logo3.gif (702 bytes)

HOME


නිර්මාණය කෙරෙන බොරු

වියුක්‌ත දැනුම ඉන්ද්‍රිය ගෝචර නො වේ. සරල රේඛාවක්‌ යනු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රපංචයක්‌ නො වේ. දිගක්‌ පමණක්‌ ඇති පළලක්‌ හෝ ඝනකමක්‌ හෝ නොමැති ජ්‍යාමිතික සංකල්ප පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. සාධාරණීකරණයට ලක්‌ වූ සංකල්ප එකක්‌ වත් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. සියලු බල්ලන් සාධාරණීකරණයෙන් ලබාගන්නා වූ බල්ලා සංකල්පය අහවල් බල්ලා හෝ බල්ලකු හෝ මෙන් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ.

සාධාරණ බල්ලා යන සංකල්පය සිතෙන් මවාගත හැකි වත් නො වේ. එය සිතෙන් පනවා ගත යුත්තකි. එය පඤ්ඤත්තියකි. ප්‍රශ්නය වනුයේ බටහිර විද්‍යාවේ බොහෝ ප්‍රවාද එවැනි සිතෙන් මවාගත නොහැකි සංකල්පවලින් ප්‍රකාශ කිරීම ය. ඕනෑ ම අංශු දෙකක්‌ අතර ගුරුත්වාකර්ෂණ බලය මේ යෑයි කියන විට ඕනෑ ම අංශු ගැන කියෑවෙන්නේ සාධාරණ වියුක්‌ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති ලෙස ය. එපමණක්‌ නො ව ගුරුත්වාකර්ෂණ බලය යන්න ද පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන සංකල්පයකි.

එහි තේරුම නම් ඕනෑ ම අංශු දෙකක්‌ අතර ගුරුත්වාකර්ෂණ බලය යන්න පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන්නක්‌ වීම ය. එහෙත් බටහිර විද්‍යාව මහත් ආඩම්බරයෙන් කියන්නේ එහි දී ඉන්ද්‍රිය ගෝචර සංජානන ගැන හදාරන බව ය. එපමණක්‌ නො ව පංචෙන්ද්‍රියනට ගෝචර සංජානන මත දැනුම පදනම් වන බව ය. එසේ වුවත් එසේ ලබාගන්නේ යෑයි කියනු ලබන සංජානන පිළිබඳ ප්‍රවාද ගෙතෙන්නේ වියුක්‌ත සංකල්ප ආධාරයෙනි. ඇතැම් විට සිතෙන්වත් මවාගත නොහැකි පඤ්ඤත්ති ඇසුරෙනි.

මෙය අප තවදුරටත් විස්‌තරාත්මක ව සාකච්ඡා කළ යුතු කරුණකි. බටහිර විද්‍යාවේ ඇති ප්‍රධාන ම විසංවාදය මෙලෙස ප්‍රකාශ කළ හැකි ය. බටහිර විද්‍යාව ඊනියා ඉන්ද්‍රිය ගෝචර සංකල්ප මත රඳා පවතියි. දැනුම ලබාගැනීම ආරම්භ කරන්නේ බටහිර විද්‍යාවේ කියෑවෙන ආකාරයට ඉන්ද්‍රිය ගෝචර, එනම් පංචෙන්ද්‍රියවලට පමණක්‌ ගෝචර සංජානන මත පදනම් වී ය. මෙය ම පට්‌ටපල් බොරුවක්‌ බව අපි සඳහන් කළෙමු. එයට හේතුව බර්ට්‍රන්ඩ් රසල් ඇතුළු බටහිර දාර්ශනිකයන් කුමක්‌ කීවත් හුදු සංජානන නො තිබීම ය.

සංජානනයක්‌ සංකල්පයකින් තොර නො වේ. කලින් ලිපියක සඳහන් කර ඇති පරිදි නිල් බව යනුවෙන් නිල් නම් සංකල්පයෙන් තොර වූ හුදු සංජානනයක්‌ නොමැත. කිසි ම සංජානනයක්‌ හුදු සංජානනයක්‌ නො වේ. මෙය නිරන්තරයෙන් අවධාරණය කළ යුතු ය. එසේ වුවත් සංජානනවලින් තොර වූ සංකල්ප තිබිය හැකි ය. සියලු පඤ්ඤත්ති සංජානනවලින් තොර ය. හුදු සංජානන නොමැති වුවත් බටහිර විද්‍යාවෙහි කියෑවෙන්නේ දැනුම ලබාගැනීම හුදු සංජානනවලින් ඇරඹෙන බව ය.

ඉන්පසු බටහිර විද්‍යාවේ කියෑවෙන්නේ අපූරු කතාවකි. බටහිර විද්‍යාවට අනුව අපට සංකල්පවලින් තොර වූ සංජානන ලැබෙන්නේ පංචෙන්ද්‍රියයන් ගෙනි. එහෙත් මේ පංචෙන්ද්‍රිය විශ්වාස කළ නො හැකි ය. මෙහි දී පැනන`ගින ප්‍රධාන ම ප්‍රශ්නය වනුයේ විශ්වාසය දැනෙන්නේ කවර නම් ඉන්ද්‍රියයකට ද යන්න ය. ඒ ඉන්ද්‍රිය පංචෙන්ද්‍රියයන් ගෙන් එකක්‌ නො වන බව ඉතා පැහැදිලි ය. ඇස යනු අවයවයක්‌ පමණක්‌ බවත් පෙනීම යන්න හුදෙක්‌ ඇසෙන් පමණක්‌ සිදු කෙරෙන කාර්යයක්‌ නො වන බවත් අවධාරණය කළ යුතු ය.

පෙනීම හා සම්බන්ධ ඉන්ද්‍රිය ගැන බටහිර විද්‍යාව කතා නො කරයි. කෙටියෙන් කිව හොත් අවයවය හා ඉන්ද්‍රිය අතර වෙනස බටහිර විද්‍යාවේ ගැඹුරෙන් සාකච්ඡා වන්නක්‌ නො වේ. පංචෙන්ද්‍රිය මනසෙන් ස්‌වායත්ත නො වේ. මිය ගිය අයකු ගේ ඇස තිබුණ ද පෙනීමට අදාළ ඉන්ද්‍රිය ක්‍රියාත්මක නො වේ. එයට හේතුව මිය ගිය අයකුට මනසක්‌ නො වීම ය. මනස හෙවත් මනෙන්ද්‍රිය නොමැති ව වෙනත් ඉන්ද්‍රියයක්‌ නොමැත.

පංචෙන්ද්‍රිය විශ්වාස නොමැති බව කියන්නේ වෙනත් ඉන්ද්‍රියයක්‌ නො ව මනස ය. මනස වෙනත් ඕනෑ ම ඉන්ද්‍රියයක්‌ සම්බන්ධයෙන් ඒ අවිශ්වාසය ඇති කර ගනියි. එපමණක්‌ නො ව මනස ද විශ්වාස නැති බව මනස දනියි. මනස ද සිංහල හා වෙනත් ඇතැම් බෞද්ධයනට අනුව මායාවකි. සිංහල බෞද්ධ දැනුමේ පදනමේ ම එය වේ. සියලු දැනුම සිංහල බෞද්ධයනට අනුව මායාවන් ය. අපි සම්මුතියෙන් ඒ දැනුම් පිළිගන්නෙමු. සිංහල බෞද්ධ චින්තනය චක්‍රීය වෙයි. මනස ද මායාවක්‌ බව පිළිගැනීම සිංහල බෞද්ධයනට ප්‍රශ්නයක්‌ නො වේ.

සිංහල බෞද්ධයනට අනුව අපේ සාමාන්‍ය මනසෙන් නිර්මාණය කෙරෙන, එසේත් නැත්නම් සංස්‌කරණය කෙරෙන, සියලු දැනුම් අවසාන විග්‍රහයෙහි දී මායාවන් වේ. ඒවා නැත. ඒ නො පවතියි. සංකල්පීය වශයෙන් ශූන්‍ය වෙයි. එබැවින් ඒ අසත් ය. එනම් බොරු ය. අප සියලු දැනුම් බොරු යෑයි කියන්නේ එබැවිනි. එහෙත් එවැනි බොරු කීමෙන් වැළකීමට අපට නො හැකි ය. අපට, එනම් සාමාන්‍ය මිනිසුන්ට කළ හැක්‌කේ එවැනි බොරු කීම පමණ ය. අප සාමාන්‍යයෙන් බොරු හෙවත් මුසාවාද යෑයි කියන්නේ එවැනි බොරුවලට නො වේ.

සංකල්පීය වශයෙන් ශූන්‍ය වූ ද නො පවතින්නා වූ ද, අසත් වූ ද සංකල්ප හා ප්‍රවාද සත් හෙවත් පවතින්නේ යෑයි සැලකීම බොරු වෙයි. පුටුවක්‌ නො පවතින කල පුටුවක්‌ ඇතැයි ගැනීම බොරුවකි. එහෙත් එවැනි බොරු කීම සම්මුතියට එකඟ ය. අප සම්මුතියෙන් කියන්නේ බොරු ය. එහෙත් පුටුවක්‌ නැති තැනක පුටුවක්‌ ඇතැයි කීම මුසාවාදයකි. සම්මුතියෙන් වුව ද පුටුවක්‌ නැති තැනක (සම්මුති) පුටුවක්‌ ඇතැයි කීම මුසාවකි.

රේය චින්තනයක්‌ මත පදනම් වූ බටහිර විද්‍යාවෙහි මනස ගැන කිසි ම සඳහනක්‌ නොමැති ව, පංචෙන්ද්‍රිය අවිශ්වාස බව සඳහන් කෙරෙයි. එසේ වුවත් ඊනියා වාස්‌තවික ලෝකයක දැනුමක්‌ ගැන කියන බටහිර විද්‍යාව අවිශ්වාසය ඇති වන්නේ මනසට බවට ඉඟියක්‌ වත් නො කර පංචෙන්ද්‍රිය හා ඒ ඇසුරෙන් ලබාගන්නා දැනුම අවිශ්වාස යෑයි සඳහන් කරයි. දැන් මේ අවිශ්වාස වූ දැනුම, නිවැරැදි නො විය හැකි දැනුම, නිවැරැදි කර ගත හැකි ද? එසේ නම් ඒ කරගන්නේ කෙසේ ද? පැහැදිලිව ම ඒ දැනුම නිවැරැදි කරගත හැකි නම් ඒ කළ හැක්‌කේ අවිශ්වාස වූ පංචෙන්ද්‍රිය ඇසුරෙන් විය නො හැකි ය.

පංචෙන්ද්‍රිය මත පමණක්‌ පදනම් වන්නේ යෑයි කියන සංජානන ම`ගින් දැනුම ලබාගැනීම ආරම්භ කළ යුතු යෑයි කියන බටහිර විද්‍යාව ඊළඟ මොහොතේ පංචෙන්ද්‍රිය (කා හට දෝ) අවිශ්වාස යෑයි කියා ඒ පංචෙන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නා නිවැරැදි නො විය හැකි දැනුම නිවැරැදි කරගත හැකි යෑයි කියයි. බටහිර විද්‍යාවට අනුව එසේ කළ හැක්‌කේ බටහිර විද්‍යාව ඇසුරෙන් ය. ඒ සම්බන්ධයෙන් මාක්‌ස්‌වාදීන් මහත් උජාරුවෙන් කියන කියමනක්‌ වෙයි. මාක්‌ස්‌ ගේ සුප්‍රසිද්ධ කියමනකට අනුව දෘෂ්‍යමානය යථාර්ථය නම් විද්‍යාවක්‌ අනවශ්‍ය ය.

මෙයින් කියන්නේ කුමක්‌ ද? දෘශ්‍යමානය යනු අප පංචෙන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නේ යෑයි කියන දැනුම ය. ඒ දැනුම අවිශ්වාස බවත්

නිවැරැදි නො විය හැකි බවත් බටහිර විද්‍යාව කියයි. මෙහි දී නිවැරැදි හා වැරැදි යනුවෙන් බටහිර විද්‍යාවේ දී කියෑවෙන්නේ කුමක්‌ ද යන්න පිළිබඳ ව ද අපේ අවධානය යොමු විය යුතු= ය. වැරැදි ය යනුවෙන් මෙහි දී කියෑවෙන්නේ අපේ දෘශ්‍යමානය ඊනියා යථාර්ථය නො වන බව හෝ අඩු ම තරමෙන් නො විය හැකි බව ය. වැරැදි හා නිවැරැදි යන්න අර්ථ දැක්‌වෙන්නේ, එසේත් නොමැති නම් මැනෙන්නේ, ඊනියා යථාර්ථය යන මිනුම් දණ්‌ඩට සාපේක්‍ෂ ව ය.

එහෙත් අප කල් තබා දන්නා වූ ඊනියා යථාර්ථයක්‌ නැත. එසේ නම් අප ඊනියා යථාර්ථය මිනුම් දණ්‌ඩ ලෙස යොදා ගන්නේ කෙසේ ද? මෙයට පිළිතුරක්‌ බටහිර විද්‍යාවේ නැත. බටහිර විද්‍යාවට අනුව ඊනියා යථාර්ථයක්‌ ඇත. අප එලෙස යථාර්ථයක්‌ ඇති බව දන්නේ කෙසේ ද? යථාර්ථය නො දැන යථාර්ථයක්‌ ඇති බව දන්නේ කෙසේ ද? ඊනියා යථාර්ථයක්‌ ඇති බව අපේ උපකල්පනයක්‌ පමණකි. ඒ උපකල්පනය කෙරෙන්නේ මනස විසිනිෘ

එහෙත් බටහිර විද්‍යාවෙහි ඒ බවක්‌ නො කියෑවෙයි. එහි කියෑවෙන්නේ මනසෙන් ස්‌වායත්ත වූ ඊනියා යථාර්ථයක්‌ ඇති බවත් ඒ යථාර්ථය යම් නියමවලට යටත් බවත්, අපට ඒ නියම හා එම`ගින් ඊනියා යථාර්ථය දැනගත හැකි බවත්, එහි දී පංචෙන්ද්‍රිය ගෝචර දැනුමෙන් අප ආරම්භ කළ යුතු බවත්, එහෙත් ඒ පංචෙන්ද්‍රිය ගෝචර දැනුම ලබාගැනීමේ දී යොදාගන්නා පංචෙන්ද්‍රිය අවිශ්වාස බවත්, එලෙස ලබාගන්නා වූ දැනුම නිවැරැදි නො විය හැකි බවත්, එනම් ඒ දැනුම ඊනියා යථාර්ථය නො විය හැකි බවත්, එසේ වුවත් අපට බටහිර විද්‍යාව ම`ගින් යථාර්ථය අවබෝධ කළ හැකි බවත් ය.

අප බොහෝ කලක සිට බටහිර විද්‍යාඥයන්ට, මාක්‌ස්‌වාදීන් ඇතුළු සියලු ද්‍රව්‍යවාදීන්ට, කරන අභියෝගයක්‌ වෙයි. එනම් මනසෙන් තොර ව, මනසට බාහිරව පවත්නා යථාර්ථයක්‌ ඇති බව හැකි නම් මනසෙන් තොර ව සාධනය කරන්න යන්න ඒ අභියෝගය වෙයි. ඒ අභියෝගය කිසිවකු මෙතෙක්‌ පිළිගෙන නොමැති බව මෙහි දී සඳහන් කළ යුතු ය. ඒ අභියෝගය කිසි දා කිසිවකු නො පිළිගන්නා බවත් මම දනිමි. මනසෙන් තොර ව අප යමක්‌ පෙන්වන්නේ කෙසේ ද? අපේ සියලු සංකල්ප, ප්‍රවාද, අදහස්‌, මතිමතාන්තර ආදිය මනසෙහි ම උපදියි.

මනසෙන් ස්‌වායත්ත ව පවතින ඊනියා යථාර්ථයක්‌ ඇති බව මනස ඇසුරෙන් පෙන්වා දිය හැකි අයකු ඇත් දැයි මම නො දනිමි. එසේ සිටියත් එය අපේ අභියෝගයට වැදගත් නො වේ. මනසෙන් ස්‌වායත්ත ව ඊනියා යථාර්ථයක්‌ ඇති බව මනස ඇසුරෙන් පෙන්වා දීමේ අර්ථයක්‌ නැත. ඒ බව පෙන්වා දිය යුත්තේ හැකි නම් මනසෙන් ස්‌වායත්ත ව ය. මනසෙන් ස්‌වායත්ත ව, මනස යොදා නො ගනිමින්, ලෝකයේ ඉතා ම දෘඪ ම ද්‍රව්‍යවාදියාට වත් කටයුතු කළ නො හැකි ය.

ඒ කෙසේ වෙතත්, බටහිර විද්‍යාඥයෝ තම ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ සාධාරණීකරණයට ලක්‌ කරති. ඕනෑ ම අංශු දෙකක්‌ සඳහා ගුරුත්වාකර්ෂණ නියමය ඉදිරිපත් කෙරෙන්නේ ඕනෑ ම අංශුවක්‌ පොළොව ආසන්නයේ දී එක ම ත්වරණයකින් පොළොවට වැටෙන්නේ යෑයි ගැලීලියෝ ගේ පීසා නුවර පරීක්‍ෂණ සාධාරණය කිරීමෙනි. (පොදු බව යන අරුතින්). ගැලීලියෝගේ පර්යේෂණ ඇහැට කණට පෙනෙන, එනම් දෘශ්‍යමාන වස්‌තු කිහිපයක්‌ පමණක්‌ සම්බන්ධයෙන් විය. ඔහු ඒ පරීක්‍ෂණ රික්‌තයක නො කළේ ය.

එහෙත් බටහිර විද්‍යාඥයන් ඒ පරීක්‍ෂණ සාධාරණය කිරීමට කළේ රික්‌තයක සිතින් වත් මවාගත නොහැකි වියුක්‌ත වස්‌තු සඳහා ය. ඕනෑ ම අංශුවක්‌ රික්‌තයක පොළොව ආසන්නේ දී එක ම නියත ත්වරණයකින් පොළොවට වැටීමක්‌ ගැලීලියෝ විසින් නිරීක්‍ෂණය නො කෙරිණි. ඔහු විසින් රික්‌තයක්‌ නො වන අවකාශයක කරන ලද්දේ යෑයි කියන පරීක්‍ෂණවල නිරීක්‍ෂණ උද්ගමනය කිරීමෙන් බටහිර විද්‍යාඥයෝ ඕනෑ ම අංශුවක්‌ හෝ වස්‌තුවක්‌ හෝ පොළොව ආසන්නයේ දී එක ම ත්වරණයකින් පොළොවට වැටෙන්නේ යෑයි කියති. වියුක්‌ත සංකල්පයක්‌ වූ ඕනෑ ම අංශුවක්‌ යන්න රික්‌තයක නො ව වායුගෝලයෙහි වුව ද නිරීක්‍ෂණය කළ හැකි නො වේ.

නලින් ද සිල්වා