logo3.gif (702 bytes)

HOME


වෙනත් සංස්‌කෘතිවල දැනුම්

යම් සංස්‌කෘතියක ජීවත් වන අයට, එක ම ආකාරයේ යෑයි කිව හැකි අවයව තිබීම හා එක ම ආකාරයේ යෑයි කිව හැකි මනස්‌ තිබීම හේතුවෙන් ඔවුන්ට එක ම ආකාරයේ යෑයි කිව හැකි ඉන්ද්‍රිය හයක්‌ ඇති බව අපට පැහැදිලි ය. එහෙත් මෙයින් කියෑවෙන්නේ යම් සංස්‌කෘතියක ජීවත් වන සියල්ලන්ට ම එක ම ආකාරයෙන් කිසිදු වෙනසක්‌ නොමැති ව ඉන්ද්‍රිය හයක්‌ ඇති බව නො වේ. විවිධ අය ගේ විවිධ අවයව වෙනස්‌ බව අපි දැක ඇත්තෙමු. එමෙන් ම ඒ ඒ අය ගේ මනස්‌ ද වෙනස්‌ ය. බීජ නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය ආදී වශයෙන් ඒ වෙනස්‌කම්වලට හේතු දැක්‌විය හැකි ය.

අපේ සාංසාරික පුරුදු හේතුවෙන් ද අපේ අවයව හා මනස්‌ එකිනෙකා ගෙන් වෙනස්‌ වෙයි. ඇතැම් වෙනස්‌කම් අපට තේරුම් ගත හැක්‌කේ කම්ම නියාමයෙන් පමණකි. එක ම වර්ගයේ නිවුන් දරුවන් අතර වුව ද ඇති වෙනස්‌කම් බටහිර ජීව විද්‍යාවෙන් තේරුම්ගත හැකි නො වේ. කෙසේ වෙතත් අප එකිනෙකා ගෙන් වෙනස්‌ වන බව පැහැදිලි ය. එහි දී තවත් හේතුවක්‌ වනුයේ අධ්‍යාපනය ය. අප සියලු දෙනා ම කිනම් විෂය හැදෑරුව ද (අද බොහෝ විට ගුවන් විදුලියේ හා රූපවාහිනියේ අසන්නට ලැබෙන යෙදුමක්‌ නම් අසවලා අධ්‍යාපනය හදාරයි යන්න ය. අධ්‍යාපනය ලැබීම මිස හැදෑරීමක්‌ නො කෙරෙයි. අපි ඒ ඒ විෂය හදාරමු. එහෙත් අධ්‍යාපනය ලබමු.) අපට ලැබෙන්නේ බටහිර අධ්‍යාපනයකි.

ඒ අධ්‍යාපනය ලැබීමෙන් පසු අපේ මනස්‌ බටහිරට අවශ්‍ය ආකාරයට සකස්‌ වෙයි. විශේෂයෙන් ම උසස්‌ පෙළ පංතිවල අධ්‍යාපනය ලැබීමත් සමග මේ වෙනස දැකගත හැකි ය. තමන් හදාරන විෂය ධාරාව කුමක්‌ වුවත් උසස්‌ පෙළ පංතිවල දී බටහිරට අවශ්‍ය ආකාරයට මනස්‌ සකස්‌ කිරීමක්‌ සිදු වෙයි. එහෙත් මෙයින් කියෑවෙන්නේ ද සියලු දෙනා ගේ ම මනස්‌ එක ම ආකාරයෙන් එක ම මට්‌ටමක සකස්‌ වන බව නො වේ. විවිධ අය ගේ මනස්‌ විවිධ මට්‌ටම්වලට සකස්‌ වෙයි.

එසේ වුවත් එක්‌ සංස්‌කෘතියක ජීවත් වන්නවුන් සංස්‌කෘතියෙහි ප්‍රාදේශීය වෙනස්‌කම් තිබුණ ද යම් ආකාරයක පොදු සංස්‌කෘතියකට උරුමකම් කීම හේතුවෙන් අපි යම් දුරකට එක ම ආකාරයෙන් ලෝකය දකිමු. එනම් ලෝකය එක ම ආකාරයට මෙන් පනවා ගනිමු. සිංහල බෞද්ධ අප කා හටත් අරලිය මල් පෙනෙන්නේ බුදුන් වහන්සේට පූජා කිරීමට සුදුසු මල් ලෙස ය. අපි සාමාන්‍යයෙන් අරලිය මල් ගෙවල්වල මල් භාජනවල නො දමමු. එසේ දමන අය ද සිටින නමුත් සාමාන්‍යයෙන් එසේ නො කෙරෙයි.

එහෙත් බටහිර අධ්‍යාපනයත් සමග ඇතැමුන්ට ආගම පසුගාමී බවක්‌ විශේෂයෙන් ම ආගමික සංස්‌ථාව, මෙහි දී විශේෂයෙන් ම බුද්ධ ශාසනය පසුගාමී සංස්‌ථාවක්‌ බවත් හැඟී යනු ඇත. ඔවුන්ට අරලිය මල් පෙනෙනු ඇත්තේ මෝඩ බෞද්ධයන් බුදුන් වහන්සේට පූජා කිරීමට ගන්නා මල් විශේෂයක්‌ ලෙස ය. එහෙත් එවැන්නකු වුවත් අරලිය මල් පන්සල සමග සම්බන්ධ කරනු ඇත. කළු සුද්දන් නො ව එංගලන්තයෙන් පැමිණි සුද්දන් ද එසේ කළ බවට ඇති හොඳ ම සාක්‍ෂිය අරලිය මල්වලට ඉංගිරිසියෙන් ටෙම්පල් ට්‍රීස්‌ (temple trees) යනුවෙන් කීම ය.

අද සෙක්‌කු දකින්නට නැති වුවත් සිංහලයකුට සෙක්‌කුවක්‌ යනු කුමක්‌ දැයි කියා දීම එතරම් අපහසු කරුණක්‌ නො වේ. තෙල්, පොල් තෙල් හිඳීම ගැන සෙක්‌කුව නො දත් සිංහලයකුට වුවත් කියා දිය හැකි ය. ඒ සිංහල සංස්‌කෘතියෙහි සෙක්‌කුව (එය කවර දා සිංහල සංස්‌කෘතියට එකතු විණි ද යන්න මෙහි දී ප්‍රශ්නයක්‌ නො වේ) යන්න ආගන්තුක සංකල්පයක්‌ නො වන නිසා ය. සංස්‌කෘතියක වූ දැනුම ඒ සංස්‌කෘතියෙහි ජීවත් වන අයකුට එතරම් අපහසුවක්‌ නැති ව ලබා දිය හැකි ය.

එහෙත් අප සෙක්‌කුව යන්න ඇස්‌කිමෝවරයකුට තේරුම් කිරීමට ගිය හොත් අප අපහසු තත්ත්වයකට පත් වනු ඇත. පොල් ගසක්‌ ගැන අවබෝධයක්‌ නැති, එහෙත් ඇතැම් විට පොල් ගස ගැන පොතින් පතින් කරුණු දත් ඇස්‌කිමෝවරයකු වුවත් සෙක්‌කුව, එහි බඳින ගොනා, සෙක්‌කුව වටේ කැරකීම, පොල් තෙල් ආදිය ගැන මුල සිට ම මෙන් ඉගෙන ගත යුතු ය. කෙතරම් කියා දුන්නත් සෙක්‌කුව ගැන ඇස්‌කිමෝවරයාට ඇති වනුයේ වියුක්‌ත දැනුමකි.

අප සීල් නම් සත්ත්වයා ගැන ඒ සත්ත්වයා ගෙන් ලබාගන්නා තෙල් ගැන දැන ගන්නේ ද පොතෙනි. ඇතැම් විට අප ඒ කරුණු සිතෙන් මවා ගන්නවා විය හැකි ය. සමහර විට අපට සීල් සත්ත්වයා ගැන දැන ගැනීම ඇස්‌කිමෝවරයකුට පොල් හා කොප්පරා දැන ගැනීමට වඩා පහසු වනවා විය හැකි ය. අද සීල් හා තෙල් ගැන සිංහල සංස්‌කෘතියෙහි යම් දැනුමක්‌ ඇත්නම් ඒ අධ්‍යාපනය නිසා ලැබුණකි. එහෙත් අපට පොත් තෙල් හිඳීම අවබෝධ කර ගැනීම සීල් සත්ත්වයා ගෙන් තෙල් ගැනීම අවබෝධ කර ගැනීමට වඩා පහසු ය.

එක්‌ සංස්‌කෘතියක ඇති දැනුමක්‌ ඒ සංස්‌කෘතියෙහි ජීවත් වන අයකුට එතරම් අපහසුවක්‌ නැති ව ලබාගත හැකි වුවත් වෙනත් සංස්‌කෘතියක අයකුට ඒ එතරම් පහසුවෙන් ලබාගත නො හැකි ය. තම සංස්‌කෘතියෙහි ඇති සංයුක්‌ත ප්‍රත්‍යක්‍ෂ දැනුමක්‌ යමකුට පහසුවෙන් ලබාගත හැකි ය. අප යන වන්දනා ගමන්වල දී, නැදෑ හිතමිතුරන් බැලීමට යන ගමන්වල දී, අපි බොහෝ විට එවැනි සංයුක්‌ත ප්‍රත්‍යක්‍ෂ දැනුම් ලබා ගනිමු. රුවන්aවැලි (රත්නවල්ලී යන තේරුමෙන්) හෙවත් රුවන්මැලි (ස්‌වර්ණමාලී යන තේරුමෙන්) සෑය ප්‍රත්‍යක්‍ෂයෙන් දකින අපි සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි උදාරත්වය ග්‍රහණය කර ගනිමු.

අපට අනුරාධපුරයෙහි සමාධි පිළිමය හුදු කලා කෘතියක්‌ නො වේ. සමාධි පිළිම වහන්සේ දකින සිංහල බෞද්ධයකුට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙයි. ඒ හැඟීම අපට ලැබෙන්නේ කෙසේ ද? අවුකන බුදු පිළිම වහන්සේ ගැන ලියා ඇති ගීතයකින් කියෑවෙන්නේ උන්වහන්සේ ඉදිරියේ අපේ කුදු බව (ක්‍ෂුද්‍ර භාවය) ප්‍රත්‍යක්‍ෂ වන බව ය. මේ හැඟීම පිළිම වහන්සේ ගේ උස නිසා පමණක්‌ ඇති වන්නක්‌ නො වේ. කොළඹ පිහිටි ඉතා උස ගොඩනැ`ගිලි අබියස දී අපට අපේ කුදු බව පසක්‌ නො වේ.

මෙහි දී කුදු බව යනු උසට සාපේක්‍ෂ වුවක්‌ නො ව අනන්ත වූ බුදු ගුණට සාපේක්‍ෂ වූවකි. බුදුන් වහන්සේ ගේ අනන්ත වූ ගුණ සමග සංසන්දනය කිරීමේ දී අප ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? මේ ගීතය අසන සාමාන්‍ය සිංහල බෞද්ධයකුට ඇති වන හැඟීම එය වුවත් බටහිර හා විශේෂයෙන් ම කසිකබල් මාක්‌ස්‌වාදයෙන් මනස සිංහල බෞද්ධ සංස්‌කෘතියට සාපේක්‍ෂව විකෘති කරගත් පුද්ගලයකුට ඇති වන හැඟීම කුමක්‌ ද?

මේ ගීතය ගැන ඊනියා විචාරයක්‌ කරන පඬියකුට අනුව ගීත රචකයා කර ඇත්තේ ධාතුසේන රජු, බුදුන් වහන්සේට අප බය කිරීමට හා එම`ගින් තම පාලනය කරදරයක්‌ නැති ව ගෙන යැමට එතරම් උසකින් බුදු පිළිමයක්‌ තැනූ බව අපට මතක්‌ කර දීම ය. කසිකබල් මාක්‌ස්‌වාදයේ පාලකයා, පාලිතයා, ආගම අබිං වැනි සංකල්ප ඔස්‌සේ පණවා ගැනීමට (ග්‍රහණය කිරීමට) පුරුදු කෙරී ඇති කසිකබල් උගතා බුදු පිළිම වහන්සේ ගේ උස දකින්නේ අප බිය කරන දෙයක්‌ ලෙස ය. අවුකන බුදු පිළිම වහන්සේ අබියසට ගොස්‌ බය වූ සිංහල බෞද්ධයෙක්‌ වේ ද?

මෙවැනි කසිකබල් උගතුනට වී ඇත්තේ කුමක්‌ ද? ඔවුහු බොහෝ විට සිංහල බෞද්ධ පවුල්වල උපත ලැබුවෝ වෙති. බටහිර අධ්‍යාපනය ලැබීමත් සමග ඔවුන් ගේ මනස්‌වලට හීනමානයක්‌ ඇතුළු කරනු ලැබේ. විශේෂයෙන් ම මාක්‌ස්‌වාදී අධ්‍යාපනයකින් එය සිදු වෙයි. මාක්‌ස්‌වාදය යනු බටහිර නූතනත්වය ඉදිරියට ගෙන යැමට ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය ප්‍රමාණවත් නැතැයි ද, එබැවින් අප නැවතත් කතෝලික චින්තනය මත පදනම් වී වෙනත් සමාජ ක්‍රමයක්‌ ගොඩනැ`ගිය යුතු යෑයි කියන දැනුම් පද්ධතියකි.

මාක්‌ස්‌වාදීනට ඇත්තේ සුව කළ නොහැකි හීනමානයකි. ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයේ අධ්‍යාපනයෙන් කෙරෙන්නේ යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි දැනුම අප මත පැටවීම ය. කිනම් විෂය ධාරාවක්‌ හැදෑරුව ද උසස්‌ පෙළ සිට අපට කියා දෙන්නේ ඔවුන් ගේ දැනුමේ ඇති සුපිරි බව ය. අපේ දැනුම මිථ්‍යාවක්‌, වැදගැම්මකට නැති දෙයක්‌ ලෙස ඇතැම් විට සවිඥානිකව ද බොහෝ විට අවිඥානික ව ද කියා දෙනු ලැබෙයි. විද්‍යා විෂයයන් හදාරන අයට බටහිර විද්‍යාවෙන් ම එය කියා දෙනු ලැබෙයි. අන් අයට බටහිර විද්‍යාවේ මහිමය ගැන කියා දීමෙන් ඒ කාර්යය ඉටු කර ගැනෙයි.

බටහිර අධ්‍යාපනය ලබන්නන්ට අපේ දැනුම ගැන ඇති කෙරෙන්නේ ප්‍රසාදයක්‌ නො වේ. අපට අපේ දැනුම ගැන ලඡ්ජාවක්‌ ඇති කෙරෙයි. මේ අප නොදැනුවත් ව කෙරෙන සංස්‌කෘතික ආක්‍රමණයකි. අපි එයින් හැකිළෙන්නෙමු. අපට ඇති වන්නේ හීනමානයකි. මේ සංස්‌කෘතික ආක්‍රමණයට විවිධ අය විවිධ ආකාරයෙන් මුහුණ දෙති. ඇතැම්හු අපේ සංස්‌කෘතිය ගැරහීමට පටන්ගනිති. ඔවුහු සුද්දන්ටත් වඩා තදින් අපේ සංස්‌කෘතිය විවේචනය කරති. සුද්දන් අපේ සංස්‌කෘතිය විවේචනය කරන්නේ සූක්‍ෂමව ය. එහෙත් මෙරට ඊනියා උගතුන්ට එසේ සූක්‍ෂම ව කිරීමේ හැකියාවක්‌ නැත. ඔවුහු ගොරහැඩිව ම එය කරති.

හීනමානය වැඩි වත් ම අපේ සංස්‌කෘතිය ගැන කෙරෙන විවේචනය ද දැඩි වෙයි. තමන්ට තර්ජනයක්‌ ඇත්තේ ඊනියා කම්කරු පංතියකින් නො වන බව බටහිරයෝ යථා කාලයේ දී ඉගෙන ගත් හ. ඉන්පසු බටහිරයෝ මාක්‌ස්‌වාදීන්ට අවශ්‍ය පරිදි ආධාර කළ හ. අද ලංකාවේ මාක්‌ස්‌වාදී ව්‍යාපාර පවත්වාගෙන යන්නේ බටහිරයන් ගේ ආධාරයෙනි. තමන්ට තර්ජනයක්‌ ඇත්තේ ඒ ඒ රටවල ජාතිකත්වයෙන් බව බටහිරයෝ දනිති. ඒ නිසා ම ජාතිකත්වය සැහැල්ලුවට ලක්‌ කිරීමට, එයට අපහාස කිරීමට බටහිරයෝ දැනුම් නිර්මාණය කළ හ. අද බොහෝ ප්‍රචලිත ව ඇති කියමනක්‌ නම් දේශප්‍රේමීත්වය වංචනිකයා ගේ බළකොටුව බව ය. මෙයින් කියන්න උත්සාහ ගන්නේ දේශප්‍රේමීන් වංචනියක්‌ බව ය.

ඒ අතර තවත් ඇතැම් බටහිර බුද්ධිමත්තු ජාතිය යනුවෙන් ප්‍රපංචයක්‌ නැති බවට ප්‍රවාද ගෙතූ හ. මෙරට සිටින හීනමානයෙන් දැඩිව පෙළෙන්නෝ මේ මත පුනරුච්චාරණය කරති. එහෙත් පසුගිය දා මිය ගිය මාග්‍රට්‌ තැචර් ෆෝක්‌ලන්තය සඳහා කරන ලද සටනේ දී ප්‍රයෝජනයට ගත්තේ ඉංගිරිසි ජාතිකත්වය හා දේශප්‍රේමීත්වය ය. තැචර් වංචනිකයකු යෑයි කීමට ඉදිරිපත් වූවෙක්‌ නැත.

ජාතියක්‌ නැතැයි කීමට මාක්‌ස්‌වාදීහු ද පෙරට එති. ඔවුන්ට අනුව ඉතිහාසය යනු පංති සටනේ ඉතිහාසය ය. බටහිරයෝ තමන්ට තර්ජනයක්‌ විය හැකි කම්කරු පංතියක්‌ නැති බව දනිති. එබැවින් ඔවුහු ජාතියක්‌ නැතැයි කියන මාක්‌ස්‌වාදීන්ට ආධාර කරති. අද රාජ්‍ය නො වන සංවිධාන බොහොමයක මාක්‌ස්‌වාදීන් සේවය කරන්නේ කුලියට ය. අවුකන බුදු පිළිම වහන්සේ තනා ඇත්තේ අප බිය කිරීමට යෑයි කියන්නේ එවන් මාක්‌ස්‌වාදියෙකි. එහෙත් මේ කතාව සිංහල බෞද්ධයන්ට ඒත්තු ගැන්විය නොහැක්‌කේ එය සීල් සත්ත්වයා ගේ තෙල් වැනි වෙනත්a සංස්‌කෘතියක දැනුමක්‌ බැවිනි.

නලින් ද සිල්වා