logo3.gif (702 bytes)

HOME


ඇස්‌ පෙනෙන්නෝ හා නො පෙනෙන්නෝ

අප මෙහි දී අදෘශ්‍යමාන යන්නෙන් අදහස්‌ කරන්නේ ඇසට නො පෙනෙන දේ පමණක්‌ නො වේ. මිනිසුන් ගේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වන සියල්ල අදෘශ්‍යමාන ලෙස අපි සලකමු. අදෘශ්‍යමාන යන්නෙහි වචනාර්ථය පමණක්‌ අපි නො සලකමු. අපට මෙහි දී වැදගත් වන්නේ ඉන්ද්‍රිය ගෝචර නො වන දේ පවතින්නේ ද යන්න ය. එහෙත් අප අවධාරණය කළ යුතු දෙයක්‌ වෙයි. ඒ පවතින්නේ ය යන්න ද අපේ නිර්මාණයක්‌ සංකල්පයක්‌ පමණක්‌ බව ය. සියලු සංකල්ප ශූන්‍ය වෙයි. සංකල්පීය දැනුම ශූන්‍ය වෙයි. ඒ අපේ නිර්මාණ පමණකි.

ඒ අර්ථයෙන් ගත් කල අදෘශ්‍යමානය පමණක්‌ නො ව දෘශ්‍යමානය ද නො පවතියි. ඒ සියල්ල පවතින්නේ අපේ සංකල්පීය ලෝකයෙහි පමණ ය. එහෙත් සංකල්පීය ලෝකය අනිත්‍ය ය, දුක්‌ඛ ය, අනාත්ම ය, ශූන්‍ය ය. පුටුව යන්න පවතින්නේ සංකල්පීය ව පමණ ය. එය පරමාර්ථ වශයෙන් නො පවතී යෑයි කීමට මම අකැමැත්තෙමි. සියල්ල පවතින්නේ සම්මුති වශයෙන් පමණකි. ඇතැමුන්ට අනුව නිවන පරමාර්ථ සත්‍යයකි. මම ද කලක්‌ ඒ එසේ යෑයි විශ්වාස කළෙමි. නිවන පරමාර්ථ වශයෙන් සත්‍යයක්‌ යෑයි ගත්ත ද නිවන පවතින්නේ යෑයි කියන්නෝ වෙත් ද?

අවාසනාවකට එසේ සිත්නනෝ වෙති. ඇතැමුන්ට අනුව නිවන යනු සත්ත්වයන්ට සදාකාලික ව පැවතිය (ජීවත් විය) හැකි වූවකි. එහෙත් නිවන අවබෝධ කළ තැනැත්තා නැවත නූපදියි. එසේ නිවන් අවබෝධ කරගන්නා තැනැත්තකු ද නැති වුවත් සම්මුති වශයෙන් ඇති තැනැත්තා නිවන් අවබෝධයෙන් පසු නැවත භවයක ජාතියක්‌, ජන්මයක්‌ නො ලබයි. නිවන් අවබෝධය යනු චුති චිත්තයෙන් පසුව වෙනත් චිත්ත ඇති වීම නැවැත්වීම ය. මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණක්‌ නම් චිත්තය යන්න ද අපේ සංකල්පයක්‌ බව ය.

චුති චිත්තය නිවන් අවබෝධයත් සම`ග ඇති වීම අනිවාර්ය නො වන බැවින් නිවන් අවබෝධයත් සම`ග පරිනිර්වාණය සිදු වීම අනිවාර්ය නො වේ. එබැවින් බුදුන් වහන්සේ ද රහතන් වහන්සේ ද නිවන් අවබෝධයෙන් පසුව ද යම් කාලයක්‌ ජීවත් වෙති. ඒ කාලයෙහි උන්වහන්සේට ක්‍රියා සිත් ජනිත වෙයි. අවශ්‍ය වූ විටෙක නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි ය. ඒ කුමක්‌ වුවත් නිවන යනුවෙන් තැනක්‌ නැත. නිවන් යැමෙන් (අවබෝධයෙන්) අප යන තැනක්‌ ගැන නො කියෑවෙයි.

අපට ඇත්තේ සම්මුති සත්‍ය ය. ඒ සම්මුති සත්‍ය පවතින්නේ සම්මුති වශයෙන් පමණකි. අප පුටුවක්‌ ඇතැයි කියන්නේ සම්මුතියෙනි. අප දන්නා සියල්ල සම්මුති වශයෙන් පමණක්‌ සත්‍ය වන අතර සම්මුති වශයෙන් පමණක්‌ පවතියි. දෘශ්‍යමානය යනු සම්මුති වශයෙන් පවතින දෙයින් කොටසක්‌ පමණක්‌ වෙයි. වෙනත් වචනවලින් කිව හොත් දෘශ්‍යමානය යනු සම්මුති වශයෙන් පවත්නා දේවල කුලකයේ උප කුලකයක්‌ පමණකි.

දෘශ්‍යමානය යනුවෙන් ගන්නා දේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වෙයි. අදෘශ්‍යමානය යනුවෙන් ගන්නා දේ අප බොහෝ දෙනකු ගේ ඉන්ද්‍රියවලට ගෝචර නො වෙයි. එහෙත් ඇතැමුනට අප ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ යෑයි කියන දේ මනේන්ද්‍රියට දැනෙයි. අපේ මනස්‌වලට ඒ හසු නො වන බැවින් අපි එසේ මනේන්ද්‍රියන්ට ගෝචර වන දේ ඇතැයි, පවතින්නේ යෑයි නො පිළිගනිමු. වෙනත් අයට එසේ ඇතැම් දේ මනේන්ද්‍රියට ගෝචර වන්නේ යෑයි කියන්නේ ඔවුන් ගේ මනසේ ඇති වන භ්‍රාන්තියක්‌ නිසා යෑයි අපි කියමු.

එය අන්ධ මනුෂ්‍යයකු අපට කිසිවක්‌ නො පෙනෙන්නේ යෑයි කීමට සමාන ය. එවැන්නකු කියනු ඇත්තේ ඊනියා පෙනෙන දේ ඇතැමුන් ගේ භ්‍රාන්තියක්‌ පමණක්‌ බව ය. කිසිවක්‌ නො පෙනෙන ලෝකයක ඇතැම් දේ පෙනෙන්නේ යෑයි කීම භ්‍රාන්තියක්‌ නො වන්නේ ද? එහෙත් අන්ධ මනුෂ්‍යයෝ එසේ නො කියති. එයට හේතුව අති විශාල බහුතරයක්‌ පෙනෙන දේ ඇතැයි කීම ය. යම් හෙයකින් අන්ධ මනුෂ්‍යයන් ගේ සංඛ්‍යාව අති විශාල වී නම් හා පෙනෙන අය ගේ සංඛ්‍යාව ඉතා ම සුළුතරයක්‌ වී නම් සමාජයෙහි ඒ සුළුතරය ගැන කිනම් මතයක්‌ ඇති වීමට ඉඩ තිබිණි ද?

බහුතරය යන්න ද බොහෝ විට සමාජ බලයක්‌ වෙයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ එලෙස බහුතරය සමාජ බලයක්‌ ලෙස ගැනීමෙනි. අඩු ම තරමෙන් එසේ ගන්නා බවට මතයක්‌ ඇති කිරීමෙනි. බහුතරය සමාජ බලයක්‌ විය යුත්තේ අසන පිරිස්‌ නැතිවා නො වේ. අද මෙරට ඇතැමුන් අසන ප්‍රශ්නයක්‌ නම් බහුතරය සිංහල වූ නිසා සිංහලයන් ගේ මතය සමාජයට බලයෙන් පිළිගැන්විය යුතු ද යන්න ය. එසේ විය යුතු නො වේ. බහුතර මතය ගලා එන්නේ කිනම් සාධක මත ද යන්න එහි දී සාකච්ඡා කළ යුතු ප්‍රශ්නය වෙයි.

කෙසේ වුවත් එහි තවත් පැත්තක්‌ ද වෙයි. අප සමාජය මත සුළුතරයේ මතය බලයෙන් පැටවිය යුතු ද? එහි දී විදේශීය රටවල සහාය ලබා ගැනීම කෙසේ යුක්‌තියුක්‌ත කරන්නේ ද? එසේත් නැත්නම් විදේශීය රටවල් තම මතය බහුතරය මත පැටවීමට සුළුතරය යොදා ගන්නේ ද? විදේශීය රටවල දේශපාලන හා ආර්ථික ශක්‌තිය යොදාගැනීම යුක්‌තියුක්‌ත කළ හැකි ද? අද ලංකාවේ සිදු වන්නේ එවැන්නකි. විදේශික බලවේග සිංහල බහුතරය මත තම මතය පැටවීමට දෙමළ සුළුතරය යොදාගනියි. එය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට වුව ද එක`ග නො වන මුත් අද මෙරට සිදු වන්නේ ඒ ක්‍රියාදාමය ය. එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව තම මතය සිංහලයන් මත පැටවීමට දෙමළ හා මුස්‌ලිම් සුළුතරය යොදා ගැනීමට උත්සාහ කරයිs.

කෙසේ වෙතත් ඇස්‌ නො පෙනෙන්නන් ගේ ලෝකයක ජීවත් වන ඇස්‌ පෙනෙන්නන් සුළුතරයකට මුහුණ පෑමට සිදු වන ගැටලු සිතාගත හැකි ය. ඇස්‌ පෙනෙන සුළුතරයට විදේශීය සහායක්‌ නො ලැබුණ හොත් (ඔවුන්ට ඇස්‌ පෙනෙන්නේ ද නැත් ද යන්න ප්‍රශ්නයක්‌ නො වේ) ඔවුන් මානසික වශයෙන් ප්‍රශ්න ඇති අය, විකාර කියවන්නන් ආදීන් වශයෙන් හැඳින්වෙනු ඇත. එලෙස ම මිනිසුන් ගේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන දේ ගෝචර වන්නේ යෑයි පවසන සුළුතරය පංචෙන්ද්‍රියට ගෝචර වන දේ පමණක්‌ පවතින්නේ යෑයි කියන ලෝකයක මානසික රෝගීන් ලෙස හඳුන්වනු ලැබීම බලාපොරොත්තු විය යුත්තකි.

පංචෙන්ද්‍රියයන්ට ගෝචර වීම යනු හුදෙක්‌ අවයව පහට ගොදුරු වීමක්‌ නො වන බව අවධාරණය කළ යුතු ය. ඉන්ද්‍රියයක්‌ යනු අවයවයකට වැඩි දෙයකි. ඉන්ද්‍රියයක්‌ ඇති වන්නේ අදාළ අවයව මනස සමග එකතු වීමෙනි. මනස නොමැති ව කිසි ම ඉන්ද්‍රියයක්‌ නැත. මෘත ශරීරයකට ද අවයව පහ ඇත. එහෙත් මෘත ශරීරයකට පචෙන්ද්‍රිය නො වේ. මෙහි දී සැලකිය යුත්තක්‌ නම් බටහිර විද්‍යාව කුමක්‌ කීව ද සිංහල බෞද්ධයනට මනස යන්න ද ඉන්ද්‍රියයක්‌ බව ය. එහෙත් මනස නම් ඉන්ද්‍රිය සමග බද්ධ වූ අවයවයක්‌ නැති බව අප කලකට පෙර සඳහන් කර ඇත.

මනස හදවත සමග හෝ මොළය සමග හෝ බද්ධ වී නැත. මනස ඇත්තේ හදවතෙහි යෑයි කිව හැකි නො වේ. එමෙන් ම මනස මොළයට ඌනනය කළ හැක්‌කක්‌ ද නො වේ. මනස යන ඉන්ද්‍රියයට පැවතීමට (සම්මුති වශයෙන් බව නිතර ම කිව යුතු නො වේ. එහෙත් වරදවා තේරුම් ගැනීම වැළැක්‌වීම සඳහා ඒ බව විටින් විට කිව යුතු වෙයි) අවයවයක්‌ අවශ්‍ය නො වේ. නො එසේ නම් සිත මිස කය නැති බඹ ලොවක්‌ තිබිය නො හැකි ය. (එය තර්කයක්‌ නො වන බව ද මම දනිමි. එයට හේතුව අප අති විශාල බහුතරයකට බඹ ලොව පැවැත්ම ගැන කිසි ම දැනුමක්‌ හෝ විශ්වාසයක්‌ හෝ නැති බැවිනි).

එහෙත් මනසක පැවැත්ම ගැන අපට අවබෝධයක්‌ ඇත. ඒ අවබෝධය ලැබෙන්නේ ප්‍රායෝගිකව ය. එහි දී ද අප යොදාගන්නේ ජීවත් වන්නකු හා මෘත ශරීරයක්‌ අතර ඇති වෙනස ය. නරක්‌ නො වුණු මෘත ශරීරයක මොළය ද ඇතුළු සියලු අවයව වෙයි. එහෙත් මෘත ශරීරයට කිසිවක්‌ නො දැනෙයි. මෘත ශරීරයක්‌ හා ජීවත් වන්නකු අතර ඇති වෙනස ද එයයි. සිහි නැති පුද්ගලයකුට කිසිවක්‌ නො දැනෙන්නේ යෑයි කිසිවකු කියනු ඇත. සිහි නැති පුද්ගලයකු සහ මෘත ශරීරයක අතර ඇති වෙනස කුමක්‌ ද?

බටහිර වෛද්‍ය විද්‍යාව එයට කියනු ඇත්තේ සිහි නැති පුද්ගලයකු ගේ හදවත හා මනස ක්‍රියා කරන බව ය. හදවත ක්‍රියා නො කළත් මනස ක්‍රියා කරන බව ය. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව මිය යැම යනු මොළය මිය යැම ය. මෙහි දී මිය යැම යන වචනය යොදාගැනීම තරමක ප්‍රශ්නයකි. මොළය මිය යැම යනු මොළය අක්‍රීය වීම විය හැකි ය. මෙයින් කියෑවෙන්නේ මනස යනුවෙන් සංකල්පයක්‌ නො යොදාගෙන මිය යැම තේරුම් ගත හැකි ය යන්න ය. වෙනත් වචනවලින් කියන්නේ නම් මනස යනු මොළයේ ක්‍රියාකාරිත්වය හෝ එසේ ක්‍රියාකාරී වීමේ ප්‍රතිඵලයක්‌ හෝ වෙයි.

එය එසේ යෑයි පිළිගත්ත ද පංචෙන්ද්‍රියයන් ගේ ක්‍රියාකාරිත්වය අවශ්‍ය වෙයි. අදාළ අවයවවල ක්‍රියාකාරිත්වය මොළයේ ක්‍රියාකාරිත්වය මත පදනම් වෙයි. මොළයේ ක්‍රියාකාරිත්වය නොමැති ව ඇස කණ ආදී අවයවවලට ක්‍රියාකාරිත්වයක්‌ නැත. එහෙත් මොළය යනු ද අවයවයකි. එසේ නම් මොළය හා වෙනත් අවයවයක්‌ අතර ඇති වෙනස කුමක්‌ ද? මොළයට එතරම් විශේෂත්වයක්‌ අත් වන්නේ ඇයි? අනෙක්‌ අවයවයකට මොළයේ ක්‍රියාකාරිත්වය නොමැති ව ක්‍රියාකාරී වීමට නොහැකි වූවත් වෙනත් කිසි ම අවයවයක ක්‍රියාකාරිත්වය නොමැති ව මොළයට ක්‍රියාකාරී විය හැක්‌කේ කෙසේ ද ?

මෙහි දී පැනන`ගින ප්‍රශ්න දෙකක්‌ වෙයි. මොළය නම් අවයවය ඇති සියලු සතුන්ට මනසක්‌ වේ ද ? එසේත් නැත්නම් මනස යන වචනය යොදාගැනීමට අකැමැත්තක්‌ වේ නම් මොළය ඇති සියලු සතුන් ගේ මොළයේ ක්‍රියාකාරිත්වය හා මිනිසුන් ගේ මොළයේ ක්‍රියාකාරිත්වය අතර වෙනසක්‌ නැත් ද? අනෙක්‌ සතුන් ගේ ද මොළය හැරෙන්නට අනෙක්‌ අවයවවල ක්‍රියාකාරිත්වය මොළයේ ක්‍රියාකාරිත්වය හා බැඳී ඇත් ද? මනස යනුවෙන් කුමක්‌ කියෑවෙන්aනේ ද යන්න පිළිබඳ නිශ්චිත අවබෝධයක්‌ නොමැති ව වුව ද මෑතක්‌ වන තුරු ම බටහිර විද්‍යාව කියා සිටියේ මිනිසුනට හැරෙන්නට අනෙක්‌ සතුන්ට මනසක්‌ නැති බව ය.

එහෙත් දැන් දැන් මේ මතය වෙනස්‌ වනු දැකිය හැකි ය. සුපුරුදු පරිදි බටහිර විද්‍යාවේ එක්‌ ප්‍රවාදයක්‌ වෙනුවට වෙනත් ප්‍රවාදයක්‌ ආදේශ වෙයි. මිනිසුන් නො වන සතුන්ට මනස්‌ නැතැයි කී බටහිර විද්‍යාඥයන් ගෙන් කිහිප දෙනකු සතුන් ගෙන් කිහිප දෙනකුට වුවත් මනසක්‌ ඇතැයි කීම එතරම් ම පුදුමයට කරුණක්‌ නො වේ. එහෙත් මේ බටහිර විද්‍යාඥයන් කිහිප දෙනා මනස යනුවෙන් හඳුන්වන්නේ කුමක්‌ දැයි අපි නො දනිමු. එය බටහිර වෛද්‍ය විද්‍යාඥයන් කියන මොළය ද? එසේත් නැත්නම් වෙනත් කිසිවක්‌ ද? එය අවයවයක්‌ සම`ග බැඳී ඇත් ද?

අනෙක්‌ ප්‍රශ්නය වනුයේ මොළයක්‌ යනුවෙන් කිව හැකි අවයවයක්‌ නැති සතුන්ට මනසක්‌ නැත් ද යන්න ය. මනසක්‌ නැත්නම් මේ ජීවීන් සංසාර ගමනක නො යෙදෙන්නේ ද? ඔවුන්ට මීළ`ග භවයක්‌ නැත් ද? බුදුදහමෙහි සියලු සතුන් යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ කවුරුන් ද? ඒ සතුන්ට මනසක්‌ ඇත් ද? නැත් ද ? මේ ප්‍රශ්න පිළිබඳව බටහිර විද්‍යාව ද බුදුදහම ද විශ්වාස කරන අය කියන්නේ කුමක්‌ ද? ඔවුන්ට සංගත පිළිතුරු දිය හැකි ද?

නලින් ද සිල්වා