logo3.gif (702 bytes)

HOME


පුස්‌සෝ හා නිවටයෝ යනු කවරහු ද

ආරම්භයේ දී ම කිව යුත්තක්‌ වෙයි. මා විදුසර පුවත්පතෙහි හෝ වෙනත් පුවත්පතක හෝ පළ කරන ලිපියක්‌ මෙරට බලපවත්නා නීතිය අනුව අයත් වන්නේ අදාළ පුවත්පත් ආයතනයට ය. ඒ ආයතනයේ අවසරයක්‌ නොමැති ව ඒ ලිපි වෙනත් සඟරාවක, පුවත්පතක, වෙබ් අඩවියක හෝ වෙනත් තැනක පළ කිරීම නීති විරෝධී වෙයි. එහෙත් මෙරට එA නීතිය කැඩීම වරදක්‌ ලෙස නො සිතන බැවින් දෝ එක්‌ එක්‌ අය තමන්ට අවශ්‍ය ආකාරයට වෙනත් අය විසින් ලියනු ලැබ ඇති ලිපි පළ කරති. මා විදුසරට ලියන්නේ දීර්ඝ ලිපි පෙළක්‌ බැවින් ඉන් එක්‌ ලිපියක්‌ පමණක්‌ සන්දර්භයෙන් පිට පළ කිරීමෙන් වන හානිය සුළුපටු නො වේ.

මෙය වඩාත් ම බැරෑරුම් වනුයේ ඒ ලිපි පළ කර ඒවාට ප්‍රතිචාර දැක්‌වීමටත් ඉඩ සලසන වෙබ් අඩවිවල ය. අද ජාතික මතවාදයෙහි ඇතැයි කියන එක්‌තරා කසිකබල් වෙබ් අඩවියක්‌ ඔවුන්ට අවශ්‍ය ඊනියා ප්‍රාඥයන් හුවා දැක්‌වීමටත් මා අවමානයට පත් කිරීමටත් මගේ ලිපි පළ කර ඔවුන් ගේ ගෝල බාලයන්ට ඒවාට ප්‍රතිචාර දක්‌වා මා මුග්ධයකු, ලිපියක්‌ ලියා ගැනීමට නො දත්තකු, අන්‍යයනට අවමාන කරන්නකු, හීනමානයෙන් පෙළෙන්නකු ආදී ලෙස හැඳින්වීමට අවස්‌ථාව ලබා දීමටත් කටයුතු කරයි. මේ කසිකබල් වෙබ් අඩවියේ ප්‍රතිචාර එකක්‌ එකක්‌ ගෙන ඒවාට නිසි පිළිතුරු සැපයිය හැකි නමුත් එය පුරුද්දක්‌ කරගත හොත් මට වෙනත් කටයුත්තක්‌ කරගැනීමට අවසර නො ලැබෙනු ඇත. මේ වෙබ් අඩවිය තම නායකයා ගේ ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්‌වීමට බොහෝ විට අවස්‌ථාව නො දෙයි.

මා ලිපි ලියන්නේ භික්‍ෂුන් වහන්සේලා ගේ ධර්ම දේශනා ශෛලිය අනුගමනය කරමිනි. ඇතැම් විට ලිපියක එකිනෙකට වෙනස්‌ යෑයි එකිනෙකට සම්බන්ධ නො වන්නේ යෑයි සැලකිය හැකි දේ සඳහන් වෙයි. උසස්‌ පෙළ දක්‌වා හෝ උපාධිය දක්‌වා හෝ බටහිර දැනුම කට ගාගත් අයකු සිතන්නේ ඒ ලිපිවල වැල්වටාරම් මිස බටහිර දන්ත වෛද්‍ය විද්‍යාවේ හෝ වෙනත් බටහිර දැනුමක හෝ මෙන් "ඒකාත්මික ව" ලියන ලද්දක්‌ නැති බව ය. එහෙත් ඔවුන් ඒ ලිපි තරමක්‌ මහන්සියෙන් කියවන්නේ නම් මා සඳහන් කරන කරුණුවල සම්බන්ධයක්‌ ඇති බව පෙනී යනු ඇත.

මේ කසිකබල් වෙබ් අඩවිය පළ කරන සංවිධානයේ ද ඇත්තේ ගුණදාස අමරසේකර මහතා මෙන් ම මාක්‌ස්‌වාදය මෙරට ජාතික චින්තනයේ දර්ශනය විය යුතු යෑයි විශ්වාස කරන්නවුන් ය. බටහිර විද්‍යාව ඉගෙනගත් මේ අයට බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි කීම දරාගත නොහැකි බව ඔවුන් කියන කරන දෙයින් පැහැදිලි ය. මේ එක්‌ අයකු දිනක්‌ මා සමග පැවසුවේ එදින මා ලියා තිබූ ලිපිය නම් අනෙක්‌ අයට දිරවාගත හැකි වන ලෙස ලියා ඇති බව ය. එයින් අදහස්‌ වූයේ මා අනෙක්‌ දිනවල ලියන ලිපි දිරවාගත නොහැකි බව ය. මොවුන්ට ඒ ඒ මිනිසුන් ගේ දැනුම යනු යම් චින්තනයක්‌ මත පදනම් ව යම් සංස්‌කෘතියකට සාපේක්‍ෂව නිර්මාණය කෙරෙන්නක්‌ ය යන්න නො වැටහෙයි.

මේ කසිකබල් වෙබ් අඩවියට ප්‍රතිචාර දක්‌වා ඇති එක්‌ අයකුට අනුව මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා කීර්තිමත් විද්‍යාඥයෙකි. ඔහු අද එංගලන්තයේ කුඩා විශ්වවිද්‍යාලයක්‌ වූ බකිංහම් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ධූරයක්‌ දරන බව සැබෑ ය. එහෙත් ඔහු ලෝකයට දුන් නව දැනුමක්‌ නැත. ඔහු අඩු ම තරමෙන් ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකයකු වත් නො වේ. එම සංගමයේ සාමාජිකත්වය ලැබෙන්නේ යම් තරමකින් වුව ද බටහිර විද්‍යාවේ කේන්ද්‍රයෙහි දැනුමක්‌ එකතු කළ අයට ය. වික්‍රමසිංහ මහතා කරන්නේ ඔහු ගේ ගුරුවරයා වූ ද සුප්‍රසිද්ධ තාරකා විද්‍යාඥවරයකු වූ ද, රාජකීය සංගමයේ අධිසාමාජිකයකු වූ ද මහාචාර්ය ෆ්‍රෝඩ් හොයිල් මහතා ගේ අදහස්‌ අනුව ඇතැම් නිරීක්‍ෂණ කරමින්, ගණනය කිරීම් ම`ගින් බටහිර විද්‍යාවේ පරිධියෙහි ඇතැම් කරුණු එකතු කිරීම පමණ ය.

මහාචාර්ය වික්‍රමසිංහ මහතා එංගලන්තයේ විශ්වවිද්‍යාලයක මහාචාර්ය ධූරයක්‌ දැරූ පමණින් මා කියන දේ අවලංගු නො වේ. මා කියා සිටින්නේ ලංකාවේ පමණක්‌ නො ව දකුණු ආසියාවේ ද බටහිර විද්‍යාඥයන් ගෙන් ඉතා විශාල බහුතරයකට බටහිර විද්‍යාවෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කිරීමට නොහැකි බව ය. මේ විද්‍යාඥයන් බටහිර විද්‍යාවෙහි පරිධියෙහි කරන සෙල්ලම් එතරම් වැදගත් නැත.

එක්‌ ප්‍රතිචාර දක්‌වන්නකු කියා තිබුණේ මට බටහිර ලෝකයෙක්‌ සැලකීමක්‌ නැති බැවින් මා බටහිර විද්‍යාවට විරුද්ධ වන බව ය. බටහිර විශ්වවිද්‍යාලයකින් මට තරම් සැලකිල්ලක්‌ ලැබුණු වෙනත් අයකු ලංකාවේ ඇතැයි නො සිතමි. සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලය තම නීති රීති වෙනස්‌ කර මට අවුරුදු එක හමාරකින් ආචාර්ය උපාධිය සඳහා නිබන්ධය ඉදිරිපත් කිරීමට අවසර ලබා දුන්නේ ය. අඩු ම තරමෙන් අවුරුදු දෙකක්‌ යන තුරු (බොහෝ විට ඒ අවුරුදු තුනක්‌ වෙයි) කිසිවකුට ආචාර්ය උපාධිය සඳහා නිබන්ධය ඉදිරිපත් කළ නො හැකි ය. එහෙත් සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලයයෙහි සතානත සභාව මා ආචාර්ය උපාධියක්‌ සඳහා ප්‍රමාණවත් වැඩ කොටසක්‌ කර ඇතැයි යන පදනමෙන් තම නීතිය මා වෙනුවෙන් පමණක්‌ වෙනස්‌ කළේ ය. එවැනි සැලකීමක්‌ ලංකාවේ විශ්වවිද්‍යාලයකින් මට කිසි දිනෙක කෙරී නැත.

අනෙක්‌ අයට පුස්‌සන්, නිවටයන් යෑයි කියමින් මා පමණක්‌ උගතකු යෑයි කියන්නේ මානසික ප්‍රශ්නයක්‌ නිසා බව තවත් අයකු ගේ ප්‍රතිචාරය වෙයි. මා කිසි විටෙකත් මා උගතකු යෑයි කියා නැත. මට වඩා උගත්තු මෙරට දුසිම් ගණනින් වෙති. මා නිවටයන් යෑයි කියන්නේ බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම ඉදිරියෙහි වැඳ වැටෙන්නන්ට ය. මේ නිවටයෝ කිසි ම වගවිභාගයකින් තොර ව බටහිර විද්‍යාව පිළිගනිති. ඔවුහු බටහිරයන් අනුව යමින් අපේ දැනුම මිථ්‍යා යෑයි කියති. මා පුස්‌සන් යෑයි කියන්නේ බටහිර විද්‍යාවේ කිසි ම වැදගත් දැනුමක්‌ නිර්මාණය කර ගැනීමට නොහැකි එහෙත් බටහිර විද්‍යාවේ නාමයෙන් මෙරට සමාජයෙහි වැදගත් තැනක්‌ හිමි කරගෙන තම ආධිපත්‍යය අනෙක්‌ අයට පැතිරවීමට කටයුතු කරන්නන්ට ය.

ආසනික්‌ පිළිබඳ දැනුම අපට ලැබුණේ මිනිස්‌ නො වන ප්‍රාණීන් ගෙන් යෑයි විශ්වාස කිරීමට ප්‍රතිචාර දක්‌වන ඇතැම් පඬියෝ මැළිවෙති. ඔවුන් අපට කියන්නේ එසේ නම් අනෙක්‌ ප්‍රශ්නවලට ද පිළිතුරු "දෙවියන් ගෙන්"ලබාගන්නා ලෙස ය. මෙය ඊනියා යථාර්ථවාදීන් පෙට්‌ටියක ඇති මුදල් නෝට්‌ටුවක අංකය කියන ලෙස අභියෝග කිරීමට සමාන ය. බුදුන් වහන්සේට තරම් විවිධ හැකියාවන් තිබූ වෙනත් කිසිවකු ලෝකයේ ජීවත් වී නැත. එහෙත් උන්වහන්සේ අංක කියවීම් වැනි බාල වැඩ කිරීමට ඉදිරිපත් නො වූ සේක. උන්වහන්සේට අවශ්‍ය වූයේ ලෝක සත්ත්වයා සසරින් එතෙර කිරීමට මිස මුදල් නෝට්‌ටු අංක කියවීම වැනි බාල වැඩ කිරීමට නො වේ. බුදුන් වහන්සේ ලාභ ප්‍රයෝජන උදෙසා ප්‍රාතිහාර්ය පෑම ද භික්‍ෂූන් වහන්සේට තහනම් කළ සේක.

දේශපාලන බලය ගැනීම සඳහා ජාතිකත්වයට යොමු වී ඇති අයට ඒ නො තේරෙනවා විය හැකි ය. සිංහල බෞද්ධ දැනුම නිර්මාණය වන්නේ සිංහල බෞද්ධ චින්තනයෙහි සිංහල බෞද්ධ සංස්‌කෘතියට සාපේක්‍ෂව නිවන් දැකීම අරමුණු කරගෙන ය. නිවනට අකුල් හෙළන දැනුමක්‌ නිර්මාණය කිරීමට සිංහල බෞද්ධයනට අවශ්‍ය නො වේ. බටහිර වෛද්‍ය විද්‍යාවට දැනගත නොහැකි වූ රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතු දැනගැනීමත් රෝගයට ප්‍රතිකාර කිරීමත් නිවන අරමුණ කරගත්තේ වෙයි. විපස්‌සක දෙවියන් නමින් හැඳින්වෙන අය ගේ පාරමී පිරීමට ද එය ඉවහල් වෙයි.

මෙරට අද ඇත්තේ සිංහල බෞද්ධ සංවර්ධනයක්‌ නො වේ. එවැනි සංවර්ධනයකට ජනතාව යොමු කිරීම තවමත් එතරම් පහසු නැත. එතෙක්‌ කෘෂි රසායන කෘෂිකර්මයෙන් ඉවත් වීමට ජනතාවට උපදෙස්‌ දීම සඳහා නම් විපස්‌සක දෙවියන් ඉදිරිපත් වී ඇත. අද ලංකාවේ අක්‌කර දහස්‌ ගණනක වී ගොවිතැන් කෙරෙන්නේ මනුෂ්‍ය නො වන ප්‍රාණියකු වූ එතුමා ගෙන් ලැබෙන උපදෙස්‌ අනුව ය. ඒ ඉඩම් ප්‍රමාණය අක්‌කර ලක්‍ෂය ඉක්‌මවා යන තුරු අපි ඉවසිල්ලෙන් බලා සිටිමු.

ඇතැමුන් තමන් ජාතිකවාදීන් යෑයි කීව ද තවමත් ඔවුන් ගේ දර්ශනය මාක්‌ස්‌වාදය ය. ඔවුන්ට අනුව මාක්‌ස්‌වාදය (බටහිර) විද්‍යාත්මක ය. අපට අනුව බටහිර විද්‍යාව යනු පට්‌ටපල් බොරුවකි. ඒ කුමක්‌ වුවත් අපි ආධ්‍යාත්මික ව දැනුම නිර්මාණය කරගැනීමට අපට හැකි වන තුරු අපේ ප්‍රවාද නිර්මාණය කරමු. මාක්‌ස්‌වාදී ඊනියා ජාතිකවාදීන් තම ගෝලබාලයන් ලවා තම වෙබ් අඩවි ම`ගින් අපට අපහාස උපහාස කරන්නේ ජාතික වූ දැනුමකට ඔවුන් ගේ ඇති අකැමැත්ත ප්‍රදර්ශනය කරමිනි.

මේ වෙබ් අඩවියට නො තේරුණ ද මාක්‌ස්‌වාදය කිසි ම රටක මුල් බැස නො ගත්තේ ඇයි ද යන්න හා මෙරට බටහිර විද්‍යාව මුල් බැස නො ගත්තේ ඇයි ද යන්න අතර සම්බන්ධයක්‌ ඇත. අප කලින් කියා ඇති පරිදි ඒ ප්‍රශ්නවලට පිළිතුර යා දෙක නොරත රත සමග පෑහීමක්‌ නො වීම ය. මේ ඊනියා ජාතිකවාදීන් ගේ වීරයකු වු ෙච් ගෙවාරා ගේ ඊනියා ජාත්‍යන්තර විප්ලවය මොට වී ගියේ ද ඔහු ගේ විප්ලවය දකුණු ඇමෙරිකානු සංස්‌කෘතියට අනුගත නො වීමෙනි.

මාක්‌ස්‌වාදය පදනම් වන්නේ කතෝලික චින්තනයෙහි ය. ෆැසිස්‌ට්‌වාදය ද කතෝලික චින්තනය මත පදනම් වෙයි. ඒ වාද, එසේත් නැත්නම් දැනුම් පද්ධති දෙක ම බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයට පටහැනි වෙයි. ඒ දැනුම් පද්ධති හා අදාළ සමාජ ක්‍රම පිළිබඳ කතාන්දර ගොතනු ලැබුයේ යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට හා අනුරූප සමාජ ක්‍රමයට විකල්ප ලෙසිනි. මාක්‌ස්‌වාදීන් හා නට්‌සිවාදීන් අතර විශාල වෙනසක්‌ නැත.

දකුණු ඇමෙරිකානු රටවල ඇත්තේ කතෝලික ආගම වුවත් සංස්‌කෘතියෙන් ඔවුහු යුදෙව් ක්‍රිස්‌තියානි වෙති. ඒ රටවල් මාක්‌ස්‌වාදයේ සාමූහිකත්වයට ආකර්ෂණය වන්නේ කතෝලික චින්තනයෙහි ද සාමූහිකත්වය ඇති බැවිනි. එහෙත් එපමණකින් මාක්‌ස්‌වාදය දකුණු ඇමෙරිකානු රටවල මුල් බැස නො ගනියි. ඒ රටවල චාවේස්‌ වැනි මාක්‌ස්‌වාදී සටන්පාඨ කියවන නායකයන් බිහි වීමට ඉඩ තිබුණ ද මාක්‌ස්‌වාදය පදනම් කරගත් ආර්ථිකයකට ඉඩක්‌ නැත. චාවේස්‌ වැන්නෝ වැඩි ම වුව හොත් දකුණු ඇමෙරිකානු ජාතිකවාදීහු වෙති.

කියුබාවේ ද තත්ත්වය එසේ ම ය. කස්‌ත්‍රෝ කියුබන් ජාතිවාදියෙකි. ඔහුට අවශ්‍ය වූයේ තම රට යටත්විජිතවාදයෙන් මුදා ගැනීම ය. ඔහු බැටිස්‌ටා ගේ පාලනයෙන් රට මුදාගත්තේ ය. ඇමෙරිකාව ඔහුට විරුද්ධ නො වන්නට ඔහු ලිබරල්වාදියකු වීමට ඉඩ තිබිණි. ඇමෙරිකාව කස්‌ත්‍රෝ පාලනයට විරුද්ධ වීම හේතුවෙන් කියුබාව සෝවියට්‌ දේශය දෙසට ඇදී ගියේ ය. එහෙත් මාක්‌ස්‌වාදය කියුබානු සංස්‌කෘතියට ආගන්තුක විය. සෝවියට්‌ දේශයේ කඩා වැටීමෙන් පසුව අද කියුබාව නැවතත් ලිබරල් රටක්‌ බවට පත් වී ඇත. එය ලෝකයේ ඇති හොඳ ම ලිබරල් රටවලින් එකක්‌ වීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය යනුවෙන් හැඳින්වෙන සංවිධානය කෙතෙක්‌ වෑයම් කළ ද බටහිර විද්‍යාව ලංකාවේ ජනප්‍රිය කළ හැකි නො වේ. බටහිර විද්‍යාව බිහි වන හා පැතිරෙන සංස්‌කෘතිය හා චින්තනය මෙරට නැත. කසිකබල් වෙබ් අඩවි පවත්වාගෙන යන්නන්ට චින්තනය පිළිබඳ කිසි ම වැටහීමක්‌ නැත.

නලින් ද සිල්වා