logo3.gif (702 bytes)

HOME


බටහිර විද්‍යාව බටහිරයන්ට ම අනුව
ගුඩුදහමකි


යථාර්ථයක්‌ ගැන සඳහන් කරන ඊනියා වාස්‌තවිකවාදී ද්‍රව්‍යවාදීන්ට (භෞතිකවාදීන්ට) හා වෙනත් එවැන්නන්ට සංකල්පවලින් තොර සංජානන ඇතැයි ගැනීමට සිදු වෙයි. බර්ට්‍රන්ඩ් රසල් විද්වතාණන්ට ද සිදු වූයේ එයයි. ඒ සංජානන ඊනියා භෞතික ලෝකයකින් ආරම්භ වී අපේ ඉන්ද්‍රියවලට ගෝචර වෙයි යනු ද්‍රව්‍යවාදීන්ගේ මූලික උපකල්පනයකි. එහෙත් ද්‍රව්‍යවාදීන් තේරුම් නො ගන්නා කරුණ නම් ඊනියා භෞතික ලෝකයකින් ලැබෙන්නේ යෑයි කියෑවෙන සංජානන ද ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ නම් එවැනි භෞතික ලෝකයක පැවැත්මක්‌ ගැන අපට කතා කළ නොහැකි බව ය.

ඉන්ද්‍රිය ගෝචර වන්නේ මනසක්‌ ආධාරයෙන් බව ද්‍රව්‍යවාදීහු තේරුම් නො ගනිති. අප බොහෝ දෙනාට ඉන්ද්‍රිය යනු අවයව ය. ඇස යනු අවයවයකි. එහෙත් ඇස තිබූ පමණින් මනස නොමැති ව ඇසට ගෝචර වීමක්‌ නො වන බව අප කියා ඇත. ඇස යන්න මිය ගිය අය ගේ සිරුරුවල ද ඇත. (මෙහි ඇත යන්න යෙදෙන්නේ සම්මුති අර්ථයකින් පමණකි.) එහෙත් මිය ගිය අයට ඇස නමැති ඉන්ද්‍රිය නැත. අපි ඇස යන්න අවයවය සඳහා මෙන් ම ඉන්ද්‍රිය සඳහා ද යොදා ගනිමු. එහි වෙනසක්‌ නැතැයි අපට බොහෝ විට සිතෙන්නේ ද අවයවය හා ඉන්ද්‍රිය වෙනුවෙන් එක ම වචනයක්‌ යොදාගන්නා බැවින් ද විය හැකි ය.

අප කලින් සඳහන් කර ඇති පරිදි ම ඇස නමැති අවයවය හා මනස එකතු වීමෙන් පමණක්‌ ඇස නමැති ඉන්ද්‍රිය ඇති වෙයි. ඇස නමැති ඉන්ද්‍රිය යනු ඇස නමැති අවයවය නො වන බව පැහැදිලි කරගත යුතු ය. ඇස නමැති අවයවයට දැනෙන සංජානනයක්‌ නැත. සංජානන දැනෙන්නේ ඇස නමැති ඉන්ද්‍රියට ය. එසේ සංජානන දැනෙන්නේ සංකල්පයක්‌ ද සම`ගිනි. සංකල්පය තැනීම ඇස නමැති අවයවයේ කාර්යයක්‌ නො ව මනසේ කාර්යයකි. ඇසට දැනෙන සංජානනය ඇස නමැති අවයවයේ ද මනසේ ද ඒකාබද්ධ ක්‍රියාවක ප්‍රතිඵලයකි.

ද්‍රව්‍යවාදීහු එසේ නො ව ඇසට දැනෙන සංජානන ගැන කතා කරති. ඔවුහු එහි දී මනස අමතක කරති. එබැවින් ඔවුන්ට මනස විසින් තනනු ලබන සංකල්පය ද අමතක වෙයි. ඔවුහු සංකල්ප නොමැති හුදු සංජානන ගැන කතා කරයි. බටහිර දර්ශනයේ වැදගත් ම පුද්ගලයකු වූ බර්ට්‍රන්ඩ් රසල් ට ද එය අදාළ වෙයි. රසල් විද්වතා වැදගත් වන්නේ බටහිර දර්ශනයට ය. වැදගත්කම ද සාපේක්‍ෂ ය. බටහිර දර්ශනයට සාපේක්‍ෂව බර්ට්‍රන්ඩ් රසල් විද්වතාට වැදගත්කමක්‌ ඇත. එහෙත් සිංහල බෞද්ධයනට ඔහු ගේ වැදගත්කමක්‌ නැත. අයිසැක්‌ නිවුටන් මෙන් ම ඇල්බට්‌ අයින්ස්‌ටයින් ද සිංහල බෞද්ධයනට වැදගත් නැත. බටහිර විද්‍යාව හා බටහිර දර්ශනය දේවත්වයෙන් පුදන අයට නම් ඔවුන් ගේ වැදගත්කමක්‌ ඇත.

එහෙත් බොහෝ සිංහල බෞද්ධයෝ අද ඔවුනට වැදගත්කමක්‌ දෙති. එයට ප්‍රධාන හේතුව අද බොහෝ උගත් සිංහල බෞද්ධයන් යෑයි කියාගන්නා අය සිංහල බෞද්ධයන් නො වීම ය. ඔවුහු යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ආධිපත්‍යයට යට වී සිටිති. එහෙත් ඔවුන් එසේ යට වී සිටිය යුතු නො වේ. එයින් අදහස්‌ කරන්නේ අප බටහිර දැනුම නො හැදෑරිය යුතු බව නො වේ. අප බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම හැදෑරීමේ වරදක්‌ නැත. හැකි නම් ඒ දැනුම අපේ සංස්‌කෘතියට අවශෝෂණය කරගත යුතු ය. එනම් එය අපේ දැනුමක්‌ බවට පත් කරගත යුතු ය.

එහෙත් පාසල් සිසුන්ට එය කළ හැකි යෑයි මම නො සිතමි. එබැවින් ඔවුන් අද කළ යුත්තේ ඔවුන්ට යම් හේතුවක්‌ නිසා බටහිර විද්‍යාව හැදෑරීමට සිදු වී ඇත්නම් එය විචාරශීලීව හැදෑරීම ය. හැකි නම් බටහිර විද්‍යාව සිංහල බෞද්ධ සංස්‌කෘතියට අවශෝෂණය කිරීම පසුව කළ යුත්තකි. එසේ අවශෝෂණය කිරීමට පමණක්‌ නො ව එය පට්‌ටපල් බොරුවක්‌ බව දැනගැනීමට වුව ද එය හදාරා තිබිය යුතු ය.

අවයවය හා ඉන්ද්‍රියය අතර ඇති වෙනස නො දැනීම නිසා හෝ එය දැකීමට නොහැකි නිසා හෝ බටහිර දැනුමේ ආධිපත්‍යයට යට කරවන පාසල් හා විශ්වවිද්‍යාල ඔස්‌සේ අප ලබන අපේ නො වන අධ්‍යාපනය හේතුවෙන් බෞද්ධ දර්ශනය හා බෞද්ධ ධර්මය පිළිබඳ උගත්තු ද පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයේ දී මංමුළා වෙති. එහි දී විශේෂයෙන් ම බලපාන්නේ ආනුභවික හා ඉන්ද්‍රිය ගෝචර දැනුම පිළිබඳ වූ පටලැවිල්ල ය.

බුදුදහමෙහි ද ආනුභවික දැනුම ඉන්ද්‍රිය ගෝචර දැනුම ආදිය ගැන සඳහන් වෙයි. බටහිර දර්ශනයෙහි ද බටහිර විද්‍යාවෙහි ද මේ වචන යොදාගැනෙයි. අර්නස්‌ට්‌ මාක්‌ විද්වතා බටහිර ඉන්ද්‍රියානුභූතවාදයෙහි පුරෝගාමියෙක්‌ විය. ඉංගිරිසියෙන් පොසිටිවිසම් යනුවෙන් කියෑවෙන මේ බටහිර දර්ශන ප්‍රභේදයෙහි ඉන්ද්‍රිය ගෝචර දැනුම විශ්වාස කළ හැකි දැනුම ලෙස සැලකෙන්නේ ඉන්ද්‍රිය ගෝචර දේ පවතින්නේ ය යන පදනමෙනි.

බටහිරයන් පාරභෞතිකයක්‌ (metaphysics) ගැන සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ ඉන්ද්‍රිය ගෝචර දැනුමෙන් බාහිර ව ඇති දේ සඳහා ය. එහෙත් බටහිරයන් අතර ම මේ සංකල්පය පිළිබඳ විවිධ මත තිබෙන බව පැහැදිලි කරගත යුතු ය. කෙසේ වෙතත් ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප සාමාන්‍යයෙන් පාරභෞතික ලෙස හැඳින්වෙයි. ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප ගැන සඳහන් කරන දැනුම් ගුඩුදහම් ලෙස හැඳින්වීමේ ප්‍රවණතාවක්‌ ද වෙයි. නිවන ඉන්ද්‍රිය ගෝචර නො වේ. එය සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් ගුඩුදහමකි. එහෙත් උගත් බෞද්ධයෝ නිවන ගුඩුදහමක්‌ ලෙස හැඳින්වීමට මැළි වෙති.

බුදුන්වහන්සේ නිවන යනු මේ යෑයි නිර්වචනය කර නැත. නිවන වචනයෙන් ප්‍රකාශ කිරීමට නො හැකි ය. එසේ කර ඇති තැනක්‌ සූත්‍ර පිටකයෙන් පෙන්වා දීමට හැකි අයකු වේ නම් ඒa කොතැනක දැයි දැනගනු කැමැත්තෙමි. නිවන පවතින තැනක්‌ නො වේ. එය දිව්‍ය ලෝකවලට හා බ්‍රහ්ම ලෝකවලට ඉහළින් පිහිටි වඩා රම්‍ය වූ ස්‌ථානයක්‌ නො වේ. නිවන් යනවා නිවන් දකිනවා ආදී ව්‍යවහාරවලින් අප මුළා විය යුතු නො වේ. නිවන යනු යන තැනක්‌ නො වේ. නිවන් අවබෝධ කළ තැනැත්තාට ඒ භවයෙන් පසු යළි භවයක්‌, ඉපදීමක්‌ නැත.

නිවන යනු ඉපදීම නැති කිරීම ය. බුදුදහම, බුද්ධාගම අනෙක්‌ ආගම්වලින් වෙනස්‌ වන්නේ මේ කරුණෙහි දී ය. අනෙක්‌ ආගම්වල අමරණීය භාවයක්‌ අපේක්‍ෂා කෙරෙයි. බොහෝ දෙනාට අවශ්‍ය වන්නේ නො මැරී ජීවත් වීමට ය. එසේ ජීවත් වීමට එක්‌කෝ ස්‌වර්ගයක්‌ එසේත් නැත්නම් බ්‍රහ්මයන් සමග එකතු වීමක්‌ වැනි නිෂ්ඨාවක්‌ අනෙක්‌ ආගම්වල පෙන්වා දී ඇත. එවැන්නක්‌ ඉන්ද්‍රිය ගෝචර නො විය හැකි ය. ආනුභවික නො විය හැකි ය. එහෙත් එවැන්නක්‌ සිතින් මවාගත හැකි ය.

එහෙත් නිවන සිතින් වත් මවාගත හැකි තැනක්‌ නො වේ. බුදුන්වහන්සේ අනෙක්‌ ආගමික ශාස්‌තෘන්වහන්සේaලා ගෙන් වෙනස්‌ වන්නේ උන්වහන්සේ නො මැරීමට නම් නූපදිය යුතු යෑයි දේශනා කළ බැවිනි. සියලු ආගම්වලින් ම කියෑවෙන්නේ එකක්‌ ම යෑයි කියන පඬියන් මේ ගැන අවබෝධයක්‌ නැති ව ක්‍රියා කරන්නේ ද? බුදුදහමෙහි සඳහන් වන්නේ ඉපදීම නැති කිරීම ය. නිවන් අවබෝධයෙන් පසුව ඒ භවයෙහි චුති චිත්තයෙන් (චුති චිත්තය යන්න ද සංකල්පයක්‌ පමණකි. එබැවින් අනෙක්‌ සංකල්ප මෙන් ම එය ශූන්‍ය වෙයි) පසු වෙනත් චිත්තයක්‌ ඇති නො වේ.

එහෙත් ඉහත සඳහන් වන්නේ නිවන ගැන නිර්වචනයක්‌, අර්ථදැක්‌වීමක්‌ නො වේ. නිවන යනු මේ යෑයි එහි සඳහන් නො වේ. නිවන වචනයෙන් ප්‍රකාශ කරන්නේ කෙසේ ද? නිවන සංකල්පයක්‌ නො වේ. වචන යනු සංකල්ප ය. යමක්‌ වචනයෙන් ප්‍රකාශ කළ හැකි නම් එය සංකල්පයක්‌ වෙයි. මෙයින් අදහස්‌ කරන්නේ සංකල්ප සියල්ල වචනයෙන් විස්‌තර කළ හැකි බව නො වේ. වචනයෙන් විස්‌තර කළ හැක්‌කේ සංකල්පවලින් සුළු ප්‍රමාණයක්‌ පමණකි. අප බොහෝ අවස්‌ථාවල දී වචනවලින් කීමට නොහැකි බව, එසේත් නැති නම් කියන්න වචන නැහැ ආදී වශයෙන් පවසන්නේ එබැවිනි.

බටහිරයෝ ඊනියා ගුඩුදහම් ප්‍රතික්‍ෂෙප කරති. එහෙත් එසේ කරන්නේ බොහෝ විට ශාස්‌ත්‍රීය වශයෙනි. එහි ද ඔවුන් කරන්නේ බොරුවකි. ගුරුත්වාකර්ෂණය අදෘශ්‍යමාන ය. එය ඉන්ද්‍රිය ගෝචර නො වේ. එය ආනුභවික නො වේ. ඒ අර්ථයෙන් ගත් කල ගුරුත්වාකර්ෂණය ගුඩුදහමකි. එහෙත් එයට ගුඩුදහමක්‌ යෑයි කියන්නෙක්‌ නැත. බටහිර විද්‍යාවෙහි එවැනි ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප රාශියක්‌ වෙයි. ඉන්ද්‍රිය ගෝචර සංකල්ප තේරුම් කිරීම සඳහා මේ ගුඩුදහම් යොදාගැනෙයි. ඒ අර්ථයෙන් බටහිර විද්‍යාවට වඩා ගුඩුදහමක්‌ තවත් නැත. මාක්‌ විද්වතා බටහිර භෞතික විද්‍යාවෙහි ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප යොදාගැනීමට විරුද්ධ වූයේ එය ගුඩුදහමක්‌ කිරීමට ඔහුට අවශ්‍ය නො වූ බැවින් විය හැකි ය.

ඒ කෙසේ වෙතත් බටහිරයන් නිවන ගුඩුදහමක්‌ යෑයි කියන්නේ නම් අප ඒ ගැන කලබල විය යුත්තේ ඇයි? ඔවුන් නිවන ගුඩුදහමක්‌ යෑයි කියන විට නැත නිවන ගුඩු දහමක්‌ නොවේ යෑයි කීමට අප ඉදිරිපත් විය යුත්තේ ඇයි? අප බටහිරයන් නිවන ගැන කියන දේ සත පහකට වත් ගණන් ගත යුතු නො වේ. බටහිරයන් නිවන ගුඩුදහමක්‌ යෑයි කියන විට අප එසේ නැතැයි කීමට ඉදිරිපත් වීමෙන් අපි බටහිරයන් ගේ දැනුම් ආධිපත්‍යයට යට වෙමු. බටහිරයන් ගුඩුදහම් යෑයි පිළිගන්නා දේ අපත් ප්‍රතික්‍ෂෙප කළ යුතු ද? එසේත් නැත්නම් ඒ ගුඩුදහම් නො වේ යෑයි කීමට අප කරුණු ඉදිරිපත් කළ යුතු ද?

අවාසනාවකට මෙරට බුදුදහම, බෞද්ධ දර්ශනය ගැන විශාරදයන් යෑයි ඔවුනොවුන් අතර ප්‍රසිද්ධ අය ක්‍රියා කරන්නේ බටහිර දැනුම් ආධිපත්‍යයට යට වීමෙනි. ඔවුන්ට අවශ්‍ය වනුයේ බටහිරයන් ගේ මිනුම් දණ්‌ඩ පිළිගෙන බටහිරයන්ට පිළිගත හැකි ආකාරයට බුදුදහම විකෘති කිරීම ය. බටහිරයන් නිවන ගුඩුදහමක්‌ යෑයි කියන විට අප ගුඩුදහම පිළිබඳ ඔවුන් ගේ මිනුම් දණ්‌ඩ පිළිගෙන නිවන ගුඩුදහමක්‌ නො වේ යෑයි කීමට මුසාවාද ප්‍රකාශ කළ යුතු නො වේ.

අද ඇතැම්හු නිවන වචනයෙන් ප්‍රකාශ කළ හැකි යෑයි කියති. එසේ නම් ප්‍රශ්නය වනුයේ බුදුන්වහන්සේ නිවන වචනයෙන් ප්‍රකාශ කළේ නැත්තේ ඇයි ද යන්න ය. අප බටහිරයන්ට කිව යුත්තේ නිවන වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි බවත් සම්මුති වශයෙන්වත් නිවන සංකල්පයක්‌ ලෙස ප්‍රකාශ කළ නොහැකි බවත් ඔවුන්ට අවශ්‍ය නම් නිවන ගුඩුදහමක්‌ ලෙස ප්‍රකාශ කළ හැකි බවත් ය. අනෙක්‌ අතට පෙන්වා දිය යුත්තේ ඔවුන් ගේ මිනුම් දණ්‌ඩට අනුව බටහිර විද්‍යාව ගුඩුදහමක්‌ බවත් ය.

ඔවුන් බටහිර විද්‍යාව ගුඩුදහමක්‌ ලෙස නො පිළිගනු ඇත. අප ඔවුන් ගෙන් ඇසිය යුත්තේ බටහිර දර්ශනයෙහි ම ඉන්ද්‍රියානුභූතවාදය යනුවෙන් ප්‍රභේදයක්‌ බිහි වී ඇත්තේ ඇයි ද යන්න ය. ඉන්ද්‍රියානුභූතවාදයෙහි පිළිගන්නා ආකාරයට ඉන්ද්‍රිය ගෝචර නො වන දේ ආනුභවික නො වන සංකල්ප අප බටහිර භෞතික විද්‍යාවෙහි නො යොදාගත යුතු ය. එහෙත් බටහිර භෞතික විද්‍යාවේ එසේ යොදාගැනෙයි. එබැවින් බටහිර ඉන්ද්‍රියානුභූතවාදය අනුව බටහිර විද්‍යාව ගුඩුදහමකි. බටහිරයන්ට අනුව නිවන ගුඩුදහමක්‌ වීම අපට ප්‍රශ්නයක්‌ නො වේ. එහෙත් බටහිරයන්ට ම අනුව බටහිර විද්‍යාව ගුඩුදහමක්‌ වීම ඔවුන්ට ප්‍රශ්නයක්‌ විය යුතු ය.

නලින් ද සිල්වා