logo3.gif (702 bytes)

HOME


සංස්‌කෘතිය හා ඊනියා යථාර්ථය

අපේ ඇස්‌වලට පෙනෙන පාට පමණක්‌ ලෝකයේ පවතින්නේ යෑයි ගැනීම කෙතරම් දුරට පිළිගත හැකි ද? බටහිර විද්‍යාඥයන් අතර අපේ ඇස්‌වලට පෙනෙන පාට පමණක්‌ ලෝකයේ ඇතැයි පිළිගන්නා අය වෙත් ද? අප දේදුණු වර්ණ නමින් හඳුන්වන්නේ අපේ ඇස්‌වලට පෙනෙන පාට ය. බටහිර භෞතික විද්‍යාඥයන්ට අනුව අපට පෙනෙන්නේ යම් ආයාම දිග පරාසයක්‌ තුළ ඇති විද්යුත්චුම්බක තරංග ය. ඒ පරාසයෙන් බාහිර ව ඇති ආයාම දිග සහිත විද්යුත් චුම්බක තරංග සාමාන්‍ය මිනිසුන් ගේ ඇස්‌වලට ගෝචර නො වේ.

එවැනි විද්යුත්චුම්බක තරංග ගෝචර වන මිනිසුන් කිහිප දෙනකු නැතැයි එයින් ගම්‍ය නො වේ. ඇතැම් මිනිසුන්ට සාමාන්‍යයෙන් මිනිසුන්ට ගෝචර වන ඇතැම් විද්යුත්චුම්බක තරංග ගෝචර නො වන බව බටහිර විද්‍යාඥයෝ ද කියති. එයින් කියෑවෙන්නේ එවැනි විද්යුත්චුම්බක තරංග ලෝකයේ නො පවතින්නේ යෑයි නො වන බව බටහිර විද්‍යාඥයන් වුව ද පිළිගන්නා බව අපි දනිමු. එසේ නම් මිනිසුන්ට සාමාන්‍යයෙන් ගෝචර නො වන එහෙත් ඇතැම් මිනිසුන්ට ගෝචර වන විද්යුත්චුම්බක තරංග නැතැයි අපට කිව හැකි ද?

පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය මෙසේ සංකීර්ණ වීමට හේතුව බටහිර විද්‍යාඥයන් ඊනියා යථාර්ථයක වාස්‌තවික පැවැත්මක්‌ ගැන විශ්වාස කිරීම ය. බටහිර විද්‍යාඥයන් ගේත්, වාස්‌තවික පැවැත්මක්‌ හෙවත් යථාර්ථයක්‌ ගැන විශ්වාස කරන්නන් ගේත් මූලික ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන් සාමාන්‍ය මිනිසාට, එනම් මිනිසුන්ට සාමාන්‍යයෙන්, ගෝචර වන දේ හා එසේ ගෝචර වන දේ තේරුම් කිරීමේ දී යොදාගන්නා සංකල්ප වාස්‌තවික වශයෙන් පවතින බව පිළිගැනීම ය. අර්නස්‌ට්‌ මාක්‌ විද්වතා පසුව කී සංකල්ප ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ නම්, එනම් සාමාන්‍යයෙන් මිනිසුන්ට ගෝචර නො වන්නේ නම්, ඒවා බටහිර භෞතික විද්‍යාවෙහි යොදා ගැනීමට විරුද්ධ විය.

අර්නස්‌ට්‌ මාක්‌ විද්වතා පිළිගත්තේ ඉන්ද්‍රිය ගෝචර සංකල්පවල පැවැත්ම ය. අඩු ම තරමෙන් ඔහු එවැනි සංකල්ප පමණක්‌ බටහිර භෞතික විද්‍යාවෙහි යොදාගත යුතු බව කීවේ ය. මෙහි දී මූලික ප්‍රශ්නය වන්නේ සාමාන්‍ය මිනිසාට, එනම් මිනිසුන්ට සාමාන්‍යයෙන් ගෝචර වන දේ පමණක්‌ ඇතැයි, පවතින්නේ යෑයි පිළිගන්නේ ඇයි ද යන්න ය. එසේ පිළිගැනීමට විශේෂ හේතුවක්‌ නොමැත. මෙය සාමාන්‍ය මිනිසා අසාමාන්‍ය තත්ත්වයකට පත් කිරීමකි. එය සංස්‌කෘතික ප්‍රශ්නයකි.

එහෙත් බටහිර සංස්‌කෘතියෙහි, එනම් යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි එයට හේතුවක්‌ නැතිවා නො වේ. මාක්‌ විද්වතාට සිංහල බෞද්ධ බලපෑමක්‌ තිබුණ ද එහි යම්කිසි යථාර්ථයක්‌ ගැබ් වී තිබුණේ සිංහලයන් ගේ බුදුදහම බොහෝ කලක සිට තුන්වැනි සංගායනාවේ බුදුදහම බවට පත් වී තිබූ නිසා ද විය හැකි ය. අප විටින් විට කියා ඇති පරිදි තුන්වැනි සංගායනාවේ බුදුදහමට බමුණු මත රිංගා ඇත. ධර්මවාදය, ක්‍ෂණයකට වුව ද ධර්මයක පැවැත්ම ඊනියා යථාර්ථයක්‌ ගැන විශ්වාසයක්‌ ඇති කරයි. මෙරට විසූ යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ බුදුදහමෙහි එවැනි යථාර්ථයක්‌ නො තිබෙන්නට ඇත්තේ ඔවුන් බුදුන් වහන්සේ ගෙන් ම ධර්මය ඇසූ නිසා විය හැකි ය. බුදුන් වහන්සේ දෙසූ බුදුදහමෙහි බමුණු මත නො තිබිණි.

මාක්‌ විද්වතා අනෙක්‌ අතට මුළුමනින් ම බටහිර සංස්‌කෘතියෙන් වෙන් වී යෑයි ද සිතිය නො හැකි ය. ඔහුට දහ නව වැනි විසිවැනි සියවස්‌වල සිංහල බුදුදහමෙහි මෙන් ම යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ද බලපෑම තිබුණා නිසැක ය. බුදුදහමෙහි මිනිසුන් අනෙක්‌ සතුන් ගෙන් වෙන් වන්නේ නිවන් අවබෝධයට හා කුසල් රැස්‌ කිරීමට මිනිස්‌ භවය වඩා රුකුලක්‌ වන නිසා මිස වෙනත් කරුණක්‌ නිසා නො වේ. බුද්ධත්වය ලැබීමට හැක්‌කේ මිනිසකුට පමණකි. ඉනුදු පිරිමියකුට පමණකි.

ඊනියා ස්‌ත්‍රීවාදීන් මේ සම්බන්ධයෙන් කලබල විය යුතු නැත. බුදුදහමට අනුව සංසාරය එක්‌ භවයකට හා ස්‌වර්ගයට හෝ අපායට හෝ පමණක්‌ සීමා වී නැත. ඕනෑ ම ගැහැනියකට ද පිරිමි භවයක්‌ ලබාගත හැකි ය. අප මහ බෝසතාණන් වහන්සේට ද ස්‌ත්‍රී භව තිබී ඇත. මිනිසත් බවක්‌ ලබාගැනීම ඉතා දුර්ලභ ය. අප සංසාරයේ වැඩි කලක්‌ ජීවත් වන්නට ඇත්තේ අමනුෂ්‍යයන් තිරිසන් සතුන් ලෙස ය. එබැවින් මිනිස්‌ නො වන භවයක ජනිත වීම හෝ ස්‌ත්‍රී භවයක්‌ ලැබීම හෝ අපට ප්‍රශ්නයක්‌ නො වේ.

ස්‌ත්‍රීන්ට පමණක්‌ නො ව තිරිසනුන්ට ද අමනුෂ්‍යයනට ද බුදුදහමෙහි පහත් කොට නො සැලකෙයි. එහෙත් මිනිසුන් හා තිරිසනුන් අතර හෝ පිරිමින් හා ගැහැනුන් අතර හෝ වෙනසක්‌ නැතැයි බුදදහමෙහි නො කියෑවෙයි. මිනිසුනට කළ නොහැකි දේ තිරිසනුන්ට කළ හැකි ය. මිනිසුන්ට ගෝචර නො වන ඇතැම් ප්‍රපංච තිරිසන් සතුන්ට ගෝචර වන බව බටහිර විද්‍යාව ද කියයි. ස්‌ත්‍රීන්ට කළ නොහැකි ඇතැම් දේ පිරිමින්ට ද, පිරිමින්ට කළ නොහැකි ඇතැම් දේ ගැහැනුන්ට ද කළ හැකි ය.

අප මේ වෙනස්‌කම් තේරුම් ගත යුතු ය. ඒ වෙනස්‌කම් තිබිය දී ම එකිනෙකාට සැලකීමට, මෛත්‍රී කිරීමට අපට හැකි විය යුතු ය. සියලු තිරිසන් සතුන් මේ දැනට තෙරක්‌ නො පෙනෙන සංසාරයේ කිසියම් භවයක අපේ නෑදෑයකු මිතුරකු ලෙස ජීවත් වන්නට ඇත. අප තිරිසන් සතුන්ට සලකන්නේ එවැනි පසුබිමක පිහිටීමෙනි. තිරිසනුන් යනු අපට සූරා කෑමට, ගසා කෑමට හා අවසානයේ දී මරා කෑමට ඉපදී හෝ මවනු ලැබ ඇති හෝ ජීවීන් යෑයි අපි නො සිතමු.

කුසල් රැස්‌ කිරීම මිනිසුන්ට කළ හැකි දෙයකි. පිරිමින්ට මෙන් ම ගැහැනුන්ට නිවන් අවබෝධ කළ හැකි ය. එහි කිසිදු ප්‍රශ්නයක්‌ නැත. ඊනියා ස්‌ත්‍රීවාදීන්ට කලබල විය යුතු දෙයක්‌ එහි නැත. එහෙත් ගැහැනියකට බුදු විය නො හැකි ය. එය ගැහැනිය පහත් කොට සැලකීමක්‌ නො වේ. ගැහැනියකට කළ නොහැකි වුවත් ප්‍රකාශ කිරීමක්‌ පමණකි. ඊනියා සමානත්වයකට යට වී කළ නොහැකි දෙයක්‌ කළ හැකි යෑයි පැවසීම බොරු කීමකි.

අනෙක්‌ අතට ඕනෑ ම පිරිමියකුට බුදු විය හැකි යෑයි ද මෙයින් නො කියෑවෙයි. පිරිමින්ට පමණක්‌ බුදු වීමට හැකි යෑයි කියමින් පිරිමින් උද්දාමයට පත් විය යුතු නො වේ. එවැනි පිරිමියකුට බුදු වීම නො ව නිවන් අවබෝධය ද ඉතා දුරින් වෙයි. දරුවන් අත්හැරීම ගැහැනියකට අමාරු කටයුත්තකි. බුදු වීමේ දී දරුවන් පමණක්‌ නො ව අත්හැරීම ද අත්හැරිය යුතු ය. නිවන් අවබෝධයේ දී ද ඒ කළ යුතු බව සැබෑ ය. එහෙත් අප බුදු නො වී නිවන් අවබෝධ කරන්නේ වෙනත් අයකු ගේ ධර්මයට සවන් දීමෙනි. අමාරු කාර්යය වනුයේ තමන් විසින් ම ඒ දේ කිරීම ය. මෙහි දී අවධාරණය කළ යුත්තක්‌ නම් තමන් ආදී වශයෙන් මෙහි දී යොදා ගැනෙන්නේ සම්මුති වශයෙන් පමණක්‌ බව ය.

ස්‌ත්‍රියකට බුදු විය නොහැකි බව දැනගැනීමෙන් ස්‌ත්‍රීවාදීන් ලිප්ටන් වටරවුමේ පිකට්‌ටුවක්‌ සංවිධානය කළ යුතු නො වේ. එසේ කිරීමෙන් බුදු වීම නො ව නිවන ද කල් යනු ඇත. සියලු සත්ත්වයා කෙරෙහි පතළා වූ කරුණාවෙන් අන් අය ගේ නිවන් අවබෝධය සඳහා තම නිවන කල් දැමීමක්‌ බුදු වීමෙහි දී සිදු වෙයි. එසේ අනෙක්‌ සත්ත්වයන් වෙනුවෙන් තම නිවන කල් දමා බුදු වීමට අපේක්‍ෂා කරන ගැහැනියකට එය නො කළ හැකි නො වේ. අවශ්‍ය වන්නේ මතු සංසාරයේ පිරිමි භවයක්‌ ලබාගැනීම පමණ ය.

ගැහැනුන්ට බුදු වීමට නොහැකි නිසා කලබලයට පත් වන්නේ සංසාරය මේ භවයට පමණක්‌ හෝ මේ භවයට හා ස්‌වර්ගයට හෝ අපායට හෝ පමණක්‌ හෝ සීමා කරන ගැහැනුන් හා පිරිමින් ය. ඔවුහු පැහැදිලිව ම වෙනත් සංස්‌කෘතියක ජීවත් වෙති. මේ සංස්‌කෘතියක වෙනස තේරුම් නො ගන්නේ ද ඊනියා යථාර්ථයක්‌ ඇතැයි කියන එයින් ද නො නැවතී බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ ආධිපත්‍යය පිළිගන්නා නිවටයන් හා අනුකාරක පුස්‌සන් ය. ඔවුන් ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණ කරන්නේ ද අනුකාරකයන් ලෙස ය.

ඊනියා යථාර්ථය පිළිබඳ ප්‍රශ්නය මුළුමනින් ම සංස්‌කෘතික ප්‍රශ්නයකි. අපට යථාර්ථය ලෙස දැකීමට පුරුදු කෙරී ඇත්තේ ඊනියා සාමාන්‍ය මිනිසාට ගෝචර වන ප්‍රපංච හා ඒ ප්‍රපංච විස්‌තර කිරීමට බටහිරයන් විසින් නිර්මාණය කරනු ලැබ ඇති සංකල්ප ය. අප කලින් කී පරිදි මෙය එක්‌ පැත්තකින් ඊනියා සාමාන්‍ය මිනිසාට විශේෂත්වයක්‌ ආරෝපණය කිරීමකි. අනෙක්‌ පැත්තෙන් බටහිර දැනුමට ද විශේෂත්වයක්‌ ආරෝපණය කිරීමකි.

මිනිසාට විශේෂත්වයක්‌ ආරෝපණය කෙරෙන්නේ ද යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ය. යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට අනුව දෙවියන් වහන්සේ සියලු සත්ත්වයන් මැවීමෙන් පසු තම ප්‍රතිබිම්බයෙහි, එනම් තමන්ගේ ස්‌වරූපයෙන් ම පිරිමියා මවා පිරිමියා ගේ ඉළ ඇටයකින් ගැහැනිය මවා ඒ ගැහැනිය ද සත්ත්වයන් ඇතුළු සමස්‌ත ලෝකය ම ද පිරිමියා ගේ ආධිපත්‍යයට යට කළේ ය. ඊනියා පුරුෂොත්තමවාදයෙහි මුල ඇත්තේ එතැන ය. එපමණක්‌ නො ව මිනිසා එලෙස විශේෂත්වයකට පත් කිරීමෙන් මිනිසා ගේ, එනම් ඊනියා සාමාන්‍ය මිනිසුන් ගේ දැනුම ද විශේෂත්වයකට පත් කළේ ය.

සාමාන්‍ය මිනිසා මවා ඇත්තේ දෙවියන් වහන්සේ ගේ ප්‍රතිබිම්බයෙහි බැවින් හා දෙවියන් වහන්සේට ඊනියා යථාර්ථයක්‌ ගෝචර වන බැවින් සාමාන්‍ය මිනිසා යෑයි කියෑවෙන තැනැත්තාට ද යථාර්ථය ගෝචර වේ ය යන්න ඊනියා වාස්‌තවික දැනුමෙහි පසුබිමෙහි ඇත. සාමාන්‍ය මිනිසුන්ට ගෝචර වන සංසිද්ධි යථාර්ථය ලෙස පිළිගැනීමට බටහිරයන් යොමු වී ඇත්තේ ද එබැවිනි. එහෙත් එහි ප්‍රශ්නයක්‌ වෙයි. මේ සාමාන්‍ය මිනිසා කිනම් සංස්‌කෘතියක ජීවත් වන අයකු ද?

ලෝකයේ ජීවත් වන මිනිසුන් ගේ අවයව බොහෝ සෙයින් සමාන වූ නිසා ම මිනිසුන්ට ගෝචර වන ප්‍රපංච එක සමාන නො වේ. එයට හේතුව අපට ගෝචර වීමට ලෝකයක්‌ නොමැති වීම ය. එසේ ගෝචර වීමට ලෝකයක්‌ ඇතැයි යනුවෙන් ගැනීම ම ඊනියා යථාර්ථයක පැවැත්ම පිළිගැනීමක්‌ වෙයි. එහි දී කියෑවෙන්නේ සංජානන සංකල්පවලින් ස්‌වායත්ත බව ය. බටහිර දාර්ශනිකයෝ ඒ බව උපකල්පනය කරති. සංකල්පවලින් තොරව සංජානන ඇතැයි ඔවුහු විශ්වාස කරති.

බර්ට්‍රන්ඩ් රසල් නම් සුප්‍රසිද්ධ බටහිර දාර්ශනිකයා නිල් බව (bluishness) යන්න හුදු සංජානනයක්‌ ලෙස සලකයි. එහෙත් නිල් බව යන්න නිල් නමැති සංකල්පයෙන් තොර ව ඇති වන්නක්‌ නො වේ. කිසි ම සංජානනයක්‌ සංකල්පයකින් තොර ව ඇති නො වේ. සංකල්ප ඇති වන්නේ යම් සංස්‌කෘතියක ය. ඒ ඒ සංස්‌කෘතීන්වල ජීවත් වන්නන්aට විවිධ සංකල්ප ඇත. මේ පිළිබඳ අප බොහෝ දේ සාකච්ඡා කර ඇති බැවින් නැවත නැවතත් ඒ විස්‌තර කිරීම අනවශ්‍ය වෙයි. උදාහරණයක්‌ ලෙස මදර් යන්න අම්මා යන්නෙහි හුදු පරිවර්තනයක්‌ ලෙස නො සැලකිය හැකි බවත් ඒ සංකල්ප දෙකක්‌ බවත් අප පෙන්වා දී ඇත. අපට ගෝචර වන ලෝකය යෑයි කියන්න සංකල්පවලින් ස්‌වායත්ත නො වේ. ඒ නිසා ම සංකල්පවලින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ නැත. ලෝකය අප විසින් සංකල්ප යොදා ගනිමින් නිර්මාණය කෙරෙයි. එබැවින් අපට ගෝචර වන ලෝකය ද අපේ නිර්මාණයකි. එහි ඊනියා වාස්‌තවිකත්වයක්‌ නැත.

නලින් ද සිල්වා