logo3.gif (702 bytes)

HOME


ආසනික්‌ කතාව

මේ සතියේ ද ලබන සතියේ ද අපේ ප්‍රවාද වෙන් වන්නේ ප්‍රවාද නිර්මාණයට හෙවත් කතාන්දර ගෙතීමට නො වේ. අප රටට ඉතා වැදගත් වූ රජරට හා තවත් ප්‍රදේශ කිහිපයක පැතිරී ඇති නිදන්ගත වකුගඩු රෝගය ගැන සාකච්ඡා කිරීම අද දවසේ අපේ ප්‍රධාන කටයුත්තක්‌ බවට පත් වී ඇත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇතැමුන් මහත් බලාපොරොත්තුවෙන් සිටි වාර්තාවක්‌ පසුගිය සතියේ පිට වීම ය. ඒ නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසාන වාර්තාව ය.

අප ඒ වාර්තාව ගැන සුළුවෙන් නමුත් මෙහි දී කතා කරන්නේ බටහිර විද්‍යාවේ විධික්‍රමය, දර්ශනය, චින්තනය ආදිය නො සලකමින් නො වේ. මෙහි දී විධික්‍රමය යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර විද්‍යාවේ දර්ශනයේ සඳහන් වන විධික්‍රමයක්‌ නො වේ. බටහිර විද්‍යාවට විශේෂිත වූ පර්යේෂණය ඇතුළත් ඊනියා විධික්‍රමයක්‌ ඒ අරුතින් නැත. අප විධික්‍රමය යන්න යොදාගන්නේ ප්‍රත්‍යක්‍ෂය, අනුමානය, උද්ගමනය ආදිය ගැන කතා කිරීමේ දී ය. එමෙන් ම අදාළ දැනුමේ වියුක්‌ත බව, සාධාරණීකරණය ආදිය ද අපි එහි දී සාකච්ඡා කරමු. එවැනි කරුණු සම්බන්ධයෙන් විවිධ දැනුම් පද්ධති අතර වෙනස්‌කම් වෙයි. එහෙත් බටහිර විද්‍යාවට විශේෂිත වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ ඇතැයි අපි නො පිළිගනිමු.

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු අපට වැදගත් වූ සංවිධානයක්‌ නො වේ. එය අවසාන වශයෙන් ගත් කල බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය තම ආධිපත්‍යය පවත්වාගෙන යැම සඳහා යොදාගැනෙන තවත් ව්‍යාජ ගාම්භීරත්වයක්‌ සහිත සංවිධානයක්‌ පමණකි. මේ සංවිධානයෙන් මූලික වශයෙන් කෙරෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව අනෙක්‌ වෛද්‍ය විද්‍යාවන් ගෙන් උසස්‌ කර ඊනියා ජාත්‍යන්තර භාවයක්‌ එයට ලබා දී අනෙක්‌ වෛද්‍ය විද්‍යාවන් ප්‍රාදේශීය භාවයකට හා සීමිත කාල වකවානුවකට යට කිරීම ය. අනෙක්‌ වෛද්‍ය විද්‍යාවන් ඊනියා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට එකඟ නො වන, විද්‍යාත්මක විධික්‍රමයක්‌ නැති දැනුම් පද්ධතීන් ය යන හැඟීම ලොව පුරා තහවුරු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධාන වගබලාගනියි. අනෙක්‌ ඊනියා ජාත්‍යන්තර සංවිධාන මෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය විසින් ලෝකයෙහි තම ආධිපත්‍යය පවත්වාගෙන යැම සඳහා යොදා ගැනෙන තවත් එක්‌ සංවිධානයක්‌ පමණකි.

එවැනි සංවිධානයකට මගේ කිසිදු පිළිගැනීමක්‌ හෝ ගෞරවයක්‌ හෝ නැත. එසේ වුවත් කිසියම් ක්‍ෂෙත්‍රයකින් වුවත් බටහිර දැනුමක්‌ කටගාගත් බොහෝ දෙනාට ලෝක සෞඛ්‍ය සංවිධානය යනු වැදගත් සංවිධානයකි. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක්‌ මෙරට බටහිර උගතුන් ගේ පිළිගැනීමට ලක්‌ වෙයි. එසේ වුවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව ගැන ජනතාවට වාර්තා කිරීමට ඉදිරිපත් වූයේ එක ම එක රූපවාහිනි නාළිකාවකි. අනෙක්‌ විද්යුත් ජනමාධ්‍ය මෙන් ම මුද්‍රිත මාධ්‍ය ද ඒ වාර්තාව පිළිබඳව නො ඇසූ කන් හා නො දුටු ඇස්‌ ඇති ව සිටියේ ය. සෞඛ්‍ය අමාත්‍යංශයට වාර්තාව එවා ඇති නමුත් අමාත්‍යංශය ඒ පිළිබඳ කිසිවක්‌ ස්‌වෙච්ඡාවෙන් කීමට ඉදිරිපත් නො විණි.

රජරට හා අනෙක්‌ පෙදෙස්‌වල ද පැතිරී ඇති නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳව කණ්‌ඩායම් කිහිපයක්‌ ම බටහිර විද්‍යාවට අනුව පර්යේෂණ කර තිබිණි. එයට හේතුව කුමක්‌ දැයි ඒ කිසිවකුටත් කීමට හැකියාවක්‌ නො තිබිණි. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි මේ රෝගය නම් කර තිබුණේ හේතුව නො දත් වකුගඩු රෝගය ලෙස ය. එහෙත් විවිධ කණ්‌ඩායම් රෝගයට හේතුව ලෙස විවිධ රසායන ද්‍රව්‍ය අනුමාන කර තිබිණි.

කැලණි කණ්‌ඩායම මේ රෝගය පිළිබඳ කරුණු සෙවීමට පෙළඹුණේ මෙවන් පසුබිමක ය. මේ කණ්‌ඩායමේ විවිධ පුද්ගලයෝ සිටියෝ ය. කිහිප දෙනෙක්‌ කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයට සෘජු ව ම සම්බන්ධ වූ හ. දෙවියන් (හෝ භූතයන් හෝ) සමග සන්නිවේදනය කළේ ප්‍රියන්තා සේනානායක මහත්මිය ය. ඇය කවුරුන් සමග සන්නිවේදනය කළ ද ඔවුන් මනුෂ්‍යයන් නො වූ බව නම් පැහැදිලි ය. සේනානායක මහත්මිය ලංකාවේ කිසි ම විශ්වවිද්‍යාලයකට සෘජු ව ම සම්බන්ධ නො වී ය. කණ්‌ඩායමේ සාමාජිකයන් අතර විශ්වවිද්‍යාලයකට සම්බන්ධ නො වූ බටහිර වෛද්‍යවරු සිටිය හ.

එක්‌ බටහිර වෛද්‍යවරයෙක්‌ පමණක්‌ රජරට විශ්වවිද්‍යාලයට සම්බන්ධ විය. මේ කණ්‌ඩායමේ නායකත්වය දැරුවේ මා ය. මා කැලණිය විශ්වවිද්‍යාලයෙහි විද්‍යා පීඨයෙහි පීඨාධිපති වීම පර්යේෂණවලට විශේෂ අනුග්‍රහයක්‌ විය. එසේ නො වන්නට පර්යේෂණ ආරම්භ කිරීමට වත් නොහැකි වීමට තිබිණි. වෙනත් විශ්වවිද්‍යාලයක අපේ කණ්‌ඩායමට කිසි ම ඉඩක්‌ නො විණි. කණ්‌ඩායමේ එක්‌ අයකු පමණක්‌ රජරට විශ්වවිද්‍යාලයයේ පරිවාස කථිකාචාර්යවරයකු වීම නිසා අපේ කණ්‌ඩායම රජරට කැලණි කණ්‌ඩායම ලෙස හැඳින්වීම නිවැරැදි නො වේ. අදාළ රජරට කථිකාචාර්යවරයා ද අවසානයේ දී පර්යේෂණයට එකතු වූයේ කැලණිය විශ්වවිද්‍යාලයයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු ලෙස අදාළ සියලු මණ්‌ඩලවල අනුමැතියෙන් ලියාපදිංචි වීමෙන් පසු ව ය.

කරුණු එසේ තිබිය දී අප කණ්‌ඩායම රජරට කැලණිය කණ්‌ඩායම ලෙස හැඳින්වීම කැලණියට තිබිය යුතු ගෞරවය එයට අහිමි කිරීමකි. පර්යේෂණය ආරම්භයේ දී ඇතැමුන් රජරට කැලණිය කණ්‌ඩායම ලෙස අප කණ්‌ඩායම හැඳින්වීමට උත්සාහ ගත්ත ද පසුව අප කණ්‌ඩායමට විවිධ පැතිවලින් බැට වදින විට රජරට හැළී ගොස්‌ කැලණිය කණ්‌ඩායම ලෙස පමණක්‌ අප හැඳින්විණි.

එසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව පිට වීමත් සමග නැවතත් රජරට කැලණි කණ්‌ඩායම යන නමින් අප හැඳින්වීමට ඇතැමුන් කටයුතු කරනු පෙනෙයි. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ ආසනික්‌ හා රජරට නිදන්ගත වකුගඩු රෝගය අතර සම්බන්ධයක්‌ ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව ය. අප කණ්‌ඩායමට කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ ඇතැම් ආචාර්ය මහාචාර්යවරුන්, වරියන් ගෙන් ලැබුණේ ගල්මුල් ය. එහෙත් ඒ සියලු අපහාස, දුක්‌ඛ දෝමනස්‌සයන් විඳ දරාගනිමින් මහාචාර්ය ප්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ, ආචාර්ය උදයකාන්ති වර්ණවීර, ආචාර්ය කිත්සිරි සේනානායක යන මහත්ම මහත්මීහු පර්යේෂණවල නිරත වූ හ. ඒ කිහිප දෙනා හේතුවෙන් හා මේ පර්යේෂණ කෙරුණේ කැලණි විශ්වවිද්‍යාලයයේ පර්යේෂණාගාරවල බැවින් අප කණ්‌ඩායම කැලණි කණ්‌ඩායම යනුවෙන් හැඳින්වීම නිවැරැදි වෙයි.

එසේ වුවත් කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන් ගෙන් කුහක බහුතරය තමන්ට හැකි ආකාරයෙන් කැලණි කණ්‌ඩායමට අවහිර කරති. කැලණිය විශ්වවිද්‍යාලයයේ පශ්චාත් උපාධියකට ලියාපදිංචි වී අදාළ පර්යේෂණ කළ චන්න ජයසුමන මහතාට උපාධිය දීම වැළැක්‌වීමට මේ කුහකයෝ දැනට කටයුතු කරති. අවශ්‍ය වුව හොත් ඒ සියල්ල නමෝ විත්තියෙන් ම කීමට මම සූදානම් ව සිටින්නෙමි. මෙරට විද්‍යාඥයන් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ගැන සමස්‌තයක්‌ ලෙස ගත් කල මට ඇත්තේ පිළිකුලකි. කිසි දිනෙක නව සංකල්පයක්‌ හෝ නව ප්‍රවාදයක්‌ හෝ ඉදිරිපත් කර නොමැති මේ පිරිස බොහොමයක්‌ අන්‍යයනට අකුල් හෙළන කුහකයෝ වෙති.

අප කණ්‌ඩායම සාම්ප්‍රදායික බටහිර විද්‍යාඥයන් ගේ කණ්‌ඩායම්වලින් වෙනස්‌ විය. රජරට නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ බව අප දැනගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් නාථ දෙවියන් හා විපස්‌සක දෙවියන් යනුවෙන් හැඳින්වෙන ප්‍රාණීන් ගෙනි. ඔවුන්ට අනුව රෝගය පැතිරීම සඳහා කිවුල් ජලය ද අවශ්‍ය වෙයි. එසේ මනුෂ්‍ය නො වන්නන් ගෙන් දැනුම ලබාගත් අපට අවශ්‍ය වූයේ ඒ දැනුම බටහිර විද්‍යාවට අනුව ද සනාථ කිරීම ය. එසේ කළේ බටහිර විද්‍යාවේ ඇති ආධිපත්‍යය නිසා හෝ වෙනත් ආනුභාවයක්‌ නිසා හෝ නො වේ. බටහිර විද්‍යාව අනුව ම වක්‍ර ව වුවත් දෙවියන් (හෝ භූතයන් හෝ) සිටින බව පෙන්වීමත් බටහිර විද්‍යාවේ ව්‍යාජ විධික්‍රමය හාස්‍යයට ලක්‌ කිරීමත් කණ්‌ඩායමේ අන් අය ගේ කෙසේ වෙතත් මගේ අරමුණක්‌ විය.

එමෙන් ම මෙරට ආණ්‌ඩුව ද තීරණ ගැනීමේ දී බලපාන ඉහළ නිලධාරීන් ද ඇතුළු පිරිස බටහිර විද්‍යාවට දණ්‌ඩ නමස්‌කාර කරති. ඔවුන් ගෙන් ඇතැමෙක්‌ බටහිර විද්‍යාව හා එහි දර්ශනය හා ඇතැයි කියන විධික්‍රමය පිළිබඳ මළපතේ අකුරුක්‌ වත් නො දන්නා නමුත් බටහිර විද්‍යාව සත්‍ය වූ එක ම දැනුම ලෙස සලකති. මොවුන් ගෙන් ඇතැමකු බුදුදහම විශ්වාස කරන්නේ ද එය බටහිර විද්‍යාව සමග එකඟ වන්නේ ය යන පදනමිනි.

එවැනි ප්‍රාථමික දැනුමක්‌ සහිත වුවත් තීරණ ගැනීමේ දී ඔවුන් බලපාන බැවින් ඔවුන් ඉදිරියේ ආසනික්‌ පිළිබඳ දැනුම බටහිර විද්‍යාව මගින් ද සනාථ කිරීමේ අවශ්‍යතාව අපට විය. එබැවින් ආසනික්‌ පිළිබඳ පර්යේෂණ කැලණිය විශ්වවිද්‍යාලයයේ පර්යේෂණාගාරවල දී එහි උපකරණ යොදාගනිමින් පර්යේෂණ සහායකයන් ගේ ආධාරය ද ලබාගනිමින් ආරම්භ කළෙමු. ඉතා වෙහෙස මහන්සියෙන් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස අදාළ ප්‍රදේශවලින් ලබාගත් විවිධ නියෑදිවල ආසනික්‌ ඇති බව අපට පැහැදිලි විය.

මෙහි දී කිවයුතු ප්‍රධාන කරුණක්‌ වෙයි. අපට ආසනික්‌ පිළිබඳ දැනුම ලැබුණේ මේ පර්යේෂණවලින් නො වේ. ඒ දැනුම අපට ලැබුණේ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් දෙවියන් ගෙන් ය. එහෙත් ඒ ප්‍රාණීන් දෙවියන් ද භූතයන් ද යන්න පිළිබඳ ව ප්‍රශ්න ඇත. අපි ඔවුන් නාථ දෙවියන් හා විපස්‌සක දෙවියන් ලෙස හඳුන්වමු. එහෙත් මේ නාථ දෙවියන් මතු බුදු වන මෛත්‍රී බෝසතාණන් වහන්සේ යෑයි මම විශ්වාස නො කරමි. එතුමා යම් දිනෙක බුදු බව ප්‍රර්ථනා කරන්නකු විය හැකි ය.

කෙසේ වෙතත් ප්‍රියන්තා සේනානායක මහත්මියට බටහිර හෝ සිංහල හෝ වෛද්‍ය විද්‍යාව ගැන කිසි ම දැනුමක්‌ නො තිබිණි. ඇය බටහිර සත්ත්ව විද්‍යාව හදාරා ඇති නමුත් බටහිර රසායනික විද්‍යාව පිළිබඳ විශේෂිත දැනුමක්‌ ඇති තැනැත්තියක්‌ නො වූවා ය. එබැවින් කිවුල් ජලයේ ලවණ තුළ ආසනික්‌ සැඟවී සිටින ආකාරය ගැන කීමට හෝ නිදන්ගත වකුගඩු රෝගයට හේතු ආසනික්‌, කිවුල් ජලය හා කුඹුරු පස යෑයි කීමට තරම් දැනුමක්‌ ඇය තම ආකෘතික හෝ අනාකෘතික හෝ අධ්‍යාපනයෙන් ලබා නො තිබිණි.

එබැවින් ඒ කරුණු සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කළේ මනුෂ්‍ය නො වන ප්‍රාණීන් ගෙන් ඇය ලත් දැනුමකි. මේ අපේ සංස්‌කෘතියේ මෙන් ම වෙනත් පැරැණි සංස්‌කෘතීන්හි ද දැනුම ලබාගත් ක්‍රමයක්‌ විය. සිංහල බෞද්ධ සංස්‌කෘතිය තමන් ගේ හෝ තමන් ගේ ගෞරවයට විශ්වාසයට පාත්‍ර වන අය ගේ ප්‍රත්‍යක්‍ෂ දැනුම මත පදනම් වෙයි. නාථ හා විපස්‌සක දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් වුව ද ඔවුන් ගේ ප්‍රත්‍යක්‍ෂ දැනුම පිළිබඳව මට අවිශ්වාසයක්‌ නැත. ඔවුන් ගේ දැනුම මත පදනම් වී මා සුවපත් වූ අවස්‌ථා කිහිපයක්‌ වෙයි.

අපි සාම්ප්‍රදායික ව්‍යාජ විද්‍යාඥයන් ගෙන් අපේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ දී ද වෙනස්‌ වූයෙමු. සාම්ප්‍රදායික ක්‍රමය අනුව ප්‍රතිඵල ප්‍රකාශ කළ යුත්තේ ඊනියා පර්යේෂණ පත්‍රිකා ම`ගිනි. එහෙත් අපි එසේ නො කළෙමු. අපි කෙළින් ම ප්‍රතිඵල ජනතාවට හා ආණ්‌වුවට දැනගැනීමට සැලැස්‌වූයෙමු. එයට ප්‍රධාන හේතුව වූයේ වකුගඩු රෝගය හේතුවෙන් විශාල පිරිසක්‌ මිය යැම ය. ඔවුන්ට ඉක්‌මන් සුවයක්‌ ලබා දිය යුතු ව තිබිණි. ඊනියා පත්‍රිකා ඔස්‌සේ දැනුම ලබා දීමට කාලයක්‌ ගත වෙයි. අනෙක්‌ අතට ඒ පත්‍රිකා ම`ගින් දැනුම ලබා දුන්න ද එහි සත්‍යාසත්‍යභාවය ඉන් තහවුරු නො වෙයි. නේචර් සයන්ස්‌ ආදී ප්‍රධාන සඟරාවල ද පළ වන පත්‍රිකාවල අන්තර්ගත දැනුමෙන් ද ඉතා විශාල ප්‍රමාණයක්‌ වැරැදි බව පසුව හෙළි වෙයි. ඒ වෙනත් විද්‍යාඥයන් ද ඒ පත්‍රිකා සමාලෝචනය කිරීමෙන් පසුව ය.

(මතු සම්බන්ධයි)
නලින් ද සිල්වා