logo3.gif (702 bytes)

HOME


දැනුම අවශෝෂණය කිරීම

අපේ දැනුම ලබාගැනීමේ ක්‍රමය බටහිර විද්‍යාවේ දැනුම ලබාගැනීමේ ක්‍රමයට හාත්පසින් වෙනස්‌ ය. බටහිර විද්‍යාව උද්ගමනය හා කතන්දර ගෙතීම තම විධික්‍රමය ලෙස සලකයි. බටහිර විද්‍යාවේ දර්ශනයෙහි සාමාන්‍යයෙන් දැනට සඳහන් වන, එනම් බටහිර විද්‍යාඥයන් වැඩි දෙනා පිළිගන්නා, අදහස කාල් පොපර් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයා ගේ ඊනියා අසත්‍යකරණ ප්‍රවාදය මත පදනම් වෙයි. පොපර්ට අනුව බටහිර විද්‍යාවේ දැනුම අසත්‍යකරණයට ලක්‌ කළ හැකි ය. එහෙත් ලෝකයේ තිබූ හෝ තිබෙන හෝ අනෙක්‌ දැනුම් පද්ධතීන් එසේ අසත්‍යකරණයට ලක්‌ කළ නො හැකි ය. ඒ අනෙක්‌ දැනුම් මිථ්‍යා ලෙස සැලකීමට බටහිරයන් යොමු වී ඇත. එහෙත් මේ මිථ්‍යා යෑයි කියෑවෙන දැනුම් ඊනියා විද්‍යාවට වඩා ලොවට හිතකර බවත් සංගත බවත් පෙනී යයි.

බටහිර විද්‍යාව පළමුවෙන් නිරීක්‍ෂණ කරන බව කියයි. මේ නිරීක්‍ෂණ, හුදු පරීක්‍ෂණ, එසේත් නැත්නම් සම්පරීක්‍ෂණ විය හැකි ය. ඒ කුමක්‌ වුවත් යම්කිසි ගහණයක්‌ සම්බන්ධයෙන් යම් ගුණයක්‌ පූර්ණ වශයෙන් නිරීක්‍ෂණය කිරීමේ හැකියාවක්‌ බටහිර විද්‍යාඥයන්ට නොමැත. එබැවින් ඔවුහු තම නිරීක්‍ෂණ යම් නියෑදි කිහිපයක්‌ සම්බන්ධයෙන් කරන නිරීක්‍ෂණ කිහිපයකට පමණක්‌ සීමා කරති. ප්‍රායෝගික ව ගත් කල මුළු ගහණයෙහි ම අදාළ ගුණය නිරීක්‍ෂණය කිරීමට බටහිර විද්‍යාඥයන්ට පරම්පරා ගණනාවක දී වුවත් සිදු කළ නො හැකි ය.

මේ හේතුවෙන් නියෑදි කිහිපයක්‌ සම්බන්ධයෙන් කරන නිරීක්‍ෂණ කිහිපයක්‌ මුළු ගහණයට ම පොදු යෑයි උද්ගමනය කිරීමට බටහිර විද්‍යාඥයන්ට සිදු වෙයි. එම උද්ගමනය යුක්‌තියුක්‌ත කිරීම උදෙසා ඔවුහු ඊනියා සංඛ්‍යානාත්මක ක්‍රම උපයෝගී කර ගනිති. අසවල් පරීක්‍ෂාව සිදු කිරීමෙන් තම උද්ගමනය යම් සම්භාවිතාවක්‌ ඇතුළත නිවැරැදි යෑයි කීමට ඔවුහු පුහුණු කෙරෙති. එහෙත් එය උද්ගමනයක්‌ පමණක්‌ බව අපට අමතක කළ නො හැකි ය. මේ බව වසන් කිරීමට මෙන් යම් ගහණයකින් නියෑදි තෝරාගැනීම පිළිබඳ ඊනියා විද්‍යාත්මක ක්‍රම ගැන සඳහන් කිරීමට බටහිර විද්‍යාඥයන්ට සිදු වෙයි.

උද්ගමනය සාධාරණීකරණයක්‌ බැවින් එහි ප්‍රතිඵලය වියුක්‌ත වෙයි. සමස්‌ත ගහණය සඳහා ම අදාළ නිරීක්‍ෂණ කළ හැක්‌කේ උසස්‌ ආධ්‍යාත්මික ශක්‌තියක්‌ ඇත්තකුට ය. පෘථග්ජන විද්‍යාඥයකුට කෙතරම් බුද්ධිමත් වුවත් ගහණය සඳහා ම නිරීක්‍ෂණ කළ නො හැකි ය. එබැවින් බටහිර විද්‍යාවේ උද්ගමනය ද තවත් වියුක්‌ත කතන්දරයක්‌ පමණ ය. කෙසේ වෙතත් උද්ගමනයක්‌ කිරීමෙන් පසුව අදාළ නිරීක්‍ෂණය තේරුම් ගැනීමට බටහිර විද්‍යාඥයන්ට අවශ්‍ය වෙයි. මෙහි දී බටහිර විද්‍යාඥයන් ඒ ඊනියා තේරුම් ගැනීම කරනුයේ වියුක්‌ත කතන්දර ගෙතීමෙනි.

බටහිර විද්‍යාවේ වියුක්‌ත කතන්දර ගෙතීම ඇරඹුණේ කොපර්නිකස්‌ හා ගැලීලියෝ ගෙන් පසුව ය. එය ශක්‌තිමත් ක්‍රමයක්‌ බවට පත් කෙරුණේ නිවුටන් අතිනි. පොළොව ඉර වටා යැම අපේ ප්‍රත්‍යක්‍ෂ දැනුමක්‌ නො වේ. ලංකාවේ කිසිවකු තම දෑසින් පොළොව ඉර වටා යන බව නිරීක්‍ෂණය කර නැත. අඩු ම තරමෙන් පොළොව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බවවත් ලංකාවේ කිසිවකු විසින් නිරීක්‍ෂණය කෙරී ඇතැයි නො සිතමි. ඒ සියල්ල අප විශ්වාස කරන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් ලබාගත් දැනුමක්‌ නිසා නො ව අපට හා අපේ ගුරුවරුන්ට ද වැඩිහිටියන්ට ද බටහිරයන් සෘජු ව හෝ වක්‍ර ව හෝ කියා දී ඇති බැවිනි.

කොපර්නිකස්‌ට පෙර භාරතයේ ජීවත් වූවෝ පොළොව ඉර වටා ගමන් කරන බව දැන සිටියෝ ය. ඔවුන්ට එය ප්‍රත්‍යක්‍ෂයක්‌ විය. ඒ ප්‍රත්‍යක්‍ෂය ආධ්‍යාත්මික ව ලබාගත්තකි. භාවනාවෙන්, යෝගී අභ්‍යාසවලින් ආදී වශයෙන් මේ රටවල සිටි පඬිවරුන්ට ඒ දැනුම ලබාගත හැකි විය. එහෙත් මේ දැනුම පළමුව නැෙ`ගනහිර යුරෝපයටත්, දෙවැනුව දකුණු යුරෝපයටත් ගිය විට එහි වැසියන්ට (බුද්ධිමතුන්ට) එය ආධ්‍යාත්මික ව ලබාගැනීමට නොහැකි විය. ඔවුන්ට එය මනසෙන් ග්‍රහණය කරගත හැක්‌කක්‌ නො වී ය. ඔවුන්ට එය වියුක්‌ත කතන්දරයක්‌ පමණක්‌ විය. ඒ කතන්දරය ඔවුන්ට සූර්යග්‍රහණ ඇතුළු ග්‍රහණ ආදිය තේරුම් ගැනීමට යොදාගත හැකි විය.

මෙය එක්‌ සංස්‌කෘතියක ඇති දැනුමක්‌ තවත් සංස්‌කෘතියකට අවශෝෂණය කෙරෙන්නේ කෙසේ ද යන්න දැනගැනීමේ දී ද වැදගත් වෙයි. පොළොව සූර්යයා වටා යන්නේ ය යන දැනුම භාරතයේ ආධ්‍යාත්මික ව ලබාගත් දැනුමක්‌ විය. එය ඇතැම් පඬිවරුන්ට ප්‍රත්‍යක්‍ෂ දැනුමක්‌ විය. ඒ සංස්‌කෘතියේ විඤ්ඤුදුන් වූ එම පඬිවරුන් ගෙන් ලබාගත් දැනුම අනෙක්‌ අයට ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නොහැකි වූවත් විඤ්ඤුදුන් ගෙන් ලබාගත් විශ්වාස කටයුතු දැනුමක්‌ විය.

එහෙත් බටහිර පඬිවරුන් ඒ දැනුම ලබාගත්තේ වියුක්‌ත කතන්දරයක්‌ ලෙස ය. බටහිර සංස්‌කෘතියෙහි ඒ දැනුම ආධ්‍යාත්මික ව ලබාගත හැකි පඬිවරු නො සිටිය හ. එහෙත් එම සංස්‌කෘතියෙහි භාරතයෙහි තිබුණාට වඩා වියුක්‌ත චින්තනයක්‌ විය. බටහිර පඬිවරු භාරතීයයන් ගේ ආධ්‍යාත්මික දැනුම තම සංස්‌කෘතියට අවශෝෂණය කරගත්තේ තම සංස්‌කෘතියට සාපේක්‍ෂව වියුක්‌ත දැනුමක්‌ ලෙස ය. ඔවුන්ට එය උද්ගමනයක්‌ ද විය. පොළොව ඉර වටා යැම සියලු කාලයට ම නිරීක්‍ෂණය කළ නොහැකි වූ හෙයින් ඔවුහු පරිමිත නිරීක්‍ෂණ යම් ප්‍රමාණයක්‌ සියලු කාලයට ම සාධාරණ වූ දැනුමක්‌ බවට පත් කර ගත් හ.

අද අපි බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි නිර්මාණය වූ බටහිර විද්‍යාව අපේ සංස්‌කෘතියට අවශෝෂණය කරනු වෙනුවට අනුකරණය කරන්නෙමු. ඒ අනුකරණය හේතුවෙන් මෙරට බිහි වන්නේ අනුකාරක බටහිර විද්‍යාඥයන් පිරිසක්‌ පමණකි. ඔවුන්ට ආචාර්ය උපාධියක්‌ ලබාගත හැකි වුවත් විද්‍යාවේ මධ්‍යයෙහි දැනුම නිර්මාණය කළ නො හැකි ය. මෙරටින් හරිහමන් බටහිර විද්‍යාඥයකු බිහි නො වන්නේ එබැවිනි. වියුක්‌ත චින්තනයක්‌ නොමැති අපේ සංස්‌කෘතියෙහි බටහිර විද්‍යාව ජනප්‍රිය කළ නො හැකි ය. එය ඉතා සුළුවෙන් වියුක්‌ත ව සිතිය හැකි පඬියන් කිහිප දෙනකු හා බටහිර දැනුමෙන් සිහි විකල් කරගෙන ඇති අනුකාරකයන් කිහිප දෙනකු අතර පමණක්‌ ජනප්‍රිය වෙයි.

එහෙත් බුදුදහම එසේ නො වේ. සිදුහත් කුමරු කොහේ උපන්නත් එතුමා ඉපදී ඇත්තේ වෛදික සමාජයක නො වේ. වෛදික සමාජයක උපත ලැබුවේ නම් බමුණන් ගේ තරමක වියුක්‌ත දැනුමෙහි හා විශ්ලේෂණයෙහි කොටු වී එතුමාට බුද්ධත්වය ලබාගැනීමට නොහැකි වනු ඇත. සිදුහත් කුමරු ඉපදීමට පෙර පස්‌මහ බැලුම් බලා ඇත්තේ බුදු වීමට සුදුසු සංස්‌කෘතියක උපත ලැබීමට ය. සිදුහත් කුමරු ඇස්‌කිමෝවරයකු ලෙස උපත ලැබී නම් බුදු වීමට නොහැකි වනු ඇත.

මහින්දාගමනයට පෙර මෙරට හෙළ බෞද්ධයන් සිටි බව අපි කීවෙමු. මේ අයට බෞද්ධයන් වීමට හැකි වී ඇත්තේ ඔවුන් ගේ සංස්‌කෘතියෙහි බුදුදහම බිහි වුවත් නැතත් එම සංස්‌කෘතිය බුදුදහමට තෝතැන්නක්‌ වූ බැවිනි. මහින්දාගමනයෙන් පසුව හෙළ බෞද්ධ චින්තනයෙහි වෙනසක්‌ සිදු වී නැත. සිදු ව ඇත්තේ ක්‍රමයෙන් හෙළ බෞද්ධයන් සිංහල බෞද්ධයන් බවට පත් වීම ය. මිහිඳු හිමියන් ඇසූ ප්‍රශ්නවලට කිසිදු ආයාසයකින් තොර ව පිළිතුරු දීමට දේවානම්පිය තිස්‌ස රජුට හැකි වීමෙන් පෙන්නුම් කරන්නේ මෙරට සංස්‌කෘතිය මහින්දාගමනයට පෙර සිට ම බුදුදහම පිළිගැනීමට සූදානමින් සිටි බව ය.

බුදුදහම මෙරට ප්‍රචලිත වීමටත් ජනප්‍රිය වීමටත් හේතුව රාජ්‍ය අනුග්‍රහය වත් වෙනත් කරුණක්‌ වත් නො ව මෙරට සංස්‌කෘතිය, එනම් හෙළයන් ගේ සංස්‌කෘතිය බුදුදහමෙහි පදනම් සංස්‌කෘතිය ම හෝ එයට ඉතා ම සමීප සංස්‌කෘතියක්‌ වීම ය. රාජ්‍ය අනුග්‍රහ සහිත ව වුවත් බටහිර විද්‍යාව මෙරට ජනප්‍රිය නො වන්නේත් මුල්බැස නො ගන්නේත් සිංහල බෞද්ධ සංස්‌කෘතිය බටහිර විද්‍යාව නිර්මාණය වන යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙන් ඉතා දුරස්‌ථ ව පිහිටි නිසා ය.

භාරතයෙන් බුදුදහම නැති වී යැමට මුස්‌ලිම් ආක්‍රමණය ආදිය හේතු වී ඇති නමුත් වෛදික සංස්‌කෘතිය බුදුදහමේ සංස්‌කෘතියට ආගන්තුක වීම වඩා වැදගත් හේතුව වී යෑයි සිතිය හැකි ය. මුස්‌ලිම් ආක්‍රමණය හේතුවෙන් වෛදික සංස්‌කෘතිය හා හින්දු ආගම නැති නො වී ය. මුස්‌ලිම් ආක්‍රමණයට වෛදික සංස්‌කෘතිය හා හින්දු ආගම අතුගා දැමීමට නොහැකි විය. එයට හේතුව භාරතය යනු වෛදික සංස්‌කෘතියෙහි නිජභූමිය වීම ය. එහෙත් මුස්‌ලිම් ආක්‍රමණයට බුදුදහම භාරතයෙන් පහසුවෙන් ම අතුගා දැමීමට හැකි විය.

හින්දු ආගම භාරතයේ කෙතරම් මුල්බැසගෙන තිබේ ද යන්න සික්‌ ආගමෙන් පැහැදිලි වෙයි. සික්‌ ආගම යනු අන් කිසිවක්‌ නො ව ඉස්‌ලාම් ආගම වෛදික සංස්‌කෘතිය තුළට ගැනීමේ ප්‍රතිඵලයකි. අඩු තරමෙන් භාරතයේ එක්‌ ප්‍රදේශයක ඉස්‌ලාම් ආගම තම සංස්‌කෘතිය තුළට අවශෝෂණය කරගැනීමට වෛදිකයන්ට හැකි විය. එහෙත් බුදුදහම භාරතයෙන් අතුගෑවී ගියේ ය. මුස්‌ලිම් ආක්‍රමණය එසේ අතුගෑවී යැමට හේතුවක්‌ වී ඇති නමුත් එය එක ම හේතුව ලෙස සැලකිය නො හැකි ය. බෞද්ධ සංස්‌කෘතිය වෛදික භාරතයට ආගන්තුක විය.

මුස්‌ලිම් සංස්‌කෘතිය ද යම් ප්‍රමාණයකට භාරතයේ මුල් බැසගෙන ඇත. අප සිතන තරම් මුස්‌ලිම් සංස්‌කෘතිය භාරතීය වෛදික සංස්‌කෘතියෙන් ඈත් නො වේ. සංස්‌කෘති දෙකෙහි ම ලෝක නිර්මාණයක්‌ හා නිර්මාපකයෝ වෙති. සංස්‌කෘති දෙක ම ආත්මවාදී වෙයි. ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ද ඒ දැකිය හැකි නමුත් සමස්‌තය දක්‌නට නැත. ඇතැම් විට සාමූහිකත්වය අගයන කතෝලික සංස්‌කෘතිය භාරතයේ ද මුල් බැස ගැනීමට තිබිණි.

එහෙත් බුදුදහම ලෝක නිර්මාණයක්‌ ප්‍රතික්‍ෂෙප කරයි. එහි නිර්මාපකයකු නැත. විශ්ලේෂණයක්‌ ද කිඳා බැස නැත. තුන්වැනි සංගායනාවෙන් පසු විශ්ලේෂණයක්‌ (විහඡ්ජවාදයක්‌) එකතු වුණ ද එය එතරම් ජනතාව අතරට නො ගියේ ය. තුන්වැනි සංගායනාවේ විහඡ්ජවාදයට එරෙහි ව ක්‍රියාකර ඒ පරාජය කිරිමට වෛදික බමුණෝ වැඩි කල් නො ගොස්‌ ම සමත් වූ හ. බුදුදහම භාරතයේ ප්‍රචලිත වූයේ ධර්මාශෝක රජු දවස හා ඉන් පසුව ටික කලකට ය. අශෝක රජුට පෙර භාරතයේ කිසි ම පෙදෙසක බුදුදහම මුල් බැසගෙන තිබූ බවක්‌ කිව නො හැකි ය.

අශෝක සමයේ හා ඉන් පසුව භාරතයේ බුදුදහම පැතිර ගියේ රාජ්‍යානුග්‍රහයෙන් බව පැහැදිලි ය. එමෙන් ම පසු කලෙක මහායාන බුදුදහම පැතිරීමට ද රාජ්‍යානුග්‍රහය හේතු විය. රාජ්‍යානුග්‍රහය නැති වූ විට බුදුදහමට හා බෞද්ධ සංස්‌කෘතියට භාරතයේ වැදගත් තැනක්‌ හිමි නො වූ බව කිව හැකි ය. මෙය ඉතා වැදගත් කරුණක්‌ වෙයි. එහෙත් ලංකාවේ බුදුදහම ප්‍රචලිත වූයේ රාජ්‍යානුග්‍රහයක්‌ නොමැති ව ය. බුදුදහම මෙරට සංස්‌කෘතිය, එනම් හෙළ සංස්‌කෘතිය සමග ගහට පොත්ත මෙන් බැඳිණි. පසු කලෙක අග්නිදිග ආසියාවට බුදුදහම පැතිරී ගියේ ද ලංකාවෙනි. ආගමකින් සංස්‌කෘතියක්‌ වෙනස්‌ කළ හැකි ය. එහෙත් ආගමක්‌ බිහි වන්නේ ම එයට අදාළ සංස්‌කෘතියක ය.

නලින් ද සිල්වා