logo3.gif (702 bytes)

HOME


බටහිර විද්‍යාවේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර වස්‌තු

ප්ලේටෝ ද්‍රව්‍යවාදියකු වන්නේ කෙසේ ද යන්න ඇතැමුනට ප්‍රශ්නයක්‌ වී ඇත. බටහිර දර්ශනයෙහි ප්ලේටෝ හැඳින්වෙන්නේ විඥානවාදියකු ලෙස ය. එහෙත් අපි පසුගිය ලිපියක ප්ලේටෝ ගේ ද්‍රව්‍යවාදයක්‌ ගැන කතා කළෙමු. අප එසේ කළේ ඇයි? විඥානවාදීහු විඥානය ද්‍රව්‍යයෙන් ස්‌වායත්ත යෑයි සලකති. ඔවුන්ට අනුව ද්‍රව්‍යය නැතත් විඥානය තිබිය හැකිවා පමණක්‌ නො ව ද්‍රව්‍යය කිසියම් අර්ථයකින් විඥානයේ නිර්මාණයකි. ප්ලේටෝට අනුව වුවත් ද්‍රව්‍යයක්‌ යනු ගුණවල එකතුවකි. ඒ එකතුව සකස්‌ කරනු ලබන්නේ විඥානය විසිනි.

එහෙත් ප්ලේටෝ ගුණ ඇති වන්නේ කෙසේ ද යන්න පිළිබඳ නිසි පිළිතුරක්‌ නො දෙයි. ඒ ගුණ මනසේ නිර්මාණයක්‌ ද? අපට පෙනෙන්නේ, එසේත් නැත්නම් අපේ විඥානයට දැනෙන්නේ හුදෙක්‌ ගුණ ද? ඒ ගුණ අප ඇතත් නැතත් පවතී ද? එසේත් නැත්නම් ඒ ගුණත් විඥානයේ නිර්මාණ ද? කෙටියෙන් කිව හොත් පුටුවේ ගුණ විඥානයෙන් ස්‌වායත්ත ව පැවතී විඥානය විසින් පුටුව පමණක්‌ නිර්මාණය කෙරෙන්නේ ද? ආදී ප්‍රශ්නවලට ප්ලේටෝ ගෙන් නිසි පිළිතුරු ලබාගත නො හැකි ය.

එපමණක්‌ නො ව ප්ලේටෝ විඥානය යනු කුමක්‌ ද යන ප්‍රශ්නයට ද නිසි පිළිතුරක්‌ නො දෙයි. විඥානය යනු පවතින දෙයක්‌ ද? එය පවතින්නේ නම් එසේ පවතින්නේ කෙසේ ද? විඥානයට ඊනියා වාස්‌තවික පැවැත්මක්‌ වේ ද? මා හා විඥානය අතර ඇති සම්බන්ධය කුමක්‌ ද? මා නැති ව විඥානය පවතින්නේ ද? ප්ලේටෝට අනුව විඥානයක්‌ පවතියි. එය ද්‍රව්‍යයෙහි නිර්මාණයක්‌ නො වේ. ද්‍රව්‍යවාදීන්ට අනුව විඥානය ද්‍රව්‍යයෙන් නිර්මාණය වන්නකි. ද්‍රව්‍යවාදීන් ගේ ද්‍රව්‍යය අප ඇතත් නැතත් පවතියි. ද්‍රව්‍යයේ විකාශයක්‌ ම`ගින් විඥානය හටගනියි. ද්‍රව්‍යවාදීන්ට ද්‍රව්‍යයෙන් තොර විඥානයක්‌ නැත.

ඒ අතින් ගත් කල ද්‍රව්‍යවාදී දර්ශනය ඉතා සරල එකකි. ද්‍රව්‍යවාදීන් මහා පඬිවරුන් මෙන් ද්‍රව්‍යවාදය ඉතා විගද්ධ දර්ශනයක්‌ ලෙස ඉදිරිපත් කළ ද දුරාවබෝධ දර්ශනයක්‌ ලෙස කියා පෑමට තැත් කළ ද ද්‍රව්‍යවාදය තරම් සරල, නොගැඹුරු, දරුවකුට වුවත් තේරුම් ගත හැකි දර්ශනයක්‌ තවත් නැත. මා ඉදිරියේ ඇති ඊනියා මේසය මා ඇතත් නැතත් පවතින්නේ ය යන්න සිතා ගැනීමට නොහැක්‌කේ කා හට ද? එතරම් දුරට කල්පනා නො කරන ඕනෑ ම අයකුට ඒ බව සිතාගත හැකි ය. මේසය නිර්මාණය කිරීමට මනසක්‌ අවශ්‍ය නැතැයි ඕනෑ ම අයකුට පළමුවෙන් සිතෙයි.

මෙසේ සිතෙන්නට වීම අන් කිසිවක්‌ නො ව ප්‍රාථමික දැනීමකි. මා ඇතත් නැතත් මේසය පවතියි. මා මෙතැනට ඒමට පෙර මේසය පැවතිණි. මා මෙතැනින් ගිය පසු ද මේසය පවතිනු ඇත. අවශ්‍ය නම් ආපසු පැමිණ ඒ බව දැනගත හැකි ය. යම් කිසිවකු මේසය මෙතැනින් ගෙන ගිය ද, එය කඩා බිඳ නො දැමුව හොත් වෙනත් කොහේ වුවත් පවතිනු ඇත. එය කෙදිනක වුවත් දිරා යනු ඇත. එහෙත් ඒ දිරා යැම විඥානය සමග සම්බන්ධ වූවක්‌ නො වේ. විඥානය ඇතත් නැතත් දිරා යැම් සිදු වෙයි. දිරා යැම විඥානයෙන් ස්‌වායත්ත වූවකි.

මෙය ඉතා ම ප්‍රාථමික දැනීමකි. මේ දැනුමක්‌ වූ දැනීමකි. දැනීම යනු දැනෙන්නකි. ඒ දැනෙන්නේ මනසට ය. එහි දී අනෙක්‌ ඉන්ද්‍රිය ද ඇතැම් විට යොදා ගැනෙයි. අපට තද බව දැනෙන්නේ ස්‌පර්ශයට ය. එය සිරුරට දැනෙයි. එමෙන් ම මනසට ද දැනෙයි, සිරුරට පමණක්‌ දැනෙන තද බවක්‌ නැත, දිවට රස දැනෙයි. එහි දී දිවට දැනෙන්නේ ස්‌පර්ශය හේතුවෙනි. දිව සමග යම් ආහාරයක්‌ හෝ වෙනත් යමක්‌ හෝ ගැටීම නිසා ඒ ගැටෙන යමක රසය දිවට හා මනසට දැනෙයි. එහි දී ද මනස නොමැති ව දිවට පමණක්‌ දැනෙන්නක්‌ නැත.

මේ ගැටීම හෙවත් ස්‌පර්ශය යනු බෞද්ධයනට නම් ඵස්‌ස ය. එය ඇති වන්නේ සළායතන හෙවත් ආයතන හය නිසා ය. එනම් ඉන්ද්‍රිය හය නිසා ය. ඵස්‌ස හෙවත් ස්‌පර්ශය හෙවත් ගැටීම නිසා වේදනාව ඇති වෙයි. එනම් අපට යම් යම් දේ දැනෙයි. ඒ දැනීම ඉතා ප්‍රාථමික වූවකි. එය අවබෝධයක්‌ නො වේ. අපට දැනෙන්නේ තද බව, රස බව, සුවඳ බව ආදිය ය. ඒ අනෙක්‌ ඉන්ද්‍රිය පහ මනස සමග එකතුවෙන් ඇති කරගන්නා දැනීමකි. මේ දැනීමෙන් පසු අපි ඒ දැනීම සමග සම්බන්ධ වූ ඊනියා වස්‌තුවක්‌ පිළිබඳ දැනීමක්‌ ලබමු.

වස්‌තුව පිළිබඳ දැනීමක්‌ යන්න ද්විතීයික දැනීමකි. පුටුවෙහි තද බව අපේ අතට (සිරුරට) දැනෙයි. එහෙත් පුටුව අපට දැනෙන්නේ පංචෙන්ද්‍රිය ඔස්‌සේ නො වේ. එය මනසට පමණක්‌ දැනෙන්නකි. අප කලින් සඳහන් කර ඇති අන්දමට පුටුව පුටුවක්‌ ලෙස පංචෙන්ද්‍රියයන් ගෙන් එකකට වත් නො දැනෙයි. පුටුව මනසින් තනාගන්නා වූ සංකල්පයක්‌ පමණකි. එය සංජානනයක්‌ නිසා ඇති වන්නක්‌ නො වේ. පුටුව යන්න ස්‌පර්ශ වන්නේ මනසට පමණකි.

ඉහත සඳහන් කරුණුවලින් කියෑවෙන්නේ අපට මුල දී පුටුවක තද බව දැනෙන්නේ ය යන්න නො වේ. අපට දැනෙන්නේ තද බවකි. එසේත් නැත්නම් යම් රසයකි. ගඳකි. සුවඳකි. මේ ගුණ එකතුවලට, එසේත් නැත්නම් ගුණ සමුච්ච අපි පුටු, ආහාර ආදී වශයෙන් හඳුනාගනිමු. එය තරමක්‌ සංකීර්ණ වූවකි. ඊනියා ගුණ සමුච්චයක්‌ වස්‌තුවක්‌ ලෙස හඳුනාගන්නේ යෑයි කීම තරමක්‌ සංකීර්ණ වූවකි. එහි දී ඉතා පැහැදිලිව ම පුටුව යන්න මනසෙහි නිර්මාණයක්‌ ලෙස හඳුනාගැනෙයි.

මේ විඥානවාදී අදහස ය. පුටුව යන්න විඥානය විසින් ඇති කෙරෙන්නකි. එය විඥානයෙන් තොර ව පවතින්නක්‌ නො වේ. වඩා අසීරු පුටුව යන්න එලෙස විඥානයෙහි නිර්මාණයක්‌ ලෙස හඳුනාගැනීම ද නැත්නම් පුටුව මනසෙන් ස්‌වායත්ත ව පවතින්නක්‌ යෑයි ගැනීම ද? දරුවෝ ද, වැඩිහිටියෝ ද, ඊනියා යථාර්ථවාදී සාහිත්‍යකරුවෝ ද, බටහිර විද්‍යාඥයෝ ද පුටුව මනසෙන් ස්‌වායත්ත ව පවතින්නක්‌ ලෙස ගනිති. එහි දී දරුවා හා බටහිර විද්‍යාඥයා අතර ඇති වෙනස කුමක්‌ ද? දෙදෙනාට ම මනස ඇතත් නැතත් පුටුව පවතියි.

එහෙත් පුටුව දැනෙන්නේ අහවල් ඉන්ද්‍රියට යෑයි ඔවුන්ට කිව හැකි නො වේ. බටහිර විද්‍යාඥයෝ ඉන්ද්‍රිය ගෝචර ලෝකයක්‌ ගැන කියති. එහෙත් පුටුව දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියයකට දැයි ඔවුන්ට කිව හැකි නො වේ. ඊනියා පුටුවක තද බව අතට (සිරුරට) දැනුණ ද, ඊනියා ආහාරයක රස බව දිවට දැනුණ ද, පුටුව හෝ ආහාරය දැනෙන ඉන්ද්‍රියයක්‌ නැත. එසේ තිබිය දී දරුවන් හා බටහිර විද්‍යාඥයන් (හා ඊනියා යථාර්ථවාදී සාහිත්‍යකරුවන්) පුටු ආහාර ආදිය ඉන්ද්‍රිය ගෝචර යෑයි කියන්නේ කෙසේ ද? ගුණදාස අමරසේකර මහතා වරක්‌ පුවත්පතක්‌ සමග පැවැත්වූ සාකච්ඡාවක දී කියා ඇත්තේ තමා ඉදිරියේ ඇති වීදුරුව ඇති බවට තවත් සාධක අවශ්‍ය නො වන බව ය. පුවත්පත් සාකච්ඡාව පැවැත්වූ තැනැත්තා අමරසේකර මහතා ගෙන් වීදුරුව දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියයකට දැයි නො ඇසීම ගැන අමරසේකර මහතා සතුටු විය යුතු ය.

පුවත්පතෙන් පැමිණි තැනැත්තා ද ඒ ප්‍රශ්නය නො ඇසුවේ ඔහුට එය ප්‍රශ්නයක්‌ නො වූ නිසා ය. දරුවාට ද, පුවත්පත් කලාවේදියාට ද, ඊනියා යථාර්ථවාදී සාහිත්‍යධරයාට ද, බටහිර විද්‍යාඥයාට ද, පුටු පවතින්නේ ඒ තමන් ගේ පංචෙන්ද්‍රියයන් ගෙන් එකකට හෝ වැඩි ගණනකට හෝ දැනෙන නිසා නො ව එය ඔවුන්ට සංස්‌කෘතියෙන් කියා දී ඇති නිසා ය. දරුවා පමණක්‌ ඒ බව පිළිගනියි. දරුවා තමා පුටුවක්‌ ඇති බව පිළිගන්නේ ඇයි දැයි ඇසුව හොත් ඔහු ඉතා අවංකව කියනු ඇත්තේ අම්මා හෝ වෙනත් වැඩිහිටියකු හෝ ඒ බව තමාට කියා ඇති බව ය. ඔහු තමා ඒ බව දැනගත්තේ සංස්‌කෘතියෙන් යෑයි නො කියනු ඇත. එහෙත් අම්මා ගෙන් හෝ වෙනත් වැඩිහිටියකු ගෙන් හෝ ඒ බව දැනගැනීම යනු සංස්‌කෘතියෙන් දැනගැනීම මිස අනෙකක්‌ නො වේ.

පංචෙන්ද්‍රියයන් ගෙන් එකකට වත් නො දැනෙන පුටුව දැනීමක්‌ ද පසු කරමින් දැනුමක්‌ බවට පත් කරනු ලැබ ඇත්තේ සංස්‌කෘතිය විසිනි. නැති පුටුව ඇති පුටුවක්‌ බවට පත් කරනු ලැබ ඇත්තේ සංස්‌කෘතිය විසිනි. එය සංස්‌කෘතියට සාපේක්‍ෂව සිදු වන්නකි. පුටු දැක නැති සංස්‌කෘතියක අයකුට පුටුවක්‌ පෙන්නුවත් එය පුටුවක්‌ වන්නේ නො වේ. ඔහු ගේ මනසට අදාළ නිර්මාණය කළ නො හැකි ය. එනම් පුටුවක්‌ නැති සංස්‌කෘතියක පුටුවක්‌ නිර්මාණය කළ නො හැකි ය. පුටුව යන්න සංස්‌කෘතියට මනසට හා පංචෙන්ද්‍රියයන්ට සපේක්‍ෂව නිර්මාණය කෙරුණු සංකල්පයකි.

දරුවාට තමා පුටුවට පුටුවක්‌ යෑයි කියන්නේ අම්මා හෝ වෙනත් අයකු හෝ කී නිසා යෑයි පැවසීම අභිමානය පිළිබඳ ප්‍රශ්නයක්‌ නො වූවත් බටහිර විද්‍යාඥයාට, ඊනියා යථාර්ථවාදී සාහිත්‍යකරුවාට පමණක්‌ නො ව පුවත්පත් කලාවේදියාට ද එය ප්‍රශ්නයකි. ඔවුන්ට අවභ්‍ය වනුයේ පුටුව පුටුවක්‌ ලෙස පවතින බැවින් ඔවුන් එලෙස පිළිගන්නා බව පැවසීමට ය. එහෙත් පුටුව පංචෙන්ද්‍රියයන් ගෙන් එකකට වත් නො දැනෙන බැවින් ඔවුන්ට කීමට සිදු වන්නේ "ඇයි පුටුව පෙනෙන්නේ නැද්ද? එය අල්ලා බැලිය නොහැකි ද?" ආදී විකාර පමණකි.

එහෙත් ඔවුන් අල්ලන්නේ පුටුව නො ව යම් තද ගුණයක්‌ පමණක්‌ බව ඔවුන්ට නො වැටහෙයි. පෙනෙන්නේ ද යම් රූපයක්‌ මිස පුටුවක්‌ නො වේ. පුටුව තනිකර ම ඇත්තේ මනසෙහි ය. ප්ලේටෝ ගේ විඥානයෙහි ය. බටහිර විද්‍යාඥයන් නැති පුටු ඇතැයි යනුවෙන් ගන්නවා පමණක්‌ නො ව ඔවුහු ඒ පුටුවල පරමාණු ගැන ද කතා කරති. එහෙත් මූලික ප්‍රශ්නය වනුයේ පුටු ඉන්ද්‍රිය ගෝචර නො වීම ය. බටහිර විද්‍යාඥයෝ ඉන්ද්‍රිය ගෝචර යනුවෙන් සලකන්නේ පංචෙන්ද්‍රියයන් ගෙන් එකකට හෝ වැඩි ගණනකට හෝ ගෝචර වන, දැනෙන සංකල්ප ය. එහෙත් පුටු, වායු, ද්‍රව ආදී සංකල්ප ඉන්ද්‍රිය ගෝචර නො වේ.

බටහිර විද්‍යාඥයන් එලෙස ඉන්ද්‍රිය ගෝචර නො වන එහෙත් ප්ලේටෝ ගේ විඥානයෙහි නිර්මාණය වන පුටු ආදිය ඉන්ද්‍රිය ගෝචර ලෙස ගන්නා අතර අර්නස්‌ට්‌ මාක්‌ වැනි ඉන්ද්‍රියානුභූතවාදීහු ද එලෙස ම ක්‍රියා කරති. ඔවුන් පරමාණු වැනි සංකල්පවලට විරුද්ධ වන්නේ ඒ ඉන්ද්‍රිය ගෝචර නො වන බව කියමිනි. එහෙත් ඔවුහු ද පුටු වැනි සංකල්ප ඉන්ද්‍රිය ගෝචර ලෙස සලකති. එයට හේතුව සංස්‌කෘතික බලපෑමෙන් නිදහස්‌ වීමට ඔවුන්ට ද නොහැකි වීම ය. බටහිර දර්ශනයෙහි ඉන්ද්‍රිය ගෝචර සංකල්ප යනු කවරේ දැයි පැහැදිලි ව විස්‌තර නො කෙරෙයි.

ඒ අතර ප්ලේටෝ ගේ විඥානවාදයෙහි ගුණ යනු විඥානයෙන් ස්‌වායත්ත සංකල්ප ලෙස සැලකෙයි. ගණ සමුච්චයක්‌ විඥානය විසින් වස්‌තුවක්‌ ලෙස සලකනු ලබන්නේ යෑයි ප්ලේටෝ සඳහන් කරන විට ඔහු නිවැරැදි ය. එහෙත් ගුණ යනු ද මනස විසින් නිර්මාණය කෙරෙන බවත් ඒවා ද සංස්‌කෘතියට මනසට හා පංචෙන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂව මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්ප පමණක්‌ බවත් ප්ලේටෝ ගේ විඥානවාදයට හසු නො වේ. එමෙන් ම ප්ලේටෝ ගේ විඥානය විඥානයෙන් ස්‌වායත්ත ව පවතින්නකි. විඥානය ඇති වන්නේ කෙසේ දැයි එහි විස්‌තර නො කෙරෙයි. ඉහත කී අර්ථ දෙකෙන් ගත් විට බටහිර විද්‍යාඥයන් ගේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර සංකල්ප ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ සේ ම ප්ලේටෝ ගේ විඥානවාදය ද ද්‍රව්‍යවාදී වෙයි.

නලින් ද සිල්වා