‍ෂතාවාදයෙන් මෙන් ම පශ්චාත්නූතනවාදීන් ගේ සාපේක්‍ෂතාවාදයෙන් ද වෙනස්‌ වෙයි. මා අලුතින් තේරුමක්‌ ඇති දෙයක්‌ (ඊනියා සත්‍යයක්‌) කියා නැතැයි ප්‍රකාශ කරන කාලෝ ෆොන්සේකා මහතා ඇතුළු මෙරට උගත්තු මේ කිසිවක්‌ නො පිළිගනිති. අමරතුංග මහතාට ද අනුව මා කරන්නේ කූන් හා ෆෙයරාබන්ඩ් යන පශ්චාත්නූතනවාදීන් ගේ අදහස්‌ පුනරුච්චාරණය කිරීම ය.

කූන් කිසි ලෙසකින් වත් පශ්චාත්නූතනවාදියකු යෑයි සම්මත බටහිර පශ්චාත්නූතනවාදීහු නො පිළිගනිති. ඔහු තම අදහස්‌ ඉදිරිපත් කළේ මූලික වශයෙන් ම බටහිර විද්‍යාවේ දාර්ශනිකයකු වූ කාල් පොපර් ගේ අදහස්‌වලට විරුද්ධ ව ය. කාල් පොපර් බටහිර විද්‍යාවේ දර්ශනයෙහි අන්තිම වාක්‍යය කියා ඇතැයි දර්ශනය ගැන උනන්දුවක්‌ දක්‌වන බටහිර විද්‍යාඥයන් ගෙන් ඇතැමෙක්‌ සිතති. පීටර් මොඩෝවර් නම් බටහිර ජීව විද්‍යාඥයා ඔවුන් අතර ප්‍රධාන හා ප්‍රසිද්ධ තැනැත්තෙක්‌ වෙයි. ඔහු බටහිර විද්‍යාවේ පොල්මඃකාරයකු ද වන්නේ නොබෙල් ත්‍යාග ලාභියකු ද වන බැවිනි. එබැවින් ඔහුට බටහිර විද්‍යාවේ ආධිපත්‍යයක්‌ ද ඇත. එබැවින් කාල් පොපර් මෙඩෝවර් ගෙන් ලබන සහතිකය කාලෝ ෆොන්සේකා මහතා වැන්නන්ට ද වැදගත් ය.

කාල් පොපර් එතෙක්‌ පැවැති බටහිර විද්‍යාවේ දර්ශනය වෙනුවට වෙනත් ප්‍රවාදයක්‌ ඉදිරිපත් කළේ ය. (කතන්දරයක්‌ ගෙතුවේ ය). කාල් පොපර් බටහිර විද්‍යාවේ ආධිපත්‍යය තහවුරු කිරීමට කතන්දරයක්‌ කීවේ ය. ඒ කතන්දරය අසා සිටින බටහිර විද්‍යාඥයෝ සුව නින්දකට වැටෙති. ඔහු ගේ කතාවට අනුව බටහිර විද්‍යා දැනුම අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙන් කළ හැකි ය. ඔහුට අනුව අනෙක්‌ දැනුම් පද්ධතීන් මිථ්‍යා වෙයි. ආධානග්‍රාහී වෙයි. බටහිර විද්‍යාව ඒ ආධානග්‍රාහී දැනුම් පද්ධතීන් මෙන් නො ව ඔහු ගේ නව සංකල්පයට අනුව අසත්‍යකරණයට (Falsification) ලක්‌ කළ හැකි වෙයි. පොපර්ට අනුව බටහිර විද්‍යාව වර්ධනය වන්නේ තිබෙන ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කිරීමෙනි. ඔහුට අනුව බටහිර විද්‍යාඥයෝ ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කරති. ඔවුන් ගේ පර්යේෂණ ආදිය කෙරෙන්නේ තිබෙන ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කිරීමට යෑයි පොපර් කීවේ ය.

ඒ අනුව බටහිර විද්‍යාවට අනෙක්‌ දැනුම් පද්ධතීන්ට නැති තත්ත්වයක්‌ පොපර් විසින් ලබා දෙන ලදී. ඔහුට අනුව අනෙක්‌ දැනුම් පද්ධතීන් ආධානග්‍රාහීව පවත්නා දැනුමෙහි එල්බගෙන සිටිය දී බටහිර විද්‍යාව අසත්‍යකරණයට ලක්‌ කිරීමෙන් වර්ධනය වෙයි. පොපර් ගේ නිර්ණායකයට අනුව යම් දැනුමක්‌ අසත්‍යකරණයට ලක්‌ කළ හැකි නම් පමණක්‌ එය බටහිර විද්‍යාවට අයත් වෙයි. අසත්‍යකරණයට ලක්‌ කළ නොහැකි දැනුම් ඊනියා විද්‍යාව නො වේ යෑයි පොපර් කියා සිටියේ ය. පොපර් එතෙක්‌ පැවැති විද්‍යාත්මක විධික්‍රමය වෙනුවට වෙනත් නිර්ණායක ඊනියා විද්‍යාත්මක විධික්‍රමය ලෙස ඉදිරිපත් කළේ ය.

බටහිර විද්‍යාව ක්‍රමයෙන් ඊනියා සත්‍යයට ළඟා වන්නේ ය යන මතය පොපර් ගේ අසත්‍යකරණය ම`ගින් ප්‍රතික්‍ෂෙප නො විණි. සිදු වූයේ බටහිර විද්‍යාවට එතෙක්‌ නො තිබූ තත්ත්වයක්‌ අත් වීම ය. එම`ගින් බටහිර විද්‍යාව ලොවේ අධිපති දැනුම බවට පිළිගැනීමට බල කෙරිණි. ඔස්‌ටි්‍රයාවේ උපන් පොපර් බටහිර යටත්විජිතවාදය දැනුම ඔස්‌සේ තහවුරු කිරීමට පියවර ගත්තේ ය. කූන්a විසින් අභියෝගයට ලක්‌ aකෙරුණේ පොපර් ගේ අදහස්‌ ය. කූන්a යටත්විජිතවාදයට එරෙහි වී යෑයි මෙයින් නො කියෑවෙයි. ඔහුට අවශ්‍ය වූයේ බටහිර විද්‍යාව වර්ධනය වන ආකාරය තේරුම් ගැනීමට ය. එම`ගින් එක්‌තරා අයුරකින් ගත් කල කූන් ද බටහිර විද්‍යාවට ආවේණික වූ විධික්‍රමයක්‌ ඇතැයි පිළිගත්තේ ය.

කූන් කියා සිටියේ බටහිර විද්‍යාව වර්ධනය වන්නේ එහි ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කිරීමෙන් නො වන බව ය. ඔහුට අනුව බටහිර විද්‍යාඥයන් විද්‍යාවේ සාමාන්‍ය කාල යෑයි ඔහු විසින් හඳුන්වනු ලැබූ යුගවල දී කළේ පවත්නා ප්‍රවාද ඊනියා අසත්‍යකරණයකට ලක්‌ කිරීම නො ව ඒ ප්‍රවාද තහවුරු කිරීම ය. බටහිර විද්‍යාඥයෝ පවත්නා ප්‍රවාදයක්‌ යොදාගනිමින් ගැටලුවක්‌ විසඳීමට උත්සාහ කළ හ. ඔවුහු පවත්නා ප්‍රවාදය ප්‍රශ්න නො කළ හ. ඔවුන් කළේ ඒ ප්‍රවාදය තහවුරු කරමින් යම් ගැටලුවක්‌ විසඳීම ය.

එහෙත් කූන්ට අනුව බටහිර විද්‍යාවේ අසාමාන්‍ය කාල, එනම් විප්ලවීය කාල ද වෙයි. විප්ලවීය කාලයක දී බටහිර විද්‍යාවෙහි එතෙක්‌ තිබූ සුසමාදර්ශයක්‌ (Paradigm) වෙනුවට වෙනත් සුසමාදර්ශයක්‌ ආදේශ වෙයි. ඔහුට අනුව උදාහරණයක්‌ ලෙස අයින්ස්‌ටයින් විසින් නිව්ටෝනීය සුසමාදර්ශය වෙනුවට සාපේක්‍ෂතාවාදී සුසමාදර්ශය ඉදිරිපත් කෙරිණි. නිව්ටෝනීය සුසමාදර්ශයෙහි අවකාශය හා කාලය නිරපේක්‍ෂ විය. එහෙත් සාපේක්‍ෂතාවාදී සුසමාදර්ශයෙහි අවකාශය හා කාලය සාපේක්‍ෂ වනවා පමණක්‌ නො ව ඒ එකිනෙකට බැඳී පවතියි.

කූන්ට අනුව එක්‌ ප්‍රවාදයක්‌ ම`ගින් කියෑවෙන දැනුම තවත් ප්‍රවාදයකට පරිවර්තනය කළ නො හැකි ය. එයට හේතුව ඒ අදාළ සංකල්පවලින් එක ම අදහසක්‌ ප්‍රකාශ නො වීම ය. උදාහරණයක්‌ ලෙස අපට කිව හැක්‌කේ නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයෙහි අදහස්‌ සාධාරණ සාපේක්‍ෂතාවාදයේ සංකල්ප ම`ගින් ප්‍රකාශ කළ නොහැකි බව ය. එසේ වුවත් කූන් කිසි ම දවසක සාපේක්‍ෂතාවාදියෙක්‌ නො වී ය.

නලින් ද සිල්වා