logo3.gif (702 bytes)

HOME


ගැලීලියෝ කළේ කුමක්‌ ද?

කාළාම සූත්‍රයෙහි මුල් කොටසෙහි කියෑවෙන්නේ සියල්ල තනි ව ම කල්පනා කර පර්යේෂණ කර දැනගත යුතු බව නො වේ. එහෙත් මෙරට උගතුන් යෑයි කියන්නන් කාළාම සූත්‍රයට එවැනි අර්ථකථනයක්‌ දීමට තැත් කරන්නේ බටහිර විද්‍යාවෙහි ද එවැනි ආකල්පයක්‌ ඇතැයි විශ්වාස කරමිනි. එහෙත් එය එසේ නො වේ. බටහිර සෛද්ධාන්තික විද්‍යාඥයකු යෑයි කිව හැකි ලාංකිකයකු බොහෝ දෙනෙකු දන්නේ ගිරවුන් මෙන් විවෘත මනසකින් නිරීක්‍ෂණ කිරීමක්‌ ගැන කතා කිරීමටත්, එම`ගින් කල්පිතයක්‌ ඇති කිරීමත් නිගමනවලට එළඹීමත් වැනි සරල එහෙත් බටහිර විද්‍යාවේ කිසි දිනෙක සිදු නො වන ක්‍රියා ගැන නන් දෙඩවීමටත් ය.

බටහිර විද්‍යාවෙහි යම් අධ්‍යයනයක්‌ කෙරෙන්නේ ම කල්පිතයක්‌ මත පදනම් වී ය. අධ්‍යයනයක්‌ පටන් ගන්නා අයකුට සැම විට ම යම් මතයක්‌ ඇත. ගැලීලියෝ පීසා නුවර ඇල වෙන කුලුනේ පර්යේෂණය කළේ ම ස්‌කන්ධය කුමක්‌ වුවත් රික්‌තයක වස්‌තු එක ම ත්වරණයකින් පොළොවට ඇද වැටෙන බව පෙන්වීමටත්, ඇරිස්‌ටෝටල්ගේ මතය, එනම් වඩා බර වස්‌තු ඉක්‌මනින් පොළොවට වැටෙන්නේ ය යන්න වැරැදි බව පෙන්වීමටත් ය. ගැලීලියෝ තම කල්පිතය නිවැරැදි බව පෙන්වීමට ලක ලැහැස්‌ති වී ඇල වෙන කුලුනට ගියේ ය.

ඇරිස්‌ටෝටල් ගේ මතය වැරැදි බව ගැලීලියෝ වටහා ගත්තේ කෙසේ ද යන්න බටහිර විද්‍යාවේ ඉතිහාසයෙහි පැහැදිලි නො කෙරෙයි. එහෙත් ඇරිස්‌ටෝටල් වඩා බර වස්‌තු ඉක්‌මනින් පොළොවට ඇද වැටෙන බව දැනගත්තේ නිරීක්‍ෂණයෙන් බව පැහැදිලි ය. ඇරිස්‌ටෝටල් සංයුක්‌ත චින්තනයකට උරුමකම් කීවේ ය. ඔහු ගේ දැනුම පංචෙන්ද්‍රියයන්ට ගෝචර වූ දැනුමකි. ගසකින් එක වර වැටෙන කොළයක්‌ හා ගෙඩියක්‌ ගත හොත් ගෙඩිය කොළයට වඩා ඉක්‌මනින් පොළොවට වැටෙන බව අපි දනිමු. එය අපේ සංයුක්‌ත දැනුම ය. එය ඇරිස්‌ටෝටල් ගේ ද සංයුක්‌ත දැනුම විය.

එපමණක්‌ නො ව එය ගැලීලියෝ ගේ ද සංයුක්‌ත දැනුම විය. එහෙත් එය වායු ගෝලයෙහි වස්‌තු වැටීමෙහි දී අප අත්දකින දෙය වෙයි. ගැලීලියෝට අවශ්‍ය වූයේ රික්‌තයක වස්‌තු වැටෙන්නේ කෙසේ දැයි දැන ගැනීමට ය. කුලුනක්‌ වටා රික්‌තයක්‌ සංයුක්‌ත ව ඇති කරගැනීමට බටහිර විද්‍යාවට අද ද නො හැකි ය. ගැලීලියෝ එබැවින් වියුක්‌තයට මාරු විය. ඔහු අන් අයට කීවේ සංයුක්‌ත ව දැනගත නොහැකි රික්‌තය වියුක්‌ත ව සිතාගන්නා ලෙස ය. ඔහු තමාට අවශ්‍ය දේ පෙන්වීම සඳහා කුලුනෙන් අත්හැරීමට සුදුසු වස්‌තු යොදාගත්තේ ය. ගැලීලියෝ කිසි දිනෙක ඒ සඳහා ගසක කොළයක්‌ හා ගෙඩියක්‌ යොදා නො ගත්තේ ය.

බටහිර විද්‍යාවේ කෙරෙන්නේ වියුක්‌ත කතන්දර ගෙතීම ය. එසේ නොමැති ව ඊනියා විවෘත මනසකින් පර්යේෂණ කිරීම නො වේ. පර්යේෂණ, නිරීක්‍ෂණ කිරීම ලෝකයේ විවිධ රටවල, විවිධ සංස්‌කෘතීන්වල කෙරී ඇත, ඇරිස්‌ටෝටල් ද තම ප්‍රවාද ගොඩනඟා ඇත්තේ නිරීක්‍ෂණවල ආධාරයෙනි. බුදුන් වහන්සේ දවස බමුණෝ පරීක්‍ෂණ ම`ගින් ආත්මයක්‌ ඇතැයි පෙන්වීමට උත්සාහ කළ හ. එය අසාර්ථක පරීක්‍ෂණයක්‌ විය. එහෙත් එකල ද පරීක්‍ෂණ කෙරී ඇත. ඇරිස්‌ටෝටල් ගේ නිරීක්‍ෂණ සංයුක්‌ත නිරීක්‍ෂණ විය. එහෙත් ඔහු සාධාරණ ප්‍රවාද ඉදිරිපත් කළේ ය.

වඩා බර වස්‌තුව සැහැල්ලු වස්‌තුවට වඩා ඉක්‌මනින් පොළොවට වැටෙන්නේ ය යන්න සංයුක්‌ත නිගමනයකි. එහෙත් එය එවැනි සියලු වස්‌තුවලට වලංගු වන්නේ යෑයි ඇරිස්‌ටෝටල් සිතු බව පෙනෙයි. ඒ අනුව එය සියලු වස්‌තුවලට බලපාන සාධාරණ නිගමනයකි. අවශ්‍ය නම් එය සාධාරණ නියමයකි. එහෙත් එය වියුක්‌ත නියමයක්‌ නො වී ය. එය සාධාරණ සංයුක්‌ත නියමයක්‌ විය. සංයුක්‌ත නියම පංචෙන්ද්‍රියන්ට ගෝචර වෙයි. වියුක්‌ත නියම, වියුක්‌ත ගණිතය පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වෙයි. මෙරට ඇතැමුන් වියුක්‌තය ගැන මහ හඬින් මහත් භක්‌තියකින් කතා කළ ද වියුක්‌තය සංයුක්‌තයට වඩා සත්‍ය වන්නේ නො වෙයි. සංයුක්‌තය බොරුවකි. වියුක්‌තය පට්‌ටපල් බොරුවකි.

ගැලීලියෝ කළේ ඊනියා විවෘත මනසකින් කරන පර්යේෂණ ලෝකයට හඳුන්වා දීම නො ව වියුක්‌ත ප්‍රවාද භෞතික වස්‌තු සඳහා යොදාගැනීම ය. එහි දී සිදු වූයේ ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය බටහිර විද්‍යාවෙහි චින්තනය බවට පත් වීම ය. එය චින්තන විප්ලවයකි. එහෙත් එය ගැලීලියෝ ගේ විප්ලවයක්‌ නො වී ය. පහළොස්‌වැනි සියවසේ සිට දකුණු යුරෝපයේ ගොඩනැ`ගුණු චින්තනයක්‌ ගැලීලියෝ විසින් දහ හත් වැනි සියවසේ දී භෞතික වස්‌තුවල ගුණ අධ්‍යයනය කිරීම සඳහා යොදා ගැනීම ය. එහි දී අනිවාර්යයෙන් ම ගැලීලියෝට

පැරැන්නන් ගේ මත ඉවත දැමීමට සිදු විය.

ගැලීලියෝ ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක පියා නො ව බටහිර වියුක්‌ත විද්‍යාවේ පියා විය. ගැලීලියෝ ගෙන් පසුව බටහිර විද්‍යාඥයන් ක්‍රිsයා කරන්නේ කෙසේ ද? සංවාද අවසානයේ දී අනෙක්‌ තැනැත්තාට පිළිතුරු දීමට ඉඩක්‌ (කාලයක්‌) නො දී අනුන් ගෙන් ණයට ගත් මතයක්‌ ඉදිරිපත් කරන කාලෝ ෆොන්සේකා මහතා හෝ කිසි ම දවසක බටහිර විද්‍යාව හරිහැටි හදාරා නොමැති මාර්ටින් වික්‍රමසිංහ මහතා හෝ ඒ පිළිබඳ ව දැන සිටියේ කුමක්‌ ද? බටහිර විද්‍යාඥයෝ යම් යම් සංයුක්‌ත සංසිද්ධි "තේරුම් ගැනීම" සඳහා වියුක්‌ත ප්‍රවාද ගොතති. මේ වියුක්‌ත ප්‍රවාද යනු වියුක්‌ත කතන්දර මිස අන් කිසිවක්‌ නො වේ.

වියුක්‌ත කතන්දර යනු කලින් ද සඳහන් කර ඇති පරිදි පට්‌ටපල් බොරු ය. එහෙත් මෙයින් අදහස්‌ කරන්නේ සිසුන් බටහිර විද්‍යාව ඉගෙනීම අත්හැරිය යුතු බව නො වේ. අද තිබෙන සමාජ ක්‍රමය හා බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි ආධිපත්‍යය අනුව උසස්‌ යෑයි සම්මත රැකියාවක්‌ කිරීමට නම් බටහිර දැනුම ලබා තිබිය යුතු ය. එයින් ද ඉංජිනේරු වෛද්‍ය ආදී වෘත්තීන්හි යෙදීමට නම් බටහිර විද්‍යාව හදාරා තිබිය යුතු ය. එබැවින් බටහිර විද්‍යාවට පට්‌ටපල් බොරු වූ වියුක්‌ත කතන්දරවලින් සමන්විත වූ පමණින් කිසිවකු බටහිර විද්‍යාව නො හදාරා සිටිය යුතු නො වේ. හැකි නම් කළ යුත්තේ බටහිර විද්‍යාව හොඳින් හදාරා (ජනප්‍රිය පොතපතින් නො වේ) එහි දුර්වලකම් දැනගෙන එයට පහර දී බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මිදීමට කටයුතු කිරීම ය. බටහිරයන් අද අප පාලනය කරන්නේ තුවක්‌කුවෙන් නො ව දැනුමෙන් බව අවධාරණය කළ යුතු ය.

බටහිර විද්‍යාවේ දී ගැලීලියෝ ගෙන් පසුව විද්‍යාඥයන් කරන්නේ කලින් තිබූ ප්‍රවාදයක්‌ හෙවත් කතන්දරයක්‌ හෙවත් පට්‌ටපල් බොරුවක්‌ වෙනුවට වෙනත් පට්‌ටපල් බොරුවක්‌ ආදේශ කිරීම ය. පට්‌ටපල් බොරුවලට වැඩි ආයුෂක්‌ නැත. යම්කිසි දවසක දී එහි බොරුව තවදුරටත් පවත්වාගෙන යැමට නොහැකි වෙයි. ප්‍රවාදය නම් ගාම්භීර නමකින් හැඳින්වෙන වියුක්‌ත බොරු කතන්දරය හා සංයුක්‌ත නිරීක්‍ෂණ අතර පරස්‌පර, විසංවාද පැනන`ගියි. එවිට එතෙක්‌ පවත්වාගෙන ආ පට්‌ටපල් බොරුව වෙනුවට වෙනත් පට්‌ටපල් බොරුවක්‌ අවශ්‍ය වෙයි.

බටහිර විද්‍යාඥයෝ හා බටහිර විද්‍යාවේ දාර්ශනිකයෝ ඇතැම් විට මේ ආදේශ කිරීම සත්‍යයට ළඟා වීමක්‌, ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කිරීමක්‌ ආදී වශයෙන් හඳුන්වති. ඒ ඊනියා ප්‍රවාදවල අසත්‍ය බව වසං කිරීමට ගන්නා උත්සාහයක්‌ පමණ ය. එක්‌ පැත්තකින් කාල් පොපර් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයා අසත්‍යකරණයක්‌ ගැන කතා කිරීමෙන් බටහිර විද්‍යාවේ සෙළුව අතින් වැසීමට උත්සාහ කළේ ය. පට්‌ටපල් බොරු අසත්‍යකරණයට ලක්‌ කිරීම යනු විහිළුවකි, පට්‌ටපල් බොරු අමුතුවෙන් බොරු බව දැක්‌වීම අවශ්‍ය නො වේ. එය කොහොමටත් බොරු වෙයි.

කාල් පොපර් තැත් කළේ කොහොමටත් බොරු වූ බටහිර විද්‍යාවේ කතන්දරවලට ව්‍යාජ ගරුත්වයක්‌ ලබා දීමට ය. බොරුව බොරුවක්‌ බව හෙළි වනු දකින විට පොපර් කීවේ ඒවා බොරු බව පෙන්වීමට හැකියාව තිබිය යුතු බව ය. එසේ නො වේ නම් ඒ දැනුම් නො ව මිථ්‍යාවන් යෑයි ඔහු කීවේ ය. එම`ගින් ඔහු පට්‌ටපල් බොරුවලට සම්භාවනීයත්වයක්‌ ලබා දුන්නේ ය. කිසි ම දිනයක බටහිර විද්‍යාවේ ඊනියා ප්‍රවාදයක්‌ තබා සංකල්පයක්‌ වත් ගොඩන`ගා නැති මෙරට තමන් බටහිර විද්‍යාඥයන් ලෙස හඳුන්වා ගන්නා පුස්‌සෝ පොපර් කියා ඇති දේ වගවිභාගයකින් තොර ව විශ්වාස කරති.

එක්‌ බොරුවක්‌ වෙනුවට තවත් බොරුවක්‌ ආදේශ කර ඇති අවස්‌ථාවන්ට හොඳ ම නිදර්ශනය වනුයේ නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ය, ගුරුත්වාකර්ෂණය යනු පට්‌ටපල් බොරුවක්‌ බව නිවුටන් ගේ කාලයේ ම ජීවත් වූ අය දැන සිටිය හ. බුධ ග්‍රහවස්‌තුව නිවුටන් ගේ ප්‍රවාදයෙන් ගම්‍ය වන ආකාරයට අවකාශයේ හිරු වටා චලිත නො වෙයි. නිවුටන් ගේ වියුක්‌ත කතන්දරය හා බුධ ග්‍රහ වස්‌තුව පිළිබඳ සංයුක්‌ත නිරීක්‍ෂණය අතර පෑහිය නොහැකි විසංවාදයක්‌ විය. එහෙත් බටහිර විද්‍යාඥයෝ අවුරුදු දෙ සිය පනහක්‌ පමණ මේ පට්‌ටපල් බොරුව රැකගත් හ.

ලෝකයේ බොහෝ දෙනා ගුරුත්වාකර්ෂණය පට්‌ටපල් බොරුවක්‌ බව නො දනිති. මෙරට නම් ඊනියා විද්‍යාඥයෝ ද ඒ බව නො දනිsති. බොහෝ දෙනාට ඒ බව දැනගැනීමට වුවමනාවක්‌ ද නැත. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර වන්නේ යෑයි කියන්නෙක්‌ ද කැලණිය විශ්වවිද්‍යාලයෙහි රසායන විද්‍යාව උගන්වන්නන් අතර වෙයි. එය පුදුමයක්‌ ද නො වේ. එහි එක්‌ රසායන විද්‍යා මහාචාර්යවරයෙක්‌ අවුරුදු කිහිපයකට පෙර සෛද්ධාන්තික රසායන විද්‍යාව (ඔයෑදරුඑසජ්ක Cයෑපසිඑරහ) ගැන අසා නො තිබිණි. අපි ඔවුන්ට අනුකම්පා කරමු.

ඒ කෙසේ වෙතත් නිවුටන් ගේ පට්‌ටපල් බොරුවෙන් බටහිර විද්‍යාඥයන් උත්සාහ කළේ පොළොවට පොල් වැටීම පිළිබඳ සංයුක්‌ත ප්‍රපංචය "තේරුම් කිරීමට" ය. පසුව අයින්ස්‌ටයින් මේ ප්‍රපංචය ම "තේරුම් කිරීමට" වෙනත් බොරු කතන්දරයක්‌ ගෙතුවේ ය. ඒ පට්‌ටපල් බොරුව සාධාරණ සාපේක්‌ෂතාවාදය නමින් හැඳින්වෙයි. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ එලෙස එක්‌ පට්‌ටපල් බොරුවක්‌ තවත් පට්‌ටපල් බොරුවකින් ආදේශ කිරීම ය. මේ ක්‍රියාවලිය සත්‍යය කරා ළ`ගා වීමක්‌ ලෙස හැඳින්වීම ද විහිළුවකි. නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණය සංකල්පීය වශයෙන් සාධාරණ සාපේක්‌ෂතාවාදය සමග සංසන්දනය කිරීමට වත් නො හැකි ය. එසේ වූ කල එකක්‌ අනෙකට වඩා ඊනියා සත්‍යයකට ළඟා වන්නේ යෑයි කියන්නේ කෙසේ ද?

බටහිර විද්‍යාවේ කලින් තිබූ දැනුම කිසියම් දිනෙක ප්‍රතික්‍ෂෙප වෙයි. එබැවින් පොතක පතක තිබූ පමණින් බටහිර විද්‍යාව නො පිළිsගැනෙනවා නො ව එය බොරු නිසා නො පිළිsගැනෙයි. බටහිර විද්‍යාවේ පොත්වල ඇති දැනුම් පට්‌ටපල් බොරු ය. එබැවින් පොතක පතක ඇති දැනුම, ගුරුවරුන් ගෙන් ලබා ගන්නා දැනුම ආදිය කෙදිනක හෝ ප්‍රතික්‌ෂේප වෙයි. බටහිර විද්‍යාවේ දී කියෑවෙන්නේ පොතක පතක තිබූ පමණින් නො පිළිගත යුතු ය යන්න නො වේ. පොත්පත්වල ඇති සියලු දැනුම් නො පිළිගත යුතු ය යන්න ය.

මෙය කාළාම සූත්‍රයේ කියෑවෙන්නට හාත්පසින් ම වෙනස්‌ ය. පොතක පතක තිබූ පමණින් නො පිළිගන්නා ලෙස කීමෙන් කියෑවෙන්නේ පොතක පතක ඇති සියල්ල නො පිළිගැනීම නො වේ. පොතක පතක ඇති ඇතැම් කරුණු පිළිගැනීමට ඉන් බාධාවක්‌ නො වේ. මෙය තවදුරටත් සාකච්ඡා කළ යුත්තේ කාලෝ ෆොන්සේකා මහතා වැන්නවුන් ගේ ද දැනගැනීම උදෙසා ය.

නලින් ද සිල්වා