logo3.gif (702 bytes)

HOME


මාක්‌ස්‌වාදය හා දැනුම් ගස්‌

ගුණදාස අමරසේකර මහතාට අනුව එක්‌තරා ලේඛකයකු කියා ඇත්තේ රුසියාවේ විප්ලවය සිදු වූයේ මාක්‌ස්‌වාදයට අනුව නො ව එහි ජාතික චින්තනයට (භ්එසදබ්ක එයදමටයඑ) එකඟ ව ය. රුසියන් විප්ලවය රුසියාවේ ජාතික චින්තනයට එකඟව සිදු වී නම් ඉන් අවුරුදු අසූවක්‌ ගත වීමට පෙර සෝවියට්‌ දේශය කඩා වැටී රුසියාව ඇතුළු විවිධ රාජ්‍ය බිහි වූයේ කෙසේ ද යන ප්‍රශ්නයට ද ජාතික චින්තනය ඇසුරෙන් පිළිතුරු සැපයිය යුතු ය. ජාතික චින්තනය නමැති විසිරුණු අදහසට අනුව එයට පිළිතුරු සැපයිය නො හැකි ය. එමෙන් ම මාක්‌ස්‌වාදයට ද එයට පිළිතුරු නැත. චාවේස්‌, කස්‌ත්‍රෝ ආදී පුද්ගලයන් බිහි වන්නේත් ඒ රටවල ඊනියා සමාජවාදී හෝ මානව හිතවාදී හෝ රාජ්‍ය බිහි වන්නේ කෙසේ ද ආදී ප්‍රශ්නවලටත් ජාතික චින්තන අදහස්‌වලින් හෝ මාක්‌ස්‌වාදයෙන් හෝ පිළිතුරු නො ලැබෙයි.

අප මේ කරුණු සාකච්ඡා කරන්නේ දැනට අවුල් ව ප්‍රචාරය වී ඇති මතිමතාන්තර කිහිපයක්‌ නිරවුල් කරගැනීම සඳහා ය. අනෙක්‌ පැත්තෙන් අපේ ප්‍රවාද ගැන ද පැහැදිලි කිරීමට ඒ උපයෝගී කරගත හැකි ය. පළමුකොට ම මාක්‌ස්‌වාදය ගැන කෙටි සටහනක්‌ අවශ්‍ය වෙයි. බටහිර විද්‍යාවේ බටහිර දාර්ශනිකයකු වූ කාල් පොපර් මාක්‌ස්‌වාදය හා සිග්මන්ඩ් ෆ්‍රෝයිඩ් ඇරඹූ මනෝ විශ්ලේෂණ විද්‍යාව, එනම් බටහිර විද්‍යාව, නො වේ යෑයි ප්‍රකාශ කර ඇති නමුත් මෙරට පොපර්වාදීහු ද ඒ බව අමතක කරති. ඔවුහු පොපර් අනුව යමින් ජ්‍යොතිෂය පමණක්‌ බටහිර විද්‍යාව නො වේ යෑයි පවසති. මේ කන්න වුවමනා වූ විට කබරගොයා තලගොයා කර ගැනීමකි. මේ ඇතැමුනට අනුව මෑත කාලයේ බටහිර විද්‍යාවේ පහළ වූ දැවැන්තයෝ අයින්ස්‌ටයින්, ඩාවින්, මාක්‌ස්‌ හා ෆ්‍රෝයිඩ් වෙති. එහෙත් බටහිර විද්‍යාවේ මහා දාර්ශනිකයා ලෙස මෙරට ඇතැමුන් ගේ සැලකිල්ලට පාත්‍ර වන පොපර් ඉන් දෙදෙනකු ම ප්‍රතික්‍ෂෙප කරයි.

පොපර්බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙන් කර ගැනීම සඳහා නිර්ණායකයක්‌ ඉදිරිපත් කළේ ය. ඒ අන් කිසිවක්‌ නො ව බටහිර විද්‍යාවේ ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කර හැකි බවත් අනෙක්‌ දැනුම් පද්ධතීන්හි ප්‍රවාද හෝ මතවාද හෝ වෙනත් දැනුමක්‌ හෝ එසේ අසත්‍යකරණයට ලක්‌ කිරීමට නොහැකි බවත් ය. පොපර් ගේ අසත්‍යකරණය පිළිබඳ විවේචන බටහිර ම කිහිප දෙනෙකු අතින් පළ වී ඇත. තමන් එකිනෙකා ප්‍රාඥයන් ලෙස හඳුන්වාගන්නා බොහෝ දෙනා පොපර් ගෙන් ඈතට නො යති. ඔවුන් පොපර් ගේ මත ගැන ද එතරම් හොඳින් අධ්‍යයනය කර නොමැති බව පැහැදිලි ය.

පොපර්ට අනුව බටහිර විද්‍යාවේ ප්‍රවාද සත්‍ය ද අසත්‍ය ද බව දැන ගැනීම සඳහා පර්යේෂණ කළ හැකි ය. එහෙත් ඔහු පවසන්නේ මාක්‌ස්‌වාදයේ හෝ ජ්‍යොතිෂයේ හෝ දැනුම අසත්‍යකරණයට ලක්‌ කළ නො හැකි බව ය. ඔහුට අනුව යමකු ගේ කේන්ද්‍රය බලා ජ්‍යෙතිෂ්ශාස්‌ත්‍රඥයකු පළ කළ අනාවැකියක්‌ ඵල නො දැරුව හොත් ජ්‍යෙතිෂ්ශාස්‌ත්‍රඥයා එය ඵල නො දැරුවේ ඇයි ද යන්නට වෙනත් හේතුවක්‌ කියනු ඇත. එබැවින් ජ්‍යොතිෂයේ දැනුම කිසි දිනෙක අසත්‍ය වන්නේ නො වේ. එමෙන් ම මාක්‌ස්‌වාදයේ ද අනාවැකි ඵල නො දරන විට මාක්‌ස්‌වාදීහු විවිධ හේතු දැක්‌වීමට ඉදිරිපත් වෙති.

මාක්‌ස්‌ ගේ මාක්‌ස්‌වාදයට අනුව ඊනියා කම්කරු පංති විප්ලවය මුලින් ම සිදු වීමට තිබුණේ බටහිර යුරෝපයේ ඊනියා දියුණු රටවල ය. විශේෂයෙන් ම එංගලන්තයේ ය. එහෙත් එය එසේ සිදු නො වී ය. පසුකාලීන මාක්‌ස්‌වාදීහු එසේ සිදු නො වූයේ ඇයි ද යන්න තේරුම් කිරීම සඳහා විවිධ හේතු ඉදිරිපත් කළ හ. පොපර්ට අනුව ගොස්‌ මාක්‌ස්‌වාදීහු මාක්‌ස්‌වාදය අසත්‍යකරණයට ලක්‌ නො කළ හ. මාක්‌ස්‌වාදීන් දැක්‌වූ එක්‌ හේතුවක්‌ වූයේ ඊනියා දියුණු රටවල කම්කරු පංතියේ නායකත්වය එක්‌කෝ බිහි වී නො තිබීම ය. එසේත් නැත හොත් කම්කරු පංතියේ නායකත්වයේ පාවා දීම් ය.

ඊනියා කම්කරු පංති විප්ලවය නො සිදු වු ඕනෑ ම රටක මේ කතාව කියා ගැලවී යැමට මාක්‌ස්‌වාදීහු පුරුදු වී සිටිති. ලංකාවේ ද ඊනියා කම්කරු පංති නායකත්වයේ පාවා දීම් ගැන නිතර කියෑවෙයි. එහෙත් පාවා නො දුන්නේ යෑයි කියන නායකත්වයට ද ඊනියා කම්කරු පංති විප්ලවය සාක්‍ෂාත් කරගැනීමට නොහැකි වී ඇත. එය එසේ වී ඇත්තේ ඇයි දැයි තමන් පාවා දී නැතැයි කියන නායකයෝ තේරුම් කර නො දෙති.

ඊනියා කම්කරු පංති නායකයන් බිහි නො වන්නේ නම් හෝ පාවා දෙන්නේ නම් හෝ මාක්‌ස්‌වාදීන් කළ යුත්තේ එසේ වීම තේරුම් ගැනීම සඳහා ප්‍රවාද ඉදිරිපත් කිරීම ය. එහෙත් ඔවුහු එසේ නො කරති. එක්‌කෝ වත්මන් මාක්‌ස්‌වාදීහු නිර්මාණශීලී නො වෙති. නව ප්‍රවාදයක්‌ ඉදිරිපත් කිරීමට නිර්මාණශීලී හැකියාවක්‌ තිබිය යුතු ය. ප්‍රවාදයක්‌ ඉදිරිපත් කිරීම යනු කතන්දරයක්‌ ගෙතීමකි. කතන්දරයක්‌ ගෙතිය හැක්‌කේ නිර්මාණශීලී පුද්ගලයකුට ය. එපමණක්‌ නො වේ. ප්‍රවාද නිර්මාණය කෙරෙන්නේ යම් චින්තනයක්‌ පදනම් කරගනිමින් යම් සංස්‌කෘතියකට සාපේක්‍ෂ ව ය.

බොහෝ දෙනාට බටහිරයන් විසින් කියා දෙනු ලබන දැනුම පිළිබඳ දැනුමට අනුව ඇත්තේ එක්‌ දැනුමකි. එය මුළු ලෝකයට ම පොදු ය. ඒ ඒ කාලවල දී භාරතයේ, චීනයේ, ග්‍රීසියේ නැත හොත් වෙනත් රටක දැනුම වර්ධනය වන්නට ඇත. එය නිර්මාණයක්‌ යෑයි පොදුවේ ගත් කල බටහිරයෝ නො කියති. ඔවුන්ට අනුව දැනුම සොයාගැනෙයි. එහෙත් මේ සොයාගැනීම පිළිබඳ විශ්වාසය පොපර් ගේ අසත්‍යකරණ ප්‍රවාදයට එකඟ නො වේ. දැනුම සොයා ගැනෙන්නක්‌ නම් එය අසත්‍ය වන්නේ කෙසේ ද? මිනිස්‌සු අසත්‍ය දැනුම් ද සොයා ගනිත් ද?

චීනයේ හෝ ග්‍රීසියේ හෝ වර්ධනය වූ දැනුමක්‌ දැන් බටහිර යුරෝපයට ගොස්‌ තිබෙන්නට හැකි ය. බටහිරයන්ට අනුව චීනයෙන් බටහිරට ගිය වෙඩි බෙහෙත්, මාලිමා යන්ත්‍රය ආදිය ආදිය පිළිබඳ දැනුම හා දැන් ඒ සම්බන්ධයෙන් බටහිරයන් සතු දැනුම එකකි. එසේත් නැත්නම් පැරැණි දඹදිවෙන් ආරාබිය ඔස්‌සේ බටහිරට ගිය ගණිතය අද බටහිර ඒ සම්බන්ධයෙන් ඇති ගණිතය වෙයි. එහෙත් දඹදිව තිබූ වීජය බටහිර අද ඇති වීජය මෙන් වියුක්‌ත නො වන බව බටහිරයෝ නො කියති. එසේත් නැත හොත් චීනයෙහි වෙඩි බෙහෙත් පිළිබඳ දැනුම තිබුණ මුත් චීන ජාතිකයන් බටහිරයන් මෙන් නො ව තුවක්‌කු නිෂ්පාදනය නො කළ බවත් බටහිරයෝ අපට නො කියති.

ලෝකයේ කිසි ම දවසක එක ම දැනුමක්‌ පමණක්‌ තිබී නැත. බටහිරයන් කියන ආකාරයට ලෝකයේ ඇත්තේ එක්‌ දැනුම් ගහකි. මේ දැනුම් ගහ විවිධ පුද්ගලයන් අතින් වර්ධනය වෙයි. ඒ පුද්ගලයෝ විවිධ ජාතීන්ට, විවිධ ජනවර්ගවලට හා විවිධ සංස්‌කෘතීන්ට අයත් වෙති. බටහිරයන්ට අනුව මේ දැනුම් ගහ ලෝකයට ම පොදු ය. බටහිරයන් කියන දේ දොහොත් මුදුන් දී පිළිsගැනීමට පුරුදු කෙරී ඇති මෙරට ඊනියා උගතුන්ට අනුව ද ලෝකයේ ඇත්තේ එක ම දැනුමකි. ඒ දැනුම අද ලෝකයේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල බෙදා හැරෙයි.

එහෙත් මෙරට සිටින උගතුන්ට මේ දැනුමට කිසිවක්‌ එකතු කිරීමට නොහැකි වී ඇත. එයට හේතුව ලෙස මේ උගතුන් පෙන්වා දෙන්නේ බටහිර රටවල මෙන් පහසුකම් මෙරට නැති බැවින් ඔවුන්ට නව දැනුමක්‌ සොයා ගැනීමට නොහැකි වී ඇති බව ය. එහෙත් අද මෙරටින් ඇමෙරිකාවට හා වෙනත් බටහිර රටවලට ගොස්‌ විශ්වවිද්‍යාලවල හා වෙනත් පර්යේෂණ ආයතනවල ඊනියා පර්යේෂණ කරන්නෝ වෙති. ඔවුන් ගෙන් ඇතැමෙක්‌ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු වෙති. අධ්‍යයන අංශවල ප්‍රධානීහු වෙති. එසේත් නැත හොත් පර්යේෂණ ආයතනවල ප්‍රධාන තනතුරු දරති.

එවැන්නන්ට පහසුකම් නැතැයි කිව නො හැකි ය. එහෙත් ඔවුන් ගෙන් බටහිර විද්‍යාවට හෝ වෙනත් බටහිර දැනුමකට වී ඇති සෙත කුමක්‌ ද? ඔවුන් "සොයාගත්" මූලික දැනුමක්‌ වේ ද? ඔවුන් ගේ ඊනියා පර්යේෂණ කූන් කී ආකාරයෙන් නම් ගැටලු විසඳීමට සීමා වී ඇත. එසේ නම් මේ උගතුන්ට සිදු වී ඇත්තේ කුමක්‌ ද? ඔවුහු බටහිරයන් තරම් දක්‍ෂ නො වෙත් ද? මේ උගතුන්ට මෙවැනි ප්‍රශ්නයක්‌ ඇති බවවත් නො වැටහෙයි. ඒ තරමට නම් ඔවුහු අදක්‍ෂයෝ වෙති. ප්‍රශ්නයකට විසඳුමක්‌ දිය හැක්‌කේ ප්‍රශ්නයක්‌ ඇති බව වටහාගත් අයකුට ය. මොවුන්ට ප්‍රශ්නයක්‌ ඇති බව වත් නො වැටහෙයි.

මේ බටහිර ගැති, බටහිරයන් විසින් පුහුණු කෙරී ඇති ඊනියා උගතුන්ට නො තේරුණ ද ලෝකයේ බොහෝ දැනුම් ගස්‌ ඇත. මේ දැනුම් ගස්‌ විවිධ ය. ඇපල් ගස්‌ හා පොල් ගස්‌ යනු එක ම වර්ගයේ ගස්‌ නො වේ. ලංකාවේ ඇපල් ගස්‌ නො වැවෙයි. ඇතැම් විටෙක කෘත්‍රිම පරිසරයක්‌ මවා ඇපල් ගස්‌ ලංකාවේ වැවීමට හැකියාවක්‌ ඇත. එමෙන් ම කෘත්‍රිම පරිසරයක එංගලන්තයේ පොල් වැවිය හැකි ය. ලන්ඩන් නුවර කිව් උද්‍යානයෙහි කෘත්‍රිම පරිසරයක පොල් ගසක්‌ වවා ඇත. (පේරාදෙණියේ උද්භිද උද්‍යානය නිර්මාණය කර ඇත්තේ කිව් උද්‍යානයේ අනුකරණයක්‌ ලෙස ය)

අද ලංකාවේ ද දැනුම් ගසට ඇත්තේ ඇපල් ගස පමණකි. මේ ඇපල් ගස්‌ කෘත්‍රීම ව පාසල්වල හා විශ්වවිද්‍යාවල වැවෙන්නට සලස්‌වා ඇත. ලෝකයේ ඇති එක ම දැනුම් ගස ඇපල් ගස යෑයි අපට ඉගැන්වෙයි. මෙරට කෘත්‍රීම ව අවුරුදු දෙ සියයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ ඉංගිරිසින් මුල දී පාසල්වල හා පසුව විශ්වවිද්‍යාලවල ද ඇපල් දැනුම් ගස්‌ වවා ඇති නමුත් ඒවා වඳ පීදෙයි. එහි ගෙඩි හට නො ගනියි. අපි අපේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල පොල් වැවීමට උනන්දුවක්‌ නො ගනිමු.

විවිධ දැනුම් ගස්‌ ඵල දරන්නේ විවිධ පරිසරවල ය. අපට දැනුම නිර්මාණය කළ හැක්‌කේ අපේ දැනුම් ගසෙහි ය. අපට දැනුම නිර්මාණය කළ හැක්‌කේ අපේ චින්තනය මත පදනම් ව අපේ සංස්‌කෘතියට සාපේක්‍ෂ ව ය. අපට වෙනත් චින්තන මත පදනම් ව වෙනස්‌ සංස්‌කෘතීන්ට සාපේක්‍ෂව දැනුම නිර්මාණය කළ නො හැකි ය. අපේ උගතුන්ට බටහිර විද්‍යාවෙහි දැනුම, එනම් මූලික දැනුම නිර්මාණය කළ නොහැක්‌කේ අපේ උගතුන්ට බටහිර චින්තනය නොමැති බැවිනි. ඔවුන් බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි නොමැතිවා පමණක්‌ නො වේ. ඔවුහු බටහිර යුදෙවු ග්‍රීක සංස්‌කෘතියෙහි ද නො වෙති.

අපට බටහිර දැනුමට යමක්‌ එකතු කිරීමට අප ඒ චින්තනයෙහි ජීවත් විය යුතු ය. අපේ නිර්මාණශීලීත්වය මතු වන්නේ අපේ සංස්‌කෘතියට සාපේක්‍ෂ ව ය. දැනුම් නිර්මාණය සඳහා නිර්මාණශීලීත්වය තිබීම පමණක්‌ ප්‍රමාණවත් නො වේ. අප ඒ සඳහා අපේ චින්තනය පදනම් කරගත යුතු ය. මෙරට සිටින මාක්‌ස්‌වාදීන් ඉතා වැඩි දෙනකුට නිර්මාණශීලීත්වය යන්න ම නො තේරෙයි. ඔවුහු අංක එකේ අනුකාරකයෝ වෙති. ඔවුන්ට මාක්‌ස්‌ ගෙ ලෙනින් ගේ, ට්‍රොට්‌ස්‌කි ගේ වචන ඒ ඒ ගුරුකුලය අනුව දේව භාෂිත වෙයි.

ඔවුන් මේ සම්බන්ධයෙන් වඩාත් ම යොදාගන්නා වචනය ගැලැප්පීම ය. මාක්‌ස්‌වාදය මෙරටට ගලප්පන්නේ කෙසේ ද යන්න ඇතැමුන් ගේ සාකච්ඡාවට භාජන වෙයි. ඇතැමුන්ට ඒ පිළිබඳව වත් හෝඩුවාවක්‌ නැත. ඒ අයට ගැලැප්පීම යන්න ම මාක්‌ස්‌වාදය විකෘත කිරීමකි. ගැලැප්පීම යන්න එතරම් තේරුමක්‌ ගෙන දෙන වචනයක්‌ නො වේ. ගුණදාස අමරසේකර මහතාට අනුව මෙරට ජාතික චින්තනයෙහි දර්ශනය මාක්‌ස්‌වාදය ය. ඔහු අබුද්දස්‌ස යුගයක්‌ කෘතිය පළ කළ කාලයෙහි සිට අද දක්‌වා ම ඒ අදහස දරයි. ඔහුට ද අවශ්‍ය එක්‌තරා ආකාරයක ගැලැප්පීමකි. ඔහු එයට සහවාසය යන නම යොදාගනියි.

නලින් ද සිල්වා