logo3.gif (702 bytes)

HOME


හෙළ බෞද්ධ චින්තනය

මෙරටට මිහිඳු මහ රහතන්වහන්සේ හඳුන්වා දුන්නේ තුන්වැනි සංගායනාවේ බුදුදහම ය. අවශ්‍ය නම් එයට අශෝක බුදුදහම යෑයි කිව හැකි ය. කෙසේ වෙතත් අද අප ථෙරවාද බුදුදහම යෑයි කියන්නේ මේ තුන්වැනි සංගායනාවේ බුදුදහම ය. ථෙරවාදය යනු හීනයානය යෑයි හැඳින්වෙන බුදුදහමට අයත් එක්‌ පද්ධතියකි. තුන්වැනි සංගායනාවේ බුදුදහම මෙරටට හඳුන්වා දෙනු ලැබීමට පෙර ද මෙරට බුදුදහමක්‌ විය. එය බුදුන් වහන්සේ ම යක්‍ෂ හා එකල ලංකාවේ විසූ අනෙක්‌ ගෝත්‍රිකයන්ට දේශනා කර ඇත. එම බුදුදහම තුන්වැනි සංගායනාවට පෙර තිබූ බුදුදහමකි.

බුදුන් වහන්සේ මෙරටට තුන්වරක්‌ වැඩි බව මහාවංශයේ සඳහන් වෙයි. යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ කෘතිවලින් ඉතිරි වී ඇති කෘතියක්‌ වූ වර්ගපූර්ණිකාවෙහි බුදුන් වහන්සේ බුදු වීමෙන් සත්වැනි වස මෙරටට වැඩම කළා පමණක්‌ නො ව වස්‌වැසීම ද මෙරට ම සිදු කළ බව සඳහන් වෙයි. සාමාන්‍යයෙන් අපට උගන්වා ඇති බුදුදහමට අනුව බුදුන් වහන්සේ සත්වැනි වස වස්‌වැසීම දෙව්ලොව සිදු කර ඇත. මෙය ලංකාවෙහි දී යක්‍ෂ ගෝත්‍රික කවිලාශපාලි මෙහෙණින් වහන්සේ ගේ ආරාධනයෙන් කෙරී ඇත්නම් අපට ඒ ගැන තවදුරටත් සිතා බැලීමට සිදු වෙයි.

කවිලාශපාලි මෙහෙණියට රත්නාවලී යන නම ද භාවිත වූ බව වර්ගපූර්ණිකාවෙහි තවදුරටත් සඳහන් වෙයි. එපමණක්‌ නො ව ගැමුණු රජතුමා රුවන්වැලි සෑය තැනුවේ රත්නාවලී මෙහෙණින් වහන්සේ ගේ නමින් යෑයි ද වර්ගපූර්ණිකාවෙහි සඳහන් වෙයි. සිංහලයන් මේ සෑය හඳුන්වන්නේ රුවන්වැලි සෑය කියා මිස රුවන්මැලි සෑය කියා නො වේ. එබැවින් ස්‌වර්ණමාලි දෙවඟනක ගේ නමින් සෑය ගොඩනඟනු ලැබී යෑයි අප දන්නා කතාවට වඩා රත්නාවලී මෙහෙණියක ගේ නමින් සෑය බැඳුණු බවට වර්ගපූර්ණිකාවෙහි ඇති කතාව පිළිගත හැකි ය.

බුදුන් වහන්සේ ගෙන් බණ අසා කවිලාශපාලි මෙහෙණිය රහත්ඵලයට පැමිණි බව ද වර්ගපූර්ණිකාවෙහි සඳහන් වෙයි. මෙරට රහත් ඵලයට පැමිණි ප්‍රථමයා එම මෙහෙණින් වහන්සේ බවට වර්ගපූර්ණිකාව සඳහන් කරයි. යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ සමාජය මාතෘ මූලික වූ බැවින් ද බුදුන් වහන්සේ මෙරටට වැඩම කරන ලද කාලයෙහි දී සිංහ වාංශිකයන් ගේ පීතෘ මූලික සමාජය මෙරට ස්‌ථාපිත වී නො තිබූ බැවින් ද කවිලාශපාලී මෙහෙණිය ගේ කතාවට වැඩි ඉඩක්‌ ලැබෙයි.

සිංහ වාංශිකයන් මෙරටට පැමිණ කලක්‌ ගත වීමෙන් පසුව වුව ද මිහිඳු මහරහතාණන් වහන්සේ ගෙන් බණ අසා මෙරට පළමුව මාර්ගලාභී වී ඇත්තේ අනුලා බිසොව ය. දේවානම්පියතිස්‌ස රජු ගේ සමය වන විට ද මාතෘ මූලික සමාජයේ අංග යම් ප්‍රමාණයකින් වුවත් මෙරට පැවතුණාට සැකයක්‌ නැත. හැරත් බුදුදහම ස්‌ත්‍රීන්ට සමාජයේ නිසි තැන ලබා දීමට සැම විට ම ක්‍රියා කර ඇත.

තුන්වැනි සංගායනාවෙන් පසු මෙරටට හඳුන්වා දෙනු ලැබූ ථෙරවාද බුදුදහමෙහි හෙවත් මහාවිහාරික බුදුදහමෙහි සඳහන් නො වන ඇතැම් කරුණු යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ බුදුදහමෙහි හෙවත් හෙළ විහාරික බුදුදහමෙහි කෘතියක්‌ වූ වර්ගපූර්ණිකාවෙහි සඳහන් වෙයි. වර්ගපූර්ණිකාවට අනුව යශෝධරා රහත් මෙහෙණින් වහන්සේ ද මෙරටට වැඩම කර ඇත. වර්ගපූර්ණිකාවෙහි සඳහන් කරුණු තහවුරු වුව හොත් මෙරට ඉතිහාසය නැවත ලිවීමට සිදු වනු ඇත.

ඒ කුමක්‌ වුවත් බුදුදහම හෙළ විහාරික අර්ථයෙන් හෝ මහාවිහාරික අර්ථයෙන් හෝ වැඩි කලක්‌ යැමට පෙර මෙරට මුල් බැසගෙන ඇත. එයින් අදහස්‌ කෙරෙන්නේ මුළු ලංකාව ම බෞද්ධ වී ය යන්න නො වේ. එහෙත් මෙරට වැසියන් ගෙන් ඉතා වැඩි පිරිසක්‌ කෙටි කාලයක්‌ තුළ බෞද්ධ වී ඇත. එසේ වීමට නම් බුදුදහම මෙරට වැසියන් අතර ජනප්‍රිය විය යුතු ය. බුදුදහම මෙරට මුල් බැසගැනීමටත් දඹදිවෙන් හෝ භාරතයෙන් හෝ ඉන්දියාවෙන් හෝ එය අතුරුදන් වීමටත් වැදගත් හේතුවක්‌ තිබිය යුතු ය.

ආසියාතික කලාපයෙහි ඉන්දියාව, පිලිපීනය හා මුස්‌ලිම් රටවල් හැරෙන්නට සෙසු රටවල මූලික වශයෙන් ඇත්තේ යම් ආකාරයක බුදුදහමකි. පිලිපීනය කතෝලික වී ඇත්තේ යටත්විජිත ආක්‍රමණයක ප්‍රතිඵලයක්‌ ලෙස ය. මුස්‌ලිම් රටවල ද ඉස්‌ලාම් ආගම පැතිර යැමට කඩුව හෙවත් යුද බලය හේතු වී ඇත. එමෙන් ම කතෝලික/ක්‍රිස්‌තියානි හා ඉස්‌ලාම් ආගම් පැතිර යැමේ දී හින්දු ආගමික කුල පීඩනය ද සුළුවෙන් නමුත් බලපා ඇත. ඊනියා අඩු කුල ජනතාව කුල භේදයක්‌ ගැන කතා නො කරන, එහෙත් වෙනත් භේද ඇති ඉස්‌ලාම් හා ක්‍රිස්‌තියානි/කතෝලික ආගම් වැළඳ ගැනීමට පෙලඹී ඇත.

හින්දු ආගම බලවත් ව දැකිය හැකි වනුයේ වත්මන් ඉන්දියාවේ, නේපාලයේ හා ඉන්දියාවේ බලපෑම්වලට හසු වන රටවල ය. හින්දු ආගම පැතිර යැමේ දී බලපාන වැදගත් සාධකයක්‌ වනුයේ ජනතා සංක්‍රමණය ය. අද ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි ජනයා වෙනත් ප්‍රදේශවලට (රටවලට) සංක්‍රමණය වීමේ දී ඒ ජනයා තමන් සමග හින්දු ආගම ද ඒ ප්‍රදේශවලට හා රටවලට ගෙන ගොස්‌ ඇත. අද ලංකාවේ වුව ද හින්දු ආගම අදහන්නේ පසුගිය වසර දෙ සිය පනහක පමණ කාලය තුළ විවිධ අවස්‌ථාවල ලන්දේසීන් හා ඉංගිරිසින් මෙරටට ගෙනා ජනයා ය. වෙනත් ආගමක ජනයා ඒ ආගම අත්හැර හින්දු ආගම වැළඳ ගනු දැකිය හැකි අවස්‌ථා ඉතා විරල ය.

එහෙත් බුදුදහම මේ සියලු ආගම්වලින් වෙනස්‌ වන්නේ එය කඩුවේ බලයෙන් (යුද්ධයෙන්) වෙනත් රටවලට ගෙන යැමක්‌ දැකිය නොහැකි බැවින් හා වෙනත් ඇදහිලි සහිත ජනයා බුදුදහම වැළඳගෙන ඇති බැවිනි. බුදුදහම ඉතා පැහැදිලිව ආසියාවේ ආගම ය. එය ආසියාවේ ආයාසයකින් තොරව ම මුල් බැසගෙන ඇත. විශේෂයෙන් ම ලංකාවේ බුදුදහම ඉතා ශක්‌තිමත් ව මුල්බැස ගෙන ඇත. එහෙත් සාධාරණ වශයෙන් ගත් කල ආසියාවේ හෝ විශේෂයෙන් ලංකාවේ හෝ බටහිර විද්‍යාව ජනප්‍රිය වී මුල් බැස ගැනීමක්‌ සිදු නො වී ඇත.

අපට අවශ්‍ය එය එසේ සිදු වූයේ ඇයි ද යන්න දැනගැනීමට ය. එනම් ඒ සඳහා අපේ ප්‍රවාදයක්‌ ගෙතීමට ය. වෙනත් අයුරකින් කියන්නේ නම් ඒ සඳහා කතන්දරයක්‌ ගෙතීමට ය. අපට දැනටමත් ඒ සඳහා වියුක්‌ත සාධාරණ ප්‍රවාදයක්‌ ඇත. ඒ අනුව එයට හේතුව ආසියාවේ හා විශේෂයෙන් ම ලංකාවේ චින්තනය බුදුදහමේ චින්තනය සමග එකඟ වීමත් බටහිර විද්‍යාවේ චින්තනය සමග එකඟ නො වීමත් ය. කෙතරම් වෑයම් කළත් ආසියාවෙන් බටහිර විද්‍යාවේ අනුකාරකයෝ පමණක්‌ ම බිහි වෙති. බටහිර විද්‍යාඥයෝ බිහි නො වෙති.

අප මෙහි දී අවධාරණය කළ යුත්තක්‌ නම් අප වියුක්‌ත ප්‍රවාද ගොතන්නේ අපේ චින්තනයට පිටින් ගොස්‌ බව ය. අපට වියුක්‌ත ප්‍රවාදයක්‌ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නො හැකි ය. එහෙත් අපේ සංස්‌කෘතියෙහි දැනුම ලබාගන්නේ ප්‍රත්‍යක්‍ෂයෙනි. ඒ සඳහා අපේ ආධ්‍යාත්මික ශක්‌තිය වර්ධනය කරගත යුතු ය. එසේත් නැත හොත් වක්‍ර ව දැනුම ලබාගැනීම සඳහා ආධ්‍යාත්මික ව උසස්‌ තත්ත්වයකට පත් වී සිටින අය සමග සන්නිවේදනය කිරීමට හැකියාව තිබිය යුතු ය. අපට දැනට එවැනි ආධ්‍යාත්මික ශක්‌තියක්‌ නොමැත. එබැවින් අපි ප්‍රත්‍යක්‍ෂයෙන් නො ව වියුක්‌ත ප්‍රවාද ඔස්‌සේ දැනුම ලබාගැනීමට කටයුතු කරමු.

බටහිර විද්‍යාවේ චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි වෙයි. එය ආසියාවට ආගන්තුක ය. අපේ රටවලින් හරිහමන් විද්‍යාඥයන් බිහි නො වන්නේ එබැවිනි. ලංකාවේ අපේ චින්තනය සිංහල බෞද්ධ හෝ හෙළ බෞද්ධ හෝ වෙයි. වඩාත් නිරවුල් ව කිව හොත් අපේ චින්තනය හෙළ බෞද්ධ වෙයි. සිංහල බෞද්ධ චින්තනය තුන්වැනි සංගායනාව සමග බැඳී ඇත. ඒ සමග බොහෝ විට ඇත්තේ උගතුන් බව පැහැදිලි ය. ධර්මවාදය, ක්‍ෂණවාදය, යථාර්ථය, මනසේ පැවැත්ම ආදිය ගැන වැඩියෙන් කතා කරන්නෝ බුදුගොස්‌ හිමියන් ගෙන් ඇරඹි අටුවා (පැරැණි හෙළටුවා නො වේ) සාහිත්‍යය සමග බැඳුණු උගත්තු ය. මේ බුදුදහම විසුද්ධි මාර්ගයෙන් පටන් ගැනෙන සාහිත්‍යයට වඩා නැඹුරු ය.

අපේ ගමේ හා බහුතර බෞද්ධයෝ තවමත් හෙළ බෞද්ධ චින්තනයෙහි වෙති. ඔවුන්ට අනේ අනිච්ෙච් යන්නෙහි හෙළ බෞද්ධ චින්තනය ගැබ් වී ඇත. මෙරට හෙළ ගොවිකම, හෙළ (පාරම්පරික) වෙදකම, හා සාධාරණ වශයෙන් ගත් කල මෙරට අපේ ම වූ දැනුම වියුක්‌ත ප්‍රවාදවල නො ව සංයුක්‌ත සිරිත්විරිත්වල දැකගත හැකි ය. අපේ භාෂාවේ ඇති වදන්වල, භාෂා ප්‍රයෝගවල හෙළ බෞද්ධ චින්තනය වෙයි. අඩුවැඩිය, යනඑන ගමන් ආදී ව්‍යවහාර ගැමියන් ගේ කතා බහේ වෙයි.

අපේ චින්තනයෙහි න්‍යාය (කදටසජ) චතුස්‌කෝටිකය වෙයි. සිංහල බෞද්ධ චින්තනයෙහි පුරෝගාමියා වූ දේවානම්පිය තිස්‌ස රජු ගෙන් මිහිඳු මහා රහතන් වහන්සේ ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ හෙළ බෞද්ධ චින්තනයෙහි හා චතුස්‌කෝටිකයෙහි දනම් වෙමිනි. මා මේ ප්‍රශ්න ගැන විග්‍රහයක්‌ මෙයට අවුරුදු විසි පහකට පෙර කළ ද අද වන තුරු මෙරට උගත් සමාජයෙහි ඒ ප්‍රචලිත වී නැත. එයට ප්‍රධාන හේතුව මෙරට වත්මන් උගතුන් කාලාම සූත්‍රයෙහි අරුතෙන් විඤ්Cදුන් නො වීමත් ඔවුන් ඇරිස්‌ටෝටලීය න්‍යායෙහි කොටු වී සිටීමත් ය. ඔවුහු තමන්ට අවශ්‍ය ආකාරයට කාලාම සූත්‍රය, චුල්ලහත්ථිපදොපම සූත්‍රය ආදී සූත්‍ර බටහිර විද්‍යාවට සරිලන ආකාරයට අර්ථ නිරූපනයට උත්සාහ කරති.

එසේ වුවත් මේ උගතුන්ට අනුකාරිකව හැරෙන්නට නිර්මාණාත්මක ව ඇරිස්‌ටෝටලීය න්‍යාය වුව ද සොයාගත නො හැකි ය. එබැවින් ඔවුන්ට බටහිර විද්‍යාව කියවා හෝ වෙනත් අයකු ගෙන් අසාගෙන හෝ ඉගෙනගත හැකි ය. එහෙත් ඔවුන් ගේ පෙළහර එතැනින් නිමා වෙයි. මෙරට යම් නිර්මාණයක්‌ කෙරෙන්නේ නම් ඒ තවමත් ගැමිකම රැකගත් අය ගෙනි. එය ද හෙළ බෞද්ධ චින්තනය තම චින්තනය කරගත් අය ගෙනි. මෙරට උගතුන් හෙළ බෞද්ධ චින්තනය වෙත ආපසු යන්නේ නම් ප්‍රශ්න රාශියකට ම සාර්ථක පිළිතුරු ලබාගත හැකි ය.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය කෙතෙක්‌ උත්සාහ කළ ද මෙරට බටහිර විද්‍යාව ජනප්‍රිය කළ හැකි නො වේ. එය මෙරට මුල් බැස ගැනීමක්‌ ද නො සිදු වනු ඇත. බටහිරයන් ගේ පොතපත කියවා එහි ඇති කරුණු සිංහලෙන් කීම බටහිර විද්‍යාව ජනප්‍රිය කිරීමක්‌ යෑයි ඇතැමුන්ට සිතෙනු ඇත. එහෙත් එයින් පෙනී යන්නේ උගතුන් ගේ හුදු අනුකාරිකත්වය පමණකි. විභාග සඳහා සිසුන් බටහිර විද්‍යාව ඉගෙනීම ද බටහිර විද්‍යාව ජනප්‍රිය වීමක්‌ හෝ මුල් බැස ගැනීමක්‌ හෝ නො වේ. අප කළ යුත්තේ අපේ චින්තනය පාසල් ඇතුළට ගැනීම ය. අඩු ම තරමෙන් සිසුන්ට මවුපියන්ට සහාය වීමටත්, සාමූහිකත්වයට ඔවුන් යොමු කිරීමටත් හැකි වන පරිදි ඒ ඒ පළාත්වල කුඹුරු වැඩ කරන කාලයට පාසල් නිවාඩු ලබා දීමට කටයුතු කළ හැකි දැයි සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යංශය උනන්දු කරවිය යුතු ය.

නලින් ද සිල්වා