logo3.gif (702 bytes)

HOME


නවීන විද්‍යාව බොරුවක්‌ ද?

නවීන විද්‍යාව විවේචනාත්මක ව දෝෂාරෝපණයට ලක්‌ කළ චින්තකයන් කිහිප දෙනා අතරින් පෝල් ෆෙයරබෙන්ඩ් සහ තෝමස්‌ කූන් යන දෙදෙනා ප්‍රමුඛස්‌ථානයක්‌ ගනිති. ඊටත් පෙර ආතර් ෆේපන්හූවර් නමැති දාර්ශනිකයා පැවසුවේ විශ්වයේ සිදු වන ක්‍රියාදාමයන් මිනිසාට තත්වාකාරයෙන් අවබෝධ කරගැනීම කළ නොහැකි බව ය.

පෝල් ෆෙයරබෙන්ඩ් ගේ අදහස වූයේ විද්‍යාවට ලබා දී ඇති වැදගත් ස්‌ථානයට සමාන තැනක්‌ නක්‌ෂත්‍රය වැනි මිථ්‍යාව මත පිහිටා වර්ධනය වූ ක්‍රමවේදයන්ට ද ලබා දිය යුතු බව ය (Against Method-1975). තෝමස්‌ කූන් පැවසුවේ විද්‍යාත්මක ක්‍රමවේදය හුදෙක්‌ ම විෂය මූලික පමණක්‌ නො විය යුතු බවයි. නිරීක්‌ෂකයා ගේ මානසික හැඟීම්, නිරීක්‌ෂණය මත යම්කිසි බලපෑමක්‌ සිදු කරන බැවින් විද්‍යාත්මක ක්‍රමවේදය එය ද සැලකිල්ලට භාජන කළ යුතු බවයි. (The Structure of Scientific Revolutions- 1962). මේ අදහස්‌ පාශ්චාත් නව්‍යවාදය සමග සබඳතාවයක්‌ පෙන්නුම් කරණ බැවින් මේ චින්තකයන් පාශ්චාත් නව්‍යවාදී විද්‍යා දාර්ශනිකයන් ලෙස ද නම් කෙරිණි.

මෙවැනි අදහස්‌වලින් ආභාසය ලබා ගත් අප රටේ ඇතැම් අය ද විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව පවසති. එමෙන් ම දැනුම සහ විද්‍යාව පිළිබඳ මතභේදයට තුඩු දෙන තවත් කරුණු කිහිපයක්‌ ද ඔවුන් ඉදිරිපත් කර ඇත. එකක්‌ නම් නවීන විද්‍යාව බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ නිර්මිතයක්‌ බව ය. තව ද දැනුම ලබාගැනීමේ දී සංස්‌කෘතිය විසින් ඒ සඳහා අත්‍යවශ්‍ය දෙයක්‌ සපයා දෙන බව ඔවුන් ගේ මතය වී ඇත. බටහිර නිපැයූ දැනුම භාවිත කිරීමෙන් අප බටහිර ගැත්තන් බවට පත් වන බව ද ඔවුහු පවසති. මේ අදහස්‌ කෙටියෙන් විග්‍රහ කිරීම මේ ලිපියේ අරමුණ ය.

නවීන විද්‍යාත්මක දැනුම ලබාගැනීමේ ක්‍රමවේදය තුළ අවිනිශ්චිතතාවන් තිබිය හැකි බව පිළිගත හැකි ය. විද්‍යාව දියුණු වී මිනිසා ගේ ජීවිතයට විශාල වූ යහපතක්‌ කරන්නට හැකි වී ඇත්තේ මේ අවිනිශ්චිතතාවන් බොහෝ දුරට නිරාකරණය කරගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇති බැවිනි. විද්‍යාඥයා නිරීක්‌ෂණය කරන දෙය අවසානයේ දී තම ඉන්ද්‍රිය පද්ධතිය මාර්ගයෙන් තේරුම් ගෙන අර්ථකථනය කළ යුතු ය. මිනිසා ගේ ඉන්ද්‍රිය පද්ධතියේ ඇති අඩුලුහු`ඩුකම් හේතුවෙන් එසේ තේරුම් කරගන්නා දත්ත සියයට සියයක්‌ නිවැරැදි නො වන්නට පුළුවන. මේ නිසා පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදය තුළ අවිනිශ්චිත බවක්‌ තිබිය හැකි ය. එසේ ම විද්‍යාඥයා ගේ සංස්‌කෘතික පසුබිම විසින් ඔහු ගේ හෝ ඇය ගේ හෝ පර්යේෂණ ක්‍රමය නිරීක්‌ෂණය සහ අර්ථකථනය මත යම්කිසි බලපෑමක්‌ කිරීම හේතුවෙන් අවසාන ප්‍රතිඵලය අගතියෙන් (bias) තොර වූ එකක්‌ නො වන්නට ඉඩ ඇත. මෙවැනි අවිනිශ්චිතතාවන් අවම කර ගැනීමේ මාර්ග බොහොමයක්‌ විද්‍යාඥයන් භාවිත කරන බව පැවසිය හැකි ය. පර්යේෂණ සහ නිරීක්‌ෂණ ක්‍රම ඉහළ මට්‌ටමකට දියුණු කිරීම, විවිධ සංස්‌කෘතික පසුබිම් ඇති විද්‍යාඥයන් කණ්‌ඩායම් උපයෝගී කරගැනීම, විවිධ රටවල පැවැත්වූ පර්යේෂණ ප්‍රතිඵල එකතු කොට විශ්ලේෂණයට භාජන කොට නිගමනයකට පැමිණීම යනාදී වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග තුළින් මෙවැනි අවිනිශ්චිතතාවන් අවම කරගත හැකි බව පෙන්වා දී ඇත.

මේ ලෙසින් කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ මාර්ගයෙන් දියුණු කරගත් දැනුම හේතුවෙන් අද වන විට මිනිසාට ලැබෙන යහපත අති විශාල බව පිළිගත හැකි ය. අඥෙයවාදියා (Sceptic) මෙය නො පිළිගෙන නොයෙකුත් මතවාද ඉදිරිපත් කරන බව පෙනෙන්නට ඇත. විද්‍යාව නිසා මිනිසාට හානියක්‌ සිදු නො වන්නේ යෑයි මින් අදහස්‌ නො කෙරේ. එනමුත් සිදු වන හානිය ලැබෙන යහපත සමග සන්සන්දනය කළ විට එය ගණන් ගත යුතු නො වන බව පෙන්නුම් කළ හැකි ය. විද්‍යාවේ සාර්ථකත්වය මින් ඔප්පු වන බව පිළිගත යුතු ය. විද්‍යාව බොරුවක්‌ බව පිළිගත නොහැකි වීමට ප්‍රධාන හේතුව වන්නේ එහි සාර්ථකත්වයයි.

නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යෑයි පවසන අය එය ඔප්පු කර පෙන්වා දිය හැකි බව කියති. එසේ ඔප්පු කළ හොත් එය අලුත් දැනුමක්‌ වන්නේ ය. එය නව දැනුමක්‌ නො වන්නේ නම් ඒ ප්‍රකාශනයේ ඇති වැදගත්කමක්‌ නොමැත. එය හුදු දෙඩවිල්ලක්‌ පමණක්‌ වන්නේ ය. එම ප්‍රකාශනය නව දැනුමක්‌ වන්නට නම් ඒ දැනුම ලබාගන්නට භාවිත කළ ක්‍රියාමාර්ගය පිළිගත හැකි එකක්‌ විය යුතු ය. එම ක්‍රමය කොහෙත් ම නවීන විද්‍යාත්මක ක්‍රමවේදය විය නොහැකි ය. මක්‌නිසා ද යත් විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරන්නට බොරුවක්‌ යෑයි පවසන විද්‍යාව යොදාගත නොහැකි ය. එසේ කළ හොත් ඒ ම`ගින් ලබාගන්නා නව දැනුම ද බොරුවක්‌ වන බැවිනි. විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කිරීමට විද්‍යාත්මක ක්‍රමවේදයට සමාන හෝ ඊට වඩා දියුණු වෙනත් ක්‍රමයක්‌ භාවිත කළ යුතු වන්නේ ය. එවැනි දියුණු ක්‍රමයක්‌ සොයාගත හැකි ද? මේ ප්‍රශ්නය විස\ ඊට නිසි පිළිතුරු සැපයීම විද්‍යාව බොරුවක්‌ යෑයි පවසන අය විසින් පරිභව මුඛයෙන් තොර ව කළ යුතු වන්නේ ය.

නවීන විද්‍යාව හුදෙක්‌ බටහිර සංස්‌කෘතියේ නිර්මිතයක්‌ නො වන බව පෙන්වා දිය හැකි ය. බටහිර සංස්‌කෘතියේ නැ`ගීමට පෙර පුරාණ සංස්‌කෘති කිහිපයක්‌ තුළ ම විද්‍යාව සහ තාක්‌ෂණය වර්ධනය වූ බව අපි දනිමු. පුරාණ අරාබිය, චීනය, ඉන්දියාව, ඇමෙරිකාව වැනි රටවල් තුළ දියුණු යෑයි පිළිගැනෙන සංස්‌කෘතියක්‌ ගොඩනැ`ගී තිබූ බව අපි දනිමු. තාරකා විද්‍යාව, ගණිත ශාස්‌ත්‍රය, රසායනික විද්‍යාව වැනි විද්‍යාවන්වලට අදාළ සමහර මූලික සංකල්පීය දැනුම මේ සංස්‌කෘති තුළ බිහි වූ බව පිළිගත හැකි ය. උදාහරණයක්‌ වශයෙන් ගණිත ශාස්‌ත්‍රයේ මූලික නීතිරීති ඉන්දියාවේ නිර්මාණය වී අරාබිය හරහා යුරෝපයට සංක්‍රමණය වූ බවට සාක්‌ෂි ඇත. එසේ ම ඉතා ම අගනා තාක්‌ෂණික ඥානය චීනයේ බිහි විය. වෙඩි බෙහෙත්, මාලිමා යන්ත්‍රය සහ මුද්‍රණ යන්ත්‍රය පළමුව නිෂ්පාදනය වූයේ චීනයේ ය. මේ ලෙස දැනුම ලබා ගැනීම පිණිස භාවිත වූ ක්‍රමවේදය තුළ නවීන විද්‍යාවේ සමහරක්‌ අංගෝපාංග තිබුණු බවට සාක්‌ෂි සොයාගෙන ඇත. පර්යේෂණ ක්‍රම, නිරීක්‌ෂණ මාර්ග, ලේඛනගත කිරීම ආදිය ඒ අතර විය. මේ විද්‍යාත්මක දැනුම සහ තාක්‌ෂණ ඥානය අරාබිය හරහා ගී්‍රසියට ද, ඊට පසු යුරෝපයට ද සංක්‍රමණය විය. මේ මධ්‍යකාලීන විද්‍යා වර්ධනය පුනරුදය නමැති කාල පරිච්ඡේදය දක්‌වා අඛණ්‌ඩ ව පැවැති බව සමහරුන් ගේ මතය වී ඇත. පුනරුදය නමැති කාල පරිච්ඡේදයේ දී විද්‍යාව ශීඝ්‍රයෙන් යුරෝපයේ දියුණු වූයේ ය. ඊට මූලික හේතුව වූයේ නොයෙකුත් කර්මාන්ත ඒ යුගයේ දී බිහි වීමයි. නව කර්මාන්තවලට අවශ්‍ය තාක්‌ෂණය ද, ඊට අවශ්‍ය විද්‍යාව ද එකට බැඳීමකින් යුතු ව දියුණු විය. විද්‍යාත්මක ක්‍රමවේදය ද විධිමත් ලෙස දියුණු විය. මේ ලෙසින් බලන කල නවීන විද්‍යාව සම්පූර්ණයෙන් බටහිර සංස්‌කෘතිය තුළින් බිහි වූයේ යෑයි පිළිගත නොහැකි ය. ඒ නිසා නවීන විද්‍යාව බටහිරට අයත් දෙයක්‌ නො වේ. නවීන විද්‍යාවේ දැනුම සොයාගැනීමේ ක්‍රමවේදය එමානුවෙල් කාන්ට්‌ වැනි දාර්ශනිකයන් ප්‍රගුණ කොට ඇති බව සැබෑ ය. එනමුත් ඔවුන් ප්‍රගුණ කළේ වෙනත් සංස්‌කෘතිවල ද දායකත්වයෙන් වර්ධනය වෙමින් පැවැති ක්‍රමවේදයක්‌ මිස සම්පූර්ණයෙන් ම වෙනස්‌ වූ නව ක්‍රමවේදයක්‌ නො වන බව පිළිගත හැකි ය. එම නිසා බටහිර "අරහන්" වූ අයට පවා පිළිකුළෙන් තොර ව නවීන විද්‍යාව භාවිත කළ හැකි ය.

නවීන විද්‍යාව සහ දැනුම භාවිත කිරීමෙන් අප බටහිර ගැත්තන් බවට පත් වේ යෑයි පැවසීම පිළිගත නොහැකි ය. බටහිරයන් ඔවුන් ගේ අධිරාජ්‍යවාදී උපාය මාර්ග ක්‍රියාවේ යෙදවීමට විද්‍යාවෙන් ලබාගන්නා දැනුම කූට ලෙස උපයෝගී කරගන්නා බව ඇත්තකි. මෙය විද්‍යාවේ වරදක්‌ නිසා සිදු වන්නක්‌ නො වේ. නවීන විද්‍යාවේ නීතිරීති පිහිටා ඇත්තේ බටහිර සංස්‌කෘතිය මත නො වේ. නවීන විද්‍යාවේ නීතිරීති හරිහැටි භාවිත කිරීමෙන් අප ගේ සංස්‌කෘතියේ මූලික අංගෝපාංග වෙනස්‌ වේ යෑයි සිතිය නොහැකි ය. අප බටහිර ගැත්තන් වන්නේ ඔවුන් ගේ සංස්‌කෘතියේ ඇති අපට නො ගැලපෙන අංගෝපාංග අනුකරණය කිරීමෙනි. සත්තකින් ම නවීන විද්‍යාව භාවිත කොට අප ගේ සංස්‌කෘතියේ අපට ගැලපෙන ගුණාංග දියුණු කොටගත හැකි ය. උදාහරණයක්‌ ලෙස අප ගේ ආහාර සහ පෝෂණය ඉදිරිපත් කළ හැකි ය. අපට සංස්‌කෘතියෙන් දායාද වූ අප ගේ ආහාරවල ඇති පෝෂණීය තත්ත්වය පිළිබඳව පර්යේෂණ සිදු කොට එම ආහාර පිළියෙල කරගන්නා විට පෝෂණ පදාර්ථ විනාශ නො වන ක්‍රම වැනි දේවල් පිළිබඳ දැනුම් සම්භාරයක්‌ අප ගේ වෛද්‍ය විද්‍යාඥයන් සොයාගෙන ඇත. මේ දැනුම ම`ගින් අප ගේ ජනතාව ගේ පෝෂණය ඉහළ මට්‌ටමකට පත් කිරීමට සහ ඔවුන් නිරෝගිමත් කිරීමට පුළුවන් බව කිව හැකි ය. මෙසේ නො කර අප බටහිර පන්නයේ ආහාර ගත හොත් ලෙඩ රෝගවලට ගොදුරු විය හැකි ය.

දැනුම ලබාගැනීමේ දී සංස්‌කෘතියෙන් ලැබෙන බලපෑම දැනුමේ කොටසක්‌ ලෙස පවතින බව පිළිගත නොහැකි ය. මක්‌නිසා ද යත් එවැන්නක්‌ සිදු වීම වැළැක්‌වීම විද්‍යාඥයන් අනිවාර්යයෙන් කළ යුතු දෙයක්‌ බැවිනි. මේ කරුණ ඉහත දී සැකෙවින් දක්‌වා ඇත. කිව යුත්තේ විද්‍යාත්මක ක්‍රමවේදය භාවිත කිරීම පිණිස සංස්‌කෘතිය අත්‍යවශ්‍ය නො වන බව ය. යම්කිසි විෂයකට අදාළ පෙර ලබාගත් දැනුමක්‌ ඇතොත් එය පර්යේෂණ සඳහා ප්‍රයෝජනවත් විය හැකි ය. එම දැනුම සංස්‌කෘතියේ කොටසක්‌ වශයෙන් සලකා මෙවැනි අදහසක්‌ ඉදිරිපත් කළා දැයි පැහැදිලි නැත. එනමුත් දැනුම ලබාගන්නා ක්‍රමවේදය තුළට සංස්‌කෘතිය ඈ\ ගැනීම පශ්චාත් නව්‍යවාදීන් ගේ අදහසක්‌ බව කිව යුතු ය.

තවත් කිව යුතු දෙයක්‌ ඇත. විද්‍යාවට දී ඇති ස්‌ථානයට සමාන ස්‌ථානයක්‌ මිථ්‍යා මතවලට ද දිය යුතු බව පැවසුවේ පෝල් ෆෙයරබෙන්ඩ් ය. මේ අදහසේ එල්බ ගත් ඇතැම් අය ද දෙවිවරුන් ගෙන් සහ එවැනි මිථ්‍යා විශ්වාස මත පදනම් වූ ක්‍රම තුළින් දැනුම ලබාගත හැකි බව පවසති. විද්‍යාව බොරුවක්‌ බවත් මිථ්‍යා විශ්වාස ඊට වඩා විශ්වසනීය බවත් ඔවුන් ගේ මතය වී ඇත. මෙය ජනතාව නොම`ග යෑවීමක්‌ බව පැවසිය යුතු ය. මේ නොම`ග යෑවීම හේතුවෙන් භයානක ප්‍රතිඵල ගෙන දෙන්නට ද පුළුවන. විද්‍යාව අතහැර දැමූ මිනිසා මිථ්‍යා මතවල එල්බගෙන තම ලෙඩ රෝග සුව කරගැනීම පිණිස හොර වෙදුන්, කට්‌ටඩි, දෙවිදේවතාවරුන් වැනි අය ගේ උදව් පතා ජීවිතය පවා නැති කර ගැනීමට ඉඩ ඇත. මෙවැනි මත දරන්නන් මේ රටේ බහුලව ක්‍රියාකාරී ව සිටින හෙයින් මෙවැනි නොම`ග යෑවීම්වලට ඉඩ දිය යුතු නැත. මේ ලිපියේ අරමුණ එය වන්නේ ය.

මහාචාර්ය එන්. ඒ. ද. එස්‌. අමරතුංග (D.Sc)