logo3.gif (702 bytes)

HOME


දුම්වැටි ප්‍රචාරණයට එරෙහි ව

එක්‌ වරක්‌ දුටු කෙනකු නැවත හැරී බලන තරමට ම ඇය රූමත් නිළියකි. කාලයේ නියමයන්ට අනුව කෙටි කාලයකින් ඇයට චිත්‍රපට හා ටෙලිනාට්‍ය ලැබීම අඩු වන්නට විය. එසේ ම ඇගේ අත ගැවසෙන මුදල් ප්‍රමාණය ද අඩු වන්නට පටන් ගත්තේ ය. ඒ ඇගේ අදක්‌ෂතාවක්‌a නිසා නො වේ. සිනමා ක්‍ෂෙත්‍රය තුළ එකල ඔඩුදුවමින් තිබු ගැටලු ද මීට හේතු විය.

මේ අවස්‌ථාවේ ඇගේ අනුග්‍රහයට ආ එක්‌ තැරුව්කරුවකු පවසා සිටියේ එක්‌තරා දුම්වැටි වර්ගයකට ප්‍රචාරය ලබා දෙන්නේ නම් විශාල මුදල් සම්භාරයක්‌ ලබා දිය හැකි බව ය. මුදල් හිඟ නිසා ඇය ඊට එකඟ විය. ඇයට සිදු වූයේ එක්‌තරා විශේෂිත දුම්වැටි වර්ගයක්‌ පානය කරමින් සමාජය තුළ හැසිරෙන්නට ය.

මෙලෙස සුප්‍රකට මෙන්ම හැඩකාර යෞවනියන් ලවා දුම්වැටි උරන්නට සැලැස්‌වීම දුම්වැටි ප්‍රචාරණයේ එක්‌තරා ක්‍රමෝපායකි. කලකට පසු මේ සුරූපිනිය දුම්වැටි පානයට ඇබ්බැහි වූ අතර රැයේ නින්දට යන මොහොතේ දී පවා ඇයට දුම්වැටියක්‌ නැති ව ම බැරි විය. අවසානයේ දී නින්දට යන අතරතුර දුම්වැටියක්‌ උරමින් සිටිය දී එයින් ගිනි ඇවිළී ඇය බරපතළ ලෙස තුවාල ලැබුවා ය. ඇගේ මුහුණ හඳුනාගත නොහැකි තරමට විරූපී විය.

ඉන්පසු ඇය සිය මුහුණ ප්‍රකෘතිමත් කර ගැනීමට අවශ්‍ය මුදල් ඉල්ලා තමා ප්‍රචාරය ලබා දුන් ආයතනයෙන් ඉල්ලීමක්‌ කළා ය. එහෙත් ඔවුන් වෙතින් ඇයට යහපත් ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැත.

මේ කතාව මා සමග කී දුම්වැටි විරෝධී ක්‍රියාකාරිකයකු මට අවධාරණය කළේa මේ සෙසු අය දුම්වැටි භාවිතයට ඇබ්බැහි කිරීමට දායක වීමේ දිට්‌ඨධම්මවේදනීය විපාකයක්‌ බඳු බවයි.

ඒ ගැන මට ස්‌ථිර ව ම යමක්‌ කිව නොහැකි වුවත් ලොව පුරා නළු නිළියන්, නිරූපිකාවන් මෙන්ම උගතුන් හා ක්‍රීඩකයන් ද වරින් වර දුම්කොළ ප්‍රචාරණ යාන්ත්‍රණයේ ඇණ මුරිච්චි බවට පත් වූ අතර දුම්පානය නිසා ම ඔවුන් අකාලයේ මරුවා වෙත ළං වූ හ. ඒ කිසිදු මොහොතක දුම්වැටි කර්මාන්ත හිමියන් මේ අය ගේ උදව්වට ආවේ නැත.

මරු නියතයි

ඊට නිදසුන් රාශියක්‌ ඇත. එක්‌ නිදසුනක්‌ වන්නේ "මාල්බොරෝ මෑන්" ලෙස හැඳින්වූ Wayne Mclaren ය. ඔහු දිගු කලක්‌ තිස්‌සේ දුම්වැටි දැන්වීම්වලට පෙනී සිටි අතර දැඩි ලෙස දුම් පානයට ඇබ්බැහි වූවෙක්‌ ද විය. එම දුම්පානය ම ඔහුට පෙනහළු පිළිකාවක්‌ දායාද කළ අතර ඔහු අඩු වයසින් මරණයට පත් විය. ඔහු අවුරුදු 25ක්‌ තිස්‌සේ දුම් පානය කළේ මහත් උජාරුවෙනි. කවුරුන් හෝ ඔහුට දුම්පානය අහිතකරයි කී විට ඔහු කිවේ "අවුරුදු 25ක්‌ බිව්වා. කිසි ප්‍රශ්නයක්‌ නැහැ"යි කියා ය. එහෙත් 25ක්‌ බිව් ඔහුට අවුරුදු 26ක්‌ දුම් බොන්නට මරුවා ඉඩ නො දුන්නේ ය. මාස ගණනාවක්‌ තිස්‌සේ පිළිකාවෙන් පීඩා වි`දි ඔහු මිය ගියේ ය.

ඔහු ගේ අවසාන වචන වූයේ මේවා ය.

"සිගරට්‌ ඔබව මරනවා. එය නියතයි. මං ඒකට හොඳ ම නිදසුනක්‌. අනේ අපේ දරුවන් වත් බේරා ගන්න."

එපමණක්‌ නො ව ඔහු තමා නියෝජනය කළ දුම්වැටි සමාගම වෙත ගෙස්‌ ඔවුන් ගේ දැන්වීම් යාන්ත්‍රණය ක්‍රියා විරහිත කරන්නැයි ආයාචනය කළේ ය.

ජීවිතයේ අවසාන කාලයේ, එනම් මරුවා සමග සටනේ යෙදී සිටි අවුරුද්දේ දී ඔහු සිගරට්‌ ප්‍රචාරණයට එරෙහි ව සටනක්‌a කළේ ය.

Mclaren ප්‍රකට හොලිවුඩ් නළුවකු, ස්‌ටන්ට්‌ කෙනකු (නළුවන් වෙනුවෙන් දුෂ්කර ජවනිකාවලට පෙනී සිටින්නකු) මෙන්ම මෝටර් රථ ධාවකයෙක්‌ ද විය. ක්‍රීඩා හා රඟපෑමෙන් ඔහු ලද ජනප්‍රියතාව දුටු දුම්වැටි ආයතන ඔහුව මිල දී ගත්තේ ය. මේ කඩවසම් මිනිසා දුම්වැටි උරන පිංතූරය දුටු තරුණ තරුණියෝ විශාල පිරිසක්‌ දුම්පානයට පෙලඹුණ හ. ඔහු දැන්වීම්වලට පෙනී සිට මුදල් සෙව්වාට අමතර ව දිනකට දුම්වැටි පැකට්‌ එක හමාරක්‌ පාවිච්චි කළේ ය.

මීට අමතරව ප්‍රකට නවකතා රචකයකු වූ ඉයන් ෆ්ලෙමිං ද (ඡේම්ස්‌ බෝන්ඩ් නිර්මාතෘ), රානා රීව්ස්‌ නම් නිළිය ද මිය ගියේ දුම්වැටියට ඇබ්බැහි වීමේ වරදිනි. මේ හැම දෙනා ම දුම් පානයේ යෙදුණා පමණක්‌ නො ව සෘජු ව හෝa වක්‍ර ව හෝ දුම් පානය ප්‍රචාරණයට ද දායක වූවන් ය.

දුම් පානය ප්‍රචාරණයට දායක වී මිය ගිය අය ගැන අප අද මේ කතා කරන්නේa ඇයි දැයි යන්න ඇතැම් විට ඔබට ගැටලුවක්‌ විය හැකි ය.

මැයි 31 දිනට යෙදෙන 2013 වසරේ දුම්වැටි විරොධී දිනයේ තේමාව වී ඇත්තේ "දුම්වැටි ප්‍රචාරණය තහනම් කරමු" යන්නයි.

දුම්වැටි ප්‍රචාරණය, ප්‍රවර්ධනය මෙන්ම දුම්වැටි නිෂ්පාදන ආයතන ම`ගින් විවිධ ව්‍යාපෘති සඳහා කෙරෙන අනුග්‍රාහකත්ව ද තහනම් කරන්නට මෙහි දී යෝජනා වී තිබේ.

මේ යෝජනාව 2013 වසරේ තේමාව වී තිබීම අපේ රටට විශේෂයෙන් වැදගත් වෙයි. මන්ද යත් අපේ සෞඛ්‍ය අමාත්‍යංශය සිගරට්‌ පැකට්‌ටුවෙහි මතුපිට සියයට අසූවක අවකාශයක රූපමය අනතුරු ඇඟවීම් පළ කළ යුතු ය යන බවට නීතියක්‌ පැනවීමත් ඊට එරෙහි ව දුම්වැටි කර්මාන්තකරුවන් නීතිමය පියවර වෙත යොමු වීමත් හේතුවෙනි.

මෙවැනි පිංතුර යෙදීම අවදානමක්‌ වැළැක්‌වීමේ ඉතා ඵලදායී ක්‍රමවේදයක්‌ බව වෙනත් රටවල අත්දැකීම් හා අත්හදාබැලීම් තුළින් හෙළි වේ.

දුම්වැටියට එරෙහි ව දියත් කළ යුතු ප්‍රචාරක ව්‍යාපෘති අතරින් සාර්ථක ම ප්‍රතිඵල දෙන ව්‍යාපෘති රටාව මෙය බව බොහෝ පරීක්‌ෂණවලින් හෙළි වී ඇත.

නිදසුනක්‌ දැක්‌වුව හොත් බ්‍රසීලයේ මේ අවදානම අ`ගවන පිංතූර ක්‍රමය ක්‍රියාත්මක වූ අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඒ පිංතූර දුටු අය ගෙන් සියයට හැටක්‌ වැනි විශාල ප්‍රතිශතයක්‌ දුම්පානය අත්හැර දැමීමට පෙලඹී සිටිය හ. කැනඩාවේ මේ අවදානම ඇඟවීමේ ක්‍රමවේදය ක්‍රියත්මක වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස දුම් බොන්නන් ගෙන් සියයට හතළිස්‌ හතරක්‌ පමණ දුම්බීමෙන් ඉවත් වීමට තීරණය කර තිබිණි.

මේ ක්‍රමවේදය ඉතා ඵලදායී බව මනෝවිද්‍යාඥයන් ද තහවුරු කර තිබේ. දවසකට සිගරට්‌ 20 පැකට්‌ දෙකක්‌ බොන කෙනෙක්‌ 40 වතාවක්‌ මේ අනතුරු ඇ`ගවීමේ පිංතූරය දකියි. එයට හේතුව අවසාන සිගරට්‌ එක ද පිටතට ගන්නා තුරු පැකට්‌ටුව විසි නො කීරිමයි.

සතියකට මේ පුද්ගලයා මේ අනතුරු ඇ`ගවීමේ පිංතූරය 280 වතාවක්‌ දකී. මාසයකට දළ වශයෙන් 1200 වතාවක්‌ දකී.

මේ අයුරින් සිගරට්‌ පැකට්‌ටුවල ඇතුළත් වන්නේ ඉතා ම සංවේදී පිංතූර ය. ලංකාවේ තත්ත්වය සැලකුව හොත් දැනට ජාතික දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් මෙවැනි පිංතූර අටක්‌ යෝජනා කරනු ලැබ ඇති අතර ඉන් එකක්‌ සිගරට්‌ පැකට්‌ටුවේ ආවරණයෙහි ඇතුළත් කෙරෙනු ඇත. මේ පිංතූරවල ඇත්තේ සිගරට්‌ බීම නිසා විවිධ රෝගාබාධවලට ගොදුරු වූවන් ගේ පිංතූර ය. මෙවැනි සංවේදී පිංතුරයක්‌ මාසයක දී 1200 වතාවක්‌ දකින විට සිගරට්‌ බීම එපා වීමට යම් සම්භාවිතාවක්‌ ඇත.

මේ අට ඉතා ම සැලසුම් සහගත ලෙසත් මානසිකව පෙලඹවීමක්‌ ඇති කරන ලෙසත් නිර්මාණය වී ඇත. ඒaවා එකිනෙකින් වෙනස්‌ මාතෘකාවලින් යුක්‌ත ය. නිදසුනක්‌ දැක්‌වුව හොත් එක්‌ පිංතූරයකින් පෙන්aවන්නේ රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින දරුවෙකි. එහි "දුම් පානය දරුවන් රෝගී කරවයි" යනුවෙන් සඳහන් වෙයි.

"දුම් පානය හෘදයාබාධ ඇති කරවයි" යන වැකිය ඇතුළත් රූපමය අනතුරු ඇඟවීමෙහි පෙන්නුම් කරන්නේ හෘද රෝගියකු යන්ත්‍රයකට සම්බන්ධ කර තිබෙන ආකාරයයි.

මෙලෙස ම "දුම් පානය පිළිකා ඇති කරවයි" ආදි ලෙසත් ග්‍රැෆික්‌ නිර්මාණය කර ඇත. මීට අමතරව "දුම් පානය ලිංගික අකර්මණ්‍යතාව ඇති කරයි" යන මාතෘකාවෙන් ද රූපමය අවදානම් පණිවිඩයක්‌ නිර්මාණය කොට ඇත.

දැනට අවදානම පිළිබඳ පිංතූර ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය ඉතා ම සාර්ථකව ක්‍රියාත්මක වන්නේ ඕස්‌ට්‍රෙලියාව තුළ ය. එයට එක්‌ හේතුවක්‌ වන්නේ එම ග්‍රැෆික්‌ උපදේශනවල විශාලත්වයයි. ඕස්‌ට්‍රෙලියාවේ සිගරට්‌ පැකට්‌වල එක්‌ පැත්තක 90්‍රක තරම් ඉඩක මෙවැනි සෞඛ්‍ය උපදේශන ඇතුළත් වේ. කැනඩාව ද සිගරට්‌ පැකට්‌වල විශාල පෘෂ්ඨය අවකාශයක මේ උපදේශන ඇතුළත් කරන රටකි. නවසීලන්තය සැලකුව හොත් සිගරට්‌ පැකට්‌ටුවේ ඉදිරිපස සියයට තිහක්‌ ද, පසුපස සියයට අනූවක්‌ ද ආවරණය වන පරිදි රූපමය අවදානම් උපදේශන ඇතුළත් කළ යුතු වේ.

භූතානයට හැකි නම් අපට බැරි ඇයි

දුම්කොළ වගාව, දුම්වැටි නිපදවීම, අලෙවිය, ආනයනය වැනි සියලු දේ තහනම් කර ඇති එක ම රටක්‌ ලොව වෙයි. ඒ භූතානයයි. නවසීලන්තය ද 2025 දී පමණ දුම්වැටිවලින් තොර වීමට අපේක්‌ෂා කරයි.

විශාලත්වයේ තරමටයි ප්‍රතිඵල

කැනඩාවේ වෝටර්ලු විශ්වවිද්‍යාලයයේ සෞඛ්‍ය අධ්‍යයනයන් පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් හැමන්ඩ් මේ සම්බන්ධව ඉතා වැදගත් අධ්‍යනයක්‌ සිදු කර ඇත. ඔහු එම අධ්‍යයනය ම`ගින් පෙන්වා දුන්නේ ග්‍රැෆික්‌ උපදේශන ඇතුළත් අවකාශයේ ප්‍රමාණය විශාල වන්නට වන්නට දුම් පානයෙන් ඉවත් වන ප්‍රවණතාව ද ඉහළ යන බවයි. ඔහු පෙන්වා දුන් තව කරුණක්‌ වූයේ හුදෙක්‌ වචන පමණක්‌ යෙදූ පණිවිඩවලට වඩා රූපමය පණිවිඩ බලවත්a බවයි. මහාචාර්ය හැමන්ඩ් ගේ උපදේශකත්වයෙන් හා සාරා හිච්මන් හා ජෙෆ්රි ෙෆ්න්ග් යන දෙදෙනා ගේ සහාභාගිත්වයෙන් සිදු කළ මේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු "බුලටින් ඔෆ් වර්ල්ඩ් හෙල්ත් ඕගනයිෂේසන්"හි පළ විය.

ඔවුන් තම අධ්‍යයනය සඳහා රටවල් විශාල ගණනකින් දත්ත ලබාගැනීම කළ අතර එම රටවල සිගරට්‌ පැකට්‌වල ග්‍රැෆික්‌ උපදේශනයේ වර්ගඵලය හා දුම්පානය අඩු වීමේ ප්‍රතිශතය සන්සන්දනය ද කර තිබිණි.

මේ අධ්‍යයනය මෙහෙයවූ හැමන්ඩ් පෙන්වා දෙන තව වැදගත් කරුණක්‌ වන්නේ රාජ්‍ය මට්‌ටමෙන් දුම් පානයට එරෙහි ව ක්‍රියාත්මක වන වැදගත් ම යාන්ත්‍රණය ද මෙය බවයි. එසේ ම 2012 දී මහාචාර්ය හැමන්ඩ්, ඡේම්ස්‌ එෆ් ක්‍රෂර්, එඩ්නා සැන්ටිලන් හා රවුල් සන්සෝරිස්‌ යන අය හා එක්‌ ව මෙවැනි තවත් අධ්‍යයනයක්‌ කළ හ.

මෙහි දී අධ්‍යයනය සඳහා යොදා ගත් පුද්ගලයන් ගේ සංඛ්‍යාව 530ක්‌ විය. තරුණ වියේ පසු වූ මේ අය ගන් 259ක්‌ දුම් නො බොන්නන් වූ අතර 271ක්‌ දුම්බොන්නෝ වූ හ. දුම් බොන අය අතරින් 60්‍රක්‌ ම පවසා තිබුණේ ග්‍රැෆික්‌ චිත්‍රවලින් දුම්බීම අතහැරීම ගැන පෙලඹවීමක්‌a තමන් තුළ පහළ වූ බවයි.

මහාචාර්ය හැමන්ඩ් පුද්ගලයන් 2928ක්‌ ම සම්බන්ධ කර ගනිමින් මෙබ`දු ම තවත් අධ්‍යයනයක්‌ කළේ ය. මේ අය අතුරින් 26්‍රක්‌ දුම් නො බොන්නන් වූ අතර ඉතිරිය දුම් බොන්නෝ වූ හ.

මේ අයට හැමන්ඩ් ඉදිරිපත් කළ එක්‌ ප්‍රශ්නයක්‌ වූයේ යම් රෝගයකට අදාළව ග්‍රැෆික්‌ ඉදිරිපත් කරන විට එය කුමන ආකාරයට කළ යුතු ද යන්නයි. ඒ සඳහා ඔහු දත්ත දෙකක්‌ සපයා දී තිබිණි.

ඒවා නම් තුවාල වූ / විනාශ වූ අවයවයක්‌ (Damaged Org) පෙන්වීම හෝ මනුෂ්‍යයකු ගේ වේදනා විඳීම (Human Suffering) පෙන්වීමයි.

බහුතරය පවසා තිබුණේ තුවාල වූ අවයව පෙන්වීම හො`ද බවයි. නිදසුනක්‌ සේ Emphysema රෝගයට අදාළව මේ ගැන කළ විමර්ශනයේ දී සියයට 83ක්‌ කියා තිබුණේ තුවාල වූ අවයව පෙන්වීම හොඳ බවයි. වේදනා විඳීම පෙන්වීම හොඳ බව කියා තිබුණේ 17්‍රක්‌ පමණි.

කැනඩාවේ දුම්වැටිවල උපදේශකාත්මක රූප භාවිතයේ ප්‍රතිඵල ගැන අධ්‍යනයක්‌ 2012 දී කොන්කෝඩියා විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සන්ඩේ ඇෂග්බා හා එහි ම කථිකාචාර්ය මෙෂ්බා ෂරාෆ් විසින් සිදු කරන ලදි. එම අධ්‍යයනය පිළිබඳ තොරතුරු "නිකොටින් ඇන්ඩ් ටුබැකෝ රිසර්ච්" ජර්නලයේ පළ විය.

ඔවුහු තම අධ්‍යයනය සඳහා පුද්ගලයන් 4853ක ගේ දත්ත භාවිත කළ හ. එම අධ්‍යයනයේ දී පෙනී ගියේ දුම්වැටි පැකට්‌ටුවේ ඇති අනතුරු හැඟවීමේ රූප දුම්පානය අතහැරීම සඳහා සුවිශාල බලපැමක්‌ කරන බවත් රූපයේ විශාලත්වය (පැකට්‌ටුවේ විශාලත්වය අනුව ප්‍රතිශතය) ඉහළ යත් ම බලපෑම ද ඉහළ යන බවත් ය.

ශ්‍රී ලංකාවේ ප්‍රවේශය

ශ්‍රී ලංකා රජයේ අපේක්‌ෂාව වන්නේ සිගරට්‌ පැකට්‌ටුවෙහි මුහුණත අවකාශයෙන් 80්‍රක ප්‍රමාණයක අනතුරු හැඟවීමේ ග්‍රැෆික්‌ භාවිතය නීතිගත කිරීමට ය. මීට අදාළ ගැසට්‌ නිවේදනය 2012 අගෝස්‌තු 8 දා නිකුත් කෙරිණි. එම`ගින් කියවුණේ මේ නීතිය 2012 නොවැම්බර් 8 සිට බලාත්මක බවයි.

මීට එරෙහි ව දුම්වැටි නිෂ්පාදකයන් නීති මාර්ගයට එළඹි අතර එහි ප්‍රතිඵලය වූයේ අභියාචනාධිකරණය විසින් මේ බලාත්මක දිනය තවත් ඉදිරියට එනම් 2013 මාර්තු පළමු වැනි දා තෙක්‌ දික්‌ කරනු ලැබීමයි. මේ සම්බන්ධයෙන් දුම්වැටි නිෂ්පාදකයන් අභියාචනයක්‌ ඉදිරිපත් කළ අතර මේ සම්බන්ධ නඩුව යළිත් විභාගයට ගැනීමට නියමිත ව තිබුණේ ඊයේ දිනයේ දී ය.


FCTC (Framework Convention on Tobacco Control)

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් FCTC සම්මේලනය අරඹන ලද්දේ 2003 ජුලි 29 වැනි දා ය. මේ සංවිධානයේ අරමුණ වන්නේ දුම්පානයට ගොදුරු වූවන් ඉන් ගලවා ගැනීමට සුවිශේෂී මෙහෙවරක්‌ කිරීමයි. මේ ගිවිසුම අත්සන් කළ ආසියාවේ පළමු රාජ්‍යය වන්නේ ශ්‍රී්‍ර ලංකාවයි.

මේ ගිවිසුමට බැඳුණු රටවල් බොහොමයක්‌ මුල් අවධියේ ම අනතුරු හැඟවීමේ ග්‍රැෆික්‌ ඇතුළත් කිරීමේ කාර්යයට සම්බන්ධ වූ නමුත් තවමත් ශ්‍රී ලංකාවට එය සාර්ථකව අපේක්‌ෂිත අයුරින් ඉටු කිරීමට හැකි වී නැත.

මෙය බලවත් ගැටලුවක්‌ වන්නේ අපට ද පසු මේ ගිවිසුමට ඇතුළත් වූ රටවල් මේ ග්‍රැෆික්‌ අවවාද පැකට්‌ටුවලට ඇතුළත් කිරීමට සමත් ව සිටීම නිසාවෙනි.

අනතුරු හැඟවීමේ ලේබල භාවිතය හරහා ජනතාව දුම් පානයෙන් මුදවා ගැනීමේ ක්‍රමය FCTC සම්මුතියෙහි 11 වැනි වගන්තියේ (article 11) මඟින් ගෙන ආ යෝජනාවකි. එසේ ම article 11 මඟින් දුම්වැටි නිෂ්පාදකයන් වෙත වෙනත් ම`ගපෙන්වීම් කිහිපයක්‌ ද කරයි. එනම් ලේබල්කරණය හරහා පාරිභෝගිකයාට වැරැදි තොරතුරු ලබා දීම හෝ අයුතු ලෙස පොලඹවා ලීම නො කළ යුතු බවයි.

නිදසුනක්‌ ලෙස අඩු තාර (low tar), සැර අඩු (mild, light, ultra light) හෝ extra වැනි යෙදුම් භාවිතය නතර කළ යුතු බව දැක්‌විය හැකි ය.



දුම්වැටි අලෙවිය රැඳී ඇත්තේ ප්‍රචාරණය මතයි

දුම්වැටි අලෙවිය තනිකර ම ර ඇත්තේ ප්‍රචාරණය මත ය. මෙය සෘජු හෝ අනියම් වීමට පුළුවන. සෘජු ප්‍රචාරණය ලෙස සැලකෙන්නේ පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනි, වෙබ් දැන්වීම් හෝ සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය වන අතරතුර ප්‍රචාරය කෙරෙන දැන්වීම් යනාදියයි.

එහෙත් දැන් බොහෝ රටවල් මේ සෘජු ප්‍රචාරණයට වැට බැඳී ඇති නිසා අනියම් ප්‍රචාරණ කටයුතුවල යෙදෙන්නට ඔවුන්ට සිදු වේ. ඒ එක්‌ ක්‍රමයක්‌ වන්නේ අනුග්‍රාහකත්වයයි.

එසේ ම සමාජ සත්කාරක සේවාවලට දායක වීම හරහා ද මේ නිෂ්පාදකයෝ අනියම් ප්‍රචාරණයක්‌ ලබති. ප්‍රසිද්ධ පුද්ගලයන්, රූමත් යුවතියන්, නළු නිළියන් ක්‍රීඩකයන් වැනි අය දුම්වැටි පානය කරනු පෙන්වීම හරහා ද මේ ප්‍රචාරණය සිදු කරන බව වාර්තා වී තිබේ. කෙසේ වෙතත් දුම්වැටි නිෂ්පාදන සමාගම් තර්ක කරන්නේ ප්‍රචාරණය හරහා සිදු වන්නේ කිසියම් සිගරට්‌ වෙළෙඳ නාමයකට පාරිභෝගිකයා ආකර්ෂණය කරගැනීම මිස නව භාවිත කරන්නන් බිහි වීම නො වන බවයි.

චිත්‍රයට බය ඇයි?

රූප යෙදීමට දුම්වැටි නිෂ්පාදකයන් හෝ බෙදාහරින්නන් බිය වන්නේ හා එරෙහි වන්නේ ඇයි ද යන්න මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත හා ප්‍රචාරණ සිද්ධාන්ත හරහා පෙන්නුම් කළ හැකි ය.

දුම්වැටියට ඇබ්බැහි වන්නේ නූගත් මිනිසුන් පමණක්‌ නො වුව ද වැඩි උගත්කමක්‌ නැති කෙනකු පහසුවෙන් ඊට පොලඹවාගත හැකි ය. මෙවැනි අඩු උගත්කමක්‌a තිබෙන අයට චිත්‍ර ම`ගින් ලබා දෙන පණිවිඩ ම`ගින් විශාල බලපෑමක්‌ ඇති වේ.

මෙය එක්‌ අතට ඌරා ගේ මාළු උරා ගේ ඇඟේ ම තබා කපනවා වැනි ක්‍රියාවකි. මන්ද යත් දුම්වැටි නිෂ්පාදකයන්a මුල් කාලයේ දී තම නිෂ්පාදන ජනතාව අතරට ව්‍යාප්ත කරලීමට යොදාගත්තේ ද මේ බඳු චිත්‍ර ම වන බැවිනි.

සමහර විට මුල් කාලීන දුම්වැටි ප්‍රචාරක දැන්වීම් පමණක්‌ නො ව දුම්වැටි පැකට්‌ටු දකින විට ඔබ පුදුමයට පත් වනු ඇත. සමහර විට ඔබට හිනා යන්නටත් ඉඩ තිබේ. එය නම් එදා දුම්වැටිවල පළ වූයේ දුම්වැටි නිසා සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙන බව කියවෙන උපදේශාත්මක ග්‍රැෆික්‌ චිත්‍රයන් ය. පහත දැක්‌වෙන්නේ ඊට හොඳ ම නිදසුනකි. එක්‌තරා සිගරට්‌ වර්ගයක පැකට්‌ටුවේ මෙසේ සඳහන් වෙයි. "සිහින් සුන්දර සිරුරක්‌ හිමි කර ගන්න නම් ..... පානය කරන්න." "සීනි ආහාර වෙනුවට ..... සිගරට්‌ වෙත යොමු වන්න."

1871 දී නිපදවන ලද මේ ලකී සිගරට්‌ වර්ගයට මෙවැනි දැන්වීමක්‌ භාවිත කළේ 1920 දශකයේ දී ය. මේ දැන්වීමත් සමග ම අලෙවිය සියයට තුන් සියයකින් ඉහළ ගිය බව වාර්තා වේ. බිලියන 14ක වූ සිගරට්‌ අලවිය බිලියන 41 ඉක්‌මවා ගියේ ය.

1942 දී මේ සමාගම සිය ප්‍රචාරණය සඳහා යුද්ධය ද ඈඳා ගත්තේ ය. ".... strike green has gone to war" යනුවෙන් පැකට්‌ටුවේ සඳහන් කර තිබුණේ ය. කලින් කොළ පැහැයෙන් තිබු පැකට්‌ටුව ඔවුහු සුදු කළ හ. ඔවුන් පැවසුවේ කොළ වර්ණය සෑදීමට තඹ යොදාගත් අතර තඹ යුද්ධයට අවශ්‍ය වන දෙයක්‌ නිසා තමන් තඹ පරිහරණයට අතහැර යුද්ධයට සහාය දෙන බවක්‌ ඉන් කියවේ.

එහෙත් ඇත්තෙන් ම සිදු වූයේ එය නො ව වෙළෝදපොළ සමීක්‌ෂණයකින්, ගැහැනු අය කොළ පැහැයට අකැමැති බවත් සුදු පැහැයට කැමැති බවත් හෙළි වී තිබීමයි. ඒ වන විට ලෝක සිගරට්‌ පරිභෝජනයේ විශාල බලයක්‌ ස්‌ත්‍රී පක්‌ෂය සතු විය.

නත්තල් සමයක දී මේ සිගරට්‌ටුව වෙනුවෙන් තවත් අපූර්ව දැන්වීමක්‌ නිර්මාණය කෙරිණි. ඒ නත්තල් සීයා දුම්වැටියක්‌ උරන ආකාරයේ දැන්වීමකි. එය සිගරට්‌ පැකට්‌ටුවට ද යොදන ලදී.

අන්තර්ජාලය අමතක කිරීම

දුම්වැටි ප්‍රචාරණයට එරෙහි ව සටන් වදින බොහෝ දෙනකුට අමතක ව ගිය හෝ හිතාමතා අමතක කර දැමූ ක්‍ෂෙත්‍රයක්‌ ලෙස අන්තර්ජාලය සැලකිය හැකි ය. මා විසින් පරීක්‌ෂා කරන ලද දුම්වැටිවලට අදාළ වෙබ් පිටු සියල්ලේ ම බාධාවකින් තොර ව ඔවුන් ගේ ප්‍රචාරණ කටයුතු සිදු වෙමින් පැවතිණි. අඩු ම වශයෙන් ඒ වෙබ් පිටුවක අග, මැද හෝ කෙළවරක කුඩාවට හෝ අනතුරු ඇ`ගවීමක්‌ නොමැත. දුම්වැටි online ලබා ගැනීමේ පහසුව ද ඇති නිසා අන්තර්ජාල ප්‍රචාරණය ගැන ද අදාළ බලධාරීන් ගේa අවධානයට යොමු වීම වැදගත් ය.

ගිනි ගන්නවා - ගිනි දෙනවා

දුම් පානය කිහිප ආකාරයකින් ඔබට ගිනි දෙයි. ඔබේ සමීපතමයකුට පිළිකා ඇති කොට මරා දැමීම එක්‌ ආකාරයක ගිනි දීමකි. එසේ ම ගෘහස්‌ථ ගිනි ගැනීම් ඇති වීමට ද එය බලපායි. 2005 සිට 2007 කාලය තුළ යුරෝපීය රටවල් කීපයකින් පමණක්‌ මෙවැනි ගිනි ගැනීම් 11000ක්‌ වාර්තා වී ඇත. මේ ගිනි ගැනීම් නිසා (2005-2007 අතර) පුද්ගලයෝ 528ක්‌ මිය ගිය හ.

අවසාන වශයෙන් කිව යුතු ව ඇත්තේ දුම්වැටි ප්‍රචාරණය පමණක්‌ නො ව දුම්වැටිය ද ලොවෙන් තුරන් කළ යුතු දෙයක්‌ බවයි. එය අද බිලි ගන්නේ ඔබේ කෙනකු නො වන නිසා තවම ඔබට වේදනාවක්‌ නො දැනෙන්නට පුළුවන. එහෙත් හෙට ඔබේ තාත්තා හෝ සැමියා හෝ සොහොයුරා බිලිගන්නේ නැතැයි සහතික වීමට නොපුළුවන. ඒ නිසා දුම්වැටි විරෝධතාවට එක්‌ වන්න. දුම්වැටියක්‌ පුළුස්‌සනවා වෙනුවට දුම්වැටි දැල්වීමේ ආශාව පුළුස්‌සා දමමු.

අද සතියේ විමසුම

මනෝඡ් රත්නායක