logo3.gif (702 bytes)

HOME


මේ දැන් හෙවත්
තව ටිකකින්..


සිංහලයන්ට ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ හැඳින්වීම සඳහා වචනයක්‌ තිබී නැති බව පැහැදිලි ය. එපමණක්‌ නො ව සිංහල භාෂාවේ වර්තමාන කාලය හඟවන ක්‍රියා පද ද නැත. සිංහලයේ ඇත්තේ අතීත කාලයක්‌ හා අනාගත කාලයක්‌ පමණකි. සිංහලයේ ඇත්තේ අතීත හා අනතීත කාල පමණක්‌ බව කුමාරතුංග මුනිදාස මහතා පෙන්වා දී ඇත. ඒ අනතීත කාලය යනු අනාගත කාලය මිස වර්තමාන කාලය නො වේ. මම යමි හා මම යන්නෙමි අතර ඇති වෙනස කුමක්‌ ද? සිංහලයේ වර්තමාන කාලයක්‌, එනම් වර්තමාන කාලය සඳහා රූපයක්‌ නැත්තේ වර්තමානය යනු අතීතය හා අනාගතය වෙන් කරන මොහොත පමණක්‌ වීම නිසා ය. ඒ මොහොත මෙපමණ කාලයක්‌ යෑයි අර්ථදැක්‌විය හැකි නො වේ. අපට අවශ්‍ය පරිදි ඒ මොහොත හෙවත් ක්‍ෂණය කුඩා කරගත හැකි ය. පැන්සල් තුඩ තව තවත් සිහින් කළ හැකි අයුරින් ක්‍ෂණය ද තව තවත් කුඩා කළ හැකි ය.

ක්‍ෂණය යනු කුමක්‌ දැයි අර්ථදැක්‌විය හැකි අයකු ඇත්නම් ඒ චතුස්‌කෝටික න්‍යාය යොදාගන්නා අයකු විය යුතු ය. අවශ්‍ය නම් ක්‍ෂණයක්‌ යනු කාලාන්තරය ශූන්‍ය හා ශූන්‍ය නො වූවක්‌ යෑයි කිව හැකි ය. එහෙත් එය ඉන්ද්‍රිය (පංචෙන්ද්‍රිය) ගෝචර ලෝකය සඳහා වැදගත් නො වේ. ක්‍ෂණයක්‌ යනුවෙන් ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක්‌ අර්ථදැක්‌විය නොහැකි බැවින් සිංහලයන් ක්‍ෂණය ද වර්තමානය ද ඉවත දමන්නට ඇත. තුන්වැනි සංගායනාවෙන් අප ලද ක්‍ෂණවාදය එතරම් ජනතාව අතරට ගිය බවක්‌ නො පෙනෙයි.

ක්‍ෂණයක්‌ යනුවෙන් පවත්නා දෙයක්‌ (කාල පරිච්ඡේදයක්‌) නැති බව සිංහලයන් තේරුම් ගන්නට ඇත්තේ ඔවුන් බෞද්ධයන් වීමට ද පෙර විය යුතු ය. එබැවින් ථෙරවාදයෙහි සඳහන් ක්‍ෂණවාදයට ලංකාවේ වැදගත්කමක්‌ හිමි වී ඇති බවක්‌ නො පෙනෙයි. වර්තමානය සඳහා ක්‍රියා පද රූපයක්‌ සිංහලයෙහි නොමැති වුවත් පාළි භාෂාවෙහි එසේ ඇති බව පැහැදිලි ය. අප ගච්ඡාමි යනුවෙන් නිතර සඳහන් කරන පදය යමි යන්න සඳහා යෙදෙයි. එය පාළි භාෂාවෙහි අදාළ ක්‍රියා පදයෙහි වර්තමාන රූපය වෙයි. එහි අතීත රූපය ගච්ඡති ද අනාගත රූපය ගච්ඡන්ති ද වෙයි. ගච්ඡාමි හා ගච්ඡන්ති අතර වෙනසක්‌ තිබුණ ද, යමි හා යන්නෙමි අතර වෙනස කුමක්‌ ද?

පාළි භාෂාවෙහි ආභාසය ලැබීමට පෙර වර්තමානය හා අනාගතය සඳහා සිංහලයෙහි තිබූ රූප කවරේ ද යන්න සොයා බැලීමට මෙරට විද්වතුන් උනන්දු වන්නේ නම් මැනවි. කෙසේ වෙතත් සිංහලයන් වර්තමානයක්‌ යනුවෙන් අර්ථදැක්‌විය හැකි කාලයක්‌ නැති බව තේරුම් ගන්නට ඇත. වර්තමානය යන්න ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වේ. වර්තමානය යනු මේ යෑයි අපට කිව හැකි ද? ඒ නැති නිසා ම දෝ සිංහලයෙහි මේ දැන් යනුවෙන් ව්‍යවහාරයක්‌ වෙයි. එහෙත් අපේ මේ දැන් යන්න ද තවත් විනාඩි කිහිපයකින් සිදු වන්නක්‌ බව අපි දනිමු.

වර්තමානය යනුවෙන් කාලයක්‌ පවතින්නේ යෑයි ගැනීම ප්‍රත්‍යක්‍ෂයක්‌ නො ව අනුමානයකි. අතීතය පසු වී ඇත. එය පඤ්ඤත්තියක්‌ වශයෙන් ප්‍රත්‍යක්‍ෂයක්‌ ලෙස අත්දැක ඇත. අනාගතය ඒමට ඇත. එය ද අපට පඤ්ඤත්තියක්‌ ලෙස ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි ය. වර්තමානය අපට ප්‍රත්‍යක්‍ෂ නො වේ. මේ දැන් යන්නෙහි අප "මේ" යන්න කියන විට ද "දැන්" යන්න අනාගතයෙහි වෙයි. එබැවින් සිංහලයන් ගේ මේ දැන් යන්න ද තව විනාඩි කිහිපයකින්, ඇතැම් විට පැයකින් දෙකකින් වීම පුදුමයක්‌ නො වේ. ක්‍ෂණවාදය පාළියෙන් කිව හැකි වුව ද සිංහලෙන් කීම ප්‍රශ්නයක්‌ වෙයි.

වර්තමානය යනු අතීතයෙහි හා අනාගතයෙහි ඡේදනය පමණක්‌ යෑයි සිතිය හැකි ය. එය පඤ්ඤත්තියක්‌ ලෙස වුව ද ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට තරම් කාලයක්‌ නැත. අතීතය අනාගතයට වෙනස්‌ වන (හැරෙන) ලCෂ්‍යයක්‌ කාල රේඛාවෙහි (කාලය සෘණ ඉතා විශාල සංඛ්‍යාවක සිට ධන ඉතා විශාල සංඛ්‍යාවක්‌ දක්‌වා විහිදෙන්නේ යෑයි උපකල්පනය කරමින් අඳින රේඛාව) ඇතැයි අපි සිතමු. එය අනුමානයක්‌ පමණක්‌ වන්නේ එබැවිනි. මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කරුණක්‌ වෙයි. එනම් කාලයෙහි වර්තමානය පමණක්‌ නො ව කාලය යන සංකල්පය ම පඤ්ඤත්තියක්‌ පමණක්‌ බව ය. වර්තමානය යනු එක අතෙකින් ගත් කල සීමාකාරී ලCෂ්‍යයකි.

ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ යනු කවරේ ද? එය මාර්ටින් වික්‍රමසිංහ මහතා ෆැක්‌ට්‌ස්‌ යන්න සඳහා තැනූ ප්‍රකාශයක්‌ යෑයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි. ෆැක්‌ට්‌ස්‌ යන්න ඉංගිරිසියෙහි යෙදෙන්නේ කලින් සඳහන් කර ඇති පරිදි ඉර පායා ඇත ආදී ප්‍රකාශවලින් කියෑවෙන්න ගොනු කර ගැනීම සඳහා ය. එහෙත් ඒවා ද හුදු සංජානන නො වන බව අපි දුටුවෙමු. බර්ට්‍රන්ඩ් රසල් ඇතුළු බටහිර දාර්ශනිකයන් තේරුම් නො ගන්නා කාරණයක්‌ නම් හුදු සංජානන නොමැති බව ය. හුදු සංජානන ඇතැයි යන්න හුදු බොරුවක්‌ පමණකි.

රසල් යනු ලොව පුරා ප්‍රසිද්ධියට පත් කෙරුණු (විශේෂයෙන් ම ඉංගිරිසි ජනමාධ්‍ය මගින්) දාර්ශනිකයකු වුවත් ඔහු දැනුම නිර්මාණය කළේ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි පදනම් වෙමින් යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ය. ඔහු ගේ ඊනියා විවෘත මනස විවෘත මනසක්‌ නො වන බව පැහැදිලි ය. විවෘත මනස්‌ ඇත්තේ මිය ගිය අයට ය. බටහිරයන්, විශේෂයෙන් ම ඉංගිරිසින් විසින් ප්‍රසිද්ධියට පත් කෙරෙන බුද්ධිමතුන්, කතුවරුන්, ක්‍රීඩකයන්, නළු නිළියන් ආදීන් ගැන අප දෙවරක්‌ නො ව කිහිප වරක්‌ සිතා බැලිය යුතු ය.

රසල් සිතුවේ ඔහු ගේ සංස්‌කෘතියෙහි ය. ඒ සංස්‌කෘතිය කෙතරම් වියුක්‌ත වුවත් ඉන්ද්‍රිය ගෝචර ලෝකයක්‌ පදනම් කරගනියි. කතෝලික සංස්‌කෘතිය පදනම් වූ කතෝලික චින්තනය සංයුක්‌ත වූවකි. අප බොහෝ අවස්‌ථාවල පවසා ඇති පරිදි ආසියාවේ, විශේෂයෙන් ම භාරතයේ ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම බටහිර කතෝලික සංස්‌කෘතියට අවශෝෂණය කර ගැනීම බටහිරයන්ට ප්‍රශ්නයක්‌ විය. ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම ද ඉන්ද්‍රිය ගෝචර විය. එහෙත් මෙහි දී ඉන්ද්‍රිය වූයේ මනස ය. බටහිරයන්ට මනස ඉන්ද්‍රියයක්‌ නො වේ.

අපට මනස ද ඉන්ද්‍රියයකි. මනස හැරෙන්නට අනෙක්‌ ඉන්ද්‍රිය පහ ඔස්‌සේ ලබාගන්නා දැනුමට බටහිරයෝ ඉන්ද්‍රිය ගෝචර දැනුම යෑයි කියති. ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ද බටහිරයන් ගේ ඉන්ද්‍රිය ගෝචර දැනුමෙහි කොටසකි. මේ දැනුම් සංකල්පවලින් ස්‌වායත්ත යෑයි බටහිරයෝ උපකල්පනය කරති. එහෙත් පංචෙන්ද්‍රියයන් ඇසුරෙන් ලබාගන්නා කිසි ම දැනුමක්‌ (සංජාන, ඊනියා ප්‍රත්‍යක්‍ෂ ඇතුළුව) සංකල්පවලින් ස්‌වායත්ත නො වේ. සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මනසෙන් ය. පංචෙන්ද්‍රියන් ඇසුරෙන් ලබාගන්නා සියලු ම දැනුම මනස සමග බැඳී ඇත. බටහිරයන් ගේ පංචෙන්ද්‍රියවලට මනසෙන් තොර ව කිසි ම දැනුමක්‌ නිර්මාණය කළ නො හැකි ය.

එහෙත් මනසට අනෙක්‌ ඉන්ද්‍රිය නොමැති ව දැනුම නිර්මාණය කළ හැකි ය. මනස හා අනෙක්‌ ඉන්ද්‍රිය අතර ඇති මේ ප්‍රධාන වෙනස බටහිරයන්ට තේරුම් ගත නො හැකි ය. එයට ප්‍රධාන හේතුවක්‌ වනුයේ බටහිරයන් මනස ඉන්ද්‍රියයක්‌ ලෙස නො සැලකීම ය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස බටහිරයෝ අද මනසෙහි පැවැත්ම ද ප්‍රතික්‍ෂෙප කරති. ඔවුන්ට මනස යන්න මොළය නමැති අවයවයට ඌනනය කළ හැකි ය. බටහිරයන්ට ඉන්ද්‍රියයක්‌ හා අවයවයක්‌ අතර වෙනසක්‌ ඇති බව තේරුම් ගත නො හැකි ය.

එයට ද හේතුව මනස ඉන්ද්‍රියයක්‌ ලෙස නො සැලකීම ය. කණ යනු අවයවයකි. එහෙත් කණ තිබූ පමණින් අපට ශබ්ද නො ඇසෙයි. ශබ්ද ඇසීමෙහි දී මනස වැදගත් වෙයි. කණ මනස සමග එකතු නො වන්නට ශ්‍රවණෙන්ද්‍රියයක්‌ නැත. එහෙත් මනෙන්ද්‍රියට පැවැතීමට (සම්මුති අර්ථයකින්) වෙනත් ඉන්ද්‍රියක්‌ හෝ අවයවයක්‌ හෝ අවශ්‍ය නො වේ. මනෙන්ද්‍රියෙහි පැවැත්මට මොළය අවශ්‍ය නො වේ. සිත මිස කය නැති බඹ ලොව පවතින්නේ මනසෙහි පැවැත්මට මොළය හෝ වෙනත් අවයවයක්‌ හෝ අනවශ්‍ය බැවිනි. මනෙන්ද්‍රිය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියක සම්මුති වශයෙන් වුවත් පැවැත්මට මනෙන්ද්‍රිය මෙන් ම යම්කිසි අවයවයක්‌ ද අවශ්‍ය වෙයි.

සංකල්පවලින් තොර ව සංජානන නො පවතින බව බටහිරයෝ තේරුම් නො ගනිති. රසල් නිල් බවක්‌ ගැන සඳහන් කළේ නිල් යන සංකල්පයෙන් තොර ව නිල් බව (ඉකමසියබැss) නම් සංජානනයක්‌ ඇතැයි ගැනීමෙනි. නිල් බව යන්න නිල් මේ සංකල්පය සමග බැඳී ඇත. අප ගිය සතියේ ද සාකච්ඡා කළ ආකාරයට හුදු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ නැත. සිංහලයන් ඒ බව දැන සිටියාට සැකයක්‌ නැත. නැති වර්තමානයකට ක්‍රියා රූපයක්‌ නො තැනූ සිංහලයෝ නැති (පංච) ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂවලට ද වචනයක්‌ නිර්මාණය නො කළ හ. මාර්ටින් වික්‍රමසිංහ මහතාට වත් කාලෝ ෆොන්සේකා මහතාට වත් ඒ බව අවබෝධ නො වීම පුදුමයට කරුණක්‌ නො වේ.

අපේ ඉන්ද්‍රිය ගෝචර දැනුම බටහිරයන් ගේ ඉන්ද්‍රිය ගෝචර දැනුමෙන් වෙනස්‌ වෙයි. අපේ ඉන්ද්‍රිය ගෝචර දැනුමට අනෙක්‌ ඉන්ද්‍රිය නොමැති ව මනසෙන් පමණක්‌ ලබාගන්නා දැනුම ද අයත් වෙයි. පැරැණි භාරතීයයන් සූර්යයා වටා පෘථිවිය ඇතුළු ග්‍රහවස්‌තු චලනය වන බව දැනගත්තේ ආධ්‍යාත්මික ව බව පැහැදිලි ය. ඔවුන් එය එක්‌කෝ සෘජු ව ලබාගන්නට ඇත. එසේත් නැත්නම් දෙවියන් ගෙන් භූතයන් ගෙන් ආදි වශයෙන් වූ ප්‍රාණීන් ගෙන් ලබාගන්නට ඇත. කෙසේ ලබාගත්ත ද ඒ පංචෙන්ද්‍රියන් ඇසුරෙන් ලබාගත් දැනුමක්‌ නො වී ය.

පහළොස්‌වැනි සියවසට පෙර යුරෝපයේ ද දෙවියන් ගෙන් ආදී වශයෙන් දැනුම ලබාගත් බවට සාක්‍ෂි වෙයි. එහෙත් ඉන්පසු ඒ හැකියාව බටහිරයන්ට සමස්‌තයක්‌ ලෙස අහිමි වී ඇත. භාරතයෙන් යුරෝපයට ගිය ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම බටහිරයන්ට තම සංස්‌කෘතියට අවශෝෂණය කර ගැනීමට ම`ගක්‌ නො වී ය. ඔවුන් වියුක්‌ත දැනුම් නිර්මාණයට පෙලඹුණේ භාරතීය දැනුම අවශෝෂණය කර ගැනීමට නොහැකි වීම නිසා යෑයි අපේ ප්‍රවාදයක්‌ වෙයි.

කෙසේ වෙතත් ඊනියා (පංච) ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ හා දැනුම බටහිරයන්ට ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට (නිර්මාණය කිරීමට) නොහැකි වීම නිසා ඇති වූ සංකල්පයක්‌ වෙයි. ඔවුන් ගේ ඉන්ද්‍රිය ගෝචර නො වන අත්දැකීම් හා දැනුම ද වෙයි. ඒ අන් කිසිවක්‌ නො ව ඔවුන් නිර්මාණය කරන වියුක්‌ත දැනුම ය. වියුක්‌ත දැනුම (පංච) ඉන්ද්‍රිය ගෝචර නො වේ. සාධාරණ හෙවත් පොදු පුටුවක්‌ ඉන්ද්‍රිය ගෝචර නො වේ. එපමණක්‌ නො ව පොදු පුටුව සිතෙන් මවාගැනීමට ද නො හැකි ය. එය හුදෙක්‌ මනසින් නිර්මාණය කරගන්නා සංකල්පයකි. ඒ කිසිසේත් ම පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එහෙත් බටහිරයෝ ඒ පිළිබඳව කතා නො කිරීමට වගබලාගනිති.

නලින් ද සිල්වා