logo3.gif (702 bytes)

HOME


තමන් ඇතැයි ගැනීම

මනස පවතින්නේ මනසට සාපේක්‍ෂව යෑයි පැවසීම, තුන්වැනි සංගායනාවේ බුදුදහම වාස්‌තවික යථාර්ථයක්‌ ලෙස සලකන ඇතැම් බෞද්ධයනට දිරවාගත නොහැකි බව මම දනිමි. තමන් ථෙරවාදයෙහි සුපිරි ආරක්‍ෂකයන් යෑයි සිතන ඔවුහු නැති මනසක්‌ නැති මනසකට සාපේක්‍ෂව ගන්නා මා බෞද්ධයකු නො වේ යෑයි කියති. එහෙත් මනසක්‌ ඇතැයි පිළිගන්නා මේ සුපිරි ථෙරවාදී බෞද්ධයන්ට නිවන් අවබෝධයේ දී හා විශේෂයෙන් ම පිරිනිවන්පෑමේ දී ඒ ඇතැයි කියන මනසට කුමක්‌ සිදු වන්නේ දැයි කිව නො හැකි ය.

පිරිනිවන් පෑමේ දී ඒ ඇතැයි කියන මනස නැති වන්නේ නම් එවිට එය උච්ඡෙදවාදී අදහසක්‌ වෙයි. පිරිනිවන් පෑමෙන් පසු වත් මනස ඇතැයි කියන්නේ නම් එය ශාස්‌වතවාදී වෙයි. එසේත් නැත්නම් පිරිනිවන් පෑමේ දී මනස නැති වන්නේත් නැත, පවතින්නේත් නැත යනුවෙන් කියන්නේ නම් එය උච්ඡෙදවාදී මෙන් ම ශාස්‌වතවාදී ද වෙයි. පිරිනිවන් පෑමෙන් පසුව මනස ඇත එමෙන් ම නැත යනුවෙන් කීව ද ඉහත කී දෝෂයට ම හසු වෙයි. සුපිරි ථෙරවාදීන් ඒ සම්බන්ධයෙන් කුමක්‌ කියන්නේ දැයි නො දනිමි. බුදුන් වහන්සේ උච්ඡෙදවාදී මෙන් ම ශාස්‌වතවාදී දහම් ගැන හෝ උච්ඡෙදවාදී හෝ ශාස්‌වතවාදී හෝ නො වන දහම් ගැන හෝ දේශනා කර ඇති බවක්‌ මම නො දනිමි.

මේ සියල්ලෙන් ගැලවී යැම සඳහා ඔවුන් අවසාන වශයෙන් කියනු ඇත්තේ නිවන් අවබෝධයේ දී සිදු වන්නේ කුමක්‌ ද යන්න අපට කතා කළ නොහැකි බව ය. එහෙත් කලින් සඳහන් කර ඇති පරිදි අටුවාචාරීන් වහන්සේ ඒ ගැන කතා කර ඇති අතර ඇතැම් වත්මන් පඬුවෝ ද නිවන පිළිබඳ විවිධ අදහස්‌ පළ කරති. සුපිරි ථෙරවාදීන් එවැනි අය ඉවසන්නේ කෙසේ ද යන ප්‍රශ්නය පැන නැ`ගීම වැළැක්‌විය හැකි නො වේ.

නිවන චතුස්‌කෝටිකයෙන් ද බැහැර වන බව ද තර්කයෙන් අවබෝධ කරගත නොහැකි බව ද පිළිගනිමි. එහෙත් එයින් කියෑවෙන්නේ එය නිවන් අවබෝධයට පෙර මනසක්‌ පවතින්නේ යෑයි උපකල්පනය කිරීමට යොදාගත හැකි බව නො වේ. අප කතා කරන්නේ නිවන් අවබෝධයට පෙර ඇති හෝ නැති මනසක්‌ ගැන ය. නිවන් අවබෝධයට පෙර මනස ඇත, නැත, ඇත හා නැත, ඇත්තේත් නැත, නැත්තේත් නැත යන්නෙන් කුමක්‌ දැයි සුපිරි ථෙරවාදීහු පැහැදිලි කර දෙත් වාෘ අපට නම් එහි දී පිළිතුරක්‌ ඇත. ඇතැයි යනුවෙන් ගන්නා මනසකට සාපේක්‍ෂව මනසක්‌ ඇත.

අපේ දැනුමේ පදනම මා යනුවෙන් පුද්ගලයකු ඇතැයි යන්න ය. අනෙක්‌ සියලු දැනුම් ඒ ඇතැයි යනුවෙන් ගන්නා මනසට සාපේක්‍ෂ ය. අප සංසාරයේ සැරිසරන්නේ ද මා යනුවෙන් පුද්ගලයකු ඇතැයි ගැනීම නිසා ය. සියලු සත්ත්වයන්ට ඒ කරුණ පොදු වෙයි. සත්ත්වයෝ තමන් ඇතැයි සිතති. සත්ත්වයන් හා ගහකොළ, පුටු, ඉලෙක්‌ට්‍රෝන අතර වෙනස ද එය ය. පුටුවක්‌ තමන් ඇතැයි නො සිතයි. ඉලෙක්‌ට්‍රෝනයකට තම පැවැත්ම ගැන දැනීමක්‌ නැත. පුටුවට හා ඉලෙක්‌ට්‍රෝනයට තමන් ගැන නො ව කිසිවක්‌ ගැන දැනීමක්‌ නැත.

පොල්ගෙඩියකට එහි පැවැත්ම ගැන දැනීමක්‌ හෝ දැනුමක්‌ හෝ නැත. එයට නැවත ඉපදීමක්‌ ද නැත. එහෙත් එයින් අදහස්‌ වන්නේ පොල්ගෙඩිය හෝ ඉලෙක්‌ට්‍රෝනය හෝ පුටුව හෝ නිවන් අවබෝධ කර ඇති බව නො වේ. නිවන් අවබෝධ කිරීමට සංසාරය අවශ්‍ය ය. සංසාරයක්‌ නැති ව නිවනක්‌ නැත. ඉලෙක්‌ට්‍රෝනයට සංසාරයක්‌ නැත. එයට සංසාරයක්‌ නැත්තේ එයට තමන් ඇතැයි යන දැනීම නොමැති බැවින් ය.

ඉලෙක්‌ට්‍රෝනයට තම පැවැත්ම පිළිබඳ දැනීමක්‌, හැඟීමක්‌ නැති වුව ද පොල්ගෙඩියකට තම පැවැත්ම පිළිබඳ හැඟීමක්‌ නැති වුව ද සිංහල බෞද්ධ සංස්‌කෘතියක පොල්ගෙඩියකට යම් අනන්‍යතාවක්‌ ඇත. වෙනත් සංස්‌කෘතීන්වල ද එලෙස අනන්‍යතා තිබිය හැකි ය. එහෙත් වෙනස්‌ සංස්‌කෘතියකට සාපේක්‍ෂව පොල්ගෙඩියකට ආත්මයක්‌ ද ඇත. එය පුද්ගලාත්මවාදයක්‌ නො ව ධර්මාත්මවාදයකි. මේ ආත්මවාදය පොල්ගෙඩියකට නො ව එය නිරීක්‍ෂණය කරන නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වූවකි. නිරීක්‍ෂකයා පොල් ගෙඩියක්‌ වෙනත් පොල්ගෙඩියකින් වෙන් කරගන්නේ පොල්ගෙඩියට නිරීක්‍ෂකයා විසින් ආරෝපණය කෙරෙන ආත්මය, අනන්‍යතාව හේතු කොටගෙන ය.

නිරීක්‍ෂකයෝ (අපි දැනට මිනිස්‌ නිරීක්‍ෂකයන්ට පමණක්‌ සීමා වෙමු) කවුරුන් වුවත් පොල්ගෙඩියකට අනන්‍යතාවක්‌ ලබා දෙති. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ද නිරීක්‍ෂකයො එක්‌ පොල්ගෙඩියක්‌ වෙනත් පොල්ගෙඩියකින් වෙන් කර හඳුනා ගනියි. වෙන් කිරීම යන්න ම වෙනත් යන අදහස ඇති ව කෙරෙන්නකි. මෙහි දී පොල්ගෙඩිය විසින් එය අනෙක්‌ පොල්ගෙඩිවලින් වෙන් කර හඳුනාගනු ලබන්නේ ද යන ප්‍රශ්නය පැන නො න`ගී. පොල්ගෙඩියට තමන් පිළිබඳ හැඟීමක්‌ නොමැති ව වෙනත් පොල්ගෙඩිවලින් වෙන් කර ගැනීමක්‌ ගැන අදහසක්‌ ඇති නො වේ. පොල්ගෙඩියක්‌ අනෙක්‌ පොල්ගෙඩිවලින් වෙන් කර හඳුනාගනු ලබන්නේ මනසක්‌ ඇති නිරීක්‍ෂකයන් විසිනි.

වෙනත් සංස්‌කෘතියක නිරීක්‍ෂකයකු සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි නිරීක්‍ෂකයකු ගෙන් වෙන් වන්නේ කිනම් කරුණුවලින් ද? වෙනත් සංස්‌කෘතියක නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල්ගෙඩියට අනෙක්‌ පොල්ගෙඩිවලින් වෙන් වූ අනන්‍යතාවක්‌ ඇතිවාක්‌ පමණක්‌ නො ව වෙනස්‌ නො වන ආත්මයක්‌ ද ඇත. එය දෙවියන් වහන්සේ ඉදිරියට යන ආත්මයක්‌ නො වේ. එහෙත් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව පොල්ගෙඩියට වෙනස්‌ නො වන හරයක්‌ ඇත.

කුරුම්බැට්‌ටියක සිට කුරුම්බාවක්‌ ඔස්‌සේ පොල්ගෙඩිය දක්‌වා සිදු වන වෙනසක්‌ නැතැයි මෙයින් නො කියෑවෙයි. එහෙත් ඒ වෙනස සිදු වන යම්කිසි දෙයක්‌ ඇතැයි සිංහල බෞද්ධ නො වන නිරීක්‍ෂකයා සිතයි. (ඇතැම් සුපිරි ථෙරවාදීන් ද එසේ ගන්නේ දැයි නො දනිමි. මනසක්‌ ඇතැයි සිතන්නන් එසේ ගැනීමේ වරදක්‌ ද නැත). ළදරුවා ළමයකු වී තරුණයකු වී වැඩිමහලු වියට පත් ව මිය යයි. එහෙත් මේ වෙනස සිදු වන්නේ යම් අනන්‍ය වූ නිත්‍ය වූ ආත්මයකට යෑයි සිංහල බෞද්ධ නො වන නිරීක්‍ෂකයෝ සිතති.

සිංහල බෞද්ධ නිරීක්‍ෂකයෝ ද ප්‍රායෝගික ව ගත් කල එවැනි අනන්‍යතාවක්‌ ආත්මයක්‌ ඇතැයි සිතති. එහෙත් ඔවුන් අඩු ම තරමෙන් ගිරවුන් මෙන් කියන්නට දන්නා කරුණක්‌ නම් එලෙස ආත්මයක්‌ ඇතැයි ගැනීම වැරැදි බව ය. අනිත්‍ය අනාත්ම ගැන කතා කරන සිංහල බෞද්ධයෝ ඇති වීම හා නැති වීම මිස මොහොතකට වත් පවත්නා දෙයක්‌ ඇතැයි නො සිතති. එහෙත් ඒ ඇති වීම නැති වීම ඔස්‌සේ ම යම් අනන්‍යතාවක්‌ ඇති කරගන්නා ආකාරය සිංහල බෞද්ධ මනස මැයෙන් පළ වී ඇති ලිපියෙහි සඳහන් වෙයි.

අපට සාපේක්‍ෂව පොල්ගෙඩියකට ඇත්තේ ද මේ ඇති වීම හා නැති වීම පමණකි. යම් ධර්මතාවක්‌ ඉපදෙයි. එය මොහොතක වත් පැවැත්මක්‌ නොමැති ව නැති වෙයි. නැති වීමත් සමග වෙනත් ධර්මතාවක්‌ ඇති වෙයි. එහෙත් ඒ දෙවැනි ධර්මතාවෙහි පළමු ධර්මතාවෙහි අඩංගු තොරතුරුවලින් රාශියක්‌ ඇත. පොල්ගෙඩියට ඒ පිළිබඳ කිසි ම වැටහීමක්‌, දැනීමක්‌ නැතත් මනසක්‌ ඇති නිරීක්‍ෂකයෝ ඒ තොරතුරු ඉදිරියට ගලා යැම හේතු කොටගෙන ඒ ගලා යැම නාම පදයක්‌ වූ ප්‍රපංචයක්‌ ලෙස සලකති. සිංහල බෞද්ධ නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල්ගෙඩියට අනන්‍යතාවක්‌, ආත්මයක්‌ ලැබෙන්නේ එපරිද්දෙනි. මෙය මා විසින් නිර්මාණය කෙරෙන කතන්දරයක්‌ පමණක්‌ බවත් මෙහි දී සඳහන් කළ යුතු ය.

පොල්ගෙඩියක්‌ විචාරශීලී සිංහල බෞද්ධ නිරීක්‍ෂකයකුට පෙනිය යුත්තේ ඉහත සඳහන් ආකාරයට යෑයි සිතමි. ඒ පිළිබඳ වෙනත් කතන්දර ද තිබිය හැකි ය. මා ලෝකය නිර්මාණය කරගන්නේ මගේ කතන්දර හා මා විශ්වාස කරන වෙනත් කතන්දර ම`ගිනි. ආත්මීය ව පවතින යම් දෙයක්‌ වෙනස්‌ වනවා නො ව වෙනස්‌ වීම ඔස්‌සේ සිංහල බෞද්ධ නිරීක්‍ෂකයා අනන්‍යතාවක්‌ ඇති පොල්ගෙඩියක්‌ නිර්මාණය, සංස්‌කරණය කරයි. පොල්ගෙඩියක්‌ නැති තැන සිංහල බෞද්ධ නිරීක්‍ෂකයා පොල්ගෙඩියක්‌ නිර්මාණය කරන්නේ මනසක්‌ නැති තැන මනසක්‌ නිර්මාණය කරන ආකාරයට ය.

පොල්ගෙඩි, ගස්‌ ගල් ගැන පමණක්‌ නො ව වෙනත් සත්ත්වයන් ද විචාරශීලී සිංහල බෞද්ධයන් විසින් නිරීක්‍ෂණය කෙරෙන්නේ ඒ ආකාරයට ය. අනෙක්‌ සත්ත්වයාට තමන් පිළිබඳ හැඟීමක්‌ ඇත් ද නැත් ද යන්න මෙහි දී බල නො පායි. එහෙත් සත්ත්වයකු පොල්ගෙඩියකින්, ඉලෙක්‌ට්‍රෝනයකින් පමණක්‌ නො ව ජීවයක්‌ වූ ගසකින් ද වෙනස්‌ වන්නේ සත්ත්වයන්ට තමන් පිළිබඳ වූ හැඟීමක්‌ ඇති බැවිනි.

සත්ත්වයා යනු ස්‌වයං හැඟීමක්‌, දැනීමක්‌ ඇති ජීවයක්‌ හෝ වෙනත් ප්‍රපංචයක්‌ යනුවෙන් අර්ථදැක්‌විය හැකි ය. අප නිරීක්‍ෂණය කරන සත්ත්වයන් ජීව වස්‌තූන් වන නමුත් බටහිර ජෛවීය විද්‍යාවන්ට අනුව ජීව නො වන සත්ත්වයන් ද සිටිය හැකි ය. අමනුෂ්‍යයෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ ඕපපාතික සත්ත්වයෝ වෙති. ඔවුන්ට ද ඔවුන් පිළිබඳ ව වූ හැඟීමක්‌ දැනීමක්‌ ඇත. මේ ස්‌වයං හැඟීම මනස විඥානය ආදී ලෙස ද හැඳින්වෙයි. විඥානය හේතු කොටගෙන වෙනත් වස්‌තූන් හා ජීවීන් පිළිබඳ ව ද දැනීමක්‌ ගෙන දෙන මුත් එහි මුල් ම ක්‍රියාව වනුයේ තමන් ගැන හැඟීමක්‌ ඇති කරගැනීම ය. සියල්ලට ම ප්‍රධාන මා යනුවෙන් ඇති කරගන්නා හැඟීම ය. අප සංසාරයේ දුක්‌ විඳින්නේ ද එබැවිනි.

මා යනුවෙන් පුද්ගලයකු නැති වුව ද එසේ පුද්ගලයකු නිර්මාණය කරගැනීම, සංස්‌කරණය කරගැනීම හේතුවෙන් සංසාරයේ දුක්‌ විඳීම කෙතරම් කරුමයක්‌ ද? පුටුව, ඉලෙක්‌ට්‍රෝනය, පොල්ගෙඩිය ආදිය එසේ මා කෙනකු, ආත්මයක්‌ සකස්‌ කර නො ගැනීම හේතුවෙන් ඒ වස්‌තුවලට සංසාරයක්‌ නැත. එහෙත් කලින් සඳහන් කර ඇති ආකාරයට ඒ වස්‌තු නිවන් දැක ඇති බවක්‌ ඉන් ගම්‍ය නො වේ. නිවන් දැකීමට ඒ වස්‌තුවලට සංසාරයක්‌ තිබී නැත. ස්‌වයං විඥානයක්‌ තිබී නැත.

නාගර්ජුනපාදයන් නිවන සංසාරයට සාපේක්‍ෂ යෑයි සඳහන් කර ඇත්තේ මේ නිසා යෑයි සිතිය හැකි ය. සංසාරය ගැන නිසි අවබෝධයක්‌ ඇත්තෝ නිවන් අවබෝධ කර ගනිති. පටිච්චසමුප්පාදයෙහි විස්‌තර වන්නේ ද සංසාරය ය. අවිද්‍යාව නිසා සංඛාර ආදී වශයෙන් ජාති ජරා මරණ දක්‌වා කියෑවෙන්නේ සංසාරයේ ක්‍රියාකාරිත්වය ය. අවිද්‍යාව ඇති තැන සංසාරය වෙයි. අවිද්‍යාව නැත්නම් සංසාරය නැත. සියල්ල සාපේක්‍ෂ ය.

අවාසනාවකට නාගර්ජුනපාදයෝ එතැනින් නො නැවතුණ හ. උන්වහන්සේ සංසාරයට හා නිවනට උඩින් ශූන්‍යතාවක්‌ ගැන කතා කළ හ. එය නිරපේක්‍ෂ විය. එය වරදකි. සංකල්පීය ලෝකය අනිත්‍ය ය, දුක්‌ඛ ය, අනාත්ම ය, ශූන්‍ය ය. එහෙත් ශූන්‍යතාවක්‌ යනුවෙන් ප්‍රපංචයක්‌ ගැනීම වරදකි.

නලින් ද සිල්වා