logo3.gif (702 bytes)

HOME


අපට පවු තැවීම අහිමි වීම

සිංහල බෞද්ධ සංස්‌කෘතිය හා බටහිර විද්‍යාව අතර ඇති සම්බන්ධකම සඳහා බොහෝ දෙනා දක්‌වන උදාහරණ වනුයේ කාලාම සූත්‍රය හා චුල්ලහත්ථිපදොපම සූත්‍රය ය. මේ සූත්‍රවල ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ ඇතැයි කියෑවෙයි. එවැනි සම්බන්ධයක්‌ ඇත්නම් බටහිර විද්‍යාව සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් අතර ලැව් ගින්නක්‌ මෙන් පැතිරී යා යුතු ය. එහෙත් ඒ එසේ වී නැත. බටහිර විද්‍යාව වෛද්‍යවරුන් ඉංජිනේරුවන් වීමට උත්සාහ කරන අය අනිවාර්යෙන් ම ඉගෙන ගත යුතු පද්ධතියක්‌ පමණක්‌ බවට පත් වී ඇත.

සිංහල බෞද්ධයන් ගෙන් කී දෙනකු බටහිර විද්‍යාඥයන් වීම සඳහා අදාළ විෂය හදාරන්නේ ද? එවැනි ශිෂ්‍යයන් අද පාසල්වල නැති තරම් ය. අවුරුදු හතළිහකට පනහකට පමණ පෙර එවැන්නන් පාසල්වල සිටියත් ඔවුන් විශ්වවිද්‍යාලට ගොස්‌ ඒ ඒ විෂයයෙන් විශේෂ උපාධි පාඨමාලා සාර්ථක ව නිම කර පසුව ආචාර්ය උපාධි ලබාගත්තත් ඔවුන් ගෙන් බටහිර විද්‍යාවට වී ඇති සේවය කුමක්‌ ද? ඔවුන් බොහෝ දෙනකු අද ඇමෙරිකාවේ හෝ වෙනත් රටවල හෝ විශ්වවිද්‍යාලවල තම තම විෂයයෙන් මහාචාර්යවරුන් වී ඇති බව සැබෑ ය. එහෙත් මේ කිසිවකුට හරිහමන් විද්‍යාඥයකු වීමට නොහැකි වී ඇත.

ලංකාව ඊනියා පොදු රාජ්‍ය මණ්‌ඩලයට අයත් රටක්‌ බැවින් මෙරට පුරවැසියන්ට ලෝකයේ කොහේ ජීවත් වුවත් එංගලන්තයේ ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකයන් වීමට හැකි ය. එහෙත් රාජකීය සංගමය යමකු තම අධිසාමාජිකයකු කරගන්නේ බටහිර විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රවාදයක්‌ සංකල්පයක්‌ නිර්මාණය කර ඇත්නම් හෝ පර්යේෂණයකින් යම් වැදගත් හඳුනාගැනීමක්‌ කර ඇත්නම් හෝ පමණකි. දැනට ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය දරන ලාංකිකයන් ඇත්තේ එක්‌ අයකු පමණකි. ඔහු හොංකොං විශ්විවිද්‍යාලයයේ සේවය කරන අතර කුරුලු උණ වයිරසය හඳුනාගත් වෛද්‍ය කණ්‌ඩායමේ නායකත්වය දැරීම හේතුවෙන් ඔහුට එසේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක්‌ පිරිනමනු ලැබිණි.

එය ද පර්යේෂණ ක්‍ෂෙත්‍රයෙහි බව අප අමතක නො කළ යුතු ය. මෙතෙක්‌ කිසි ම ලාංකික පුරවැසියකුට සෛද්ධාන්තික ක්‍ෂෙත්‍රයෙහි රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක්‌ හිමි වී ඇත. එපමණක්‌ නො වේ. ලන්ඩන් රාජකීය සංගමය අනුකරණය කරමින් ඇමෙරිකාවේ හා වෙනත් රටවල ජාතික විද්‍යා ශාස්‌ත්‍රාල (Nationall Academy of Science) පිහිටුවා ඇත. ඇතැම් ලාංකිකයන් ඇමෙරිකාවේ පුරවැසිකම් ලබාගෙන ඇති නමුත් ඒ කිසිවකුට වත් ඇමෙරිකන් විද්‍යා ශාස්‌ත්‍රාලයේ අධිසාමාජිකත්වයක්‌ ලැබී නැත. ඒ ඔවුන් බටහිර විද්‍යාවට කේන්ද්‍රිය වශයෙන් වැදගත් දෙයක්‌ නිර්මාණය කර හෝ හඳුනාගෙන නොමැති බැවින් ය.

මාහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම ඇමෙරිකන් පුරවැසියකු වුවත් ඔහු ගැන මෙරට බොහෝ ඉහළින් කතා කෙරුණත් ඔහුට ඇමෙරිකන් විද්‍යා ශාස්‌ත්‍රාලයේ අධිසාමාජිකත්වයක්‌ නො ලැබිණි. මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා එංගලන්තයේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු වුවත් ඔහුට ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක්‌ නැත. මෙරට වැසියන් අතර ඔවුන් සුප්‍රසිද්ධ පුද්ගලයන් වන නමුත් ඔවුන්ට එතෙර දී වැදගත් විද්‍යාඥයන් ලෙස සම්මාන ලැබී නැත.

මෙහි තේරුම කුමක්‌ ද? අද බටහිර රටක ජීවත් වන මෙරට උපන් බටහිර විද්‍යාඥයකුට පහසුකම් නැතැයි කිව නො හැකි ය. එසේ පහසුකම් තිබිය දීත් ඔවුන් වැදගත් බටහිර විද්‍යාඥයන් ලෙස සැලකිලි නො ලබන්නේ ඔවුන්ට බටහිර විද්‍යාවේ පරිධියෙහි මිස කේන්ද්‍රයෙහි නිර්මාණ කළ නොහැකි බැවිනි. එය ලංකාවට පමණක්‌ සීමා වූ ප්‍රශ්නයක්‌ ද නො වේ. බොහෝ ආසියාතික රටවලට මේ ප්‍රශ්නය පොදු ය. එයට ප්‍රධාන හේතුව බටහිර විද්‍යාවේ චින්තනය ආසියාවේ චින්තනවලට ආගන්තුක වීම ය. අපට බටහිර විද්‍යාවෙන් ආචාර්ය උපාධියක්‌ ලබාගත හැකි වුවත් බටහිර විද්‍යා විෂයයක මහාචාර්යවරයකු විය හැකි වුවත් බටහිර විද්‍යාවේ නිර්මාණ කළ හැකි නො වේ.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ලංකාවේ බටහිර විද්‍යා ශාස්‌ත්‍රාලයේ වත් අධිසාමාජිකයෙක්‌ නො වේ. ඇතැම් විට ඔහු එවැනි අධිසාමාජිකත්වයක්‌ අපේක්‍ෂා නො කළා විය හැකි ය. ඒ කෙසේ වෙතත් ඔහු මෙරට ඉදිරි පෙළේ විද්‍යාඥයකු ලෙස පමණක්‌ නො ව ඉහළ ම බුද්ධිමතකු ලෙස ද සැලකෙයි. ඇතැමුන්ට අනුව ඔහු ලංකාවේ අද ජීවත් වන විශිෂ්ටතම බුද්ධිමතා ය. එහෙත් ඔහු ගෙන් බටහිර විද්‍යාවට සිදු වී ඇති දායකත්වය කුමක්‌ ද? ඔහු කුප්‍රසිද්ධ ගිනි පෑගීමෙන් පසුව කර ඇති පරීක්‍ෂණය, නිරීක්‍ෂණය කුමක්‌ ද? ගිනි පෑගීම වුවත් බටහිර විද්‍යාවේ වුව ද කියෑවෙන ආකාරයට ඔහු අතින් නිරීක්‍ෂණය වී ද? ඒ කුමක්‌ වුවත් ගිනි පෑගීමෙන් ඔහු කර ඇත්තේ හෝ කිරීමට බලාපොරොත්තු වූයේ කුමක්‌ ද? මෙරට සාමාන්‍යයෙන් ගිනි පෑගීම කෙරෙන්නේ හින්දුන් හා බෞද්ධයන් අතිනි. බුදුන් වහන්සේ ගිනි පෑගීමක්‌ ගැන දේශනා කර නො තිබුණත් එය අද වන විට සිංහල බෞද්ධ සංස්‌කෘතියේ ලක්‍ෂණයක්‌ බවට පත් ව ඇත. කාලෝ ෆොන්සේකා මහතා පෙන්නුම් කිරීමට තැත් කළේ සිංහල බෞද්ධ සංස්‌කෘතියේ ඊනියා අවිද්‍යාවකි. එසේත් නැත හොත් මිථ්‍යාවකි. ඔහු එලෙස ක්‍රිස්‌තියානි හෝ කතෝලික හෝ සංස්‌කෘතියේ අවිද්‍යාත්මක බවක්‌ පෙන්වීමට ඊනියා විද්‍යාත්මක උත්සාහයක්‌ ගෙන තිබේ ද? ඔහු දෙවියන් වහන්සේ විශ්වාස නො කරනවා විය හැකි ය. එහෙත් එපමණකින් ඔහු ක්‍රිස්‌තියානි හෝ කතෝලික හෝ සංස්‌කෘතියට අභියෝග නො කරයි. දෙවියන් වහන්සේ පිළිබඳ ප්‍රශ්නය දාර්ශනික, අවශ්‍ය නම් දේවධර්මය පිළිබඳ ප්‍රශ්නයකි. සාමාන්‍ය ක්‍රිස්‌තියානින් ගේ හෝ කතෝලිකයන් ගේ හෝ සංස්‌කෘතියට දෙවියන් වහන්සේ ඇත් ද යන ප්‍රශ්නය වැදගත් නො වේ. දෙවියන් වහන්සේ පිsළිබඳ ප්‍රශ්නය ඇත්තේ දාර්ශනික තලයක ය.

අනෙක්‌ අතට අද බටහිර රටවල දෙවියන් වහන්සේ නොමැති ක්‍රිස්‌තියානි සංස්‌කෘතියක්‌ පැතිරී ගොස්‌ ඇත. අවුරුදු පන් සියයක්‌ තිස්‌සේ යුරෝපයේ සිදු වෙමින් පවතින්නේ එයයි. සංස්‌කෘතිය යනු ආගම නො වන බව පැහැදිලි ය. ආගමක්‌ බිහි වන්නේ සංස්‌කෘතියක ය. යම් සංස්‌කෘතියක ආගමක්‌ බිහි වීමෙන් පසු ආගම විසින් සංස්‌කෘතිය ද යම් ප්‍රමාණයකට වෙනස්‌ කෙරෙයි. කතෝලික චින්තනය පසුපසට දමමින් පැන නැ`ගි ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි කතෝලික නො වන ක්‍රිස්‌තියානි ආගම් උපත ලැබී ය. ඒ බව මා බොහෝ ලිපිවල පෙන්වා දී ඇත. කාලෝ ෆොන්සේකා මහතා හෝ වෙනත් අයකු හෝ මේ ලිපියට ප්‍රතිචාර දක්‌වන්නේ නම් කරුණාකර ප්‍රථමයෙන් ඒ ලිපි කියවන මෙන් ඉල්ලා සිටිමි. නැත හොත් මා ලියා ඇති කරුණු නැවත නැවතත් ලිවීමට සිදු වනු ඇත. පසුගිය සතියේ පළ වූ කොටන්දෙනිය මහතා ගේ ලිපිය සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එය ය.

මාටින් ලූතර් නම් දේවගැති තැන කතෝලික චින්තනයට ආගම පැත්තෙන් අභියෝග කළ ප්‍රසිද්ධ තැනැත්තා විය. ඔහු කතෝලික චින්තනයේ සමස්‌තයට අභියෝග කළේ ය. ඔහු දෙවියන් වහන්සේ යනු පෞද්ගලික අත්දැකීමක්‌ බවට පත් කළේ ය. ඔහු ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි දරුවෙක්‌ විය. ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි සමස්‌තය වෙනුවට පෞද්ගලිකත්වය වෙයි. මේ චින්තනයෙහි බිහි වී ඇති යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය අද ලෝකයේ අධිපතිවාදී සංස්‌කෘතිය බවට පත් වී ඇත. මෙරට ද අද අධිපතිවාදී සංස්‌කෘතිය යුදෙව් ක්‍රිස්‌තියානි වෙයි. මෙරට අද අපරාධ වැඩි වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්‌කෘතියේ වරදක්‌ නිසා නො ව යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය අද මෙරට අධිපතිවාදී සංස්‌කෘතිය බවට පත් වී ඇති බැවිනි. අද ලෝකයේ අපරාධ වැඩියෙන් ම කෙරෙන්නේ ඇමෙරිකාවේ යෑයි කීම අතිශෝක්‌තියක්‌ නො වේ. අපේ රටෙහි ද ඉන්දියාවෙහි ද වෙනත් ආසියාතික රටවල ද කාමුකත්වය ඉතා භයානක ආකරයට පැතිරී ඇත්තේ අප ඉවක්‌ බවක්‌ නැති ව යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය අනුකරණය කරන බැවිනි. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ඇති වරද එය යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට යට වීම ය.

එය එසේ වී ඇත්තේ බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය මිනිසුන් ගේ ඇඟට ඉල්ලන දෙය දීමට සූදානම් වීම හේතුවෙනි. මිනිසුන් පාපයට පෙලඹීම ස්‌වාභාවික ය. එය මිනිසුන් ගේ ස්‌වභාවය ය. අපට අවශ්‍ය වන්නේ අපේ ඉන්ද්‍රිය පිනවීම මිස තැවීම නො වේ. තවුසා යනු මේ ඉන්ද්‍රිය පිනවීමට ඇති කැමැත්ත තවන්නෙකි. කතෝලික චින්තනයෙහි ද කතෝලික ආගමෙහි ද යම් තැවීමක්‌ වෙයි. බොහෝ සංස්‌කෘතීන්හි මේ තැවීම දැකිය හැකි ය. තවුසෝ හෙවත් තාපසයෝ මේ ඉන්ද්‍රිය පිනවීමට ඇති කැමැත්ත අනෙක්‌ අයට වඩා තවති. තාපයෙන් කෙරෙන්නේ තැවීමකි. තාපසයෝ අනෙක්‌ අයට වඩා පවු තවති. එහෙත් අනෙක්‌ අය ද තාපසයන් පමණට ම නො වුණත් පවු තවති. ගිනි පෑගීම ද එක්‌තරා ආකාරයකින් පවු තැවීමට සම්බන්ධ ය.

එක්‌ සංස්‌කෘතියක්‌ ඉන්ද්‍රිය පිනවීමට අපේ ඇති කැමැත්ත තැවීමට අනුබල දෙද්දී අනෙක්‌ සංස්‌කෘතියක්‌ වැඩි වැඩියෙන් ඉන්ද්‍රිය පිනවීමට අනුබල දෙද්දී මිනිසුන් තෝරා ගන්නේ කුමන සංස්‌කෘතිය ද? යුරෝපීයයන් පැමිණීමට පෙර අපි පවු තැවීමට අනුබල දෙන සංස්‌කෘතියක ජීවත් වීමු. අද සිටින කසිකබල් ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් ආදීන් කියාගන්නන් බොහෝ විට කියන්නේ මිනිසුන් ඉල්ලන දේ අප දිය යුතු ය යන්න ය. මේ ජනමාධවේදීන්, කලාකරුවන් තවුසන් නො වන බව අපි දනිමු. මිනිසුන් මූලික වශයෙන් ඉල්ලන්නේ ඉන්ද්‍රිය පිනවීමට ය. ජනමාධ්‍යවේදීහු ද කලාකරුවෝ ද ජනප්‍රිය ආකාරයෙන් මෙන් ම ඊනියා සම්භාව්‍ය ආකාරයෙන් ද බොහෝ විට ඒ ලබා දෙති. එය එලොවටත් මෙලොවටත් වැඩදායක නො වේ. එලොවක්‌ ගැන විශ්වාස නො කරන අනුකාරක ද්‍රව්‍යවාදී පුස්‌සකුට වුවත් සීමාවක්‌ නොමැති ව ඉන්ද්‍රිය පිනවීම මෙලොවට වුවත් වැඩදායක නො වන බව තේරුම් යා යුතු ය.

අද ලෝකයේ සීමිත ස්‌වාභාවික සම්පත් සිඳී යන්නේ අපේ අසීමිත ආශාවන්, එනම් ඉන්ද්‍රිය පිනවීමට ඇති ආශාවන් සපුරා ලීමට යැම හේතු කොටගෙන ය. කසිකබල් මාක්‌ස්‌වාදය ද ඉන්ද්‍රිය පිනවීම සඳහා ස්‌වාභාවික සම්පත් නැසීමට සෑදී පෑදී සිටියේ ය. පරිසරය රැකීම මාක්‌ස්‌වාදයේ අංගයක්‌ නො වේ. එංගල්ස්‌ අවිඥානිකව පරිසරය ගැන ලියා ඇති වාක්‍යයක්‌ දෙකක්‌ හැරෙන්නට පැරැණි (මම එයට සම්භාව්‍ය යෑයි නො කියමි) මාක්‌ස්‌වාදයේ පරිසරය රැකීම ගැන කියා ඇත්තේ කොහේ ද? මාක්‌ස්‌වාදී වේ වා ලිබරල්වාදී වේ වා ඊනියා පරිසරවාදී වේ වා බටහිරයන්ට පරිසරය රැකිය නොහැකි ය. මේ පිළිබඳව මා ලියා ඇති ලිපිවලින් සමහරක්‌ පොතක්‌ වශයෙන් ද පළ වී ඇත. කොටන්දෙනිය මහතා වැන්නන් ඒ පොත කියවන්නේ නම් මැනවි.

පෘතුගීසීන් සමග මේ රටට කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා සංස්‌කෘතිය පැමිණියේ ය. ස්‌පාඤ්ඤයන් හා පෘතුගීසීන් ආගමෙන් කතෝලිකයන් වුව ද ඔවුන් ලෝකයට ගෙන ගියේ කතෝලික විරෝධී නැ`sගී ආ යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌තෘතිය ය. අවුරුදු පන් සියයකට ආසන්න කාලයක්‌ අපි මේ මානව විරෝධී, සත්ත්ව විරෝධී, පරිසර විරෝධී සංස්‌කෘතියට ඉඩ නො දුන්නෙමු. අපේ ගැමියෝ බටහිර අධ්‍යාපනයේ අවලම් බලපෑම ඉදිරියේ ද පාපය තැවීමට කටයුතු කළ හ. එහෙත් එය තවදුරටත් කරගෙන යැමට අපට අවාසනාවකට 1956න් පසු බැරි විය. පනස්‌ හය බටහිර සංස්‌කෘතියට විරුද්ධ ව කරන ලද යටත් විජිත විරෝධී සටනක්‌ වුව ද එය හරි ම`ග ගෙන යැමට අපට නොහැකි විය. අප ඒ හේතුවෙන් ම යම්තමින් වුව අපේ යෑයි කිව හැකි අධ්‍යාපනයක්‌ තිබිණි ද ඒ නැති විය. බටහිර අධ්‍යාපනයට අප යටත් වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ව විෙද්‍යාදය හා විද්‍යාලංකාර පිරිවෙන් අපට අහිමි විය. තකතීරු අනුකාරක ආයතන දෙකක්‌ වූ ශ්‍රී ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාල අපට හිමි වූයේ පවු තවන්නන් තැවීමෙන් ය. කාලෝ ෆොන්සේකා මහතා කැලණිය වෛද්‍ය පිඨයේ පීඨාධිපති වීම ඒ ක්‍රියාදාමයේ සංකේතයක්‌ පමණි. මෙය තවදුරටත් විස්‌තර කළ යුතු ව ඇත.

නලින් ද සිල්වා