logo3.gif (702 bytes)

HOME


ප්ලේටෝගේ ද්‍රව්‍යවාදය

ආනුභවික ලෝකය යනු අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන ලෝකය ය. ඉන්ද්‍රියානුභූතවාදයෙහි කියෑවෙන්නේ ඉන්ද්‍රියවලට ගෝචර වන දේ සත්‍ය ය යන්න ය. සත් යනු අපේ සංස්‌කෘතියෙහි පැවත්ම ය. ඇත යන්නෙහි ද තේරුම පැවැත්ම යන්න ය. අපේ ප්‍රශ්නය වනුයේ ඇත්තේ කුමක්‌ ද යන්න දැනගන්නේ කෙසේ ද යන්න ය. එසේත් නැත්නම් පවතින්නේ කුමක්‌ ද යනු දැනගැනීම ය. එහෙත් අපට මුල දී ම ප්‍රශ්නයක්‌ පැන න`ගියි. එනම් යමක්‌ පවතින්නේ කිනම් කාලයකට ද යන්න ය.

එයට පිළිතුරක්‌ ලෙස කාලය යනුවෙන් පවතින්නක්‌ නැති බවත් කාලය යනු පඤ්ඤත්තියක්‌ පමණක්‌ බවත් ප්‍රකාශ කළ හැකි ය. බුද්ධඝෝෂ හිමියන් අත්ථසාලිනියෙහි සඳහන් කර ඇත්තේ කාලය යනු පඤ්ඤත්තියක්‌, එනම් අපේ පැණවීමක්‌ පමණක්‌ බව ය. එහෙත් යමක්‌ පවතින්නේ වෙනස්‌ නො වී ද යන ප්‍රශ්නය ඇසීමට සිදු වෙයි. කාලය යන සංකල්පය අප විසින් තනාගනු ලැබ ඇත්තේ අපට මතකයක්‌ තිබෙන බැවින් හා වස්‌තු වෙනස්‌ වන බැවිනි. එහෙත් වෙනස්‌ වීම සඳහා වස්‌තුවක්‌ වේ ද යන ප්‍රශ්නය ඊළඟට පැන න`ගියි.

අපට සඳහන් කිරීමට සිදු වනුයේ පවතින වස්‌තුවක්‌ හෝ වෙනස්‌ වන වස්‌තුවක්‌ නැති බවත් එහෙත් වෙනස්‌ වීමක්‌ සිදු වන බවත් ය. ක්‍රියාව මිස පුද්ගලයකු හෝ වස්‌තුවක්‌ හෝ නො පවතියි. අප වස්‌තුවක්‌ ඇතැයි පිළිගත හොත් එය ආත්මවාදී වෙයි. එහි පුද්ගලාත්මභාවයක්‌ නැති වුවත් ධර්මාත්මභාවයක්‌ වෙයි. මා නම් පුද්ගලයකු ඇතැයි ගැනීම නිවැරැදි නො වන්නා සේ ම පුටුවක්‌ යනුවෙන් වස්‌තුවක්‌ ඇතැයි ගැනීම ද නිවැරැදි නො වෙයි.

පුටුව දිරා යයි. එවිට ද ආත්මවාදයට හසු වන්නේ දිරා යන යමක්‌ (පුටුවක්‌) පවතින බව අප විසින් උපකල්පනය කෙරෙන බැවිනි. එහෙත් ඒ දිරා යන්නේ යෑයි කියන පුටුව අපේ ඉන්ද්‍රියවලට ගෝචර නො වේ. අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන්නේ වෙනස්‌ වීමක්‌, එනම් ක්‍රියාවක්‌ ය. ඒ වෙනස්‌ වීම පිටුපස පුටුවක්‌ ඇතැයි අපි සිතමු. මා යනුවෙන් පුද්ගලයකු ඇතැයි ද අපි සිතමු. එහෙත් මා යනුවෙන් කෙනකු ඇතැයි ගැනීම ආත්මයක්‌ ඇතැයි ගැනීමකි.

අපේ ප්‍රශ්නය අපේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් හා ඒ ඇසුරෙන් අප තනාගන්නා සංකල්ප අතර වෙනස අපට පැහැදිලි නො වීම ය. පුටුවක්‌ දිරා යන්නේ යෑයි අප කියන්නේ දිරා යැම පමණක්‌ ඉන්ද්‍රිය ඇසුරෙන් දැනගෙන ය. එහෙත් ඒ දිරා යැම අපට ගෝචර වන්නේ තරමක කාලයකට පසුව ය. (කාලය යන්න දිරා යැම ඇසුරෙන්, වෙනස්‌ වීම ඇසුරෙන් තනාගන්නා හෙවත් පණවන සංකල්පයක්‌ වුවත් අපට පෙනී යන්නේ, එනම් අපට ගෝචර වන්නේ පුටුව කාලයෙහි දිරා යන බව ය.)

අපි පුටුවක්‌ දවසකින් දෙකකින් දිරා යනු නො දකිමු. ඒ කාලයෙහි අප දකින්නේ පුටුවක පැවැත්ම ය. නිරන්තර, එනම් අතරක්‌ නොමැති ව, වෙනස්‌ වීමක්‌ අපේ ඉන්ද්‍රියවලට ගෝචර නො වෙයි. අපට ගෝචර වන්නේ අතරක්‌ ඇති ව සිදු වන වෙනස්‌ වීම් ය. අප ගැන ම හෝ අපේ ඥාතීන්, මිතුරන් ගැන වුව ද අපට කිව හැක්‌කේ එවැන්නකි. අපේ එදිනෙදා සිදු වන වෙනස්‌වීම් අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එහෙත් කලකට පසුව අපට ඥාතියකු හෝ මිතුරකු හෝ මුණගැසුණ හොත් අපි ඒ තැනැත්තා ගේ වෙනස්‌ වීමක්‌ දකිමු.

අනවරතයෙන් සිදු වන වෙනස්‌ වීම අපට ගෝචර නො වූව ද අතරක්‌ ඇති ව සිදු වන වෙනස්‌වීම් අපට ගෝචර වෙයි. දැන් අනවරතයෙන් සිදු වන වෙනස්‌වීම් අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර වී නම් ඇතැම් විට අපට වෙනස්‌ වන වස්‌තුවක්‌ පිළිබඳ සංකල්පය වෙනුවට වෙනස්‌ වීම යන සංකල්පය ඇති වීමට ඉඩ තිබුණේ ද යන ප්‍රශ්නය පැන න`ගියි. එහෙත් එය එසේ වීමට ඉඩක්‌ නැති බව අපේ චිත්ත වෙනස්‌ වීම ගැන කල්පනා කරන විට පැහැදිලි වෙයි. චිත්තයක්‌ යන්න ද සංකල්පයක්‌ බව අමතක නො කරමින් අපට පහත සඳහන් කරුණු සටහන් කරගත හැකි ය.

චිත්ත ඉතා වේගයෙන් වෙනස්‌ වන බව අපි දනිමු. ථෙරවාද බෞද්ධ සාහිත්‍යයට අනුව වුවත් චිත්තක්‌ෂණයක්‌ යනු ඉතා සුළු කාලයකි. රූපක්‍ෂණයකට චිත්තක්‍ෂණ දහහතක්‌ ඇතැයි කියෑවෙයි. රූපයක්‌ වෙනස්‌ වීමට ඉක්‌මනින් චිත්ත වෙනස්‌ වන බව එයින් කියෑවෙයි. එහෙත් අප සලකන්නේ මා යනුවෙන් ගන්නා පුද්ගලයකු ගේ චිත්ත වෙනස්‌ වන බව ය. මා නම් පුද්ගලයකු ගෙන් තොර ව චිත්ත වෙනස්‌ වීමක්‌ ගැන අපට කිසිදු හැඟීමක්‌ නැත. අනවරතයෙන් මෙන් සිදු වන චිත්ත වෙනස්‌කම් ගැන අප දන්නේ ද මා නම් පුද්ගලයකු ගේ චිත්ත වෙනස්‌කම් ලෙස ය. මගෙන් තොර ව සිදු වන චිත්ත වෙනස්‌කම් ගැන අපට හැඟීමක්‌ නැත.

වෙනස්‌ වන චිත්ත පරම්පරාව මනසක්‌ ලෙස අපි ගනිමු. චිත්තය යනු කුමක්‌ වුවත් අනුගාමී චිත්තයෙහි පූර්වගාමී චිත්තයෙහි විශාල කොටසක්‌ රැඳී ඇතැයි, ගැබ් වී ඇතැයි යනුවෙන් ප්‍රවාදයක්‌ තනාගැනීමට, කතන්දරයක්‌ ගොතාගැනීමට අප පෙලඹී තිබේ. මා යනුවෙන් පුද්ගලයකු ඇතැයි ගොතන කතන්දරය සියලු කතන්දරවලට මුල ය. අනෙක්‌ සියලු කතන්දර ගොතන්නේ මා නම් කතන්දරය ගොඩනැ`ගීමෙන් පසුව ය.

ඊනියා පශ්චාත්නූතනවාදීන්ෙ ග් අනෙකා යන සංකල්පය තමා යන සංකල්පය බිහි වීමට මුල වේ ය යන්න අසංගත කතන්දරයක්‌ බවට පත් වන්නේ එබැවිනි. අනෙකා යන සංකල්පය ඇති වන්නේ රික්‌තයක නො වේ. අනෙකා යන සංකල්පය ද ඇති වන්නේ මට ය. එනම් මා විසින් මා යනුවෙන් ගැනෙන පුද්ගලයාට සාපේක්‍ෂ ව ය. අනෙකා යන සංකල්පය ඇති වී පසුව මා යන සංකල්පය ඇති වනවා නො ව මා යන සංකල්පයට සාපේක්‍ෂව අනෙකා යන සංකල්පය ඇති වෙයි. පළමුව ඇති වන්නේ මා යන සංකල්පය ය.

එහෙත් මෙහි දී කිවයුත්තක්‌ වෙයි. මා යන සංකල්පය පළමුවෙන් ඇති වන්නේ යෑයි කීම වැරැදි ය. මෙහි දී පළමුවෙන් යෑයි කියෑවෙන්නේ මේ භවය පිළිබඳ ව පමණක්‌ කල්පනා කරන විට ය. එහෙත් මනස මේ භවයේ පමණක්‌ නො ව පසුගිය භවවල දී ද තිබී ඇත. එහෙත් මෙයින් කියෑවෙන්නේ මනස පවතින බවක්‌ නො වේ. සසරේ දිගින් දිගට පැවතෙන මනසක්‌ නැත. සසර පවතින්නේ ම, එනම් අප සසරෙහි දුක්‌ විඳින්නේ ම මනසක්‌ ඇතැයි ගැනීම නිසා ය. මනස ද සාපෙක්‍ෂ වූවකි. මනස සාපේක්‍ෂ වන්නේ මනසට ය. මනස මනසේ ම නිර්මාණයකි. මේ පිළිබඳ විස්‌තරයක්‌ සිංහල බෞද්ධ මනස නමින් පළ වී ඇති ලිපියෙහි සඳහන් වෙයි. කාලය වෙබ් අඩවියෙන් මේ ලිපිය ලබාගත හැකි ය.

පුද්ගලයකු හෝ ධර්මයක්‌ හෝ නොමැති ව ක්‍රියාවක්‌ පමණක්‌ ඇතැයි අප බොහෝ වෙලාවට කියා ඇත. එහෙත් ඒ ක්‍රියාව ද සාපේක්‍ෂ වූවකි. එය මනසට සාපේක්‍ෂ වෙයි. ඒ හැරෙන්නට මනසෙන් ස්‌වායත්ත වූ ක්‍රියා අපේ ලෝකයෙහි නැත. අපට ගෝචර වන ක්‍රියා අපේ මනසට ගෝචර වන ක්‍රියා පමණක්‌ වෙයි. ඒ ක්‍රියා ද සංකල්පීය වෙයි. සංකල්පීය දැනුම ශූන්‍ය වෙයි. එනම් එවැනි ක්‍රියා ද මනසින් ස්‌වායත්ත ව තිබිය හැකි නො වේ. දිරා යන පුටුවක්‌ පමණක්‌ නො ව මනසින් ස්‌වායත්ත වු දිරා යැමක්‌ ද නැත.

එහෙත් පුටුව මෙන් නො ව දිරා යැම ඉන්ද්‍රිය ගෝචර වෙයි. පුටුව යන්න ගෝචර වන්නේ කිනම් ඉන්ද්‍රියකට ද? පුටුවෙහි ඇතැයි කියන ගුණ (ඇතැයි කියන පුටුවෙහි ඇතැයි කියන ගුණ) අපට විවිධ ඉන්ද්‍රියවලට දැනෙයි. පුටුවෙහි පැහැය, තද බව, ආදිය අපේ විවිධ ඉන්ද්‍රියවලට ගෝචර වෙයි. ඉන්ද්‍රිය යනු අවයව නො වන බව අවධාරණය කළ යුතු ය. මනස නොමැති ව (මනස යථාර්ථයක්‌ ලෙස පවතින බවක්‌ මෙයින් ගම්‍ය නො වේ) ඉන්ද්‍රිය නැත. කෙසේ වෙතත් පුටුවෙහි ගුණ අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන බව පැහැදිලි ය.

දැන් අපට මේ ඉන්ද්‍රියවලින් ඇතැම් ඉන්ද්‍රිය නො තිබිණි නම් හෝ වෙනත් ඉන්ද්‍රිය තිබිණි නම් හෝ පුටුවෙහි ගුණ යනුවෙන් අප සලකන්නේ ඒ ඉන්ද්‍රියවලට ගෝචර වන දේ මිස අපේ වත්මන් පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන දේ නො වේ. ඒ කුමක්‌ වුවත් පුටුවෙහි ඇතැයි කියන ගුණ කිසියම් ඉන්ද්‍රිය පද්ධතියකට ගෝචර වෙයි. ඒ ගුණ වෙනස්‌ වන බව ද ඉන්ද්‍රියයන්ට, එනම් පංචෙන්ද්‍රියයන්ට හෝ වෙනත් ඉන්ද්‍රියයන්ට හෝ ගෝචර වෙයි. එහෙත් පුටුව යන්න ගෝචර වන්නේ කිනම් ඉන්ද්‍රියයකට ද? පුටුව යන්න හුදෙක්‌ මනස නම් ඉන්ද්‍රියෙහි නිර්මාණයකි. එයට වෙනත් ඉන්ද්‍රියයක්‌ සෘජු ව හවුල් නො වේ.

වෙනත් ඉන්ද්‍රියයක්‌ එහි දී හවුල් වන්නේ වක්‍ර ව ය. එනම් පුටුවෙහි අහවල් ගුණ ඇතැයි කීමෙනි. අප පුටුව යෑයි කියන්නේ එසේ වෙනත් ඉන්ද්‍රියයන් ගේ ආධාරයෙන් නිර්මාණය කරන ලද ගුණවල එකතුවෙන් මනස විසින් නිර්මාණය කෙරෙන්නකට ය. අනෙක්‌ ඉන්ද්‍රිය එහි දී මනසට හවුල් වන්නේ එසේ වක්‍ර ව ගුණ නිර්මාණය කිරීමෙන් ය. පුටුව යන්න අපෙන් ස්‌වායත්ත ව පවතින්නක්‌ නො වේ. එය අනෙක්‌ ඉන්ද්‍රියවල වක්‍ර ආධාරය ලැබුව ද හුදෙක්‌ මනසෙහි නිර්මාණයකි.

ඊනියා ද්‍රව්‍යවාදීන් ඉහත සඳහන් දේ ප්ලේටෝනීය විඥානවාදී මතයක්‌ ලෙසත් නව මතයක්‌ නො වන්නක්‌ ලෙසත් හඳුන්වනු ඇත. ජිවිතයෙහි කිසි ම දිනෙක නව මතයක්‌ ඉදිරිපත් කර නොමැති කාලෝ ෆොන්සේකා වැනි ඊනියා ද්‍රව්‍යවාදීන් මා අලුත් මතයක්‌ ඉදිරිපත් කළ හොත් එය නිවැරැදි නො වන බවත් නිවැරැදි මතයක්‌ ඉදිරිපත් කළ හොත් එය නව මතයක්‌ නො වන බවත් කියනු ඇත. එහෙත් කාලෝ ෆොන්සේකා ඒ ප්‍රකාශය ද වෙනත් කාගෙන් දෝ උපුටා ගත්තකි.

එසේ වුවත් ඉහත සඳහන් කළේ ප්ලේටෝ ගේ විඥානවාදී මතය නො වේ. ප්ලේටෝට අනුව මනසක්‌ ඇත. එනම් මනස මනසෙන් තොර ව පවතියි. වෙනත් අයුරකින් කිව හොත් ප්ලේටෝ ගේ මනසත් මා බෞද්ධයකු නො වේ යෑයි ප්‍රසිද්ධ ප්‍රකාශ කරමින් මගේ බොහෝ අදහස්‌ තමන් ගේ මත ලෙස ඉදිරිපත් කරන්නන් ගේ මනසත් මනසෙන් ස්‌වායත්ත ව පවතින මනස්‌ ය. එවිට ඒ මනස්‌ වාස්‌තවික ද්‍රව්‍යවාදී මනස්‌ බවට පත් වෙයි. ප්ලේටෝ ගේ විඥානවාදයට එයටත් වඩා ගැටලුවක්‌ තිබිය හැකි ද? ප්ලේටෝ මනසේ ස්‌වායත්ත පැවැත්ම පිළිගත් වාස්‌තවිකවාදියෙක්‌ විය. වාස්‌තවිකවාදියකු ලෙස ඔහු අවසාන විග්‍රහයේ දී ද්‍රව්‍යවාදියෙක්‌ විය. ඔහුට ප්‍රශ්නයක්‌ වී නම් ඒ මනස නිර්මාණය වී ඇත්තේ කිනම් ද්‍රව්‍යවලින් දැයි කීමට නොහැකි වීම ය. එහෙත් අනෙක්‌ අතට ඔහු ගේ ද්‍රව්‍ය මනසේ නිර්මාණ විය. ඇරිස්‌ටෝටලීය න්‍යාය අනුව ප්ලේටෝනීය දර්ශනය විසංවාදී වෙයි.

අප ඉදිරිපත් කරන මනස මනසෙන් තොර ව ස්‌වායත්ත ව පවතින්නක්‌ නො වේ. අප ඉදිරිපත් කරන්නේ මනසට සාපේක්‍ෂව නිර්මාණය වන මනසකි. එබැවින් අප ඉදිරිපත් කරන මතය විඥානවාදී හෝ ද්‍රව්‍යවාදී හෝ නො වේ. අපි විඥානවාදී අන්තය මෙන් ම ද්‍රව්‍යවාදී අන්තය ද ප්‍රතික්‍ෂෙප කරමු. අපි ශාස්‌වතවාදය මෙන් ම උච්ඡේදවාදය ද ප්‍රතික්‍ෂෙප කරමු. බටහිර විද්‍යාඥයෝ ද්‍රව්‍යවාදීහු වෙති. ඔවුන්ට අනුව ද්‍රව්‍ය (විකිරණ, ක්‍ෂෙත්‍ර ආදිය ද ඇතුළත්) පවතියි. අපට ද්‍රව්‍ය, ක්‍ෂෙත්‍ර විකිරණ ආදී සියල්ල මනසේ නිර්මාණ වෙයි. එපමණක්‌ නො ව මනස ද මනසෙහි නිර්මාණයකි.

නලින් ද සිල්වා