logo3.gif (702 bytes)

HOME


පුටුව ධර්ම හා මම

පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය ඉතා වැදගත් වන්නේ අන් සියල්ල ඒ මත රඳා පවතින බැවිනි. එබැවින් ඒ පිළිබඳ තව තවත් කරුණු පැහැදිලි කළ යුතු ය. අප පසුගිය ලිපිවල සඳහන් කළ ඇතැම් දේ තව තවත් නිරවුල් කළ යුතු ය. ඊනියා යථාර්ථවාදීන්ට, ද්‍රව්‍යවාදීන්ට හෙවත් භෞතිකවාදීන්ට, බටහිර විද්‍යාඥයන්ට අනුව මිනිසා ගෙන් එනම් මිනිසා ගේ මනසෙන් තොර ව යථාර්ථයක්‌ පවතියි. ඔවුන් කිහිප දෙනකු හැරෙන්නට මිනිසුන් නො වන සතුන්ට මනස්‌ ඇතැයි නො පිළිගන්නා බැවින් මිනිසා ගෙන් තොර ව යථාර්ථයක්‌ පවතින්නේ යෑයි කීම ඔවුන්ට ප්‍රමාණවත් වෙයි. මාධ්‍යමිකවාදී බෞද්ධයනට එය කිසිසේත් ම ප්‍රමාණවත් වන්නේ නො වේ. ඔවුන්ට අනුව මනසෙන් තොර ව පවතින ලෝකයක්‌ නැත. එහි දී මනස යනුවෙන් මිනිසුන් ගේ මනස පමණක්‌ නො ව සතුන් ගේ මනස්‌ ද සැලකිල්ලට භාජන වෙයි.

පසුගිය ලිපියෙහි පුටුවක ඉන්ද්‍රියවලට ගෝචර වන ගුණ ගැන සඳහන් කළෙමු. එයින් වැරැදි වැටහීමක්‌ ඇති විය හැකි ය. පුටුව තබා ගුණ වත්, ඉන්ද්‍රියවලින් (එනම් මනස ද ඇතුළු ඉන්ද්‍රියවලින්) තොර ව නො පවතියි. ඊනියා පුටුවෙහි ගුණ යනු මනස විසින් නිර්මාණය කෙරෙන්නකි. අප එකිනෙකාට ගෝචර වන ගුණ වෙනස්‌ වෙයි. ළදරුවකුට තද යෑයි දැනෙන විට වැඩිහිටියකුට තද බවක්‌ නො දැනෙනු ඇත. මිනිසුන් නො වන සතුන්ට දැනෙන ගුණ ඒ කිසිවක්‌ නො විය හැකි ය. මේ ගුණ ද ඒ ඒ සත්ත්වයා විසින් නිර්මාණය කෙරෙන්නේ වෙයි. නිසගයෙන් හෝ ස්‌වභාවයෙන් හෝ පවතින්නේ යෑයි කියන ගුණ ගැන කතා කළ හැකි නො වේ.

එසේ ඊනියා ස්‌වාභාවික ගුණ තිබේ යෑයි ගැනීම ආත්මවාදී වෙයි. ස්‌වාභාවයෙන් ම පුටුවට අයත් වන්නේ යෑයි කියන ගුණයක්‌ නැත. ගුණ ද අපේ නිර්මාණ ය. නිර්මාණ යන වචනය ගැන විරෝධයක්‌ දක්‌වන්නේ නම් ඒ ගුණ අපේ සංස්‌කරණ යෑයි කිව හැකි ය. අප එලෙස ගුණ සංස්‌කරණය කරන්නේ අපේ අවිද්‍යාව නිසා ය. ගුණ සංස්‌කරණයේ දී අපි මනෙන්ද්‍රිය මෙන් ම අනෙක්‌ ඉන්ද්‍රියයන් ද යොදාගන්නෙමු. එහෙත් පුටුව යන්න සංස්‌කරණය කිරීමේ දී අප යොදා ගන්නේ මනස පමණ ය. තද බව යන්න ස්‌පර්ශයට ගෝචර වන නමුත් පුටුව යන්න පංචෙන්ද්‍රියයන් ගෙන් කිසිවකට ගෝචර නො වේ.

නැවතත් කිව යුතු වන්නේ ගෝචර වීමට ගුණයක්‌ ස්‌වාභාවික ව නැති බව ය. ගුණය යන්න පංචෙන්ද්‍රියයන්ට හා මනසට ගෝචර සංකල්පයක්‌ යෑයි කියන්නේ එවැනි ගුණයක්‌ ඇති නිසා නො ව මනස ම`ගින් එවැනි ගුණයක්‌ සංස්‌කරණය කර ඇති බැවිනි. ඒ සියලු ගුණ පවතින්නේ මනසට සාපේක්‍ෂ ව ය. ඒ සියල්ල සංකල්ප වෙයි. සංකල්ප ශුන්‍ය වෙයි. මනසට සාපේක්‍ෂ නො වී ඒවාට පැවැත්මක්‌ නැත. අප විසින් පවතිනු ලබන්නේ යෑයි ගැනෙන සියලු ගුණ මෙන් ම ඊනියා ද්‍රව්‍ය ද මනසට සාපේක්‍ෂ වෙයි. මනස ද මනසට සාපේක්‍ෂ වෙයි. කෙටියෙන් කියන්නේ නම් නාම පද ලෙස ගැනෙන සියල්ල මනසට සාපේක්‍ෂව පවතියි.

බුදුන් වහන්සේ සියල්ල පවතින්නේ යෑයි ගැනීම එක්‌ අන්තයක්‌ ද, සියල්ල නො පවතී යනුවෙන් ගැනීම තවත් අන්තයක්‌ ද යනුවෙන් දේශනා කළ හ. බුදුන් වහන්සේ මෙයින් දේශනා කරන්නේ කුමක්‌ ද? එයට දිය හැකි එක්‌ අර්ථකථනයක්‌ නම් වාස්‌තවික වශයෙන් සියල්ල පවතී යනුවෙන් ගැනීම මෙන් ම සාපේක්‍ෂ වශයෙන් සියල්ල නො පවතී යනුවෙන් ගැනීම ද වැරැදි බව ය. පැවතීම මෙන් ම නො පැවතීම ද සාපේක්‍ෂ ය, පවතින්නේ ද නො පවතින්නේ ද මනසට සාපේක්‍ෂ ව ය, මනස ද මනසට සාපේක්‍ෂ ය.

මනසක්‌ යනුවෙන් යමක්‌ පවතින්නේ යෑයි ගැනීම වැරැදි ය. වාස්‌තවික ව ඊනියා ක්‍ෂණයකට වුවත් පවතින මනසක්‌ නැත. මනස පවතින්නේ ද මනසට සාපේක්‍ෂ ව ය. මනස නො පවතින්නේ යෑයි ගැනීම වැරැදි වන්නේ මනස මනසට සාපේක්‍ෂ ව පවතින බැවිනි. මනසට සාපේක්‍ෂ ව මනසක්‌ ඇතැයි යනුවෙන් ගැනීම වෙනුවට මනස වාස්‌තවික වශයෙන් ඇතැයි ගැනීම වැරැදි ය. එසේ මනස වාස්‌තවික ව ඇතැයි ගැනීම හේතුවෙන් අපි සසර සැරිසරමු. මනස වාස්‌තවිකව ඇතැයි ගැනීම යනු වාස්‌තවික ව මා යනුවෙන් යමකු ගැනීම ය. මා යනුවෙන් යමකු ඇතැයි ගැනීම ආත්මවාදී වෙයි.

පුටුව සම්බන්ධයෙන් වුව ද එවැන්නක්‌ වාස්‌තවික ව ඇතැයි ගැනීම වැරැදි ය. එසේ ගැනීම පුද්ගලාත්මවාදයක්‌ නො වූවත් ධර්මාත්මවාදයක්‌ වෙයි. ආත්මවාදය යනු සත්ත්වයන් හා සම්බන්ධ වූ වාදයක්‌ පමණක්‌ නො වේ. එය පුටු වැනි ද්‍රව්‍යවලට ද ධර්මවලට ද බලපායි. ධර්මයක්‌ වුවත් ක්‍ෂණයක්‌ වුවත් පවතින්නේ ය යනුවෙන් ගැනීම ආත්මවාදී වෙයි. සාංසාරික ගමනට බලපාන්නේ පුද්ගලාත්මවාදය විය යුතු ය. පුද්ගලාත්මවාදය නොමැති ව ධර්මාත්මවාදයක්‌ තිබිය හැකි ද?

මා යනුවෙන් පුද්ගලයකු ඇතැයි ගෙන මා ම නිර්මාණය (සංස්‌කරණය) කරන දේහි ඇලීම, උපාදානය ඇති කර ගැනීම, තණ්‌හාව උපදවා ගැනීම, තව තවත් මා නමැති පුද්ගලයා හෙවත් ආත්මය දිගින් දිගට ම නිර්මාණය කරගැනීමට ඉවහල් වෙයි. මා යනුවෙන් වාස්‌තවික වූ පුද්ගලයකු නැති බව අවබෝධ කරගත් විට පුටුවක්‌ යනුවෙන් ද යමක්‌ වාස්‌තවික ව ඇතැයි ගැනීම වැරැදි බව වැටහෙන්නේ ද?. ඒ කෙසේ වෙතත් ඇලීම, උපාදානය, තණ්‌හාව ඇති වන්නේ මා නම් පුද්ගලයාට ය, ඒ ඇලීම වෙනත් ඊනියා පුද්ගලයකු සම්බන්ධයෙන් විය හැකි ය. එසේත් නැත්නම් පුටුවක්‌ වැනි ඊනියා ද්‍රව්‍යයක්‌ වස්‌තුවක්‌ සම්බන්ධයෙන් විය හැකි ය. එසේත් නැත්නම් මනසින් පමණක්‌ නිර්මාණය කරන ඊනියා ධර්මයක්‌ සම්බන්ධයෙන් විය හැකි ය.

පුද්ගලාත්මවාදය නැති වූ විට ද ධර්මාත්මවාදයක්‌ තිබිය හැකි යෑයි සිතමු. එසේ ධර්මාත්මවාදයක්‌ තිබුණ ද පුද්ගලාත්මවාදය නැති වූ විට ඒ ඊනියා වස්‌තු ද ඇතුළු ධර්ම පිළිබඳ තණ්‌හාවක්‌ ඇති නො වෙයි. අප ඇතැම් විට වස්‌තු (වාස්‌තවික ව) ඇතැයි ගත්ත ද වස්‌තුව කෙරෙහි නො ඇලෙන්නේ නම්, වස්‌තුව හේතුවෙන් තණ්‌හාවක්‌ ඇති නො වන්නේ නම් නිවනට එය බාධාවක්‌ නො වනවා විය හැකි ය. තණ්‌හාව නැති කිරීම සඳහා මා යනුවෙන් පුද්ගලයකු වාස්‌තවික ව නැති බව නම් වටහාගත යුතු ය. කුමක්‌ සම්බන්ධයෙන් වුව ද තණ්‌හාව ඇති වන්නේ ඇතැයි යනුවෙන් ගන්නා පුද්ගලයකුට ය.

නාමපද වූ සංකල්ප වාස්‌තවික වශයෙන් නො පවතී යනුවෙන් ගැනීම පුද්ගලාත්මවාදය ඔබ්බෙන් වූවක්‌ යෑයි සිතමි. නාගර්ජුනපාදයන් ගේ විවේචනයට ලක්‌ වූයේ ඒ සංකල්පීය ලෝකය ශූන්‍ය වශයෙන් නො ගෙන ධර්මාත්මවාදයක්‌ පිළිගැනීම ය. නිවන් අවබෝධය සඳහා අවශ්‍ය වන්නේ පුද්ගලාත්මවාදය වැරැදි බව අවබෝධ කර ගැනීම ය. ඇතැයි කියන යමකට ඇලෙන්නේ, ඇතැයි කියන පුද්ගලයකු බව පැහැදිලි ය. පුටුවක්‌ වැනි ඊනියා වස්‌තුවක්‌ හෝ වෙනත් ධර්මයක්‌ හෝ ඇතැයි යනුවෙන් ගැනීම වැරැදි වුව ද ඇතැයි කියන පුද්ගලයකුට ඒ ගැන ඇලීමක්‌ තණ්‌හාවක්‌ උපාදානයක්‌ නැති නම් එලෙස ධර්මයක්‌ ඇතැයි ගැනීම වැරැදි වුවත් එසේ ගැනීම නිවනට බාධාවක්‌ වේ ද?

මා අද තේරුම් ගන්නා ආකාරයට නම් එසේ ධර්ම හෝ වස්‌තු හෝ ඇතැයි ගැනීම නිවනට බාධාවක්‌ නො වේ. මුගලන් මහරහතන්වහන්සේ විශ්වයේ දිග පළල සෙවීමට උත්සාහ කළේ එසේ විශ්වයක්‌ ඇතැයි යනුවෙන් ගැනීමෙනි. විශ්වයක්‌ ඇතැයි යනුවෙන් ගැනීම උන්වහන්සේට නිවන් අවබෝධයට ප්‍රශ්නයක්‌ වී නැති බව පෙනී යයි. උන්වහන්සේ විශ්වයේ සීමා සෙවීමට ගිය ද උන්වහන්සේට විශ්වය ගැන තණ්‌හාවක්‌ තිබී නැති බව පැහැදිලි ය. විශ්වය ගැන පමණක්‌ නො ව වෙනත් කිසිවක්‌ ගැන ද උන්වහන්සේට තණ්‌හාවක්‌ තිබී නැත.

විශ්වය පවතින්නේ සාපේක්‍ෂ වශයෙන් පමණක්‌ යෑයි ගෙන විශ්වයේ කෙළවර සෙවීමට මුගලන් මහරහතන්වහන්සේට අවශ්‍යතාවක්‌ විණි දැයි අපි නො දනිමු. එහෙත් සාපේක්‍ෂ වශයෙන් පවත්නා වස්‌තුවක දිග පළල සෙවීමට ඇති අවශ්‍යතාව කුමක්‌ ද? වාස්‌තවික ව උපාදානස්‌කන්ධය නැතැයි ගැනීම හේතුවෙන් ද්‍රව්‍ය හා ධර්ම ද වාස්‌තවික වශයෙන් නැතැයි ගැනීමක්‌ සිදු නො වනවා පමණක්‌ නො ව එසේ ගැනීමේ අවශ්‍යතාවක්‌ ද නැත.

නාගර්ජුනපාදයෝ ධර්මවාදය හා ක්‍ෂණවාදය ප්‍රතික්‍ෂෙප කළ හ. එසේ ප්‍රතික්‍ෂෙප කිරීම නිවැරැදි ය. උන්වහන්සේ පුද්ගල නෛර්යාත්මය ගැන දේශනා කළ දේ මෙන් ම ධර්ම නෛර්යාත්මය ගැන දේශනා කළ දේ ද ඉතා වැදගත් ය. ඒ පිළිබඳ කිසිදු ගැටලුවක්‌ නැත. ධර්ම, කාලය, ක්‍ෂණය ආදී මේ සියල්ල අපේ නිර්මාණ වෙයි. ද්‍රව්‍යය ද අපේ නිර්මාණ වෙයි. එහෙත් අප ද්‍රව්‍යය, ධර්ම ආදිය කෙරෙහි නො ඇලෙන්නේ නම් එය නිවනට ප්‍රශ්නයක්‌ නො වනවා විය යුතු ය.

මෙහි දී ප්‍රශ්නය වන්නේ නිවනට වැදගත් වන්නේ කුමක්‌ ද යන්න ය. නාගර්ජුනපාදයන් ධර්ම නෛර්යාත්මය ගැන දේශනා කර ඇති දේ පිළිබඳ ගැටලුවක්‌ නැත. පුද්ගල නෛර්යාත්මය මෙන් ම ධර්ම නෛර්යාත්මය ද අපි පිළිගනිමු. වාස්‌තවික වශයෙන් පුද්ගලයන්, ද්‍රව්‍ය මෙන් ම ධර්ම ද නැත. එසේ වුවත් ප්‍රශ්නය වන්නේ උපාදානය ය. වස්‌තු තිබේ යෑයි ගත්ත ද ධර්ම තිබේ යෑයි ගත්ත ද අපට එහි නො ඇලී සිටිය හැකි නම් එය නිවනට බාධාවක්‌ නො වේ. එහෙත් මා යනුවෙන් පුද්ගලයකු ඇතැයි ගත් කල මනසට ඇති වන වේදනා ගැන නො ඇලී සිටීමට නො හැකි ය. ඒ වේදනා මගේ වේදනා බවට පත් වෙයි. මම ඒවාට එක්‌කෝ ඇලුම් කරමි, නැත්නම් ඒවා ප්‍රතික්‍ෂෙප කරමි. වේදනා හේතුවෙන් තණ්‌හාව ඇති වෙයි. තණ්‌හාව නැති කිරීම යනු මා යෑයි කියන අයකු ගේ තණ්‌හාව නැති කිරීම ය. මා යනුවෙන් පුද්ගලයකු ඇතැයි ගෙන මා ගේ තණ්‌හාව නැති කළ හැකි නො වේ. මෙය දෙයක්‌ ලෙස මෙහි දක්‌වා තිබුණ ද ඒ එකක්‌ ම වෙයි. එනම් තණ්‌හාව නැති කිරීම හා මා යනුවෙන් පුද්ගලයකු නැතැයි යනුවෙන් ගැනීම දෙකක්‌ නො ව එකකි.

එහෙත් පුටුවක්‌ ඇතැයි යනුවෙන් ගැනීම හා පුටුවට ඇලුම් කිරීම පුටුව කෙරෙහි තණ්‌හාවක්‌ ඇති කර ගැනීම යනු එයට වඩා වෙනස්‌ ය. පුටුවක්‌ ඇතැයි යනුවෙන් ගෙන පුටුවට තණ්‌හාවක්‌ ඇති කර නො ගෙන සිටිය හැකි ය. පුටුවක්‌ නැතැයි ගැනීම හා පුටුවට තණ්‌හාවක්‌ ඇති කර නො ගැනීම එකක්‌ නො ව දෙකකි. මෙහි දී වැදගත් වන්නේ තණ්‌හාව මට මිස පුටුවට ඇති නො වීම ය. කලින් අවස්‌ථාවේ දී තණ්‌හාව ඇති වන්නේ මා යනුවෙන් ගන්නා තැනැත්තාට ය.

කෙසේ වෙතත් අපට ඊනියා බාහිර ලෝකය ඇතැයි යනුවෙන් ගෙන ඒ පිළිබඳ අධ්‍යයන කිරීමට සිදු වෙයි. අධ්‍යයනය කිරිම යනු අප විසින් ම තනාගනු ලබන සංකල්ප, ප්‍රවාද ආශ්‍රයෙන් ඒ ඒ දේ විස්‌තර කිරීම ය. බාහිර ලෝකය යනුවෙන් අප ගන්නේ මනසට සාපේක්‍ෂ වූ ලෝකයක්‌ මිස ඊනියා වාස්‌තවික ලෝකයක්‌ නො වේ. ඒ සාපේක්‍ෂ ලෝකය අපි ද තවත් සාපේක්‍ෂ වූ සංකල්ප හා ප්‍රවාද යොදාගනිමින් විස්‌තර කරමු.

බටහිර විද්‍යාවේ දී මේ විශ්වය වාස්‌තවික ලෙස පවතින්නේ යෑයි ගෙන ඒ විස්‌තර කිරීම සඳහා විවිධ සංකල්ප හා ප්‍රවාද යොදාගැනෙයි. එහි දී ඊනියා පර්යේෂණ සිදු කෙරෙයි. රහතන් වහන්සේ ද ඇතැම් විට විශ්වය වාස්‌තවික ව පවත්නේ යෑයි ගන්නවා විය හැකි ය. උන්වහන්සේ විශ්වය දැනගැනීමට පර්යේෂණ නො කළත් මනසෙන් ආධ්‍යාත්මික ව යම් ප්‍රවාදයක්‌ යොදාගන්නවා ඇත. එහෙත් උන්වහන්සේ විශ්වය කෙරෙහි නො ඇලෙති. එසේ වුව ද උන්වහන්සේ පිරිනිවන් පානා තෙක්‌ යම් ප්‍රවාද යොදා ගනිති.

නලින් ද සිල්වා