logo3.gif (702 bytes)

HOME


නැති මනස නැති මනසට සාපේක්‍ෂ වීම

සියල්ල පවතින්නේ ය යන්න මෙන් ම සියල්ල නො පවතින්නේ ය යන්න ද අන්ත දෙකක්‌ බව බුදුන් වහන්සේ දේශනා කළ හ. මෙය ශාස්‌වතවාදය හා උච්ඡෙදවාදය සමග පටලවා ගත යුතු නො වේ. ශාස්‌වතවාදයෙන් කියෑවෙන්නේ යමක්‌, එනම් පවතින්නේ යෑයි කියන යමක්‌, දිගට ම පවතින බව ය. බොහෝ ආගම්වල ඉගැන්වෙන ආත්මය ඒ සඳහා හොඳ ම උදාහරණයයි. ඒ ආගම්වලට අනුව ආත්මය, එය පවතින බව උපකල්පනය කරමින්, සදාකාලික ය. එය නැසීමට නො හැකි ය. බටහිර විද්‍යාවේ ද ශක්‌තිය සදාකාලික ය. ශක්‌තිය නැසීමට නො හැකි ය.

ශක්‌තිය එක්‌ ප්‍රභේදයකින් තවත් ප්‍රභේදයකට හැරවිය හැකි ය. විද්යුත් ශක්‌තිය තාප ශක්‌තිය බවට පත් කළ හැකි ය. එහෙත් ශක්‌තිය විනාශ කිරීමට නො හැකි ය. එසේ ම බටහිර විද්‍යාවට අනුව අපට ශක්‌තිය නිර්මාණය කිරීමට ද නො හැකි ය. එහෙත් එහි නිර්මාණයක්‌ ඇත. එය මහා පිපිරුම යනුවෙන් හැඳින්වෙයි. ශාස්‌වතාදයෙහි නිර්මාණයක්‌ ගැන නො කියෑවෙයි. එහෙත් නිර්මාණය වූ හෝ කෙරුණු හෝ යමක්‌ විනාශ නො වී දිගට ම පැවැත්මක්‌ ඉන් කියෑවෙයි. මහා පිපිරුමේ දී නිර්මාණය කෙරුණු ශක්‌තිය දිගට ම විනාශ නො වී පවතින්නේ යෑයි කියන බටහිර විද්‍යාව ද එක්‌ අතකින් ගත් කල ශාස්‌වතවාදී වෙයි. අප එසේ කියන්නේ බටහිර විද්‍යාව අපේ සංස්‌කෘතියෙහි ඇති සංකල්ප ම`ගින් දකිමිනි.

උච්ඡෙදවාදයෙන් කියෑවෙන්නේ පවතින්නේ යෑයි කියන යමක්‌ කලකට පසුව විනාශ වීම ය. මරණයත් සමග මම එනම් ආත්මය ද නැති වන්නේ යෑයි ගැනීම උච්ඡෙදවාදී වෙයි. ආත්මය යන්න වෙනුවට මෙහි දී විඥානය, මනස ආදී වෙනත් සංකල්පයක්‌ ආදේශ කළ හැකි ය. සත්ත්වයා ගේ මරණයත් සමග මනස නැති වන්නේ යෑයි ගැනීම උච්ඡෙදවාදී වෙයි. බටහිර විද්‍යාව සමස්‌තය හෙවත් මුළු මහත් ශක්‌තිය ලෙස ගත් කල ශාස්‌වතවාදී වුව ද පුටුව, ඉලෙක්‌ට්‍රෝනය ආදී වශයෙන් එක්‌ එක්‌ වස්‌තුව සැලකීමේ දී උච්ඡෙදවාදී වෙයි.

පුටුවක්‌ පැවතී, දිරාපත් වී විනාශ වීම උච්ඡෙදවාදී වෙයි. ඉලෙක්‌ට්‍රෝනයක්‌ ශක්‌තිය අවශෝෂණය කිරීමෙන් හෝ මුදා හැරීමෙන් පසු වෙනත් ඉලෙක්‌ට්‍රෝනයක්‌ හෝ වෙනත් අංශුවක්‌ හෝ බවට පත් වෙයි. එසේ පත් වීමේ දී කලින් පැවතියේ යෑයි කියන ඉලෙක්‌ට්‍රෝනය විනාශ වී යයි. දැන් පවතින්නේ කලින් පැවැති ඉලෙක්‌ට්‍රෝනය නො වෙයි. ඒ උච්ඡෙදවාදයට එකඟ ය. මෙය බුදුදහමෙහි පටිච්චසමුප්පාදය සමග පටලවා ගත යුතු නො වේ.

පටිචචසමුප්පාදයෙහි ද ජරා මරණ ගැන කියෑවෙයි. ඒ භවයක්‌ ඇති කරගත් සත්ත්වයාට ය. මෙහි දී කිව යුත්තේ භවය නිසා ජාති ජරා මරණ ආදිය ඇති වන බව ය. එහෙත් සත්ත්වයා ගේ විනාශයක්‌, කෙළවරක්‌ ගැන ඉන් නො කියෑවෙයි. මිය යන සත්ත්වයාට වෙනත් භවයක්‌ වෙයි. නිවන් අවබෝධ වී නොමැති නම් සත්ත්වයාට තවත් භව ඇති වෙයි. එහි උච්ඡෙදවාදයක්‌ නැත. විනාශ වූ ඉලෙක්‌ට්‍රෝනයක්‌ වෙනත් අංශුවක්‌ ලෙස නූපදියි. බටහිර විද්‍යාවට අනුව ඉලෙක්‌ට්‍රෝනය මුළුමනින් ම විනාශ වෙයි. එය විනාශ වීමෙන් පසු ඇති වන්නේ වෙනත් ම අංශුවකි. එසේ ඇති වන්නේ ද කලින් පැවැති ඉලෙක්‌ට්‍රෝනයේ කිසියම් වූ අවස්‌ථාවක්‌ ලෙස නො වේ.

එහෙත් මෙහි දී බෞද්ධයන් පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක්‌ වෙයි. මිය යන සත්ත්වයා දිගින් දිගට ම පවතින්නේ ද? සත්ත්වයා, මනස, විඥානය ආදී කිනම් නමකින් හැඳින්වුව ද, එය දිගින් දිගට ම පවතින්නේ ද? එසේ පවතින්නේ නම් නිවන් අවබෝධයේ දී හෝ පිරිනිවන්පෑමේ දී හෝ ඒ විනාශ වන්නේ ද? සත්ත්වයා, විඥානය, මනස ආදී මේ කුමක්‌ වුවත් පවතින්නේ නම් දිගින් දිගට ම සසර පුරා පවතින්නේ ද? එසේ සසර පුරා පවතින්නේ නම් නිවන් අවබෝධයේ දී හෝ පිරිනිවන්පෑමේ දී හෝ සිදු වන්නේ කුමක්‌ ද?

මනස, විඥානය ආදී මේ කුමක්‌ වුවත් සසර පුරා පැවතී පිරිනිවන්පෑමේ දී ඒ විනාශ වන්නේ නම් එය උච්ඡෙදවාදය මිස අන් කිසිවක්‌ නො වේ. අනෙක්‌ අතට පිරිනිවන්පෑමෙන් පසුවත් ඒ පවතින්නේ නම් එයින් කියෑවෙන්නේ ශාස්‌වතවාදය ය. එහෙත් බුදුන්වහන්සේ ශාස්‌වතවාදය මෙන් ම උච්ඡෙදවාදය ද ප්‍රතික්‍ෂෙප කළ හ. අප මෙයින් ගොඩ එන්නේ කෙසේ ද? එයට ඇති එක්‌ පිළිතුරක්‌ නම් මනස, විඥානය ආදියෙන් කියෑවෙන්න පවතින්නේත් නැත, නො පවතින්නේත් නැත යෑයි කීම ය.

එහෙත් එය සාර්ථක පිළිතුරක්‌ නො වේ. පිරිනිවන්පෑමෙන් පසු ව මනස, විඥානය ආදියෙහි පැවැත්ම පිළිබඳ ව එවැනි ම වූ පිළිතුරක්‌ දිය හැකි නො වේ. පිරිනිවන් පෑමෙන් පසුව ද මනස පවතින්නේත් නැත, නො පවතින්නේත් නැත යෑයි කීම තේරුමක්‌ නැති දෙයකි. එවිට සසර සැරිසරන සත්ත්වයා ගේ මනස හා පිරිනිවන් පෑම අතර වෙනසක්‌ නැත. නිවන් අවබෝධයේ දී සිදු වන වෙනසක්‌ නැද්ද? පිරිනිවන් පෑමෙන් පසුව ද සත්ත්වයා කලින් සිටි ආකාරයෙන් ම වේ නම් නිවන් අවබෝධයේ හෝ පිරිනිවන් පෑමේ හෝ අරුත කුමක්‌ ද?

මේ ප්‍රශ්නයේ දී අප දෙන පිළිතුර පැහැදිලි ය. මනස යනුවෙන් යමක්‌ නො පවතියි. එහෙත් අපි මනසක්‌ ඇතැයි ගනිමු. නැති මනස ඇති මනසක්‌ ලෙස ගැනීම සංසාර ගමනට හේතුව ය. මනසක්‌ ඇතැයි ගැනීම යනු මම යනුවෙන් කෙනකු ඇතැයි ගැනීම ය. ක්‍ෂණයකට වුවත් එවැනි පැවැත්මක්‌ පිළිගැනීම ආත්මවාදී වෙයි. අපට තණ්‌හාව උපාදානය ඇති වන්නේ මම යනුවෙන් කෙනකු ඇතැයි ගැනීම නිසා ය. මනසක්‌ ඇතැයි යනුවෙන් ගැනීම නිසා ය. නැති මනස ඇති මනසක්‌, පවතින මනසක්‌ ලෙස ගැනීම නිසා ය.

නැති මනස නැති මනසක්‌ ලෙස අවබෝධ කරගැනීම නිවන් අවබෝධය යෑයි සිතමි. නිවන් අවබෝධ කරගෙන නොමැති මා එසේ කියන්නේ කෙසේ දැයි ඇතැමකු ප්‍රශ්න කරනු ඇත. එහෙත් නිවන් අවබෝධ කිරීමෙන් තොර ව නිවන ගැන කතා කරන පළමු පුද්ගලයා මා යෑයි නො සිතිය යුතු ය. අටුවාචාරීන් වහන්සේ ද වත්මන් පඬිවරුන් ද නිවන පිළිබඳ විවිධ මත පළ කර ඇත. ඉහත කී ප්‍රශ්නය මට පමණක්‌ යොමු කිරීම අසාධාරණ යෑයි සිතමි.

ඒ කෙසේ වෙතත් නැති මනස නැති මනසක්‌ ලෙස අවබෝධ කර ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ඊළඟට මතු වෙයි. එයට දිය හැකි පිළිතුර නම් ඒ නැති මනසික්‌ ම අවබෝධ කළ යුතු ය යන්න ය. එහෙත් එසේ කරන්නේ කෙසේ දැයි මම නො දනිමි. පෘථග්ජනයකු ලෙස එයට වඩා මට කිව නො හැකි ය. එහෙත් නැති මනස නැති මනසක්‌ ලෙස අවබෝධ කිරීම යන්න ශාස්‌වතවාදය වත් උච්ඡෙදවාදය වත් නො වේ.

නැති මනස නො පවතින බැවින් දිගින් දිගට ම තබා ඊනියා මොහොතක්‌ වත් නො පවතියි. අනෙක්‌ අතට නැති මනස නිවන් අවබෝධයේ දී විනාශ වන්නේ ද නැත. එහි දී සිදු වන්නේ නැති මනස නැති මනසක්‌ ලෙස අවබෝධ කිරීම පමණකි. දුක ඇති වන්නේ තණ්‌හාව උපාදානය අල්ලා ගැනීම ආදී වශයෙන් සඳහන් කරුණු නිසා ය. ඒ මා යනුවෙන් පුද්ගලයකු ඇති බව, පවතින බව ගැනීම නිසා සිදු වන්නකි. එනම් මනසක්‌ ඇතැයි ගැනීම නිසා සිදු වන්නකි. නැති මනස නැති මනසක්‌ බව අවබෝaධ කරගෙන ඇති නම්, මා යනුවෙන් පුද්ගලයකු නැති බව අවබෝධ කරගෙන ඇත්නම් අපට උපාදානය ඇති නො වෙයි.

මනසක්‌ නැත්නම්, අනෙක්‌ දේ ද නැත්නම්, අප සියල්ල නො පවතින්නේ ය යනුවෙන් කියන්නේ ද යන ප්‍රශ්නය ඊළඟට ඇති වෙයි. අපට නැවතත් පැවැත්ම ගැන සඳහන් කිරීමට සිදු වන්නේ මෙවිට ය. සියල්ල ඇත යනුවෙන් ගැනීම මෙන් ම සියල්ල නැත යනුවෙන් ගැනීම ද අප බැහැර කළ යුතු ය. එහෙත් එසේ බැහැර කළ යුත්තේ ඇත නැත යන සංකල්ප වාස්‌තවික ව නිරපේක්‍ෂව ගැනීම ය. වාස්‌තවික ව සියල්ල ඇත යනුවෙන් ගැනීම වාස්‌තවික යථාර්ථවාදය වෙයි. අප සිටියත් නැනත් වස්‌තු ඇත යනු එහි පසුබිමෙහි වෙයි. සියල්ල නැත යනුවෙන් ගැනීම ද එලෙස ම වාස්‌තවික කතාවක්‌ වෙයි. අප ඇතත් නැතත් කිසිවක්‌ නැත යන අදහස එහි වෙයි.

එහෙත් සාපේක්‍ෂතාවාදී ඥානවිභාගයක එවැනි ප්‍රශ්න පැන නො න`ගියි. දැනුම යන්නට වස්‌තුන් ගේ පැවැත්මෙහි දැනුම ද ඇතුළත් වෙයි. දැනුම සාපේක්‍ෂ වූ කල වස්‌තූන් ගේ පැවැත්ම පිළිබඳ දැනුම ද සාපේක්‍ෂ වෙයි. ඒ සාපේක්‍ෂභාවය කුමක්‌ විෂයෙහි ද? දැනුම ඉන්ද්‍රිය පද්ධතියට (පංචෙන්ද්‍රියයන්ට), මනසට හා සංස්‌කෘතියට සාපේක්‍ෂ යෑයි අපි කියමු. මෙහි දී වඩාත් වැදගත් වන්නේ මනස ය. සියලු දැනුම් අවසාන වශයෙන් මනසට සාපේක්‍ෂ ය.

සියල්ල නිරපෙක්‍ෂ වශයෙන් පවතී ය යන්න අපි බැහැර කරමු. සියල්ල නිරපේක්‍ෂ වශයෙන් නො පවතී ය යන්න ද අපි බැහැර කරමු. යමක්‌ පවතින්නේ හෝ නො පවතින්නේ හෝ මනසට සාපේක්‍ෂ ව ය. එහෙත් ප්‍රශ්නය වන්නේ මනසට නිරපේක්‍ෂ පැවැත්මක්‌ ඇත් ද යන්න ය. ප්ලේටෝ ආදී සියලු විඥානවාදීන්ට අනුව මනස නිරපේක්‍ෂව පවතියි. ඔවුන් ඒ බව ප්‍රකාශ කර නැති බව වෙන ම කරුණකි. එහෙත් ඔවුන් ගේ සියලු ලිපි ලේඛනවල ඒ බව පැහැදිලිව ම උපකල්පනය කෙරෙයි. ඒ අරුතින් ගත් කල ඒ විඥානවාද ද්‍රව්‍යවාද වෙයි.

විඥානය ද්‍රව්‍යයක්‌ නො වන බව පැහැදිලි ය. එහෙත් අප ඒ විඥානවාද ද්‍රව්‍යවාද යෑයි පවසන්නේ විඥානය එකී විඥානවාදීන්ට අනුව විඥානයෙන්, මනසෙන් ස්‌වායත්ත ව පවතින බැවින් ය. එලෙස ම බටහිර ද්‍රව්‍යවාදී දර්ශන ද ද්‍රව්‍යවාදී දාර්ශනිකයන් නො පිළිගත්ත ද විඥානවාදී වෙයි. අප කිහිප වතාවක්‌ ම සඳහන් කර ඇති පරිදි පුටුව යන්න පංචෙන්ද්‍රියයන් ගෙන් එකකට වත් ගෝචර නො වේ. පුටුව යන්න ගෝචර වන්නේ මනසට ය. පුටුවෙහි පැහැය ඇසට හා මනසට ගෝචර වන නමුත් පුටුව පුටුවක්‌ ලෙස ගෝචර වන්නේ මනසට ය.

ඉලෙක්‌ට්‍රෝනය ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? එය කිසිවකුට පංචෙන්ද්‍රියයන්ට ගෝචර කරගත හැකි නො වේ. එය මනසින් වුව ද මවාගත හැකි නො වේ. ෂ්රොඩිංගර් සමීකරණයේ විසඳුමක්‌ පමණ ය. ඒ අරුතින් ඉලෙක්‌ට්‍රෝනය මනසට පමණක්‌ ගෝචර වෙයි. එහෙත් බටහිර විද්‍යාඥයෝ තමන් ද්‍රව්‍යවාදීන් ලෙස හඳුන්වා ගනිති. ඔවුහු විඥානවාදියෝ ද වෙති. ඉලෙක්‌ට්‍රෝන දැක නොමැති වීම ගැන කියන කතා බැහැර කරන දේශ හිතෛෂීන්ට මේ ගැන අබමල් රේණුවක දැනුමක්‌ නැත.

මෙයින් පෙනී යන්නේ ඊනියා විඥානවාදී දර්ශන යම් ප්‍රමාණයකට ද්‍රව්‍යවාදී බව හා ද්‍රව්‍යවාදී දර්ශන යම් ප්‍රමාණයකට විඥානවාදී බව ය. අප විසින් නිර්මාණය කර ඇති නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය විඥානවාදී හෝ ද්‍රව්‍යවාදී හෝ දර්ශනයක්‌ නො වේ. අපට එසේ කරගැනීමට හැකි වූයේ මනස ද මනසට සාපේක්‍ෂ යෑයි ගැනීමෙනි.

නලින් ද සිල්වා