logo3.gif (702 bytes)

HOME


චින්තනය හා ජාතික චින්තනය

මාක්‌ස්‌වාදය මෙරට මුල් බැස නො ගත්තේ ඇයි යන ප්‍රශ්නයට විවිධ පුද්ගලයන් විවිධ පිළිතුරු දී ඇත. එහෙත් මේ ප්‍රශ්නය එයට වඩා පළල් ව ඇසිය යුතු ය. මාක්‌ස්‌වාදය කිsසි ම රටක මුල් බැසගෙන නැත. බටහිර යුරෝපයේ එය කිසි දිනෙක මුල් බැස ගත්තේ නැත. අද ඇමෙරිකාව ලෝකයේ දියුණු ම රට ලෙස පිළිගනු ලැබුණ ද, මාක්‌ස්‌වාදය බිහි වූ කාලයේ ද, ඉන්පසු ඊනියා දෙවැනි ලෝක යුද්ධය තෙක්‌ ම බටහිර යුරෝපය හා ඉන්දු එංගලන්තය ලෝකයේ දියුණු ම රටවල් (රට) ලෙස හැඳින්විණි. මාක්‌ස්‌වාදයට අනුව ලෝකයේ පළමු කම්කරු පංතික විප්ලවය සිදු විය යුතු ව තිබුණේ ඒ දියුණු ම රටවල ය.

එහෙත් එය එසේ සිදු නො විණි. ඒ වෙනුවට ඊනියා කම්කරු පංතික විප්ලවය කෙසේ වෙතත් කොමියුනිස්‌ට්‌ පක්‍ෂයක්‌ බලයට පත් වූයේ රුසියාවේ ය. රුසියාව එකී පෙරැළිය සිදු වන කාලයෙහි දී ඉතා අඩු දියුණු රටක්‌ විය. එහි පැවතියේ සාර් (රජු) ගේ රාජාණ්‌ඩුවකි. එහි අඩු ම තරමෙන් මාක්‌ස්‌වාදී භාෂාවෙන් කියන්නේ නම් ධනේශ්වර රාජ්‍යයක්‌වත් නො වී ය. එය එසේ සිදු වූයේ ඇයි ද යන්න තේරුම් ගැනීමට කෘති රාශියක්‌ පළ වී ඇත. ඒ කෘති මාක්‌ස්‌වාදී දෘෂ්ටි කෝණවලින් මෙන් ම වෙනත් කෝණවලින් ද ලියෑවී ඇත.

මේ අතර එක්‌තරා ලේඛකයකුට අනුව රුසියාවේ දී ලෙනින් ගේ නායකත්වයෙන් ජයග්‍රහණය කර ඇත්තේ මාක්‌ස්‌වාදී ප්‍රවාදයක්‌ නො ව රුසියානු ජාතික චින්තනය ය. ඒ ලේඛකයා එය හඳුන්වා දී ඇත්තේ නැෂනල් තෝට්‌ (බ්එසදබ්ක එයදමටයඑ) ලෙස ය. ගුණදාස අමරසේකර මහතා අතින් එය සිංහලයට පරිවර්තනය වූයේ ජාතික චින්තනය ලෙස ය. මේ චින්තනය අප විසින් චින්තනය යනුවෙන් යොදාගැනෙන්න නො වේ. එහෙත් අද වන විට එය නො වන්නේ ද නො වේ.

අමරසේකර මහතා තෝට්‌ යන්න චින්තනය ලෙස පරිවර්තනය කළේ ය. එය ඉතා ලිහිල් විසිරුණු අදහසකි. ඉංගිරිසියෙන් තෝට්‌ යන්නෙහි ඇත්තේ දාර්ශනික අදහසක්‌ නො වේ. තෝට්‌ යන්න නාම පදයක්‌ ලෙස සිතිවිල්ල සමග සම්බන්ධ ය. එය තින්ක්‌ යන පදය සමග ද සම්බන්ධ ය. කෙසේ වෙතත් ජාතික චින්තනය යන්න බොහෝ කලක සිට මෙරට ජාතිකවාදීන් යොදාගන්නා පදයකි. පනහේ දශකයේ මුල් අවධියේ හරිශ්චන්ද්‍ර විජයතුංග, බැසිල් සිල්වා, රත්නකාර, ඡේ. ආර්. පී. සූරියප්පෙරුම ආදී මහතුන් විසින් ද, ඉන් පසු අසූවේ දශකයේ මුල දී පමණ ජී. අයි. ඩී. ධර්මසේකර, කුලියාපිටියේ ප්‍රනන්ද ආදී මහතුන් විසින් ද ජාතික චින්තනය යන්න යොදාගනු ලැබ ඇත.

එහෙත් ඒ සියලු දෙනා එක ම අරුතකින් ජාතික චින්තනය යන්න ව්‍යවහාර කළේ යෑයි මෙයින් නො කියෑවෙයි. ඔවුහු එය කුමක්‌ දැයි පැහැදිලි නො කළ හ. මේ ව්‍යවහාරය යොදාගත් බොහෝ දෙනා එසේ කළේ මාක්‌ස්‌වාදී ව්‍යාපාරය හරිම`ග යෑවීමට ය. ඔවුන් ගේ අදහස වූයේ මාක්‌ස්‌වාදී පක්‍ෂ ගොරහැඩි ලෙස මාක්‌ස්‌වාදය අනුකරණය කළ බවත් එහෙත් එය අපේ රටේ ව්‍යවහාර කළ යුත්තේ යම් ජාතික චින්තනයක්‌ සමගින් බවත් ය. ඔවුන් ගෙන් ඇතැමකුට අනුව මාක්‌ස්‌වාදය මෙරට මුල් බැස නො ගත්තේ මාක්‌ස්‌වාදී පක්‍ෂ එය නිර්මාණත්වයකින් දේශයට ගැලපෙන ආකාරයකින් යොදා නො ගැනීම නිසා ය.

ඒ අයට අවශ්‍ය වූයේ මාක්‌ස්‌වාදයට ජාතිකත්වයක්‌, ජාතික චින්තනයක්‌ ලබා දී එය දේශයට ගැලපෙන ආකාරයකින් යොදා ගැනීමට ය. ගුණදාස අමරසේකර මහතාට අවශ්‍ය වූයේ ද එවැන්නකි. විශ්ලේෂණාත්මක මනසක්‌ ඇති බවක්‌ පෙන්වා නොමැති ඒ මහතා අබුද්දස්‌ස යුගයක්‌ පොතෙහි ඒ පිළිබඳ ව සාකච්ඡා කළේ ය. එය කියවු සූරියප්පෙරුම මහතා ඒ පිළිබඳ ව කළ තම විවේචනයක අනගාරික ධර්මපාලතුමා මාක්‌ස්‌වාදී ද යන ප්‍රශ්නය නඟා ඇත. ගුණදාස අමරසේකර මහතා ගේ ඊළඟ කෘතිය අනගාරික ධර්මපාල මාක්‌ස්‌වාදී ද ලෙස නම් කෙරිණි.

ඉන්පසු අමරසේකර මහතා ලියූ එක්‌ අසත්‍ය කතාවක්‌ හා ප්‍රේමයේ සත්‍ය කතාව යන කෙටි නවකතා දෙක මාක්‌ස්‌වාදය හා ජාතිකත්වය එකතු කළ යුතු ය යන අදහස මත පිහිටා ලියුවේ වෙයි. එහෙත් ඒ එකතු කරන්නේ කෙසේ ද යන්න එහි දී සාකච්ඡා නො කෙරිණි. අමරසේකර මහතා ජාතික චින්තනය යන්න යොදා ගත්තේ 1986 දී ය. මේ වන විට ද අප චින්තනය යන සංකල්පය නිර්මාණය කර තිබිණි. අපට එය දාර්ශනික සංකල්පයක්‌ විය. අපට දැනුම ලබාගැනීම කෙරෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක්‌ විය. දැනුමේ පදනම කුමක්‌ ද ආදී ප්‍රශ්න එකල අප අතින් සාකච්ඡා විණි.

යුදෙවු චින්තනය යන්න අප විසින් යොදාගැනුණු සංකල්පයක්‌ විය. බටහිර දැනුම යුදෙව් චින්තනය යන්න මත පදනම් වී ඇත යන්න අපේ මුල් ම ප්‍රවාදයක්‌ විය. යුදෙව් චින්තනය යන්න වැඩිකල් නො ගොස්‌ ම ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය ලෙස සංශෝධන ය විය. කෙසේ වෙතත් චින්තනය යන්න කූන් ගේ සුසමාදර්ශනය යන්නට වඩා ගැඹුරු විය. කූන්ට අනුව සුසමාදර්ශ බිහි වන්නේ බටහිර විද්‍යාවේ අසාමාන්‍ය හෙවත් විප්ලවීය යුගවල ය. බටහිර විද්‍යාවේ සෙසු කාල සාමාන්‍ය කාල ලෙස හැඳින්විණි. බටහිර විද්‍යාවේ සාමාන්‍ය කාලවල දී විද්‍යාඥයෝ පවත්නා සුසමාදර්ශයක ගැටලු විසඳීමේ යෙදී සිටිති. එහෙත් සුසමාදර්ශය වෙනස්‌ වන අසාමාන්‍ය කාලවල බටහිර විද්‍යාවේ විප්ලව සිදු වෙයි.

කූන් ගේ සුසමාදර්ශය යන සංකල්පයෙන් අපි යම් ආභාසයක්‌ ලැබුවෙමු. එහෙත් අප වඩාත් ම ආභාසය ලැබුයේ බෞද්ධ දර්ශනයෙනි. දැනුම පිළිබඳ අපේ ප්‍රවාදය නිර්මාණාත්මක සාපේක්‍ෂතාව ලෙස හැඳින්වෙයි. එයට අනුව දැනුම නිපදවෙන්නේ යම් සංස්‌කෘතියකට සාපේක්‍ෂව යම් චින්තනයක්‌ පදනම් කරගනිමිනි. චින්තනය යන්න සුසමාදර්ශනයට වඩා ගැඹුරු ය. චින්තනයක සුසමාදර්ශ කිහිපයක්‌ තිබිය හැකි ය. සංස්‌කෘතියක ද පදනමේ ඇත්තේ චින්තනය ය. අප සංස්‌කෘතියක්‌ වුව ද නිර්මාණය කරන්නේ චින්තනයක්‌ මත පදනම් වෙමිනි.

එහෙත් එයින් කියෑවෙන්නේ චින්තනය වෙනස්‌ නො වන බව නො වේ. සියල්ල, එනම් සියලු සංකල්ප වෙනස්‌ වන ලෝකයක චින්තනය පමණක්‌ වෙනස්‌ නො වී තිබෙන්නක්‌ නො වේ. චින්තනය ද වෙනස්‌ වෙයි. චින්තනයක්‌ පදනම් කරගනිමින් වෙනස්‌ වන සංස්‌කෘතිය හේතුවෙන් අවසානයේ දී චින්තනය ද වෙනස්‌ වෙයි. සංස්‌කෘතිය හුදෙක්‌ දෙන ලද චින්තනයක වෙනස්‌ වන්නක්‌ පමණක්‌ නො වේ. සංස්‌කෘතික ආක්‍රමණවල ප්‍රතිඵල ලෙස ද සංස්‌කෘතිය වෙනස්‌ කෙරෙයි. පසුගිය අවුරුදු පන් සියයක පමණ කාලයක්‌ තිස්‌සේ බටහිර සංස්‌කෘතික ආක්‍රමණය හේතුවෙන් සිංහල බෞද්ධ සංස්‌කෘතිය ද වෙනස්‌ කෙරී ඇත.

එහෙත් අපේ චින්තනය එපමණට ම වෙනස්‌ වී නැති බව පැහැදිලි ය. බටහිරයන් කෙතෙක්‌ උත්සාහ කළ ද බොහෝ ආසියාතික රටවල මාර්ග සංස්‌කෘතිය බටහිරයන්ට අවශ්‍ය ආකාරයට වෙනස්‌ කිරීමට නොහැකි වී ඇත. බොහෝ ආසියාතික රටවල මිනිසුන් රථ ධාවනය කරන්නේ තමන් තවමත් පයින් යන්නන් ලෙස සලකමිනි. අපට සුද්දන් ගේ මාර්ග නීති හදවතින් ග්‍රහණය කරගැනීමට නොහැකි වී ඇත.

ඒ කුමක්‌ වුවත් අපේ චින්තනය යන සංකල්පය දාර්ශනික සංකල්පයක්‌ විය. එය අමරසේකර මහතා ගේ ජාතික චින්තනය පිළිබඳ විසුරුණු අදහස නො වී ය. චින්තනය යන්න දැනුම නිර්මාණය කිරීම, අවශෝෂණය කිරීම, සම්බන්ධයෙන් විය. එහෙත් ජනමාධ්‍යයට හා දේශපාලනයෙහි යෙදෙන්නන්ට වඩා වැදගත් වූයේ ජාතික චින්තනය යන සංකල්පය ය. අමරසේකර මහතා ගේ අදහස ප්‍රචලිත වූයේ 1986 අගභාගයෙහි දී රත්නපුර නගර ශාලාවේ දී ජාතික චින්තනය සම්බන්ධයෙන් කරන ලද කතාවකින් පසුව ය. ඒ මහතා තම දේශනය කල්තබා ලියාගෙන විත් කතාව කිරීමෙන් පසුව දිවයින බදාදා අතිරේකයෙහි පළ කළේ ය.

රත්නපුර නගර ශාලාවෙහි දී එදින ම මා ද කතාවක්‌ කළ නමුත් ඒ පිළිබඳ ලියවිල්ලක්‌ මා සතු නො වූයේ මා දේශන කලින් පිළියෙල කර ඒ නො ලියන බැවිනි. මා එදින ද කතා කළේ බටහිර විද්‍යාව හා චින්තනය පිළිබඳ ව ය. ඒ කතාව පුවත්පතක පළ නො වී ය. අමරසේකර මහතා ගේ ලිපිය පළ වීමෙන් පසුව විවිධ කුලවල මාක්‌ස්‌වාදීහු ද එයට විරුද්ධව ලිපි පළ කළ හ. එහි දී ජාතික චින්තනය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට මට ද සිදු විය. එහි ප්‍රතිඵලයක්‌ වූයේ අමරසේකර නම් රට පිළිගත් සාහිත්‍ය විශාරදයා ගේ ජාතික චින්තනයේ ඇබිත්තයකු ලෙස මා සලකනු ලැබීම ය.

මේ හැඟීම එක්‌තරා ව්‍යාජ මාක්‌ස්‌වාදී සතිඅන්ත පුවත්පතක කතුවරයා අතින් කදිමට විස්‌තර කෙරිණි. ඔහු කියා සිටියේ ගුණදාස අමරසේකර මහතා නම් නමක්‌ දිනාගත් ප්‍රාඥයකු වුවත් නලින් ද සිල්වා යනු කවුද යන්න ය. මට එකල තබා අද වත් කිසි ම රාජ්‍ය සම්මානයක්‌ හෝ වෙනත් සමාජය පිළිගත් සම්මානයක්‌ ලැබී නැත. එකල මම කොළඹ විශ්වවිද්‍යාලයෙහි සාමාන්‍ය කථිකාචාර්යවරයකු පමණක්‌ වීමි. මා සමග එකට පමණක්‌ නො ව පසු ව ද විශ්වවිද්‍යාලයට ඇතුළත් වු ඇතැම්හු ඒ වන විටත් මහාචාර්යවරු වූ හ. මම විශ්‍රාම යන විට ද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්‌ නො වීමි. මට සම්මානිත (සේවාර්ජිත) මහාචාර්ය පදවියක්‌ ලැබීම සඳහා සුදුසුකම් නැත. එබැවින් මම අද මහාචාර්යවරයෙක්‌ නො වෙමි. උසස්‌ අධ්‍යාපන ඇමැතිතුමා ද මා සේවයේ යෙදී සිටින අවධියේ කියා තිබුණේ මට වඩා දැනුම් තේරුම් ඇති මහාචාර්යවරුන් සිටින බව ය. මා සේවයෙන් විශ්‍රාම යැමෙන් පසු මගේ සේවය දීර්ඝ කිරීමට ද ඇමැතිතුමා මුල දී විරුද්ධ විය. මගේ සේවයෙන් විශ්වවිද්‍යාලයට ඇති වැඩක්‌ නැතැයි එතුමා සිතන්නට ඇත. කෙසේ වෙතත් ප්‍රබුද්ධයකු වූ ඒ මහතා නාථ දෙවියන් ඇතුළු අදෘශ්‍යමාන බලවේග නො පිළිගනියි.

මා මේ කරුණු සඳහන් කරන්නේ චින්තනය යන සංකල්පය මෙරට සමාජයට කාන්දු කිරීමට තරම් මට දක්‍ෂතාවක්‌ නො වූ බවත් නව සංකල්පයක්‌ බිහි කිරීමට තරම් නිර්මාණශීලී බවක්‌ නො වූ බවත් සමාජය විසින් තේරුම්ගෙන තිබූ බව පෙන්වීමට ය. මේ හැඟීම අදත් සමාජයේ පවතියි. පසුගිය දා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මා යමක්‌ අලුතෙන් ප්‍රකාශ කර ඇත්නම් එය සත්‍යයක්‌ නො වන බවත් මා සත්‍යයක්‌ පවසා ඇත්නම් එය අලුත් දෙයක්‌ නො වන බවත් කීවේ එබැවින් විය යුතු ය. එතුමා එය නිවට අයුරෙන් සාකච්ඡාව අවසානයේ දී සඳහන් කිරීම පිළිබඳ ව නම් මම කණගාටු වෙමි.

කෙසේ වෙතත් අමරසේකර මහතා ගේ ජාතික චින්තනයේ ඇබිත්තයකු වීම හැරෙන්නට වෙනත් විකල්පයක්‌ මෙරට ප්‍රබුද්ධ සමාජය විසින් මට ලබා දී නො තිබිණි. එහෙත් චින්තනය පිළිබඳ ව මගේ අධ්‍යයනය දිගට ම කරගෙන ගියේ එය සමාජයේ තහවුරු කිරීමේ හැකියාවක්‌ ඇතැයි යන අදහසක්‌ නොමැති ව ය. වෙනත් විකල්පයක්‌ නොමැති වීම හේතුවෙන් ජාතික චින්තනය යනු ඒ ඒ ජාතිය සතු චින්තනය යෑයි හැඳින්වීමි.

එසේ වුවත් මාක්‌ස්‌වාදයට පසුබිම් වූ චින්තනය අන් කිසිවක්‌ නොව කතෝලික චින්තනය බව මම පසුව තේරුම් ගතිමි. එපමණක්‌ නො ව පැසිස්‌ට්‌වාදයට ද පසුබිම් වී ඇත්තේ කතෝලික චින්තනය ය. මාක්‌ස්‌වාදය මෙරට පමණක්‌ නො ව අනෙක්‌ රටවලට ද මුල්බැස නො ගන්නේ අද කතෝලික චින්තනයට දකුණු ඇමෙරිකානු රටවල හැරෙන්නට අන් රටවල කිසිදු තැනක්‌ නොමැති වීම නිසා ය. දකුණු ඇමෙරිකානු රටවල ද වඩා වැදගත් වන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය ය. ඒ රටවල ඉඳහිට චාවේස්‌ කෙනකු මතු වුව ද ඒ තාවකාලික ව ය. චාවේස්‌ ලා ද මාක්‌ස්‌වාදීහු නො වෙති.

නලින් ද සිල්වා