logo3.gif (702 bytes)

HOME


බටහිර විද්‍යාව හා අදෘශ්‍යමානය

බටහිර විද්‍යාව ප්‍රවාද නිර්මාණය මත

රැඳෙයි. එහි ප්‍රවාද හෙවත් කතන්දර වෙනත් කතන්දරවලින් ප්‍රතික්‍ෂෙප වෙයි. මේ කතන්දර වියුක්‌ත ය. ඒවා ඉන්ද්‍රිය ගෝචර නො වේ. පොතක පතක තිබුණත් ගුරුවරුන් කීවත් පට්‌ටපල් බොරු වූ මේ කතන්දර එක්‌ කාලයක දී බටහිරයන් විසින් ද ඔවුන් අනුකරණය කරන අනෙක්‌ අය විසින් ද පිළිගැනෙයි. එහෙත් පසුව ඔවුන් විසින් ම ඒ ප්‍රතික්‍ෂෙප කෙරෙයි. එය හා කාළාම සූත්‍රයෙහි දැක්‌වෙන ආකල්පය අතර කිසි ම සමානත්වයක්‌ නැත. ඒ ගැන තවදුරටත් කතා කිරීමට පෙර බටහිර විද්‍යාවේ ප්‍රවාද, අපේ ප්‍රවාද හා අපේ දැනුම් නිර්මාණය පිළිබඳ යමක්‌ කිව යුතු ව ඇත.

අපේ ප්‍රවාද ලිපි පෙළ ලියන්නේ කරුණු දෙකක්‌ හේතු කොටගෙන ය. පළමුවෙන් ම ප්‍රවාද යනු කවරේ දැයි පාඨකයනට දැනගැනීමට සැලැස්‌වීමට ය. දෙවනුව අපේ ප්‍රවාද නිර්මාණය කිරීමට අඩු ම තරමෙන් අනාගත පරම්පරාවවත් උනන්දු කිරීමට ය. එහෙත් ඒ කරුණු දෙකින් එකක්‌ වත් ස්‌ථිතිකව පවත්නා දේ නො වේ. ඒ කරුණු දෙක ද නිරන්තරයෙන් වෙනස්‌ වෙයි. මෙහි පහත සඳහන් වන්නේ අප ඒ පිළිබඳ ව අද දරන මතය ය. එය කලින් දැරූ මතයේ වර්ධනයක්‌ පමණකි. මෙහි දී මතක තබාගත යුත්තක්‌ නම් එය වර්ධනය වන්නේ එක්‌ දිශාවකට බව ය. වරක්‌ එක්‌ දිශාවකටත් තවත් වරෙක එයට ප්‍රතිවිරුද්ධ දිශාවකටත් වර්ධනය වනු මෙහි දක්‌නට නො ලැබෙයි. වර්ධනය සිදු වන්නේ නිශ්චිත තේමාවක ය.

ප්‍රවාද යනු බටහිර වියුක්‌ත දැනුම් ය. වියුක්‌ත ප්‍රවාද හෙවත් වියුක්‌ත කතන්දර ගෙතීම ලෝකයාට කියා දුන්නේ ගැලීලියෝ ය. ඔහු එය එකල දකුණු යුරෝපයේ යම් ප්‍රමාණයකට වර්ධනය වී තිබූ ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය මත පදනම් වෙමින් සිදු කළේ ය. එයට පෙර වෛදික බමුණෝ ද ප්‍රවාද ගොතා තිබුණ හ. එහෙත් ඒ ප්‍රවාද බටහිරයන් ගේ ප්‍රවාද තරමට වියුක්‌ත නො වී ය. ඒ ඉතා වැඩි වශයෙන් සංයුක්‌ත ප්‍රවාද හෙවත් කතන්දර විය.

අද ලෝකයේ දැනුම් ආධිපත්‍යය බටහිරයන් සතු ය. අපට ඔවුන් ගෙන් නිදහස්‌ වීමට නම් අපේ දැනුම් පද්ධතියක්‌ තිබිය යුතු ය. එමෙන් ම අපට ඔවුන් ගේ දැනුම් පද්ධතිය, විශේෂයෙන් ම සමාජීය විද්‍යාවන්හි දී සුනු විසුනු කර දැමීමට හැකි විය යුතු ය. බටහිර සමාජයීය විද්‍යාවන් යනු බටහිර භෞතීය විද්‍යාවන් පිටුපස නොන්ඩි ගසමින් යන දැනුම් පද්ධතියක්‌ පමණකි. එයින් විශේෂයෙන් ම ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව යොදා ගැනෙන්නේ අප වැනි රටවල් බටහිරයන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීම සඳහා ය. සාහිත්‍යය ආදී මානව ශාස්‌ත්‍ර යනුවෙන් හැඳින්වෙන විෂයවල ද මේ කාර්යය සිදු වෙයි.

බටහිර විද්‍යාවේ ප්‍රවාද යනු පට්‌ටපල් බොරු බව අපි දැන් දනිමු. කලකට පෙර අපට මේ දැනුම නො තිබිණි. කෙසේ වෙතත් බටහිර විද්‍යාව අනුව යමින් අපේ ප්‍රවාද නිර්මාණය කර බටහිර දැනුමේ ප්‍රවාද පරාජය කිරීම එකල අපේ වෑයම විය. අප එකල කළේ සිංහල බෞද්ධ චින්තනයෙහි යම් ආකාරයක වියුක්‌ත ප්‍රවාද නිර්මාණය කිරීමට සිංහලයන් උනන්දු කරවීම ය. එහෙත් එහි යම් ගැටලුවක්‌ විය. සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්‌තය ඇත්තේ ඉතා අඩුවෙනි. එය නැත්තේ නැති තරම් ය.

මෙරට හරිහමන් බටහිර විද්‍යාඥයකු හෝ බටහිර ගණිතඥයකු හෝ බිහි වී නැත්තේ එබැවිනි. අප බොහෝ අවස්‌ථාවල ප්‍රකාශ කර ඇති පරිදි බටහිර විද්‍යාව හෝ බටහිර ගණිතය ඉගෙනීම එතරම් ප්‍රශ්නයක්‌ නො වේ. එසේ ඉගෙනගත් අය, ඇතැම් විට උපාධි පරීක්‍ෂණයේ එතරම් උසස්‌ සාමර්ථ්‍යයක්‌ නැති ව වුව ද ජනප්‍රිය පොතපත කියවා වියුක්‌ත බටහිර ගණිතය ගැන හෝ වියුක්‌ත බටහිර විද්‍යාව ගැන හෝ යම් අවබෝධයක්‌ ලබාගෙන ඇති අය වියුක්‌තය වෙනුවෙන් කියති, ලියති. එහෙත් ඔවුන්ට බටහිර වියුක්‌ත විද්‍යාවේ හෝ බටහිර ගණිතයේ හෝ වියුක්‌ත ප්‍රවාද නිර්මාණය කිරීමට තබා බොහෝ අයට මෙන් නො ව උපාධි පරික්‍ෂණයෙහි දී උසස්‌ පංති සාමර්ථ්‍යයක්‌ ලබාගැනීමට වත් නො හැකි ය.

වියුක්‌ත ප්‍රවාද නිර්මාණය කරමින් දැනුම එකතු කිරීම අපේ ක්‍රමයක්‌ නො වේ. අපට එසේ කිරීමට සිදු වූයේ අප පෙළන බටහිර ප්‍රවාද පරාජය කිරීමට කලකට පෙර අපට වෙනත් ක්‍රමයක්‌ නො තිබූ බැවිනි. සුළුවෙන් අනුගමනය කළ හැකි මේ ක්‍රමය එතරම් සාර්ථක නො වන බව පැහැදිලි ය. එහෙත් ජීවිතයේ වියුක්‌ත ප්‍රවාදයක්‌ සංකල්පයක්‌ ගොඩනඟනු තබා උසස්‌ පෙළ පරීක්‍ෂණය වත් හරිහැටි සමර්ථ වීමට නොහැකි වී ඇති අය වියුක්‌ත ප්‍රවාද නිර්මාණය කිරීම වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කරති. ඔවුනට දැනුම ලබාගැනීමේ වෙනත් ක්‍රම ඇති බවක්‌ වත් නො හැඟෙයි.

මා මෙහි දී උසස්‌ පෙළ හරිහැටි සමර්ථ වීමට නොහැකි වී ඇති අය ගැන සඳහන් කරන්නේ ඔවුන්ට කරන අගෞරවයක්‌ ලෙස නො වේ. බටහිර වියුක්‌ත අධ්‍යාපනයට අප වැඩි වශයෙන් යොමු කෙරෙන්නේ උසස්‌ පෙළ පංතියේ දී ය. කිනම් විෂයකින් වුවත් උසස්‌ පෙළ පංතියේ දී ලබා දෙන අධ්‍යාපනය තරමක්‌ වියුක්‌ත ය. උසස්‌ පෙළ පරීක්‍ෂණයෙන් සමත් වීමට තරමකට වියුක්‌ත ව සිතීමේ හැකියාවක්‌ තිබිය යුතු ය. ඒ හැකියාව නොමැති ව වුව ද කටපාඩම් කිරීමෙන් (ස්‌මරණ ශක්‌තියේ ආධාරයෙන්) උසස්‌ පෙළ සමත් වන්නෝ ද සිටිති. සාධාරණ වශයෙන් උසස්‌ පෙළ පරීක්‍ෂණය අසමත් වන්නේ බොහෝ විට වියුක්‌ත ව සිතීමට එතරම් හැකියාවක්‌ නැති අය ය. (සැම විෂයකින් ම එක ම මට්‌ටමේ වියුක්‌ත ව සිතිමේ හැකියාවක්‌ අපේක්‍ෂා කරන්නේ යෑයි නො සිතිය යුතු ය. සාහිත්‍යයට වඩා ගණිතයේ දී වියුක්‌ත ව සිතීමේ වැඩි හැකියාවක්‌ අවශ්‍ය වෙයි).

අපට කලකට පෙර පැහැදිලි වූයේ මෙරට දැනුම නිර්මාණය කිරීම ආධ්‍යාත්මික ව සිදු වී ඇති බව ය. සෘජු ව හෝ වක්‍ර ව හෝ ආධ්‍යාත්මික ව දැනුම නිර්මාණය කිරීම සිංහල බෞද්ධ චින්තනයට එකඟ වෙයි. අද අපි එතරම් නුහුරු වුව ද තරමක පරස්‌පරයක්‌ වුව ද සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්‌ත ප්‍රවාද නිර්මාණය කරන අතර ම හැකියාවක්‌ ඇති පුද්ගලයන් ම`ගින් ආධ්‍යාත්මික ව ද දැනුම ලබාගැනීමට උත්සාහ කරමු. එයට ඇතැම්හු විරුද්ධ වෙති. එසේ වන්නේ අදෘශ්‍යමාන බලවේග ගැන ඔවුන්ට විශ්වාසයක්‌ නොමැති බැවිනි.

ඒ අවිශ්වාසය ගැන අපට එතරම් ප්‍රශ්නයක්‌ නැත. තම පංචෙන්ද්‍රියට ගෝචර වන ලෝකය හැරෙන්නට වෙනත් ලෝකයක්‌ නිර්මාණය කරගැනීමට නොහැකි යෑයි ඔවුහු සිතති. මෙය තරම් මෝඩකමක්‌, උච්ධච්ඡකමක්‌ තවත් නැත. ඇතැම් සතුනට ගෝචර වන බොහොමයක්‌ දේ අපට ගෝචර නො වේ. අපේ ලෝක නිර්මාණය වන්නේ අපේ ඉන්ද්‍රිය පද්ධතිය මත පදනම් වෙමිනි. එහෙත් නිර්මාණය කළ හැක්‌කේ ඒ ලෝක පමණක්‌ ය යන්න මානව කේන්ද්‍රීය උද්ධච්ඡකමක්‌ මිස වෙනත් දෙයක්‌ නො වේ. අපට දැන් තිබෙන ඉන්ද්‍රිය පහ වෙනුවට හෝ එයින් කිහිපයක්‌ සමග හෝ වෙනත් ඉන්ද්‍රිය තිබිණි නම් අප නිර්මාණය කරන ලෝකය කෙබඳු විය හැකි ද?

බල්ලන් ගේ හෝ පක්‍ෂීන් ගේ හෝ වෙනත් සතුන් ගේ හෝ ලෝක ගැන අපට කිව හැක්‌කේ කුමක්‌ ද? අප ඉන්ද්‍රිය ගෝචර නො වන අත්දැකීම් නැත යනුවෙන් තීරණය කරන්නේ සියල්ලන් ම අප දකින අයුරින් ලෝක නිර්මාණය කළ යුතු බවත් අපේ ලෝක හැරෙන්නට වෙනත් ලෝක නැති බවත් නිගමනය කරමිනි. මෙය බටහිරයන් ගේ ආකල්පයකි. ඔවුහු අප වැනි බටහිර නො වන මිනිසුන්ට ද වෙනත් සතුන්ට ද ඔවුන් ගේ ලෝක පමණක්‌ නිර්මාණය කිරීමට කියති. අපි ද ඔවුන් අනුකරණය කරමින් පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වන ලෝක නැතැයි කියමු.

එවැනි නිගමනයක්‌ අසාධාරණ වනවා පමණක්‌ නො ව අධිපතිවාදී ද වෙයි. බටහිරයෝ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි පමණක්‌ ඇතැයි සිතති. අපට නො ඇසෙන ඇතැම් ශබ්ද, එනම් ඔවුන් කියන ආකාරයට ඇතැම් තරංග ආයාමවලින් යුත් ශබ්ද වෙනත් සතුනට ඇසෙන බව බටහිර විද්‍යාඥයෝ කියති. එය ඔවුන් ගේ, එනම් බටහිර විද්‍යාඥයන් ගේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක්‌ නො වේ. අපට නො ඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙන බව බටහිර විද්‍යාඥයන්ට දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකින් ද? එය කණෙන් අසාගත නොහැකි බව පැහැදිලි ය. මනස ඉන්ද්‍රියයක්‌ ලෙස නො සලකන බටහිර විද්‍යාඥයන්ට බල්ලන්ට ඇසෙන ඇතැම් ශබ්ද අපට නො ඇසී ද, එවැනි ශබ්ද ඇතැයි අප දැනගන්නේ මනස ආධාරයෙන් යෑයි කිව හැකි නො වේ.

අපට නො ඇසෙන ඇතැම් ශබ්ද බල්ලන්ට ඇසෙන්නේ යෑයි බටහිර විද්‍යාඥයන් කියන්නේ පංචෙන්ද්‍රියන්ට ගෝචර අත්දැකීමක්‌ ලෙස නො වේ. එය පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක්‌ වනුයේ බල්ලන් ගේ ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් පමණකි. අපට අමුතු යමක්‌ ගෝචර නො වද්දී බල්ලන් කන් කෙළින් කරමින්, බුරමින් ආදී වශයෙන් විවිධ ප්‍රතිචාර දක්‌වනු අප දැක ඇත, අසා ඇත. බල්ලන් ගේ ඒ ප්‍රතිචාර නම් අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර වෙයි. දැන් අප මේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිය තේරුම් ගන්නේ කෙසේ ද?

බටහිරයෝ සුපුරුදු පරිදි එයට කතන්දරයක්‌ හදති. ශබ්ද තරංග, ආයාම දිග, ඒ ඒ සතුනට ඇසෙන ආයාම දිග සහිත ශබ්ද ආදී වශයෙන් මේ පංචෙන්ද්‍රියයන් ගෙන් කිසි ම ඉන්ද්‍රියයකට ගෝචර නො වන වියුක්‌ත කතන්දරය දිගහැරෙයි. අපට නො ඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙන බව බටහිරයන් නිගමනය කරන්නේ ඒ කතන්දරය අනුව ය. එය ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධියක්‌ තේරුම් ගැනීම සඳහා නිර්මාණය කරන ලද ඉන්ද්‍රිය ගෝචර නො වන කතන්දරයකි. බටහිර විද්‍යාඥයන්ට හා ඔවුන් අනුකරණය කරන්නන්ට මේ ඉන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත කතන්දර විශ්වාස කිරීම කිසිසේත් ම ප්‍රශ්නයක්‌ නො වේ. සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් මේ කතන්දර අදෘශ්‍යමාන ය. එසේ අදෘශ්‍යමාන බලවේග ගැන විශ්වාස තබමින් ම බටහිර විද්‍යාඥයෝ හා ඔවුන් අනුකරණය කරන මෙරට පුස්‌සෝ අදෘශ්‍යමාන බලවේග විශ්වාස නො කරන බව කියති.

ඔවුන් විශ්වාස කරන අදෘශ්‍යමාන, එනම් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන බලයක්‌ වූ ඊනියා ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳව අපි සඳහන් කර ඇත්තෙමු. ගුරුත්වාකර්ෂණය වැනි කිසිවකු කිසි දිනෙක දැක නැති, අසා නැති, ස්‌පර්ශ කර නැති, රස බලා නැති, ගඳ සුවඳ බලා නැති, පට්‌ටපල් බොරුවක්‌ විශ්වාස කරන බොහෝ බටහිර විද්‍යාඥයෝ හා ඔවුන් ගේ නිවට අනුකාරකයෝ දෙවියන් අදෘශ්‍යමාන යෑයි ද ඒ විශ්වාස නො කළ හැකි යෑයි ද කියති. අඩු ම තරමෙන් මෙරට යම් පිරිසක්‌ දෙවියන් භූතයන් ආදී ප්‍රාණීන් දැක තිබිය දීත් ඔවුහු ඒ විශ්වාස නො කරති. ප`ඩියන් එහි දී තම ප`ඩි වදන් යුක්‌ති යුක්‌ත කරන්නේ එසේ ඇතැමුන් දෙවියන් භූතයන් ආදීන් දැකීම මානසික භ්‍රාන්තියක්‌ නිසා සිදු වන බව කියමිනි.

කිසිවකු කිසි දා එහි දී දැක නැති ගුරුත්වාකර්ෂණය නිවුටන් ගේ මානසික භ්‍රාන්තියක්‌ යෑයි කිව හොත් ප`ඩියන් උරණ වනු ඇත. එහෙත් එය, එනම් ගුරුත්වාකර්ෂණය කිසි දිනෙක නිවුටන් ගේ වත් පංචෙන්ද්‍රියට ගෝචර වී නැත. මා දන්නා තරමින් ගුරුත්වාකර්ෂණ බලය ඉන්ද්‍රිය ගෝචර වී ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයයේ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුට පමණ ය. එහෙත් ඔහු ද ඔහු සතු වූ සුවිශේෂ අවයවය අන් අයට නො පෙන්වයි. ඔහුට ඇත්තේ නිවුටන් ගේ මානසික භ්‍රාන්තිය නො වූවත් ඔහුට ද යම් භ්‍රාන්තියක්‌ ඇති බව පැහැදිලි ය.

නලින් ද සිල්වා