logo3.gif (702 bytes)

HOME


වෙනත් ඉන්ද්‍රියවලට ගෝචර ලෝක

බටහිර විද්‍යාව කතා කරන්නේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි ගැන ය. මෙයින් අදහස්‌ කෙරෙන්නේ පංචෙන්ද්‍රියවලට ගෝචර වන්නේ යෑයි කියන සංසිද්ධි ය. ඉර නැ`ගීම, සඳ බැස යැම, කාන්දම් කෑලි එකිනෙක ආකර්ෂණය කිරීම හෝ විකර්ෂණය කිරීම හෝ ආදිය එවැනි ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි වෙයි. බටහිර විද්‍යාවට අනුව දැනුම ආරම්භ වන්නේ ද අවසාන වන්නේ ද පංචෙන්ද්‍රියවලට ගෝචර සංසිද්ධීන් ගෙනි. එහෙත් බටහිර විද්‍යාඥයන්ට අනුව වුව ද පංචෙන්ද්‍රිය විශ්වාස කළ හැකි නො වේ. මේ හතර බීරි කතාවක්‌ නො වේ නම් වෙන කුමක්‌ ද?

අපි ඒ ගැන තවදුරටත් කතා කිරීමට පෙර බටහිර විද්‍යාවේ දී නො සලකා හැරෙන්නක්‌ කෙටියෙන් නමුත් සඳහන් කර ගනිමු. එනම් අපට ඉන්ද්‍රිය පහක්‌ පමණක්‌ තිබීම ය. මේ ඉන්ද්‍රියවල ඇති අඩුපාඩුකම් ගැන බටහිර විද්‍යාව දනියි. මෙහි දී සඳහන් කළ යුතු ප්‍රධාන කරුණක්‌ නම් බටහිර විද්‍යාව ඉන්ද්‍රිය හා අවයව අතර වෙනස නො දැනීම ය. බටහිර විද්‍යාවෙහි සඳහන් වන්නේ අවයවවල අඩුපාඩුකම් හා ඒ අවයව විශ්වාස කිරීමට නොහැකි වීම පිළිබඳ කරුණ ය.

සිංහල බෞද්ධයන්ට අනුව අපට ඉන්ද්‍රිය හයක්‌ වේ. බටහිර විද්‍යාවෙහි මනෙන්ද්‍රිය ඉන්ද්‍රියයක්‌ ලෙස නො සැලකෙයි. ඔවුන්ට මනස යන්න මොළයට ඌනනය කළ හැකි වූවකි. එසේ වුවත් බටහිර විද්‍යාවෙහි මොළයට කන, ඇස ආදී අවයවයකට ඇති වැදගත්කම වත් නො ලැබෙයි. කන, ඇස ආදිය ඉන්ද්‍රිය ලෙස සැලකීමට බටහිර විද්‍යාව පුරුදු වී ඇති නමුත් මොළය ඉන්ද්‍රියයක්‌ ලෙස නො සැලකෙයි. බටහිර විද්‍යාවට ඇති ප්‍රධාන ම ප්‍රශ්නය මොළයේ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීමට නොහැකි වීමත් මනස යනු කුමක්‌ දැයි නො දැන එය මොළයට ඌනනය කිරීමට යැමත් ය.

මෙහි දී සිංහල ථෙරවාද බෞද්ධ අටුවාව ගැන ද වචනයක්‌ සඳහන් කළ යුතු ය. අපේ අටුවා මනස නමැති ඉන්ද්‍රිය හදවත සමග සම්බන්ධ කරයි. ඒ පෙනීම ඇස සමග සම්බන්ධ කරන අයුරින් ය. අටුවා ද ලියා ඇත්තේ අප වැනි ම වූ පෘථග්ජනයන් ය. ඔවුන් අතින් ද වැරැදි සිදු වී ඇත්නම් අප ඒ ගැන කම්පා නො විය යුතු ය. ඇස, කන ආදී අවයව ඇසුරෙන් ඉන්ද්‍රියයන් පැනන`ගින්නේ මනස සම`ග සම්බන්ධ වීමෙනි. හදවත නමැති අවයවය ඇසුරෙන් මනස නමැති ඉන්ද්‍රිය ඇති වන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ අටුවාවෙන් ලබාගත හැකි යෑයි මම නො සිතමි.

අප වෙනත් අවස්‌ථාවල ද සඳහන් කර ඇති ආකාරයට සිත මිස කය නැති බඹ ලොව වසන්නන්ට මනස ඇති වන්නේ කායික වූ අවයවයක්‌ ඇසුරෙන් නො වේ. මනස - ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංච මහා භූතයන් ගෙන් ස්‌වායත්ත බව පැහැදිලි ය. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව එක්‌ කල්ප විනාශයකින් පසුව පෘථිවියට පළමුව සත්ත්වයන් පැමිණ ඇත්තේ ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙනි. එසේ පැමිණි අය රස පොළොව ආහාරයට ගැනීමෙන් පඨවි අධික සිරුරු ලබා ඇති බව පැහැදිලි ය. මනස යනු අවයවයක්‌ මත පදනම් නො වන ඉන්ද්‍රිය යෑයි අපට කිව හැකි ය.

අපට ඉන්ද්‍රිය හයක්‌, බටහිර විද්‍යාව කියන ආකාරයට ඉන්ද්‍රිය පහක්‌ පමණක්‌ ඇත්තේ ඇයි? බටහිර විද්‍යාව ඇස, කන ආදී පංචාවයව අවිශ්වාස කරයි. ඒ ගැන අපට ප්‍රශ්නයක්‌ නැත. සිංහල බෞද්ධයෝ මනස ද මායාවක්‌ ලෙස සලකති. ප්‍රශ්නය එය නො වේ. අපට වෙනත් අවයව හා ආශ්‍රිත ඉන්ද්‍රිය තිබිණි නම් අවයව සමග සම්බන්ධ නොමැති වෙනත් මනස්‌ ද (ඒ කුමක්‌ වුවත්) තිබිණි නම් අප කෙසේ ලෝකය පණවා ගැනීමට තිබිණි ද?

අපට දැනෙන්නේ චුම්බක එක්‌කෝ ආකර්ෂණය කරන බව ය. නැත හොත් විකර්ෂණය කරන බව ය. බටහිර විද්‍යාඥයෝ ඒ සංසිද්ධි තේරුම් ගැනීම සඳහා මැක්‌ස්‌වෙල් ගෙන් පසුව විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රය යන සංකල්පය යොදා ගනිති. විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රය යන්න අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර වූවක්‌ නො වේ. කෙසේ වුවත් අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර නො වුණත් අපි සම්මුති වශයෙන් විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රයක්‌ ඇතැයි සිතමු. එමෙන් ම ඒ සම්මුති වශයෙන් ගැනෙන විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රය ගෝචර වන යම් අවයවයක්‌ හා සම්බන්ධ වූ ඉන්ද්‍රියයක්‌ (මනෙන්ද්‍රිය ද ඇතුළුව හත් වැනි ඉන්ද්‍රියයක්‌) මිනිසුන්ට තිබිණි යෑයි සිතමු. එවැනි අවස්‌ථාවක අප කෙසේ ලෝකයක්‌ පනවා ගැනීමට තිබිණි ද?

මෙය හුදු හිතළුවක්‌ පමණක්‌ යෑයි යමකුට සිතෙනු ඇත. එහෙත් ඇතැම් විට අපට මනෙන්ද්‍රිය හැරුණු විට ඉන්ද්‍රිය හයක්‌, හතක්‌ හෝ වැඩි සංඛ්‍යාවක්‌ හෝ තුනක්‌ හෝ හතරක්‌ වැනි අඩු සංඛ්‍යාවක්‌ හෝ තිබෙන්නට ඉඩක්‌ විය. මනෙන්ද්‍රිය හැරුණු විට තිබිය හැක්‌කේ ඉන්ද්‍රිය පහක්‌ පමණක්‌ යෑයි කිසිවකුට කිව නො හැකි ය. ඇතැම් සතුන්ට මනෙන්ද්‍රිය හැරුණු විට ඉන්ද්‍රිය පහක්‌ නොමැති බව බටහිර විද්‍යාඥයෝ ද දනිති. ඒ සතුන් පණවාගෙන ඇති ලෝකය කුමක්‌ ද? එනම් ඒ සතුන් ගේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර ලෝකය කුමක්‌ ද?

දැන් ප්‍රශ්නය වන්නේ එසේ වෙනත් ඉන්ද්‍රිය සංඛ්‍යාවක්‌ මිනිසුන්ට තිබිණි නම් මිනිසුන් පණවා ගන්නා ලෝකය කුමක්‌ ද යන්න ය. එය කිසිසේත් ම අප දැනට පණවාගෙන ඇති ලෝකය නම් නො විය හැකි බව පැහැදිලි ය. පණවාගෙන ඇති ලෝකය යනු අප දැනට දකින ලෝකය ය. අපෙන් තොර ව අපේ මනසින් ස්‌වායත්තව පවතින ඊනියා යථාර්ථයක්‌ වූ වාස්‌තවික නිරපේක්‍ෂ ලෝකයක්‌ නැත. ඇත්තේ අප විසින් පණවාගනු ලැබූ සාපේක්‍ෂ වූ ලෝකයක්‌ පමණ ය. ඒ ලෝකය වෙනත් දේට අමතර ව අපේ ඉන්ද්‍රියවලට ද (පංචෙන්ද්‍රියවලට හා මනසට) සාපේක්‍ෂ වෙයි.

අපට වෙනත් ඉන්ද්‍රිය තිබිණි නම් අප දකින්නේ වෙනත් ලෝකයකි. ඉන්ද්‍රිය ගෝචර ලෝකය යනු ඉන්ද්‍රියවලට සාපේක්‍ෂව අප විසින් පණවාගනු ලබන ලෝකය යෑයි අපට අලුත් අර්ථකථනයක්‌ ද දිය හැකි ය. එය අපේ සංස්‌කෘතියට සාපේක්‍ෂව අප විසින් ලෝකය පිළිබඳ ව නිර්මාණය කෙරෙන අර්ථකථනයකි. ඒ කෙසේ වෙතත් අපට සම්මුති වශයෙන් ගැනෙන විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රයට ගෝචර වන ඉන්ද්‍රියයක්‌ තිබිණි නම් අපට පෙනෙනු ඇත්තේ, අප විසින් ග්‍රහණය කෙරෙනු ඇත්තේ, වෙනත් ම ලෝකයකි. ඒ ලෝකය කෙසේ විය හැකි ද?

බටහිර භෞතික විද්‍යාඥයන්ට අනුව ආලෝකය යනු විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රයේ වෙනස්‌ වීම ප්‍රචාරණය වීම නිසා ඇති වන්නකි. මෙහි දී වැදගත් වනුයේ විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රය අපේ ඉන්ද්‍රියවලට ගෝචර නො වීම ය. විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රය පමණක්‌ නො ව ආලෝකය ද (අයින්ස්‌ටයින්ට අනුව ෆෝටෝන) අපේ ඉන්ද්‍රියවලට ගෝචර නො වේ. අපට මේස, පුටු, ගස්‌ කොළ ආදිය පෙනෙන්නේ ඒ මත වැටෙන ආලෝකය පරාවර්තනය වීමෙන් යෑයි බටහිර විද්‍යාඥයෝ කියති. එහෙත් අපට ආලෝකය නො පෙනෙයි. ඒ ෆෝටෝන, ක්‌වොන්ටම් අංශු වීමේ ප්‍රතිඵලයකි.

කෙසේ වෙතත් බටහිර විද්‍යාඥයන්ට අනුව, එනම් ඔවුන් ගේ සම්මුතියට අනුව, විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රයක්‌ ඇත. අපට එය ගෝචර වන ඉන්ද්‍රියයක්‌ තිබිණි නම් විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රයෙහි වෙනස්‌ වීම ද ඒ ඉන්ද්‍රියට ගෝචර වන බව පැහැදිලි ය. එවිට ඒ විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රයෙහි වෙනස්‌ වීම් ප්‍රචාරණය වනු ද අපට ඒ ඉන්ද්‍රිය ආධාරයෙන් දැකගත හැකි වනු ඇත. එසේ නම් අපට ආලෝකය ද දැක ගැනීමට තිබිණි. එනම් අපට ෙÁdටෝන දැක ගැනීමට තිබිණි.

එයින් පැහැදිලි වනුයේ බටහිර විද්‍යාඥයන් ගේ ප්‍රවාද, සංකල්ප ආදිය සංගත වීමට නම් ඒ නව ඉන්ද්‍රියයට ක්‌වොන්ටම් අංශු ගෝචර කර ගැනීමේ හැකියාවක්‌ තිබිය යුතු බව ය. ඒ කුමක්‌ වුවත් එවැනි ඉන්ද්‍රියකට ආලෝකය ද ගෝචර වන්නේ නම් අපට පුටු ආදී වස්‌තු කෙසේ පෙනීමට ඉඩ තිබිණි ද? අපේ අද ඇති ඉන්ද්‍රියවලට අනුව අපට පුටු මේස ආදිය පෙනෙන්නේ ඒ මත අපට නො පෙනෙන, ගෝචර නො වන ආලෝකය වැටී පරාවර්තනය වීම නිසා ය.

දැන් ආලෝකය ද පෙනෙයි නම් අපට පුටු කෙසේ පෙනෙනු ඇත් ද? ආලෝකය ද පුටු ආදී වස්‌තු ද එකට පෙනෙන විට අප ඒ දකින්නේ කෙසේ ද? මෙහි දී අවධාරණය කළ යුත්තක්‌ නම් අප මේ ප්‍රශ්න අසා ඇත්තේ බටහිර විද්‍යාඥයන් ගේ කතාන්දර උපකල්පනය කරමින් බව හා ඔවුන් කියන කතන්දර අතර සංගත බවක්‌ ඇති කිරීමේ අරමුණින් ද බව ය. බටහිර විද්‍යාඥයන් ගේ කතාන්දර සංගත ව ඉදිරිපත් කළ ද අපට වෙනත් ඉන්ද්‍රිය තිබිණි නම් වෙනත් ලෝකයක්‌ ග්‍රහණය කිරීමට සිදු වන බව ද මේ සියල්ලෙන් පැහැදිලි විය යුතු ය.

එබැවින් අපෙන් තොර ව, අපේ මනසින් පමණක්‌ නො ව අපේ අනෙක්‌ ඉන්ද්‍රියවලින් ද ස්‌වායත්ත ව, වාස්‌තවික ව නිරපේක්‍ෂ ලෝකයක්‌ ඇතැයි ගැනීම හුදු හිතළුවක්‌ පමණක්‌ බව පෙනී යා යුතු ය. එවැනි වාස්‌තවික ලෝකයක්‌ ඇතැයි ගැනීම ද මිනිසුන් ගේ නිර්මාණයකි. මිනිසුන් එවැනි වාස්‌තවික ලෝකයක්‌ ඇතැයි ගන්නේ උද්ගමනයෙන් හා අනුමානයෙනි. මිනිසුන් වූ අප සියලු දෙනාට ම ඇත්තේ එක ම ඉන්ද්‍රිය පද්ධතියකි. අප සියලු දෙනාට ම මනස්‌ ඇත. එමෙන් ම අප සියලු දෙනාට ම ඇස්‌, කන් ආදී අවයව හා ආශ්‍රිත ඉන්ද්‍රිය වෙයි. ඒ සම්බන්ධයෙන් අප එකිනෙකා අතර සුළු සුළු වෙනස්‌කම් ඇති නමුත් ප්‍රධාන වෙනස්‌කම් නැත. එබැවින් මා පුටුවක්‌ ලෙස ගන්නා වස්‌තුවක්‌ මගේ සංස්‌කෘතියෙහි ජීවත් වන තවත් අයකුට ද පුටුවක්‌ ලෙස ගැනීමට කියා දිය හැකි ය. එහෙත් වෙනත් සංස්‌කෘතියකට අයත් කෙනකුට එසේ කියා දීමේ දී ප්‍රශ්න පැනන`ගියි.

අප දැනට අනෙක්‌ සංස්‌කෘතීන් අමතක කළ හොත් පැහැදිලි වන කරුණ නම් අප සියලු දෙනා ම බොහෝ විට එක ම ආකාරයකට මෙන් ලෝකය දකින බව ය. බොහෝ සංස්‌කෘතීන්හි මෙලෙස එක ම ආකාරයකට ලෝකය දැකීම සියලු දෙනා ම ලෝකය එක ම අයුරෙන් දකින බව උද්ගමනය කෙරී ඇත. ඉන්පසු ඔවුන් කරන්නේ එක ම ආකාරයට ලෝකය දකින්නේ කා හටත් දැකිය හැකි එක ම ලෝකයක්‌ තිබෙන බව අනුමාන කිරීම ය. මේ ලෝකය වාස්‌තවික යෑයි ද නිරපේක්‍ෂ යෑයි ද ගැනීම ඉන්පසු කෙරෙන තවත් උද්ගමනයක්‌ පමණක්‌ වෙයි. එතැනින් නො නැවතුණු ඇතැම් සංස්‌කෘතීන්හි මේ ඊනියා වාස්‌තවික ලෝකය යම් කිසිවකු විසින් නිර්මාණය කර (මවා) ඇති බවට ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වූ හුදු අනුමානයෙන් ලබාගන්නා වූ දැනුමක්‌ ගොඩන`ගාගෙන ඇති බව පැහැදිලි ය.

වෛදිකයන් හෙවත් ඊනියා ආර්යයන් දඹදිවට පැමිණීමට පෙර අපේ කලාපයේ, එනම් චීනයේ සිට ලංකාව දක්‌වාත් එයින් නැෙ`ගනහිරට ජපානය දක්‌වාත් එවැනි වාස්‌තවික ලෝකයක්‌ කිසිවකු විසින් මවනු ලැබ ඇති බවට දැනුමක්‌ නිර්මාණය කර ඇති බවක්‌ අපට කිව නො හැකි ය. අපේ කලාපයට නිර්මාණවාදය ගෙන ආවෝ බටහිරින් පැමිණි වෛදිකයෝ ය. නිර්මාණවාදය මැදපෙරදිග යෑයි බටහිරයන් විසින් හැඳින්වෙන බටහිර ආසියාවේ නිර්මාණයක්‌ යෑයි කිව හැකි ය. බටහිර ආසියාවේ කාන්තාර ප්‍රදේශවල සැම දා දක්‌නට ලැබෙන්නේ එක ම පරිසරයකි. එසේත් නැත හොත් පරිසරයක්‌ නැති ලෝකයකි. මේ පරිසරය වෙනස්‌ නො වන ලෝකයේ ජීවත් වූවන්ට ඔවුන් සමග ගනුදෙනු කළ දෙවිවරුන් නිර්මාණවාදය පිළිබඳ දැනුම ලබා දෙන්නට ඇත. එසේත් නැත හොත් ඒ පරිසරය වෙනස්‌ නො වන ලෝකයේ ජීවත් වූ ඒ සංස්‌කෘතියේ බුද්ධිමතුන් නිර්මාණවාදයක්‌ නිර්මාණය කරන්නට ඇත.

නලින් ද සිල්වා