logo3.gif (702 bytes)

HOME


ක්‌වොන්ටම් දෙවියෝ

අපි නැවතත් ක්‌වොන්ටම් කාසිවලට යමු. සම්භාව්‍ය හෙවත් සාමාන්‍ය කාසියක්‌ මෙන් නො ව යම් නිරීක්‍ෂකයකුට ක්‌වොන්ටම් කාසියක්‌ නිශ්චල ව අතේ තබාගත හැකි නො වේ. එයට හේතුව යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ ව ක්‌වොන්ටම් වස්‌තුවකට එක්‌ විට නිශ්චිත පිහිටීමක්‌ හා ගම්‍යතාවක්‌ තිබිය නොහැකි වීම ය. ක්‌වොන්ටම් භෞතිකයෙහි අනිශ්චය මූලධර්මයට අනුව නිරීක්‍ෂකයා ක්‌වොන්ටම් වස්‌තුවේ පිහිටීම දන්නේ නම් ඔහුට සාපේක්‍ෂව ක්‌වොන්ටම් වස්‌තුවට ගම්‍යතාවක්‌ (ප්‍රවේගයක්‌) නැත. එමෙන් ම නිරීක්‍ෂකයා ක්‌වොන්ටම් වස්‌තුවෙහි ගම්‍යතාව දන්නේ නම් (ඒ මැනගෙන ඇත්නම්) ඔහු එම වස්‌තුවෙහි පිහිටීම නො දනියි.

කෝපන්හේගන් විවරණයට අනුව එයින් කියෑවෙන්නේ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ක්‌වොන්ටම් වස්‌තුවට එහි ගම්‍යතාව සඳහා කිසිදු අගයක්‌ නොමැති බව ය. එහෙත් අප විසින් ඉදිරිපත් කෙරී ඇති විද්‍යාලංකාර විවරණය අනුව එයින් කියෑවෙන්නේ ක්‌වොන්ටම් වස්‌තුවට එහි ගම්‍යතාව සඳහා අගය එකකට වැඩි ගණනක්‌ ඇති බව ය. අනෙක්‌ අතට අප විද්‍යාලංකාර විවරණයට අනුව නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ක්‌වොන්ටම් වස්‌තුවට නිශ්චිත ගම්‍යතාවක්‌ ඇත්නම් ඔහුට සාපේක්‍ෂව ක්‌වොන්ටම් වස්‌තුවේ පිහිටීමට අගය එකකට වඩා වෙයි.

ඒ කුමක්‌ වුවත් යම් නිරීක්‍ෂකයකුට ක්‌වොන්ටම් කාසියක්‌ නිශ්චල ව අතෙහි රඳවාගෙන සිටිය හැකි නො වේ. නිරීක්‍ෂකයා අතෙහි ක්‌වොන්ටම් කාසියක්‌ තිබීම යනු නිරීක්‍ෂකයා ක්‌වොන්ටම් කාසියෙහි පිහිටීම නිශ්චිත ව දැනගැනීම ය. ඔහු අතෙහි ක්‌වොන්ටම් කාසිය නිශ්චල ව ඇත යන්නෙන් කියෑවෙන්නේ ඔහුට සාපේක්‍ෂව ක්‌වොන්ටම් කාසියෙහි ප්‍රවේගය හා එබැවින් ගම්‍යතාව ශුන්‍ය බව ය. වෙනත් අයුරකින් කිව හොත් නිරීක්‍ෂකයා ක්‌වොන්ටම් කාසියෙහි පිහිටීම මෙන් ම ගම්‍යතාව ද එක්‌ විට දනියි.

එසේ වුවත් ක්‌වොන්ටම් භෞතිකයට අනුව නිරීක්‍ෂකයාට ක්‌වොන්ටම් කාසියෙහි පිහිටීම හා ගම්‍යතාව එක්‌ විට දැනගත නො හැකි ය. මෙයින් කියෑවෙන්නේ නිරීක්‍ෂකයාට ක්‌වොන්ටම් කාසිය නිශ්චල ව අතෙහි රඳවාගෙන සිටිය නොහැකි බව ය. එමෙන් ම නිරීක්‍ෂකයාට තම අතෙහි යම් ප්‍රවේගයක්‌ සහිත ව වුව ද ක්‌වොන්ටම් කාසිය තබාගත හැකි නො වේ. එයට ද හේතුව අනිශ්චය මූලධර්මය වෙයි.

එසේ නම් නිරීක්‍ෂකයකු ක්‌වොන්ටම් කාසියක්‌ උඩ දමන්නේ කෙසේ ද? ක්‌වොන්ටම් වස්‌තුවක්‌ අතට ගැනීමට නිරීක්‍ෂකයකුට නො හැකි ය. කිසියම් නිරීක්‍ෂකයකුට ක්‌වොන්ටම් අංශුවක්‌ නිරීක්‍ෂණය කළ හැකි ද නො වේ. යම්කිසි අංශුවක්‌ හෝ වස්‌තුවක්‌ හෝ නිරීක්‍ෂණය කිරීම යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද? අප දන්නා සාමාන්‍ය අංශු නිරීක්‍ෂණය කිරීමේ දී අප කුමක්‌ කරන්නේ ද? සාමාන්‍ය අංශුවක්‌ හෝ වස්‌තුවක්‌ හෝ නිරීක්‍ෂණය කිරීමේ දී අපි එහි පිහිටීම මෙන් ම ගම්‍යතාව (ප්‍රවේගය) ද නිරීක්‍ෂණය කරන්නෙමු.

අප වස්‌තුවේ හෝ අංශුවේ හෝ ප්‍රවේගයේ අගය නො දැන සිටිනවා විය හැකි ය. එහෙත් අපි අංශුවට හෝ වස්‌තුවට හෝ ප්‍රවේගයක්‌ ඇති බව දනිමු. අප එය මැනගෙන නැති වුව ද මැන්නොත් එයට ලැබෙන්නේ අංශුවේ දැනට ඇති ප්‍රවේගය බව අපි දනිමු. අපි සාමාන්‍ය හෙවත් සම්භාව්‍ය අංශු නිරීක්‍ෂණය කරන්නේ (දකින්නේ, ස්‌පර්ශ කරන්නේ ආදී වශයෙන්) ඒ අංශුවලට අපට සාපේක්‍ෂව නිශ්චිත පිහිටීමක්‌ හා නිශ්චිත ප්‍රවේගයක්‌ ඇති බැවිනි. අපට සාමාන්‍ය කාසියක්‌ අතෙහි රඳවාගත හැක්‌කේ අපට සාපේක්‍ෂව එයට නිශ්චිත පිහිටීමක්‌ හා නිශ්චිත ප්‍රවේගයක්‌ ඇති බැවිනි.

යම් අයුරකින් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව යම් අංශුවකට හෝ වස්‌තුවකට හෝ එක්‌ විට ප්‍රවේග කිහිපයක්‌ ඇතැයි සිතමු. එහෙත් අංශුවට හෝ වස්‌තුවට හෝ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව නිශ්චිත පිහිටීමක්‌ ඇතැයි සිතමු. එවිට නිරීක්‍ෂකයාට අංශුව හෝ වස්‌තුව නිරීක්‍ෂණය කළ හැකි ද? නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුවට හෝ වස්‌තුවට හෝ නිශ්චිත පිහිටීමක්‌ ඇති බව සැබෑ ය. එහෙත් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුව හෝ වස්‌තුවට හෝ ප්‍රවේග රාශියක්‌ (එකකට වැඩි සංඛ්‍යාවක්‌) ඇත්නම් නිරීක්‍ෂකයාට එම අංශුව හෝ වස්‌තුව හෝ නිරීක්‍ෂණය කළ හැකි ද?

අපට එය සිතාගත වත් හැකි නො වේ. එවැන්නක්‌ ඉන්ද්‍රිය ගෝචර නො වේ. එක්‌වර කිහිප අතකට චලනය වන අංශුවක්‌ අපට සිතාගත (සිතෙන් මවාගත) නො හැකි ය. එසේත් නැත හොත් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ ව එක ම දිශාවකට වුව ද වේග රාශියක්‌ ඇති අංශුවක්‌ හෝ වස්‌තුවක්‌ හෝ අපට සිතෙන් මවාගත නො හැකි ය. වෙනත් වචනවලින් කියන්නේ නම් නිරීක්‍ෂකයාට තමාට සාපේක්‍ෂව නිශ්චිත පිහිටීමක ඇති එහෙත් ප්‍රවේග එකකට වඩා ඇති අංශුවක්‌ හෝ වස්‌තුවක්‌ හෝ ගැන සිතා ගැනීමටවත් නො හැකි ය. මෙයින් කියෑවෙන එක ම දෙය නම් එවැනි අංශු හෝ වස්‌තු හෝ පැවතුණත් අපට ඒ නිරීක්‍ෂණය කළ නොහැකි බව ය.

එමෙන් ම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව යම් අංශුවකට හෝ වස්‌තුවකට හෝ නිශ්චිත ප්‍රවේගයක්‌ තිබී පිහිටීම් රාශියක්‌ ඇත්නම් එවැනි අංශුවක්‌ හෝ වස්‌තුවක්‌ හෝ නිරීක්‍ෂණය කිරීමට නිරීක්‍ෂකයකුට නො හැකි ය. එවැන්නක්‌ අපට සිතාගත නො හැකි ය. අංශුවක්‌ හෝ වස්‌තුවක්‌ හෝ එක්‌විට කිහිප තැනක ඇත යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද? එක්‌විට දෙතැනක ඇති පිටුවක්‌ හෝ මේසයක්‌ හෝ ගැන සිතාගැනීමට හැකි අයෙක්‌ වෙත් ද?

ඉහත සඳහන් විස්‌තරය කෙරී ඇත්තේ විද්‍යාලංකාර විවරණය අනුව ය. ඒ අනුව නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව අංශුවකට හෝ වස්‌තුවකට හෝ නිශ්චිත පිහිටීමක්‌ ඇතිවිට එයට ගම්‍යතා (ප්‍රවේග) රාශියක්‌ තිබිය හැකි ය. එසේත් නැත්නම් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුවට හෝ වස්‌තුවට හෝ නිශ්චිත ප්‍රවේගයක්‌ ඇත්නම් එයට පිහිටීම් රාශියක්‌ තිබිය හැකි ය. එහෙත් කෝපන්හේගන් විවරණයට අනුව අපට වෙනත් දෙයක්‌ කිව හැකි ද?

කෝපන්හේගන් විවරණය අනුව නිරීක්‍ෂකයකුට අනුව යම් අංශුවකට හෝ වස්‌තුවකට හෝ නිශ්චිත පිහිටීමක්‌ ඇත්නම් එයට ගම්‍යතාවක්‌ (ප්‍රවේගයක්‌) නැත. අංශුවට හෝ වස්‌තුවට හෝ ප්‍රවේගයක්‌ ලබා දෙන්නේ නිරීක්‍ෂකයා ය. නිරීක්‍ෂකයා අංශුවේ හෝ වස්‌තුවේ හෝ ගම්‍යතාව මැනීමේ දී එයට ගම්‍යතාවක්‌ ලබා දෙයි. එමෙන් ම නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුවට හෝ වස්‌තුවට හෝ නිශ්චිත ගම්‍යතාවක්‌ (ප්‍රවේගයක්‌) ඇත්නම් එයට නිරීක්‍ෂයාට සාපේක්‍ෂව පිහිටීමක්‌ නැත. අංශුවට හෝ වස්‌තුවට හෝ පිහිටීමක්‌ ලබා දෙන්නේ පිහිටීම නිරීක්‍ෂණය කරන (මනින) නිරීක්‍ෂකයා ය.

අප කෝපන්හේගන් විවරණය අනුව සිතන්නේ නම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව නිශ්චිත පිහිටීමක්‌ ඇති එහෙත් ගම්‍යතාවක්‌ (ප්‍රවේගයක්‌) නැති අංශු තිබිය හැකි ය. එසේත් නැත්නම් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව නිශ්චිත ගම්‍යතාවක්‌ (ප්‍රවේගයක්‌) ඇති එහෙත් පිහිටීමක්‌ නැති අංශු තිබිය හැකි ය. මෙවැනි අංශු නිරීක්‍ෂණය කළ හැකි ද? එසේ කළ නොහැකි බව පැහැදිලි ය. අප එසේ කියන්නේ ද ඉහත විද්‍යාලංකාර විවරණය සම්බන්ධයෙන් නිගමනවලට පැමිණි ආකාරයෙන් ම ය.

නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පිහිටීමක්‌ නැති ව එහෙත් ගම්‍යතාවක්‌ (ප්‍රවේගයක්‌) ඇති අංශුවක්‌ හෝ වස්‌තුවක්‌ හෝ ගැන සිතාගත හැකි ද? අංශුවකට හෝ වස්‌තුවක හෝ පිහිටීමක්‌ නැති ව ගම්‍යතාවක්‌ (ප්‍රවේගයක්‌) පමණක්‌ තිබිය හැකි ද? පිහිටීමක්‌ නැති ව ගම්‍යතාවක්‌ තිබුණ ද එවැනි අංශු අපට නිරීක්‍ෂණය වේ ද? එමෙන් ම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව ගම්‍යතාවක්‌ (ප්‍රවේගයක්‌) නැති එහෙත් නිශ්චිත පිහිටීමක්‌ ඇති අංශු හෝ වස්‌තු හෝ නිරීක්‍ෂණය කළ නො හැකි ය.

මේ සියල්ලෙන් කියෑවෙන්නේ කුමක්‌ ද? අපේ අවයවවල, ඉන්ද්‍රියවල ඇති අඩුපාඩුකම් ය. ඉහත සඳහන් ආකාරයේ අංශු හෝ වස්‌තු හෝ තිබුණ ද, අපට ඒ නිරීක්‍ෂණය කිරීම සඳහා අවයව හා ඉන්ද්‍රිය නොමැත. ක්‌වොන්ටම් අංශුවලට හෝ වස්‌තුවලට හෝ ඉහත සඳහන් ගුණ වෙයි. එහෙත් ඒ අංශු නිරීක්‍ෂණය කිරීමට අපට ඉන්ද්‍රිය නැත. අපට ක්‌වොන්ටම් අංශු හෝ වස්‌තු හෝ නිරීක්‍ෂණය කිරීමට නොහැකි හේතුව අපට ඒ සඳහා ඉන්ද්‍රිය නොමැති වීම ය.

ඉලෙක්‌ට්‍රොaනයක්‌ හෝ ප්‍රොaටෝනයක්‌ හෝ නිරීක්‍ෂණය කළ අයකු නැත. අප එවැනි අංශු නිරීක්‍ෂණය කරන්නේ සෘජු ව නො වේ. අපි ඒ අංශු වෙනත් අංශු හෝ වස්‌තු හෝ සමග ප්‍රතික්‍රියා කිරීමෙන් පසු ඇති කෙරෙන ප්‍රතිබිම්බ පමණක්‌ නිරීක්‍ෂණය කරන්නෙමු. රූපවාහිනි තිරය මත අපි ඉලෙක්‌ට්‍රොaන නො දකිමු. අප දකින්නේ නිරීක්‍ෂණය කරන්නේ ඉලෙක්‌ට්‍රොaනවල ප්‍රතිබිම්බ ය. අපට ක්‌වොන්ටම් අංශු දැකිය හැකි (නිරීක්‍ෂණය කළ හැකි) අවයව හා ඉන්ද්‍රිය තිබිණි නම් ක්‌වොන්ටම් භෞතිකයට විවරණ අවශ්‍ය නො වීමට ඉඩ තිබිණි.

අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන ලෝකය පමණක්‌ ලෝකය ලෙස ගැනීම කෙතරම් අනුවණකමක්‌ ද? එහෙත් ඊනියා ද්‍රව්‍යවාදීහු එසේ කිරීමට පෙලඹෙති. එහෙත් ඒ ද්‍රව්‍යවාදීන් ගේ ම කොටසක්‌ ඉන්ද්‍රිය ගෝචර ලෝකය විශ්වාස කළ නොහැකි යෑයි පවසමින් ඉන්ද්‍රිය ගෝචර ලෝකයට ඔබ්බෙන් වන ඊනියා යථාර්ථයක්‌ සොයති. එහෙත් එහි ඇති සරදම නම් මේ ඊනියා යථාර්ථයේ සත්‍යාසත්‍යභාවය පිරික්‌සීමට ඔවුන් නැවත ඉන්ද්‍රිය ගෝචර ලෝකය සමග සංසන්දනය කිරීම ය.

ඉන්ද්‍රිය ගෝචර ලෝකය සත්‍ය ලෙස ගත නොහැකි නම් එය විශ්වාස කළ නොහැකි නම් ඊනියා යථාර්ථය පිරික්‌සීමට නැවතත් ඉන්ද්‍රිය ගෝචර ලෝකයට ම ආපසු එන්නේ කෙසේ ද? ඉන්ද්‍රිය ගෝචර ලෝකය විශ්වාස කළ නොහැකි නම් එය ඊනියා යථාර්ථය පරීක්‍ෂා කිරීමට ද යොදාගත නො හැකි ය. මෙය ඊනියා විද්‍යාත්මක විධික්‍රමයෙහි පළමුවෙන් ම කියෑවෙන කතාවකි. ඒ ඔවුන් ඉන්ද්‍රිය ගෝචර සංජානන පිළිබඳ ව දක්‌වන සැලකිල්ල හා එහි ඇති වැදගත්කම ගැන කියා පෑමට සඳහන් කරන්නකි. එහෙත් එය කිසිසේත් ම සංගත නො වන බව තමන් විද්‍යාඥයන් හා විද්‍යාවේ දාර්ශනිකයන් යෑයි කියාගන්නා අයට නො තේරෙන්නකි.

ක්‌වොන්ටම් භෞතිකය ගැන මෙතෙක්‌ කර ඇති විවරණවලින් පෙනී යන කරුණ නම් එහි සඳහන් වන්නේ ඉන්ද්‍රිය ගෝචර නො වන අංශු හෝ වස්‌තු හෝ සම්බන්ධයෙන් වූ ගුණ විස්‌තර කරන්නක්‌ බව ය. ක්‌වොන්ටම් අංශු මිනිස්‌ නිරීක්‍ෂකයන්ට නිරීක්‍ෂණය කළ නො හැකි ය. එහෙත් ක්‌වොන්ටම් ලෝකයේ සම්මුති අර්ථයකින් වුවත් තිබෙන බව බටහිර භෞතික විද්‍යාඥයන්ට පිළිගැනීමට සිදු වෙයි.

නිරීක්‍ෂණය කිරීමට නොහැකි වූ පමණින්, එනම් පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වූ පමණින්, අංශුව හෝ වස්‌තු හෝ ප්‍රාණීන් හෝ නැතැයි පැවසීම ප්‍රඥාගෝචර නො වේ. අද පංචෙන්ද්‍රිය ම`ගින් දකින්නේ, එනම් පංචෙන්ද්‍රිය ආධාරයෙන් නිර්මාණය කරන්නේ ඉතා ම සීමිත ලෝකයකි. අපට මිනිස්‌ සතුන් හා තිරිසන් සතුන් පමණක්‌ පෙනෙයි. එහෙත් එපමණකින් මෙලොව වෙනත් ප්‍රාණීන් නැතැයි කීම සම්මුති අර්ථයකින් ක්‌වොන්ටම් ලෝකයක්‌ නැතැයි කීම වැනි ය.

නලින් ද සිල්වා