logo3.gif (702 bytes)

HOME


පුද්ගලාත්මවාදය හා ධර්මාත්මවාදය

පසුගිය සතියේ ලිපියෙහි මුගලන් මහරහතන් වහන්සේ විශ්වයේ දිග පළල සෙවීමට සූදානම් වූ බව අපිදු සඳහන් කළෙමු. උන්වහන්සේ විශ්වයෙහි කෙළවර පිළිබඳ ව උනන්දුවක්‌ දැක්‌වූ සේක. උන්වහන්සේ එයින් වළකනු ලැබූයේ බුදුන් වහන්සේ විසිනි. මා එයින් පැහැදිලි කිරීමට උත්සාහ කළේ මහරහතන් වහන්සේලාට ද පැවැත්ම පිළිබඳ ව ප්‍රශ්න තිබූ බව ය. විශ්වයේ පැවැත්ම පිළිගන්නා අයකු පුද්ගලාත්මවාදියකු වීම අනිවාර්ය නො වේ. පුද්ගලාත්මවාදියකු වී හෝ නො වී හෝ ධර්මාත්මවාදියකු විය හැකි ය. අපි බොහෝ දෙනා, අති විශාල බහුතරය, පුද්ගල ආත්මයක්‌ මෙන් ම ධර්මාත්මයක්‌ ද ඇතැයි පිළිගන්නෙමු.

මෙය වැදගත් වන්නේ නාගර්ජුන පාදයන් පුද්ගලාත්මය ගැන මෙන් ම ධර්මාත්මය ගැන ද දේශනා කර ඇති බැවිනි. එසේ දේශනා කිරීමට අවශ්‍ය වූයේ ධර්මවාදය ප්‍රතික්‍ෂෙප කිරීම සඳහා විය හැකි ය. ධර්ම පවතින්නේ යෑයි ථෙරවාදීන් ද ඇතුළු ඇතැම් හීනයානිකයෝ පිළිගත් හ. ධර්මයක්‌ ක්‍ෂණයක්‌ වුව ද පවතින්නේ යෑයි ගැනීම ධර්මාත්මවාදී වෙයි. නාගර්ජුන පාදයන්ට අවශ්‍ය වූයේ ඒ ධර්මාත්මවාදය ද ප්‍රතික්‍ෂෙප කිරීම බව පැහැදිලි ය.

ධර්ම ඇතිවන්නේ මනේන්ද්‍රියෙහි ය. පුටුව යන සංකල්පය ද ධර්මයකි. පුටුවක තද බව මොළොක්‌ බව ගඳ සුවඳ ආදිය මනසට ද පංචෙන්ද්‍රියයන්ට ද දැනෙයි. එහෙත් පුටුව යන සංකල්පය පංචෙන්ද්‍රියයන් ගෙන් එකකට වත් නො දැනෙයි. එය දැනෙන්නේ මනසට පමණ ය. පුටුව පවතින්නේ ද යන ප්‍රශ්නයට පිළිතුර එය මනසට සාපේක්‍ෂව පවතියි යන්න ය. මනසින් තොර ව වූ පැවැත්මක්‌ පුටුවට නැත. පුටු වුව ද පවතින්නේ සංස්‌කෘතික සංකල්පයක්‌ ලෙස ය. පුටු ගැන නො දන්නා සංස්‌කෘතියක පුටු නැත. එවැනි සංස්‌කෘතියක අයකුට පුටුවක්‌ පෙන්වුව හොත් ඒ අයට ඒ කුමක්‌ දැයි නො වැටහෙයි. මේ පිළිබඳ තවත් විස්‌තර මගේ ලෝකය කෘතියෙහි සඳහන් වෙයි.

අපි පුටුවක සාපේක්‍ෂ පැවැත්ම නො සලකා එයට වාස්‌තවික පැවැත්මක්‌ ආරෝපණය කරමු. අප ඇතත් නැතත්, මිනිසුන් ගේ මනස්‌ ඇතත් නැතත් පුටු පවතින්නේ යෑයි අපි ගනිමු. එහි දී පුටුව ගැන නො දන්නා සංස්‌කෘතියක අයකුට පුටුව නැතැයි යන්න අපි නො සලකමු. අපට පුටුවට වාස්‌තවික පැවැත්මක්‌ ආරෝපණය කිරීමට හැකි වී ඇත්තේ අපේ මනස්‌ හා අනෙක්‌ ඉන්ද්‍රිය එකිනෙකා ගෙන් ඉතා සුළුවෙන් පමණක්‌ වෙනස්‌ වීම හේතු කොටගෙන ය. අප එකිනෙකා ගේ ඉන්ද්‍රිය වෙනස්‌ වී නම් පුටුව නමැති සම්මුතියට එළඹීමට අපට නොහැකි වීමට තිබිණි.

පුටුව සුළු ක්‍ෂණයකට වුවත් වාස්‌තවික ව පවතින්නේ යෑයි ගැනීමට නො හැකි ය. නාගර්ජුන පාදයන් විරුද්ධ වූයේ එසේ මනේන්ද්‍රියට පමණක්‌ දැනෙන ධර්මයක්‌ වුවත් ක්‍ෂණයකට වුවත් පවතින්නේ යෑයි ගැනීමට ය. නාගර්ජුන පාදයෝ සාපේක්‍ෂතාවක්‌ දේශනා කළ හ. යමක්‌ පවතින්නේ තවත් දෙයකට සාපේක්‍ෂ ව ය. ඒ තවත් දෙය පවතින්නේ නම් එහි ප්‍රත්‍යයක්‌ ලෙස අප සාකච්ඡාවට බඳුන් වන යම් දෙය පවතියි. ඒ තවත් දෙය නො පවතින්නේ නම් යම් දෙය ද නො පවතියි.

මෙහි දී ඒ තවත් දෙය පවතින්නේ යෑයි නො කියෑවෙයි. එහි දී කියෑවෙන්නේ ඒ තවත් දෙය ඇතැයි, පවතී යෑයි ගන්නේ නම් යම් දෙය ද එහි ප්‍රත්‍යයක්‌ ලෙස පවතින බව ය. කිසිවකට වාස්‌තවික පැවැත්මක්‌ ක්‍ෂණයකට වුවත් නැත. ඇත්තේ සාපේක්‍ෂ පැවැත්මක්‌ පමණකි. එහෙත් එසේ සඳහන් කළ පමණින් මා එසේ ගන්නේ බුද්ධිවාදී නො වී යෑයි නො සිතිය යුතු ය. මට ඇත්තේ හුදෙක්‌ ඒ පිළිබඳ බුද්ධිගෝචර දැනුමක්‌ පමණකි. එය තර්කයට හසු වෙයි. තර්කයට පදනම් වන න්‍යාය කුමක්‌ වුවත් මගේ දැනුම අතක්‌කාවචර නො වෙයි.

නාගර්ජුන පාදයන්ට වුව ද අතක්‌කාවචර දැනුමක්‌ (එය කුමක්‌ වුවත්, දැනුමක්‌ යන්න යෙදීම ගැටලුසහගත ය) තිබිණි යෑයි විශ්වාස කළ හැකි නො වේ. උන්වහන්සේ ද තර්කයට හා බුද්ධියට වහල් වූ හ. එහි වරදක්‌ ඇතැයි නො කියමි. පෘථග්ජනයන් වූ අපි ලෞකික වූ ධර්ම, සංකල්ප තර්කයෙන් හා බුද්ධියෙන් ග්‍රහණය කර ගනිමු. අපට පුද්ගල නෛර්යාත්මය මෙන් ම ධර්ම නෛර්යාත්මය ද මනසින් ගන්නා දේ වෙයි. එපමණක්‌ නො ව ඒවා සාපේක්‍ෂ වශයෙන් ගන්නා පෘථග්ජනයකු එසේ කරන්නේ ද තර්කයෙන් හා බුද්ධියෙනි.

නාගර්ජුනපාදයන් ගේ සාපේක්‍ෂතාවාදය වුව ද අතක්‌කාවචර නො වේ. එය ද බුද්ධියෙන් ගන්නා ලද්දකි. පෘථග්ජනයකු ගේ සාපේක්‍ෂතාවාදය ද තර්කයෙන් හා බුද්ධියෙන් ගනු ලැබෙයි. නාගර්ජුන පාදයන් නිවන් අවබෝධ කරගත් බවට සඳහනක්‌ නැත.

නිවන් අවබෝධය ගැන ද අප කතා කරන්නේ තර්කයෙන් හා බුද්ධියෙනි. නිවන් අවබෝධය තර්කයෙන් හෝ බුද්ධියෙන් හෝ කළ හැක්‌කන් නො වන බව ද අප පවසන්නේ තර්කයෙන් හා බුද්ධියෙනි.

අපේ ප්‍රශ්නය වූයේ නාගර්ජුන පාදයන්ගේ ධර්ම නෛර්යාත්මවාදය නිවන් අවබෝධ කරගැනීමට අවශ්‍ය ද යන්න ය. ධර්ම වාස්‌තවික වශයෙන් නැතැයි ගැනීම නිවන් අවබෝධයට අවශ්‍ය ම ද? පුටු ආදී ද්‍රව්‍ය වාස්‌තවික ව පවතින්නේ යෑයි ගත් අයකුට නිවන් අවබෝධය නොමැති ද? වෙනස්‌ වචනවලින් කිව හොත් නිවන් අවබෝධ කරගත් අයකු විශ්වය සාපේක්‍ෂ වශයෙන් පමණක්‌ දකින්නේ ද? ඇතැම් රහතන් වහන්සේ නමක්‌ පුටුවක්‌ ඇතැයි ගන්නා සේක්‌ ද?

මුගලන් මහරහතන් වහන්සේ විශ්වයේ අන්තය සෙවීමට කල්පනා කළේ පෘථග්ජනයකු ලෙස නො වේ. උන්වහන්සේ සෘද්ධි බල සහිත මහරහතන් වහන්සේ අතර අග්‍ර වූ හ. උන්වහන්සේ තමන් වහන්සේ සතු වූ සෘද්ධි බල යොදා ගනිමින් විශ්වයේ කෙළවර සෙවීමට සිතූ හ. එහෙත් බුදුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ඉන් වැළකූ හ. මුගලන් මහරහතන් වහන්සේට විශ්වය යම් ආකාරයකින් පවතින දෙයක්‌ විය. එය උන්වහන්සේ තමන් වහන්සේ ගේ මනසට සාපේක්‍ෂ ලෙස ගත්තේ යෑයි සැලකිය හැකි නො වේ. කෙසේ වෙතත් උන්වහන්සේට විශ්වය හේතුවෙන් උපාදානයක්‌ නො වී ය.

නිවන ගැන සාකච්ඡා කරන විට පෘථග්ජනයන් වූ අපට පටිච්ච සමුප්පාදය හා චතුරාර්ය සත්‍යය වැදගත් වෙයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම අපහසු වුවත් තර්කයෙන් හා බුද්ධියෙන් පැවසීම අපහසු නො වේ. දුක, දුකට හේතුව, නිවන, නිවනට මග බුද්ධියෙන් දැන ගැනීම අපහසු නැත. දුකට හේතුව තණ්‌හාව ය. නිවන් අවබෝධයට තණ්‌හාව නැති කළ යුතු ය. තණ්‌හාව ඇති වන්නේ කොහේ ද? අපට පුටුව ගැන තණ්‌හාවක්‌ ඇති වන්නේ කොහේ ද?

පුටුව ගැන තණ්‌හාවක්‌ ඇති වන්නේ මනසෙහි මිස පුටුවෙහි නො වේ. පුටුව දර්ශනීය විය හැකි ය. ඒ ආකර්ෂණීය විය හැකි ය. එහෙත් පුටුව දර්ශනීය වන්නේත් ආකර්ෂණීය වන්නේත් මනසට ය. ප්‍රශ්නය වන්නේ පුටුව ගැන තණ්‌හාව නැති කිරීමට අනිවාර්ය වන්නේ කුමක්‌ ද, ප්‍රමාණවත් වන්නේ කුමක්‌ ද යන්න ය. පුටුව වාස්‌තවික නො වන බව අවබෝධ කරගත් පමණින් තණ්‌හාව නැති කර ගත හැකි ද? පුටුව අනිත්‍ය බව හෝ පුටුවට ආත්මයක්‌ (පුටුව යනුවෙන් දෙයක්‌) නැති බව තේරුම් ගත් පමණින් තණ්‌හාව නැති වේ වි ද?

සමහර විට එය එසේ වනවා විය හැකි ය. පුටුව අනිත්‍ය බව තේරුම් ගැනීම තණ්‌හාව නැති කිරීමට ප්‍රමාණවත් වන්නේ යෑයි සිතිය හැකි ය. චුල්ලඵන්තක තිස්‌ස රහතන් වහන්සේ ගේ කතාව එයට අනුබල දෙයි. උන්වහන්සේ රෙදි කැබැල්ලක පැහැය වෙනස්‌ වනු දැකීමෙන් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම අවබෝධ කරගත් බවත් රහත් ඵලයට පත් වූ බවත් පෙනී යයි. එහෙත් ඒ සමග ම උන්වහන්සේ පුද්ගලාත්මවාදයෙහි දෝෂය ද අවබෝධ කරගන්නට ඇත. රෙදි කැබැල්ල යනුවෙන් වෙනස්‌ නො වන වාස්‌තවික දෙයක්‌ නැති බව තේරුම් ගැනීමත් සමග මනස යනුවෙන් දෙයක්‌ නැති බවත් අවබෝධ කරගන්නට ඇත.

මෙයින් මා කීමට අදහස්‌ කරන්නේ ධර්ම නෛර්යාත්මභාවය අවබෝධ කරගැනීමත් සමග පුද්ගල නෛර්යාත්මභාවය ද අවබෝධ කරගන්නා බව ය. එහෙත් එහි අනෙක්‌ පැත්ත ද එලෙස ම යෑයි අපට කිව නො හැකි ය. එනම් පුද්ගල නෛර්යාත්මභාවය අවබෝධ කරගත් සැණින් ධර්ම නෛර්යාත්මභාවය ද අවබෝධ වන්නේ යෑයි කිව නො හැකි ය. නිවන් අවබෝධය යනු පුද්ගල නෛර්යාත්මභාවය අවබෝධ කර ගැනීම ය. එය නිවන් අවබෝධය සඳහා අනිවාර්ය මෙන් ම ප්‍රමාණවත් ද වෙයි. එහෙත් ධර්ම නෛර්යාත්මභාවය අවබෝධ කිරීම නිවන් අවබෝධය සඳහා ප්‍රමාණවත් වුවත් අනිවාර්ය නො වේ යෑයි සිතමු. නිවන් අවබෝධ කරගත් රහතන් වහන්සේ ද ඇතැම් විට ධර්ම නෛර්යාත්මභාවය අවබෝධ නො කර සිටීමට හැකි ය.

රහතන් වහන්සේ ද නොයෙකුත් කරුණු සම්බන්ධයෙන් ප්‍රවාද නිර්මාණය කළ හ. ඒ ප්‍රවාද සංයුක්‌ත ප්‍රවාද වත යෑයි සිතිය හැකි ය. ඇතැම් විට වියුක්‌ත ප්‍රවාද ද නිර්මාණය කරන්නට ඇත. එහෙත් උන්වහන්සේ කිසි විටෙකත් මා යනුවෙන් යමකු පැවතීම පිළිබඳ ප්‍රවාද නිර්මාණය කිරීමට ඉඩක්‌ නැත. එසේ මා යනුවෙන් ඇති කෙනකු ගැන ප්‍රවාද හෙවත් කතන්දර ගෙතීම නිවන් අවබෝධ කරගත් රහතන් වහන්සේ කෙනකු ගෙන් බලාපොරොත්තු විය නො හැකි ය.

නිවන තමන්ගේ අවබෝධයක්‌ මිස වෙනත් අයකු ගේ හෝ දෙයක හෝ කාර්යයක්‌ නො වේ. ඊනියා අනෙකා නිසා අනෙකා ගේ මැදිහත් වීමකින් සිදු වන නිවන් අවබෝධයක්‌ නැත. රෙදි කැබැල්ලේ පැහැය වෙනස්‌ වීමත් සමග රෙදි කැබැල්ලේ අනිත්‍යභාවය ගැන මෙන් ම තමන් ගේ අනිත්‍යභාවය ගැන ද අවබෝධයක්‌ ලැබෙන්නේ යෑයි සිතිය හැකි ය. රෙදි කැබැල්ල යනුවෙන් දෙයක්‌ ගැනීම වැරැදි බව අවබෝධ කරගන්නා තම මනස යනුවෙන් ද දෙයක්‌ ඇතැයි ගැනීම වැරැදි බව ද තේරුම් ගනියි. මනස යනුවෙන් දෙයක්‌ ඇතැයි ගැනීම වැරැදි බව අවබෝධ කර ගැනීමට රෙදි කැබැල්ල යනුවෙන් දෙයක්‌ ඇතැයි ගැනීම වැරැදි බව අවබෝධ කර ගැනීම උපකාරී වන්නේ යෑයි සිතිය හැකි ය. එසේ වුවත් නිවන් අවබෝධයට අවශ්‍ය වනුයේ මනස යනුවෙන් දෙයක්‌ ඇතැයි ගැනීම වැරැදි බව තේරුම් ගැනීම ය. වෙනත් අයුරකින් කිව හොත් නැති මනස නැති මනසක්‌ බව අවබෝධ කර ගැනීම ය.

බටහිර විද්‍යාඥයෝ වාස්‌තවික යථාර්ථයක්‌ ඇතැයි පිළිගනිති. විශ්වය (එහි අඩංගු දේ ද ඇතුළත් ව) මනසෙන් තොර ව, මනසෙන් ස්‌වායත්ත ව පවතින්නේ යෑයි ඔවුහු විශ්වාස කරති. එය විශ්වාසයක්‌ පමණකි. මනසෙන් ස්‌වායත්ත ව ලෝකයක්‌ ඇතැයි මනසෙන් ස්‌වායත්ත ව පෙන්වන තාක්‌ වාස්‌තවිකත්වය යන්න හුදු විශ්වාසයක්‌ පමණක්‌ ව පවතියි. එහෙත් බටහිර විද්‍යාඥයන් වාස්‌තවික ලෝකයක්‌ යන්න හුදු විශ්වාසයක්‌ පමණක්‌ ලෙස නො සලකන බව පැහැදිලි ය.

බටහිර විද්‍යාඥයන්ට අනුව විශ්වයට හා එහි අඩංගු දේට වාස්‌තවික පැවැත්මක්‌ ද වාස්‌තවික ගුණ ද ඇත. බටහිර විද්‍යාඥයන් ගේ කාර්යය මේ වස්‌තු හා එහි ගුණ දැනගැනීම ය. එහෙත් මේ ගුණ හා ඒ හේතුවෙන් ප්‍රවාද ද ප්‍රවාදයෙන් ප්‍රවාදයට වෙනස්‌ වීමෙන් ම පෙන්නුම් කෙරෙන්නේ එහි ඊනියා වාස්‌තවිකත්වයක්‌ නැති බව ය.

නලින් ද සිල්වා