logo3.gif (702 bytes)

HOME


සතුටු ලැයිස්‌තුවේ නිර්ණායක

අප මෙතරම් පැවැත්ම ගැන සඳහන් කරන්නේ ඊනියා යථාර්ථවාදය, ඊනියා විද්‍යාත්මක යථාර්ථවාදය, වාස්‌තවිකත්වය ආදිය බටහිර විද්‍යාවට ප්‍රධාන බටහිර දැනුමට ඉතා වැදගත් වන බැවිනි. ක්‌වොන්ටම් භෞතිකය ම`ගින් මේ සංකල්ප අභියෝගයකට ලක්‌ කෙරුණ ද, අවුරුදු විසි පහකට වැඩි කාලයක්‌ අප මේ පිළිබඳ ව පළමුව සිංහලෙන් හා පසුව ඉංගිරිසියෙන් කතා කර තිබුණ ද, ඊනියා යථාර්ථය යනු ව්‍යාජයක්‌ බව කියා තිබුණ ද, මෙරට උගතුන් යෑයි කියාගන්නා අය ඒ නො සලකා සිටිය හ. එයට ප්‍රධාන ම හේතුව මෙරට උගතුන්ට සිතන්නට, කල්පනා කිරීමට නොහැකි වීම ය. ඔවුහු එක්‌කෝ තුන්වැනි සංගායනාවේ මත ආධානග්‍රාහී ව පිළිගනිති. එසේත් නැත හොත් බටහිර මත කිසි ම වගවිභාගයකින් තොර ව පුනරුච්චාරණය කරති. පසුගිය අගෝස්‌තු 29 වැනි දින "දි අයිලන්ඩ්" පුවත්පතෙහි පළ වූ ලිපියක කාලෝ ෆොන්සේකා මහතා තමා ඊනියා යථාර්ථය පිළිබඳ ව මෙතෙක්‌ දැරූ මතයෙන් වෙනස්‌ වීමට උත්සාහයක්‌ ගෙන තිබිණි. කාලාම සූත්‍රය තරමකට වුවත් තේරුම් ගැනීමට අවුරුදු විසි පහකට අධික කාලයක්‌ ගත් ඒ මහතාට මේ සියල්ල තේරුම් ගැනීමට තවත් බොහෝ කාලයක්‌ යනු ඇත. එහෙත් අවාසනාවකට කාලෝ ගේ කාලය අවසන් වෙමින් පවතියි. ඔහුට ඉගෙනීමට දැන් කාලයක්‌ නැත.

ගුණදාස අමරසේකර මහතා කාලෝ ෆොන්සේකා මහතා තරම් වත් මේ කිසිවක්‌ ගැන නො සිතයි. ඔහුට අනුව යථාර්ථවාදී සාහිත්‍යයක්‌ ඇත. ඔහු ඉතා මෑතක දීත් සඳහන් කර ඇත්තේ සාහිත්‍යය යනු දේශපාලන සංවාදයේ උත්තර ප්‍රකාශය බව ය. ඔහුට අනුව අද මෙරට යථාර්ථවාදී සාහිත්‍යයක්‌ බිහි නො වන්නේ මෙරට හරිහමන් දේශපාලන සංවාදයක්‌ නොමැති බැවිනි. ඔහුත් බොහෝ සාහිත්‍යධරයනුත් කියන ආකාරයට ගම්පෙරළිය ඉතා විශිෂ්ට නවකතාවකි. ඒ එසේ නම් මාර්ටින් වික්‍රමසිංහ මහතාට ඒ කෘතිය නිර්මාණය කිරීමට හේතු වූ දේශපාලන සංවාදයක්‌ 1944ට පෙර ඒ ආසන්නයේ පැවැතියේ ද? මෙකල නොමැති, එකල පැවැති ගැඹුරු දේශපාලන සංවාදය කුමක්‌ ද?

අනෙක්‌ අතට අද ගුණදාස අමරසේකර මහතා ද දේශපාලන සංවාදයක නිරත වෙයි. බොහෝ දෙනා කියන පරිදි අද උසස්‌ සාහිත්‍ය කෘති නිර්මාණය නො වන්නේ අමරසේකර මහතා ද දායක වන දේශපාලන සංවාදය නොගැඹුරු බැවින් ද? ඒ එසේ නම් දේශපාලන සංවාදය ගැඹුරු කිරීමට කළ හැක්‌කේ කුමක්‌ ද? ගැඹුරු දේශපාලන සංවාදය අවිඥනික ව ඇති විය යුත්තක්‌ ද? එය සවිඥනිකව ඇති කර ගත නො හැකි ද?

අමරසේකර මහතා හා ට්‍රොට්‌ස්‌කිවාදී සාහිත්‍ය විචාරිකාවක වූ පියසීලී

විඡේගුණසිංහ මහත්මිය අතර ඊනියා යථාර්ථය සම්බන්ධයෙන් විශාල වෙනසක්‌ නො තිබිණි. විඡේගුණසිංහ මහත්මියට අනුව සාහිත්‍ය රසය උපදින්නේ යථාර්ථය ග්‍රහණය කරගැනීමෙනි. මේ යථාර්ථය අප ඇතත් නැතත් පවතියි. අප ඇතත් නැතත් සූර්යයා, පෘථිවිය, ගස්‌වැල් ආදිය පවතියි. ඒ වස්‌තු වෙනස්‌ වීම වැළැක්‌විය නොහැකි ය. එහෙත් ඒ වස්‌තු වෙනස්‌ වන්නේ යම්කිසි රටාවකට, නීතී රීතිවලට අනුව ය. ඒ වස්‌තු ද නීති රීති ද, රටා ද අපෙන් ස්‌වායත්ත ව පවතියි. එහෙත් මේ වස්‌තුවල පැවැත්ම ද , නීති රීති ද අපේ නිර්මාණ බව බොහෝ දෙනා නො පිළිගනිති. ඔවුන් සිතන්නේ ඒ වාස්‌තවිකත්වය අපෙන් තොර ව පවතින්නක්‌ බව ය.

අප ජීවත් වන්නේ දැනුම් සමාජයක යෑයි අද කොලු කුරුට්‌ටෝ ද පවසති. නාළිකාවල නිවේදක නිවේදිකාවෝ තොරතෝංචියක්‌ නැති ව ඒ බව අපට මතක්‌ කර දෙති. ඔවුන් ඒ බවක්‌ සෘජු ව ම නො කීව ද, ඔවුන් කියන ආකාරයට ඒත්තු යන්නේ ඒ දැනුම නිරපේක්‌ෂ හා වාස්‌තවික බව ය. එහෙත් ඒ දැනුම පසුගිය අවුරුදු පන් සියයක පමණ කාලයක බටහිර නිර්මාණය කෙරුණු දැනුමක්‌ බව ඔවුහු නො දනිති. ඔවුහු ඒ බවක්‌ කල්පනා කිරීමට පවා අකැමැති වෙති. බටහිර විද්‍යාව ද ඇතුළු මේ දැනුම සාපේක්‌ෂ බව වටහාගැනීමට ඔවුහු උත්සාහයක්‌ වත් නො ගනිති.

බටහිර පශ්චාත්නූතනවාදය යෑයි කියන්නෙහි විසංයෝජනය (deconstruction) යනුවෙන් සංකල්පයක්‌ ඇත. එහි දී බොහෝ විට කෙරෙන්නේ සංකල්පයක ඊනියා වාස්‌තවිකත්වයක්‌ නැති බව පෙන්නුම් කිරීම ය. සංකල්ප සාපේක්‌ෂ වෙයි. අපට එහි ගැටලුවක්‌ නැත. එහෙත් පශ්චාත්නූතනවාදී දැනුම ද සාපේක්‌ෂ වෙයි. පශ්චාත්නූතනවාදය ද විසංයෝජනය කළ හැකි ය. විසංයෝජනය ද විසංයෝජනය කළ හැකි ය. සැම දැනුමක්‌ ම බිහි කෙරෙන්නේ මිනිසුන් විසිනි. ඒ යම් සංදර්භයක්‌ තුළ ය. විසංයෝජනය නම් සංකල්පය ද බිහි කෙරී ඇත්තේ නූතනත්වයෙහි යථාර්ථය නම් සංකල්පය ඇට්‌ටකුණා වීම යන සංදර්භයෙහි ය.

බටහිර දැනුම විසංයෝජනය කළ කල්හි අපට හමු වන්නේ සාපේක්‌ෂ වූ දැනුමකි. බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම නූතනත්වයෙහි බිහි වී ඇත. බටහිර දැනම ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි බිහි විය. බටහිර දැනුම වාස්‌තවික නො වේ. අද සමාජයෙහි ආධිපත්‍යය දරන්නේ බටහිර දැනුම ය. වත්මන් සමාජය දැනුම් සමාජයක්‌ යෑයි කී කල්හි එයින් කියෑවෙන්නේ වත්මන් සමාජය බටහිර දැනුම් සමාජයක්‌ ය යන්න ය. එහෙත් දැනුම් සමාජයක්‌ යන්න යොදාගැනෙන්නේ මේ දැනුම මුළු ලෝකයට ම පොදු වාස්‌තවික දැනුමක්‌ යන අරුතෙන් ය.

විවිධ ගුවන්විදුලි හා රූපවාහිනි නාළිකාවල ද පුවත්පත්වල ද සේවය කරන ජනමාධ්‍යවේදියෝ ද, කසිකබල් මහාචාර්යවරු ද, එවැනි ම වූ දේශපාලනඥයෝ ද මහත් උජාරුවෙන් දැනුම් සමාජය යන්න යොදාගනිති. ඔවුහු ඒ ව්‍යවහාර කිරීමට මහත් රුචියක්‌ දක්‌වති. ඔවුන් සිතන්නේ එම`ගින් තම දැනුම තම ශ්‍රාවකයන්ට, පාඨකයන්ට, ශිෂ්‍යයන්ට, ඡන්දදායකයන්ට දැනෙන්නට සැලස්‌වීමට ය. එහෙත් ඔවුන් කියාපාන්නේ තමන් ගේ නොදැනුම ය. දැනුම් සමාජයෙහි දැනුම නිරපේක්‌aෂ වාස්‌තවික දැනුමක්‌ නො ව පසුගිය අවුරුදු පන් සියයක පමණ කාලයක්‌ බටහිර නිර්මාණය කෙරුණු දැනුම ය.

දැනුම් සමාජය යන සංකල්පය බටහිරයන් විසින් යොදා ගැනෙන්නේ තම අධිපතිවාදී දැනුම අනෙක්‌ රටවලට බලයෙන් පැටවීමට ය. දැනුම් සමාජය යන්න ඇසුණු විගස අනුකාරක උගත්තු එය බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි දැනුම බව අමතක කර එයට ඊනියා වාස්‌තවිකත්වයක්‌ ලබා දෙමින් ඒ දැනුම තව තවත් සමාජයට ලබා දීමට උත්සාහ කරති. ඔවුහු එම`ගින් තව තවත් බටහිර සංකල්ප විසංයෝජනය නො කරන්නේ එක්‌ අතකින් ඔවුන්ට නිර්මාණාත්මක ව කිසිවක්‌ කළ නොහැකි බැවින් ය. අනෙක්‌ අතට ඔවුන් ගේ දීනකම හේතුවෙන් ඔවුන්ට බටහිරට, එරෙහි ව යන කිසිවක්‌ කළ නො හැකි ය.

පසුගිය දා නිකුත් කෙරුණු වාර්තාවකට අනුව ලෝකයේ අසතුටින් ම ජීවත් වන ජනයා ඇති රටක්‌ ලෙස ලංකාව ද නම් කෙරිණි. ලංකාව සතුටෙන් ජීවත් වන වැසියන් සහිත රටවල ලැයිස්‌තුවෙහි හිමි වන ස්‌ථානය ද කියා තිබිණි. ජනමාධ්‍යවේදීහු ඇතුළු ප`ඩියෝ ඒ ස්‌ථානය පිළිබඳව තමන් දන්නා බව ද කියා සිටිය හ. එහෙත් මේ කිසිවෙක්‌ සතුටින් ජීවත් වන්නා යන්න තීරණය කරන්නේ කිනම් නිර්ණායක අනුව ද යන්න වත් එයටත් වඩා වැදගත් වූ ඒ නිර්ණායක සකස්‌ කළේ කවුද යන්න වත් නො ඇසූ හ. ඉතා පැහැදිලි ව ඒ නිර්ණායක සකස්‌ කරනු ලැබ ඇත්තේ බටහිර ප`ඩියන් විසිනි. ඔවුන් ගේ සතුට අර්ථ දැක්‌වෙන්නේ ඔවුන් ගේ සමාජයට සාපේක්‌ෂ ව ය. ලෝකයෙහි සැම රටක ම ජනයා සතුටු වන්නේ එක ම ආකාරයකට ද?

බටහිරයන් සකස්‌ කළ සතුට පිළිබඳ නිර්ණායකවලට අනුව විය යුතු පරිද්දෙන් ම ලෝකයේ සතුටින් ම ජීවත් වන ජනයා සිටින්නේ බටහිර රටවල ය. පුදුමය ඒ එසේ නො වී නම් ය. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තිබීම සතුටට කරුණක්‌ ද? බටහිරයන් සමහර විට ඒ එසේ යෑයි සිතනු ඇත. එහෙත් බොහෝ බටහිර රටවල ඡන්දය පාවිච්චි කරන ජන ප්‍රතිශතය සුළු ප්‍රමාණයකි. ඇමෙරිකාවට වඩා ප්‍රතිශතයක්‌ අපේ රටේ ඡන්දය පාවිච්චි කරති. ඡන්ද බලය තිබීම, ඡන්දය පාවිච්චි කිරීම ආදිය මත සතුටු වීම බටහිරයන් ගේ කාර්යයක්‌ විය හැකි ය. බටහිරයන් ඡන්ද බලය තිබිය දීත් බොහෝ විට ඡන්දය පාවිච්චි නො කරන්නේ සතුට ඉහවහා ගොස්‌ ඇති බැවින් ද?

පියවරුන් නැති මවුවරුන් සිටීම මව ගේ සතුටට කරුණක්‌ ද? කාර්යාලයෙන් ගෙදර ගිය පසු දොර ජනෙල් වසාගෙන සමාජ ආශ්‍රයක්‌ නොමැති ව පෞද්ගලිකත්වය වර්ධනය කරගනිමින් රූපවාහිනිය නැරඹීම සතුටට කරුණක්‌ ද? බටහිර රටවල ඒ එසේ විය හැකි ය. එහෙත් අපත් එසේ ම කළ යුතු ද? කෙටියෙන් කිව හොත් අප සතුටු විය යුත්තේ බටහිරයන් සතුටු වන ආකාරයෙන් ද? පෞද්ගලිකව ගත හොත් බටහිර රටක දී මට සතුටු විය නො හැකි ය. ඒ මගේ සතුට ඔවුන් ගේ සතුට නො වන නිසා ය.

මේ සතුටු ලැයිස්‌තු ආදිය සකස්‌ කිරීමෙන් බටහිරයන් කරන්නේ කුමක්‌ ද? ඔවුන් ගේ ජීවන ක්‍රමය අප ද අනුගමනය කළ යුතු බව කීම ය. අප මත ඔවුන් ගේ සතුට පැටවීම ය. ඒ සතුට අප මත පැටවීම ඔවුන් ගේ සතුටට කරුණකි. එහෙත් අප ඔවුන් අනුව සතුටු විය යුත්තේ ඔවුන් ගේ යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතික ආධිපත්‍යය තව තවත් තහවුරු කිරීමට මිස වෙනත් දෙයකට නො වේ. මා නම් සතුටු වන්නේ බටහිරයන් ගේ සතුටු ලැයිස්‌තුවලට පයින් ගැසීමෙනි. සතුටු ලැයිස්‌තුව අප මත පැටවීමට බටහිරයෝ ඔවුන් ගේ දැනුම් ආධිපත්‍යය යොදාගනිති. අප ඔවුන් ගේ දැනුමට ද වහල් විය යුතු නො වේ.

අපේ ඇතැමුන් අද බටහිරයන් සතු දැනුම අවුරුදු දහස්‌ ගණනකට පෙර අප සතු ව පැවතී යෑයි කියා සතුටු වීමට උත්සාහ දරනු පෙනෙයි. මා සම`ග ඇතැම් විට සංවාදයෙහි යෙදෙන මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා ද බටහිරයන් අද සතු දැනුම අපට එකල තිබිණි යෑයි කියනු ඇසිය හැකි ය. එහෙත් මෙය වැරැදි අදහසකි. බටහිරයන් ගේ දැනුම අපට කිසි දිනෙක තිබී නැත. බටහිරයන් ගේ දැනුම අපේ දැනුමෙන් වෙනස්‌ වෙයි. එය ආකල්පමය වශයෙන් ද චින්තනය වශයෙන් ද වෙනස්‌ වෙයි.

අප සතුව ගණිතයක්‌ තිබූ නමුත් එය බටහිරයන් ගේ වත්මන් ගණිතය නො වේ. බටහිරයන් ගේ වීජ ගණිතය, ත්‍රිකෝණමිතිය පමණක්‌ නො ව කලනය ද වැනි දැනුමක්‌ භාරතීයයන්ට තිබී ඇත. එහෙත් ඒ ගණිත දැනුම බටහිරයන් ගේ වියුක්‌ත ගණිතයෙන් මුළුමනින් ම වෙනස්‌ වෙයි. භාරතීයන් ගේ ගණිතය පැරැණි ගී්‍රකයන් ගේ ගණිතයෙන් ද වෙනස්‌ විය. වත්මන් බටහිරයන් පමණට වියුක්‌ත ව සිතීමට පැරැණි භාරතීය බමුණන්ට නොහැකි විය. පැරැණි භාරතීය ගණිතය වත්මන් බටහිර ගණිතයට වඩා සංයුක්‌ත විය. පැරැණි භාරතයේ ගී්‍රකයන් ගේ ජ්‍යාමිතිය ඇති නො වීමට ප්‍රධාන හේතුව බමුණන් ගේ වියුක්‌ත චින්තනය ගී්‍රකයන් ගේ වියුක්‌ත චින්තනයට වඩා අඩු මට්‌ටමක තිබීම ය.

අපේ දැනුම සංයුක්‌ත ප්‍රත්‍යක්‌ෂ දැනුමක්‌ විය. අපට ඒ දැනුම ප්‍රත්‍යක්‌ෂයෙන් දැනුම ලබාගත් සෘෂිවරුන් ගෙන් ලැබිණි. අප රටවල, එනම් අද දකුණු ආසියාව යෑයි හැඳින්වෙන රටවල, වත්මන් ගුවන්යානා දැනුමක්‌ හෝ පරමාණු හා න්‍යෂ්ටික අවි පිළිබඳ දැනුමක්‌ හෝ තිබිණි යෑයි නො සිතමි. එකල තිබූ දැනුම සෘෂිවරුන් ගේ ප්‍රත්‍යක්‌ෂ දැනුමක්‌ මිස වත්මන් බටහිර විද්‍යාඥයන් ගේ වියුක්‌ත සංකල්ප හා සම්බන්ධ දැනුමක්‌ නො වේ. ද`ඩුමොණරවලින් ගමන් කළ අය එදා සිටින්නට ඇත. ඒ ද`ඩුමොණර එක්‌කෝ සෘෂිවරුන් ගමන් යැමේ දී යොදාගත් ඔවුන් ගේ නිර්මාණ විය. එසේත් නැත හොත් සෙනෙවිවරුන් හා වෙනත් අය ගමන් ගත්, සෘෂිවරුන් ගෙන් ලබාගත් වාහන විය.

නලින් ද සිල්වා