logo3.gif (702 bytes)

HOME


එල් සැල්වදෝරය නාථ දෙවියන් පිළිගනියි

අපේ ප්‍රශ්නය වනුයේ මාක්‌ස්‌වාදය කිසි ම රටක මුල් බැස නො ගත්තේ ඇයි ද යන්න ය. එමෙන් ම කිසි ම රටක මාක්‌ස්‌ අනාවැකි පළ කළ ආකාරයට කොමියුනිස්‌ට්‌ ක්‍රමයක්‌ ඇති වීම තබා සමාජවාදී ක්‍රමයක්‌ වත් ඇති නො වූයේ ඇයි ද යන්න ය. ඊනියා රුසියන් විප්ලවය මාක්‌ස්‌ ගේ ක්‍රමයේ විප්ලවයක්‌ වත් මාක්‌ස්‌වාදයේ ජයග්‍රහණයක්‌ වත් නො ව රුසියන් ජාතික චින්තනයේ ජයග්‍රහණයක්‌ බවට එක්‌ ලේඛකයකු පළ කර ඇති අදහස ද ඒ සමග අපේ සාකච්ඡාවට භාජන විය. 1917 දී රුසියාවේ සිදු වූයේ එරට ජාතික චින්තනය ජයග්‍රහණය කිරීමක්‌ නම් සෝවියට්‌ දේශය කඩාවැටිමෙන් පසුව බිහි වූ රුසියාව කුමක ජයග්‍රහණයක්‌ ද යන්න ඒ සමග මතු වෙයි. එයත් සෝවියට්‌ දේශය බිහි විමත් යන දෙක ම ඊනියා රුසියන් ජාතික චින්තනයේ ජයග්‍රහණ විය නො හැකි ය.

මේ ප්‍රශ්න සමග සම්බන්ධයක්‌ නැතැයි ඇතැමකු සිතිය හැකි නමුත් ආසියාවේ අප්‍රිකාවේ පමණක්‌ නො ව ලතින් ඇමෙරිකාව යෑයි බටහිරයන් අතින් හැඳින්වෙන දකුණු ඇමෙරිකාවේ ද බටහිර විද්‍යාව මුල් බැසගෙන නැත්තේ ඇයි ද යන ප්‍රශ්න ද අපට ඒ සමග ඇසිය හැකි ය. එමෙන් ම අවශ්‍ය නම් දඹදිවෙන් බුදුසමය තුරන් වද්දී ලංකාවේ බුදු සමය මුල් බැසගත්තේ කෙසේ ද යන ප්‍රශ්නය ද ඒ සමග ඇසිය හැකි ය. එමෙන් ම ආසියාවේ රටවල පිලිපීනයේ හැරෙන්නට කිතු දහම පැතිරි නො ගියේ ඇයි ද යන ප්‍රශ්නයත් වර්තමානයෙහි දකුණු කොරියාවේ කිතුදහම පැතිර යන්නේ කෙසේ ද යන ප්‍රශ්නයත් ඇසිය හැකි ය.

මේ සියල්ලට ම ඇත්තේ එක්‌ පිළිතුරකි. ඒ "යා දෙක නොරත රත සමග පෑහීමක්‌ නැත" යන්න ය. අද බටහිර යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේත් ඕස්‌ටේ්‍රලියාව වැනි රටවලත් චින්තනය ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය ය. එහෙත් ආසියාවේ චින්තන එය නො වේ. දකුණු ඇමෙරිකාවේ චින්තනය කතෝලික චින්තනය වෙයි. නැෙ`ගනහිර යුරෝපයේ චින්තනය ගී්‍රක්‌ ඕතොඩොක්‌ස්‌ චින්තනය වෙයි. බටහිර විද්‍යාව ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය පදනම් කරගනිමින් බිහි වී ඇත. බටහිර විද්‍යාව බටහිර යුරෝපයේ උතුරු ඇමෙරිකාවේ හා ඕස්‌ටේ්‍රලියාව වැනි ඉංගිරිසින් ගේ දෙවැනි වාසභූමිවල මුල් බැසගෙන ඇත. එහෙත් අනෙක්‌ රටවල බටහිර විද්‍යාව මුල් බැසගෙන නැත.

ඊශ්‍රායලයේ හා නැෙ`ගනහිර යුරෝපයේ චින්තන පිළිවෙළින් යුදෙවු චින්තනය හා ගී්‍රක ඕතොඩොක්‌ස්‌ චින්තනය වෙයි. ඒ රටවල බටහිර විද්‍යාව මුළුමනින් ම මුල් බැසගෙන නැති නමුත් ඒ චින්තන හා ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය අතර ඇති නෑ සබඳකම් නිසා බටහිර විද්‍යාවේ හා ගණිතයේ ඇති යම් යම් ධාරා ඒ රටවල දකින්නට ඇත. ලෝකයේ ජීවත්වන මිනිසුන් අතුරෙන් වඩාත් ම වියුක්‌ත ව සිතිය හැකි අය වනුයේ නැෙ`ගනහිර යුරෝපයේ ජීවත් වන යුදෙවුවන් ය. ඔවුන් ගේ චින්තනය යුදෙවු චින්තනයේ හා ගී්‍රක ඕතොඩොක්‌ස්‌ චින්තනයේ සංකලනයකි.

බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්‌ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්‌ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනහිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමෙරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත් වන දක්‌ෂතම බටහිර ගණිතඥයන් ගේ සම්භවය නැඟෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැෙ`ගනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වූවෝ වෙති. වඩාත් ම දක්‌ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැෙ`ගනහිරට වූ රටවල් වන ඕස්‌ටි්‍රයාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන් ගේ කවය ඕස්‌ටි්‍රයාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්‍රිතව බිහි විය) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති.

මෙහි දී දක්‌ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස්‌ පෙළ පරීක්‌ෂණයෙන් ඒ සාමර්ථ්‍ය තුනක්‌ ලබාගැනීම හෝ උපාධි පරීක්‌ෂණයෙන් ප්‍රථම පංතියේ සාමර්ථ්‍යයක්‌ ලබා ගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්‌ෂයෝ නො වෙති. දක්‌ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්‌ෂයෙකි.

උතුරු ඇමෙරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමෙරිකානුවෝ ද දනිති. ඔවුන් ගේ නිරීක්‍ෂණය වී ඇත්තේ ඉන්දීය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත් වන නමුත් පර්යේෂණයෙහි ලා දක්‌ෂයන් නො වන බව ය. මෙය ලංකාවෙන් ඇමෙරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය.

මෙයින් අදහස්‌ වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබා ගැනීමේ අවහිරයක්‌ ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක්‌ සඳහා කෙරෙනුයේ අදාළ ක්‍ෂේත්‍රයෙහි පරිධියෙහි ඇති ගැටලුවක්‌ විසඳීම ය. විභාගවලින් සමත් වීමේ හැකියාවක්‌ ඇති සිසුන්ට එය විශාල ගැටලුවක්‌ නො වේ. එහෙත් බටහිර දැනුම් ක්‍ෂේත්‍රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්‌, නව ප්‍රවාදයක්‌ නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්ෂතාවක්‌ නො පෙන්වති. මේ කරුණ මා අවබෝධ කරගත්තේ අවුරදු හතළිස්‌ පහකට පමණ පෙර පශ්චාත් උපාධියක්‌ ලබා ගැනීමට එංගලන්තයට ගිය අවස්‌ථාවෙහි ය. එහෙත් එයට හේතුව මට ලැබුණේ ඉන් අවුරුදු පහළොවකට පමණ පසු චින්තනය යන සංකල්පය නිර්මාණය කිරීමෙන් පසුව ය.

සාධාරණ වශයෙන් ගත් කල අපට දැනුම නිර්මාණය කළ හැක්‌කේ අපේ චින්තනයෙහි මිස වෙනත් ජාතීන් ගේ ජනවර්ගවල චින්තනයන්හි නො වේ. කලාතුරකින් මෙයට විරුද්ධව ගොස්‌ කිහිප දෙනකු වෙනත් චින්තනයක දැනුම නිර්මාණය කරනු දැකිය හැකි ය. එහෙත් පසුගිය අවුරුදු සියයක පමණ කාලයෙහි ඉන්දියාවේ නොබෙල් ත්‍යාගලාභීන් සංඛ්‍යාව හා යුදෙවු නොබෙල් ත්‍යාගලාභීන් සංඛ්‍යාව සංසන්දනය කිරීමෙන් මේ පිළිබඳ අවබෝධයක්‌ ලබාගත හැකි ය. ඒ සංඛ්‍යාවන් වෙනුවට ත්‍යාගලාභීන් ජනගහණයේ ප්‍රතිශත ලෙස ගැනීමෙන් මේ කරුණ තවදුරටත් අනාවරණය වනු ඇත.

මේ සම්බන්ධයෙන් කිව යුතු වැදගත් කරුණක්‌ වෙයි. කිසි ම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක්‌ ලැබී නොමැතිවා පමණක්‌ නො වේ. මෙරට විද්‍යාඥයන් යෑයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ එක ම එක සිංහලයකුට පමණි. ඔහු ද සිංහල බෞද්ධයෙක්‌ නො වේ. එමෙන් ම එය සෛද්ධාන්තිකව නව සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ ඉදිරිපත් කිරීමෙන් නො ව කුරුලු උණ සම්බන්ධ වයිරසය පරීක්‌ෂණාගාරයේ දී හඳුනා ගැනීමෙන් ලබා ගත්තකි. ලංකාවේ බටහිර වෛද්‍ය විද්‍යාලය පිහිටුවනු ලැබුයේ 1870 වසරෙහි දී ය. එයට පළමුව ද බටහිර විද්‍යාව එංගලන්තයට ගොස්‌ ඉගෙන ගත් අය ලංකාවේ වූ හ. එහෙත් අවුරුදු එක සිය පනහක පමණ කාලයක්‌ තිස්‌සේ බටහිර විද්‍යාව ඉගැන්වීමෙන් හා ඉගෙනීමෙන් අප ලබා ඇති ප්‍රතිඵලය එබඳු ය.

ලංකාවේ බටහිර විද්‍යාඥයන් පසුගිය අවුරුදු එක සිය පනහක පමණ කාලයක ලෝකයට දී ඇති බටහිර විද්‍යාත්මක දැනුම කුමක්‌ ද? මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරක්‌ ඇත. එහෙත් එය ඊනියා බටහිර විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කිරීමෙන් දෙන ලද්දක්‌ නො වේ. නිදන්ගත වකුගඩු රෝගය නමින් හැඳින්වෙන රෝගයට හේතුව කුමක්‌ දැයි මෑතක්‌ වන තුරු ම බටහිර විද්‍යාවට හා බටහිර වෛද්‍ය විද්‍යාවට ප්‍රශ්නයක්‌ විය. එයට ප්‍රධාන හේතුව ආසනික්‌ බව අප දැන ගත්තේ ආධ්‍යාත්මිකව මනුෂ්‍ය නො වන ප්‍රාණීන් ගෙනි. එය බටහිර විද්‍යාව අනුව ද විශාල සම්භාවිතාවක්‌ සහිතව පෙන්වීමට කැලණිය විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයෝ සමත් වූ හ.

එහෙත් එසේ පෙන්වීමට මෙරට විද්‍යාඥයන් යෑයි කියන්නවුන් ගෙන් ලැබුණේ මල් පොකුරු නො ව ගල්මුල් ය. අද ද නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ බව පිළිsගැනීමට මෙරට ඊනියා විද්‍යාඥයන් පමණක්‌ නො ව ජනතා විමුක්‌ති පෙරමුණ වැනි ඊනියා විද්‍යාත්මක සමාජවාදයක්‌ ගැන කතාකරන පක්‌ෂ ද අකැමැති වෙයිs. මේ ඊනියා විද්‍යාඥයන් ගේ අකැමැත්තටත් වඩා ආසනික්‌ විරෝධය එසේ තිබිය දී පසුගිය දා දකුණු ඇමෙරිකාවේ කොස්‌ටාරිකාවේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වීමේ අවස්‌ථාව කැලණිය කණ්‌ඩායමේ වෛද්‍ය චන්න ජයසුමන දිසානායක මහතාට ලැබිණි.

දකුණු ඇමෙරිකාවේ උක්‌ වගා කරන රටවල ද ගොවීන් අතර වකුගඩු රෝගය පැතිරී ගොස්‌ ඇත. ඒ කලාපයේ උක්‌ වගා කරන රටවල් අතුරෙන් වකුගඩු රෝගය පැතිරී ගොස්‌ නැත්තේ කෘෂි රසායන භාවිත නො කරන කියුබාවේ පමණ ය. කොස්‌ටාරිකාවේ පැවැති සම්මන්ත්‍රණයට සහභාගි වූ වෛද්‍ය චන්න ජයසුමන මහතා ලංකාවේ නිදන්ගත වකුගඩු රෝගයට හේතු කෘෂි රසායන භාවිතය නිසා එකතු වන ආසනික්‌, කිවුල්. ජලය හා පස බව අනාවරණය කර ඇත.

ඉන්පසු ඒ අනුව තවදුරටත් පර්යේෂණ කළ දකුණු ඇමෙරිකාවේ එල් සැල්වදෝරය නම් රටේ විද්‍යාඥයන් ආසනික්‌ කතාව තහවුරු කරගෙන ඇත. එපමණක්‌ නො ව ඒ සම්බන්ධයෙන් දැනට සති කිහිපයකට පෙර එල් සැල්වදෝරයෙහි පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වූ කැලණිය කණ්‌ඩායමේ වෛද්‍ය චන්න ජයසුමන හා විශේෂඥ වෛද්‍ය කුමුදු දහනායක මහතා ඉදිරියේ එරට විද්‍යාඥයන් ආසනික්‌ පිළිබඳ දැනුම ඔවුන්ට ලබා දීම පිළිබඳ ව ශ්‍රී ලංකාවට ස්‌තුති කර ඇත.

මා මේ කරුණු සඳහන් කරන්නේ අප දැනුම නිර්මාණය කිරීමේ දී ගත යුතු ම`ග පිළිබඳ අවබෝධයක්‌ ලබා දීමට ය. අපේ ම`ග ආධ්‍යාත්මික වෙයි. එසේ ලබා ගන්නා දැනුම අපට සෙසු ලෝකයට ද ලබා දිය හැකි ය. එහෙත් මෙරට විද්‍යාඥයන් යෑයි කියා ගන්නා අය එසේ දැනුම ලබා ගැනීමට අකුල් හෙළති. ඔවුන්ට ඊනියා විද්‍යාත්මක ක්‍රමයෙන් බාහිර ව දැනුමක්‌ නැත. එහෙත් ඒ ක්‍රමය ඇසුරෙන් ඔවුන් නිර්මාණය කරන්නා වූ දැනුමක්‌ ද නැත. ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි නොමැති මෙරට විද්‍යාඥයන් යෑයි කියා ගන්නා අයට බටහිර විද්‍යාවෙහි වැදගත් දැනුමක්‌ නිර්මාණය කළ නො හැකි ය. ඔවුන්ට කළ හැක්‌කේ නාථ දෙවියන් හා විපස්‌සක දෙවියන් ගැන තකතීරු ප්‍රශ්න ඇසීම පමණකි.

මෙරට එකල වැව් හා දාගැබ් තැනුණේ කෙසේ ද යන්නට අපට දැන් පිළිතුරක්‌ වෙයි. අපේ පැරැන්නන් බොහෝ විට දැනුම ලබාගෙන ඇත්තේ, එනම් දැනුම නිර්මාණය කර ඇත්තේ, ආධ්‍යාත්මික ව ය. අද අප අපේ ප්‍රවාද තනන්නේ ප්‍රධාන වශයෙන් ම අපට ඒ ආධ්‍යාත්මක ශක්‌තිය නොමැති බැවිනි. අප කළ යුත්තේ වැඩි වැඩියෙන් ඒ ආධ්‍යාත්මික ශක්‌තිය ලබා ගැනීමට කටයුතු කිරීම ය.

අපි ආසියාවේ ඓශ්චර්ය වීමටත් මෙරට ආසියාවේ දැනුම් කේන්ද්‍රය බවට පත් වීමටත් උත්සාහ කරමු. අපට එය කළ හැකි ය. එහෙත් එය කළ හැක්‌කේ බටහිර විද්‍යාවේ අගු පිලේ වැතිර පරිධියේ ඊනියා පර්යේෂණ කිරීමෙන් වත් තොරතුරු තාක්‌ෂණය පසුපස යැමෙන් වත් නො වේ. අප ගත යුතු ම`ග පැහැදිලි ය. එහෙත් බටහිර අධ්‍යාපනයෙන් බිහි කර ඇති පුස්‌සෝ අපට ඒ ම`ග ගැනීමට අකුල් හෙළති.

නලින් ද සිල්වා