logo3.gif (702 bytes)

HOME


උසස්‌ ඉංගිරිසි අධ්‍යාපනයක්‌ ලැබීමෙන් නිවට වූවෝ

පසුගිය සතියෙහි පළ වූ ලිපියෙහි වූ දෝෂයක්‌ නිවැරැදි කළ යුතු ව ඇත. එහි සංගීතය ගැන කියෑවෙන ඡේදයක මේ වගන්තිය පළ වී තිබිණි. "පළමුවෙන් සංගීතය ඉගෙනීමට ඉන්දියාවට ගියෝ සිංහල කතෝලිකයෝ හා ඉංගිරිසීහු වූ හ." එය මෙසේ නිවැරැදි විය යුතු ය. පළමුවෙන් සංගීතය ඉගෙනීමට ඉන්දියාවට ගියෝ සිංහල කතෝලිකයෝ හා ක්‍රිස්‌තියානිහු වූ හ. මෙයින් මා කීමට තැත් කළේ මහාවිහාර සම්ප්‍රදායේ සිංහල බෞද්ධ උගතුන් සංගීතය ගැන එතරම් සැලකිල්ලක්‌ නො දැක්‌වූ බවත් අපට සිංහල සංගීතයක්‌ සැපයීමේ අරමුණෙන් සිංහල කතෝලිකයන් හා සිංහල ක්‍රිස්‌තියානීන් ඉන්දියාවට ගිය බවත් ය.

එය එසේ තිබිය දී ඉංගිරිසින් ගේ උසස්‌ අධ්‍යාපනය හේතු කොටගෙන භික්‍ෂූන් වහන්සේට සමාජයේ වැදගත්කම අහිමි වීම අප තවදුරටත් සාකච්ඡා කළ යුතු ය. අප සඳහන් කර ඇති පරිදි අවුරුදු දහස්‌ ගණනක්‌ මුළුල්ලෙහි මෙරට විඤ්Cදුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ වූ හ. හෙළ බෞද්ධ සංස්‌කෘතියටත් වඩා සිංහල බෞද්ධ සංස්‌කෘතිය භික්‍ෂුන් වහන්සේට ඒ තත්ත්වය ලබා දුන්නේ ය. කාළාම සූත්‍රයෙහි සඳහන් වන ආකාරයට මෙලොව හා පරලොව වැඩ සඳහා කළ යුතු දේ හා නො කළ යුතු දේ ජනතාවට අවවාදයෙන් පමණක්‌ නො ව ආදර්ශයෙන් ද කියා දුන්නෝ භික්‍ෂුන් වහන්සේ ය.

පසු කාලයක ඉංගිරිසි යටත්විජිත සමයෙහි ඉංගිරිසි උගත් බටහිර ගැති නිවට සිංහල බෞද්ධයෝ බටහිර විද්‍යාවෙන් මත් වී කාළාම සූත්‍රය ද බටහිර විද්‍යාත්මක යෑයි පෙන්වීමට උත්සාහ කළ හ. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන් ගේ හීනමානය වසාගැනීමට ය. සිංහල බෞද්ධ සංස්‌කෘතිය හා බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය අතර චින්තනය සම්බන්ධයෙන් ගත් කල වෙනසක්‌ නැතැයි පෙන්වීම ඔවුන් ගේ අරමුණ විය. අප විසින් පසුගිය කාලයෙහි නිර්මාණය කෙරුණු සංකල්ප යොදාගන්නේ නම් ඔවුන්ට අවශ්‍ය වූයේ ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය හා සිංහල බෞද්ධ චින්තනය අතර වෙනසක්‌ නැති බව පෙන්වීම ය.

මේ උගත්තු ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය පිළිගත්තෝ ය. එහි ඊනියා වැදගත්කමක්‌ මෙන් ම ශේ්‍රෂ්ඨභාවයක්‌ ද පිළිගත්තෝ ය. එය එම චින්තනයේ ආධිපත්‍යය නිසා ඇති වන්නක්‌ පමණක්‌ බව දැනගැනීමට තරම් බුද්ධියක්‌ මේ උගතුන්ට නැති විය. ඔවුහු ඉංගිරිසි පාසල් ම`ගින් බිහි කරනු ලැබූ උගත්තු වූ හ. මාර්ටින් වික්‍රමසිංහ මහතා පසු කලෙක ස්‌වයං අධ්‍යයනයක යෙදෙන්නට ඇත. එහෙත් ඒ මහතාට වුව ද ඒ සඳහා පසුබිම සකස්‌ කරන ලද්දේ ගාල්ලේ බොනවිස්‌ටා පාසල ම`ගිනි. බොනවිස්‌ටා පාසල නො වන්නට මාර්ටින් වික්‍රමසිංහ මහතා හෝ සෙනරත් පරණවිතාන මහතා හෝ බිහි නො වනු ඇත.

ඒ මහත්වරුන් ඉගෙනගත් සමයෙහි බොනවිස්‌ටා පාසලෙහි ඉගැන්වූ ගුරුවරුන් ගැන කිසිවෙක්‌ කතා නො කරති. සියල්ලන් ම පාහේ සිතන්ගේ මාර්ටින් වික්‍රමසිංහ මහතාත් සෙනරත් පරණවිතාන මහතාත් තනි ව ඉගෙනගත් අය බව ය. බෙහෝ දෙනා පාසල් හා විශ්වවිද්‍යාල හැර යැමෙන් පසු අධ්‍යාපනයෙන් ඉවත් වෙති. කිහිප දෙනෙක්‌ පමණක්‌ ඉන් පසුව ද තනි ව අධ්‍යාපනය ලබති. විවිධ විෂය හදාරති. එහෙත් ඒ කිහිප දෙනා එසේ කරන්නේ යම්කිසි පදනමක්‌ මත පිහිටමිනි. ඒ පදනම පාසලෙන්, විශ්වවිද්‍යාලයෙන් හෝ වැඩිහිටියන් ගෙන් හෝ ලැබෙන්නකි. ඇතැම් අය වැඩිහිටියන් ගෙන් මෙන් ම පාසලෙන් ද යම් පදනමක්‌ ලබා ගන්නවා විය හැකි ය.

මාර්ටින් වික්‍රමසිංහ මහතාටත් සෙනරත් පරණවිතාන මහතාටත් වැඩිහිටියන් ගෙන්, එනම් තමන් උපත ලද සංස්‌කෘතියෙන්, යම් පදනමක්‌ ලැබී ඇති බව පැහැදිලි ය. සිංහල සංස්‌කෘතිය හැදෑරීමට ඔවුන් දෙදෙනා ම උනන්දු වී ඇත්තේ එබැවින් ය. එහෙත් ඔවුන් දෙදෙනාට ම ඉංගිරිසි ක්‍රිස්‌තියානි පාසලක්‌ වූ බොනවිස්‌ටා පාසලෙන් ඔවුන් සිංහල සංස්‌කෘතියෙන් ලබාගත් පදනමට වැඩි ශක්‌තිමත් පදනමක්‌ ලැබී ඇති බව පැහැදිලි ය. අධ්‍යාපනයෙහි ලා චින්තනය සම්බන්ධයෙන් ගත් කල ඔවුන් ගේ පදනම වූයේ ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය ය. ඔවුන් සිංහල සංස්‌කෘතිය හැදෑරුවේ ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයක ය.

මාර්ටින් වික්‍රමසිංහ මහතාත් සෙනරත් පරණවිතාන මහතාත් ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි දරුවෝ වූ හ. ඔවුන්ට ඒ චින්තනයෙන් කැඩෙන්නට නො හැකි විය. ඔවුන්ටත් වෙනත් අයටත් බලපෑ ගුරුවරයකු හෝ ගුරුවරුන් එකල බොනවිස්‌ටා පාසලෙහි උගන්වා ඇති බව පැහැදිලි ය. ඒ කවුරුන් දැයි අපි නො දන්නෙමු. ඒ කුමක්‌ වුවත් එකල බොනවිස්‌ටා පාසලෙහි සම්ප්‍රදාය ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය මත පදනම් වී ඇති බව නම් නිසැක ය.

මෙවැනි උගත්තු එකල මෙරට ඉංගිරිසි පාසල්වලින් බිහි වූ හ. ඔවුහු ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි දරුවෝ වූ හ. ඔවුහු එහි දරුවන්ටත් වඩා දාසයෝ වූ හ. මේ දාසයන්ට කළ හැක්‌කේ කුමක්‌ ද? ඔවුන්ට කළ හැකි උපරිමය වූයේ සිංහල බෞද්ධ සංස්‌කෘතිය ක්‍රිස්‌තියානි ඇසකින් බලා අර්ථවිවරණය කිරීම ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමය ගැන මහත් අභිරුචියකින් ඉගෙනගත් ඔවුහු එවැනි විධික්‍රමයක්‌ නැති බව නො දත් හ. එසේ වූයේ බටහිර ආධිපත්‍යය ම`ගින් එසේ ඇතැයි සිතීමට ඔවුන් පොලඹවා තිබූ බැවිනි.

බටහිර විද්‍යාව යනු ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයට සාපේක්‍ෂව ගොතන ලද වියුක්‌ත කතා පමණක්‌ බව මේ උගත්තු නො දැන සිටිය හ. බටහිර විද්‍යාවේ ඇතැයි කියන විවෘත මනසක්‌ ගැන අසා ඔවුහු වශී වූ හ. එහි කිසි ම ආකාරයේ විවෘත මනසක්‌ නොමැති බවත් මිනිසුන්ට විවෘත මනස්‌ තිබිය හැක්‌කේ නො සිතන්නේ නම් පමණක්‌ බවත් ඔවුහු නො දත් හ. වෙනත් වචනවලින් කිව හොත් විවෘත මනස්‌ ඇත්නම් ඒ තිබිය හැක්‌කේ මෘතශරීරවලට පමණ ය. ඕනෑ ම පෘථග්ජන මිනිසකු සිතන්නේ යම් චින්තනයක යම් සංස්‌කෘතියකට සාපේක්‍ෂව ය.

බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම මහත් සේ අගය කළ මේ උගත්තු තම සංස්‌කෘතියෙන් ද යමක්‌ ලබා තිබිණි නම් තම සංස්‌කෘතිය ද බටහිර යුදෙවු ක්‍රිස්‌තියනි සංස්‌කෘතියට නොදෙවෙනි බව පෙන්වීමට උත්සාහ කළ හ. ඒ හීනමානය නිසා මිස වෙනත් කරුණක්‌ නිසා නො වේ. සිංහල සංස්‌කෘතියෙන් යමක්‌ ලබා නො ගත්, පාසලෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් හෝ පුස්‌තකාල වැනි වෙනත් ආයතනවලින් බටහිර දැනුම පමණක්‌ ලබාගත්තවුනට මේ ප්‍රශ්නය නො වී ය. ඔවුන්ට සිංහල සංස්‌කෘතියෙහි ගත යුත්තක්‌ නො වී ය. ඔවුහු ලංකා විශ්වවිද්‍යාලයෙහි පළමු උපකුලපති වූ අයිවෝර් ජෙනිංග්ස්‌ කොළඹ කාන්තා විද්‍යාලයෙහි කරන ලදැයි කියන කතාවක සඳහන් පරිදි ලංකාව සංස්‌කෘතික කාන්තාරයක්‌ සේ දුටුවෝ ය. ඔවුන්ට බටහිර දැනුම සමග සංසන්දනය කළ හැකි කිසිවක්‌ මෙරට නො වී ය.

ප්‍රශ්නය වූයේ මෙරට සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි යමක්‌ ඇතැයි සිතූ අයට ය. මේ අය ගේ ද මිනුම් දණ්‌ඩ වූයේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම ය. ඔවුහු බටහිර විද්‍යාව නවීන විද්‍යාව නමින් හැඳින්වූ හ. ඊනියා නවීන විද්‍යාව මිනුම් දණ්‌ඩ ලෙස ගත් විට සිංහල සංස්‌කෘතියෙහි නිපන් දැනුමට ද යම්කිසි වටිනාකමක්‌ ලබා දිය හැකි වූයේ තම මිනුම් දණ්‌ඩෙහි ඇති ලක්‍ෂණ සිංහලයන් ගේ දැනුමෙහි, එනම් සිංහල බෞද්ධ දැනුමෙහි ඇති බව පෙන්වීමෙනි.

බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි දාසයන්ට කාළාම සූත්‍රය පිහිටට පැමිණියේ සිංහල බෞද්ධ දැනුමට මේ බොරු වටිනාකම ලබා දීමට ය. මේ උගත්තු කාළාම සූත්‍රයෙහි සන්දර්භය අධ්‍යයනය නො කළ හ. ඔවුහු එය සම්පූර්ණයෙන් ම නො කියවූ හ. බුද්ධ ධර්මය, බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම මෙන් නො ව සංයුක්‌ත විය. බටහිර විද්‍යාව යනු ගොතන ලද වියුක්‌ත කතාන්දර කිහිපයක්‌ පමණකි. එහෙත් බුදුන් වහන්සේ වියුක්‌ත ධර්මයක්‌ නො දෙසූ හ. උන්වහන්සේ ධර්ම දේශනා කළේ යම් සන්දර්භයක ය. ආනන්ද හිමිපාණන් වහන්සේ ඇසූ ධර්මවල මේ සන්දර්භය පැහැදිලිව ම දක්‌වා ඇත. උන්වහන්සේ මා විසින් මෙසේ අසන ලදැයි යනුවෙන් පවසන්නේ ඒ සන්දර්භය ය.

කාළාම සූත්‍රය දේශනා කළේ කාළාමයනට ය. ඔවුන්ට ප්‍රශ්නයක්‌ විය. විවිධ ගුරුවරුන් ඔවුන්ට විවිධ දේ උගන්වා තිබිණි. ඉන් පිළිපැදිය යුත්තේ කුමක්‌ ද යන ප්‍රශ්නය විය. බුදුන් වහන්සේ ඒ ප්‍රශ්නයට කොටස්‌ දෙකකින් පිළිතුරු දුන් හ. පළමු කොටසින් උන්වහන්සේ දේශනා කළේ මේ මේ නිසා පමණක්‌ පිළිපැදිය යුතු නො වේ ය යන්නට උදාහරණ ය. ඇසූ පමණින්, පොතක පතක තිබූ පමණින්, සම්ප්‍රදාය වූ පමණින් යමක්‌ නො පිළිගතයුතු යෑයි උන්වහන්සේ දෙසූ හ. එහෙත් එයින් කියෑවෙන්නේ පොතක පතක තිබූ කිසිවක්‌ ආදී වශයෙන් නො පිළිගත යුතු බවක්‌ වත්, සියල්ල තමන් කල්පනා කර පරීක්‍ෂා කර පිළිගත යුතු බවක්‌ වත් නො වේ.

කාළාම සූත්‍රයෙහි දෙවැනි කොටසින් බුදුන් වහන්සේ පිළිපැදිය යුතු දේ හා නො පිළිපැදිය යුතු දේ කවරේ දැයි විස්‌තර කළ හ. උන්වහන්සේ ප්‍රකාශ කළේ විඤ්Cදුන් මෙලොවටත් පරලොවටත් වැඩක්‌ ඇති දෙයක්‌ දැන ඒ කරන්නේ නම් තමන් ද ඒ දේ කළ යුතු බව ය. එමෙන් ම විඤ්Cදුන් මොලොවටත් පරලොවටත් අවැඩක්‌ වේ යෑයි සලකා යමක්‌ නො කරන්නේ ද තමන් ද එය නො කළ යුතු බව ය. එසේ නොමැති ව සියල්ල පරීක්‍ෂා කිරීමෙන් පසුව පමණක්‌ යමක්‌ පිළිගත යුතු යෑයි උන්වහන්සේ නො දෙසූ හ. මෙහි ඇති ඊනියා බටහිර විද්‍යාත්මක විධික්‍රමයක්‌ නැත.

මෙහි දී වැදගත් ම කරුණ වනුයේ විඤ්Cදුන් යනු කවුරුන් දැයි හඳුනාගැනීම ය. අවුරුදු දහස්‌ ගණනක්‌ මුළුල්ලේ මෙරට විඤ්Cදුන් වූයේ භික්‍ෂූන් වහන්සේ ය. මෙලොවටත් පරලොවටත් වැඩක්‌ වන්නේ කුමකින් ද අවැඩක්‌ වන්නේ කුමකින් ද යන්න උන්වහන්සේ දැන සිටිය හ. නිවන අරමුණු කරගත් ක්‍රියා මෙලොවටත් පරලොවටත් වැඩදායක විය. එවැනි ක්‍රියා අප නිවනට ළඟා කරයි. නිවනට පටහැනි ක්‍රියා මෙලොවටත් පරලොවටත් අවැඩදායක විය. එවැනි ක්‍රියා අප නිවනින් ඈත් කරයි. මෙරට ධර්මද්වීපයක්‌ වූයේ ජනතාව එසේ පිළිපැදි නිසා ය.

බටහිර උසස්‌ ඉංගිරිසි අධ්‍යාපනයක්‌ උසස්‌ පෙළ පංතියේ සිට හෝ පොතපතින් තනි ව ම එහෙත් බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි පදනම් ව හෝ ලබාගත් අය කාළාම සූත්‍රයට දුන්නේ වෙනත් අර්ථකථනයකි. ඔවුහු කාළාම සූත්‍රයෙහි පළමු කොටසට පමණක්‌ සීමා වූ හ. එවිට කිසිවකු යමක්‌ කිරීමට පෙර පරීක්‍ෂා කර බලා දැනගත යුතු ව තිබිණි. සියල්ල පරීක්‌ෂා කර බලා දැනගැනීමට කිසිවකුට ඉඩක්‌ නැත. ඒ සඳහා වෙලාවක්‌ නැත. බටහිර විද්‍යාවේ ද සියල්ලෝ සියල්ල පරීක්‍ෂා නො කරති. කිහිප දෙනකු පරීක්‍ෂා කර හෝ නො කර (සෛද්ධාන්තික ව) හෝ කියන දේ අනෙක්‌ සියල්ලෝ ම තමන්ට අවශ්‍ය පරිදි පිළිගනිති. බටහිර විද්‍යාවට ද විඤ්Cදුහු වෙති. ඒ බටහිර විද්‍යාඥයෝ ය. එසේත් නැත්නම් බටහිර වියුක්‌ත දැනුම නිර්මාණය කරන්නෝ වෙති. ඔවුන් නිර්මාණය කරන දැනුම් පද්ධතිය ලෝක ආධිපත්‍යය බවට පත් කෙරී ඇත. මේ ඊනියා විඤ්Cදුන්ට තම දැනුම මෙලොවට හා පරලොවට වැඩ සඳහා වේ ද යන්න ප්‍රශ්නයක්‌ නො වේ.

මෙරට උසස්‌ ඉංගිරිසි අධ්‍යාපනයක්‌ ලබා තම සංස්‌කෘතිය ගැන ද යම් සැලකිල්ලක්‌ දැක්‌වූ අය කාළාම සූත්‍රයෙහි පළමු කොටස තම හීනමානයට පිළියමක්‌ ලෙස යොදාගත් හ. සිංහල බෞද්ධ සංස්‌කෘතිය ගැන වැඩිහිටියන් ගෙන් ඉගෙන නො ගත් කාලෝ ෆොන්සේකා වැන්නෝ ද කිසි ම විචාරයකින් තොර ව කාළාම සූත්‍රය යොදාගත් හ. ඔහු අද කුමක්‌ කීමට තැත් කළ ද ඔහු ගේ මුල් ලේඛනවල හා දේශනවල අඩංගු වූයේ කාළාම සූත්‍රයෙහි පළමු කොටස පමණකි.

නලින් ද සිල්වා